එකොළොස්වන පරිච්ඡේදය
ඔබේ ජීවිතයට ස්ථිරසාර අරුතක් ලබා දෙන්න
අප කොතැනක ජීවත් වුවත්, විද්‍යාත්මක සොයාගැනීම් ගැන අපට ආරංචි වෙනවා. පෘථිවි ග්‍රහයා ගැනත් එමත ජීවය ගැනත් මිනිසා සතු දැනුම් සම්භාරයට ජීව විද්‍යාඥයන්, සාගර විද්‍යාඥයන් සහ වෙනත් අය නොයෙකුත් දෑ එකතු කරනවා. වෙනත් දිශාවකට යොමු වන තාරකා ශාස්ත්‍රඥයන් මෙන්ම භෞතිකඥයන් අපේ සෞර ග්‍රහ මණ්ඩලය, තරු සහ දුර පිහිටි මන්දාකිණි ගැන පවා ඉගෙනගනිමින් සිටිනවා. මේ සියල්ල අපව යොමු කරන්නේ කුමක් වෙතටද?
පැහැදිලිව කල්පනා කරන බොහෝදෙනෙක් පුරාණ දාවිත් රජු සමඟ එකඟ වෙනවා: ‘අහස දෙවිගේ මහිමය ප්‍රකාශ කරයි; ගුවන්තලය ඔහුගේ හස්ත කර්මාන්තය දක්වයි.’ (ගීතාවලිය 19:1) ඇතමුන්ට ඊට එකඟ විය නොහැකි බව හෝ ස්ථිර ලෙස එසේ පැවසිය නොහැකි බව ඇත්තයි. එනමුත්, මෙම පොතෙහි ඉදිරිපත් කර ඇති සාක්ෂි සලකා බැලීමෙන් පසු, මැවුම්කරුවෙක් සිටින බවත්, අපේ විශ්වයේ සහ අපේ ජීවිතයේ මූලාරම්භකයා ඔහු බවත් විශ්වාස කිරීමට ඕනෑ තරම් හේතු ඇති බව ඔබ දකින්නේ නැද්ද?
ප්‍රේරිත පාවුල් මෙසේ පැවසුවා: “දෙවි ගැන තමා නොදන්නා බව මනුෂ්‍යයාට පැවසිය නොහැකියි. මෙම ලෝකයේ පටන්ගැන්මේ සිට, දෙවි කෙබඳු කෙනෙක්ද යන්න ඔහු සාදා ඇති දෙයින් මනුෂ්‍යයාට දැකබලා ගත හැකි විය. සදහටම පවතින ඔහුගේ බලය මෙයින් පැහැදිලි වේ. ඔහු දෙවි බව ඉන් පෙනී යයි.” (රෝම 1:20, ශුද්ධ බයිබලය—නව ජීව අනුවාදය) මැවීම ගැන අප කලින් පරිච්ඡේදවල සලකා බැලූ තොරතුරු “දෙවි කෙබඳු කෙනෙක්ද යන්න . . . දැකබලා” ගැනීමේ එනම් ඔහුගේ “අදෘශ්‍යමාන ගුණාංග” අගය කිරීමේ කාර්යය අපට වඩාත් පහසු කළා. (නව ලෝක පරිවර්තනය) කෙසේවෙතත්, භෞතික මැවිල්ල තුළින් මැවුම්කරුව ඒත්තුගැනීමෙන් පමණක් නතර නොවිය යුතුයි. ඒ ඇයි?
