ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • gt 88 පරි.
  • ධනවතා සහ ලාසරුස්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ධනවතා සහ ලාසරුස්
  • මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ධනවතාගේ හා ලාසරුස්ගේ තත්වයන්වල වෙනසක්
  • ධනවතා සහ ලාසරුස් අද්දැක්ක වෙනස
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • ධනවතා සහ ලාසරුස් කවුද?
    බයිබලයෙන් උත්තර
  • යේසුස් ලාසරුස්ව නැවත නැඟිට්ටවයි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
gt 88 පරි.

88වෙනි පරිච්ඡේදය

ධනවතා සහ ලාසරුස්

ද්‍රව්‍යමය වස්තු නිසි ලෙස භාවිත කරන ආකාරය පිළිබඳව යේසුස් තම ගෝලයන් සමඟ කතා කරමින් සිටි අතර ඒවාට දාසයෙකු වී සිටින අතරේම දෙවිගේ දාසයන්ද විය නොහැකි බව ඔවුන්ට පහදා දුන්නා. පරිසිවරුනුත් ඔහුට සවන් දෙමින් සිටින අතර ඔවුන් මුදලට ඇලුම් කරන නිසා ඔවුන් යේසුස්ට සමච්චල් කරනවා. ඒ නිසා, ඔහු ඔවුන්ට පවසන්නේ මෙසේයි. “ඔබ මිනිසුන් ඉදිරියෙහි ඔබම ධර්මිෂ්ඨ බව ප්‍රකාශ කරන්නහුය. නමුත් දෙවි ඔබේ සිත් දන්නේය. මන්ද මිනිසුන් අතරේ උසස් දේ දෙවි ඉදිරියෙහි පිළිකුලකි.”

ලෞකික දේපළ, දේශපාලනික බලය හා ආගමික බලතල තිබීම හේතුවෙන් ධනවත් වන මනුෂ්‍යයන්ගේ තත්වයේ වෙනසක් වීමට දැන් කාලය එළඹිලා. ඔවුන්ව පහත් කරනු ලබන්නයි යන්නේ. එහෙත් තම ආත්මික අවශ්‍යතාව වටහාගන්නා මනුෂ්‍යයන්ව ඔසවනු ලබනවා. එවැනි වෙනසක් වීමට යන බව යේසුස් පරිසිවරුන්ට මෙලෙස අවධාරණය කරනවා.

“නීතිය සහ අනාගතවාක්‍යය යොහන් [බව්තීස්ත] දක්වා විය. එතැන් පටන්, ප්‍රකාශ කරනු ලබන ශුභාරංචිය දෙවිගේ රාජ්‍යය ගැනය. සියලු ආකාරයේ පුද්ගලයෝ එයට ඇතුල් වීමට මහත් පරිශ්‍රමයක් දරති. සැබවින්ම, නීතියේ අකුරකින් අංශුමාත්‍රයක්වත් ඉටු නොවී තිබෙනවාට වඩා අහසත් පොළොවත් පහව යෑම පහසුය.”

මෝසෙස්ගේ නීතිය තමන් පිළිපදිනවායයි පවසන ලියන්නන්ට සහ පරිසිවරුන්ට දැනෙන්නේ මහත් ආඩම්බරයක්. යෙරුසලමෙහිදී එක්තරා මනුෂ්‍යයෙකුට යේසුස් ආශ්චර්යවත් ලෙස පෙනීම ලබා දුන් විට, “අපි නම් මෝසෙස්ගේ ගෝලයෝය. දෙවි මෝසෙස්ට කතා කළ බව අපි දනිමු” කියා ඔවුන් පුරසාරම් දෙඩූ බව මතක් කරගන්න. එහෙත්, මෝසෙස්ගේ නීතිය පිහිටෙව්වේ දෙවි පත් කරන ලද රජු වෙතට යටහත් පහත් අයව මඟ පෙන්වීමේ අරමුණ ඇතුවයි. එම අරමුණ දැන් ඉටු වී හමාරයි. ඉතිං යොහන් තම සේවය ආරම්භ කළාත් සමඟම, විශේෂයෙන්ම යටහත් පහත් හා දිලිඳු අය ඇතුළු සියලු ආකාරයේ මනුෂ්‍යයන් මහත් පරිශ්‍රමයක් දරන්නේ දෙවිගේ රාජ්‍යයේ යටත්වැසියන් වීමටයි.

