බයිබලය අප අතට පත් වූ අයුරු—තුන්වන කොටස
වර්ෂ 1824, බුරුමයේදී රජුගේ නිලධාරීන් පැමිණ ඇඩනයිරම් සහ ඈන් ජඩ්සන්ගේ මිෂනාරි නිවසේ අස්සක් මුල්ලක් නෑර සෝදිසි කර, වටිනවායයි ඔවුන් සිතූ සියල්ලම රැගෙන ගියා. නමුත් ඔවුන් අගනාම වස්තුව—ඈන් නිවස තුළ රහසින් සඟවා තිබූ පරිවර්තනය කළ බයිබල් අත්පිටපතක්—අතපසු කර ගොස් තිබුණා. පරිවර්තක ඇඩනයිරම් ඔත්තු සැපයූ බවට දෝෂාරෝපණය ලැබ, මදුරු උවදුරෙන් පිරි සිරකුටියක සිර කර සිටියා. මේ වන විට, අත්පිටපත ආර්ද්‍රතාවේ තර්ජනයට ලක් වී තිබෙනවා. කොහොමද ඒක බේරගන්නේ? ඝනකම් කොට්ටයක් ඇතුලට ඒවා දමා මහන ඈන් එය සිරභාරයේ සිටින තම සැමියා අතට පත් කරයි. කොට්ටය සුරැකුණ අතර එහි අඩංගු දෑ මුල් බුරුම බයිබලයේ කොටසක් බවට පත් වෙයි.
බයිබලයට ඉතිහාසය පුරා එවැනි බොහෝ බියකරු අද්දැකීම් තිබී ඇත. බයිබලය සම්පූර්ණ කළ දා පටන් 1600 ගණන්වල මුල්භාගය දක්වා බයිබලය පරිවර්තනය කර බෙදාහැරිය ආකාරය අපි සලකා බැලුවා. එදා පටන් අද දක්වා බයිබලයට ලැබී තිබෙන සාර්ථකත්වය මොකක්ද? එය කවදා හරි සියලු ජනයා වෙත පිවිසෙයිද? වොච් ටවර් සමිතිය ඉටු කර තිබෙන්නේ මොන කාර්යභාරයද?
මිෂනාරිවරුන් සහ බයිබල් සමාගම්
රටවල් ගණනාවක, 1600 ගණන්වල සහ 1700 ගණන්වලදී එකපාරටම, බයිබලය කියවීමේ බලවත් වැඩිවීමක් සිදු වුණා. මේ කාලපරිච්ඡේදයේදී විශේෂයෙන්ම බයිබලය මගින් එංගලන්තයට දැඩි බලපෑමක් කර තිබුණා. ඇත්තෙන්ම, රට තුළ රජුගේ සිට එඬේර කොල්ලා දක්වා සෑම කෙනෙකුගේම පාහේ සිතුවිලිවලට බයිබල් කතන්දර සහ ඉගැන්වීම් කිඳා බැස තිබුණා. නමුත් බයිබලයේ බලපෑම ඊටත් වඩා දුරකට පැතිර ගියා. එවකට එංගලන්තය නාවික වෙළඳ මධ්‍යස්ථානයක් හා ජනපද බලයක් බවට පත් වී තිබූ අතර, ඇතැම් ඉංග්‍රීසි ජාතිකයන් තම නාවික ගමන්වලදී බයිබලයද රැගෙන ගියා. මෙය පුළුල් කරන ලද බයිබල් ව්‍යාපාරයකට අත්තිවාරම දැමුවා.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ දුරින් පැතිර තිබුණු රටවල දේශීය ජනයාගේ ආත්මික අවශ්‍යතා ගැන කල්පනා කර බැලීමට, 1700 ගණන්වල අගභාගය වන විට බයිබලය එංගලන්තයේ සමහරෙකුව අවදි කළා. කොහොමනමුත් මේ සැලකිලිමත් වීම මුළු ලෝකයේම පැවති එකක් වුණා. පල්ලි යන බොහෝදෙනෙක් පූර්ව නියමය විශ්වාස කළා; ඒ හේතුවෙන් ඔවුන් විශ්වාස කළේ දෙවිගේ කැමැත්තට අනුව සමහරෙක් බේරෙන්නේ නැහැයි කියලයි. ඉන්දියාවට ධර්ම දූත මෙහෙයක යෙදීමට උනන්දු කරනු වස් මිෂනාරි විලියම් කේරි උද්යෝගවත් කතාවක් දුන් විට, යමෙක් මෙසේ සරදම් කළා: “ඉඳගන්න, ළමයා; දෙවි කැමති වෙලාවට මිථ්යාදෘෂ්ටිකයන්ව හරවයි; ඔයාගේ උපකාරය නැතුව එයා ඒක කරයි!” කෙසේනමුත්, 1793දී කේරි ඉන්දියාවට යාත්‍රා කළා. පුදුමයකට මෙන්, ඔහු අන්තිමේදී මුළු බයිබලයම හෝ කොටස් හෝ ඉන්දියානු භාෂා 35කට පරිවර්තනය කළා.