විශ්වයේ අධ්‍යයනය වෙනුවෙන් විද්‍යාඥයන් රැසක් බොහෝ කාලය සහ ශ්‍රමය කැප කළත්, කල්පවතින අරුතක් සොයාගැනීමට නොහැකිව, ඔවුන්ට හිස්බවක් දැනේ. නිදසුනකට භෞතිකඥ ස්ටීවන් වයින්බ’ග් මෙසේ ලිව්වා: “විශ්වය තේරුම්ගන්න තරමටම, එහි පැවැත්මට හේතුව තේරුම්ගැනීම අපහසු වන බව පෙනේ.” තාරකා ශාස්ත්‍රඥ ඇලන් ඩ්‍රෙස්ලර්ගේ මතය ගැන සයන්ස් සඟරාව මෙසේ පැවසුවා: “විශ්ව න්‍යාය විද්‍යාවෙන් දෙවිගේ ‘මනස’ නොහොත් ‘අත් අකුරු’ හෙළි වන බව පර්යේෂකයන් පවසන විට, දෙවි සම්බන්ධ වන්නේ විශ්වයේ භෞතික නිර්මාණයට පමණක් බවයි ඔවුන් පිළිගන්නේ.” වඩා වැදගත් දේ වන්නේ, මිනිස් පැවැත්මේ අරුත තේරුම්ගැනීම බව ඩ්‍රෙස්ලර් අඟවමින් සිටියා. ඔහු මෙසේ පැවසුවා: “මානව සංහතිය [භෞතික] විශ්වයේ භෞතික කේන්ද්‍රය යන විශ්වාසය ජනතාව දැන් අත්හැර තිබුණත්, ජීවිතයේ අරුත අප වටා ගෙතී ඇති බවට යළිත් විශ්වාස කළ යුතුයි.”
අපේ පැවැත්මෙහි අරුත තේරුම්ගැනීමට අප සැම දැඩි සේ උනන්දු විය යුතු බව පැහැදිලියි. මැවුම්කරු නොහොත් ප්‍රධාන නිර්මාතෘ සිටින බවත්, අප ඔහු මත යැපෙන බවත් පිළිගැනීම අපේ ජීවිතයට අරුතක් ගෙන දෙන්න යන්නේ නැහැ. ජීවිතයේ කෙටිබව දැනෙන නිසා, මෙය විශේෂයෙන්ම සැබෑවක් වෙයි. විලියම් ෂේක්ස්පියර්ගේ නාට්‍යයක චරිතයක් වූ මැක්බත්ගේ හැඟීම්වලට සමාන හැඟීම් බොහෝදෙනෙකුට ඇත:
“දැඟුම් සේ මතෙකිය දිවි!
දපින් කරලියැ හඬ—නඟන නළුවෙකි අසරණින් පසු
නැති ඇසුමට කිසිත්—අඳ දද බාලයකු කී
කෑ මොර සනින් පිරී—කතාවකි එය, වියරු හර සුන්”
—මැක්බත්, V අංකය, V දර්ශනය, පරිවර්තනය කේ. ජී. කරුණාතිලක.a
මෙම වදන්වලට ලොව පුරා ජනතාව එකඟ වුවත්, ඔවුන් පෞද්ගලිකව ඉතා බරපතළ උවදුරකට මුහුණ දෙන විට, පිහිට ඉල්ලමින් බොහෝදුරට හැරෙන්නේ දෙවියන් වෙතටයි. අතීතයේ විසූ ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙකු වූ එලීහු මෙසේ නිරීක්ෂණය කළා: “පීඩා රාශිය නිසා ඔව්හු කෑගසති; බල ඇත්තන්ගේ හස්තය නිසා මොරගසති. එහෙත්: පොළොවේ මෘගයන්ට වඩා අපට උගන්වන්නාවූ, ආකාශයේ පක්ෂීන්ට වඩා අප ප්‍රඥාවන්ත කරන්නාවූ, . . . මාගේ මැවුම්කාර [දෙවි] කොතැනදැයි කිසිවෙක් නොඅසන්නේය.”—යෝබ් 35:9-11.
