මැවුම්කරුට ඔබේ දිවියට අරුතක් එක් කළ හැකියි
‘ඒ සියල්ලෝ යෙහෝවාගේ නාමයට ප්‍රශංසා කරත්වා. මක්නිසාද ඔහු අණ කළේය, එවිට ඒවා මවන ලද්දේය.’—ගීතාවලිය 148:5.
1, 2. (අ) අප කිනම් ප්රශ්නය සලකා බැලිය යුතුද? (ආ) මැවීම යෙසායාගේ ප්‍රශ්නයට සම්බන්ධ වන්නේ කෙසේද?
“නුඹ දන්නේ නැද්ද?” එය බොහෝදෙනෙක්ට, ‘මොනවාද දන්නේ නැත්තේ’ කියා නිකම්ම ප්‍රතිචාරය දැක්වීමට පොලඹවන ප්‍රශ්නයක් ලෙස පෙනිය හැකියි. නමුත් මෙය බරපතළ ප්‍රශ්නයක්. එහි පසුබිම වන බයිබලයේ යෙසායා පොතේ 40වන පරිච්ඡේදය සලකා බැලීමෙන් අපට පිළිතුර හොඳින් තේරුම්ගත හැකියි. පුරාණයේ සිටි හෙබ්‍රෙව් ජාතිකයෙක් වන යෙසායා විසින් එය ලියනු ලැබූ නිසා, ප්‍රශ්නයද පෞරාණික එකක්. එනමුත් එය ඔබේ ජීවිතයට තිබෙන අරුතේ හරයට සම්බන්ධ වන නිසා, ඉතාමත් නූතන ප්‍රශ්නයකුත් වෙනවා.
2 එය එතරම්ම වැදගත් නිසා යෙසායා 40:28හි සඳහන් වන ප්රශ්නය අපේ දැඩි අවධානය ලැබීමට වටිනවා: ‘පොළොවේ සීමාවල මැවුම්කාර වූ යෙහෝවා සදාකාල දෙවි බව නුඹ දන්නේ නැද්ද? නුඹ අසා නැද්ද?’ (ඇල අකුරු අපගේය.) එසේ නම් ‘දැනගැනීම’ යන්නට පොළොවේ මැවුම්කරු පිළිබඳව දැනගැනීම ඇතුළත් වන අතර, මෙයට පොළොව ගැන දැනගැනීමට වඩා වැඩි දෙයක් ඇතුළත් බව අවට පාඨ සම්බන්ධය පෙන්නුම් කරනවා. මීට පද දෙකකට කලින් යෙසායා තරු ගැන මෙසේ ලිව්වා: “නුඹලාගේ ඇස් ඉහළ ඔසවා බලන්න, මේවා මැවුවෙත් මේවායේ සේනාව ගණන් වශයෙන් පිටතට පමුණුවන්නෙත් කවුද? . . . [ඔහුගේ] බලයේ මහත්කම නිසාද [ඔහු] ශක්තියෙන් බලවත් බැවින්ද එකක්වත් නෑවිත් නොතිබේ.”
3. ඔබ මැවුම්කරු පිළිබඳව බොහෝ දේ දන්නවා වුණත්, තවදුරටත් දැනගැනීමට ඔබ කැමැත්තක් දැක්විය යුත්තේ මන්ද?
3 ඔව්. “නුඹ දන්නේ නැද්ද?” යන ප්රශ්නය අසන්නේ ඇත්තෙන්ම අපේ විශ්වයේ මැවුම්කරු සම්බන්ධවයි. යෙහෝවා දෙවි ‘පොළොවේ සීමාවල මැවුම්කරු’ බව ඔබ පෞද්ගලිකව ඒත්තුගෙන තිබෙනවා විය හැකියි. එමෙන්ම ඔබ ඔහුගේ පෞද්ගලිකත්වය සහ ඔහුගේ මාර්ග ගැනත් බොහෝ දේ දන්නවා විය හැකියි. නමුත් මැවුම්කරුවෙකු සිටින බව සැක කරන එමෙන්ම ඔහු මොන වගේ කෙනෙක්ද කියා පැහැදිලිවම නොදන්නා පුරුෂයෙක්ව හෝ ස්ත්‍රියක්ව ඔබට හමු වූයේ නම් ඔබ කුමක්ද කරන්නේ? මැවුම්කරුවාව අඳුරන්නේ නැති හෝ විශ්වාස කරන්නේ නැති මිලියන ගණනක් සිටින නිසා එවැනි කෙනෙක්ව හමු වුණොත් එය පුදුමයට හේතුවක් විය යුතු නැහැ.—ගීතාවලිය 14:1; 53:1.
4. (අ) මේ කාලයේදී මැවුම්කරු සම්බන්ධව සලකා බැලීම යෝග්‍ය වන්නේ ඇයි? (ආ) විද්‍යාවට සැපයිය නොහැක්කේ කුමන පිළිතුරුද?
