ලෝකය සැබවින්ම පාලනය කරන්නේ කවුද?
බොහෝදෙනෙක් ඉහත සඳහන් ප්‍රශ්නයට දෙවි කියා එක වචනයකින් උත්තර දෙනවා කෙසේවෙතත්, යේසුස් ක්‍රිස්තුස්වත් ඔහුගේ පියාවත් මෙම ලෝකයේ සැබෑ පාලකයන් කියා බයිබලයෙහි කිසිම තැනක සඳහන් නොවීම සැලකිය යුතු කරුණක්. ඊට හාත්පසින්ම වෙනස්ව, යේසුස් මෙසේ පැවසුවා: “මේ ලෝකයේ අධිපතියා දැන් පිටත දමනුලබන්නේය.” ඔහු තවදුරටත් මෙසේ පැවසුවා: “ලෝකයේ අධිපතියා එන්නේය. නුමුත් ඔහුට මා තුළ කිසිවක් [මා කෙරෙහි බලපෑමක්, NW] නැත.”—යොහන් 12:31; 14:30; 16:11.
එහෙයින් මෙම ලෝකයේ පාලකයා යේසුස්ට විරුද්ධව සිටියි. මොහු කවරෙකු විය හැකිද?
ලෝකයේ පවතින තත්වයන්ගෙන් හෝඩුවාවක්
යහපත් චේතනා ඇති මනුෂ්‍යයන් අවංකවම උත්සාහ කළත්, ඉතිහාසය පුරාම ලෝකය ඉතා අධික ලෙස දුක් වේදනා අද්දැක තිබෙනවා. එනිසා මෑතකදී නැසීගිය කතුවැකි ලේඛක ඩේවිඩ් ලෝරන්ස් මෙන් විමසිලිමත් පුද්ගලයන් මෙසේ කල්පනා කිරීමට පෙලඹෙනවා: “හැම කෙනෙකුටම වගේ ඕනෑ කරන්නේ ‘පොළොව මත සමාදානයයි.’ ලෝකයේ සිටින හැම මනුෂ්‍යයෙක්ම වගේ පතන්නේ ‘හැමෝටම යහපතක් වෙන්න’ කියායි. එහෙමනම් වැරදිලා තියෙන්නේ කොතැනද? මිනිසුන්ට සාමය සඳහා සහජ ආශාවක් තිබුණත් යුද්ධය තර්ජනයක් වෙන්නේ ඇයි?”
එය පරස්පර විරෝධී යමක් මෙන් පෙනෙන බව පැහැදිලියි. සාමකාමී ලෙස ජීවත් වීම මිනිසුන්ගේ ස්වාභාවික ආශාව වුණත්, පොදුවේ බලද්දී මිනිසුන් එකිනෙකාට වෛර කරමින් මරාගන්නවා. එයත් කරන්නේ ඉතා කෲර ලෙසයි. ඉතා භයානක කෲරකම් සම්බන්ධයෙන් මිනිසා කොයිතරම් අන්තයටම ගොස් ඇද්දැයි කල්පනා කර බලන්න. අනුකම්පා විරහිත විදිහට එකිනෙකාට වධ දී ඝාතනය කිරීමට ගෑස් කාමර, ගාල් කඳවුරු, ගිනි දැල් විහිදුවන යන්ත්‍ර, නාපාම් බෝම්බ සහ වෙනත් ඉතා දරුණු ක්‍රම මිනිසුන් යොදාගෙන තිබෙනවා.
සාමය සහ සන්තෝෂයට මහත් සේ ප්‍රිය කරන මනුෂ්‍යයන්ම අන් අයට විරුද්ධව එවන් කුරිරුකම් කිරීමට සමත් වෙයි කියා ඔබ සිතනවාද? මෙතරම් බිහිසුණු ක්‍රියාවන් සිදු කිරීමට මනුෂ්‍යයන්ව පොලඹවන්නේ කුමන බලවේගයන්ද? එසේ නැතහොත් ඉතා නීච වූ එවන් තැතිගන්වන දේවල් කිරීමට ඔවුන් තුළ මර්දනය කළ නොහැකි පෙලඹීමක් ඇති කරන්නේ කුමක්ද? එවන් ප්‍රචණ්ඩකාරි ක්‍රියාවන් සිදු කිරීමට යම් දුෂ්ට, අදෘශ්‍යමාන බලවේගයක් පුද්ගලයන්ව පොලඹවනවාද කියා ඔබ කවදා හෝ කල්පනා කර තිබෙනවාද?
