ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • be 48 පාඩම 251 පි.-254 පි. 2 ¶
  • තර්කානුකූල වීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • තර්කානුකූල වීම
  • දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සමාන තොරතුරු
  • උතුම් ගුරුවරයාව අනුකරණය කරන්න
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සාධාරණකම වගා කරන්න
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවියන් වගේ සාධාරණ වෙන්න
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බලපෑමෙන් යුතුව ප්‍රශ්න යොදාගැනීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
තව තොරතුරු
දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
be 48 පාඩම 251 පි.-254 පි. 2 ¶

පාඩම 48

තර්කානුකූල වීම

කළ යුතු වන්නේ කුමක්ද?

ශුද්ධ ලියවිලි පද, නිදර්ශන සහ ප්‍රශ්න තර්කානුකූලව හා ජනයාට සවන් දීමට මෙන්ම කල්පනා කිරීමට දිරිගන්වන ආකාරයකින් භාවිත කරන්න.

එය වැදගත් වන්නේ මන්ද?

රළු, පරුෂ, දැඩි හෝ අත්තනෝමතික ආකාරයකින් කතා කරන විට පවසන දේට මිනිසුන්ගේ මනස් සහ හදවත් විවෘත වන්නේ නැත. තර්කානුකූල වීම සාකච්ඡාවක් පැවැත්වීමට රුකුලක් වන අතර, කෙනෙකුට සිතීමට අවස්ථාවක් ලබා දෙමින් ඉදිරියෙහි සංවාද පැවැත්වීමට මං විවෘත කර තබයි. තර්කානුකූල එළඹීමක් ප්‍රබලය, ඒත්තුගන්වනසුලුය.

දේවවචනය හේතුවෙන් අපගේ ජීවිතයෙහි සිදුවී ඇති වෙනස්කම් ගැන අපට දැනෙන්නේ කෘතඥතාවෙන් පිරි හැඟීමකි. අපගේ අවංක ආශාව වන්නේ අප භුක්ති විඳින ප්‍රයෝජන වෙනත් අයත් භුක්ති විඳිනවා දැකීමයි. එපමණක්ද නොව, මිනිසුන් ශුභාරංචියට ප්‍රතිචාරය දක්වන අන්දම ඔවුන්ගේ අනාගත අපේක්ෂාවලට බලපාන බවත් අපි තේරුම්ගෙන සිටිමු. (මතෙ. 7:13, 14; යොහ. 12:48) ඇත්තෙන්ම අපට ඕනෑ කරන්නේ ඔවුන් සත්‍යය පිළිගන්නවා දැකීමටයි. කෙසේවෙතත්, ඔවුන්ට උපරිම යහපතක් සිදු කිරීම සඳහා අපට තිබෙන ස්ථිර විශ්වාසය සහ ජ්වලිතය සමඟ විචාර බුද්ධිය මුසු කළ යුතුය.

සාමාන්‍යයෙන් යම් කෙනෙකු බොහෝ කාලයක් පුරා මහත් භක්තියකින් වැලඳගෙන සිටි විශ්වාසයක් බොරු බවට අනාවරණය කරමින් සත්‍යය ප්‍රකාශ කරන විට, එය භාරගැනීම අපහසුය. ඉතා දීර්ඝ ශුද්ධ ලියවිලි පද ලැයිස්තුවක් උපයෝගි කරගෙන සාක්ෂි සැපයුවත්, සවන් දෙන තැනැත්තාට එය පිළිගැනීම දුෂ්කර කාර්යයක් විය හැක. නිදසුනකට, යම් ජනප්‍රිය උත්සවයක් මිථ්‍යාදෘෂ්ටික බවට කෙළින්ම හෙළා දකිනවා නම්, එම උත්සවය ගැන දරන ආකල්පය වෙනස් කිරීමට එයම හේතුවක් නොවිය හැක. සාමාන්‍යයෙන් හොඳ ප්‍රතිඵල නෙළාගැනීමට නම්, සාධාරණකම විදහාපෙන්වීම ප්‍රයෝජනවත් වේ. සාධාරණ වීම යනුවෙන් අදහස් වන්නේ කුමක්ද?