දේශීය භාෂාවෙන් බයිබලය තිබීම ප්‍රධානතම උපකරණය බව මිෂනාරිවරු වටහාගත්තා. එහෙත්, බයිබල් සපයන්නේ කවුද? දහසය-හැවිරිදි වේල්ස් ජාතික මේරි ජෝන්ස් නිසා ලොව පුරා බයිබල් බෙදාහරින ව්‍යාපාරයක් නොදැනුවත්වම බිහිවීම සිත්ගන්නා කරුණකි. පූජකයෙකුගෙන් වේල්ස් බයිබලයක් මිල දී ගැනීමට, 1800දී මේරි පාවහන් නැතුව පයින්ම කිලෝමීටර් 40ක දුරක් ඇවිද්දා. අවුරුදු හයක් පුරා ඇය මුදල් එකතු කර තිබුණු අතර, බයිබල් සියල්ලම විකුණා ඇති බව දැනගත් විට මේරි කරබාගෙන අඬන්ට වුණා. මේරි ගැන ලොකු දුකක් ඇති වුණ පූජකයා ඔහුගේ බයිබල්වලින් එකක් දුන්නා.
ඉන්පසු, බයිබල් වුවමනා වූ අනිත් බොහෝදෙනා ගැනත් කල්පනා කළ පූජකවරයා, ලන්ඩන්වල ඉන්න මිත්‍රයන් සමඟ ගැටලුව සාකච්ඡා කළා. ප්‍රතිඵලයක් වශයෙන් බ්‍රිතාන්‍ය සහ විදේශීය බයිබල් සමාගමක් 1804දී පිහිටුවනු ලැබුවා. එහි මෙවැනි සරල අදහසක් ඉදිරිපත් කර තිබුණා: මනුෂ්‍යයන්ට තමන්ගේම භාෂාවෙන් ලබාගත හැකි වන පරිදි බයිබල් සැපයීමට “සටහනක් හෝ අදහස් ප්‍රකාශයක් නැතුව” මුද්‍රණය කළා. තීරුවල විස්තර විවරණයන් ඉවත් කිරීමෙන්, සමාගමේ මූලාරම්භකයන් ආගමික ඉගැන්වීම් පිළිබඳ මතභේද වැළැක්වීමට බලාපොරොත්තු වුණා. එහෙත් කීප වතාවක්ම, ද්විතීය සම්මත ග්රන්ථ, ගිල්වීම මගින් බව්තීස්මය සහ ත්‍රිත්ව ධර්මය සම්බන්ධයෙන් බයිබල් සමාගම බෙදී සිටියා.