දැන් මෝසෙස්ගේ නීතිය ඉටු වී තිබෙන නිසා එය පැවැත්වීම සඳහා තිබෙන වගකීම ඉවත් කිරීමට නියමිතයි. විවිධ හේතූන් මත දික්කසාද වීමට නීතිය අවසර දුන්නත් යේසුස් දැන් පවසන්නේ මෙසේයි. “තම බිරිඳව දික්කසාද කර වෙන ස්ත්‍රියක විවාහ කරගන්න සෑම මිනිසෙකුම පරදාර සේවනයේ යෙදෙන්නේය. ස්වාමිපුරුෂයෙකුගෙන් දික්කසාද වූ ස්ත්‍රියක විවාහ කරගන්නාද පරදාර සේවනයේ යෙදෙන්නේය.” විශේෂයෙන්ම පරිසිවරුන් විවිධ හේතූන් මත දික්කසාදයට අවසර දෙන නිසා එවැනි ප්‍රකාශයන් ඔවුන්ව මොන තරම් කුපිත කරනවා ඇද්ද!

යේසුස් තවදුරටත් පරිසිවරුන්ට කතා කරමින්, අන්තිමේදී තමන්ගේ තත්වයන් මුළුමනින්ම වෙනස් වන මනුෂ්‍යයන් දෙදෙනෙකු පිළිබඳ උපමාවක් කියා දෙනවා. මෙම මනුෂ්‍යයන් නියෝජනය කරන්නේ කාවද කියාත් ඔවුන්ගේ තත්වයන් වෙනස් වීමෙන් අදහස් කරන්නේ කුමක්ද කියාත් ඔබට නිශ්චය කළ හැකිද?

යේසුස් දැන් මෙසේ පැහැදිලි කරනවා. “දම් පැහැති වස්ත්‍රවලින් හා හණ රෙදිවලින් සැරසී දවස්පතා සුඛෝපභෝගී ජීවිකාවක් ගත කරමින් ප්‍රීති වූ එක්තරා ධනවත් මිනිසෙක් සිටියේය. නිතිපතා ඔහුගේ දොරටුව අසලට ඇඟ පුරාම වණ තිබූ ලාසරුස් නම් එක්තරා හිඟන්නෙකුව ගෙනැවිත් තබන ලදි. ඔහු ධනවතාගේ මේසයෙන් වැටෙන දෙයින් බඩගින්න නිවාගන්න සිතුවේය. තවද, බල්ලෝ පවා ඇවිත් ඔහුගේ වණ ලෙව කෑවෝය.”

පරිසිවරුන් හා ලියන්නන්ව පමණක් නොව, සද්දුසිවරුන් හා නායක පූජකයන්ද ඇතුළු යුදෙව් ආගමික නායකයන්ව නියෝජනය කිරීමට යේසුස් මෙහිදී ධනවතාව යොදාගන්නවා. ඔවුන් ආත්මික වරප්‍රසාද හා ප්‍රස්තාවලින් ධනවත්ව සිටින අතර ඔවුන් හැසිරෙන්නේ හරියට ධනවතා හැසිරුණ ආකාරයටයි. ඔවුන් ඇඳ සිටි රාජකීය දම් පැහැති වස්ත්‍රවලින් ඔවුන්ට හිමි අනුග්‍රහය ලත් තත්වය නියෝජනය වෙනවා. ඒ වගේම, සුදු හණ රෙදිවලින් නියෝජනය වන්නේ ඔවුන්ගේ ආත්ම-ධර්මිෂ්ඨකමයි.