අරුතෙහි නියම කේන්ද්‍රය මනුෂ්‍යයන් වන අප නොවන බව එලීහුගේ මෙම වදන්වලින් සනාථ වෙයි. එම කේන්ද්‍රය අපේ උදාර මැවුම්කරුවාය. තවද අපේ පැවැත්ම සම්බන්ධව යම් සැබෑ අරුතක් ලබාගැනීමට නම්, තර්කානුකූලව ඔහු සම්බන්ධ වනවා පමණක් නොව එය ඔහු මතද රඳා පවතී. එවැනි අරුතක් සොයාගෙන, ඒ හා බැඳි ගැඹුරු තෘප්තිය අද්දැකීමට නම්, අප විසින් මැවුම්කරුව දැනහඳුනාගෙන ඔහුගේ කැමැත්තට එකඟව අපේ ජීවිත සකස් කිරීම අවශ්‍ය වෙනවා.
මැවුම්කරු වෙතට හැරීම
මෝසෙස් මැවුම්කරු වෙතට හැරුණා. යථාර්ථවාදීව ඔහු මෙසේ පිළිගත්තා: “අපේ ජීවිතයේ දවස් අවුරුදු හැත්තෑවක්ය, ශක්තිය ඇත්නම් අවුරුදු අසූවක්ය; එසේ වූවත් ඒවායේ යහපත් භාගය පවා වෙහෙස හා දුකමය.” මෙම අවබෝධයෙන් මෝසෙස් අධෛර්යයට පත් වූයේ නැහැ. එනමුත් මැවුම්කරු වෙතට හැරීමේ වැදගත්කම අගය කිරීමට මෙය ඉවහල් වුණා. මෝසෙස් මෙසේ යාච්ඤා කළා. “ඥානවන්ත සිතක් ලබාගන්නා පිණිස අපේ දවස් ගණින්ට ඉගැන්නුව මැනව. අපේ සියලු දවස්වලදී ප්‍රීතිසන්තෝෂ වෙන පිණිස, උදය කාලයෙහි ඔබගේ කරුණාවෙන් අප තෘප්තියට පැමිණෙවුව මැනව. අපේ දෙවිවූ [යෙහෝවාගේ] අලංකාරය අප කෙරෙහි වේවා.”—ගීතාවලිය 90:10, 12, 14, 17.
‘අපේ සියලු දවස්වලදී ප්‍රීති සන්තෝෂ වෙමින්,’ ‘උදය කාලයෙහි තෘප්තියෙන්’ සහ ‘දෙවිගේ අලංකාරය අප කෙරෙහිය’ යන වදන්වලින්, යමෙකු පොදුවේ මනුෂ්‍යයාට අත් කරගත නොහැකි ජීවිතයෙහි අරුත සොයාගෙන ඇති බව අඟවන්නේ නැද්ද?
මැවුම්කරු ඉදිරියෙහි අපට හිමි ස්ථානය තේරුම්ගැනීමෙන්, අප ජීවිතයෙහි අරුතක් සොයාගැනීම සඳහා වැදගත් ඉදිරි පියවරක් ගත හැකියි. විශ්වය පිළිබඳව අඛණ්ඩව වැඩි වන දැනුම් සම්භාරය අපට යම් ලෙසකින් උපකාරවත් විය හැකියි. දාවිත් මෙසේ විමසුවා. “ස්වකීය ඇඟිලිවැඩයවූ ඔබගේ අහස්තලයත් ඔබ පිහිටෙවු සඳ හා තාරකාත් බලා කල්පනාකරන කල; ඔබ මනුෂ්‍යයා සිහිකිරීමට ඔහු කවරෙක්ද? ඔබ මනුෂ්‍යපුත්‍රයා සැලකීමට ඔහු කවරෙක්ද?”—ගීතාවලිය 8:3, 4.
