ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • dg 3 කොටස 4-9 පි.
  • දෙවි කෙනෙකු සිටින බවට සාක්ෂි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවි කෙනෙකු සිටින බවට සාක්ෂි
  • අප ගැන සලකන දෙවි කෙනෙක් සිටිනවාද?
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අරුම පුදුම විශ්වය
  • මිහිමඬලේ අසිරිය
  • විස්මිත ජීව සෛලය
  • විස්මිත මිනිස් මොළය
  • අද්විතීය රුධිර සංසරණ පද්ධතිය
  • තවත් අරුමයන්
  • අතිශ්‍රේෂ්ඨ නිර්මාණකරු
  • නිර්මාණය කර තිබෙන්නේ සදාකල් ජීවත්වීමටය
    1996 පිබිදෙව්!
  • ඕනෑම ආකාරයක සෛලයක් ඇත්තෙන්ම සරලද?
    ජීවයේ ආරම්භය වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු
  • නොපෙනෙන දේ දැකීමෙන් අනාවරණය වන්නේ කුමක්ද?
    2000 පිබිදෙව්!
  • නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියලා විශ්වාසයි
    2014 පිබිදෙව්!
තව තොරතුරු
අප ගැන සලකන දෙවි කෙනෙක් සිටිනවාද?
dg 3 කොටස 4-9 පි.

3වන කොටස

දෙවි කෙනෙකු සිටින බවට සාක්ෂි

1, 2. දෙවි කෙනෙකු සිටින බව තේරුම්ගැනීමට අපට උපකාරවත් වෙන්නේ කුමක්ද?

ඕනෑම නිර්මාණයක් බිහි වීමට නිර්මාණකරුවෙකු සිටිය යුතුයි. යම් නිර්මාණයක් සංකීර්ණ වන තරමටම ඉන් පැහැදිලි වන්නේ එහි නිර්මාණකරු ඉතා දක්ෂ කෙනෙකු බවයි. ඒ ගැන හොඳින් සලකා බලන විට දෙවි කෙනෙකු සිටින බව සැක කිරීමට අවශ්‍ය වන්නේ නැහැ.

2 උදාහරණයකට ඔබගේ නිවසේ තිබෙන භාණ්ඩ ගැන සිතන්න. මේස, පුටු, බංකු, ඇඳන් සහ පිඟන් වැනි මේ සෑම දෙයක්ම ඔබේ නිවසේ තිබෙන්නේ යම් කෙනෙක් ඒවා නිර්මාණය කළ නිසයි. එවැනි සරල දේවල් නිර්මාණය කිරීම සඳහා යම් කෙනෙක් සිටිය යුතු නම් අප අවට පරිසරයේ ඇති සංකීර්ණ දේවල් නිර්මාණය කිරීම සඳහා ඊටත් වඩා බුද්ධිමත් නිර්මාණකරුවෙකු සිටිය යුතු නැද්ද?

අරුම පුදුම විශ්වය

3, 4. මේ විශ්වය ගැන සිතන විට දෙවි කෙනෙකු සිටින බව ඔප්පු වෙන්නේ කොහොමද?

3 අපගේ සෞර ග්‍රහ මණ්ඩලයේ තිබෙන ග්‍රහයන් නියමිත කාලයට අනුව ඉතා නිවැරදිව සූර්යයා වටා ගමන් කරනවා. මොහොතකට අපේ පෘථිවිය පිහිටා තිබෙන ක්ෂීරපථ මන්දාකිණිය ගැන සිතන්න. එහි තාරකා ප්‍රකෝටි සියයකට (10,00,00,00,00,00,000) වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනවා. සමහරවිට පැහැදිලි අහසක් තිබෙන රාත්‍රියක තාරකා අති විශාල ප්‍රමාණයක් දැකීමෙන් ඔබ පුදුමයට පත් වෙලා ඇති. ඇත්තෙන්ම එතරම් තාරකා සංඛ්‍යාවක් තිබෙන තවත් මන්දාකිණි ප්‍රකෝටි ගණනක් විශ්වයේ පිහිටා තිබෙනවා. ඒවායේ ක්‍රියාකාරිත්වය දිනපතාම ඉතා නිවැරදිව සිදු වෙනවා. ඒවා කාලය මැනගැනීම සඳහා යොදාගන්නේ ඒ නිසයි.

