101වෙනි පරිච්ඡේදය
බෙතානියෙහි සීමොන්ගේ නිවසේදී
යේසුස් යෙරිකෝවෙන් පිටත් වූ පසු ගමන් කරන්නේ බෙතානිය වෙතටයි. කිලෝමීටර් 19ක පමණ නැග්මකින් යුත් දුෂ්කර මාර්ගයක් ඔස්සේ යෑමට සිදු වන නිසා ගමනට දවසක් පමණ ගත වෙනවා. යෙරිකෝව මුහුදු මට්ටමෙන් මීටර් 250ක් පමණ පහළින් පිහිටා තිබෙනවා. එහෙත් බෙතානිය පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමෙන් මීටර් 760ක් පමණ ඉහළිනුයි. ලාසරුස්ගේ හා ඔහුගේ සහෝදරියන්ගේ නිවස තිබෙන්නේ බෙතානියේ බව ඔබට මතක ඇති. මෙම කුඩා ගම්මානය පිහිටා තිබෙන්නේ යෙරුසලමේ සිට කිලෝමීටර් තුනක පමණ දුරක පිහිටි ඔලීව කන්දේ නැඟෙනහිර බෑවුම මතයි.
පාස්කුව සඳහා දැනටමත් බොහෝදෙනෙක් යෙරුසලමට පැමිණ සිටිනවා. ඔවුන් කලින්ම පැමිණ සිටින්නේ චාරිත්‍රානුකූලව තමන්ව පවිත්‍ර කරගැනීම සඳහායි. සමහරවිට ඔවුන් මළ සිරුරක් හෝ තමන්ව අපවිත්‍ර කරවන වෙන යම් දෙයක් අල්ලා ඇති. ඒ නිසා, පිළිගත හැකි ආකාරයකින් පාස්කුව පැවැත්වීමට පවිත්‍ර වීම සඳහා ඔවුන් යම් චාරිත්‍ර වාරිත්‍ර පිළිපදිනවා. කලින්ම පැමිණ සිටින මේ අය දේවමාලිගාවේ එක්රැස් වෙද්දී, යේසුස් පාස්කුවට පැමිණේදැයි ඔවුන්ගෙන් බොහෝදෙනෙක් කල්පනා කරනවා.
යෙරුසලම කියන නගරයේ යේසුස් පිළිබඳව විවිධ මත භේද ශීඝ්‍රයෙන් පැතිරිලා. ඔහුව අල්ලා මරා දැමීමට ආගමික නායකයන්ට වුවමනා වී ඇති බව කවුරුත් හොඳින් දන්නවා. ඔහු යන එන තැන් ගැන යමෙකුට හෝඩුවාවක් ලැබුණු ගමන්ම ඔවුන්ට වාර්තා කළ යුතුයි කියාත් ඔවුන් අණ කර තිබෙනවා. මෑත මාසවලදී තුන්වතාවක්ම, එනම් කූඩාරම් මංගල්‍යයේදී, කැප කිරීමේ මංගල්‍යයේදී හා ලාසරුස්ව නැවත නැඟිටෙවූ අවස්ථාවේදී ඔහුව ඝාතනය කිරීමට මෙම නායකයන් උත්සාහ කළා. ඉතිං, යේසුස් නැවතත් ප්‍රසිද්ධියේ පෙනී සිටීදැයි මිනිස්සු කල්පනා කරනවා. ඔවුන් එකිනෙකාගෙන් අසන්නේ ‘මේ ගැන ඔයාලා මොනවාද හිතන්නේ’ කියායි.
මේ අතරතුරේදී, යුදෙව් දිනදර්ශනයේ නීසාන් 14වන දින වැටෙන පාස්කුවට දවස් හයකට කලින් යේසුස් බෙතානියට පැමිණෙනවා. යේසුස් බෙතානියට පැමිණෙන්නේ සිකුරාදා සන්ධ්‍යා භාගයේ යම් වේලාවක නීසාන් 8වන දින ආරම්භ වීමත් සමඟයි. සිකුරාදා හිරු බැස යෑමේ සිට සෙනසුරාදා හිරු බැස යෑම දක්වා පවතින සබත් දවසේදී ගමන් කිරීම යුදෙව් නීතියට අනුව තහනම් කොට තිබෙන නිසා ඔහු බෙතානියට ආවේ සෙනසුරාදා විය නොහැකියි. යේසුස් කලින් කර ඇති පරිදි මේ වතාවේදීත් ලාසරුස්ගේ නිවසට ගොස් සිකුරාදා රාත්‍රිය එහි ගත කරනවා විය හැකියි.
එහෙත්, බෙතානියේ තවත් වැසියෙක් සෙනසුරාදා සවස තමා සමඟ කෑම වේලක් ගන්න කියා යේසුස්ටත් ඔහුගේ මිතුරන්ටත් ආරාධනා කරනවා. එම මිනිසා කලින් ලාදුරු රෝගියෙකුව සිටි සීමොන්. ඔහු සමහරවිට යේසුස් සුව කළ කෙනෙක් වෙන්න ඇති. මාර්තා සුපුරුදු පරිදි කඩිසරව අමුත්තන්ට සංග්‍රහ කරමින් සිටිනවා. මරියා වෙනදා වගේම යේසුස්ට අවධානය දෙමිනුයි සිටින්නේ. නමුත් මේ වතාවේදී ඇය මතභේදයකට තුඩු දෙන යමක් කරනවා.