4 විශ්වයේ සහ ජීවයේ ආරම්භය සම්බන්ධයෙන් තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු විද්‍යාවට තිබෙන බව (හෝ ඉදිරියේදී සොයාගන්නා බව) හැඟෙන සැක කරන්නන් සමූහයක් පාසැල් මගින් බිහි කරනවා. හෂන් සහ ලනේ යන කර්තෘවරුන් විසින් රචිත ජීවයේ සම්භවය (ප්‍රංශ භාෂාවෙන් මුල් තේමාව: ඕ ඔරිජීන් ඩ ලා වී) නමැති පොතේ මෙසේ සඳහන් කරනවා: “විසිඑක්වන ශතවර්ෂය ආරම්භයේදීත් ජීවයේ සම්භවය මත භේදවලට තුඩු දෙන විෂයක් වී තිබෙනවා. නිරාකරණය කිරීමට ඉතා දුෂ්කර මෙම ප්රශ්නය සඳහා, නිමක් නැති අභ්‍යවකාශයේ පටන් අතිශයින් කුඩා අංශුව දක්වා සෑම ක්ෂේත්රයක් සම්බන්ධයෙන්ම ගවේෂණය කිරීමක් අවශ්‍ය වෙනවා.” “ප්රශ්නය තවමත් පවතී” යන මැයින් යුත් අවසාන පරිච්ඡේදය මෙසේ පිළිගන්නවා: “පෘථිවිය මත ජීවය බිහි වූයේ කෙසේද යන ප්‍රශ්නයට විද්‍යාත්මක පිළිතුරු යම් ප්‍රමාණයක් අප ගවේෂණය කර තිබෙනවා. නමුත් ජීවය ඇති වූයේ මන්ද? ජීවිතයට අරමුණක් තිබෙනවාද? යන මෙම ප්‍රශ්නවලට පිළිතුරු දීමට විද්‍යාවට බැහැ. එය හුදෙක් සොයන්නේ, දේවල් ඇති වූයේ ‘කෙසේද’ කියායි. ‘කෙසේද’ සහ ‘මන්ද’ කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රශ්න දෙකක්. . . . ‘මන්ද’ යන ප්‍රශ්නයට දර්ශනය, ආගම පමණක් නොව ඒ සියල්ලකටම වඩා අප එක් එක්කෙනාත් පිළිතුර සොයාගත යුතුයි.”
පිළිතුරු සහ අරුත සොයාගැනීම
5. මැවුම්කරු පිළිබඳව වැඩි දුර ඉගෙනගැනීම විශේෂයෙන්ම ප්‍රයෝජනවත් විය හැක්කේ කිනම් ආකාරයේ මනුෂ්‍යයන්ටද?
5 ඇත්තෙන්ම, ජීවය පවතින්නේ ඇයි කියා සහ විශේෂයෙන්ම අපි මෙහි සිටින්නේ ඇයි කියා තේරුම්ගන්න අපට අවශ්‍යයි. ඒ විතරක් නෙවෙයි, මැවුම්කරුවෙකු සිටින බව තවමත් නිගමනය කර නොමැති, එමෙන්ම ඔහුගේ මාර්ග ගැන කොහෙත්ම වාගේ නොදන්නා ජනයා කෙරෙහි අප උනන්දු විය යුතුයි. එමෙන්ම දෙවි සම්බන්ධයෙන් බයිබලය ඉදිරිපත් කරන සංකල්පයට හාත්පසින්ම වෙනස් පසුබිමක් ඇති අය ගැන කල්පනා කර බලන්න. බිලියන ගණනක් ඇති දැඩි වී තිබෙන්නේ, පෙරදිග රටවල හෝ බහුතරයක් පුද්ගල දෙවිකෙනෙක්, එනම් සිත්ගන්නා පෞද්ගලිකත්වයක් ඇති සැබෑ දෙවිකෙනෙක් ගැන විශ්වාස නොකරන ප්‍රදේශයකයි. ඔවුන්ට “දෙවියන්” කියා කියන විට, මැවෙන්නේ අපැහැදිලි බලවේගයක් නැතහොත් අභිරහස් හේතුවක් හා සම්බන්ධ චිත්‍රයක්. ඔවුන් ‘මැවුම්කරුවාව’ හෝ ඔහුගේ මාර්ග හෝ ‘දැනගෙන’ නැහැ. ඔවුන්ට හෝ ඒ හා සමාන මත තිබෙන මිලියන ගණනකට, මැවුම්කරු සිටින බව ඒත්තුගැන්වීමට හැකි වුණොත්, සදාතනික අපේක්ෂාවන් ඇතුළුව කෙතරම් ප්‍රයෝජන ඔවුන්ට අත් වේවිද! ඔවුන්ට ඉතා දුර්ලභ දෙයක් පවා අත් පත් කරගත හැකියි. එනම් ඔවුන්ගේ ජීවිතවලට සැබෑ අරුතක්, සැබෑ අරමුණක් සහ මානසික සුවයක්.
6. අද බොහෝදෙනෙකුගේ ජීවිත පෝල් ගොගෑංගේ අද්දැකීමට සහ ඔහුගේ එක් චිත්‍රයකට සමානකමක් පෙන්වන්නේ කෙසේද?
