8වන පාඩම
දෙවිව සතුටු කරන පවුල් ජීවිතය
පවුල තුළ ස්වාමිපුරුෂයාට හිමි ස්ථානය කුමක්ද? (1)
ස්වාමිපුරුෂයෙකු තම භාර්යාවට සැලකිය යුත්තේ කොහොමද? (2)
පියෙකුට තිබෙන වගකීම් මොනවාද? (3)
පවුලේ භාර්යාවගේ වැඩකොටස කුමක්ද? (4)
දෙමාපියන්ගෙන් හා දරුවන්ගෙන් දෙවි ඉල්ලා සිටින්නේ කුමක්ද? (5)
වෙන්වීම හා දික්කසාදය ගැන බයිබලයේ අදහස කුමක්ද? (6, 7)
1. ස්වාමිපුරුෂයා තම පවුලේ මූලිකයා බව බයිබලයේ කියනවා. (1 කොරින්ති 11:3) ස්වාමිපුරුෂයෙකුට සිටිය යුත්තේ එක භාර්යාවක් පමණයි. නීතියට අනුව ඔවුන් නිසි ලෙස විවාහ වී සිටින්න අවශ්‍යයි.—1 තිමෝති 3:2; තීතස් 3:1.
2. ස්වාමිපුරුෂයෙකු තමාට ප්‍රේම කරන්නාක් මෙන් තම භාර්යාවටත් ප්‍රේම කරන්න අවශ්‍යයි. ඔහු තම භාර්යාවට සැලකිය යුත්තේ, යේසුස් තම අනුගාමිකයන්ට සලකන ආකාරයටයි. (එපීස 5:25, 28, 29) ඔහු කිසිවිටකත් තම භාර්යාවට පහර නොදිය යුතු අතර, කිසිම ආකාරයකින් ඇයට හිරිහැර කරන එක සුදුසු නැහැ. ඒ වෙනුවට, ඔහු ඇයට ගෞරවය පෙන්වන්න අවශ්‍යයි.—කොලොස්සි 3:19; 1 පේතෘස් 3:7.
3. පියෙක් තම පවුල නඩත්තු කිරීමට වෙහෙසෙන්න අවශ්‍යයි. තම භාර්යාවට හා දරුවන්ට ඔහු කෑම බීම, ඇඳුම් පැළඳුම් හා නිවහනක් සපයන්න ඕනේ. පියෙකු සිය පවුලේ ආත්මික අවශ්‍යතා ගැනද සාවධානයෙන් සිටීම අවශ්‍යයි. (1 තිමෝති 5:8) දෙවි හා ඔහුගේ අරමුණු ගැන ඉගෙනීමට තම පවුලට උදව් කිරීමේදී ඔහු මූලිකත්වය ගන්නවා.—ද්විතීය කථාව 6:4-9; එපීස 6:4.
4. භාර්යාවක් තම ස්වාමිපුරුෂයාට හොඳ සහකාරියක් වෙන්න අවශ්‍යයි. (උත්පත්ති 2:18) ඔවුන්ගේ දරුවන් දැනුවත් කිරීමට හා පුහුණු කිරීමට ඇය තම පුරුෂයාට සහය දෙන්න ඕනේ. (හිතෝපදේශ 1:8) භාර්යාවක් තම පවුල ප්‍රේමනීයව රැකබලා ගැනීම යෙහෝවා ඉල්ලා සිටින දෙයක්. (හිතෝපදේශ 31:10, 15, 26, 27; තීතස් 2:4, 5) ඇය තම ස්වාමිපුරුෂයාට ගැඹුරු ගෞරවයක් පෙන්වන්න අවශ්‍යයි.—එපීස 5:22, 23, 33.
5. දෙමාපියන්ට කීකරු වෙන්න කියා දෙවි දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. (එපීස 6:1-3) දෙමාපියන් තම දරුවන්ට උපදෙස් දී නිවැරදි කිරීමත් ඔහු අපේක්ෂා කරනවා. දෙමාපියන් තම දරුවන් සමඟ කාලය ගත කිරීමෙනුත්, ඔවුන් සමඟ බයිබලය පාඩම් කිරීමෙනුත් ඔවුන්ගේ ආත්මික හා චිත්තවේගීය අවශ්‍යතා සපුරාලීම අවශ්‍ය කරනවා. (ද්විතීය කථාව 11:18, 19; හිතෝපදේශ 22:6, 15) දෙමාපියන් තම දරුවන්ව දරුණු හෝ නපුරු අන්දමකින් කිසිදාක හික්මවන එක සුදුසු නැහැ.—කොලොස්සි 3:21.
6. විවාහක යුවළකට එකට ජීවත් වීම පිළිබඳව ගැටලු තිබෙනවා නම්, බයිබලයේ උපදෙස් අදාළ කරගැනීමට ඔවුන් වෑයම් කරන්න අවශ්‍යයි. ප්‍රේමය දැක්වීමටත් සමාව දීමටත් බයිබලය අපට උනන්දු කරනවා. (කොලොස්සි 3:12-14) සුළු සුළු ගැටලු නිරාකරණය කිරීමේ මඟක් වශයෙන්, විවාහක යුවළක් වෙන්වීම දේවවචනය අනුමත කරන්නේ නැහැ. එහෙත් භාර්යාවකට තම පුරුෂයාගෙන් වෙන්වීමට තීරණයක් ගත හැක්කේ, (1) පුරුෂයෙකු මුරණ්ඩු ලෙස තම පවුල නඩත්තු කිරීම ප්‍රතික්ෂේප කරනවා නම්, නැතහොත් (2) භාර්යාවගේ සෞඛ්‍යය හා ජීවිතය අනතුරට ලක් වන තරමට ඔහු දරුණු නම්, එසේ නැතහොත් (3) ඔහු එල්ල කරන දැඩි විරුද්ධවාදිකම් නිසා ඇයට කොහෙත්ම යෙහෝවාට නමස්කාර කළ නොහැකි නම් පමණයි.—1 කොරින්ති 7:12, 13.
7. විවාහක යුවළක් එකිනෙකාට විශ්වාසවන්ත වෙන්න අවශ්‍යයි. කාමමිථ්‍යාචාරය, දෙවිට මෙන්ම තම පුරුෂයාට හෝ භාර්යාවට විරුද්ධව කරන පාපයක්. (හෙබ්‍රෙව් 13:4) දික්කසාද වී නැවත විවාහ විය හැක්කේ විවාහයෙන් පිටත ලිංගික සම්බන්ධකම් පැවැත්වීම හේතුවෙන් පමණයි. (මතෙව් 19:6-9; රෝම 7:2, 3) මිනිසුන් මෙම ශුද්ධ ලියවිලිමය පදනම රහිතව දික්කසාද වී වෙනත් කෙනෙකු හා විවාහ වීම, යෙහෝවා පිළිකුල් කරන දෙයක්.—මලාකී 2:14-16.
[16, 17වන පිටුවේ පින්තූර]
ප්‍රේමනීය පියෙක් තම පවුලට ද්‍රව්‍යමය අතින් හා ආත්මික අතින් සපයයි
[17වන පිටුවේ පින්තූරය]
දෙමාපියන් තම දරුවන්ට ඉගැන්වීම හා ඔවුන්ව නිවැරදි කිරීම දෙවි අපේක්ෂා කරනවා