පාඩම 11
උණුසුම්භාවය සහ හැඟීම්
හැඟීම්! චිත්තවේගයන්! මේවා මිනිස් ජීවිතයේ අනිවාර්ය අංගයන් වේ. පුද්ගලයෙක් තම හැඟීම් පළ කරන විට, ඔහු හෙළි කරන්නේ තම හදවතෙහි තිබෙන දෙයයි. එනම්, තමා ඇත්තටම මොන වගේ පුද්ගලයෙක්ද යන්නයි. තවද ඇතැම් තත්වයන් හා පුද්ගලයන් සම්බන්ධයෙන් ඔහුට දැනෙන දේද ඔහු එළිදරව් කරයි. බොහෝදෙනෙකු තම හැඟීම් සැඟවීමට උත්සාහ දරන්නේ ඔවුන් තම ජීවිතයෙහි නොයෙකුත් කටුක අද්දැකීම්වලට මුහුණ දී ඇති නිසාය. එසේ නැතහොත් යම් හෙයකින් ඔවුන්ගේ සංස්කෘතික පසුබිමද ඊට හේතු විය හැකිය. කෙසේවෙතත්, යෙහෝවා අපට දිරිගන්වන්නේ අපගේ ඇතුළාන්තයෙන්ම යහපත් ගුණාංග වගා කරන්නට සහ ඒවා එළිපිට ප්‍රකාශ කරන්නටයි.—රෝම 12:10; 1 තෙස. 2:7, 8.
අප කතා කරන විට, අප භාවිත කරන වචනවලින් හැඟීම් නිවැරදිව පළ කළ හැකිය. එනමුත්, අපගේ මුවින් පිට වන වචනවලට අනුකූලව හැඟීම් පළ වන්නේ නැත්නම්, ඔබ පවසන දේ ඇත්තෙන්ම අවංකව පිට වන්නක්ද යන්න සම්බන්ධයෙන් සැකයක් මතු වන්නට පුළුවන. අනික් අතට, අප සුදුසු හැඟීම් පළ කරමින් කතා කරනවා නම් අපගේ කතාවට සුවිශේෂ රසයක්, අලංකාරයක් එකතු වේ. මීට අමතරව සවන් දෙන අයගේ හදවත් ස්පර්ශ කිරීමටද අපි සමත් වන්නෙමු.
උණුසුම්භාවය පළ කිරීම. පුද්ගලයන් ගැන අපට පහළ වන සිතුවිලි සමඟ උණුසුම් හැඟීම් නිතරම බැඳී පවතී. එමනිසා යෙහෝවාගේ සිත්ගන්නාසුලු ගුණාංග ගැන කතා කරන විටත්, යෙහෝවාගේ යහපත්කම වෙනුවෙන් අපගේ අගය පළ කරන විටත්, අපගේ කටහඬට උණුසුම්භාවය මුසු විය යුතුය. (යෙසා. 63:7-9) සෙසු මනුෂ්‍යයන්ට කතා කරන විටත් සිත්ගන්නා උණුසුම්භාවයක් අපගේ කතා ශෛලියෙන් පිළිබිඹු වේ.
නිදසුනකට, මෙම දසුන ඔබේ සිතෙහි මවාගන්න. යේසුස් වෙතට පැමිණෙන ලාදුරු රෝගියෙකු තමාට සුවය ලබා දෙන්නට කියා ඔහුගෙන් අයැද සිටී. “කැමැත්තෙමි, පවිත්‍ර වෙන්න” කියා යේසුස් පවසන විට ඔහුගේ කටහඬේ මොනතරම් මුදු මොළොක් හැඟීමක් පළ වේදැයි සිතා බලන්න. (මාක් 1:40, 41) තවත් දසුනක් ඔබේ මනසට නඟන්න. පුරා වසර 12කට රුධිර වහනයකින් පෙළෙන ස්ත්‍රියක් කාටත් හොරා යේසුස් ළඟට පිටුපසින් ඇවිත්, ඔහුගේ සළුවේ වාටිය අල්ලයි. තමා කළ ක්‍රියාව හෙළි වී ඇතැයි දැනගන්නා ඇය, වෙවුලමින් යේසුස්ගේ පාමුල වැටී ඔහුගේ වස්ත්‍රය ස්පර්ශ කිරීමට හේතුව සියලු ජනයා ඉදිරියේ හෙළි කර, ඇය සුවය ලැබූ ආකාරයද පැහැදිලි කරයි. “දියණියනි, නුඹේ ඇදහිල්ල නුඹ සුව කෙළේය. සමාදානයෙන් යන්නැයි” යේසුස් පවසන්නේ කෙලෙසදැයි ඔබට මැවී පෙනෙයිද? (ලූක් 8:42ආ-48) මෙම අවස්ථාවලදී යේසුස් විදහාපෙන්වූ උණුසුම්භාවය අදටත් අපගේ හදවත් ස්පර්ශ කරනවා නොවේද?