ලෝකයේ පාලකයන්ව හඳුනාගැනීම
බුද්ධිමත්, අදෘශ්‍යමාන පුද්ගලයෙක් මිනිසුන් හා ජාතීන් කෙරෙහි බලපවත්වමින් සිටින බව බයිබලයේ පැහැදිලිව පෙන්නුම් කරන නිසා මේ කාරණය ගැන අනුමාන කිරීමට අවශ්‍යතාවක් නැහැ. “මුළු ලෝකයා නපුරා තුළ” පවතිනවා කියා එහි පවසනවා. එමෙන්ම බයිබලය ඔහුව හඳුන්වන්නේ ‘මුළු ලෝකයා රවටන්නා වන යක්ෂයා හා සාතන්’ ලෙසයි.—1 යොහන් 5:19; එළිදරව් 12:9.
යේසුස්ව “යක්ෂයා විසින් පරීක්ෂාකරනු” ලැබූ අවස්ථාවකදී, මෙම ලෝකයේ පාලකයා වශයෙන් සාතන්ගේ කාර්යභාරය යේසුස් ප්‍රශ්න කළේ නැහැ. සිදු වූ දෙය බයිබලය මෙසේ පහදා දෙයි: “යක්ෂයා [ඔහුව] ඉතා උස් කන්දකට පමුණුවා, ලෝකයේ සියලු රාජ්‍යයන්ද එහි ඓශ්වර්යයද [ඔහුට] පෙන්වා: ඔබ බිම වැටී මට නමස්කාරකරන්නෙහි නම් මේ සියල්ල ඔබට දෙන්නෙමියි [ඔහුට] කීවේය. එවිට [යේසුස්]: සාතන් අහක්ව යව . . . යයි ඔහුට [කීවේය].”—මතෙව් 4:1, 8-10, ඇල අකුරු අපගේය.
මේ ගැන කල්පනා කරන්න. “ලෝකයේ සියලු රාජ්‍යයන්” යේසුස්ට ඉදිරිපත් කිරීමෙන් සාතන් ඔහුව පරීක්ෂා කළා. සාතන් සැබවින්ම මෙම රාජ්‍යයන්වල පාලකයා නොවූවා නම්, සාතන් ඉදිරිපත් කළ දේවල් සැබෑ පරීක්ෂාවක් වේවිද? නැහැ, එය පරීක්ෂාවක් වෙන්නේ නැහැ. මෙම ලෞකික ආණ්ඩු සියල්ලක්ම සාතන්ගේ බවට වූ කාරණය යේසුස් ප්‍රතික්ෂේප කළේ නැති බවද සැලකිල්ලට ගන්න. සාතන්ට ඒවා කෙරෙහි බලය තිබුණේ නැත්නම්, යේසුස් නිහඬ නොවී සිටිනවාට සැකයක් නැහැ. එහෙයින්, සැබවින් මෙම ලෝකයේ අදෘශ්‍යමාන පාලකයා සාතන් වන යක්ෂයායි! ඇත්තවශයෙන්ම, බයිබලය ඔහුව හඳුන්වන්නේ “මේ ලෝකයේ දෙවියා” ලෙසයි. (2 කොරින්ති 4:4) එසේ වුවත්, එවන් දුෂ්ට පුද්ගලයෙකු මෙතරම් බලසම්පන්න තත්වයක් ලබාගත්තේ කෙසේද?
සාතන් බවට පත් වූ තැනැත්තා කලින් දෙවි විසින් මවනු ලැබූ දේවදූතයෙක් වූ නමුත්, දෙවිගේ තත්වය ගැන ඔහුට ඊර්ෂ්‍යාවක් ඇති වුණා. පාලන බලය සඳහා වූ දෙවිගේ අයිතිය ඔහු අභියෝගයට ලක් කළා. මෙය ඉටු කරගැනීම සඳහා ඒව නමැති මුල් ස්ත්රියව රැවටීමට තමා වෙනුවෙන් කතා කිරීම සඳහා ඔහු සර්පයෙක් යොදාගත්තා. එමගින් ඇයවත් ඇගේ පුරුෂයා වූ ආදම්වත්, දෙවිට කීකරු වෙනවා වෙනුවට තම ඉල්ලීමට එකඟව ක්‍රියා කිරීමට සලස්වන්න ඔහු සමත් වුණා. (උත්පත්ති 3:1-6; 2 කොරින්ති 11:3) ආදම්ගේ සහ ඒවගේ ඒ වන විට ඉපදී නොසිටි පැවතෙන්නන් සියලුදෙනාවම දෙවිගෙන් ඉවතට හරවාගත හැකි බවත් ඔහු කියා සිටියා. එබැවින් තමා පැවසූ දෙය ඔප්පු කිරීමට දෙවි සාතන්ට කාලය දුන්නා. එනමුත් සාතන්ගේ උත්සාහය සාර්ථක වී නැහැ.—යෝබ් 1:6-12; 2:1-10.