තවද යෙහෝවා, ඉර, සඳ, තාරකා මවා, මිහිපිට ජීවය බිහි කර එය ගහන වීමට සැලැස්වූ බව පිළිගැනීමට පමණක් අපේ විශ්වාසය සීමා නොකළ යුතුයි. (නෙහෙමියා 9:6; ගීතාවලිය 24:2; යෙසායා 40:26; යෙරෙමියා 10:10, 12) අප කලින් දැනගත් පරිදි, යෙහෝවාගේ අද්විතීය නාමයෙන්, ඔහු අරමුණක් ඇති දෙවිකෙනෙකු බවත්, තම කැමැත්ත සහමුලින්ම ඉටු කළ හැකි එකම තැනැත්තා ඔහු බවත් ගෙනහැර දක්වයි.
යෙසායා මෙසේ ලිව්වා. ‘පොළොව මවා සාදා එය පිහිටෙවුවාවූ, එය හිස්කමට නොමවා වාසය පිණිස සෑදුවාවූ සැබෑ දෙවි ඔහුය.’ ඉන්පසුව යෙසායා යෙහෝවාගේම වදන් මෙසේ උපුටා දැක්වූවා: ‘මම යෙහෝවාය, වෙන කෙනෙක් නැත.’ (යෙසායා 45:18) පසුව පාවුල් සෙසු ක්‍රිස්තියානි භක්තිකයන්ට පැවසුවේ, ‘අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් යේසුස් තුළ මවනු ලැබ දෙවිගේ කර්මාන්තයව සිටිමු’ කියායි. එම යහපත් ක්‍රියාවල ප්‍රධාන තැනක් හිමි වන්නේ ‘දෙවිගේ සදාකාල අභිප්‍රායේ [අරමුණේ, NW] ප්‍රකාරයට, දෙවිගේ අනේකවිධ ප්‍රඥාව’ පතළ කිරීමටයි. (එපීස 2:10; 3:8-11) මෙයාකාරයෙන් මැවුම්කරු සමඟ සබඳතාවක් පවත්වමින්, ඔහුගේ අරමුණ දැනගැනීමට වෑයම් කළ යුතු අතර, ඊට එකඟව ක්‍රියා කිරීමට යත්න දැරීම අපට කළ හැක්කකි. එපමණක්ද නොව, එසේ කිරීම තර්කානුකූලයි.—ගීතාවලිය 95:3-6.
ප්‍රේමනීය, සැලකිලිමත් මැවුම්කරුවෙකු සිටින බව පිළිගැනීම අපව ක්‍රියාවලට පෙලඹවිය යුතුයි. උදාහරණයකට, එවැනි පිළිගැනීමක් සහ අප අනුන්ට සැලකිය යුතු ආකාරය අතර ඇති සම්බන්ධය කුමක්ද කියා සලකා බලන්න. ‘දුප්පතාට පීඩාකරන්නා ඔහුගේ මැවුම්කාරයාට නින්දා කරන්නේය. එහෙත් දිළින්දාට කරුණාකරන්නා ඔහුට ගෞරව කරන්නේය.’ ‘අපව මැවුවේ එකම දෙවි නොවේද? අපි එකිනෙකාට විරුද්ධව මක්නිසා ද්‍රෝහිකම් කරමුද?’ (හිතෝපදේශ 14:31; මලාකී 2:10) එබැවින්, සැලකිලිමත් මැවුම්කරුවෙකු සිටින බව පිළිගැනීම, ඔහුගේ මැවිලි වන වෙනත් අය කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වීමට අපව පෙලඹවිය යුතුයි.