අහංකාර ධනවතා නමැති මෙම පංතිය දුප්පත්, සාමාන්‍ය ජනයාට ඉතාමත් අවමන්සහගත ලෙස සලකමින්, අම්හාආරෙට්වරුන් එනම් දූවිල්ල බඳු මනුෂ්‍යයන් ලෙස ඔවුන්ව හඳුන්වනවා. ඒ නිසා, ලාසරුස් නමැති සිඟන්නාගෙන් නියෝජනය වන්නේ ආගමික නායකයන්ගෙන් නිසි ආත්මික පෝෂණය හා වරප්‍රසාද නොලබන මෙම මනුෂ්‍යයන්වයි. ඒ නිසා, ඇඟ පුරාම වණ තිබෙන ලාසරුස් මෙන්, පොදු ජනයාවත් සලකන්නේ ආත්මික වශයෙන් රෝගාතුරව සිටින, බල්ලන් සමඟ පමණක් ආශ්‍රය කිරීමට සුදුසු, ඉතාමත් පහත් අය හැටියටයි. එහෙත් ලාසරුස් පංතියේ අය ආත්මික පෝෂණය සඳහා සාපිපාසයෙන් සිටින නිසා, ඔවුන් දොරටුව අසලට වී ධනවතාගේ මේසයෙන් වැටෙන ඕනෑම සුළු ආත්මික ආහාර කැබැල්ලක් පවා ලබාගැනීමට කැමැත්තෙන් සිටිනවා.

ධනවතාගේ හා ලාසරුස්ගේ තත්වයන් වෙනස් වන බව යේසුස් දැන් විස්තර කරනවා. මෙම වෙනස් වීම් මොනවාද? එමෙන්ම ඒවායෙන් නියෝජනය වන්නේ මොනවාද?

ධනවතාගේ හා ලාසරුස්ගේ තත්වයන්වල වෙනසක්

ධනවතාගෙන් නියෝජනය වන්නේ ආත්මික වරප්‍රසාද හා ප්‍රස්තාවලින් අනූන ආගමික නායකයන්. ලාසරුස්ගෙන් නිරූපණය වන්නේ ආත්මික පෝෂණය ලබාගැනීම සඳහා බඩගින්නේ සිටින සාමාන්‍ය ජනයායි. එම මනුෂ්‍යයන් සිටින තත්වයන් පුදුමාකාර ලෙස වෙනස් වන ආකාරය විස්තර කරමින් යේසුස් තම කතන්දරය තවදුරටත් පවසනවා.

යේසුස් පවසන්නේ මෙසේයි. “කාලයාගේ ඇවෑමෙන් හිඟන්නා මිය ගිය අතර, දේවදූතයන් විසින් ඔහුව ආබ්‍රහම්ගේ ළපැත්තට උසුලාගෙන යනු ලැබීය. ධනවතාද මැරී, භූමදාන කරනු ලැබීය. ඔහු මිනී වළෙහි වධ විඳිමින් සිටියදී ඇස් එසවූ කල, ඈතින් සිටි ආබ්‍රහම්වද ඔහුගේ ළපැත්තේ සිටි ලාසරුස්වද දුටුවේය.”

ධනවතා සහ ලාසරුස්ගෙන් එකිනෙකට වෙනස් මනුෂ්‍ය පංති සංකේතවත් කරනවා මිසක ඔවුන් සැබෑ පුද්ගලයන් නොවන බැවින් ඔවුන්ගේ මරණද සංකේතාත්මක වන බව සිතීම සාධාරණයි. ඔවුන්ගේ මරණවලින් සංකේතවත් වන්නේ කුමක්ද?

‘නීතිය සහ අනාගතවාක්‍යය යොහන් දක්වා වූ නමුත් එතැන් පටන්, දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරනු ලබනවා’ යයි පැවසීමෙන් තත්වයන්වල යම් වෙනසක් සිදු වන බව යේසුස් දැන් ටිකකට කලින් පෙන්වා තිබුණා. ඒ නිසා, යොහන් හා යේසුස් ක්‍රිස්තුස් විසින් කරන ලද දේශනා කිරීමත් සමඟම, ධනවතා හා ලාසරුස් ඔවුන් මුලින් සිටි තත්වයන් සම්බන්ධයෙන් ගත් කල මිය යනවා.

යටහත් පහත්, පසුතැවිලි වන ලාසරුස් පංතියේ අය ආත්මික වශයෙන් හිඟව පැවති ඔවුන්ගේ මුල් තත්වය සම්බන්ධයෙන් මැරී, දිව්‍ය අනුග්‍රහය ලත් තත්වයකට පැමිණෙනවා. ආත්මික මේසයෙන් වැටුණු සුළු දේ ලබාගැනීම සඳහා ඔවුන් ආගමික නායකයන් වෙත බලාපොරොත්තු තැබූ නමුත්, දැන් යේසුස් විසින් සපයන ලද ශුද්ධ ලියවිලිමය සත්‍යයන් මගින් ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලනු ලබනවා. එමගින් ඔවුන්ව වඩා උතුම් ආබ්‍රහම් වන යෙහෝවා දෙවිගේ ළපැත්තට එනම් ඔහුගේ අනුග්‍රහය ලත් තත්වයට ගෙන එනවා.