6 මෙය මෙසේ නිදර්ශනය කරමු: වර්ෂ 1891දී, ප්‍රංශ කලා ශිල්පි පෝල් ගොගෑං අරුත්බර ජීවිතයක් සොයා පාරාදීසයක් බඳු ප්‍රංශ පොලිනීසියාව බලා ගියා. නමුත් කලින් ඔහු ගත කළ සල්ලාල ජීවිතය ඔහු පිටත්, අනුන් පිටත් රෝග සහ දුක ගෙනාවා. මරණය තමා වෙතට ළං වන බව දැනෙද්දී, ඔහු විශාල චිත්‍රයක් ඇන්දා. එතුලින් ‘ජීවිතය මහා අභිරහසක් හැටියට අර්ථ දැක්වීමට’ ඔහු උත්සාහ කළා. ගොගෑං එම චිත්‍රයට තැබූ නම ඔබ දන්නවාද? ඒ, “අප පැමිණෙන්නේ කොහෙන්ද? අප කවුරුන්ද? අප යන්නේ කොයිබටද?” යන නමයි. ඒ හා සමාන ප්‍රශ්න වෙනත් අය ඉස්මතු කරන බව ඔබ අසා තිබෙන්න පුළුවන්. ඔව්, ඇත්තෙන්ම ඔවුන් එසේ අසනවා. නමුත් සෑහීම ගෙන දෙන උත්තර, එනම් ජීවිතයට සැබෑ අරුතක් ඔවුන්ට ලැබෙන්නේ නැති විට, ඔවුන් කොයි දෙසටද හැරෙන්නේ? තම ජීවිත සතුන්ගේ ජීවිතවලට වඩා එතරම් වෙනසක් නැති බව ඔවුන් නිගමනය කරනවා විය හැකියි.—2 පේතෘස් 2:12.a
7, 8. විද්‍යාවේ සොයාගැනීම් පමණක් ප්‍රමාණවත් නොවන්නේ මන්ද?
7 එහෙයින්, භෞතික විද්‍යා මහාචාර්ය ෆ්රීමන් ඩයිසන් වගේ කෙනෙක් මෙසේ ලිවීමට හේතුව ඔබට තේරුම්ගත හැකියි: “අප දුක් විඳින්නේ ඇයි? මෙලොව මෙතරම් අයුක්තිසහගත ඇයි? වේදනාවේ සහ ඛේදවාචකයන්වල අරමුණ කුමක්ද? කියා [බයිබල් චරිතයක් වූ] යෝබ් ඇසූ ප්‍රශ්න මා නැවතත් ඉස්මතු කරද්දී මම බොහෝ දැන උගත් පුද්ගලයන් හා සමානවයි කල්පනා කරන්නේ.” (යෝබ් 3:20, 21; 10:2, 18; 21:7) කලින් සඳහන් කළ පරිදි, පිළිතුරු සඳහා දෙවි වෙත හැරෙනවා වෙනුවට, බොහෝදෙනෙක් විද්‍යාවේ පිහිට පතනවා. ජීව විද්‍යාඥයන්, සාගර විද්‍යාඥයන් සහ වෙනත් අය, අපේ පෘථිවි ග්‍රහයා සහ එහි පවතින ජීවය පිළිබඳ දැනුමට බොහෝ දේ එකතු කරනවා. වෙනත් ක්ෂේත්රයකට යොමු වෙමින්, තාරකා විද්‍යාඥයන් සහ භෞතිකඥයන් අපේ සෞර ග්‍රහ මණ්ඩලය, තරු, දුර පිහිටි මන්දාකිණි ගැන පවා තව තවත් ඉගෙනගන්නවා. (උත්පත්ති 11:6 සසඳන්න.) එවැනි කාරණා මඟ පෙන්විය හැක්කේ කිනම් සාධාරණ නිගමනයකටද?
8 විශ්වය තුළින් දෙවිගේ “මනස” නැතහොත් ඔහුගේ “අත් අකුරු” හෙළි වන බව ඇතැම් විද්‍යාඥයන් කියා සිටිනවා. නමුත් එයින් වැදගත්ම කාරණය මඟහැරෙයිද? විද්‍යාව (ඉංග්‍රීසියෙන්) නමැති සඟරාව මෙසේ නිරීක්ෂණය කරනවා. “විශ්ව න්‍යාය විද්‍යාවෙන් දෙවිගේ ‘මනස’ නොහොත් ‘අත් අකුරු’ හෙළි වන බව පර්යේෂකයන් පවසන විට, විශ්වයේ එතරම් වැදගත් නොවන අංගය වන එහි භෞතික ව්‍යූහය දෙවිගෙන් ලද යමක් බවයි ඔවුන් පිළිගන්නේ.” ඇත්තෙන්ම, භෞතික විද්‍යාඥයෙක් මෙන්ම නොබෙල් ත්‍යාගලාභියෙක් වන ස්ටීවන් වයින්බ’ග් මෙසේ ලිව්වා: “විශ්වය තේරුම්ගන්න තරමටම, එහි පැවැත්මට හේතුව තේරුම්ගැනීම අපහසු බව පෙනේ.”
9. අපටත් අනිත් අයටත් මැවුම්කරු ගැන ඉගෙනගැනීමට උපකාර කළ හැක්කේ කුමන සාක්ෂිද?