“ඉහළින් පැමිණෙන ප්‍රඥාව . . . සාමකාමීව, සාධාරණව” විදහාපෙන්වන දෙයක් බව ශුද්ධ ලියවිල්ල අපට පවසයි. (යාකො. 3:17, NW) මෙහිදී “සාධාරණ” යනුවෙන් පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනයේ පදගතාර්ථයෙන්ම අදහස් වන්නේ “නම්‍යශීලී” වීමයි. ඇතැම් පරිවර්තනවල “ඉවසිලිවන්ත,” “සානුකම්පිත,” නැතහොත් “කාරුණික” වැනි වචනවලින් එම අදහස දක්වා ඇත. සාධාරණකම සාමකාමී වීම නමැති ගුණය හා බැඳී ඇති බව සැලකිල්ලට ගන්න. සාධාරණකමට නෑකම් කියන තවත් ගුණාංගයක් වන මොළොක් ගුණය ගැන තීතස් 3:2හි සඳහන් කර ඇති අතර, ඊට ප්‍රතිවිරුද්ධ ගුණාංගයක් ලෙස දඩබ්බරකම සඳහන් කර තිබේ. පිලිප්පි 4:5 අපගෙන් උදක්ම ඉල්ලා සිටින්නේ අප “සාධාරණකම” [NW] සම්බන්ධයෙන් නම් දැරිය යුතු බවය. සාධාරණ පුද්ගලයෙක් තමා අමතන තැනැත්තාගේ පසුබිම, තත්වය සහ හැඟීම් සැලකිල්ලට ගෙන ඔහුට කතා කරයි. උචිත අවස්ථාවන්හිදී නම්‍යශීලී වීමට ඔහු කැමැත්තක් දක්වයි. අන් අය සමඟ අප එලෙස කටයුතු කරන විට ඔවුන්ගේ මනස් සහ හදවත් විවෘත කිරීමට ඔවුන් පෙලඹෙන අතර, ශුද්ධ ලියවිලි ඇසුරෙන් කාරණා තර්කානුකූලව පහදා දෙන විට ඔවුන්ගෙන් හොඳ ප්‍රතිචාරයක් අපට අපේක්ෂා කළ හැකිය.

පටන්ගන්නා අන්දම. ප්‍රේරිත පාවුල් තෙසලෝනිකයෙහි සිටි විට “ක්‍රිස්තුස් දුක් විඳින්ටත් මළවුන්ගෙන් නැගිටින්ටත් ඕනෑය කියා” ශුද්ධ ලියවිලි පදනමක් ලෙස යොදාගෙන තර්කානුකූලව කරුණු පහදා දුන් බව ඉතිහාසඥ ලූක් වාර්තා කරයි. (ක්‍රියා 17:2, 3) පාවුල් මෙවැන්නක් කළේ යුදෙව් සිනගෝගයකදී බව සැලකිල්ලට ගැනීම වටී. ඔහු අමතමින් සිටි අය, හෙබ්‍රෙව් ලියවිලි පිළිගත් අධිකාරයක් ලෙස සැලකූහ. එසේ නම්, ඔවුන් පිළිගත් යමක් පදනම් කරගෙන සාකච්ඡාව පටන්ගැනීම උචිත විය.

පාවුල් ඇතන්ස්හි ඇරියෝපගස මැද සිටගෙන ග්‍රීක් ජාතිකයන්ට කතා කළ විට, ඔහු සිය කතාව පටන්ගත්තේ ශුද්ධ ලියවිල්ලට යොමු දැක්වීමෙන් නොවේ. ඒ වෙනුවට ඔහු කතාව ඇරඹුවේ ඔවුන් දැන සිටියාවූ, ඔවුන් පිළිගත් දේවල් භාවිත කරමිනි. මෙම දේවල් පදනමක් ලෙස යොදාගත් ඔහුට, මැවුම්කරු සහ ඔහුගේ අරමුණු ගැන සාකච්ඡා කිරීමට මඟක් සාදාගැනීමට හැකි විය.—ක්‍රියා 17:22-31.