ලෝකය පාලනය කිරීම සම්බන්ධයෙන් සාතන් තනිව නොසිටීම සැලකිල්ලට ගත යුතු දෙයක්. දෙවිට විරුද්ධව කැරලිගැසීමට දේවදූතයන්ගෙන් සමහරදෙනෙකුව තම පැත්තට ගන්න ඔහු දැරූ උත්සාහය සාර්ථක වුණා. මොවුන් ඔහුගේ අදෘශ්‍යමාන හවුල්කරුවන් වන භූතයන් බවට පත් වුණා. බයිබලය ඔවුන් ගැන කතා කරමින් ක්‍රිස්තියානීන්ට මෙසේ උනන්දු කරයි: “යක්ෂයාගේ [කූට, NW] උපායවලට [ස්ථිරව, NW] විරුද්ධව [සිටින්න] . . . මක්නිසාද අපේ පොරබැදීම වනාහි මාංසයට සහ රුධිරයට විරුද්ධව නොව, [නමුත්] . . . මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය.”—එපීස 6:11, 12, ඇල අකුරු අපගේය.
දුෂ්ට ආත්මයන්ට විරුද්ධ වන්න
මෙම අදෘශ්‍යමාන ලෝක පාලකයන් මුළු මනුෂ්‍යවර්ගයාවම දෙවිගේ නමස්කාරයෙන් අහකට හරවා නොමඟ යැවීමට දැඩි අධිෂ්ඨානයකින් යුක්තව සිටිනවා. දුෂ්ට ආත්මයන් මෙය කරන එක් මාර්ගයක් නම් මරණයෙන් පසු ජීවිතයක් ඇතැයි යන අදහස ප්‍රචලිත කිරීමයි. මෙය, මළවුන් සිහිසන් නැති තත්වයක සිටින බවට දෙවිගේ වචනය පැහැදිලිව පෙන්නුම් කරන සත්‍යයට පටහැනියි. (උත්පත්ති 2:17; 3:19; එසකියෙල් 18:4; ගීතාවලිය 146:3, 4; දේශනාකාරයා 9:5, 10) එබැවින්, මළ පුද්ගලයෙකුගේ කටහඬ අනුකරණය කරන දුෂ්ට ආත්මයක්, ආත්ම බන්ධනකාරයෙකු මාර්ගයෙන් හෝ අදෘශ්‍යමාන ක්ෂේත්රයෙන් වූ “කටහඬක්” මාර්ගයෙන් ජීවත්ව සිටින නෑදෑයන් සහ මිතුරන් සමඟ කතා කළ හැකියි. එම “කටහඬ” මියගිය පුද්ගලයාගේ කියා බොරුවට අඟවනවා වුණත්, එය කරන්නේ සැබවින්ම භූතයෙක් බව මතක තබාගන්න!
එමනිසා, ඔබට කවදාහරි දවසක එවන් “කටහඬක්” ඇසුණොත්, රැවටෙන්න එපා. එම කටහඬ කියන ඕනෑම දෙයක් ප්‍රතික්ෂේප කර, ‘සාතන් අහක්ව යව!’ යන යේසුස්ගේ වදන් ප්රතිරාවය කරන්න. (මතෙව් 4:10; යාකොබ් 4:7) ආත්ම විෂය ගැන ඇති කුතුහලය දුෂ්ට ආත්මයන් සමඟ සම්බන්ධ වීමට හේතුවක් කර නොගන්න. එවන් සම්බන්ධකම් හඳුන්වනු ලබන්නේ ආත්ම බන්ධනය යනුවෙනි. එහි සියලු මවාපෑම්වලට එරෙහිව දෙවි තම නමස්කාරකයන්ට අනතුරු අඟවනවා. ‘පේනකියන්නෙක්, ආත්ම බන්ධනකාරයෙක්, අනවිනකාරයෙක්, මළවුන්ගෙන් විචාරන්නෙක්’ ආදි ඕනෑම කෙනෙක්ව බයිබලය හෙළා දකිනවා.—ද්විතීය කථාව 18:10-12; ගලාති 5:19-21; එළිදරව් 21:8.
