ශුභාරංචිය බෙදා දීමට ඔවුන් යොදාගන්නා ක්‍රම
‘සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කිරීමට’ ක්‍රිස්තියානීහු අණ ලැබ සිටිති. එහෙත් අනුන් කෙරෙහි පීඩනයක් ඇති කිරීම හෝ අනුන්ව බලෙන් හරවාගැනීම මින් අදහස් කරන්නේ නැත. යේසුස් දුන් බලපැවරුම වූයේ ‘මොළොක් අයට ශුභාරංචිය කීමත්,’ ‘බිඳුණු සිත් ඇත්තන් සුව කිරීමත්,’ ‘වැලපෙන සියල්ලන් සැනසීමත්ය.’ (මතෙව් 28:19; යෙසායා 61:1, 2; ලූක් 4:18, 19) යෙහෝවාගේ සාක්ෂිකරුවන් මෙය කරන්නේ බයිබලයේ තිබෙන ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙනි. ඉපැරණි කාලයේ විසූ එසකියෙල් නම් අනාගතවක්තෘවරයා මෙන්, වර්තමානයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් උත්සාහ කරන්නේත් “සියලු පිළිකුල්කම් ගැන සුසුම්ලමින් කෙඳිරිගාන මිනිසුන්” සෙවීමටය.—එසකියෙල් 9:4, පැ.අ.
වර්තමානයේ පවතින තත්වයන් නිසා මහත් සිත් තැවුලකට පත් වී සිටින අයව සෙවීමට ඔවුන් යොදාගන්නා හොඳම ක්‍රමය නම්, ගෙයින් ගෙට යෑමයි. මෙසේ, ඔවුන් මහජනයා හමුවීමට යන්නේ ශුභවාදී ආකල්පයක් ඇතුවයි. එය හරියටම යේසුස් ‘දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරමින්ද ප්‍රකාශ කරමින්ද නුවරින් නුවරටත් ගමින් ගමටත් ගමන් කළා’ හා සමානය. ඔහුගේ මුල් ගෝලයන් කළේත් එම දේමයි. (ලූක් 8:1; 9:1-6; 10:1-9) අද දිනද, හැකි සෑම අවස්ථාවකදීම, යෙහෝවාගේ සාක්ෂිකරුවෝ වසරකට වතා කිහිපයක් සෑම නිවසකටම ගොස් සියලුම ජනයාව හමුවීමට මහත් ප්රයත්නයක් දරති. එසේ හමු වී ගෙවැසියන්ගේ උනන්දුවට ලක් වී තිබෙන්නාවූ, එම ප්‍රදේශයේ හෝ ලෝකයේ සිදු වන යම් සිද්ධියක් ගැන ඔවුන් සමඟ විනාඩි කිහිපයක් කතා බහ කරති. එමෙන්ම ශුද්ධ ලියවිලි පදයක් හෝ දෙකක් කියවා සාකච්ඡා කළ හැකියි. ගෙවැසියා ඒ කෙරෙහි යම් උනන්දුවක් දක්වයි නම්, පසුව වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා සාක්ෂිකරුවන් ගෙවැසියාට පහසු වේලාවක නැවත ගොස් බැලීම පිණිස සැලසුම් යෙදීමට ඉඩ ඇත. බයිබල් සහ බයිබලය ගැන පහදා දෙන පොත් පත් ගෙවැසියාට බෙදා දෙනු ලබන අතර, ගෙවැසියා කැමති නම්, නොමිලේ නිවාස බයිබල් පාඩමක් පවත්වනු ලැබේ. තනි පුද්ගලයන් හා පවුල් වශයෙන් ලොව වටා සිටින ජනයා සමඟ මෙවැනි උපකාරවත් බයිබල් පාඩම් මිලියන සංඛ්‍යාවක් නිතිපතා පවත්වනු ලැබේ.