අනික් අතට, ධනවත් පංතියට අයිති අය දෙවිගේ අප්‍රසාදයට ලක් වන්නේ, ඔවුන් යේසුස් විසින් උගන්වන ලද රාජ්‍ය පණිවුඩය නිරතුරුවම ප්‍රතික්ෂේප කරන නිසයි. ඒ නිසා, කලින් පෙනෙන්න තිබුණු අනුග්‍රහය ලත් තත්වය සම්බන්ධයෙන් ඔවුන් මිය යනවා. ඇත්තෙන්ම, ඔවුන් සංකේතාත්මක ලෙස වධ විඳිමින් සිටින බව පවසා තිබෙනවා. ධනවතා දැන් කතා කරද්දී සවන් දෙන්න.

“ආබ්‍රහම් පියාණෙනි, මට අනුකම්පා කර, ලාසරුස්ගේ ඇඟිලි තුඩ වතුරෙහි ගල්වා මාගේ දිව සිසිල් කරන පිණිස ඔහුව එවන්න. මන්ද මම මේ ගිනි ජාලාවේ මහත් අමාරුවෙන් සිටිමි.” ධනවත් පංතියේ අයව වේදනාවට පත් කරන්නේ යේසුස්ගේ ගෝලයන් විසින් ප්‍රකාශ කරන ලද දෙවිගේ ගිනිමය වූ විනිශ්චයමය පණිවිඩයි. ඔවුන් කැමති වන්නේ ගෝලයන් මෙම පණිවිඩ ප්‍රකාශ කිරීම නවත්වනවා දැකීමටයි. එවිට ඔවුන් අද්දකින වේදනාවලින් යම් සහනයක් ඔවුන්ට ලබාගත හැකියි.

“නමුත් ආබ්‍රහම් මෙසේ කීවේය, ‘දරුව, ඔබේ ජීවිත කාලයේදී සෑම හොඳ දෙයක්ම ඔබට මුළුමනින්ම ලැබුණු බව සිහි කරන්න. නමුත්, ඊට වෙනස්ව ලාසරුස් අද්දැක්කේ පීඩිත දේවල්ය. එහෙත් දැන් ඔහුට මෙහිදී සැනසීම ලැබී තිබෙන අතර, ඔබ මහත් අමාරුවෙන් සිටින්නෙහිය. මේ සියල්ලට අමතරව, අප හා ඔබ අතර විශාල අගාධයක් ඇත. එබැවින් මෙතැනින් ඔබ වෙතට යන්න කැමති අයට යන්න නොහැකි අතර, ඔතැනින් අප වෙතට එන්නත් මිනිසුන්ට නොහැක.’”

ලාසරුස් පංතිය හා ධනවත් පංතිය අතරෙහි එවැනි පුදුමාකාර වෙනසක් සිදුවීම මොන තරම් සාධාරණ මෙන්ම සුදුසු දෙයක්ද! මෙම තත්වයන්වල වෙනස සිදු වන්නේ, මාස කිහිපයකට පසු ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී, පරණ නීතික ගිවිසුම වෙනුවට අලුත් ගිවිසුම පිහිටුවනු ලබන විටයි. දෙවිගේ අනුග්‍රහය ලබා තිබෙන්නේ ගෝලයන් මිස පරිසිවරුන් හා වෙනත් ආගමික නායකයන් නොවන බව තේරුම්ගැනීමට කිසිදු අපහසුවක් නැහැ. ඒ නිසා සංකේතාත්මක ධනවතාගෙන් යේසුස්ගේ ගෝලයන්ව වෙන් කරන ‘විශාල ආගාධයෙන්’ නියෝජනය කරන්නේ දෙවිගේ වෙනස් කළ නොහැකි ධර්මිෂ්ඨ විනිශ්චයනුයි.

