පළමු පරිච්ඡේදය
ඔබේ ජීවිතයට අර්ථවත්බවක් එක් කළ හැකි වන්නේ කුමකින්ද?
ඔබ දැන් ජීවත් වන ප්‍රදේශයෙහි හෝ වේවා නිවර්තන පාරාදීසයක හෝ වේවා, වඩාත් හොඳ ජීවිතයක් භුක්ති විඳීම ගැන ඔබ සිහින මවා ඇද්ද? කවදා හරි දවසක අපෙන් බොහෝදෙනෙක් එසේ කර තිබෙනවා.
වර්ෂ 1891දී, ප්‍රංශ කලාශිල්පී පෝල් ගොගෑං එවන් ජීවිතයක් සොයා ප්‍රංශ පොලිනීසියාව බලා ගියා. එනමුත් වැඩි කලක් යන්න මත්තෙන් යථාර්ථයට මුහුණ දෙන්න ඔහුට සිදු වුණා. කලින් ඔහු ගත කළ සල්ලාල ජීවිතය, ඔහු පිටට මෙන්ම අනුන් මතටත් රෝග සහ දුක ගෙන ආවා. මරණය තම අබියසට ළං වනවා දැනෙද්දී, “කලාත්මක ශක්තියේ ඉහළම ප්‍රකාශයක්” ලෙස විස්තර කර ඇති චිත්‍රයක් ඔහු ඇන්දා. පොල් ගොගෑං 1848-1903—ආදිකාලීන පණ්ඩිතයා (ඉංග්‍රීසියෙන්) යන පොත මෙසේ කියයි: “මෙම චිත්රයෙහි අන්තර්ගත වී තිබෙන මිනිස් ක්‍රියාකාරකම්වල මුළු පරාසයට, උපතේ සිට මරණය දක්වා ජීවිතයේ හැම අංගයක්ම ඇතුළත් වෙනවා . . . ජීවිතය මහා අභිරහසක් හැටියටයි ඔහු අර්ථ දක්වමින් සිටියේ.”
ගොගෑං එම චිත්‍රයට “අප පැමිණෙන්නේ කොහෙන්ද? අප කවුරුන්ද? අප යන්නේ කොයිබටද?” යන නම තැබුවා.a
එම ප්‍රශ්න සුපුරුදු ඒවා වගෙයි. කල්පනා කරන පුද්ගලයන් බොහෝදෙනෙක් ඒවා ඉස්මතු කරයි. මිනිසාගේ විද්‍යාත්මක සහ තාක්ෂණික දියුණු වීම් සැලකිල්ලට භාජන කිරීමෙන් පසු, ද වෝල් ස්ට්‍රීට් ජ’නල්හි සංස්කාරකයෙක් මෙසේ ලිව්වා: “මිනිසා ගැනත්, ඔහුට මුහුණ දෙන්න සිදු වන උභතෝකෝටික ප්‍රශ්න ගැනත්, මෙම විශ්වයේ ඔහුට හිමි ස්ථානය ගැනත් කල්පනා කර බලද්දී, කාලය ආරම්භ වුණ දා ඉඳලා අද දක්වා වැඩි දියුණුවක් අප ලබා නැති තරම්. අපි කවුද, අපි ජීවත් වන්නේ ඇයි සහ අප යන්නේ කොතැනටද යන ප්‍රශ්නවලට තවමත් අපට උත්තර ලැබී නැහැ.”
සමහරුන් ජීවිතයට වෙනත් කිසිම අර්ථයක් සොයාගෙන නැති නිසා, තම පවුල බලාකියා ගැනීමෙහි, ජීවිතය ගැටගසා ගැනීමෙහි, සංචාරය කිරීමෙහි හෝ වෙනත් පෞද්ගලික කටයුතුවල ඇලී ගැලී සිටින බව ඇත්තයි. ඇල්බට් අයින්ස්ටයින් වරක් මෙසේ පැවසුවා: “තම ජීවිතයට අර්ථයක් නැහැ කියා විශ්වාස කරන මිනිසා අසන්තෝෂයෙන් සිටිනවා පමණක් නොව, ඔහු ජීවිතයට සුදුස්සෙක් වන්නේද නැහැ.” මෙවන් චින්තනයකට එකඟව, කලා ක්ෂේත්රය, විද්‍යාත්මක පර්යේෂණ හෝ දුක මර්දනය කිරීමට මානව හිතවාදී වෑයම් ලුහුබැඳ යෑමෙන් තම ජීවිතයට අර්ථවත්බවක් මුසු කිරීමට ඇතමුන් තැත් කරනවා. ඔබ එවැනි අයව අඳුනනවාද?