4 ඔරලෝසුවක් සෑදීමට කාර්මිකයෙකු සිටිය යුතු නම් එම ඔරලෝසුවට වඩා ඉතා සංකීර්ණ මෙන්ම පුදුම දනවන මේ විශ්වය නිර්මාණය කිරීමටත් යම් කිසි කෙනෙක් සිටිය යුතුයි. බයිබලයේ මෙසේ සඳහන් වෙන්නේ ඒ නිසයි. “අහස දෙස බලන්න. මේ සියල්ල නිර්මාණය කළේ කවුද? තාරකා සේනාවක් මෙන් කැඳවන්නාවූ තැනැත්තාණන්ය. ඔහු ඒ සියල්ල ගණන් කර නම් වශයෙන් හඳුන්වන්නේය. ඔහු සතු අතිමහත් බලය හා ශක්තිය නිසා ඉන් එකක්වත් නැති නොවෙයි.” (යෙසායා 40:26) ඒ අනුව මේ විශ්වය නිර්මාණය කර තිබෙන්නේ අති මහත් බලයක් සතු ඉතා බුද්ධිමත් නිර්මාණකරුවෙක් විසිනුයි. ඒ වෙන කිසිවෙකුවත් නොව යෙහෝවා දෙවියි.

මිහිමඬලේ අසිරිය

5-7. පෘථිවියට නිර්මාණකරුවෙක් සිටින බව පැහැදිලි වෙන්නේ කුමන සාධකවලින්ද?

5 පෘථිවිය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරන විට විද්‍යාඥයන්ට පැහැදිලි වෙන්නේ එය මනුෂ්‍ය වාසය සඳහා ඉතා යෝග්‍ය ආකාරයකින් නිර්මාණය කර තිබෙන බවයි. උදාහරණයකට පෘථිවිය සූර්යයාගේ සිට නිසි දුර ප්‍රමාණයකින් පිහිටා තිබෙන නිසා ඊට ආලෝකය හා තාපය නිසි ප්‍රමාණයෙන් ලැබෙනවා. සුර්යයා වටා ගමන් කිරීමට පෘථිවියට වසරක් ගත වන අතර පෘථිවිය ඇලයට පිහිටා තිබෙන නිසා ඍතු ඇති වෙනවා. එමෙන්ම නිශ්චිත කාල සීමාවක් තුළ ආලෝකය සහ අන්ධකාරය ඇති වෙන්නේ පෘථිවිය සෑම පැය 24කට වරක් තමා වටා කැරකෙන නිසයි. ඒ වගේම අපට හුස්ම ගැනීමටත් අභ්‍යවකාශයේ තිබෙන අහිතකර කිරණවලින් ආරක්ෂාව සැලසීමටත් හැකි වන ලෙස පෘථිවිය වායුගෝලයකින්ද වට වී තිබෙනවා. ඊට අමතරව බෝග වගා කිරීමට අත්‍යවශ්‍ය වූ ජලය සහ පසද පෘථිවියේ තිබෙනවා.

6 ඉහත සඳහන් කළ කරුණු සියල්ල සහ වෙනත් සාධක නිසි ආකාරයකින් ක්‍රියාත්මක වන නිසා පෘථිවිය මත ජීවීන්ට හිතකර පරිසරයක් බිහි වී තිබෙනවා. නමුත් ඒ සියල්ල අහම්බෙන් ඇති වුණාද? එම ප්‍රශ්නයට පිළිතුර එක් සඟරාවක මෙසේ සඳහන් වුණා. “ජීවීන්ගේ පැවැත්මට මෙතරම් හිතකර වූ යෝග්‍ය වූ පරිසරයක් ඉබේම ඇති වුණා කියා සිතිය නොහැකියි.” ඉන් පැහැදිලි වෙන්නේ ඉතා දක්ෂ නිර්මාණකරුවෙක් යම් අරමුණක් ඇතුව මේ පෘථිවිය නිර්මාණය කර තිබෙන බවයි.—එම සඟරාව Science News.

7 ඔබ ඉතා අලංකාර නිවසකට ගියා යැයි සිතන්න. එම නිවසේ ඉතා ප්‍රණීත ආහාර ඇති තරම් තිබෙනවා. එමෙන්ම සිසිලසක් ලබාගැනීම සඳහා එම නිවස වායු සමනය කර තිබෙන අතර එහි ජල නළ පහසුකම්ද තිබෙනවා. ඒ නිවස ගැන ඔබට සිතෙන්නේ කුමක්ද? ඒ නිවසත් එහි ඇති සියල්ලත් ඉබේ ඇති වුණා කියා සිතිය හැකිද? බැහැ. ඒ වෙනුවට ඉතා බුද්ධිමත් කෙනෙක් හොඳින් සිතා බලා එය නිර්මාණය කළ බව ඔබ පිළිගන්නවාට කිසිම සැකයක් නැහැ. එසේනම් ජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය සියලුදෙයින් සපිරි මේ පෘථිවිය ගැන පැවසිය හැක්කේ කුමක්ද? ඇත්තෙන්ම පෘථිවිය ඉතා බුද්ධිමත් කෙනෙකුගේ නිර්මාණයක් බව පැහැදිලියි. කිසිම සුඛෝපභෝගි සුවිසල් මන්දිරයක් එයට සමාන කරන්න බැහැ.