9 නමුත් ඔබ, කාරණය ගැන හොඳින් අධ්‍යයනය කර තිබෙන, එමෙන්ම ජීවිතයේ සැබෑ අරුත මැවුම්කරුව දැනගැනීම හා සම්බන්ධව තිබෙන බව අවබෝධ කරගත් මිලියන ගණනක් අතරෙහි සිටින කෙනෙක් විය හැකියි. ප්‍රේරිත පාවුල් ලියූ දේ මතක් කරගන්න. එනම්: “දෙවි ගැන තමා නොදන්නා බව මනුෂ්‍යයාට පැවසිය නොහැකියි. මෙම ලෝකයේ පටන්ගැන්මේ සිට, දෙවි කෙබඳු කෙනෙක්ද යන්න ඔහු සාදා ඇති දෙයින් මනුෂ්‍යයාට දැකගත හැකි විය. සදහටම පවතින ඔහුගේ බලය මෙයින් පැහැදිලි වේ. ඔහු දෙවි බව ඉන් පෙනීයයි.” (රෝම 1:20, ශුද්ධ බයිබලය—නව ජීව අනුවාදය, ඉංග්‍රීසියෙන්) ඔව්, මැවුම්කරුව පිළිගන්නත්, ඔහු තුළින් යම් අර්ථවත්බවක් අද්දකින්නත් ජනයාට උපකාර කිරීම සඳහා යොදාගත හැකි සාධක, ලෝකය සහ අප සම්බන්ධයෙන් තිබෙනවා. මේ සම්බන්ධයෙන් අංග තුනක් සලකා බලන්න. එනම් අප අවට විශ්වය, ජීවයේ මූලාරම්භය සහ අපේම මානසික හැකියාවන්.
විශ්වාස කිරීමට හේතු
10. ‘පටන්ගැන්මට’ අප අවධානය දිය යුත්තේ ඇයි? (උත්පත්ති 1:1; ගීතාවලිය 111:10)
10 අපේ විශ්වය බිහි වුණේ කෙසේද? අපේ විශ්වය සැමදා පැවතියේ නැතැයි කියා විද්‍යාඥයන් වැඩි පිරිසක් පිළිගන්නා බව, අභ්‍යවකාශ දූරේක්ෂ සහ අභ්‍යවකාශ ගවේෂණ පිළිබඳ වාර්තාවලින් ඔබ දැනගෙන සිටිනවා විය හැකියි. එයට ආරම්භයක් තිබුණා; එමෙන්ම එය ප්‍රසාරණය වෙමින් තිබෙනවා. මින් අඟවන්නේ කුමක්ද? තාරකා ශාස්ත්‍රඥ ශ්‍රීමත් බ’නාඩ් ලවල් කියන දේට සවන් දෙන්න: “අතීතයේ යම්කිසි අවස්ථාවක, විශ්වය ප්‍රමාණයෙන් අපරිමිතව කුඩා මෙන්ම අපරිමිත ඝනත්වයකින් යුත් යම් අපූර්ව තත්වයකට සමීපව තිබුණා නම්, ඊට කලින් තිබුණේ කුමක්ද කියා ඇසීමට අපට සිදු වෙනවා. . . . අපට ආරම්භයක් හා සම්බන්ධ ගැටලුවට මුහුණ දෙන්න සිදු වෙනවා.”
11. (අ) විශ්වය කොතරම් විශාලද? (ආ) විශ්වයේ තිබෙන නිරවද්‍යතාවෙන් අඟවන්නේ කුමක්ද?
11 අපේ පෘථිවිය ඇතුළු විශ්වයේ සැකැස්ම දෙස බලද්දී එය පුදුමසහගත අයුරින් සියුම් ලෙස සකස් කර ඇති බව පෙනීයනවා. උදාහරණයකට, අපේ සූර්යයා සහ වෙනත් තරුවලට තිබෙන පුදුම දනවන ගතිලක්ෂණ නම් ඒවායේ දිගු කාලීන කාර්යක්ෂමතාව සහ ස්ථායිතාවයි. නූතන ගණනය කිරීම්වලට අනුව, අපට පෙනෙන විශ්වයේ මන්දාකිණි බිලියන 50ත් (50,00,00,00,000) බිලියන 125ත් අතර ප්‍රමාණයක් තිබෙනවා. තවද කිරි සයුර නමැති අපේ මන්දාකිණියේ තරු බිලියන ගණනක් තිබෙනවා. දැන් මෙය සැලකිල්ලට ගන්න: මෝටර් රථ එන්ජිමකට, ඉන්ධන සහ වාතය අතර අවධි අනුපාතයක් අවශ්‍ය බව අප දන්නවා. ඔබට මෝටර් රථයක් අයිතිව තිබෙනවා නම්, එය වඩා පහසුවෙන් සහ වඩා කාර්යක්ෂමතාවකින් යුතුව ධාවනය වීම සඳහා එන්ජිම නිසි ලෙස සකස් කිරීමට පුහුණුව ලත් කාර්මිකයෙකුව ඔබ කුලියට ගන්නවා විය හැකියි. එන්ජිමකට එවැනි දෙයක් වැදගත් වෙනවා නම්, උදාහරණයකට, කාර්යක්ෂමව “දහනය වන” අපගේ සූර්යයා ගැන කුමක් කියන්න පුළුවන්ද? පැහැදිලිවම, අදාළ ප්‍රධාන බලයන් පෘථිවිය මත ජීවිතය සඳහා සියුම් ලෙස සකස් කර තිබෙනවා. එය නිකම්ම ඇති වූවක්ද? පුරාණයේ විසූ යෝබ් නමැති මනුෂ්‍යයාගෙන් මෙසේ විමසනු ලැබුවා: “අහස පාලනය කරන නීති ප්‍රකාශ කළෙත්, පොළොව මත ස්වභාවධර්මයාගේ නියමයන් නිශ්චය කළෙත් ඔබද?” (යෝබ් 38:33, ද නියූ ඉංග්ලිෂ් බයිබල්) ඒවා කිසිම මනුෂ්‍යයෙක් කළේ නැහැ. එසේ නම් එම නිරවද්‍යතාව පැමිණෙන්නේ කොහෙන්ද?—ගීතාවලිය 19:1.