මුල් උද්යෝගය විගස පැතිර ගිය අතර, 1813 වන විට ජර්මනියේ, නෙදර්ලන්තයේ, ඩෙන්මාර්ක්වල හා රුසියාවේ එවැනිම සමාගම් පිහිටුවා තිබුණා. කල් යත්ම, වෙනත් රටවලත් බයිබල් සමාගම් ඇති වුණා. මුල් බයිබල් සමාගම් තම ඉලක්ක පිහිටුවාගත් විට, ඔවුන් සිතුවේ ලෝකයෙන් වැඩි කොටසක් භාවිත කළේ ප්‍රධාන භාෂා කීපයක් පමණයි කියායි. දහස් ගණනක් තිබෙන බව ඔවුන් කෙදිනකවත් සිතුවේ නෑ! කෙළින්ම ස්වභාෂාවකට පරිවර්තනය කිරීමට හැකි වන පරිදි හෙබ්‍රෙව් සහ ග්‍රීක් දැනගෙන හිටියේ සාපේක්ෂ වශයෙන් පරිවර්තකයන් කීපදෙනයි. මෙබැවින්, බ්‍රිතාන්‍ය සහ විදේශීය බයිබල් සමාගම පරිවර්තනයන් භාරගත් විට, පරිවර්තකයන් බොහෝවිට තමන්ගේ වැඩය ඉංග්‍රීසි භාෂාවෙන් වූ කිං ජේම්ස් ව’ෂන් (ජේම්ස් රජුගේ අනුවාදය) මත පිහිටෙව්වා.
පරිවර්තකයෙක් අද්දුටු පීඩා
බයිබලයේ අඩංගු කතන්දර සහ නිදර්ශනවලින් වැඩි හරියක් එදිනෙදා අද්දැකීම් මත පදනම් වී තිබෙනවා. මෙය, පරිවර්තනය කිරීමට වඩාත් පහසු කරවනවා; දර්ශනයකින් ඇදගත් යෙදුම් ලෙස ලියා තිබුණා නම් එසේ වන්නේ නෑ. කොහොමනමුත්, අපේක්ෂා කළ හැකි පරිදි, මිෂනාරිවරුන්ගේ මුල් වෑයම් සමහරවිට වියවුල් හෝ හාස්‍යජනක පරිවර්තනයන් බිහි කළා. උදාහරණයක් වශයෙන්, එක පරිවර්තනයක්, ඉන්දියාවේ එක්තරා කොටසක ඉන්න ජනයාට දෙවි නිල්-පැහැයට හුරු කෙනෙක්ය යන අදහස දුන්නා. “ස්වර්ගික පියා” නමැති ප්‍රකාශයෙහි “ස්වර්ගික” යන්නට යොදා තිබුණ වචනයෙන් අදහස් කළේ, “අහසේ පාට තිබෙන”—එනම් සැබෑ අහසයි!
පරිවර්තකයෙක්ගේ බාධක සම්බන්ධයෙන් ඇඩනයිරම් ජඩ්සන් 1819දී මෙසේ ලිව්වා: ‘අලුත්ම භාෂණ විලාසයක් තියෙන, අපි මෙතෙක් දැකලා තියෙන ඕනෑම භාෂාවකට වඩා සහමුලින්ම වෙනස් අකුරු සහ වචන තියෙන පොළොවේ අනිත් පැත්තේ ඉන්න සෙනඟක් කතා කරන භාෂාවක් ඉගෙනගන්න පටන්ගන්න එකත්, අපිට ශබ්දකෝෂයක්වත්, භාෂා පරිවර්තකයෙක්වත්, ස්වදේශීය ගුරුවරයෙක්ගේ උපකාරයවත් ලැබෙන්න කලින් භාෂාවේ යම් අවබෝධයක් ලබාගන්න සිදු වන එකත්—ඒ කියන්නේ සෑහෙන වැඩක්!’ එමෙන්ම ජඩ්සන් වැනි පරිවර්තකයන්ගේ වැඩය, බයිබලය ඕනෑ වෙලාවක ලබාගැනීමට හැකිකම බෙහෙවින් වැඩි කළා.—12වන පිටුවේ සටහන බලන්න.