8. දෙවි ඉතා ප්‍රේමණීය මෙන්ම සැලකිලිමත් කෙනෙක් බව පැහැදිලි වෙන්නේ කෙසේද?

8 අපේ ජීවිතයට අත්‍යවශ්‍ය වූ දේවල් පමණක් නොව අපට ඉමහත් සතුටක් ගෙන දෙන දේවලිනුත් පෘථිවිය පිරී තිබෙනවා. මොහොතකට විවිධ පාටවලින් හා සුවඳින් යුත් මල්, විවිධ රසවලින් යුත් ප්‍රණීත ආහාර වර්ග, අලංකාර වනාන්තර, කඳු සහ විල් ගැන සිතන්න. එමෙන්ම හිරු බැස යත්ම විවිධ වර්ණවලින් අලංකාරවත් වන සැන්දෑ අහස නැරඹීමෙන් අප කොතරම් ආස්වාදයක් ලබනවාද! බලු පැටවුන් හෝ පූස් පැටවුන් සෙල්ලම් කරන ආකාරය දෙස බලා සිටීමෙන් අප ලබන්නේ ඉමහත් සතුටක්. ඒ සියල්ලෙන් පැහැදිලි වන්නේ පෘථිවියේ නිර්මාතෘ ඉතාමත් ප්‍රේමණීය මෙන්ම සැලකිලිමත් කෙනෙක් බවයි.

9. පොළොව නිර්මාණය කළේ කවුද? ඔහු එසේ කළේ ඇයි?

9 “අහසත් පොළොවත් නිර්මාණය කළේ” යෙහෝවා දෙවි බව බයිබලයේ පැහැදිලිව සඳහන් වෙනවා. කොහොමවුණත් දෙවි ඒ සියල්ල නිර්මාණය කළේ ඇයි? ඊට බයිබලයේ සඳහන් මේ දෙයින් පිළිතුර ලබාගත හැකියි. ‘ඔහු පොළොව නිර්මාණය කර එය ස්ථිර ලෙස පිහිටෙව්වේය. ඔහු පොළොව සෑදුවේ හිස්, පාළු ස්ථානයක් වීමට නොව, මිනිසුන්ගේ වාසය සඳහාය.’—යෙසායා 37:16; 45:18.

විස්මිත ජීව සෛලය

10, 11. ජීව සෛලය කොතරම් පුදුම දනවන නිර්මාණයක්ද?

10 පෘථිවියේ සිටින ජීවීන් ගැන මදකට සිතන්න. ඒ ජීවීන්ව නිර්මාණය කිරීමට කිසිවෙකු සිටිය යුතු නැද්ද? උදාහරණයකට ජීව සෛලයක් පිළිබඳව සලකා බලන්න. ජීව විද්‍යාඥයෙකු වන මයිකල් ඩෙන්ටන් ඔහු ලියූ පොතක මෙවැනි දෙයක් සඳහන් කර තිබෙනවා. “වෙනත් ජීවීන් හා සසඳන විට බැක්ටීරියා සෛලය ඉතා සරලයි. නමුත් ඒවා නිර්මාණය වී තිබෙන්නේ ඉතාමත් සංකීර්ණ ආකාරයකටයි. ඇතැම් බැක්ටීරියා සෛල අතිශයින් කුඩායි. නමුත් ඒවා මනා ලෙස සංවිධානය කර තිබෙන කුඩා යන්ත්‍ර දහස් ගණනකින් යුත් කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වන කර්මාන්ත ශාලාවකට සමාන කළ හැකියි. ඇත්තෙන්ම මිනිසුන් නිර්මාණය කර තිබෙන කිසිම යන්ත්‍රයක් ඊට සමාන කරන්න බැහැ.”—Evolution: A Theory in Crisis.