යේසුස්ට සමානව අපටත් මිනිසුන් ගැන දයානුකම්පාවක් දැනෙන විට හා ජනයාට උපකාර කිරීම සඳහා අප තුළ සැබෑ ආශාවක් ඇති විට, අප ඔවුන්ට කතා කරන විදිහෙන් එය පැහැදිලිව දිස් වේ. මෙලෙස ප්‍රකාශ කරන උණුසුම්භාවය අවංකය. එය මවාපෑමක් නොවේ. ඇත්තෙන්ම මිනිසුන් අපට ප්‍රතිචාරය දක්වන ආකාරයට බෙහෙවින් බලපාන දෙයක් වන්නේ අපගේ උණුසුම්භාවයයි. ක්ෂේත්‍ර සේවයේදී බොහෝ දුරට මෙවන් ආකාරයේ උණුසුම්භාවයක් පළ කිරීමට ලැබෙන අවස්ථා එමටය. විශේෂයෙන්ම මෙය අදාළ වන්නේ තර්ක කිරීමට, දිරිගැන්වීමට, උනන්දු කිරීමට හා අනුකම්පාව පළ කිරීමට සිදු වන විටදීය.
අන් අය කෙරෙහි උණුසුම් හැඟීම් ඔබට ඇත්නම්, ඔබගේ මුහුණේ ඉරියව්වෙන් එය පෙන්නුම් කිරීමට බලන්න. ඔබෙන් යම් උණුසුම්භාවයක් දිස් වන විට ඔබේ සබය ඔබට ආකර්ෂණය වන්නේ ශීත රැයක වෙවුල වෙවුල සිටින පුද්ගලයෙකු ගිනි මැලයක් අසලට ඇදෙන්නාක් මෙනි. ඔබේ මුහුණෙහි උණුසුම්භාවයක් දැකගත නොහැකි නම්, තමන් ගැන අවංක සැලකිල්ලක් ඇති බව විශ්වාස කිරීමට ඔබේ සබයට දුෂ්කර දෙයක් විය හැක. අනික, උණුසුම්භාවය වෙස් මුහුණක් වගේ පැළඳිය හැකි දෙයක් නොවේ. එය හද පත්ලෙන්ම නැඟිය යුතු අව්‍යාජ ගුණාංගයකි.
උණුසුම්භාවය ඔබේ කටහඬින්ද පිළිබිඹු විය යුතුය. ඔබේ කටහඬට රළු, දැඩි ස්වරූපයක් ඇත්නම්, ඔබේ කතාව තුළින් උණුසුම්භාවයක් පළ කිරීම අභියෝගයක් විය හැක. කෙසේවෙතත්, කාලය හා නිරන්තර වෑයමක් සමඟින් එය අත් කරගැනීමට ඔබට පුළුවන් වේවි. කතා කරන විට හදිසියෙන් මෙන් වචන වේගයෙන් පිට කිරීම කටහඬ රළු කරවන බව මතක තබාගැනීම යහපති. ඕනෑම වචනයක වඩාත් මෘදු ස්වර ඇදීමට ඉගෙනගන්න. ඔබේ කතාවට උණුසුම්භාවයක් මුසු කිරීමට මෙය මහෝපකාරි වේ.
කෙසේවෙතත්, වඩාත් වැදගත් දේ වන්නේ ඔබේ උනන්දුව යොමු වී ඇත්තේ කුමක් වෙතටද යන්නයි. ඔබේ සිතුවිලි ඔබ කතා කරන අය වෙතට අවංක ලෙස යොමු කර, ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා යමක් ඉදිරිපත් කිරීමට අව්‍යාජ ආශාවක් ඇත්නම්, එම ආශාවත් හැඟීමත් ඔබේ කතාවෙන් මනාව පිළිබිඹු වේ.
උද්යෝගිමත්, ප්‍රාණවත් ඉදිරිපත් කිරීමක් උනන්දුවක් ජනිත කළද, මුදු මොළොක් හැඟීම්ද පළ කළ යුතුය. මනසට යමක් ඒත්තුගැන්වීම පමණක් මදිය. අප හදවත ස්පර්ශ කරමින් හදවතේ යම් පෙලඹීමක් ඇති කිරීමද අවශ්‍යය.
