4වන කොටස
දෙවි ඔහුගේ අරමුණු හෙළි කර තිබේ
1, 2. දෙවිගේ මඟ පෙන්වීම් පතන අයට දෙවි තම අරමුණු හෙළි කරන බව අපි දන්නේ කොහොමද?
දෙවි ප්‍රේමණීය කෙනෙක් නිසා ඔහුගේ මඟ පෙන්වීම් පතන අයගෙන් ඔහු කිසිම දෙයක් සඟවන්නේ නැහැ. ඒ නිසා දුක් වේදනා පැවතීමට තමා ඉඩ දී තිබෙන හේතුව ඔහු පැහැදිලි කර දී තිබෙනවා.
2 “ඔබ නිතරම ඔහුගේ [එනම් දෙවිගේ] මඟ පෙන්වීම් පතනවා නම් ඔහු ඔබව පිළිගෙන ඔබට උපකාර කරන බව නිසැකයි” කියා බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි. එපමණක්ද නොව දෙවි “රහස් දේ එළිදරව් කරන” බවත් ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි තම සේවකයන් වන අනාගතවක්තෘවරුන්ට තම අරමුණු හෙළි නොකර කිසිවක් නොකරන’ බවත් බයිබලයේ සඳහන් වී තිබෙනවා.—1 ලේකම් 28:9; දානියෙල් 2:28; ආමොස් 3:7.
පිළිතුරු දැනගත හැක්කේ කොහෙන්ද?
3. දෙවි දුක් වේදනාවලට ඉඩහැර තිබෙන්නේ ඇයි යන ප්‍රශ්නයට පිළිතුර සොයාගත හැක්කේ කොහෙන්ද?
3 දුක් වේදනා පැවතීමට දෙවි ඉඩහැර තිබෙන්නේ ඇයි සහ දෙවි ඒවාට නිමාවක් ගෙනෙන්නේ කෙසේද යන ප්‍රශ්නවලට පිළිතුරු ශුද්ධ බයිබලයෙන් සොයාගත හැකියි. දෙවි බයිබලය අපට ලබා දී තිබෙන්නේ අපේම ප්‍රයෝජනයටයි. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි. එය ඉගැන්වීමටත් අවවාද කිරීමටත් කාරණා නිවැරදි කිරීමටත් ධර්මිෂ්ඨකමින් හික්මවීම් ලබා දීමටත් ප්‍රයෝජනවත්ය. එමගින් දෙවිට විශ්වාසවන්තව සිටින මිනිසා සියලු දේ කිරීමට සමත් කෙනෙක් එනම්, සෑම යහපත් ක්‍රියාවක් කිරීම සඳහා සැදී පැහැදී සිටින කෙනෙක් වනු ඇත.”—2 තිමෝති 3:16, 17.
4, 5. බයිබලය අද්විතීය පොතක් කියා පැවසිය හැක්කේ ඇයි?
4 මිනිස් ඉතිහාසයේ සිදු වූ දේවල් බයිබලයේ නිවැරදිව වාර්තා කර තිබෙනවා. එමෙන්ම මිනිසාව නිර්මාණය කිරීමට පෙර සිදු වූ දේවල්ද එහි සඳහන් වෙනවා. ඊට අමතරව එහි ඇතුළත් අනාවැකිවලින් වර්තමානයේ සහ අනාගතයේදී සිදු වීමට නියමිත දේවල් ගැනද අපට දැනගත හැකියි. ඒ අනුව බලන විට බයිබලය අද්විතීය පොතක් බව පැහැදිලි වෙනවා.
5 වෙනත් කිසිම පොතකට වඩා බයිබලය ඓතිහාසික වශයෙන් පිළිගත හැකි පොතක් ලෙස කැපී පෙනෙනවා. අතීතයේදී ලියැවුණු ඇතැම් කෘතිවල පිටපත් අද ඉතිරි වී තිබෙන්නේ අතළොස්සක් පමණයි. නමුත් බයිබලයේ මුල් පිටපත්වල අත්පිටපත් දහස් ගණනක් මේ වන විට සොයාගෙන තිබෙනවා. පැරණි ගිවිසුමට (හෙබ්‍රෙව් ලියවිල්ලට) අයත් අත්පිටපත් 6,000ක් සහ අලුත් ගිවිසුමට (ග්‍රීක ලියවිල්ලට) අයත් අත්පිටපත් 13,000ක් ඊට ඇතුළත්.
6. බයිබලයේ සඳහන් අදහස් අදටත් වෙනස් වී නැහැ කියා අපට නිසැක විය හැක්කේ ඇයි?