12. මැවිල්ල පිටුපස බලවත් ප්‍රඥාවක් තිබෙන බව සිතීම අසාධාරණ නොවන්නේ මන්ද?
12 සමහරවිට මනුෂ්‍ය ඇස්වලින් දැකිය නොහැකි යම්කිසි දෙයකින් හෝ යම්කිසි කෙනෙක්ගෙන් විය හැකිද? මේ ප්රශ්නය නූතන විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් සලකා බලන්න. කළු කුහර ලෙස හැඳින්වෙන ඉතා බලසම්පන්න ස්වර්ගික වස්තූන් ඇති බව තාරකා ශාස්ත්‍රඥයන් වැඩිදෙනෙක් දැන් පිළිගන්නවා. මෙම කළු කුහර පෙනෙන්නේ නැති නමුත්, ඒවා පවතින බව බොහෝ ප්‍රවීණයන්ට ඒත්තුගොස් තිබෙනවා. ඒ හා සමානව, වෙනත් විෂයක අදෘශ්‍යමාන බලසම්පන්න මැවිලි, එනම් ආත්ම මැවිලි සිටින බව බයිබලයේ වාර්තා වෙනවා. එවැනි බලසම්පන්න අදෘශ්‍යමාන මැවිලි සිටිනවා නම්, විශ්වය පුරාම ප්රත්යක්ෂ වන නිරවද්‍යතාව පිටුපස බලසම්පන්න ප්‍රඥාවක් තිබෙන බව සිතීම සාධාරණ නැද්ද?—නෙහෙමියා 9:6.
13, 14. (අ) ජීවයේ මූලාරම්භය පිළිබඳව ඇත්තෙන්ම විද්‍යාව තහවුරු කර තිබෙන්නේ කුමක්ද? (ආ) පොළොව මත ජීවයේ පැවැත්ම සනාථ කරන්නේ කුමන කාරණයද?
13 මැවුම්කරුවෙකුව පිළිගැනීමට ජනයාට උපකාර කළ හැකි සාක්ෂිය වශයෙන් තිබෙන දෙවන ක්ෂේත්රය, ජීවයේ මූලාරම්භය හා සම්බන්ධයි. ලුවී පාස්චර්ගේ පරීක්ෂණවලින් පසුව, ජීවය ශුන්‍ය තත්වයකින් බිහි නොවන බව, එනම් ස්වයංසිද්ධ ජනනයෙන් හට නොගන්න බව පිළිගනු ලැබුවා. එසේ නම් පෘථිවියේ ජීවය ආරම්භ වූයේ කෙසේද? යම් මුල් කාලීන සාගරයක ප්‍රාථමික වායුගෝලයක් දිගින් දිගටම විදුලි කෙටීමේ බලපෑමට හසු වූ විට, ජීවය සෙමින් සෙමින් වර්ධනය වූවා විය හැකියයි ඔප්පු කිරීමට, 1950 ගණන්වලදී විද්‍යාඥයන් වෑයම් දැරුවා. කෙසේවෙතත්, එවන් වායුගෝලයක් කිසිදාක නොපැවති නිසා, මිහිපිට ජීවය එලෙස ආරම්භ විය නොහැකි බව වඩාත් මෑතකදී ලැබූ සාක්ෂිවලින් පැහැදිලි වේ. එනිසා සමහර විද්‍යාඥයන් දෝෂ අඩු පැහැදිලි කිරීමක් සොයමින් සිටිනවා. නමුත් ඔවුන්ටත් කාරණය වැරදී තිබෙනවාද?
14 විශ්වය ගැනත් එතුළ ජීවය ගැනත් අධ්‍යයනය කිරීමට දශක ගණනාවක් ගත කිරීමෙන් පසු බ්‍රිතාන්‍ය විද්‍යාඥ ශ්‍රීමත් ෆ්‍රෙඩ් හොයිල් මෙසේ අදහස් දැක්වූවා: “ජීවය ස්වභාවධර්මයාගේ අන්ධ බලයන් තුළින් බිහි වූවා යන අදහන්න බැරි තරම් කුඩා වූ සම්භාවිතාව පිළිගන්නවා වෙනුවට, ජීවයේ මූලාරම්භය හිතාමතාම බුද්ධිමත්ව බිහි කළ ක්‍රියාවක් කියා උපකල්පනය කිරීම වඩාත් හොඳ බව පෙනේ.” ඔව්, ජීවයේ ආශ්චර්යයන් ගැන ඉගෙනගන්නා තරමටම, ජීවය බුද්ධිමත් උල්පතකින් පැමිණි බව නිගමනය කිරීම වඩාත් තර්කානුකූල වෙනවා.—යෝබ් 33:4; ගීතාවලිය 8:3, 4; 36:9; ක්‍රියා 17:28.
15. ඔබ අද්විතීය පුද්ගලයෙක් කියා පැවසිය හැක්කේ මන්ද?