“රාජ්‍යයේ ශුභාරංචිය” අනුන්ට පැවසිය හැකි තවත් ක්‍රමයක් නම්, තම ප්‍රදේශයේ රාජ්‍ය ශාලාවල පැවැත්වෙන රැස්වීම් මාර්ගයෙන්ය. සාක්ෂිකරුවෝ එහි සතිපතා රැස්වීම් පවත්වති. එක්රැස්වීමක් නම්, කාලීන වශයෙන් කාගෙත් උනන්දුවට ලක් වී ඇති විෂයක් පිළිබඳව ප්‍රසිද්ධ දේශනයක් ඉදිරිපත් කරයි. ඉන්පසුව, යම් බයිබලීය තේමාවක් හෝ අනාවැකි පදනම් කරගෙන මුරටැඹ සඟරාව ආධාරයෙන් පාඩමක් පැවැත්වේ. තවත් රැස්වීමක් නම්, වඩාත් හොඳින් ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා සාක්ෂිකරුවන්ව පුහුණු කිරීමට පැවැත්වෙන පාසැලකි. ඉන් අනතුරුව පැවැත්වෙන්නේ තම බල ප්‍රදේශයේ සාක්ෂි දැරීමේ වැඩකටයුතු ගැන සාකච්ඡා කරන කොටසකි. මීට අමතරව ඔවුහු බයිබලය අධ්‍යයනය කිරීම සඳහා කුඩා කණ්ඩායම් වශයෙන් පෞද්ගලික නිවෙස්වල රැස් වෙති.
මේ සියලුම රැස්වීම් මහජනයා සඳහා විවෘතය. කිසිම මුදලක් කිසිවිටෙකත් අය කරනු ලබන්නේ නැත. එවන් රැස්වීම් සියල්ලන්ටම ප්රයෝජනවත්ය. ඒ ගැන බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. “ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට අන්‍යයන් පොලඹවන පිණිස එකිනෙකා ගැන සලකමු. ඇතැම් අය කරන ලෙස අපේම රැස්වීම්වලින් ඈත්ව නොසිට, . . . දවස ළං වන බව ඔබට පෙනෙන බැවින් වැඩි වැඩියෙන් එසේ කරමු.” පෞද්ගලික අධ්‍යයනය සහ විෂයන් ගැන පර්යේෂණ කිරීම අවශ්‍යය. එහෙත් අන්‍යයන් සමඟ එකට රැස්වීම ක්‍රියාවට පොලඹවනසුලුය. “යකඩින් යකඩ මුවහත් වේ. එසේම මනුෂ්‍යයෙක් තම මිත්‍රයාගේ මුහුණ පැහැපත් කරයි.”—හෙබ්‍රෙව් 10:24, 25, නව අනුවාදය [න.අ.]; හිතෝපදේශ 27:17.
තම එදිනෙදා ජීවිතයේදී වෙනත් අයව මුණගැසෙන විට සාක්ෂිකරුවෝ ශුභාරංචිය ගැන කතා කිරීම සඳහා එම ප්‍රස්තාවන් මැනවින් යොදාගනිති. එය, අසල්වැසියෙකු සමඟ හෝ තමන් සමඟ බසයක හෝ ගුවන් යානයක එකට ගමන් කරන මඟියෙකු සමඟ කරන සුළු කතා බහක් විය හැකියි. මිතුරෙකු හෝ නෑදෑයෙකු සමඟ කරන දීර්ඝ සංවාදයක් වන්නට පුළුවන. නැතහොත් රැකියා ස්ථානයේ දිවා ආහාරය සඳහා වෙන් වූ කාලයේදී තමන් සමඟ එකට වැඩ කරන අය සමඟ කරන සාකච්ඡාවක් විය හැකියි. යේසුස් පොළොව මත සිටි විට සාක්ෂි දැරූ අවස්ථා බොහොමයක්ම මේ ආකාරයේ ඒවා විය. එනම්, ඔහු මුහුදු වෙරළක් දිගේ ගමන් කරන විට, කඳු ගැටයක් මත වාඩි වී සිටින විට, යම් කෙනෙකුගේ නිවසේ ආහාර ගන්නා විට, විවාහ මංගල්‍යයකට සහභාගි වන විට හෝ ගලීල මුහුදේ මසුන් ඇල්ලීමට යන ඔරුවක ගමන් කරන විට ඔහු සාක්ෂි දැරුවේය. සිනගෝගවලද යෙරුසලමේ දේවමාලිගාවේදීද ඔහු ඉගැන්වීය. ඔහු ගිය හැම තැනකම ඔහු කළේ දෙවිගේ රාජ්‍යය ගැන කතා කිරීමට ප්‍රස්තාවක් සෙවීමයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් උත්සාහ දරන්නේද මේ සම්බන්ධයෙන් ඔහුගේ අඩිපාරේ ගමන් කිරීමටයි.—1 පේතෘස් 2:21.
