ජීවමාන භාෂාවලින් “කතා කරන” පොතක්
යම් පොතක් ලියා ඇති භාෂාව මියගියොත්, ඒ පොතත් බොහෝ වෙලාවට මියැදෙනවා. බයිබලය ලියූ ඉපැරණි භාෂා අද කියවන්න පුළුවන් කිහිපදෙනාටයි. නමුත් ඒක ජීවමානයි. එය බේරී තියෙන්නේ, මනුෂ්‍යවර්ගයාගේ ජීවමාන භාෂාව “කතා කරන්න ඉගෙනගෙන” තියෙන හින්දයි. අනිත් භාෂා කතා කරන්න එයට “ඉගැන්වූ” පරිවර්තකයන්ට සමහර අවස්ථාවලදී ජයගන්න බැරි විදිහේ බාධාවලට මුහුණ දෙන්න සිද්ධ වුණා.
බයිබලය පරිවර්තනය කිරීම—ඒ කියන්නේ පරිච්ඡේද 1,100කට වැඩියෙන් සහ ඡේද 31,000කට වැඩියෙන් තියෙන බයිබලය පරිවර්තනය කිරීම—ඒක මවිතාකාර වැඩක්. කොහොමවුණත්, සියවස් ගණනාව පුරා ඇප කැප වී කටයුතු කළ පරිවර්තකයන් මෙම අභියෝගය කැමැත්තෙන් භාරගත්තා. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් අමාරුකම් විඳින්න වගේම ඔවුන්ගේ වැඩය වෙනුවෙන් දිවි පුදන්න පවා කැමැත්තෙන් හිටියා. බයිබලය මනුෂ්‍යවර්ගයාගේ ජීවමාන භාෂාවලට පරිවර්තනය වීමේ ඉතිහාසය සොයා බැලුවොත්, එය අඛණ්ඩ උත්සාහයේ සහ උපාය දක්ෂභාවයේ අපූරු වාර්තාවක්. එම බල කරවන වාර්තාවෙන් පුංචි කොටසක් විතරක් සලකා බලන්න.
පරිවර්තකයන් මුහුණ දෙන අභියෝග
ලිඛිත හෝඩියක් නැති භාෂාවකට පොතක් පරිවර්තනය කරන්නේ කොහොමද? බොහෝ බයිබල් පරිවර්තකයන් හරියටම ඒ අභියෝගයට මුහුණ දුන්නා. උදාහරණයකට පො.යු. හතරවන සියවසේ සිටි උල්ෆ’ලාස්, එවකට නූතන නමුත් ලිඛිත භාෂාවක් නොවූ භාෂාවකට පරිවර්තනය කරන්න පටන්ගත්තා—ඒ ගොතික් භාෂාවයි. මූලිකව ග්‍රීක් සහ ලතින් හෝඩිය පදනම් කරගෙන, ගොතික් හෝඩියේ අක්ෂර 27ක් ගොතා ඒ අභියෝගයෙන් උල්ෆ’ලාස් ජයගත්තා. මුළු බයිබලයම වගේ ගොතික් භාෂාවට ඔහුගේ පරිවර්තනය කිරීම පො.යු. 381ට කලින් සම්පූර්ණ කරනු ලැබුවා.
නවවන සියවසේදී කැපීපෙනෙන විශාරදයන් සහ භාෂාඥයන් වූ ග්‍රීක් කතා කරන සහෝදරයන් දෙදෙනෙක් වූ සිරිල් (මුලින් හැඳින්වූයේ කොන්ස්ටන්ටයින් කියා) සහ මිතෝඩියස්හට, ස්ලාවික් භාෂාව කතා කරන ජනයා සඳහා බයිබලයක් පරිවර්තනය කිරීමට ඕනෙ වුණා. නමුත් අදදින ස්ලාවික් භාෂාවල ප්රාරම්භක භාෂාව වූ ස්ලාවොනික්වලට ලිඛිත හෝඩියක් තිබුණේ නැහැ. ඉතිං මේ සහෝදරයන් දෙදෙනා එක්කහු වෙලා බයිබලය පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය හෝඩියක් ගෙතුවා. මේ අනුව, ස්ලාවික් ලෝකයේ සිටින තව බොහෝ මිනිසුන්ට “කතා කරන්න,” මේ වෙන කොට බයිබලයට හැකියාව තිබුණා.
