පාඩම 12
අභිනය සහ මුහුණේ ඉරියව්
ඇතැම් සංස්කෘතීන්වලට අයත් අය වෙනත් පසුබිම්වලින් පැමිණෙන උදවියට වඩා අභිනය දැක්වීමට නැඹුරුවාවක් දක්වති. කෙසේවෙතත් සෑම කෙනෙක්ම පාහේ කතා කරද්දී මුහුණේ ඉරියව් වෙනස් කරමින්, යම් ආකාරයක අභිනයක් දක්වයි. පෞද්ගලිකව කරන සංවාදවලදී පමණක් නොව නමුත් ප්‍රසිද්ධියේ කතා කරන විටදී පවා මෙය සැබෑවක් වේ.
යේසුස්ට සහ ඔහුගේ මුල් ගෝලයන්ට ස්වාභාවයෙන්ම අභිනය දැක්වීමට නැඹුරුවාවක් තිබිණ. එක් අවස්ථාවකදී, යේසුස්ගේ මව හා සහෝදරයන් ඔහුව හමුවීමට පැමිණ ඇති බව යමෙක් වාර්තා කළේය. ‘මාගේ මව කවුද? මාගේ සහෝදරයෝ කවුරුදැයි’ යේසුස් පිළිතුරු දුන්නේය. ඊළඟට බයිබලයෙහි සඳහන් වන දේ සලකා බලන්න. “තමන් ගෝලයන් දෙසට අත දිගුකොට: මෙන්න, මාගේ [මව] සහ මාගේ සහෝදරයෝ!” කියා ඔහු පැවසීය. (මතෙ. 12:48, 49, අකුරු ඇල කළේ අපය.) මේ හා සමාන අවස්ථා ක්‍රියා 12:17හි හා 13:16හි වාර්තා වී ඇත. එම අවස්ථාවලදී පේතෘස් සහ පාවුල් යන ප්‍රේරිතවරුන් නිරායාසයෙන්ම අභිනය දැක්වූ බවට සැල වේ.
අදහස් හා හැඟීම් පළ කිරීමේදී කටහඬෙන් පමණක් නොව අභිනයෙන් හා මුහුණේ ඉරියව්වෙන්ද කාර්යයක් ඉටු කෙරේ. මෙම අංග දෙක මැනවින් විදහාපෙන්වීමට අපොහොසත් වන විට, කතා කරන තැනැත්තාට උදාසීන ස්වභාවයක් ඇති බවට ඇඟවෙයි. කෙසේවෙතත් අදහස් හුවමාරු කරගැනීමේදී විදහාපෙන්විය හැකි මෙම ක්‍රම, කතාවට උචිත ලෙස දක්වන විට කතාවේ බලපෑම බෙහෙවින් වැඩිය. දුරකථනයෙන් කතා කළත්, ඔබ පවසන දේට එකඟව අභිනය දක්වමින් මුහුණේ ඉරියව්ව වෙනස් කළහොත් ඔබට කීමට තිබෙන දෙයෙහි වැදගත්කම හා කීමට තිබෙන දේ සම්බන්ධයෙන් ඔබට පෞද්ගලිකව හැඟෙන ආකාරය වඩාත් බලපෑමකින් යුක්තව ඉදිරිපත් කිරීමට හැකි වේ. මෙසේ, හිටිවන කතාවක් දෙමින් සිටියත්, කියවමින් සිටියත්, සබය ඔබ දෙස හෝ ඔවුන්ගේ බයිබල් දෙස බලමින් සිටියත්, අභිනය හා මුහුණේ ඉරියව්ව යම් වටිනා කාර්යයක් ඉටු කරයි.
ඔබ දක්වන අභිනය හා මුහුණේ ඉරියව් පොතකින් ඉගෙනගත්තාක් මෙන් කෘත්‍රිම හෝ මවාපෑමක් නොවිය යුතු අතර, එය ස්වාභාවික විය යුතුයි. සිනහවක් පාන්නේ කෙසේද, කෝපය පළ කරන්නේ කෙසේද යන්න පොතකින් පාඩම් කළ හැකි දේවල් නොවේ. අභිනය දැක්වීමේදී පළ කළ යුත්තේ ඔබ තුළ නිරායාසයෙන්ම හටගෙන ඇති හැඟීම්ය. ඔබේ අභිනය නිරායාසයෙන්ම දක්වන තරමටම වඩාත් හොඳය.