ආදර්ශයෙන් දේශනා කිරීම
ඔබට ශුභාරංචිය පවසන පුද්ගලයා තමන් උගන්වන දේට අනුව ජීවත් වන්නේ නැත්නම්, මේ කුමන ආකාරයක් වුවත් යොදාගෙන ඔබට ශුභාරංචිය කීවත් ඉන් පලක් නැත. එකක් කියා තවත් එකක් කිරීම කුහකකමය. තවද ආගමික කුහකකම මිලියන ගණන් ජනතාව බයිබලයෙන් ඉවතට හරවා ඇත. මීට වගකිව යුත්තේ බයිබලය කියා පැවසීම සාධාරණ නොවේ. ලියන්නන්ටද පරිසිවරුන්ටද හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි තිබිණි. එහෙත් යේසුස් ඔවුන්ව හෙළාදුටුවේ කුහකයන් ලෙසයි. මෝසෙස්ගේ නීතියෙන් උපුටාගෙන ඔවුන් කතා කරන බවට පැවසූ ඔහු, අනතුරුව තම ගෝලයන්ට කීවේ මෙසේයි. “ඔවුන් ඔබට කියන සියල්ල කරන්න. ඒවා පවත්වන්න. එහෙත් ඔවුන්ගේ ක්‍රියා ලෙස නොකරන්න. මන්ද ඔවුන් කියනවා මිස කරන්නේ නැත.” (මතෙව් 23:3) ක්‍රිස්තියානියෙකු නිසි ලෙස ජීවත් වන ආකාරයෙන් ඔහු සපයන ආදර්ශය ඔහු පැය ගණනක් කරන දේශනාවට වඩා ප්රබලය. නොඇදහිලිකාර ස්වාමිපුරුෂයන් සිටින ක්‍රිස්තියානි භාර්යාවන්ට දෙන ලද උපදෙස තුළ මෙම කාරණය ගැබ්ව තිබේ. “ඔවුන්ගෙන් සමහරෙක් වචනයට කීකරු නොවී සිටියත්, වචනයක්වත් නොපවසා ඔබේ හැසිරීම මාර්ගයෙන් ඔවුන්ව දිනාගැනීමට හැකි වේ. මන්ද ඔවුහු ඔබේ නිර්මල හැසිරීම සහ ගැඹුරු ගෞරවය දකින්නෝය.”—1 පේතෘස් 3:1, 2.
එබැවින්, යෙහෝවාගේ සාක්ෂිකරුවෝ අන්‍යයන්ට ශුභාරංචිය ගැන කියා පෑමට මේ ආකාරයෙන්ද උත්සාහ කරති. එනම්, තමන් ක්‍රිස්තියානීන් ලෙස අනුන්ට ආදර්ශයක් සැපයීමෙනි. ඔවුන් එසේ කිරීමට උත්සාහ කරන්නේ ‘අනුන් තමන්ට කරනවාට තමන් කැමති සියල්ලම, තමුනුත් එලෙසම අනුන්ට කිරීමෙනුයි.’ (මතෙව් 7:12) ඔවුහු තමන්ගේ සෙසු සාක්ෂිකරුවන්, තම මිතුරන්, අසල්වැසියන් හෝ නෑදෑයන් වන අය සමඟ පමණක් නොව, සියලුම ජනයා සමඟ මෙසේ ක්‍රියා කරති. අසම්පූර්ණ වූ ඔවුහු සෑම විටම සියයට 100ක් සාර්ථක නොවෙති. එහෙත් ඔවුන් මුළු සිතින්ම ආශා කරන්නේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය අනුන්ට පැවසීම මගින් සියල්ලන්ටම යහපත කිරීමට පමණක් නොව, හැකි සෑම අවස්ථාවකදීම වෙනත් ආකාරවලින්ද උපකාර කිරීමටත්ය.—යාකොබ් 2:14-17.
[19වන පිටුවේ පින්තූරය]
හවායි දූපත්
[19වන පිටුවේ පින්තූරය]
වෙනිසුවෙලා
[19වන පිටුවේ පින්තූරය]
යුගෝස්ලාවියාව
[20වන පිටුවේ පින්තූර]
රාජ්‍ය ශාලා ඉදි කර ඇත්තේ බයිබල් සාකච්ඡාවන් පැවැත්වීම සඳහායි
[21වන පිටුවේ පින්තූර]
සාක්ෂිකරුවෝ තම පවුල් ජීවිතයේදී සහ අන්‍යයන් සමඟ කටයුතු කරන විටදී තමන් දේශනා කරන දේට අනුව ක්‍රියා කිරීමට අවංකව උත්සාහ කරති