දහසයවන සියවසේදී, විලියම් ටින්ඩේල්, මුල් භාෂාවන්වල සිට ඉංග්‍රීසියට බයිබලය පරිවර්තනය කිරීම ආරම්භ කළත්, පල්ලියෙන් සහ ආණ්ඩුවෙන් පැමිණි තිත්ත විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න ඔහුට සිදු වුණා. ඔක්ස්ෆ’ඩ්හි ඉගෙනීම ලැබ තිබූ ටින්ඩේල්ට ඕනෙ වුණේ, “නඟුල ගෙනියන කොලුවෙකුට” වුණත් තේරුම්ගන්න පුළුවන් පරිවර්තනයක් නිමවන්නයි.1 නමුත් මෙය ඉෂ්ට කරන්න ඔහුට ජර්මනියට පලායන්න සිදු වූ අතර, එහි සිට 1526දී, ඔහුගේ ඉංග්‍රීසි “නව ගිවිසුම” අච්චු ගැසුවා. පිටපත් එංගලන්තයට පන්නද්දී, අධිකාරීන් හොඳටම කෝප වෙලා ප්‍රසිද්ධියේ ඒවා ගිනි තිබ්බා. පසුව ටින්ඩේල්ට හතුරුකම් කළා. ඔහුගේ බෙල්ල මිරිකා සිරුර ගිනි තියන්න මත්තෙන් ඔහු මේ වචන මහත් හඬින් තෙපලුවා: “ස්වාමිනී, එංගලන්තයේ රජුගේ ඇස් අරින්න!”2
බයිබල් පරිවර්තන දිගටම කෙරුණා; පරිවර්තකයන්ව නවත්වන්න බැරි වුණා. වර්ෂ 1800 ගණන් වෙද්දී අඩුම තරමින් බයිබලයේ කොටස්, භාෂා 68කින් “කතා කරන්න ඉගෙනගෙන” තිබුණා. විශේෂයෙන්ම 1804දී, බ්‍රිතාන්‍ය සහ විදෙස් බයිබල් සමාගම වැනි බයිබල් සමාගම් ඇතිවීමත් සමඟම—බයිබලය ඉක්මනින්ම තව තවත් අලුත් භාෂා “ඉගෙනගත්තා.” සිය ගණනින් තරුණයන්, මිෂනාරිවරුන් හැටියට විදෙස්වලට ස්වේච්ඡාවෙන් ගියා. බොහෝදෙනෙක් එසේ ගියේ, බයිබලය පරිවර්තනය කිරීමේ මූලික අභිප්‍රාය පෙරදැරි කරගෙනයි.