සාමාන්‍යයෙන් අභිනය කොටස් දෙකකට බෙදිය හැකිය. එනම්, විස්තරාත්මක හා අවධාරණාත්මක අභිනය ලෙසය. විස්තරාත්මක අභිනය යම් ක්‍රියාවක් ඇඟවීමට හෝ ප්‍රමාණය හා ස්ථානය පෙන්නුම් කිරීමට යොදාගැනේ. පාසැලේදී ඔබට වැඩ කිරීමට තිබෙන කරුණ අභිනය වේ නම්, එකක් දෙකක් කිරීමෙන් සෑහීමට පත් නොවන්න. ඔබේ කතාව පුරාම තාත්වික අන්දමකින් අභිනය දැක්වීමට උත්සාහ කරන්න. මෙසේ කිරීමට ඔබට අසීරු බවක් දැනේ නම්, දිශාව, ප්‍රමාණය, ස්ථානය එකිනෙකට සාපේක්ෂ වූ පිහිටීම් දැක්වීමට යොදාගන්නා වචන හඳුනාගැනීම ප්‍රයෝජනවත් වේ. කෙසේවෙතත්, බොහෝදුරට උපකාරවත් වන්නේ ඔබේ කතාවට හොඳින් අවතීර්ණ වීමයි. එවිට අන් අයට ඔබ ගැන හැඟෙන්නේ කෙසේද යන්න ගැන ඔබ කරදරයට පත් වන්නේ නැත. ඒ වෙනුවට දෛනික ජීවිතයේදී මෙන් කතා කිරීමට හා ක්‍රියා කිරීමට ඔබ නිරායාසයෙන්ම පෙලඹෙනු ඇත. පුද්ගලයෙක් සැහැල්ලුවෙන් සිටින විට කිසිදු චකිතයක් නොමැති විට, අභිනය පහසුවෙන් දැකගත හැකි වේ.
අවධාරණාත්මක අභිනය හැඟීම් සහ විශ්වාසය පළ කිරීමට යොදාගැනේ. ඒවා භාවිත කරන්නේ යම් අදහස් කාවැද්දීමට, තහවුරු කිරීමට හා ඒවාට ජීවයක් ගෙන දීමටය. මේවායින් ඉතා වැදගත් කාර්යයක් ඉටු වේ. එනමුත් පරෙස්සම් වන්න! අවධාරණාත්මක අභිනය ඉතා පහසුවෙන් කථිකයෙකුටම ආවේණික අමුතු ගතිලක්ෂණ බවට පත් විය හැක. ඔබ නැවත නැවතත් එකම අභිනය භාවිත කරනවා නම්, ඔබේ කතාවට වඩා එම අභිනය වෙතට අනවශ්‍ය ලෙස අවධානය ඇදී යන්නට පුළුවන. ඔබට මෙම ගැටලුව තිබෙන බව ඔබේ පාසැල් අවේක්ෂක පෙන්වා දෙයි නම්, කලකට විස්තරාත්මක අභිනයට පමණක් සීමාවීම යහපති. කෙටි කාලයකට පසු, අවධාරණාත්මක අභිනය යළිත් භාවිත කරන්න.