ආත්ම බන්ධනය පුද්ගලයෙකුව භූතයන්ගේ බලය යටතට ගන්නා නිසා, ඒවායින් කොතරම් විනෝදයක් හෝ පුදුමයක් ජනිත වුණත් ඒ හා සම්බන්ධ සෑම දෙයකටම විරුද්ධ වන්න. පළිඟු බෝල දෙස බලා පේන කීම, විජ්ජා ලෑලි භාවිත කිරීම, ESP (සාමාන්‍ය සංවේදනය ඉක්මවූ අවබෝධය), කෙනෙකුගේ අතේ රේඛා පරීක්ෂා කිරීම (අත බලා සාත්තර කීම) සහ ජ්‍යොතිෂය මෙම ව්‍යවහාරයන්ට ඇතුළත් වෙනවා. භූතයන් තම බලපෑමට නතු කරගන්නා නිවෙස්වල ශබ්ද ඇතිවීමට සහ වෙනත් අද්භූත භෞතික දේවල් සිදුවීමට සලස්වා තිබෙනවා.
මීට අමතරව, දුෂ්ට ආත්මයන් දුරාචාරමය සහ අස්වාභාවික ලිංගික ක්‍රියාවන්වලට දිරිගන්වන පොත් පත්, චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන්වලට අනුබල දීමෙන් මනුෂ්‍යයන්ගේ පාපතර නැඹුරුවාවන් තම වාසියට හරවාගන්නවා. වැරදි අදහස් මනසින් ඉවත් කරනු නොලැබුවහොත් මකා දැමිය නොහැකි හැඟීම් පහළ කරන බවත්, තමන්ට සිදු වූවාක් මෙන්, මනුෂ්‍යයන්වත් දුරාචාරමය අන්දමකින් හැසිරීමට එය මඟ පෙන්වන බවත් භූතයන් දන්නවා.—උත්පත්ති 6:1, 2; 1 තෙසලෝනික 4:3-8; යූද් 6.
මෙම ලෝකය පාලනය කරනු ලබන්නේ දුෂ්ට ආත්මයන් විසින්ය යන අදහස බොහෝදෙනෙකු සමච්චලයට ලක් කරන බව ඇත්තයි. නමුත් බයිබලය මෙසේ පවසන නිසා ඔවුන්ගේ අවිශ්වාසය පුදුමයට කරුණක් නොවෙයි: “සාතන් පවා ආලෝකයේ දූතයෙකුගේ වෙස් ගනියි.” (2 කොරින්ති 11:14) ඔහුගේ වඩාත්ම දක්ෂ රැවටීම වී ඇත්තේ ඔහු සහ ඔහුගේ භූතයන් සැබවින්ම පවතින බවට වූ සත්‍යය සම්බන්ධයෙන් බොහෝදෙනෙකුව අන්ධ කිරීමයි. නමුත් රැවටෙන්න එපා! යක්ෂයා සහ ඔහුගේ භූතයන් සැබෑ අය වන අතර, නොකඩවා ඔවුන්ට විරුද්ධ වීමට ඔබට අවශ්‍ය වනු ඇත.—1 පේතෘස් 5:8, 9.
සාතන් සහ ඔහුගේ බල ඇණි තවදුරටත් නොසිටින්න යන කාලය දැන් ඉතා ආසන්නව තිබීම සතුටට කරුණක්. “[එහි භූත පාලකයන් ඇතුළුව] ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් [දෙවිගේ] කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය” යනුවෙන් බයිබලය සහතික කරයි. (1 යොහන් 2:17) එම දුෂ්ට බලවේගය ඉවත් කරනු ලැබීම කොතරම් සහනයක් වනු ඇද්ද! එබැවින්, දේවකැමැත්ත කර, දෙවිගේ ධර්මිෂ්ඨ නව ලොවෙහි සදහටම ජීවිතය භුක්ති විඳින්නන් අතර අපිත් සිටිමු.—ගීතාවලිය 37:9-11, 29; 2 පේතෘස් 3:13; එළිදරව් 21:3, 4.
වෙනත් අයුරකින් දක්වා නැත්නම්, උපුටා ඇති බයිබල් පාඨ ලංකා බයිබල් සමාගම මගින් ප්‍රකාශිත 1938 ප්‍රතිසංස්කෘත පරිවර්තනයේ 1995 සංස්කරණයෙන් රැගෙන තිබේ.
[4වන පිටුවේ පින්තූරය]
මෙම ලෝකයේ සියලුම ආණ්ඩු ක්‍රම සාතන්ගේ නොවූවා නම්, යේසුස්ට ඒවා ඉදිරිපත් කරන්න ඔහුට හැකි වේවිද?