අප්‍රිකාවේ භාෂා ඉගෙනගැනීම
වර්ෂ 1800දී, අප්‍රිකාවේ ලිඛිත භාෂා තිබුණේ, දුසිමක් වගේ ප්‍රමාණයක් විතරයි. කවුරුහරි ඇවිත් ලිඛිත ක්‍රමයක් සොයාගන්න තුරු, සිය ගණන් වූ කථික භාෂාවලට බලාගෙන ඉන්න සිද්ධ වුණා. මිෂනාරිවරුන් ඇවිත්, හෝඩි පොතක්වත් ශබ්දකෝෂයක්වත් නැතුව භාෂාවල් ඉගෙනගත්තා. ඉන්පසු ඔවුන් ලිඛිත ශෛලියක් ගොඩනඟන්න වෙහෙසුණා. ඊට පස්සේ, ඔවුන් මිනිස්සුන්ට, ඒ අකුරු කියවන්නේ කොහොමද කියල ඉගැන්වූවා. ඔවුන් මෙහෙම කළේ, යම් දවසක ඔවුන්ගේම භාෂාවෙන් බයිබලය කියවන්න ජනයාට පුළුවන් වන විදිහටයි.3
එවැනි මිෂනාරිවරයෙක් තමයි, ස්කොට්ලන්ත ජාතික රොබට් මොෆට්. වර්ෂ 1821දී, ඔහුට වයස අවුරුදු 25දී, දකුණු අප්‍රිකාවේ වෙසෙන ට්ස්වානා කතා කරන සෙනඟ අතරේ මෙහෙයක් ඇරඹුවා. ඔවුන්ගේ ලිඛිත නොවූ භාෂාව ඉගෙනගන්න ඔහු මිනිසුන් එක්ක කිට්ටුවෙන් ආශ්‍රය කළා; සමහර අවස්ථාවලදී ඔවුන් සමඟ ජීවත් වෙන්න ඔහු රට අභ්‍යන්තරයට පවා ගියා. පසුව ඔහු මෙහෙම ලිව්වා: “සෙනඟ කරුණාවන්තයි, භාෂාව කතා කරද්දී මට වරදින කොට බොහෝදෙනෙක් හිනා වෙන්න පටන්ගන්නවා. මං කියපු දෙයක් කෙනෙක් ආයෙත් එහෙම්පිටින්ම කියල ඔච්චම් කරල, අනිත් අයව හිනස්සන්න කලින්, පුද්ගලයෙක් මං කියපු වචනයක් හෝ වාක්‍යයක් එක අවස්ථාවකදීවත් නිවැරදි කරන්නේ නැහැ.”4 මොෆට් අත්හරින්නේ නැතුව අන්තිමේදී භාෂාවේ නිපුණ වී, ඒ සඳහා ලිඛිත ශෛලියක් ගොඩනැඟුවා.
වර්ෂ 1829දී, ට්ස්වානාවරුන් එක්ක අවුරුදු අටක් වැඩ කළාට පස්සේ, මොෆට් ලූක්ගේ සුවිශේෂය පරිවර්තනය කරල ඉවර කෙරුවා. ඒක අච්චු ගහන්න ඔහු ගොන් කරත්තයක නැඟලා කිලෝමීටර් 1,000ක් ගෙවා වෙරළට ඇවිත්, එතැන් සිට නැවක නැඟී කේප් ටවුන් බලා පිටත් වුණා. එහිදී රජයේ අච්චු කන්තෝරුවක් පාවිච්චි කරන්න ආණ්ඩුකාරයා අවසර දුන්නත්, අකුරු ඇමිණීම සහ අච්චු ගැසීම තනියම කරන්න මොෆට්ට සිද්ධ වුණා. අවසානයේදී, 1830දී, සුවිශේෂය ප්‍රකාශයට පත් කළා. මුල්වතාවට, ට්ස්වානාවරුන්ට තමන්ගේම භාෂාවෙන් බයිබලයේ කොටසක් කියවන්න පුළුවන් වුණා. වර්ෂ 1857දී, මොෆට් ට්සාවානා බසින් මුළු බයිබලයම පරිවර්තනය කිරීම සම්පූර්ණ කළා.