මෙය ඉටු කිරීමේදී අප තනි වී නැහැ. අපට උපකාර කරන්න මැවුම්කරුට පුළුවන්. දැන් යෙහෝවා අලුත් භූමික මැවිලි නිර්මාණය නොකළද, වෙනත් ආකාරයකින් ඔහු තවමත් මවමින් සිටින බව කිව හැකියි. තම මඟ පෙන්වීම සෙවීමට ඔහු මනුෂ්‍යයන්ට ක්‍රියාශීලීව සහ සඵලව උපකාර කරයි. පව් කළායින් පසු දාවිත් මෙසේ ඉල්ලා සිටියා: ‘අහෝ දෙවියනි, පවිත්‍ර සිතක් [හදවතක්, NW] මා තුළ මැවුව මැනව; ස්ථිර ආත්මයක් මා තුළෙහි අලුතෙන් සෑදුව මැනව.’ (ගීතාවලිය 51:10; 124:8) අවට ලෝකයේ බලපෑමෙන් සැකසී ඇති “පරණ පෞද්ගලිකත්වය පහ කර දමා,” “දෙවිගේ කැමැත්තට එකඟව මවන ලද අලුත් පෞද්ගලිකත්වය පැළඳගැනීමට” බයිබලය ක්‍රිස්තියානීන්ගෙන් උදක්ම ඉල්ලා සිටිනවා. (එපීස 4:22-24, NW) ඔව්, ජනයා තුළ අලුත් උපමාලංකාර හදවතක් මැවීමට යෙහෝවාට හැකි අතර, ඔහුගේ ස්වභාවය පිළිබිඹු කරන පෞද්ගලිකත්වයක් ඇති කරගැනීමට උපකාර කරන්න ඔහුට පුළුවන්.
කෙසේවෙතත්, අප දැන් සඳහන් කළේ මීට සම්බන්ධ මූලික පියවර පමණයි. තවත් ගැඹුරට යෑමේ අවශ්‍යතාවක් තිබෙනවා. පාවුල් දැන උගත් අතීනස වැසියන්ට මෙසේ කිව්වා: ‘ලෝකයද එහි ඇති සියල්ලද මැවූ දෙවි අතගා යමින්වත් යම් අන්දමකින් දෙවිව සම්බ වන ලෙස ඔහුව සොයන පිණිස කාලවල් නියම කළේය. එහෙත් ඔහු අප එකිනෙකාට නුදුරුව සිටියි.’—ක්‍රියා 17:24-27.
අරුතක් ලැබෙන්නේ දැනුමෙනි
මැවුම්කරු සිය භෞතික මැවිල්ලෙන් මෙන්ම තම දේවානුභාවය ලත් වචනය වන බයිබලය ඇසුරෙන් තොරතුරු රැසක් සපයා ඇති බව, අපේ සැලකිල්ලට බඳුන් වී ඇති දෙයින් පැහැදිලි විය යුතුයි. “ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන්, [යෙහෝවා] ගැන දැනගැන්මෙන් පොළොව පිරී” යන කාලය ගැන පුරෝකථනය කරමින්, දැනුමෙන් සහ තීක්ෂ්ණ බුද්ධියෙන් වැඩිවර්ධනය වීමට ඔහු අපට දිරිගන්වයි.—යෙසායා 11:9; 40:13, 14.
ඉගෙනීමටත්, වැඩිදියුණු වීමටත් අප සතු හැකියාව අවුරුදු 70ක හෝ 80ක ආයු කාලයකට සීමාවීම මැවුම්කරුගේ කැමැත්ත නොවේ. යේසුස්ගේ සුප්‍රසිද්ධ ප්‍රකාශනයන් අතුරින් එකක මෙය දැකගැනීමට ඔබට හැකියි: ‘දෙවි ස්වකීය ඒකජාතක පුත්‍රයා දෙන තරම් ලෝකයාට ප්‍රේම කළේය. එසේ කළේ ඔහු කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.’—යොහන් 3:16.