මරියා නියම “ජටාමාංස තෙල්” ග්‍රෑම් 500ක් පමණ අඩංගු වන කුඩා ඇලබැස්ටර් බඳුනක් එනම්, කෙණ්ඩියක් විවෘත කරනවා. මෙය ඉතා වටිනවා. ඇත්තෙන්ම එහි වටිනාකම අවුරුද්දක පමණ වැටුපකට සමානයි! මරියා යේසුස්ගේ හිස හා පාද මත තෙල් වත් කර ඔහුගේ පාද ඇගේ හිසකෙස්වලින් පිස දමන විට මුළු නිවසම තෙල් සුවඳින් පිරී යනවා.
ගෝලයන්ට කේන්ති ගිහින් ඔවුන් මෙසේ අසනවා. “මේ නාස්තිය කරන්නේ මන්ද?” එවිට යූදස් ඉස්කාරියොත්, “මේ සුවඳ තෙල ඩිනාරි තුන්සියයකට විකුණා දිලිඳුන්ට නොදුන්නේ ඇයි” කියා අසනවා. ඒත් යූදස් ඇත්තටම දිලිඳුන් ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මන්ද ඔහු දැනටමත් ගෝලයන්ගේ භාරයේ තිබෙන මුදල් පෙට්ටියෙන් මුදල් සොරකම් කර තිබෙනවා.
යේසුස් මරියාගේ පැත්ත ගෙන කතා කරමින් මෙසේ අවවාද කරනවා. “ඇයට ඉන්න ඉඩහරින්න. ඇයට කරදර කරන්න උත්සාහ කරන්නේ ඇයි? ඇය මාහට විශිෂ්ට ක්‍රියාවක් කළාය. මන්ද, දිලින්දෝ ඔබ සමඟ සැමදාම සිටිති. ඔබට කැමති හැමවිටම ඔවුන්ට යහපත කරන්න ඔබට හැක. නමුත් මම ඔබ සමඟ සැමදාම නොසිටිමි. ඇයට හැකි දේ ඈ කළාය. භූමදාන කිරීම සඳහා මාගේ ශරීරයේ සුවඳ තෙල් වත් කිරීමට ඇය කල් ඇතිව භාරගත්තාය. සැබවින්ම මම ඔබට කියමි, ලොව පුරා ශුභාරංචිය දේශනා කරන හැම තැනකම, මේ ස්ත්රියව සිහි කරන පිණිස ඇය කළ දෙයත් කියනු ලැබේ.”
යේසුස් දැන් පැය 24කට වඩා බෙතානියෙහි ගත කර තිබෙනවා. ඔහු එහි සිටින බව දැන් බොහෝදෙනෙකුට ආරංචි වෙලා. ඒ නිසා, බොහෝදෙනෙක් සීමොන්ගේ නිවසට පැමිණෙනවා යේසුස්ව දැකගැනීමට. ඔවුන් ලාසරුස්ව දකින්න තිබෙන ආශාව නිසාත් එතැනට පැමිණෙනවා. ඉතිං නායක පූජකයන් යේසුස්ව පමණක් නොව ලාසරුස්වත් මරන්න කුමන්ත්‍රණය කරනවා. මීට හේතුව වන්නේ, යේසුස් නැවත නැඟිටෙවූ තැනැත්තා පණ පිටින් ඉන්නවා දැකීමෙන් බොහෝ මනුෂ්‍යයන් යේසුස් කෙරෙහි ඇදහිල්ල තැබීමට පටන්ගෙන තිබෙන නිසයි! ඇත්තෙන්ම, මෙම ආගමික නායකයන් මොන තරම් දුෂ්ටද! යොහන් 11:55–12:11; මතෙව් 26:6-13; මාක් 14:3-9; ක්‍රියා 1:12; NW.
▪ යෙරුසලමේ දේවමාලිගාවේදී පවත්වන සාකච්ඡාව මොකක්ද? ඒ ඇයි?
▪ යේසුස් සෙනසුරාදා වෙනුවට සිකුරාදා බෙතානියට එන්න ඇතැයි අප සිතන්නේ ඇයි?
▪ යේසුස් බෙතානියට පැමිණෙන විට ඔහු බොහෝදුරට සබත් දවස ගත කරන්නේ කොහේද?
▪ මතභේදයකට තුඩු දෙන්නේ මරියාගේ කුමන ක්‍රියාවද? යේසුස් ඇයගේ පැත්ත ගෙන කතා කරන්නේ කොහොමද?
▪ නායක පූජකයන්ගේ මහත් දුෂ්ටකම කුමකින් පැහැදිලි වේද?