98වෙනි පරිච්ඡේදය
යේසුස්ගේ මරණය ළං වෙත්ම ගෝලයන් අතර වාදයක්
යේසුස් හා ඔහුගේ ගෝලයන් දැන් සිටින්නේ යොර්දාන් ගඟ අසලයි. ඔවුන් පෙරයාව නමැති ප්‍රදේශයේ සිට යුදයට ගමන් කරනවා. ඔවුන් සමඟ තවත් බොහෝදෙනෙක් ගමන් කරමින් සිටින්නේ තව සතියකින් විතර සැමරීමට නියමිත ක්‍රි.ව. 33 පාස්කුව සඳහායි.
යේසුස් ගමන් කරමින් සිටින්නේ තම ගෝලයන්ට ඉදිරියෙනුයි. යේසුස්ගේ ස්ථිර අධිෂ්ඨානය හා නිර්භීතකම දැක ගෝලයන් පුදුමයට පත් වෙනවා. මීට සති කීපයකට කලින් ලාසරුස් මිය ගිය අවස්ථාවේදී යේසුස් පෙරයාව සිට යුදයට ගමන් කිරීමට සූදානම් වෙද්දී, “අපිත් මොහු සමඟ මැරෙන්න යමු” යයි කියමින් තෝමස් අන්‍යයන්ව දිරිගැන්වූ බව ඔබට මතකද? යේසුස් ලාසරුස්ව නැවත නැඟිටෙවූ පසු සැන්හෙඩ්‍රිනය ඔහුව මරණයට පත් කිරීමට සැලසුම් කළ බවත් මතකයට නඟමු. ඇත්තෙන්ම, ආපසු යුදයට යෑම ගැන ගෝලයන් බියට පත්වීම පුදුමයට හේතුවක් නොවෙයි.
මතු සිදු වන දේවල් සඳහා ගෝලයන්ව සූදානම් කිරීමට යේසුස් 12දෙනාව පෞද්ගලිකවම පැත්තකට අඬගසා මෙසේ පවසනවා. “දැන් අපි යෙරුසලමට නැඟ යන්නෙමු. මනුෂ්‍ය පුත්‍රයාව නායක පූජකයන්ටද ලියන්නන්ටද පාවා දෙනු ලබන්නේය. එවිට ඔවුහු ඔහුව මරණයට නියම කරන්නෝය. තවද, ඔහුට කවටකම් කරන පිණිසද කසයෙන් තළන පිණිසද කණුවක ඇණ ගසන පිණිසද ඔවුහු ඔහුව අන්‍යජාතිකයන්ට පාවා දෙන්නෝය. තුන්වන දා ඔහුව නැඟිටුවනු ලබන්නේය.”
මෙය, මෑත මාස කීපය තුළදී යේසුස් තම ගෝලයන්ට තම මරණය හා නැවත නැඟිටීම ගැන පැවසූ තුන්වන වතාවයි. ඔවුන් ඔහුට සවන් දුන්නත් ඔහු පවසන දේහි අර්ථය වටහාගැනීමට අසමත් වෙනවා. සමහරවිට මෙයට හේතුව වෙන්න ඇත්තේ, ඊශ්‍රායෙල් රාජ්‍යය ආපසු මේ පොළොව මත යළි පිහිටුවනු ලබන බවට ඔවුන්ගේ විශ්වාසයයි. ඒ වගේම, ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින්නේ ක්‍රිස්තුස් සමඟ භූමික රාජ්‍යයක තේජස හා ගෞරවය භුක්ති විඳීමටයි.
පාස්කුවට සහභාගි වීම සඳහා ගමන් කරන අය අතරෙහි යාකොබ් සහ යොහන් යන ප්‍රේරිතයන්ගේ මව වන සලෝමිත් ඉන්නවා. යේසුස් මේ දෙදෙනාව හඳුන්වා තිබෙන්නේ “ගර්ජනාවේ පුත්‍රයන්” ලෙසයි. එසේ හඳුන්වන්නේ ඔවුන්ගේ හැඟීම්බර, කිපෙනසුලු ස්වභාවය විස්තර කිරීමට විය යුතුයි. කලක සිට මේ දෙදෙනාගේ සිත් තුළ ක්‍රිස්තුස්ගේ රාජ්‍යයේ ඉහළ තානාන්තරයක් ලබාගැනීමේ අභිලාෂය තිබී ඇති අතර ඔවුන් තමන්ගේ මවට එම ආශාව ගැන පවසා තිබෙනවා. ඇය දැන් යේසුස් වෙතට ඇවිත් ඔහු ඉදිරියෙහි දණින් වැටී ඔවුන් වෙනුවෙන් යමක් ඉල්ලා සිටිනවා.
“ඔබට ඕනෑ කුමක්ද” යනුවෙන් යේසුස් අසනවා.
එවිට ඇය පිළිතුරු දෙන්නේ මෙසේයි. “ඔබගේ රාජ්‍යයෙහිදී මේ මාගේ පුතුන් දෙදෙනාගෙන් එක් කෙනෙකු ඔබගේ දකුණු පැත්තේද එක් කෙනෙකු ඔබගේ වම් පැත්තේද ඉඳගැනීමට නියම කරන්න.”
