132වෙනි පරිච්ඡේදය
දෙවිගේ දකුණු පැත්තේ සිට
පෙන්තකොස්ත දවසේදී ශුද්ධාත්මය වැගිරවීම, යේසුස් ආපසු ස්වර්ගයට ගොස් ඇති බවට සාක්ෂියක් වුණා. ඒ වගේම, ඉන් ටික කලකට පසුව ක්‍රිස්තුස්ගේ ගෝලයෙකු වන ස්තේපන්ට දකින්න ලැබුණ දර්ශනය මගිනුත් යේසුස් ස්වර්ගයෙහි සිටින බව තහවුරු වුණා. ස්තේපන් අත්නෑර විශ්වාසවන්තව සාක්ෂි දැරූ නිසා ඔහුට ගල් ගසා මරා දැමුවා. ඒත් මෙය සිදුවීමට මොහොතකට පෙර ඔහු මෙසේ ප්‍රකාශ කළා. “බලන්න! අහස විවර වී, මනුෂ්‍ය පුත්‍රයා දෙවිගේ දකුණු පැත්තේ සිටගෙන සිටිනවා මට පෙනේ.”
යේසුස් දෙවිගේ දකුණු පැත්තේ සිට බලා සිටින්නේ “ඔබගේ සතුරන් මැද ආණ්ඩු කරන්න” යන ආඥාව දෙවිගෙන් ලැබෙන තුරුයි. නමුත් යේසුස් තම සතුරන්ට එරෙහිව පියවර ගන්න කාලය එළඹෙන තුරු ඔහු කරන්නේ කුමක්ද? ඔහු තම අභිෂේක ලත් ගෝලයන් කෙරෙහි ආණ්ඩු කරනවා. යේසුස් මෙය කරන්නේ දේශනා කිරීමේ කාර්යය සඳහා ඔවුන්ට නිසි මඟ පෙන්වීම සැපයීමෙන් හා ඔහුගේ පියාගේ රාජ්‍යයෙහි තමා සමඟ හවුල් රජවරුන් වීම සඳහා ඔවුන්ව සූදානම් කිරීමෙනුයි. ඔවුන් එම රාජ්‍යයට ඇතුල් වන්නේ නැවත නැඟිටුවනු ලැබීමෙන් අනතුරුවයි.
උදාහරණයක් වශයෙන්, වෙනත් දේශවල ගෝලයන් සෑදීමේ කාර්යයෙහි මූලිකත්වය ගෙන කටයුතු කිරීම සඳහා යේසුස් තෝරාගන්නේ (පසු කලෙක තම රෝමානු නම වන පාවුල් ලෙස ප්‍රසිද්ධ වූ) සාවුල්වයි. සාවුල්ට දෙවිගේ නීතිය ක්‍රියාත්මක කිරීම උදෙසා ජ්වලිතයක් තිබුණත් යුදෙව් ආගමික නායකයන් ඔහුව නොමඟ යවා තිබෙනවා. මේ නිසා, ස්තේපන්ව මරා දැමීම ගැන ඔහු සතුටු වෙනවා පමණක් නොව, ඔහු උත්තම පූජක කායෆස්ගේ අනුදැනුම ඇතුව දමස්කය බලා පිටත් වන්නේ යේසුස්ව අනුකරණය කරන ඕනෑම පුරුෂයෙකුව හෝ ස්ත්‍රියකව අත්අඩංගුවට ගෙන යෙරුසලමට රැගෙන ඒම සඳහායි. එහෙත්, ගමන යන අතරතුරේදී සාවුල් වටා දීප්තිමත් එළියක් බැබළෙන අතර ඔහු බිමට වැටෙනවා.
“සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ ඇයි” කියා අසන හඬක් ඔහුට ඇසෙනවා. නමුත් එය පැමිණෙන්නේ කොතැනින්ද කියා ඔහු දන්නේ නැහැ. එවිට සාවුල් අසන්නේ, “ස්වාමිනි, ඔබ කවුද” කියායි.
“මම, ඔබ පීඩා කරන යේසුස්ය” යනුවෙන් ඔහුට පිළිතුරක් ලැබෙනවා.