පරිවර්තනය කිරීමේ දුෂ්කර කාර්යය සඳහා ඈන් ජඩ්සන් ඇගේ සැමියාට උපකාර කළා. නමුත් ජඩ්සන්ට ශාස්ත්රාලීය පීඩාවලට වඩා වැඩි යමකට මුහුණ දෙන්න සිදු වුණා. රජුගේ නිලධාරීන් ඇඩනයිරම්ව ඇදගෙන ගොස් සිරගත කළ අවස්ථාවේදී, ඈන්ට දරුවෙකු ලැබෙන්න සිටියා. නිර්භීත ලෙස, මාස 21ක් පුරා ඇය ඇගේ සැමියා වෙනුවෙන් එදිරිවාදී නිලධාරීන්ට කන්නලව් කළා. එම අසීරු අද්දැකීමත් සමඟම අසනීපය ඇයට හානිකර බලපෑමක් ඇති කළා. ඇඩනයිරම් නිදහස් වී වැඩි කල් යන්න මත්තෙන් ඔහුගේ අභීත ඈන් සහ ඔවුන්ගේ කුඩා දියණිය උණෙන් මියගියා. ඇඩනයිරම්ගේ හිත කඩා වැටුණා. එහෙත්, ශක්තිය සඳහා දෙවි මත රඳා සිටි ඔහු දිගටම පරිවර්තනයේ නියැලී, 1835දී බුරුම භාෂා බයිබලය සම්පූර්ණ කළා. මේ අතරතුර, බයිබලයට විරුද්ධව වෙනත් කපටි අභියෝගයන් වර්ධනය වෙමින් තිබුණා.
බයිබලය මතභේදයට මැදි වෙයි
එක්දාස් අටසිය ගණන්වල මහත් සමාජීය හා දේශපාලනික මතභේදයක් දක්නට තිබුණා; මෙහිදී සමහරවිට බයිබලය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළා. උදාහරණයක් වශයෙන්, මහරජගේ සහ රුසියානු ඕතඩොක්ස් පල්ලියේ අනුග්‍රහයෙන් රුසියානු බයිබල් සමාගම පටන්ගත්තත්, කාලයාගේ ඇවෑමෙන් ඔවුන් සමාගම විසුරුවා හැර, ඊට තහංචි පැනෙව්වා. (මේ වන විටත් ඒ සමාගමේ විරුද්ධකාරයන් විසින් ඊට අවුරුද්දකට පමණ පෙර බයිබල් දහස් ගණනක් පුලුස්සා තිබුණා.) මේ අවස්ථාවේදී, මුල් ක්‍රිස්තියානීන් ඉමහත් උද්යෝගයෙන් පටන්ගෙන තිබූ—ලොව පුරාම බයිබලය බෙදාහැරීමට අවසානයක් ගෙන ඒම සඳහා ඕතඩොක්ස් පූජක පක්ෂය මං සොයාගත්තා. පල්ලිය සහ රජය යන දෙකෙහිම අධිකාරියට බයිබලය තර්ජනයක් බව ඕතඩොක්ස් නායකයන් 19වන සියවසේදී තරයේ කියා සිටියා. ඊට පටහැනිව, මතු වෙමින් තිබුණු දේශපාලන පෙරමුණක්, බයිබලය, අධිකාරීන්ට තර්ජනයක් නොව, නමුත් මහජනයා යටත් කර තබාගත හැකි පල්ලියේ සහ රජයේ ආයුධයක් වශයෙන් සැලකුවා. බයිබලය දෙපැත්තෙන්ම පහර කෑමට යට වී තිබුණා!