11 සෑම සෛලයකම ගබඩා වී ඇති දත්ත සම්බන්ධයෙන් මයිකල් ඩෙන්ටන් තවදුරටත් මෙසේ සඳහන් කර තිබුණා. “සෛලයක ඇති DNA කියා හඳුන්වන කොටස තුළ ගබඩා කළ හැකි තොරතුරු සම්භාරය කොතරම්ද කිවහොත් වෙනත් කිසිම තොරතුරු ගබඩා පද්ධතියක් එයට සම කරන්න බැහැ. තොරතුරු ගබඩා කිරීමට භාවිත කර ඇති ක්‍රමය කොතරම් කාර්යක්ෂමද කියනවා නම් මිනිසෙකු වැනි ඉතා සංකීර්ණ ජීවියෙකු පිළිබඳ එහි ඇති සියලුම තොරතුරුවල බර ග්‍රෑමයකිනුත් දසලක්ෂ ගණනකින් ඉතා සුළු ප්‍රමාණයක් පමණයි. සෛලවල දක්නට ලැබෙන සංකීර්ණත්වය හා කාර්යක්ෂමතාව දෙස බලන විට මිනිසා නිෂ්පාදනය කර ඇති ඉතාමත් දියුණු යන්ත්‍ර සූත්‍ර කොතරම් නොදියුණුද කියා අපට සිතෙනවා. එමෙන්ම අපගේ දැනුම කොතරම් අල්පද කියාත් අපට හැඟෙනවා.”

12. සෛලය බිහි වූ ආකාරය ගැන මයිකල් ඩෙන්ටන් නම් විද්‍යාඥයා පැවසුවේ කුමක්ද?

12 ඩෙන්ටන් තවදුරටත් මෙසේද සඳහන් කර තිබෙනවා. “සෛල අතර ඇති සරලතම සෛලය වුණත් ඉතා සංකීර්ණ නිසා එය අහම්බෙන් බිහි වුණා කියා කොහෙත්ම පිළිගන්න බැහැ.” මින් පැහැදිලි වෙන්නේ සෛලය නිර්මාණය කිරීමට යම් කෙනෙක් සිටිය යුතු බවයි.

විස්මිත මිනිස් මොළය

13, 14. මොළය පුදුමදනවන නිර්මාණයක් වෙන්නේ ඇයි?

13 මයිකල් ඩෙන්ටන් මෙසේද සඳහන් කර තිබෙනවා. “ජීව සෛලයක් කොතරම් සංකීර්ණ වුණත් ක්ෂීරපායී සත්වයෙකුගේ මොළය ඊටත් වඩා සංකීර්ණයි. උදාහරණයකට මිනිසෙකුගේ මොළය ගැන සලකා බලන්න. මිනිස් මොළයේ ස්නායු සෛල කෝටි දහසක් පමණ තිබෙනවා. මේ සෑම ස්නායු සෛලයකින්ම සම්බන්ධක නාලිකා දස දහසත් ලක්ෂයත් අතර ප්‍රමාණයක් දක්වා විහිදෙනවා. එමෙන්ම ඒ සම්බන්ධක නාලිකා මොළයේ අනිකුත් ස්නායු සෛල සමඟ සම්බන්ධ වෙනවා. ඒ අනුව බලන විට මිනිස් මොළයේ තිබෙන සම්බන්ධක ගණන ප්‍රකෝටි දහසක් පමණ වෙනවා.”

14 ඩෙන්ටන් තවදුරටත් මෙසේද සඳහන් කර තිබෙනවා. “මොළයේ ඇති සම්බන්ධකවලින් සියයට එකක් ගෙන යම් සන්නිවේදන පද්ධතියක් සෑදුවොත් පොළොවේ තිබෙන සියලුම සන්නිවේදන පද්ධතීන්වලට වඩා අතිශයින් විශාල පද්ධතියක් නිර්මාණය වේවි.” ඊළඟට ඔහු මෙවැනි ප්‍රශ්නයක් අසා තිබෙනවා. “මෙතරම් සංකීර්ණ සම්බන්ධක පද්ධතියක් අහම්බෙන් බිහි වුණා කියා සිතීම සාධාරණද?” පිළිතුර පැහැදිලියි. ඒ සියල්ලෙන් පෙනී යන්නේ මොළය නිර්මාණය කිරීමට බුද්ධිමත් නිර්මාණකරුවෙක් සිටිය යුතු බවයි.

15. මොළය පිළිබඳව විවිධ අය ඉදිරිපත් කරන අදහස් මොනවාද?