ඉන් අනතුරුව, ධනවතා “පියාණෙනි, ලාසරුස්ව මාගේ පියාගේ ගෘහයට යවන මෙන් මම ඔබෙන් ඉල්ලමි. මන්ද මට සහෝදරයෝ පස්දෙනෙක් සිටිති” කියා පවසනවා. තවත් පියෙකු සමඟ ඔහුට කිට්ටු සබඳතාවක් තිබෙන බව ධනවතා එමගින් පිළිගන්නවා. ඒ පියා ඇත්තටම සාතන් නමැති යක්ෂයායි. ඔහුගේ ‘සහෝදරයන් පස්දෙනා’ එනම් ඔහුගේ ආගමික මිත්‍රයන්, “මේ වධ විඳීමේ ස්ථානයට” නොයවන පිණිස දෙවිගේ විනිශ්චයමය පණිවිඩ බාල කරන මෙන් ධනවතා ලාසරුස්ගෙන් ඉල්ලා සිටිනවා.

“නමුත් ආබ්‍රහම් පිළිතුරු දෙමින්, ‘ඔවුන්ට මෝසෙස් සහ අනාගතවක්තෘවරු සිටිති. ඔවුන්ට සවන් දිය හැක’ යයි කීවේය.” ඇත්තෙන්ම, ‘සහෝදරයන් පස්දෙනා’ තම වේදනාවලින් මිදෙන්න නම් යේසුස් මෙසියස් බව හඳුන්වා දෙන මෝසෙස්ගේ හා අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලට කීකරු වී යේසුස්ගේ ගෝලයන් බවට පත් විය යුතුයි. එහෙත් ධනවතා එයට විරෝධය පළ කරමින්, “ආබ්‍රහම් පියාණෙනි, එසේ වන්නේ නැත. මළවුන්ගෙන් යමෙකු ඔවුන් වෙතට ගියොත් ඔවුන් පසුතැවිලි වනු ඇත” කියා පවසනවා.

එහෙත්, ඔහුට මෙසේ පවසනු ලබනවා. “ඔවුන් මෝසෙස්ට සහ අනාගතවක්තෘවරුන්ට සවන් නොදෙන්නේ නම්, යමෙකු මළවුන්ගෙන් නැඟිට්ටත්, විශ්වාස කිරීමට ඔවුන්ට පෙලඹීමක් ඇති වන්නේ නැත.” මනුෂ්‍යයන්ට ඒත්තුගැන්වීම සඳහා දෙවි විශේෂ ලකුණු හෝ ප්‍රාතිහාර්යයන් හෝ සිදු කරන්නේ නැහැ. ඔහුගේ අනුග්‍රහය ලබාගැනීමට ඔවුන්ට අවශ්‍ය නම්, ඔවුන් ශුද්ධ ලියවිලි කියවා ඒවා අදාළ කරගත යුතුයි. ලූක් 16:14-31; යොහන් 9:28, 29; මතෙව් 19:3-9; ගලාති 3:24; කොලොස්සි 2:14; යොහන් 8:44; NW.

▪ ධනවතාගේ හා ලාසරුස්ගේ මරණ සංකේතාත්මක විය යුත්තේ ඇයි? ඔවුන්ගේ මරණවලින් නිරූපණය වන්නේ කුමක්ද?

▪ යේසුස් පෙන්වන පරිදි, යොහන්ගේ සේවාවේ ආරම්භයත් සමඟම සිදු වන වෙනස කුමක්ද?

▪ යේසුස්ගේ මරණයෙන් පසු ඉවත් කරන්නේ කුමක්ද? මෙය දික්කසාදය සම්බන්ධ කාරණයට බලපාන්නේ කෙසේද?

▪ යේසුස්ගේ උපමාවෙහි ධනවතා හා ලාසරුස්ගෙන් නියෝජනය වන්නේ කවුරුන්ද?

▪ පොහොසතා අද්දකින වේදනා මොනවාද? ඒවායෙන් සහනයක් ලබාගැනීම සඳහා ඔහු ඉල්ලා සිටින්නේ කුමක්ද?

▪ “විශාල ආගාධය” නියෝජනය කරන්නේ කුමක්ද?

▪ ධනවතාගේ සැබෑ පියා කවුද? ඔහුගේ සහෝදරයන් පස්දෙනා කවුරුන්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න