ජීවිතයෙහි අර්ථය ගැන යම් මූලික ප්‍රශ්න ඉස්මතු වනවායයි කීම තේරුම්ගත හැකියි. දරුවෙක් මැලේරියාව හෝ වෙනයම් රෝගයක් හේතුවෙන් මියයනවා දැකීමෙන් පසු, මෙතරම් දුකක් ඇයි, ඒකට තේරුමක් තියෙනවාද කියා දෙමාපියන්ගෙන් කීදෙනෙක් නම් අසා ඇද්ද? දුගීකම, රෝග සහ අයුක්තිය දකින බොහෝ තරුණ තරුණියන් ඒ හා සමාන ප්‍රශ්න මගින් ව්‍යාකූල වෙනවා. ජීවිතයට අර්ථවත්බවක් තිබිය හැකිදැයි කල්පනා කිරීමට බොහෝවිට දරුණු යුද්ධ හේතු වෙනවා.
ඔබ එවන් දුක් ගාවිනා අද්දැක නොතිබුණත්, ඔබ මහාචාර්ය ෆ්රීමන් ඩයිසන් හා එකඟ වීමට ඉඩ තිබේවි. ඔහු කිව්වේ: “අප දුක් විඳින්නේ ඇයි? මෙලොව මෙතරම් අයුක්තිසහගත ඇයි? වේදනාවේ සහ ඛේදවාචකයන්වල අරමුණ කුමක්ද? කියා [බයිබල් චරිතයක් වූ] යෝබ් ඇසූ ප්‍රශ්න මා නැවතත් ඉස්මතු කරද්දී මම බොහෝ දැන උගත් පුද්ගලයන් හා සමානවයි කල්පනා කරන්නේ.” ඔබටත් උත්තර වුවමනා ඇති.
සෑහීම ගෙන දෙන උත්තර ලැබීම නිසැකවම යම් හරයක් ගෙන දේවි. ඖෂ්විට්ස් ගාල් කඳවුරේ ත්‍රාසයන් අද්දුටු මහාචාර්යවරයෙක් වරක් මෙසේ නිරීක්ෂණය කළා: “දරුණුතම තත්වයන් යටතේ පවා බේරී ඉන්න යමෙකුට ඵලදායී ලෙස උපකාර කිරීමට . . . තමාගේ ජීවිතයට අර්ථයක් තිබෙන බවට වූ දැනුම තරම් වෙන කිසිම දෙයක් මෙලොවෙහි නැහැ.” අරුතක් සෙවීමට දැරූ මෙම වෑයමට යමෙකුගේ මානසික සෞඛ්‍යය පවා සම්බන්ධ බව ඔහුට හැඟුණා.
ගෙවී ගොස් ඇති සියවස් ගණනාව පුරා, ආගම තුළින් බොහෝදෙනෙක් උත්තර ලබාගැනීමට වෑයම් කර තිබෙනවා. රෝගියෙකු, මහල්ලෙකු සහ මළ මිනියක් දැකීමෙන් පසු ගෞතම බුදුන් පෞද්ගලික දෙවිකෙනෙකු කෙරෙහි විශ්වාසයක් නොමැති ආගමක් නොහොත් ධර්මයක් තුළින් ඥානාලෝකය හෝ අර්ථවත්බවක් සෙව්වා. වෙනත් අය පල්ලියේ පිහිට පතා තිබෙනවා.
එසේ වුවත්, අදදින ජනයා ගැන කුමක්ද කියන්න තිබෙන්නේ? ආගම සහ “දෙවිව” මීට ගාවගත යුතු නැතැයි පවසමින් බොහෝදෙනෙක් විද්‍යාව කෙරෙහි අවධානය යොමු කරනවා. “විද්‍යාවේ ප්‍රගතිය වැඩි වන තරමටම, දෙවි වෙනුවෙන් දෙන්න තිබෙන කාලය අඩු වීගෙන යන බවක් පේනවා. දෙවිට හිමි ස්ථානය දැන් අහිමි වී තිබෙනවා” යයි ආගම සහ අදේවවාදය (ඉංග්‍රීසියෙන්) අදහස් දක්වයි.
මැවුම්කරුවෙකුව පසෙකට දැමීම—ඇයි?