වෙනත් හැඟීම් පළ කිරීම. කාන්සාව, බිය හා අසහනය වැනි චිත්තවේගයන් යම් මානසික පීඩනයකින් පෙළෙන පුද්ගලයෙකු විසින් පළ කළ හැක. අපගේ ජීවිතයේ ප්රමුඛව දිස් විය යුතු චිත්තවේගයකි, ප්‍රීතිය. අන් අයට කතා කරද්දී මෙය පහසුවෙන් දැකගත හැකි වේ. අනික් අතට, ඇතැම් චිත්තවේගයන් මර්දනය කරගත යුතුය. ඊට හේතුව ඒවා ක්‍රිස්තියානි පෞද්ගලිකත්වයට සමගාමීව දිව නොයෑමයි. (එපී. 4:31, 32; පිලි. 4:4) අප තෝරාගන්නා වචනවලින්, අපගේ කටහඬේ ස්වරයෙන්, අපගේ කටහඬේ තීව්රභාවයෙන්, අපගේ මුහුණේ ඉරියව්වෙන් සහ අභිනයෙන් චිත්තවේගයන් පුළුල්ව පළ කළ හැකිය.
මිනිසුන් වශයෙන් අප පළ කරන සියලුම චිත්තවේගයන් ගැන බයිබලය අදහස් දක්වයි. ඇතැම් අවස්ථාවලදී යම් චිත්තවේගයන් නමින් හඳුන්වා ඇත. වෙනත් අවස්ථාවලදී ඇතැම් හැඟීම් පළ වන යම් සිද්ධියක් විස්තර කිරීමෙන් හෝ පැවසූ යමක් උපුටා දැක්වීමෙන් ඒවා මොනවාද යන්න තේරුම් ගැනීමට සලස්වා ඇත. මෙවැනි කොටස් ශබ්ද නඟා කියවන විට, එම චිත්තවේගයන් ඔබේ කටහඬින් පිළිබිඹු කළහොත් ඔබටත් ඔබට සවන් දෙන අයටත් එය වඩාත් ගැඹුරින් කාවදිනවා ඇත. එසේ කිරීමට නම්, ඔබ කියවන වාර්තාවෙහි සඳහන් පුද්ගලයන්ගේ තත්වයටම බැසීම අවශ්‍යය. එනමුත් කතාවක් යනු යම් නාට්‍යයක මෙන් කරන රඟ දැක්වීමක් නොවේ. එමනිසා, අනවශ්‍ය රඟපෑමක් කිරීමෙන් වළකින්න. කෙසේවෙතත්, ඔබට සවන්දෙන්නන්ගේ මනස් තුළ ඔබ කියවන දේ ජීවත් කරවීමට උත්සාහ කරන්න.
තොරතුරුවලට උචිත ආකාරයකින්. උද්යෝගය සම්බන්ධයෙන් සැබෑ වන්නාක් මෙන්, ඔබ පවසන දේට මුසු කරන උණුසුම්භාවය හා වෙනත් චිත්තවේගයන් බොහෝ දුරට රඳා පවතින්නේ ඔබ පවසන දේ මතය.
දැන්, මතෙව් 11:28-30ට පෙරළන්න. එහි පවසන දේ සැලකිල්ලට ගන්න. ඊළඟට යේසුස් ලියන්නන් සහ ඵරිසිවරුන් හෙළා දුටු අන්දම මතෙව් 23වන පරිච්ඡේදයෙන් කියවා බලන්න. ඉතා දැඩි වූ මෙම හෙළාදැකීම අලස, අප්‍රාණික අන්දමකින් පළ කළායයි අපට සිතාගත නොහැකිය.
උත්පත්ති 44වන පරිච්ඡේදය වැනි වාර්තාවක් කියවද්දී කෙබඳු ආකාරයේ හැඟීමක් අවශ්‍ය වේද? එහිදී යූදා තම සහෝදර බෙන්යමින් වෙනුවෙන් අයැද සිටියි. උත් 44 දහතුන්වන පදයෙහි පළ වන චිත්තවේගයන්, උත් 44 16වන පදයෙහි විපතට හේතුව සම්බන්ධයෙන් යූදාට දැනුණු හැඟීම් හා උත්පත්ති 45:1හි සඳහන් පරිදි යෝසෙප් ප්‍රතික්‍රියා කළ ආකාරය යන මේවා ඔබ සැලකිල්ලට ගත්තාද?
මේ අනුව, කියවන විට හෝ කතා කරන විට, බලපෑමෙන් යුක්තව එය කිරීමට නම් අප වචනවලට හා අදහස්වලට පමණක් නොව, නමුත් මේ හා අත්වැල් බැඳගෙන ඇති හැඟීම්වලටද හොඳ අවධානයක් යොමු කළ යුතුය.