15 පළමුවන තර්කය වශයෙන් විශ්වය සම්බන්ධවත්, දෙවනුව පොළොව මත ජීවයේ ආරම්භය සම්බන්ධවත් සාකච්ඡා කළා. තෙවැන්න සැලකිල්ලට ගන්න. එනම් අපේම අද්විතීයභාවයයි. විවිධ පැතිවලින් සියලුම මනුෂ්‍යයන් අද්විතීයයි. එයින් අදහස් වන්නේ ඔබත් එසේ වන බවයි. ඒ කොහොමද? මොළය අධිබලැති පරිගණකයකට සමාන කර ඇති බව ඔබ අසා ඇති. එනමුත් ඇත්තෙන්ම මෙම සැසඳීමේ ලොකු අඩුවක් ඇති බව මෑතක සොයාගැනීම්වලින් පෙනීයනවා. මැසචුසෙට්ස්හි තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයෙක් මෙසේ පැවසුවා: “වත්මන් පරිගණක, දැකීමට, කතා කිරීමට, චලනය වීමට හෝ සාමාන්‍ය බුද්ධියක් පාවිච්චි කිරීමට අවුරුදු සතරක දරුවෙකුට තිබෙන හැකියාවටවත් ළඟා වන්නේ නැහැ. . . . ඉහළම ගණයේ අධිබලැති සුපිරි පරිගණකයක ඇති තොරතුරු සැකසුම් ධාරිතාව පවා සමාන කළ හැක්කේ ගොළුබෙල්ලෙකුගේ ස්නායු පද්ධතියට පමණයි. එනම් [ඔබේ] හිස්කබලේ තිබෙන සුපිරි පරිගණකය සතු බලයෙන් අංශුමාත්‍රයකට පමණයි.”
16. ඔබේ භාෂාමය හැකියාව ඔප්පු කරන්නේ කුමක්ද?
16 ඔබ සතු මොළය නිසා ඔබට තිබෙන හැකියාවක් වන්නේ, භාෂාමය හැකියාවයි. සමහර ජනයාට භාෂා දෙක තුනක් හෝ ඊට වැඩිය කතා කරන්න පුළුවන් වුණත්, එකක් හරි කතා කිරීමට ඇති හැකියාව පවා අප අද්විතීය බව පෙනෙන්න සලස්වනවා. (යෙසායා 36:11; ක්‍රියා 21:37-40) මහාචාර්යවරුන් වන ආර්. එස්. සහ ඩී. එච්. ෆවුට්ස් මෙසේ ඇසුවා: “භාෂාවකින් අදහස් හුවමාරු කරන්න සමත් වන්නේ මිනිසා . . . විතරද? . . . අභිනය, ගඳ සුවඳ දැනෙන්න සැලැස්වීම, නාද කිරීම, හැඬලීම, ගී ගැයීම සහ සමහරවිට මීමැස්සන්ගේ නැටීම වැනි ක්‍රමවලින් හැම දියුණු සතෙකුම පාහේ නිතැතින්ම අදහස් හුවමාරු කරනවා. එනමුත් පැහැදිලි ව්‍යූහයක් ඇති ව්‍යාකරණානුකූල භාෂාවක් ඇත්තේ මිනිසාට පමණයි. තවද සතුන් යම් දේවල් නියෝජනය කරන චිත්‍ර කොහොමටවත් අඳින්නේ නැහැ. මෙය ඉතා වැදගත් කාරණයක් විය හැකියි. වැඩිම වුණොත්, උන්ට කුරුටු ගාන්න විතරයි පුළුවන්.” ඇත්තෙන්ම, භාෂාවක් කතා කිරීමට සහ අර්ථවත් පින්තූර ඇඳීමට මොළය පාවිච්චි කළ හැක්කේ මනුෂ්‍යයන්ට පමණයි.—යෙසායා 8:1; 30:8; ලූක් 1:4, සසඳන්න.
17. කැඩපතක් දෙස සතෙක් බලන ආකාරය සහ මනුෂ්‍යයෙක් බලන ආකාරය අතර තිබෙන මූලික වෙනස වන්නේ කුමක්ද?
17 එපමණක්ද නොව, ඔබට ඔබ ගැනම අවබෝධයක් තිබෙනවා; ඔබ කවුද කියා ඔබ දන්නවා. (හිතෝපදේශ 14:10) කැඩපතකින් බලන කුරුල්ලෙක්, බල්ලෙක් හෝ පූසෙක් අනතුරුව කොටන, ගොරවන හෝ පහර දෙන ආකාරය ඔබ නිරීක්ෂණය කර තිබෙනවාද? එහි සිටින්නේ තමා බව හඳුනා නොගන්නා ඌ සිතන්නේ, ඒ තවත් සතෙක් කියායි. ඊට වෙනස්ව, කැඩපතක් දෙස බලන ඔබ, ඒ දකින්නේ ඔබවමයි කියා දන්නවා. (යාකොබ් 1:23, 24) සමහරවිට ඔබ ඔබේ පෙනුම පරීක්ෂා කරයි. එසේ නැත්නම්, තව අවුරුදු කිහිපයක් ගත වුණායින් පසු ඔබට මොන වගේ පෙනුමක් තියෙයිද කියා කල්පනා කරයි. සතුන් එසේ කරන්නේ නැහැ. ඇත්තෙන්ම ඔබේ මොළය ඔබව අද්විතීය පුද්ගලයෙක් කරනවා. ඒ සඳහා ගෞරවය හිමි විය යුත්තේ කාටද? එය දෙවිගෙන් නොවේ නම් ඔබේ මොළය පැමිණියේ කොහොමද?