15 මිනිස් මොළය හා සසඳන විට ඉහළම තාක්ෂණයෙන් යුත් පරිගණක පවා නොදියුණු තත්වයක තිබෙනවා කියා පැවසිය හැකියි. ඒ පිළිබඳව මෝටන් හන්ට් නම් ලේඛකයා මෙවැනි දෙයක් පැවසුවා. “පර්යේෂණ සඳහා භාවිත කරන විශාල පරිගණකවලට වඩා තොරතුරු රැස් කිරීමට මිනිස් මොළයට තිබෙන හැකියාව කෝටි ගණනකින් වැඩියි.” එමෙන්ම මොළය හා සම්බන්ධ ශල්‍යකර්ම සිදු කරන වෛද්‍ය රොබට් ජේ. වයිට් මෙවැනි නිගමනයට පැමිණ තිබෙනවා. “මිනිස් මොළයේ හා මනසේ පුදුමාකාර ක්‍රියාකාරිත්වය ගැන සලකා බලන විට එය බුද්ධිමත් ලෙස නිර්මාණය කර තිබෙන බව පැහැදිලි වෙනවා. ඇත්තෙන්ම එහි ක්‍රියාකාරිත්වය අපට සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න බැහැ. ඒ නිසා මේ සෑම දෙයක්ම යම් බුද්ධිමත් නිර්මාණකරුවෙකු විසින් නිර්මාණය කළ බව මට පිළිගන්න සිදු වෙනවා.” ඒ නිර්මාණකරු කොතරම් සැලකිලිමත් කෙනෙක්ද කියා ඔහුගේ නිර්මාණ තුළින් පැහැදිලියි.

අද්විතීය රුධිර සංසරණ පද්ධතිය

16-18. (අ) රුධිර සංසරණ පද්ධතිය අද්විතීය වන්නේ කවර ආකාරවලින්ද? (ආ) අප එළඹිය යුතු නිගමනය කුමක්ද?

16 පෝෂ්‍ය පදාර්ථ සහ ඔක්සිජන් අපගේ සිරුර පුරාම ගෙන යමින්, විෂබීජවලින් සිරුර ආරක්ෂා කරන අපගේ රුධිර සංසරණ පද්ධතිය ගැන අපි දැන් සලකා බලමු. මෙම පද්ධතියේ ප්‍රධානම සෛල වර්ගයක් වන රතු රුධිරාණු ගැන එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “එක ලේ බිඳක රතු රුධිරාණු සෛල කෝටි 25කට වඩා තිබෙනවා. ඒ අනුව මුළු සිරුරේම ගලා යන ලේවල රතු රුධිරාණු සෛල ප්‍රකෝටි 25ක් පමණ තිබෙනවා. මෙම රුධිර සෛල බිම අතුරනු ලැබුවොත් වොලිබෝල් පිටි හයක් පමණ වැසිය හැකියි. සාමාන්‍යයෙන් සෑම තත්පරයකටම අලුත් රුධිර සෛල මිලියන තුනක් නිපදවනු ලබනවා.”—ABC’s of the Human Body.

17 රුධිර සංසරණ පද්ධතියට අයත් තවත් වැදගත් සෛල වර්ගයක් වන්නේ සුදු රුධිරාණු සෛලයි. ඒ ගැන ඉහත සඳහන් පොතෙහි මෙසේ දැක්වෙනවා. “රතු රුධිරාණු සෛල තිබෙන්නේ එක වර්ගයක් පමණයි. නමුත් සුදු රුධිරාණු සෛල වර්ග කිහිපයක්ම තිබෙනවා. සිරුර ආක්‍රමණය කරන විවිධ විෂබීජවලට එරෙහිව ඒ සෑම සෛල වර්ගයක්ම සටන් කරනවා. නිදසුනකට එක් වර්ගයක් කුණු වූ සෛල ඉවත් කරන අතර තවත් වර්ගයක් වයිරසවලට විරුද්ධව ප්‍රතිදේහ නිපදවනවා. එමෙන්ම තවත් වර්ගයක් සිරුරට අහිතකර විවිධ ද්‍රව්‍යවල විෂ නැති කර දමන අතර බැක්ටීරියා වැනි විෂබීජ ගිල දමනවා.”

18 රුධිර සංසරණ පද්ධතිය ඇත්තෙන්ම අද්විතීය නිර්මාණයක්. මෙතරම් ආරක්ෂාවක් සපයන මනා අයුරින් නිර්මාණය කර තිබෙන රුධිර සංසරණ පද්ධතිය ඉතා බුද්ධිමත්, සැලකිලිමත් කෙනෙකුගේ නිර්මාණයක් විය යුතුයි. ඒ නිර්මාණකරු වෙන කිසිවෙකුවත් නොව යෙහෝවා දෙවියි.

තවත් අරුමයන්

19. මිනිසා නිර්මාණය කර ඇති දේවලට වඩා ඇස කොතරම් අද්විතීයද?