ඔව්, “සදාකාල ජීවනය.” මෙය හුදු මනඃකල්පිතයක් නොවේ. ඇත්තෙන්ම, නිමක් නොමැති ජීවිතයක් ලැබීමේ අදහස, මැවුම්කරු අපේ මුල් දෙමාපියන් වූ ආදම් සහ ඒවට ඉදිරිපත් කළ දෙයට ගැළපේ. අපේ මොළයේ සැකැස්ම සහ ධාරිතාව පිළිබඳව ලැබී ඇති විද්‍යාත්මක තොරතුරු දෙස බලද්දී වුණත්, මෙය පිළිගත හැකි කාරණයක් වෙනවා. තවද මෙය යේසුස් ක්‍රිස්තුස් ඉගැන්වූ දෙයටද එකඟයි. යේසුස්ගේ පණිවිඩයේ හරය වී තිබුණේ මනුෂ්‍යවර්ගයාට සදාකාල ජීවනය ලැබීමයි. ප්‍රේරිතයන් සමඟ මිහිපිට ගත කළ අන්තිම සන්ධ්‍යාවේදී, යේසුස් මෙසේ පැවසුවා: “සදාකාල ජීවනය නම් මේය: එකම සැබෑ දෙවි වන ඔබ ගැනත්, ඔබ විසින් එවන ලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් ඔවුන් විසින් දැනුම ලබාගැනීමය.”—යොහන් 17:3, NW.
කලින් පරිච්ඡේදයෙහි කළ සාකච්ඡාවට අනුව, සදාකාල ජීවනය සම්බන්ධයෙන් යේසුස් දුන් පොරොන්දුව මිහිපිට දශලක්ෂ ගණන් ජනයාහට යථාර්ථයක් වෙයි. මෙවැනි අපේක්ෂාවක් යමෙකුගේ ජීවිතයට අනිවාර්යයෙන්ම අරුතක් එකතු කළ හැකි බව පැහැදිලියි. මැවුම්කරු සමඟ සමීප සබඳතාවක් වර්ධනය කිරීම ඊට ඇතුළත් වෙයි. දැන් වුණත් මෙවැනි සබඳතාවක් ඇති කරගැනීම, නිමක් නැති ජීවිතයක් ලබාගැනීමට හොඳ අඩිතාලමක් සපයයි. එවැනි ජීවිතයකින් ඔබහට විවෘත වන ප්‍රස්තාවන් මොනතරම්දැයි සිතා බලන්න. අසනීප සහ මරණය හේතුවෙන් ඇති තහංචි නොමැතිව, නිමක් නොමැතිව ඉගෙනීමටත්, ගවේෂණය කිරීමටත්, අද්දැකීම් ලැබීමටත් ඔබට හැකි වෙයි. (යෙසායා 40:28 සසඳන්න.) එවැනි ජීවිතයක් භුක්ති විඳීමේදී ඔබට කුමක් කළ හැකිද? නැතහොත් කුමක්ද කරන්න යන්නේ? ඔබ උනන්දු වන දේවල්ද, ප්‍රගුණ කිරීමට ඔබ ආශාවෙන් බලා සිටින කුසලතාද, සොයා බැලීමට ඔබ උත්සාහ කරන්නේ මොන ප්‍රශ්නවලට උත්තරද යන්න දන්නේ ඔබයි. ඒවාට අනුව කටයුතු කිරීමට හැකිවීම ඔබේ ජීවිතයට තවත් අරුතක් මුසු කරනවාට කිසිම සැකයක් නැහැ!
‘මැවිල්ලම ජරාවේ වහල්කමින් නිදහස් වී, දෙවිගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කමට පැමිණෙන’ කාලය අපේක්ෂාවෙන් සිටින්න පාවුල්ට හොඳ හේතු තිබුණා. (රෝම 8:20, 21) එම නිදහස අත් කරගන්නා අය, දැන් ජීවිතයෙහි සැබෑ අරුතක් භුක්ති විඳිනවා පමණක් නොව, දෙවිට මහිමය ගෙන දෙමින් සදාතනිකව ජීවිතයට අරුතක් ලබාගන්නවා ඇත.—එළිදරව් 4:11.
