107වෙනි පරිච්ඡේදය
විවාහ මංගල්‍යය පිළිබඳ උපමාව
යේසුස් උපමා දෙකක් මාර්ගයෙන් ලියන්නන්ගේ හා නායක පූජකයන්ගේ දුෂ්ටකම හෙළි කර තිබෙනවා. මේ නිසා ඔවුන්ට දැන් වුවමනා වන්නේ ඔහුව මරණයට පත් කරන්නයි. එහෙත් යේසුස්ට තවත් බොහෝ දේවල් තිබෙනවා ඔවුන්ට කියන්න. ඔහු ඔවුන්ට තවත් උපමාවක් කියනවා.
“තම පුත්‍රයාට විවාහ මංගල්‍යයක් පිළියෙළ කළ රජෙකුට ස්වර්ග රාජ්‍යය සමාන වී ඇත. විවාහ මංගල්‍යය සඳහා ආරාධනය ලැබූවන්ව කැඳවන පිණිස ඔහු තම දාසයන්ව යැව්වේය. නමුත් ආරාධිතයෝ එන්න අකමැති වූහ.”
තම පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස් වෙනුවෙන් විවාහ මංගල්‍යයක් පිළියෙළ කරන රජු වන්නේ යෙහෝවා දෙවියි. අන්තිමේදී, අභිෂේක ලත් අනුගාමිකයන් 1,44,000දෙනෙකුගෙන් යුත් මනාලිය ස්වර්ගයේ සිටින යේසුස්ට එකතු වෙනවා. රජුගේ යටත්වැසියන් වන්නේ ඊශ්‍රායෙල් ජනයායි. මොවුන්ව ක්‍රි.පූ. 1513දී මෝසෙස්ගේ නීතික ගිවිසුමට ඇතුල් කරගත් අතර එමගින් “පූජක රාජ්‍යයක්” වීමේ ප්‍රස්තාව ඔවුන්ට විවෘත වුණා. ඒ නිසා, විවාහ මංගල්‍යයට සහභාගි වීමේ ආරාධනාව ඔවුන් මුල් වතාවට ලැබුවේ ඒ අවස්ථාවේදීයි.
එහෙත්, ආරාධිතයන්ට මුල් කැඳවීම ඉදිරිපත් කරනු ලැබුවේ ක්‍රි.ව. 29 ශරත් ඍතුවේදී යේසුස් හා ඔහුගේ ගෝලයන් (රජුගේ දාසයන්) රාජ්‍ය දේශනා කිරීමේ කාර්යය ආරම්භ කිරීමෙන් අනතුරුවයි. නමුත් ක්‍රි.ව. 29 සිට ක්‍රි.ව. 33 දක්වා දාසයන් විසින් ඉදිරිපත් කරනු ලැබූ එම කැඳවීම පිළිගැනීමට ඊශ්‍රායෙල් ජාතිය අකමැති වුණා. ඒ නිසා යේසුස් විස්තර කරන පරිදි, ආරාධනය කරන ලැබූ ජාතියට දෙවි තවත් අවස්ථාවක් ලබා දුන්නා.
“නැවත වරක් ඔහු වෙන දාසයන් යවා, ‘“මෙන්න! මාගේ දහවල් භෝජනය පිළියෙළ කර ඇත. මාගේ ගොනුන්ද තර කළ සතුන්ද මරා, සියල්ල සූදානම්ව තිබේ. විවාහ මංගල්‍යයට එන්න” කියා ආරාධිතයන්ට කියන්න’ යයි කීවේය.” ආරාධිතයන්ට කළ මෙම දෙවෙනි නැත්නම් අන්තිම කැඳවීම ඇරඹුණේ යේසුස්ගේ අනුගාමිකයන් මත ශුද්ධාත්මය වගුරුවනු ලැබූ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදීයි. මෙම කැඳවීම ක්‍රි.ව. 36 දක්වා පැවතුණා.
එහෙත් ඊශ්‍රායෙලිතයන්ගෙන් වැඩි පිරිසක් මෙම කැඳවීම සතේකටවත් මායිම් නොකර ප්‍රතික්ෂේප කළා. යේසුස් එය මෙසේ විස්තර කරනවා. “ඔවුන් එය නොසලකා, කෙනෙක් තමාගේම කෙතටද තව කෙනෙක් තමාගේ ව්‍යාපාරික කටයුතුවලටද ගියහ. නමුත් අනිත් අය ඔහුගේ දාසයන්ව අල්ලාගෙන, ඔවුන්ට අගෞරවනීයව සලකා, ඔවුන්ව මරා දැමූහ.” නමුත් යේසුස් තවදුරටත් මෙසේ පවසනවා. “රජ උදහස් වී, තමාගේ සේනා යවා ඒ මිනීමරුවන්ව විනාශ කර ඔවුන්ගේ නුවර ගිනිබත් කළේය.” මෙය සිදු වූයේ ක්‍රි.ව. 70දී, රෝමවරුන් යෙරුසලම බිමටම සමතලා කර, එම මිනීමරුවන්ව ඝාතනය කළ විටයි.