19 මිනිස් සිරුරේ පුදුම දනවන ඉන්ද්‍රියයන් බොහොමයක් තිබෙනවා. කිසිම කැමරාවකට සම කළ නොහැකි ඇස ඉන් එකක්. තාරකා විද්‍යාඥයෙකු වන රොබට් ජැස්ත්‍රෝ ඒ පිළිබඳව මෙවැනි දෙයක් පැවසුවා. “ඇස මනා ලෙස නිර්මාණය කරන ලද්දක් බව පැහැදිලියි. එය නිර්මාණය කර තිබෙන්නේ හොඳම දුරේක්ෂවලටත් වඩා සුවිශේෂී ආකාරයකිනුයි.” ඡායාරූප ශිල්පය පිළිබඳව තොරතුරු පළ කරන සඟරාවකද මෙසේ සඳහන් වී තිබුණා. “ඡායාරූපයකට ගත හැකි තොරතුරු ප්‍රමාණයට වඩා අතිවිශාල තොරතුරු සම්භාරයක් දැකගැනීමට මිනිස් ඇසට හැකියාව තිබෙනවා. ඇසට ත්‍රිමාන රූප පෙනෙන අතර එහි දෘෂ්ටියට පුළුල් පරාසයක් ආවරණය කළ හැකියි. ඊට අමතරව චලනය වන රූප පවා ඉතා පැහැදිලිව දැකගත හැකියි. ඒ අනුව මිනිසාගේ ඇස කැමරාවකට සමාන කිරීම කොහෙත්ම සාධාරණ නැහැ. මිනිසා නිර්මාණය කර ඇති දියුණුම පරිගණකයට හෝ කැමරාවකට වඩා වේගයෙන් තොරතුරු ලබාගැනීමටත් එම තොරතුරුවල අර්ථය තෝරා දීමටත් ඇසට හැකියාව තිබෙනවා. ඇත්තෙන්ම මිනිස් ඇසකට කළ හැකි දේවල් දියුණුම පරිගණකයකට හෝ කැමරාවකට කළ නොහැකියි.”—Popular Photography.

20. මිනිස් සිරුරේ අරුමයන් කිහිපයක් නම් කරන්න.

20 අපේ සිරුරේ තිබෙන සංකීර්ණ ඉන්ද්‍රියයන් සහයෝගයෙන් ක්‍රියා කරන ආකාරයද පුදුමදනවනසුලුයි. උදාහරණයකට අප ගන්නා ආහාර පාන ගැන සලකා බලන්න. අපි නොයෙක් වර්ගයේ ආහාර පාන ගත්තත් ඒ සියල්ල ජීරණය කර එයින් අපට අවශ්‍ය ශක්තිය නිපදවීමට සිරුරට හැකියි. ඒ කාර්යය ඉටු කිරීම සඳහා අපේ සිරුරේ තිබෙන සංකීර්ණ ඉන්ද්‍රියයන් ක්‍රියාත්මක වෙන ආකාරය අපට දැනෙන්නේවත් නැහැ. නමුත් යන්ත්‍රයකට එවැනි දෙයක් කළ හැකිද? උදාහරණයකට අපි වාහනයකට නොයෙක් වර්ගයේ ඉන්ධන පිරෙව්වොත් කුමක් සිදු වෙයිද? පිළිතුර පැහැදිලියි. මොහොතකට හුරුබුහුටි ළදරුවෙකු මෙලොව එළිය දකින ආකාරය ගැනද සිතා බලන්න. එය මොන තරම් පුදුමදනවන දෙයක්ද! මාස නවයක් වැනි කෙටි කාලයකින් බිහිවන ඒ ළදරුවා අවුරුදු කිහිපයක් ඇතුළත යම් භාෂාවකින් තම අදහස් ප්‍රකාශ කරන්න ඉගෙනගන්නා ආකාරයත් කොතරම් විශ්මයජනකද!

21. මිනිස් සිරුරේ පුදුමාකාර ක්‍රියාකාරිත්වය අවබෝධ කරගෙන සිටින අය පැමිණ තිබෙන නිගමනය කුමක්ද?