ඊළඟ අවුරුදු බයිබලය මත “බුද්ධිමය” ප්‍රහාර වැඩිවීමක්ද අද්දුටුවා. චාල්ස් ඩාවින් 1831දී විශේෂ කටයුත්තක් සඳහා ආරම්භ කළ ගමන, පරිණාමය පිළිබඳ ඔහුගේ සිද්ධාන්තයට මඟ පෑදුවා. වර්ෂ 1848දී, මාක්ස් සහ එන්ගල්ස් කමියුනිස්ට් මැනිෆෙස්ටෝ (කොමියුනිස්ට්වාදී ප්රකාශනය) නිකුත් කළේ, ක්‍රිස්තු ධර්මය තාඩන පීඩනවලට මෙවලමක් වශයෙන් විස්තර කරමින්. එමෙන්ම මේ කාලපරිච්ඡේදයේදී, ශුද්ධ ලියවිලිවල විශ්වසනීයභාවය සහ බයිබල් චරිතවල—යේසුගේ පවා—ඓතිහාසික යථාර්ථය සම්බන්ධයෙන් බයිබල් ලියවිලි හැදෑරූ විවේචකයන් ප්‍රශ්න කළා! නමුත් කල්පනා කර බලන සමහරුන් දෙවි සහ බයිබලය ප්‍රතික්ෂේප කළ සිද්ධාන්තවල බොරුව වටහාගෙන තිබෙන අතර, බයිබලයේ සත්‍යතාව ස්ථිර කරන ප්‍රවීණ මාර්ග සොයාගෙන තිබෙනවා. ත්‍යාගලාභී ජර්මානු භාෂාවේදියෙක් වූ කොන්ස්ටන්ටින් වොන් ටිෂන්ඩෝෆ් මොවුන්ගෙන් කෙනෙක්.
බයිබලය තහවුරු කිරීමට සොයාගැනීම් උපකාර වෙයි
ඉපැරණි බයිබල් අත්පිටපත් සොයා යෑමේදී ටිෂන්ඩෝෆ් මැද පෙරදිග පුරා ගමන් කළේ මුල් බයිබල් පිටපත සැකයකින් තොරව තහවුරු කිරීමේ බලාපොරොත්තුවෙනුයි. වර්ෂ 1859දී, ඩාවින් දි ඔරිජින් ඔෆ් ස්පීෂීස් (ජාති සම්භවය) මුද්‍රණය කළ අවුරුද්දේම, ටිෂන්ඩෝෆ්ට සීනයි කඳු පාමුලේ පිහිටි ආශ්රමයක තිබී ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවල පැරණිතම සම්පූර්ණ පිටපත සම්බ වී තිබුණා. එය කෝඩෙක්ස් සයිනයිටිකස් වශයෙන් හැඳින්වුණු අතර, සමහරවිට නිපදවනු ලබන්න ඇත්තේ ජෙරොම් ලතින් වල්ගේට් සම්පූර්ණ කරන්න අවුරුදු 50කට පමණ පෙරයි. ඔහු ආශ්රමයෙන් කෝඩෙක්ස් ඉවත් කිරීමේ යෝග්‍යතාව සම්බන්ධයෙන් විවාදයක් පැවතුණත්, ප්‍රවීණයන්ට ලබාගත හැකි වන පරිදි ටිෂන්ඩෝෆ් එය ප්‍රකාශයට පත් කළා.a
පැරණිතම මුල්-භාෂා අත්පිටපත් අතර සයිනයිටිකස් තිබුණ නිසා, ග්‍රීක් ශුද්ධ ලියවිලි අනිවාර්යයෙන්ම වෙනස් නොවී තිබෙන බව හෙළි කළා පමණක් නොව, නමුත් පසු අත්පිටපත් තුළට රිංගා ඇති වැරදි සොයාගැනීමටත් ප්‍රවීණයන්ට උපකාරවත් වුණා. උදාහරණයක් වශයෙන්, සයිනයිටිකස්හි 1 තිමෝති 3:16 යේසුට කර ඇති යොමු දැක්වීම මෙසේ කියවෙනවා: “ඔහු මාංසයෙහි ප්‍රකාශ වූවේය.” එවකට ප්‍රසිද්ධව තිබූ අත්පිටපත්වලින් වැඩි හරියක “ඔහු” සඳහා යෙදූ ග්‍රීක් වචනයෙහි සුළු වෙනසක් කර “ඔහු” වෙනුවට “දෙවි” යන්න කෙටි කර දැක්වීමකින් දක්වා තිබුණා. කෙසේනමුත්, සයිනයිටිකස් සාදා තිබුණේ ඕනෑම ග්‍රීක් අත්පිටපතක් “දෙවි” යනුවෙන් යෙදීමට අවුරුදු ගණනාවකට පෙරයි. මෙබැවින්, පැහැදිලිවම ත්‍රිත්ව ධර්මයට අනුබල දීමක් හඳුන්වා දෙමින් පසු කලක ලියවිල්ලේ අපවිත්‍ර කිරීමක් සිදු වී ඇති බව එමගින් හෙළි කළා.