ට්ස්වානාවරුන්ට ලූක්ගේ සුවිශේෂය මුලින්ම ලබාගන්න හැකි වුණාම ඔවුන්ගේ ප්‍රතික්‍රියාව ගැන මොෆට් පසුව විස්තර කළා. ඔහු මෙහෙම සඳහන් කරනවා: “ශු. ලූක්ගේ සුවිශේෂයේ පිටපත් අරගන්න සැතපුම් සිය ගණනක් දුර ඉඳන් ආපු අය ගැන මම දන්නවා . . . ඔවුන් ශු. ලූක්ගේ සුවිශේෂයේ කොටස් අරගෙන, ඒ ගැන වැලපුණු ආකාරයත්, ‘කඳුළුවලින් ඔය පොත් ටික සවුත්තු වෙයි’ කියල එක වතාවකට වඩා කියනකං, ඒවා පපුවට තුරුලු කරගෙන සතුටු කඳුළු සැලූ ආකාරයත් මම දැකලා තියෙනවා.”5
මේ අනුව, සමහරු ලිඛිත භාෂාවක් අවශ්‍ය නැහැයි කියලා මුලින් හිතුවත්, මොෆට් වැනි කැපවීමකින් කටයුතු කළ පරිවර්තකයන් නිසා, බොහෝ අප්‍රිකානුවන්ට ලිඛිතව අදහස් හුවමාරු කරගැනීමේ මුල් ප්‍රස්තාව උදා වුණා. එහෙත්, අප්‍රිකානු ජනයාට ඊටත් වඩා වටිනා තෑග්ගක් තමන් දෙමින් සිටින බව පරිවර්තකයෝ විශ්වාස කළා—ඒ තමයි, ඔවුන්ගේම භාෂාවෙන් බයිබලය. අදදින බයිබලය සම්පූර්ණයෙන්ම හෝ කොටස් වශයෙන්, අප්‍රිකානු භාෂා 600කට වඩා වැඩියෙන් “කතා” කරනවා.
ආසියාවේ භාෂාවල් ඉගෙනීම
අප්‍රිකාවේ සිටි පරිවර්තකයන් කතා කරන භාෂාවලට ලිඛිත භාෂා සාදා ඒවා වැඩිදියුණු කිරීමට පොරබදිද්දී, ලෝකයේ අනිත් පැත්තේ හිටපු වෙනත් පරිවර්තකයෝ ඊට වඩා බොහොම වෙනස් ගැටලුවකට මුහුණ දුන්නා—ඒ තමයි, ඒ වෙනකොටත් සංකීර්ණ ලිඛිත හෝඩීන් තිබූ භාෂාවන්ට බයිබලය පරිවර්තනය කරන එක. ආසියාවේ භාෂාවලට බයිබලය පරිවර්තනය කළ අය මුහුණ දුන්නේ, ඒ වගේ අභියෝගයකටයි.
දහනවවන සියවසේ ආරම්භයේදී, විලියම් කේරි සහ ජොෂුවා මාෂ්ම’න් ඉන්දියාවට ගොස් එහි ඇති විවිධ ලිඛිත භාෂාවන්වල නිපුණ වුණා. විලියම් වෝඩ් කියන මුද්‍රණ ශිල්පියාගේ උදව් ඇතුව, ආසන්න වශයෙන් භාෂා 40කට අඩුම තරමින් බයිබලයේ කොටස් පරිවර්තනය කර නිපදෙව්වා.6 විලියම් කේරි ගැන ලේඛක හ’බට් කේන් මෙහෙම පැහැදිලි කරනවා: “කලින් තිබූ සම්භාව්‍ය ගණයේ එක වෙනුවට, [බෙංගෝලි භාෂාව සඳහා] අලංකාර, නිදහසේ ගලාගෙන යන කථික විලාසයේ භාෂාවක් ඔහු ගෙතුවා. මේ විදිහට එය, නූතන පාඨකයන්ට තේරෙන වගේම ආකර්ෂණීය භාෂාවක් වුණා.”7