18. ඔබව සතුන්ගෙන් වෙන් කොට දක්වන්නේ කිනම් මානසික ධාරිතාවන්ද?
18 කලාවෙන් සහ සංගීතයෙන් රසයක් විඳින්නත්, සදාචාර හැඟීමකින් කටයුතු කරන්නත් ඔබේ මොළය ඔබට ඉඩ සලසනවා. (නික්මයාම 15:20; විනිශ්චයකාරයා 11:34; 1 රාජාවලිය 6:1, 29-35; මතෙව් 11:16, 17) සතුන්ට නැතුව ඔබට විතරක් ඒ හැකියාව ඇත්තේ මන්ද? ඔවුන් තම මොළය පාවිච්චි කරන්නේ මූලික වශයෙන් ඔවුන්ගේ ප්‍රධාන අවශ්‍යතා සඳහා පමණයි, ඒ කියන්නේ ආහාර සහ සහකරුවෙක් සෙවීමට හෝ කැදැල්ලක් සෑදීමට පමණයි. කෙටි කාලයකට ඔබ්බෙන් සිතන්නේ මනුෂ්‍යයන් පමණයි. තම ක්‍රියාවන් පරිසරයට හෝ ඉතා දුර අනාගතයේදී තම පැවතෙන්නන්ට කෙසේ බලාපායිද කියන එක ගැන පවා සමහරු කල්පනා කරනවා. ඒ ඇයි? දේශනාකාරයා 3:11 [NW] මනුෂ්‍යයන් ගැන මෙසේ පවසයි: “[මැවුම්කරු] සදාකාලයද ඔවුන්ගේ සිත්වල තබා තිබේ.” ඔව්, සදාකාලයෙහි අරුත සලකා බැලීම සඳහා, එසේ නැතහොත් සදාකාල ජීවනය සිතෙන් මවාගැනීම සඳහා ඔබ සතු හැකියාව ඇත්තෙන්ම විශිෂ්ටයි.
අරුතක් එක් කිරීමට මැවුම්කරුට ඉඩ දෙන්න
19. මැවුම්කරු ගැන සිතීමට අන් අයට උපකාර කිරීමේදී කිනම් තර්කානුකූල ප්‍රශ්න තුන ඔබට යොදාගත හැකිද?
19 අපි දැන් ක්ෂේත්රයන් තුනක් විතරයි සලකා බැලුවේ: එනම් අතිමහත් විශ්වයේ පිළිබිඹු වන නිරවද්‍යතාව, පොළොව මත ජීවයේ මූලාරම්භය සහ විවිධාකාර හැකියාවන්ගෙන් සමන්විත මිනිස් මොළයෙහි ප්‍රතික්ෂේප කළ නොහැකි අද්විතීයභාවය යන කාරණා තුනයි. මේ තුනෙන් පැහැදිලි වන්නේ කුමන කාරණයද? තවත් අයට යම්කිසි නිගමනයකට එළඹෙන්න ඔබට උපකාර කළ හැකි තර්කයක් අපි සලකා බලමු. මුලින්ම ඔබට මෙසේ ඇසිය හැකියි: විශ්වයට ආරම්භයක් තිබුණාද? ආරම්භයක් තිබුණ බවට බොහෝදෙනෙක් එකඟ වෙනවා. ඉන්පසු මෙසේ අසන්න: එම ආරම්භය කිසිම හේතුවක් නැතුවද සිදු වුණේ, එහෙම නැත්නම් යම්කිසි හේතුවක ප්‍රතිඵලයක්ද? විශ්වයේ ආරම්භය යම්කිසි හේතුවක ප්‍රතිඵලයක් කියා බොහෝදෙනෙකුට හැඟෙනවා. මෙය අන්තිම ප්‍රශ්නයට මඟ පාදනවා: ආරම්භයට හේතු වුණේ සදාකාලික වූ යම්කිසි දෙයක්ද එහෙම නැත්නම් සදාකාලික වූ යම්කිසි කෙනෙක්ද? මේ අයුරින් අදාළ විෂයන් පැහැදිලිව සහ තර්කානුකූලව ඉදිරිපත් කිරීමෙන්, බොහෝදෙනෙකුට මෙසේ නිගමනය කිරීමට මඟ පෙන්විය හැකියි: මැවුම්කරුවෙක් සිටිය යුතුයි! එසේ නම්, ජීවිතයට අරුතක් තිබිය නොහැකිද?
20, 21. අපේ ජීවිතය අර්ථවත් කරගැනීම සඳහා මැවුම්කරුව දැනගැනීම අත්‍යවශ්‍ය වන්නේ මන්ද?