මේ නවීන දිනවල බයිබලය සිය ජීවිතවලට බලපෑ යුතු අධිකාරයක් ලෙස නොසලකන බිලියන සංඛ්‍යාත ජනකායක් ලොව පුරා වෙසෙති. එනමුත් දැනට පවතින ලෝක ක්‍රමයෙහි තිබෙන දරුණු දේවල් සියලුදෙනාටම පාහේ බලපායි. වඩාත් හොඳ ජීවිතයක් ගත කිරීමට ජනයාට තිබෙන්නේ තදබල ආශාවකි. එමනිසා, ඔවුන්ගේ කනස්සල්ලට හේතු වන දේ ගැන මුලින්ම සැලකිලිමත් වී, ඉන් අනතුරුව ඒ ගැන බයිබලයේ පැහැදිලි කරන අන්දම පෙන්වා දෙන්න. මෙලෙස එළඹීම ඉතා සාධාරණය. ඒ හේතුවෙන් මිනිස්වර්ගයා සඳහා දෙවිගේ අරමුණ ගැන බයිබලයෙහි සඳහන්ව ඇති දේට සවන් දීම සඳහා පෙලඹීමක් ඇති විය හැක.

සමහරවිට බයිබල් ශිෂ්‍යයෙකුට සිය දෙමාපියන්ගෙන් ඇතැම් ආගමික විශ්වාසයන් සහ චාරිත්‍ර උරුම වී ඇත. එම විශ්වාසයන් සහ චාරිත්‍රයන් දෙවි අනුමත නොකරන බව ඉගෙනගන්නා ශිෂ්‍යයා ඒවා ප්‍රතික්ෂේප කරමින් බයිබලයෙහි උගන්වා ඇති දේ වැලඳගනියි. තමා ගත් තීරණය දෙමාපියන්ට පැහැදිලි කර දෙන්නේ කෙසේද? ඔවුන් ඔහුට දායාද කළ ආගමික උරුමය මෙලෙස ප්‍රතික්ෂේප කිරීමෙන්, ඔහු ඔවුන්වද ප්‍රතික්ෂේප කරනවායයි ඔවුන්ට හැඟී යා හැක. එමනිසා, තම තීරණයට පදනම බයිබලයෙන් පැහැදිලි කර දීමට උත්සාහයක් දරන්නට පෙර, තමා දෙමාපියන්ට ප්‍රේම කරන බවත්, ඔවුන්ට ගෞරවය කරන බවත් සහතික කිරීමට බයිබල් ශිෂ්‍යයාට අවශ්‍ය වනු ඇත.

නම්‍යශීලී විය යුතු අවස්ථාව. යෙහෝවා සියලු දේ තම අණසක යටතේ තබාගෙන සිටින නමුත්, ඔහුගේ සාධාරණකම කැපීපෙනෙන ආකාරවලින් දැකගත හැකිය. ලොත් සහ ඔහුගේ පවුල සොදොමෙන් බේරාගත් අවස්ථාවේදී යෙහෝවාගේ දූතයෝ ඔවුන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේ මෙසේය. “නාස්ති නොවන පිණිස කන්දට දුවන්න”! එහෙත් ලොත්: “අනේ මාගේ ස්වාමිනි යෙහෝවා, එසේ නොවේවා” කියා ආයාචනා කළේය. ඔහු අයැද සිටියේ ශොවර් යන නුවරට පලායෑමට අවසර දෙන ලෙසටයි. එසේ කිරීමට ඉඩ දීමෙන් යෙහෝවා ලොත් ගැන සැලකිල්ල දැක්වූයේය. මේ අනුව වෙනත් නුවරවල් විනාශ වී ගියත්, ශොවර් හානියට ලක් නොවීය. කෙසේවෙතත්, පසුව, ලොත් යෙහෝවා මුලින්ම දුන් මඟ පෙන්වීමට අවනත වෙමින් කඳුකරය බලා ගමන් කළේය. (උත්. 19:17-30) යෙහෝවා තමන් කිරීමට අදහස් කළ දේ නිවැරදි බව දැන සිටියද, තම ස්ථාවරය ලොත් තේරුම්ගන්නා තෙක් ඔහු ඉවසිලිවන්තව ලොත්ගේ තත්වය ගැන සැලකිලිමත් වූයේය.