මේ අතරතුරේදී සිදු වූ දෙය යේසුස් ඊළඟට මෙසේ පැහැදිලි කරනවා. “ඉන්පසු [රජු] තම දාසයන්ට කතා කොට, ‘විවාහ මංගල්‍යය සූදානම් කර තිබේ. නමුත් ආරාධිතයෝ එය ලබන්න වටින්නෝ නොවූහ. ඒ නිසා නුවරින් එපිටට විහිදෙන මාවත්වලට ගොස්, ඔබට සම්බ වන සියල්ලන්ටම විවාහ මංගල්‍යයට ආරාධනා කරන්න’ යයි කීවේය” දාසයන් මෙසේ කරද්දී, ‘කෑම මේසයට පැමිණෙන අයගෙන් විවාහ මංගල්‍ය ශාලාව පිරී යනවා.’
ආරාධිතයන් වාසය කළ නුවරින් එපිට මාවත්වලින් අමුත්තන්ව එකතු කිරීමේ මෙම කාර්යය ආරම්භ වුණේ ක්‍රි.ව. 36දීයි. යුදෙව් නොවන අචර්මච්ඡේදිතයන්ගෙන් මුලින්ම එක්රැස් කරනු ලැබුවේ රෝම හමුදා නිලධාරියෙකු වූ කොර්නේලියස්ව හා ඔහුගේ පවුලේ අයවයි. කැඳවීම ප්‍රතික්ෂේප කළ අයගේ තැන ගත් මෙම යුදෙව් නොවන අයව එක්රැස් කිරීම 20වන සියවස දක්වාත් සිදු කර තිබෙනවා.
විවාහ මංගල්‍ය ශාලාව පිරෙන්නේ 20වන සියවසේදීයි. එවිට සිදු වන දෙය යේසුස් මෙසේ විස්තර කරනවා. “අමුත්තන්ව බැලීමට රජ පැමිණි කල, එහි මංගල්‍ය වස්ත්‍රයක් නොහැඳ සිටි මිනිසෙකුව ඔහු දැක්කේය. එබැවින් ඔහු ඔහුට කතා කොට, ‘යහළුව, ඔබ මංගල්‍ය වස්ත්‍රයක් නොහැඳ මෙතැනට ඇතුල් වුණේ කෙසේද?’ යයි ඇසීය. ඔහු නිරුත්තර විය. එවිට රජ තම සේවකයන්ට කතා කොට, ‘මොහුගේ අත් පා බැඳ, පිටත අන්ධකාරයෙහි දමන්න. එහිදී හැඬීමද දත්මිටි කෑමද වන්නේය’ යි කීවේය.”
මංගල්‍ය වස්ත්‍රයක් නොහැඳ සිටින තැනැත්තාගෙන් නිරූපණය වන්නේ ක්‍රිස්තියානි ලෝකයේ ව්‍යාජ ක්‍රිස්තියානීන්වයි. දෙවි කිසිවිටෙකත් මෙවැනි අයව නියම ආත්මික ඊශ්‍රායෙලිතයන් වශයෙන් පිළිගෙන සිටියේ නැහැ. දෙවි කවදාවත් ඔවුන්ව රාජ්‍යයේ උරුමක්කාරයන් වශයෙන් ශුද්ධාත්මයෙන් අභිෂේක කළේ නැහැ. ඒ නිසා ඔවුන්ව පිටත අන්ධකාරයෙහි දමා තිබෙන්නේ විනාශ වන පිණිසයි.
යේසුස් තම උපමාව අවසන් කරන්නේ “ආරාධිතයෝ බොහෝය, නමුත් තෝරාගත් අය ස්වල්පය” කියමිනුයි. ඇත්තවශයෙන්ම, ක්‍රිස්තුස්ගේ මනාලි පංතියේ සාමාජිකයන් වීමට ඊශ්‍රායෙල් ජාතියෙන් බොහෝදෙනෙකු කැඳවනු ලැබුවත්, ඊශ්‍රායෙල් ජාතිකයන්ගෙන් තෝරාගනු ලැබුවේ ස්වල්පදෙනෙකු පමණයි. ස්වර්ගික විපාකය ලබන අමුත්තන් 1,44,000 දෙනාගෙන් වැඩිදෙනෙකු ඊශ්‍රායෙල් ජාතියට අයත් නොවන අයයි. මතෙව් 22:1-14, NW; නික්මයාම 19:1-6; එළිදරව් 14:1-3, NW.
▪ විවාහ මංගල්‍යයට මුලින්ම ආරාධනා කරනු ලැබුවේ කවුරුන්වද? ඔවුන්ට ආරාධනාව ලැබුණේ කවදාද?
▪ ආරාධිතයන්ට මුල් කැඳවීම ලැබෙන්නේ කවදාද? ආරාධනාව දීමට යොදාගන්නා දාසයන් කවුරුන්ද?
▪ දෙවෙනි කැඳවීම ඉදිරිපත් කළේ කවදාද? ඉන්පසුව ආරාධනා කරනු ලබන්නේ කවුරුන්වද?
▪ විවාහ මංගල්‍ය වස්ත්‍රයක් නොමැති මිනිසාගෙන් නිරූපණය වන්නේ කවුරුන්වද?
▪ කැඳවනු ලබන බොහෝදෙනා හා තෝරාගනු ලබන ස්වල්පදෙනා කවුරුන්ද?