6 බයිබලය ලියැවුණේ දෙවිගේ මඟ පෙන්වීමෙන් නිසා එහි සඳහන් තොරතුරු ඒ ආකාරයෙන්ම එහි අත්පිටපත්වලට ඇතුළත් කිරීමට දෙවි උපකාර කළා. ඒ නිසා බයිබලයේ මුල් පිටපත්වල තිබූ අදහස් ඒ ආකාරයෙන්ම අද තිබෙන බයිබල් පිටපත්වලත් සඳහන් වෙනවා කියා අපට නිසැක විය හැකියි. එමෙන්ම අලුත් ගිවිසුමට අයත් සමහර අත්පිටපත් සාදා තිබෙන්නේ එහි මුල් පිටපත ලියැවී වසර 100ක් ඇතුළතයි. මුල් පිටපතේ තිබූ අදහස් එලෙසින්ම අත්පිටපතට ඇතුළත් වීමට එයත් දායක වුණා. නමුත් බයිබලයට අමතරව ඓතිහාසික වශයෙන් වැදගත්කමක් ඇති වෙනත් අත්පිටපත් සාදා තිබෙන්නේ මුල් පිටපත ලියැවී සියවස් කිහිපයක් ගත වූවාට පසුවයි.
දෙවිගෙන් ලද ත්‍යාගයක්
7. බයිබලය කොතරම් පුළුල්ව බෙදාහැර තිබෙනවාද?
7 ලොව පුරා වැඩියෙන්ම බෙදාහැර තිබෙන පොත බයිබලයයි. මේ දක්වා එහි පිටපත් කෝටි හාරසියයක් පමණ මුද්‍රණය කර තිබෙනවා. එමෙන්ම බයිබලය සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් භාෂා 2,400කට වඩා වැඩි ගණනකින් පරිවර්තනය කර තිබෙන නිසා ලොව ජනගහනයෙන් සියයට 95කට තමන්ගේම භාෂාවෙන් එය කියවීමට හැකියි. වෙනත් කිසිම පොතක් ඒ හා සැසඳිය හැකිද?
8-10. බයිබලය අධ්‍යයනය කිරීම ප්‍රයෝජනවත් කියා පැවසීමට තිබෙන හේතු මොනවාද?
8 බයිබලය දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියැවුණු පොතක් කියා පිළිගැනීමට ඇති තරම් සාක්ෂි තිබෙනවා. ඒ නිසා එවැනි පොතක් අධ්‍යයනය කිරීම වටින්නේ නැද්ද?a ජීවිතයේ අරමුණ ගැනත් මේ ලෝකයේ සිදු වන දේවලට හේතු සහ අනාගතයේදී අපට බලාපොරොත්තු විය හැකි දේවල් ගැනත් එහි සඳහන් වෙනවා. වෙනත් කිසිම පොතක එතරම් වටිනා තොරතුරු සඳහන් වන්නේ නැහැ.
9 යෙහෝවා දෙවි තම අදහස් මිනිසුන්ට දැනුම් දී තිබෙන්නේ බයිබලය මාර්ගයෙනුයි. එය ලිවීමට මිනිසුන් 40දෙනෙක් හවුල් වූ අතර දෙවි ඔහුගේ බලය තුළින් ඒ සියලුදෙනාටම මඟ පෙන්වූවා. එමනිසා බයිබලය කියවන සෑම අවස්ථාවකදීම අපට දෙවිගේ අදහස් දැනගැනීමට හැකියාව ලැබෙනවා. ඒ ගැන බයිබල් ලේඛකයෙක් වූ පාවුල් මෙසේ පැවසුවා. ‘දෙවිගේ පණිවිඩය අප ඔබට පැවසූ විට ඔබ එය පිළිගත්තේ මිනිසුන්ගෙන් ලැබුණු දෙයක් ලෙස නොව දෙවිගෙන් ලැබුණු පණිවිඩයක් ලෙසයි.’—1 තෙසලෝනික 2:13.
10 එක්සත් ජනපදයේ 16වන ජනාධිපතිවරයා වූ ඒබ්‍රහැම් ලින්කන් වරක් මෙසේ පැවසුවා. බයිබලය “දෙවි මිනිසාට දී ඇති වටිනා ත්‍යාගයක්. එය නැතුව අපිට හරි වැරැද්ද තේරුම්ගන්න බැහැ.” දුක් වේදනා ආරම්භ වූ ආකාරය, දෙවි එයට ඉඩ දී තිබෙන හේතුව සහ ඒ වෙනුවෙන් දෙවි ගැනීමට නියමිත පියවර කුමක්ද කියා අපි බයිබලයෙන් සලකා බලමු.
[පාදසටහන]
a බයිබලයේ විශ්වාසවන්තභාවය පිළිබඳව තවත් සාක්ෂි දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන සියලුම ජනයා සඳහා පොතක් යන සඟරාව බලන්න.
[10වන පිටුවේ පින්තූරය]
දෙවි මිනිසුන්ට තම අදහස් හෙළි කරන්නේ ඔහුගේ මඟ පෙන්වීමෙන් ලියැවුණු බයිබලය තුළිනුයි