මේ අනුව, අන් අය සමඟ සාර්ථකව කටයුතු කිරීමට නම් අපද සාධාරණ විය යුතුය. අනික් තැනැත්තා වැරදි බව අප හොඳින්ම ඒත්තුගෙන තිබෙනවා වන්නට පුළුවන. ඔහු වැරදි බවට ඔප්පු කරන ප්‍රබල තර්කයන්ද අපගේ සිතේ තිබෙන්නට පුළුවන. එනමුත්, අනික් පුද්ගලයාට ඔහු වැරදි බව පිළිගැනීමට බල කිරීම සුදුසු දෙයක් නොවේ. සාධාරණකමින් අදහස් වන්නේ යෙහෝවාගේ ප්‍රමිති දියාරු කිරීම නොවේ. එනමුත්, තම අදහස් පළ කිරීම ගැන එම පුද්ගලයාට ස්තුති කිරීම හෝ ඔහු පැවසූ වැරදිසහගත දේවලට අභියෝග නොකර ඒවා ගණන් නොගැනීම වඩාත් හොඳ විය හැකියි. එවිට සාකච්ඡාව වැඩි යහපතක් ඉටු කරනු ඇති යම්කිසි දෙයක් වටා කේන්ද්‍රගත කරන්නට පුළුවන. ඔබ විශ්වාස කරන දේ ඔහු හෙළා දුටුවත්, හදිසි වී ප්‍රතික්‍රියා කරන්න එපා. ඔහුට එලෙස හැඟෙන්නේ මන්දැයි ඔහුගෙන් ඇතැම්විට විමසන්නට පුළුවන. ඔහුගේ පිළිතුරට හොඳින් සවන් දෙන්න. ඔහුගේ සිතුවිලිවල යටි අදහස අවබෝධ කරගැනීමට මෙය මහෝපකාරි වේ. අනික් අතට ඉදිරියෙහි වඩාත් ඵලදායී සාකච්ඡාවක් කිරීම සඳහා හොඳ අඩිතාලමක්ද දැමීමට මෙමගින් අවස්ථාව උදා කරගත හැක.—හිතෝ. 16:23; 19:11.

යෙහෝවා මිනිසාට යම් යම් දේ ස්වාධීනව තෝරාගැනීමේ හැකියාව දානය කර ඇත. ඇතැම් අවස්ථාවලදී එම හැකියාව ඔවුන් ඥානවන්තව භාවිත නොකළද, යෙහෝවා ඊට ඉඩහරියි. යෙහෝවාගේ නියෝජිතයා ලෙස කටයුතු කළ යෝෂුවා, ඉශ්‍රායෙල් සමඟ දෙවි කටයුතු කළ අන්දම සිහිගැන්වීය. එනමුත් ඉන් අනතුරුව ඔහු පැවසුවේ මෙසේය. “යෙහෝවාට සේවය කිරීම නුඹලාට නරකව පෙනේ නම්, ගඟ එගොඩ සිටිය නුඹලාගේ පියවරුන් සේවය කළ දෙවිවරුන් හෝ නුඹලා වාසය කරන දේශයෙහි සිටිය අමෝරිවරුන්ගේ දෙවිවරුන් හෝ නුඹලා සේවය කරන්ට කැමති කාටද කියා අදම තෝරාගන්න. එහෙත් අපි නම්—මමද මාගේ පවුලද—යෙහෝවාට සේවය කරමු.” (යෝෂු. 24:15) අදදින අපගේ පැවරුම “සාක්ෂියක්” දීම හා ස්ථිර විශ්වාසයකින් යුතුව කතා කිරීම හා බැඳී පැවතුණත්, විශ්වාස කිරීමට කියා අප අන් අයට බල කරන්නේ නැත. (මතෙ. 24:14) තේරීම ඔවුන්ගේ අතෙහිය. එම අයිතිය පැහැරගැනීමට අප උත්සාහ දරන්නේ නැත.