ටිෂන්ඩෝෆ්ගේ කාලයේ පටන්, තව තවත් අත්පිටපත් සොයාගෙන තිබෙනවා. අදදින, සොයාගෙන ඇති හෙබ්‍රෙව් ලියවිලි අත්පිටපත්වල මුළු ගණන 6,000ක් පමණ වන අතර ග්‍රීක් ලියවිලි 13,000කට වැඩියි. මේවා සම්බන්ධ සන්සන්දනාත්මක අධ්‍යයනය, සැකයකින් තොරව විශ්වාස කළ හැකි මුල් භාෂා ලියවිල්ලකට ප්‍රතිඵල වී තිබෙනවා. ප්‍රවීණ එෆ්. එෆ්. බෲස් මෙසේ පවසයි: “විවිධ පරිවර්තන . . . ඓතිහාසික සත්‍යය හෝ ක්‍රිස්තියානි ඇදහිල්ල හා පිළිපැදීම ගැන වැදගත් ප්‍රශ්නයක් ඇති කළේ නෑ.” තව බොහෝ භාෂාවලට බයිබලය පරිවර්තනය කෙරෙන අතරතුරේ, මේ වැඩි වුණ දැනුම ජනයාට ප්‍රයෝජනවත් විය හැක්කේ කෙසේද?
වොච් ටවර් සමිතිය සහ බයිබලය
උනන්දුමත් බයිබල් ගුරුවරු සහ ශිෂ්‍යයන්ගේ කුඩා කණ්ඩායමක් 1881දී සමිතියක් පිහිටෙව්වා; එය පසු කලක වොච් ටවර් බයිබල් සහ පත්‍රිකා සමිතිය බවට පත් වුණා. මුලදී, ඔවුන් ටිෂන්ඩෝෆ්ගේ ග්‍රීක් ශුද්ධ ලියවිලි ඇතුළු වෙනත් බයිබල් සමාගම් නිපදවූ බයිබල් බෙදාහැරියා. කෙසේවුවද, 1890 වන විට, බයිබල් සංස්කරණ ගණනාවකින් මුල්ම එකට අනුග්‍රහය දක්වමින්, ඔවුන් බයිබලය ප්‍රකාශයට පත් කරන්න කෙළින්ම පටන්ගත්තා. වර්ෂ 1926දී සමිතිය තමන්ගේම මුද්‍රණාලවලින් බයිබලය මුද්‍රණය කරන්න පටන්ගත්තා. නමුත් තත්කාලීන බයිබල් පරිවර්තනයක අවශ්‍යතාව එන්න එන්නම පැහැදිලි වුණා. තේරුම්ගත හැකි මෙන්ම පහසු මිලකට ලබාගත හැකි බයිබලයක් නිපදවීමට, කලින් සියවසේ ලබාගත් දැනුම් සම්භාරය සහ සොයාගැනීම් යෙදවිය හැකිද? මේ පරමාර්ථය ඇතුව, ශුද්ධ ලියවිලිවල අලුත් පරිවර්තනයක් නිපදවීමට සමිතියේ සහකාර සාමාජිකයන් 1946දී වැඩපිළිවෙළක් දියත් කළා.