ඔබ කොතෙක් දුරට අවධාරණාත්මක අභිනය භාවිත කළ යුතුද, යෝග්‍ය ලෙස සැලකිය හැක්කේ කවර අභිනයද යන්න තීරණය කිරීමේදී ඔබ අමතන අයගේ හැඟීම් සලකා බැලීම වටී. සබය වෙත දබරැඟිල්ල දිගු කිරීමෙන් ඔවුන්ව අපහසුතාවට ලක් කළ හැකිය. ඇතැම් සංස්කෘතීන්වල, පුදුමය ප්‍රකාශ කිරීමට පුරුෂයෙක් තම අතින් කට වසාගැනීම සලකන්නේ ගැහැනු ගතිලක්ෂණයක් ලෙසය. ලෝකයේ ඇතැම් රටවල, ස්ත්‍රියකට තම අත්වලින් අභිනය කිරීම අවිනීත ක්‍රියාවක් ලෙස ගණන් ගැනේ. එමනිසා එවැනි ප්‍රදේශවල ස්ත්‍රීහු මුහුණේ ඉරියව් දක්ෂ ලෙස යොදාගනිති. අනික් අතට, කුඩා කණ්ඩායමක් ඉදිරියෙහි ඕනෑවට වඩා අත් විදහා අභිනය කිරීම විහිළුවක් ගණයෙහි ලා සැලකේ.
ක්‍රමානුකූලව අද්දැකීම් ලැබීමත් සමඟම කතා කරද්දී ඔබට යම් පහසුවක් දැනෙයි. එවිට යම් අවධාරණාත්මක අභිනය භාවිත කළහොත්, ඔබේ අභ්‍යන්තර හැඟීම් ස්වාභාවිකව පළ කිරීමට ඔබ සමත් වනු ඇත. අනික් අතට, ඔබට තිබෙන විශ්වාසය සහ අවංකකමද දැකගත හැකි වේ. ඔව්, ඔබ පවසන දේට යම් අර්ථවත් බවක් මුසු වනු ඇත.
ඔබේ මුහුණේ ඉරියව්ව. ඔබේ සිරුරේ අන් සියලුම අවයවවලට වඩා හැඟීම් ප්‍රබලව ප්‍රකාශ වන්නේ ඔබේ මුහුණෙන්ය. ඔබේ ඇස්, මුඛයේ හැඩය, හිස ඇල කර තිබෙන ආකාරයෙන්ද යම් කාර්යයක් ඉටු වේ. ඔබේ මුවින් වචනයක්වත් පිට නොකර උදාසීනකම, පිළිකුල, වියවුල, පුදුමය හෝ ප්‍රීතිය ඔබේ මුහුණෙන් පළ කරන්නට පුළුවන. මුහුණේ මෙවන් ඉරියව් සමඟ යමක් පවසන විට දෘශ්‍ය මෙන්ම චිත්තවේගීය බලපෑමක් ඇති වේ. මැවුම්කරු ඔබේ මුහුණේ පේශීන් රැසක්, එනම් 30කට අධික සංඛ්‍යාවක් පිහිටුවා ඇත. ඔබේ මුහුණේ සිනහවක් පහළ වන විට ඉන් අඩක් පමණ ක්‍රියාත්මක වන බව ඔබ දැන සිටියාද?
වේදිකාවේ හෝ වේවා, ක්ෂේත්‍ර සේවයෙහි සහභාගි වන විට හෝ වේවා, ඔබ බෙදාගැනීමට උත්සාහ කරන්නේ ප්‍රියමනාප පණිවිඩයකි. මනුෂ්‍යයන්ගේ හදවත් ප්‍රීතියෙන් පිනා යෑමට සැලැස්විය හැකි එකකි. උණුසුම් සිනහවක් ඒ බව සනාථ කරවයි. අනික් අතට, හැඟීමෙන් තොර උදාසීන ගතියක් ඔබේ මුහුණෙහි දිස් වේ නම්, ඔබ ඇත්තෙන්ම අවංක ලෙස අදහස් පළ කරනවාද යන්න පිළිබඳ සැක පහළ විය හැක.
කෙසේවෙතත්, වඩාත් වැදගත් ලෙස සිනහවකින් කියාපාන්නේ ඔවුන් ගැන කාරුණික හැඟීමක් ඔබ තුළ ඇති බවය. අමුත්තන් ගැන බොහෝ දුරට භයෙන් සිටින මෙවන් යුගයක මෙය විශේෂයෙන්ම වැදගත් වේ. මිනිසුන්ට තිබෙන බිය සැක දුරු කිරීමටත්, ඔබට කීමට තිබෙන දේට වඩාත් සාවධානව ඇහුම්කන් දීමටත් ඔබේ සිනහව මහෝපකාරි විය හැක.