21 මිනිස් සිරුරේ ක්‍රියාකාරිත්වය ඉතා පුදුමසහගතයි. ඇත්තෙන්ම එය අහම්බෙන් බිහි වූවා කියා පවසන්න කිසිම පදනමක් නැහැ. මිනිස් සිරුර කොතරම් සංකීර්ණයිද කියනවා නම් ඒ හා සමානව ක්‍රියා කරන යන්ත්‍රයක් නිපදවීමට කිසිම ඉන්ජිනේරුවෙකුට හැකියාවක් නැහැ. මිනිස් සිරුර පුදුමසහගත ලෙස නිර්මාණය කර තිබෙන ආකාරය දැකීමෙන් අතීතයේ සිටි දෙවිගේ සේවකයෙක් මෙසේ පැවසුවා. “ඔබ මාව කොතරම් පුදුමාකාර ලෙස සාදා ඇද්ද! එබැවින් ඔබ කෙරෙහි මහත් ගරුබියක් මා තුළ ඇති වන්නේය. මම ඔබට ප්‍රශංසා කරමි. ඔබේ ක්‍රියා ඇත්තෙන්ම පුදුමාකාරය.” (ගීතාවලිය 139:14) මිනිස් සිරුරේ ක්‍රියාකාරිත්වය අවබෝධ කරගෙන සිටින සියලුදෙනාම ඒ බයිබල් ලේඛකයා පැවසූ දෙයට එකඟ වෙනවාට සැකයක් නැහැ.

අතිශ්‍රේෂ්ඨ නිර්මාණකරු

22, 23. (අ) අතිශ්‍රේෂ්ඨ නිර්මාණකරුවෙකු ඇත්තටම සිටින බව අප පිළිගත යුත්තේ ඇයි? (ආ) සැබෑ දෙවි ගැන බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද?

22 බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “සෑම ගෘහයක්ම සෑදීමට යම් කෙනෙකු සිටිය යුතු බව සියලුදෙනාම පිළිගනිති. එසේනම් සියලු දේවල් සෑදූ තැනැත්තාණන් දෙවිය.” (හෙබ්‍රෙව් 3:4) ඉතා සරල ආකාරයකට පවා ගොඩනඟා තිබෙන නිවසක් සෑදීමට යම් කෙනෙක් සිටිය යුතුයි. එසේනම් ඊටත් වඩා සංකීර්ණ මේ විශ්වය සහ පෘථිවියේ වෙසෙන විවිධාකාර ජීවීන්ව නිර්මාණය කිරීමටත් යම් කෙනෙක් සිටිය යුතුයි. ගුවන් යානා, රූපවාහිනි සහ පරිගණක යන්ත්‍ර වැනි දේවල් ලොවට හඳුන්වා දුන් අය ඇත්තටම සිටියා කියා අපි පිළිගන්නවා. එසේනම් ඒ දේවල් නිර්මාණය කිරීමට ඔවුන්ට බුද්ධිය ලබා දුන් අතිශ්‍රේෂ්ඨ කෙනෙක් සිටිනවා කියා අපි පිළිගත යුතු නැද්ද!

23 ඒ සියල්ල නිර්මාණය කළේ යෙහෝවා දෙවි බව බයිබලයේ සඳහන් වෙනවා. එහි ඔහුව හඳුන්වා තිබෙන්නේ “අහස්තලය සාදා එය දිගහැරියාවූ, පොළොවත් එහි සියල්ලත් සෑදුවාවූ, ලෝවැසියන්ට ජීවිතයද හුස්මද දෙන්නාවූ සැබෑ දෙවි” ලෙසයි. (යෙසායා 42:5) “අපගේ බලසම්පන්න දෙවි වන යෙහෝවා, ඔබ සියලු ප්‍රශංසාවත් ගෞරවයත් ලැබීමට වටිනා තැනැත්තාණන්ය. මන්ද සෑම දෙයක්ම සෑදුවේ ඔබය. ඒවා සෑදුවෙත් ඒවා දිගටම පවතින්නෙත් ඔබේ කැමැත්ත නිසාය” කියා බයිබලයේ තවදුරටත් සඳහන් වන්නේ ඒ නිසයි.—එළිදරව් 4:11.

24. දෙවි කෙනෙක් සිටින බවට තිබෙන සාක්ෂි මොනවාද?

24 දෙවි මේ විශ්වය නිර්මාණ කළ බවට ඔහුගේ නිර්මාණයන්ම සාක්ෂි සපයනවා. ඒ ගැන බයිබලයේ සඳහන් මේ වදන් සලකා බලන්න. “දෙවිව නොපෙනුණත් ලෝකය සෑදූ දා පටන් ඔහුගේ බලය හා ගුණාංග ගැන අවබෝධයක් ලබාගැනීමට මිනිසාට පුළුවන. එය කළ හැක්කේ දෙවි නිර්මාණය කර ඇති දේවල් නිරීක්ෂණය කිරීමෙනි.”—රෝම 1:20.