ලොව පුරා වෙසෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන් මෙම විෂය අධ්‍යයනය කර තිබෙනවා. මැවුම්කරුවෙකු සිටින බවටත්, ඔහු ඔවුන් ගැන පමණක් නොව ඔබ ගැනත් සැලකිල්ල දක්වන බවටත් ඔවුන්ට අල්පමාත්‍රයක තරම්වත් සැකයක් නැහැ. ජීවිතයට මෙතරම් ස්ථිර වූ පදනමක් ඇති අරුත තේරුම්ගැනීමට අනුන්ට උපකාර කරන්න ඔවුන් ඉමහත් සතුටකින් සිටියි. කරුණාකර ඔවුන් සමඟ මෙම විෂය සාකච්ඡා කිරීමට මැළි නොවන්න. එසේ කිරීම ඔබේ ජීවිතයට ස්ථිරසාර අරුතක් ලබා දෙනවා නොඅනුමානයි!
[පාදසටහන]
a “ඇවිදින ඡායාවකි ජීවිතය - දුබල රඟන්නෙකි එය
කලඑළි බසිනා පැයේ උජාරුවට ඇවිද
හඬ තළනා ඔහු - තවත් නැත අසන්නට
මෝඩයෙකු ගෙතූ කතාවකි - නිරර්ථක කෑමොර දීමකි එය.”
[185වන පිටුවේ කොටුව]
දෙවි—කවර අරුතෙන්ද?
“විද්‍යාඥයන් සහ වෙනත් අය ඇතැම් අවස්ථාවලදී ‘දෙවි’ යන වචනය, පැහැදිලි ස්වභාවයක් දිය නොහැකි, කිසිදු උනන්දුවක් නොදක්වන යම්කිසිවකටයි යොදාගන්නේ. ස්වභාවධර්මයාගේ නීති සහ ඔහු අතර ඔවුන් වෙනසක් නොදකින තරම්ය.” එසේ අදහස් දැක්වූයේ මූලික බලයන් ගැන තමා කළ අධ්‍යයනයන් හේතුවෙන් නොබෙල් ත්‍යාගය දිනූ ස්ටීවන් වයින්බ’ග්ය. ඔහු තව දුරටත් මෙසේ පැවසුවා:
“මගේ අදහස කිව්වොත්, ‘දෙවි’ කියන වචනය ප්‍රයෝජනදායකව යොදාගන්න ඕනෑ නම්, උනන්දුමත් දෙවිකෙනෙක්, එනම් ස්වභාවධර්මයා සහ විශ්වය පාලනය කරන නීති ස්ථාපිත කර ඇති කෙනෙක් පමණක් නොව, නමුත්, යහපත මෙන්ම නපුර හා සම්බන්ධ ප්‍රමිති දක්වා ඇති මැවුම්කරුවෙක් සහ නීති සම්පාදකයෙක්, අප කරන දේ ගැන සැලකිල්ලට දක්වන යම්කිසි පුද්ගලයෙක්, කොටින්ම කිව්වොත් අප විසින් නමස්කාර කිරීමට යෝග්‍ය යම්කිසිවෙක් යන අරුත එහි ගැබ් විය යුතුයි. . . . මුළු ඉතිහාසය පුරාම විසූ පුරුෂයන්ගේ සහ ස්ත්‍රීන්ගේ සැලකිල්ලට භාජන වී ඇත්තේ මෙවැනි දෙවිකෙනෙක්.”—අවසාන මතයක් පිළිබඳ සිහින, ඉංග්‍රීසියෙන්.
[187වන පිටුවේ පින්තූරය]
අප කොතරම් දිගු ජීවිතයක් ගත කළත්, අපේ ජීවිතයට සැබෑ අරුතක් ලබාගැනීමට, මැවුම්කරුව සම්බන්ධ කළ යුතු බව මෝසෙස් තේරුම්ගත්තා
[190වන පිටුවේ පින්තූරය]
ජීවිතයට සදාතනික අරුතක් සෙවීමෙන් නිමක් නැති ප්‍රස්තාවන් විවෘත වෙනවා