එක්සත් ජනපදයේ ඇති දැඩි වූ ඇඩනයිරම් ජඩ්සන්, බුරුමයට ගිහිල්ලා, 1817දී බුරුම බසින් බයිබලයක් පරිවර්තනය කරන්න පටන්ගත්තා. බයිබලය පරිවර්තනය කිරීමට සරිලන පරිද්දෙන් ප්‍රාචීන භාෂාවක් ඉගෙනගැනීමේ තියෙන දුෂ්කරතාව පැහැදිලි කරමින් ඔහු මෙහෙම ලිව්වා: ‘අපේ කල්පනා ක්‍රමයට වෙනස්ව දිවෙන කල්පනා ක්‍රමයක් තියෙන, ප්‍රතිඵලයක් වශයෙන් අලුත් වගේ පෙනෙන අදහස් ප්‍රකාශ කරන භාෂණ විලාසයක් තියෙන, අපි මෙතෙක් දැකලා තියෙන ඕනෑම භාෂාවකට වඩා සහමුලින්ම වෙනස් අකුරු සහ වචන තියෙන පොළොවේ අනිත් පැත්තේ ඉන්න සෙනඟක් කතා කරන භාෂාවක් ඉගෙනගන්න පටන්ගන්න එකත්, අපිට ශබ්දකෝෂයක්වත් භාෂා පරිවර්තකයෙක්වත්, ස්වදේශීය ගුරුවරයෙක්ගේ උපකාරයවත් ලබන්න කලින් භාෂාවේ යම් අවබෝධයක් ලබාගන්න සිදු වන එකත්—ඒ කියන්නේ සෑහෙන වැඩක්!’8
ජඩ්සන්ගේ අද්දැකීම ගත්තහම එයින් අදහස් කළේ, අවුරුදු 18ක වෙහෙසකර වැඩක්. බුරුම භාෂාවෙන්, බයිබලයේ අන්තිම කොටස මුද්‍රණය කළේ, 1835දීයි. කෙසේවෙතත්, බුරුමයේ සිටි කාලයේදී, ඔහුට සෑහෙන දුක් විඳින්න සිද්ධ වුණා. ඔහු පරිවර්තන කටයුතුවල යෙදෙද්දී, ඔත්තුකාරයෙක් කියල චෝදනා කරල මදුරුවෝ පිරිච්ච සිරගෙයක, අවුරුදු දෙකක් විතර ලගින්න ඔහුට සිද්ධ වුණා. ඔහු නිදහස් වෙලා ඇවිත් වැඩිකල් යන්න හම්බ වුණේ නැහැ, ඔහුගේ බිරිඳයි, ළාබාල දුවයි උණ රෝගයෙන් මියගියා.
වර්ෂ 1807දී, 25 හැවිරිදි රොබට් මොරිසන් චීනයට සම්ප්‍රාප්ත වෙලා, තියෙන සංකීර්ණම භාෂාවලින් එකක් වන චීන භාෂාවට බයිබලය පරිවර්තනය කිරීමේ අතිශයින් දුෂ්කර කාර්යය භාරගත්තා. ඊට අවුරුදු දෙකක විතර කාලයකට කලින් චීන භාෂාව ඉගෙනගන්න පටන්ගත් ඔහුට, ඒ ගැන තිබුණේ සීමිත දැනුමක් විතරයි. චීනයේ හුදකලාභාවය පවත්වාගෙන යන්න බැලූ චීන නීතියත් එක්ක පොරබදින්නත් මොරිසන්ට සිදු වුණා. විදේශීන්ට භාෂාව ඉගැන්වීම චීන ජාතිකයන්ට මරණ දඬුවම ගෙන දෙන තහනම් දෙයක් වුණා. විදේශිකයෙකු බයිබලය චීන භාෂාවට පරිවර්තනය කිරීම මරණ දණ්ඩනය ලැබිය යුතු වරදක් වුණා.