එක පරිවර්තනයක්, බොහෝ භාෂාවලින්
සුදුසුකම් ලැබූ ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ පරිවර්තන කමිටුවක්, ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනය ඉංග්‍රීසියෙන් නිපදවීමට සංවිධානය වුණා. ග්‍රීක් ශුද්ධ ලියවිලිවලින් පටන්ගත් එය වෙළුම් හයකින් ප්‍රකාශයට පත් කර, 1950 සිට 1960 දක්වා මුදාහැරියා. වර්ෂ 1963 පටන් එය තවත් භාෂා 27කට පරිවර්තනය කර තිබෙන්නේ වැඩි ප්‍රගතියක් ලබමින්. ඉංග්‍රීසි එකට වගේම ඉලක්ක, වෙනත් භාෂා සඳහාත් තිබුණා. පළමුව, මුල් අදහස්වලට හැකි තරම් ආසන්න වන ආකාරයට පරිවර්තනය නිවැරදි විය යුතුයි. එක්තරා ධර්මයකට සමාන වන පරිදි අදහස විකෘති නොකළ යුතුයි. දෙවනුව, පරිවර්තනය එක පරිවර්තනයක් මත රැඳෙමින්, පාඨ සම්බන්ධය ඉඩහරින ප්‍රමාණයට සෑම බරපතළ වචනයකටම ස්ථාවරත්වයක් පවත්වාගත යුතුයි. බයිබල් ලේඛකයන් විශේෂ වචන යොදා ඇති ආකාරය දැකීමට එවැනි එළඹීමක් පාඨකයන්ට උපකාර කරනවා. තුන්වනුව, අර්ථය අපැහැදිලි නොවන ලෙස පරිවර්තනය හැකි තරම් දුරට පදගතාර්ථයෙන්ම තිබිය යුතුයි. පදගතාර්ථ විලාසය පාඨකයාට මුල් භාෂාවල ලක්ෂණය සහ ඊට සම්බන්ධ අදහස් රටාව වෙතටම වාගේ පිවිසීමට සලස්වනවා. තවද හතරවනුව, සාමාන්‍ය ජනතාවට එය කියවා, තේරුම්ගැනීමට පහසු විය යුතුයි.
ඉංග්‍රීසි නව ලෝක පරිවර්තනය සෑහෙන දුරට පදගතාර්ථ ශෛලියෙන් තිබීම එය වෙනත් භාෂාවලට පරිවර්තනය කිරීමට පහසු කරවනවා. මේ අරමුණ සඳහා සමිතියේ පරිවර්තන කණ්ඩායම්, තම වැඩය වේගවත් කිරීමට සහ එය වඩාත් නිවැරදි කිරීමට දියුණු වූ පරිගණක උපකරණ දැන් භාවිත කරමින් සිටිනවා. මේ ක්‍රමය පරිවර්තකයන්ට සෑම බරපතළ වචනයකටම සමාන ස්වභාෂා වචන ලැයිස්තුගත කිරීමට උපකාරවත් වෙනවා. බයිබලයේ සෑම හෙබ්‍රෙව් සහ ග්‍රීක් වචනයකටම යොදා ඇති ඉංග්‍රීසි පරිවර්තනයන් අධ්‍යයනය කිරීමටද එය ඔවුන්ට හැකි කරවනවා.
කෙළින්ම හෙබ්‍රෙව් හා ග්රීක්වලින් පරිවර්තනය කරනවාට වඩා ඉංග්‍රීසිවලින් පරිවර්තනය කිරීම වැදගත් වාසි ලබා දෙනවා. පරිවර්තන කාලය කෙටි කරනවාට අමතරව, එය සියලු භාෂාවලින් වඩාත් වැඩියෙන් එකමුතු ප්‍රකාශයක් කිරීමට හැකි කරවනවා. මන්ද? ඉපැරණි භාෂාවකින් විවිධ නවීන භාෂාවලට පරිවර්තනය කරනවාට වඩා, එක නවීන භාෂාවකින් තවත් භාෂාවකට ඉතා නිවැරදිව පරිවර්තනය කිරීම වඩාත් පහසු නිසායි. අනිත් එක, පරිවර්තකයන්ට අදහස් විමසිය හැක්කේ අවුරුදු දහස් ගණනකට පෙර තිබුණු භාෂා කතා කළ අයගෙන් නෙවෙයි, නමුත් නවීන භාෂා කතා කරන එම රටේම අයගෙනුයි.