මෙම ඉල්ලීම ඇත්තෙන්ම ආවේ කාගෙන්ද කියා වටහාගන්නා යේසුස් “ඔබ දෙදෙනා ඉල්ලන්නේ කුමක්ද කියා ඔබ නොදන්නහුය. මා බොන්න යන කුසලානෙන් බොන්න ඔබට හැකිද” කියා අසනවා.
ඔවුන් පිළිතුරු දෙන්නේ “අපට හැකිය” කියායි. තමා දරුණු පීඩාවලට මුහුණ දෙන්න යන බවත් අන්තිමේදී මරණ දණ්ඩනය ලබන බවත් යේසුස් මොහොතකට ඉස්සෙල්ලා පවසා තිබුණත් තමා බොන්න යන “කුසලානෙන්” අඟවන්නේ එයයි කියා ඔවුන් වටහාගන්නේ නැති බව පැහැදිලියි.
ඒ කොහොමවුණත් යේසුස් ඔවුන්ට පවසන්නේ, “ඔබ ඒකාන්තයෙන්ම මාගේ කුසලානෙන් බොන්නහුය. නමුත් මාගේ දකුණු පැත්තේද මාගේ වම් පැත්තේද ඉඳගන්න දීම මා සතු දෙයක් නොවේ. නමුත් මාගේ පියාණන් විසින් එය යම් අය සඳහා පිළියෙළ කර තිබෙනවාද, එය අයිති ඔවුන්ටය.”
අනිත් ගෝලයන් දසදෙනාට යාකොබ් සහ යොහන්ගේ ඉල්ලීම ගැන පසුව දැනගන්න ලැබෙන විට ඔවුන්ට කේන්ති යනවා. ඔවුන් අතර වඩාත් උතුම් කවුද යන්න පිළිබඳව මීට කලින් ප්‍රේරිතයන් අතර ඇති වූ වාදයේදී මුල් තැන ගත්තේ සමහරවිට යාකොබ් සහ යොහන් වෙන්නට ඇති. ඔවුන් දැන් කළ ඉල්ලීමෙන් පෙනී යන්නේ මේ කාරණය පිළිබඳව යේසුස් දුන් උපදෙස් ඔවුන් අදාළ කරගෙන නැති බවයි. කනගාටුදායක ලෙස, ඉහළ තානාන්තරයක් දැරීමට ඔවුන් තුළ තවමත් දැඩි ආශාවක් තිබෙනවා.
ඉතිං, දැන් අලුතින් පැන නැඟ ඇති මේ මතභේදය නිරාකරණය කිරීමටත් ඒ නිසා ගෝලයන් අතර ඇති වී තිබෙන අමනාපය නැති කිරීමටත් යේසුස් 12දෙනාව කැඳවනවා. ඔවුන්ට ප්‍රේමණීයව උපදෙස් දෙමින් ඔහු පවසන්නේ මෙසේයි. “ජාතීන්ගේ පාලකයන් ඔවුන් කෙරෙහි අනිසි ලෙස බලය පවත්වන බවත්, උත්තමයන් ඔවුන් කෙරෙහි ආධිපත්‍යය පතුරුවන බවත් ඔබ දන්නහුය. නමුත් ඔබ අතර එසේ නොවේ. ඔබ අතරෙහි උතුම් වන්න ඕනෑ කරන යමෙක් සිටී නම්, ඔහු ඔබේ සේවකයා විය යුතුය. ඔබ අතරෙහි ප්‍රථමයා වන්න ඕනෑ කරන යමෙක් සිටී නම්, ඔහු ඔබේ දාසයා විය යුතුය.”
තමා තැබූ ආදර්ශය තම ගෝලයන් අනුකරණය කළ යුතු බව පවසමින් යේසුස් මෙසේ පැහැදිලි කරනවා. “මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ සේවය ලබන්න නොව, සේවය කරන්නත් බොහෝදෙනෙකු වෙනුවෙන් තම ජීවිතය මිදීමේ මිලයක් ලෙස දීමටත්ය.” යේසුස් අන්‍යයන්ට සේවය කර තිබෙනවා පමණක් නොවෙයි, ඔහු නොබෝ කලකින් මිනිසා වෙනුවෙන් තම ජීවිතය පවා පූජා කරනු ඇති! ක්‍රිස්තුස් මෙන්, සේවය ලබනවා වෙනුවට සේවය කරන්නත් උසස් පුද්ගලයන් වීමට වෑයම් කරනවා වෙනුවට තනතුරු පස්සේ එලවන්නේ නැති නිහතමානි මිනිසුන් සේ කටයුතු කරන්නත් ඔවුන් උත්සාහ කළ යුතුයි. මතෙව් 20:17-28; මාක් 3:17; 9:33-37; 10:32-45; ලූක් 18:31-34; යොහන් 11:16; NW.
▪ ගෝලයන් බියට පත් වන්නේ ඇයි?
▪ මතු සිදු වන දේවල් සඳහා යේසුස් තම ගෝලයන්ව සූදානම් කරන්නේ කෙසේද?
▪ යේසුස්ගෙන් කරන ඉල්ලීම කුමක්ද? අනිත් ප්‍රේරිතයන්ට එය බලපාන්නේ කෙසේද?
▪ තම ප්‍රේරිතයන් අතරෙහි පැන නඟින ගැටලුව යේසුස් නිරාකරණය කරන්නේ කෙසේද?