ආශ්චර්යවත් ලෙස බැබළෙන ආලෝකය මගින් අන්ධ වී සිටින සාවුල්ට යේසුස් අණ කරන්නේ දමස්කයට ගොස් ඔහුට උපදෙස් ලැබෙන තුරු එහි රැඳී සිටින්න කියායි. ඊළඟට, යේසුස් තම ගෝලයෙකු වන අනනියස්ට දර්ශනයකින් පෙනී සිට සාවුල් පිළිබඳව මෙසේ පවසනවා. “මේ මිනිසා, මාගේ නාමය ජාතීන් වෙතටත් රජුන් වෙතටත් ඊශ්‍රායෙල් පුත්‍රයන් වෙතටත් ගෙන යෑමට මා උදෙසා තෝරාගත් භාජනයකි.”
දැන් යේසුස්ගේ උපකාරය ඇතුව, (පාවුල් වශයෙන් ප්‍රසිද්ධ වන) සාවුල් දේශනා කිරීම හා ඉගැන්වීම නමැති තම කාර්යය ඉටු කරමින් ඉතා හොඳ ප්‍රතිඵල නෙළාගන්නවා. වෙනත් එවැන්ජලිස්තවරුන්ද එවැනිම සාර්ථකත්වයක් අද්දකිනවා. ඇත්තෙන්ම, දමස්කයට යන මඟෙහි යේසුස්ව පෙනී සිටීමෙන් වසර 25කට පමණ පසුව පාවුල් ලීවේ, “ශුභාරංචිය” “අහසින් යට මුළු මැවිල්ලෙහි දේශනා කළා” කියායි.
තවත් වසර ගණනාවක් ගතවීමෙන් අනතුරුව, යේසුස් තම ප්‍රේමණීය ප්‍රේරිතයා වන යොහන්ට දර්ශන කිහිපයක් පෙන්වනවා. බයිබලයේ එළිදරව් පොතෙහි තමා විස්තර කරන මෙම දර්ශන මගින් යොහන් තම මරණයට පෙර රාජ්‍යය බලයෙන් යුක්තව යේසුස් පැමිණ සිටින කාලය දුටුවායයි පැවසිය හැකියි. යොහන් පවසන පරිදි, “ස්වාමීන්ගේ දවසට [තමාව] ආත්මයෙන් ගෙන යන ලදි.” මෙම “දවස” කුමක්ද?
අන්තිම දවස් පිළිබඳ යේසුස්ගේම අනාවැකිය ඇතුළු අනිකුත් බයිබල් අනාවැකි හොඳින් අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි වන්නේ “ස්වාමීන්ගේ දවස” ඉතිහාසයේ නව පිටුවක් පෙරළූ 1914 වසරේදී ආරම්භ වූ බවයි. ඉතිං, යේසුස් යළි පැමිණියේ 1914දීයි. එසේ පැමිණියේ විශාල ජනකායක් ඉදිරියේ උත්සවශ්‍රීයෙන් නොව අදෘශ්‍යමානවයි. ඔහු යළි පැමිණ සිටින බව අවබෝධ කරගත්තේ ඔහුගේ විශ්වාසවන්ත සේවකයන් පමණයි. එම වසරේදී යේසුස්ට තමාගේ සතුරන් මැද ආණ්ඩු කරන්න කියා යෙහෝවා අණ කළා!
යේසුස් තම පියාගේ අණට කීකරු වී, සාතන්වත් ඔහුගේ භූතයන්වත් පොළොවට හෙළමින් ස්වර්ගය පිරිසිදු කළා. මෙම සිද්ධිය දර්ශනයකින් දුටු පසුව යොහන්ට ස්වර්ගයෙන් මෙසේ කියන හඬක් ඇසෙනවා. “දැන් අපේ දෙවිගේ ගැලවීමද බලයද රාජ්‍යයද ඔහුගේ ක්‍රිස්තුස්ගේ අධිකාරියද පැමිණ තිබේ.” ක්‍රිස්තුස් 1914දී රජු වශයෙන් ආණ්ඩු කිරීමට පටන්ගත් බවට කිසිම සැකයක් නැහැ!