20 සදාචාරය සහ අපේ සදාචාරය පිළිබඳ හැඟීම් ඇතුළු අපේ මුළු පැවැත්ම මැවුම්කරු හා බැඳී තිබිය යුතුයි. මනෝවෛද්‍ය රෝලෝ මේ, වරක් මෙසේ ලිව්වා: “පිළිගත හැකි එකම සදාචාරමය සැකැස්ම පදනම් වන්නේ ජීවිතයේ පරම අරුත මතයි.” එය සොයාගත හැක්කේ කොහෙන්ද? ඔහු තවදුරටත් මෙසේ පවසනවා: “පරම සැකැස්ම වන්නේ දෙවිගේ ස්වභාවයයි. දෙවිගේ ප්‍රතිපත්ති යනු මැවීමේ ආරම්භයේ සිට අවසානය දක්වා ජීවය උසුලාගෙන තිබෙන ප්‍රතිපත්තියි.”
21 එහෙයින්, ගීතිකාකරු විසින් මැවුම්කරු අයැදිමින් සිටි විට නිහතමානිකම සහ ප්‍රඥාව විදහාපෙන්වමින් සිටියේ මන්ද කියා අපට හොඳින් තේරුම්ගත හැකියි. ඔහු මෙසේ අයැද සිටියා: “[යෙහෝවා] ඔබගේ මාර්ග මට දැක්වුවමැනව; ඔබගේ මාවත් මට ඉගැන්නුව මැනව. ඔබගේ සැබෑකමෙහි මා හසුරුවමින් මට ඉගැන්නුව මැනව; මක්නිසාද ඔබ මාගේ ගැළවීමේ [දෙවිය].” (ගීතාවලිය 25:4, 5) ගීතිකාකරු මැවුම්කරුව වඩා හොඳින් දැනගත් විට, නිසැකවම ඔහුගේ ජීවිතයට වැඩි අරුතක්, අරමුණක් සහ මඟ පෙන්වීමක් ලැබුණා. මේ දේ අප සෑම කෙනෙකු සම්බන්ධයෙන්ද සැබෑ විය හැකියි.—නික්මයාම 33:13.
22. මැවුම්කරුගේ මාර්ග දැනගැනීමට ඇතුළත් වන්නේ මොනවාද?
22 මැවුම්කරුගේ “මාර්ග” දැනගැනීම යන්නට ඔහුගේ පෞද්ගලිකත්වය සහ ඔහුගේ මාර්ග සම්බන්ධයෙන් බලද්දී ඔහු කෙබඳු පුද්ගලයෙක්ද කියා වඩා හොඳින් දැනගැනීම ඇතුළත් වෙනවා. නමුත් මැවුම්කරු අදෘශ්‍යමාන මෙන්ම අතිශයින් බලවත් නිසා, අපට ඔහුව වඩාත් හොඳින් හඳුනාගැනීමට හැක්කේ කෙසේද? ඊළඟ ලිපියෙන් මෙය සාකච්ඡා කරන්න යනවා.
[පාදසටහන්වල]
a නාට්සි ගාල් කඳවුරුවල ලද අද්දැකීම්වලින් වෛද්‍ය වික්ටර් ඊ. ෆ්‍රැන්කල් මෙසේ අවබෝධ කරගත්තා: “මනුෂ්‍යයා අරුත සෙවීමට දරන වෑයම, සතුන්ට ඇති සහජ හැකියාවේ තවත් විදහාපෙන්වීමක් නොවේ. එය ඔහුගේ ජීවිතය මෙහෙයවන ප්‍රධානම බලවේගය වේ.” දෙවන ලෝක මහා යුද්ධයට දශක ගණනාවකට පසු ප්‍රංශයේ පැවැත්වූ සමීක්ෂණයකදී “ජන මත විමසුමට ලක් කළ ජනයාගෙන් සියයට 89ක්, ජීවත් වීම සඳහා අරමුණක් ලබා දෙන ‘යම්කිසි දෙයක්’ මනුෂ්‍යයාට අවශ්‍යයි කියා පිළිගත්” බව ඔහු තවදුරටත් පවසනවා.
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?
◻අප අපේ විශ්වය පිළිබඳ විද්‍යාත්මක තොරතුරු දැනගැනීමට වඩා ඔබ්බට යෑම අවශ්‍ය වන්නේ මන්ද?
◻මැවුම්කරු ගැන සිතීමට අන් අයට උපකාර කිරීමේදී ඔබට ගෙනහැර දැක්විය හැක්කේ මොනවාද?
◻මැවුම්කරු ගැන දැනගැනීම ජීවිතයට සෑහීම ගෙන දෙන අරුතක් ලබාගැනීමට යතුර වන්නේ ඇයි?
[18වන පිටුවේ රූප සටහන⁄පින්තූරය]
(සඟරාව බලන්න)
කුමක්ද ඔබේ නිගමනය?
අපේ විශ්වයට
↓ ↓
ආරම්භයක් ආරම්භයක්
තිබුණේ නැහැ තිබුණා
↓ ↓
හේතුවක් හේතුවක්
නැතුව ඇතුව
↓ ↓
යම් සදාකාලික යම් සදාකාලික වූ
දෙයකින් කෙනෙක්ගෙන්
[15වන පිටුවේ පින්තූරය]
විශ්වයෙන් විද්‍යමාන වන විශාලත්වය සහ නිරවද්‍යතාව මැවුම්කරුවෙකු ගැන සිතීමට බොහෝදෙනෙකුට මඟ පාදා තිබෙනවා
[හිමිකම් විස්තර]
15 සහ 18 පිටු: Jeff Hester (Arizona State University) and NASA