සියලු ජාතීන් සඳහා ශුභාරංචි
බයිබලය, පොළොව මත වැඩියෙන්ම බෙදාහැර තිබෙන පොත බවට පත් කිරීමට උපකාර කර ඇති අධිෂ්ඨාන ශක්තිය තිබූ පුරුෂයන් සහ ස්ත්‍රීන් ගැන තව බොහෝ දේ ලිවිය හැකියි. සියවස් ගණනක් පුරා, ලෝක ජනගහනයෙන් සියයට 90කට වඩා වැඩිදෙනෙක් කතා කරන භාෂා දෙදාහකට වැඩි ප්‍රමාණයකින් අඩුතරමින් බයිබල් හා බයිබලයේ කොටස් බිලියන හතරක් මුද්‍රණය කර තිබෙනවා!
අපේ දවස්වලදී දේවරාජ්‍යය පිළිබඳව ලෝක ව්‍යාප්ත දේශනා කිරීමක් සිදු වෙයි කියා බයිබලය පුරෝකථනය කළා. මෙය පෙරදැරි කරගෙන, දැන් මුළු ලෝකෙම පාහේ තිබෙන බයිබලය සෑදීමට පැහැදිලිවම යෙහෝවා දෙවිම මඟ පෙන්වා තිබෙනවා. (මතෙව් 13:47, 48; 24:14) අතීතයේ නිර්භීත බයිබල් පරිවර්තකයන් සහ ප්‍රචාරකයන්, දෙවිගේ වචනය—එනම් සදාචාරමය අතින් අඳුරු ලෝකයක ආත්මික ආලෝකයේ එකම ප්රභවය—අපට දීමට සෑම දෙයක්ම පරදුවට තැබුවා. ඔවුන්ගේ ආදර්ශය එම වචනය කියවීමට, ඒ අනුව ජීවත් වීමට සහ ඔවුන් විදහාපෑ ඒත්තුගැනීමෙන්ම යුතුව වචනය බෙදාගැනීමට ඔබව පොලඹවත්වා! ඔව්, ඔබේ අතේ තිබෙන විශ්වසනීය බයිබලයෙන් සෑම දිනකම පූර්ණ ප්‍රයෝජනය ගන්න!—යෙසායා 40:6-8.
[පාදසටහන]
a “කෝඩෙක්ස් සයිනයිටිකස් බේරාගැනීම” 1988 ඔක්තෝබර් 15 මුරටැඹ (ඉංග්‍රීසියෙන්) බලන්න.
[12වන පිටුවේ වගුව]
බයිබල් පරිවර්තනයේ වැඩිවර්ධනය
(මුද්‍රිත පිටපත බලන්න)
භාෂා
ගණන
1 යුදෙව්වන් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි ග්රීක්වලට පරිවර්තනය කිරීමට පටන්ගනී
පො.යු.පෙ. 280 පමණ
12 පො.යු. 400දී පමණ ජෙරොම් ලතින් වල්ගේට් සම්පූර්ණ කරයි
35 ගුටන්බග් 1455දී පමණ මුල් මුද්‍රිත බයිබලය සම්පූර්ණ කරයි
81 බ්‍රිතාන්‍ය සහ විදේශීය බයිබල් සමාගම පිහිටෙව්වේ 1804දී
අවුරුද්දට අනුව භාෂා ගණන තක්සේරු කර
522
1900
600
700
800
900
1,049
1950
1,100
1,200
1,300
1,471
1970
2,123
1996
2,200
2,300
2,400
[හිමිකම් විස්තර]
මූලාශ්රයන්: Christianity Today, United Bible Society
[9වන පිටුවේ හිමිකම් විස්තර]
Mountain High Maps® Copyright © 1995 Digital Wisdom, Inc.
[8වන පිටුවේ පින්තූරය]
ජඩ්සන්ව බැඳ, ඇදගෙන යයි
[හිමිකම් විස්තර]
ජෙසේ පේජ්ගේ Judson the Hero of Burma, පොතෙන්
[10වන පිටුවේ පින්තූර]
ටිෂන්ඩෝෆ් සීනයි කඳු පාමුලේ පිහිටි මෙම ආශ්‍රමයේදී වටිනා අත්පිටපතක් බේරාගත්තා
[හිමිකම් විස්තර]
Pictorial Archive (Near Eastern History) Est.