25, 26. යම් දෙයක් අනිසි ලෙස භාවිත වන නිසාම ඊට නිර්මාණකරුවෙක් නැහැ කියා පැවසීම සාධාරණ නොවන්නේ ඇයි?

25 හොඳ අරමුණක් ඇතුව නිර්මාණය කර තිබෙන දෙයක් අනිසි ලෙස භාවිත වෙනවා නම් එයට නිර්මාණකරුවෙක් නැහැ කියා පැවසිය හැකිද? උදාහරණයකට මඟී ප්‍රවාහණය සඳහා සෑදූ ගුවන් යානයක් මිනිසුන්ව ඝාතනය කරමින් මහත් විනාශයක් සිදු කරන බෝම්බ හෙළන යානයක් ලෙස භාවිත කළා යැයි සිතන්න. මහත් විනාශයක් සිදු කිරීමට එම ගුවන් යානය යොදාගන්නා නිසාම එම ගුවන් යානයට නිර්මාණකරුවෙක් නැහැ කියා පවසන්න බැහැ.

26 ඒ හා සමානව මිනිසුන් බොහෝ දුෂ්ට දේවල් කරන නිසාම ඔවුන්ව නිර්මාණය කිරීමට කෙනෙක් සිටියේ නැහැ කියා පවසන්න බැහැ. ඒ සම්බන්ධයෙන් බයිබලයේ සඳහන්මේ දෙය සලකා බලන්න. “ඔබේ සිත් මොන තරම් දූෂ්‍ය වී ඇද්ද! මැටි පිඩ කුඹල්කරු හා සමානයි කියා පැවසිය හැකිද? මැටි භාජනය එය සෑදූ තැනැත්තාට, “මාව සෑදුවේ ඔබ නෙමෙයි” කියා හෝ, “ඔබ කිසි දෙයක් දන්නේ නැහැ” කියා හෝ කිව හැකිද? “—යෙසායා 29:16.

27. දුක් වේදනා සම්බන්ධයෙන් අපට ඇති වන ප්‍රශ්නවලට දෙවි පිළිතුරු දෙයි කියා අපට නිසැක විය හැක්කේ ඇයි?

27 දෙවි නිර්මාණය කර තිබෙන සංකීර්ණ දේවල් දෙස බලන විට ඔහු මොන තරම් ප්‍රඥාවන්ත කෙනෙක්ද කියා පැහැදිලි වෙනවා. එමෙන්ම මිනිස් වාසයට ඉතා යෝග්‍ය ආකාරයකින් පෘථිවිය නිර්මාණය කිරීමෙනුත් අපේ ශරීරය සහ මනස ඉතා සුවිශේෂී ලෙස නිර්මාණය කිරීමෙන් සහ ජීවිතය සතුටින් ගත කිරීමට අවශ්‍ය සෑම දෙයක්ම සැපයීමෙනුත් පෙනී යන්නේ දෙවි අප ගැන කොතරම් සැලකිලිමත්ද කියායි. ඒ අනුව දෙවි ප්‍රඥාවන්ත මෙන්ම සැලකිලිමත් කෙනෙක් නිසා දුක් වේදනා පැවතීමට ඔහු ඉඩ දී තිබෙන හේතුව සහ ඒවා නැති කර දමන ආකාරය ගැන අපට පැහැදිලි කර දෙයි කියා නිසැක විය හැකියි.

[5වන පිටුවේ පින්තූරය]

ආරක්ෂිත වායුගෝලයකින් සමන්විත අනර්ඝ නිවහනක් බඳු මේ පෘථිවිය මිනිසාට දෙවිගෙන් ලැබී තිබෙන වටිනා ත්‍යාගයක්

[6වන පිටුවේ පින්තූරය]

මේ පෘථිවිය නිර්මාණය කර තිබෙන්නේ මිනිසුන්ට සන්තෝෂයෙන් ජීවත් විය හැකි ආකාරයටයි

[7වන පිටුවේ පින්තූරය]

‘පෘථිවියේ තිබෙන සියලුම සන්නිවේදන පද්ධති එකතු කළත් මිනිස් මොළය ඊටත් වඩා සංකීර්ණයි.’—ජීව විද්‍යාඥයෙක්

[8වන පිටුවේ පින්තූරය]

“ඇස මනා ලෙස නිර්මාණය කරන ලද්දක් බව පැහැදිලියි. එය නිර්මාණය කර තිබෙන්නේ හොඳම දුරේක්ෂවලටත් වඩා සුවිශේෂී ආකාරයකිනුයි.” —තාරකා විද්‍යාඥයෙක්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න