ධෛර්යවත්ව නමුත් පරෙස්සමින්, ඉතා වේගයෙන් භාෂාව ඉගෙනගනිමින්, මොරිසන් දිගටම අධ්‍යයනය කරගෙන ගියා. අවුරුදු දෙකක් ඇතුළතදී, පෙරදිග ඉන්දීය සමාගමේ පරිවර්තකයෙක් හැටියට ඔහුට රැකියාවක් ලැබුණා. දහවල් කාලයේදී, ඔහු සමාගමට වැඩ කළත්, අසුවීමේ නිරන්තර තර්ජනයට ලක් වෙමින් ඔහු රහසිගතව බයිබලය පරිවර්තනය කිරීමේ වැඩෙහි යෙදුණා. වර්ෂ 1814දී, ඒ කියන්නේ, චීනයට ගොස් අවුරුදු 7කට පස්සේ, ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිල්ල අච්චු ගැසීමට සූදානමින් තිබුණා.9 ඉන් අවුරුදු පහකට පසුව, විලියම් මිල්න්ගේ උදව් ඇතුව ඔහු හෙබ්‍රෙව් ලියවිල්ල සම්පූර්ණ කළා.
ඒක අතිවිශේෂ සමර්ථයක්—ලෝකයේ වෙන කිසිම සෙනඟකට වඩා වැඩි සෙනඟක් කතා කරන භාෂාවෙන් “කතා කරන්න” දැන් බයිබලයට පුළුවන්. සමර්ථ පරිවර්තකයන්ට ස්තුතිවන්ත වෙන්න, පසු කාලවලදී වෙනත් ආසියානු භාෂාවලින් පරිවර්තනයන් කරනු ලැබුවා. අදදින, බයිබලයේ කොටස් ආසියාවේ භාෂා 500කට වඩා වැඩි ප්‍රමාණයකින් ලබාගන්න පුළුවන්.
සමහර අවස්ථාවලදී ලිඛිත හෝඩියක් නැති මිනිසුන්ට වගේම තමන් නොදන්නාවූ මිනිසුන්ට බයිබලයක් පරිවර්තනය කරන්න, ටින්ඩේල්, මොෆට්, ජඩ්සන් සහ මොරිසන් වැනි අය වසර ගණනාවක්, ඒ වගේම සමහරු ජීවිතය පවා පරදුවට තබමින් වෙහෙසුණේ ඇයි? සහතිකවම, ප්‍රශංසාව හෝ මූල්‍ය වාසි ලබන්න නෙවෙයි. ඒ වෙනුවට, බයිබලය දෙවිගේ වචනය බවත්, මිනිසුන්ට—එනම් සියලුම මිනිසුන්ට—එය “කතා” කළ යුතු බවත්, ඔවුන්ගේම භාෂාවෙන් කතා කළ යුතු බවත් ඔවුන් විශ්වාස කළ නිසයි.
බයිබලය දේවවචනය කියා ඔබට හැඟුණත් නැතත්, කැපවීමකින් කටයුතු කළ ඒ පරිවර්තකයන් දැක්වූ ආකාරයේ ආත්ම-පරිත්‍යාගශීලී ස්වභාවයක් අදදින ලෝකයේ ඉතා විරල බවට ඔබ එකඟ වෙනවා ඇති. එවැනි පරාර්ථකාමිත්වයෙන් කටයුතු කිරීම සඳහා පොලඹවන පොතක් සොයාබැලීම වටින්නේ නැද්ද?
[12වන පිටුවේ වගුව]
(මුද්‍රිත පිටපත බලන්න)
වර්ෂ 1800 සිට බයිබලයේ කොටස් අච්චු ගසා ඇති භාෂා ගණන
68 107 171 269 367 522 729 971 1,199 1,762 2,123
1800 1900 1995
[10වන පිටුවේ පින්තූරය]
ටින්ඩේල් බයිබලය පරිවර්තනය කරමින්
[11වන පිටුවේ පින්තූරය]
රොබට් මොෆට්
[12වන පිටුවේ පින්තූරය]
ඇඩනයිරම් ජඩ්සන්
[13වන පිටුවේ පින්තූරය]
රොබට් මොරිසන්