ස්වර්ගයෙහි යෙහෝවාගේ නමස්කාරයෙහි හවුල් වන අයට මෙය මොන තරම් ශුභ ආරංචියක්ද! “මේ නිසා ස්වර්ගයෙනි, එහි වාසය කරන්නෙනි, ප්‍රීති වන්න” යනුවෙන් ඔවුන්ට දිරිගන්වනවා. එහෙත් පොළොවෙහි සිටින අයගේ තත්වය කුමක්ද? ස්වර්ගයෙන් නික්මෙන හඬ තවදුරටත් මෙසේ විස්තර කරනවා. “පොළොවටත් මුහුදටත් දුක් වේ. මන්ද යක්ෂයා, තමාට ඇත්තේ කෙටි කාල පරිච්ඡේදයක් බව දැන, ඔහු මහත් කෝපයෙන් ඔබ වෙතට බැස ඇවිත් සිටින්නේය.”
අප දැන් ජීවත් වන්නේ එම කෙටි කාල පරිච්ඡේදය තුළයි. තමන් සුදුසු වන්නේ දෙවිගේ නව ලෝකය තුළ ජීවත් වීමටද නැත්නම් විනාශ වීමටද කියා අද ජීවත් වන මිනිසුන් ඔවුන්ගේ ක්‍රියාවලින් පෙන්නුම් කරමින් සිටිනවා. ඇත්තෙන්ම ඔබේ අනාගතය තීරණය වන්නේ, ක්‍රිස්තුස්ගේ මඟ පෙන්වීම යටතේ පොළොව පුරා දේශනා කරනු ලබන දෙවිගේ රාජ්‍යයේ ශුභාරංචියට ඔබ දක්වන ප්‍රතිචාරය අනුවයි.
සාතන්ගේ සමාජ ක්‍රමය හා ඊට අනුබල දෙන සියලුදෙනාවම මුළුමනින්ම විනාශ කිරීමට දෙවිගේ නියෝජිතයා වශයෙන් කටයුතු කරනු ඇත්තේ යේසුස් ක්‍රිස්තුස්. යේසුස් මෙසේ දුෂ්ටකම අතුගා දමනු ඇත්තේ බයිබලයෙහි හඳුන්වා ඇති පරිදි හර්–මගෙදොන් යුද්ධයේදී හෙවත් අර්මගෙදොන් යුද්ධයේදීයි. ඉන් අනතුරුව, මුළු විශ්වයේ යෙහෝවා දෙවිට පමණක් දෙවැනිව සිටින ශ්‍රේෂ්ඨතම තැනැත්තා වන යේසුස් සාතන්ව හා ඔහුගේ භූතයන්ව අල්ලා, ඔවුන්ව අවුරුදු දහසකට බැඳ තබා ‘ආගාධයකට’ (එනම් මරණය බඳු අක්‍රියාශීලී තත්වයකට) දමනවා. ක්‍රියා 7:55-60; 8:1-3; 9:1-19; 16:6-10; NW; ගීතාවලිය 110:1, 2; හෙබ්‍රෙව් 10:12, 13, NW; 1 පේතෘස් 3:22; ලූක් 22:28-30; කොලොස්සි 1:13, 23; එළිදරව් 1:1, 10; 12:7-12; 16:14-16; 20:1-3; මතෙව් 24:14; NW.
▪ යේසුස් ස්වර්ගයට නැඟුණු පසු සිටින්නේ කොතැනද? ඔහු බලා සිටින්නේ කුමක් සිදු වන තෙක්ද?
▪ යේසුස් ස්වර්ගයට නැඟ යෑමෙන් අනතුරුව පාලනය කරන්නේ කවුරුන්වද? ඔහු එසේ පාලනය කරන බව පැහැදිලි වන්නේ කුමකින්ද?
▪ “ස්වාමීන්ගේ දවස” ආරම්භ වූයේ කවදාද? එහි ආරම්භයේදී සිදු වූයේ කුමක්ද?
▪ අද දින කරගෙන යන දේශනා කිරීමේ කාර්යය අප සියලුදෙනාටම පෞද්ගලිකව බලපාන්නේ කෙසේද?
▪ මෙම දේශනා කිරීමේ කාර්යය නිම වූ පසු සිදු වනු ඇත්තේ කුමක්ද?