ඇත්තෙන්ම, ආගම හෝ දෙවිව පසෙකට දැමීමට වූ නැඹුරුවාව මුල් බැස තිබෙන්නේ, බුද්ධිය පමණක් අවධාරණය කළ මිනිසුන්ගේ දර්ශනවලයි. ජීවමාන ලොව පැහැදිලි කිරීමට මැවුම්කරුවෙකු සිටින බව පවසනවාට වඩා, “ස්වාභාවික වරණය” සාර්ථක පැහැදිලි කිරීමක් බව චාල්ස් ඩාවින්ට හැඟුණා. දෙවි මායාවක් බව සිග්මුන්ට් ෆ්‍රොයිඩ් ඉගැන්නුවා. එමෙන්ම ‘දෙවි මැරිලාය’ යන මතය ෆ්රීඩ්රිහ් නීචචිගේ කාලයේ සිට අපේ කාලය දක්වා පැවත තිබෙනවා. ප්‍රාචීන දර්ශනත් ඒ හා සමානයි. බෞද්ධ ධර්මාචාරීන් කියා සිටින්නේ දෙවි ගැන දැනගැනීමට කිසිම අවශ්‍යතාවක් නැති බවයි. ෂින්ටෝ ධර්මයට අනුව, මහාචාර්ය ටෙට්සූඕ යාමාඕරී “දෙවිවරුන් කියන්නේ මිනිසුන් විතරයි” කියා පැවසුවා.
මැවුම්කරුවෙකුගේ පැවැත්ම පිළිබඳව සැකයක් පුළුල්ව පැතිර තිබුණත්, එය සාධාරණද? අතීතයෙහි සෑහෙන බලපෑමක් කළ නමුත්, කල් යත්ම සම්පූර්ණයෙන්ම වැරදිසහගත බවට ඔප්පු වූ ‘විද්‍යාත්මක සත්‍යයන්’ පිළිබඳ උදාහරණ ඔබ දන්නවා ඇති. ‘පොළොව පැතලියි,’ ‘මුළු විශ්වයම අපේ පෘථිවි ගෝලය වටා භ්‍රමණය වනවා’ වැනි මතයන් සියවස් ගණනාවක් පුරා පැවතුණත්, අපට දැන් හරි දේ අවබෝධ වී තිබෙනවා.
පසුව බිහි වූ විද්‍යාත්මක අදහස් ගැන කුමක්ද කිව හැක්කේ? නිදසුනක් හැටියට, මැවුම්කරුවෙකු සිටින බව නොපිළිගත් 18වන සියවසේ දාර්ශනික ඩේවිඩ් හ්යූම්ට බැරි වුණා මිහිපිට තිබෙන සංකීර්ණ ජීව නිර්මාණයට හේතුව දෙන්න. ජීව රූප වර්ධනය වූ ආකාරය ඩාවින්ගේ මතයෙන් යෝජනා කෙරුණත්, ජීවිතය ආරම්භ වුණේ කෙසේද යන්නවත් අප සඳහා එයට ඇති අර්ථයවත් ඉන් පැහැදිලි වුණේ නැහැ.
එබැවින් යම් අඩුවක් ඇති බව විද්‍යාඥයන් මෙන්ම සාමාන්‍ය ජනයාගෙන් බොහෝදෙනෙකුට දැනෙනවා. විද්‍යාත්මක මතයන් කෙසේද යන්න පැහැදිලි කිරීමට වෑයම් දැරුවත්, ප්‍රධානතම ප්‍රශ්න ඇයි යන්න මත කේන්ද්‍රගතව පවතී. මැවුම්කරුවෙකුව විශ්වාස කරන වටපිටාවක ඇති දැඩි වී ඇති ජනයා පවා බලපෑමට ලක්ව තිබෙනවා. යුරෝපීය ඉතිහාසය හදාරන එක් තරුණ ශිෂ්‍යාවක් මෙසේ පැවසුවා: “මට නං, දෙවියෝ මැරිලා. ඔහු ඇත්තටම හිටියා නම්, මේ ලෝකය මෙච්චර අවුලක් වෙන්නේ නැහැ. පේනවානේ, කන්න නැතුව ඉන්න අහිංසක මිනිස්සු; වඳ වීගෙන යන සත්ව විශේෂ . . . මැවුම්කරුවෙක් ඉන්නවයි කියන අදහස විකාරයක්.” පොළොවේ පවතින තත්වයන් හේතුවෙන්, මැවුම්කරුවෙකු ඉන්නවා කියා පිළිගත්තොත් එවන් කෙනෙක් දේවල් යහපත් අතට හරවන්නේ නැතුව ඉන්නේ ඇයි කියා බොහෝදෙනෙකුට තේරුම්ගන්න බැහැ.
කෙසේවෙතත්, බොහෝදෙනෙක් මැවුම්කරුවෙකුගේ පැවැත්ම ප්‍රතික්ෂේප කිරීමට හේතුව, විශ්වාස කිරීමට ඔවුන්ට වුවමනාවක් නොතිබීම කියා අප පිළිගත යුතුයි. යුරෝපීය කර්මාන්ත ව්‍යාපාරිකයෙක්, සේවකයෙකුට මෙසේ පැවසුවා: “මගේ ජීවිතය වෙනස් කරන්න ඕනෙ කියලා දෙවි මට පුද්ගලිකව ඇවිල්ලා කිව්වත්, මම ඒක කරන්නේ නැහැ. මට ඕනෙ මගේ ජීවිතය මට ඕනෙ විදිහට ගත කරන්නයි.” මැවුම්කරුවෙකුගේ අධිකාරය පිළිගැනීම ඔවුන්ගේ නිදහසට හෝ ඔවුන් මනාපයක් දක්වන ජීවන රටාවට බාධා පමුණුවයි කියා ඇතැම් අයට හැඟෙන බව පැහැදිලියි. ‘මම විශ්වාස කරන්නේ දකින දේ විතරයි. මට නම් කිසිම අදෘශ්‍යමාන මැවුම්කාරයෙක් පේන්නේ නැහැ’ යි ඔවුන් කියා සිටිනවා ඇති.
පුද්ගලයන් ‘මැවුම්කරුවෙකුව පසෙකට දමා’ කටයුතු කර තිබෙන්නේ ඇයි කියන එකට අමතරව, ජීවිතය සහ එහි අර්ථය ගැන ප්‍රශ්න තවමත් පවතී. මිනිසා අභ්‍යවකාශ ගවේෂණය ආරම්භ කළායින් පසු, මෙම තාක්ෂණික විජයග්‍රහණය ගැන දේවධර්මාචාර්ය කාල් බාත්ගෙන් විමසනු ලැබුවා. ඔහු කිව්වේ: “මම මුළු රෑ පුරාම කල්පනා කර කර ඉන්න එකම ගැටලුවක්වත් ඒකෙන් විසඳෙන්නේ නැහැ.” අදදින මිනිසා අභ්‍යවකාශයේ ගමන් කරන අතර, පරිගණක ලොවේ සයිබර් අවකාශය (විශ්වීය අවකාශය) වේගයෙන් තරණය කරමින් සිටිනවා. කෙසේවෙතත්, අරමුණක්, එනම් තම ජීවිතයට අර්ථවත්බවක් දෙන යමක් තිබීමේ අවශ්‍යතාව, ගැඹුරින් කල්පනා කරන ජනයාට පෙනී යනවා.
විවෘත මනසක් ඇති සෑම කෙනෙකුටම මෙම විෂය සලකා බලන්න කියා අප ආරාධනා කරනවා. “බුද්ධිමය අවංකකමක්” සතු තැනැත්තෙකුට “තමා සැබෑ බවට විශ්වාස කරන යමක් පරීක්ෂා කිරීමට සූදානම්ව” සිටීමේ ගතිලක්ෂණයද, “ලබාගත හැකි වෙනත් සාක්ෂිවලට ප්‍රමාණවත් අවධානයක් දීමේ” ගතිලක්ෂණයද ඇති බව දෙවි කෙරෙහි විශ්වාසය සහ බුද්ධිමය අවංකකම (ඉංග්‍රීසියෙන්) යන පොත ගෙනහැර දක්වයි.
සලකා බැලීමට තිබෙන විෂය ගත්තොත්, ජීවිතය සහ විශ්වය පිටුපස මැවුම්කරුවෙකු සිටීද නැද්ද යන්න දැකගැනීමට, ‘ලබාගත හැකි සාක්ෂි’ අපට උපකාර කළ හැකියි. එමෙන්ම මැවුම්කරුවෙක් සිටී නම්, එම තැනැත්තා මොන වගේ කෙනෙක් විය හැකිද? මැවුම්කරුවෙකුට අපේ ජීවිතයට සම්බන්ධ වන පෞද්ගලිකත්වයක් තියේවිද? මෙය සලකා බැලීම, අපේ ජීවිත වඩාත් අර්ථවත් මෙන්ම විපාකදායී විය හැකි ආකාරය මත ආලෝකයක් හෙළිය හැකියි.
[පාදසටහන]
a ඩූ වනොන්-නූ? ක සොම්-නූ? ඌ අලොන්-නූ?
[4වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]
[6වන පිටුවේ පින්තූරය]
ගොගෑංගේ චිත්‍රය, ජීවිතයේ අර්ථය ගැන ප්‍රශ්න ඉස්මතු කළා