ප්‍රශ්න අසන්න. මිනිසුන්ට කාරණා තර්කානුකූලව පහදා දීම සම්බන්ධයෙන් යේසුස් තැබුවේ කැපීපෙනෙන ආදර්ශයකි. ඔවුන්ගේ පසුබිම සැලකිල්ලට ගත් ඔහු, භාවිත කළේ ඔවුන්ට පිළිගැනීමට පහසු වූ උපමා හා නිදර්ශනය. තවද ඔහු බලපෑමෙන් යුක්ත ප්‍රශ්නද ඇසුවේය. අන් අයට තම අදහස් පළ කිරීමට මින් අවස්ථාවක් සැලසූ අතර, ඉන් සිදු වූයේ ඔවුන්ගේ හදවතේ තිබූ දේ හෙළිවීමයි. එමෙන්ම සලකා බැලූ කාරණය ගැන තර්කානුකූලව සිතා බැලීමට එම ප්‍රශ්න අත්වැලක් විය.

නීතිය හොඳින් හැදෑරූ මනුෂ්‍යයෙක් යේසුස්ගෙන් මෙසේ ඇසීය. “ගුරුතුමෙනි, සදාකාල ජීවනය උරුම කරගන්ට මා කළ යුත්තේ කුමක්ද”? යේසුස්ට පහසුවෙන්ම ඊට පිළිතුර දෙන්නට තිබිණ. එනමුත් තම අදහස් පළ කිරීමට ඔහු එම මනුෂ්‍යයාට අවස්ථාව ලබා දුන්නේය. “නීතියේ ලියා තිබෙන්නේ කුමක්ද? ඔබ එය තේරුම්ගන්නේ කෙසේද” කියා ඇසීය. එම පුද්ගලයාගේ පිළිතුර නිවැරදි විය. එනමුත් ඔහුගේ නිවැරදි පිළිතුරෙන් සාකච්ඡාව නිමාවට පත් වූවාද? නැත. ඔහුට තවත් කතා කිරීමට යේසුස් ඉඩ දුන් අතර, අනතුරුව ඇසූ ප්‍රශ්නයකින් එම මනුෂ්‍යයා තමා ධර්මිෂ්ඨ බව ඔප්පු කිරීමට උත්සාහයක් දරමින් සිටි බවට ප්‍රත්‍යක්ෂ විය. ඔහු මෙසේ ඇසීය. “ඇත්තටම මාගේ අසල්වැසියා කවුද”? අන්‍ය ජාතිකයන් සහ සමාරිය ජාතිකයන් සම්බන්ධයෙන් එවකට සිටි යුදෙව්වන් අතර පැවති ආකල්පය හේතුවෙන් යම් මතභේදයකට තුඩු දිය හැකි නිර්වචනයක් දෙනවා වෙනුවට, යේසුස් කළේ උපමා කතාවක් ඉදිරිපත් කර ඒ ගැන තර්කානුකූලව සිතා බැලීමට ඔහුට අවස්ථාව ලබා දීමයි. එම කතාව මං කොල්ලකරුවන් අතින් සොරකමට ලක්ව, පහර කෑ මඟියෙකුට පිහිට වූ කාරුණික සමාරියයෙක් පිළිබඳවයි. අසරණ වූ මෙම මිනිසාට ඔහු උපකාර කළද, ඊට කලින් එතැනින් ගමන් කළ පූජකයෙකු සහ ලෙවීවරයෙකු ඔහුව දැක ගණනකටවත් ගත්තේ නැත. යේසුස් කතා කරමින් සිටි මනුෂ්‍යයාට කාරණය වැටහුණාද යන්න සහතික කරගනු පිණිස ඔහු ඇසුවේ ඉතා සරල ප්‍රශ්නයකි. යේසුස්ගේ තර්කය කොතරම් බලගතු වූවාද කිවහොත්, මෙම මනුෂ්‍යයා පෙර නොසිතූ අන්දමකින් “අසල්වාසියා” යන වචනයට අලුත් අර්ථයක් ඇති බව වටහාගත්තේය. (ලූක් 10:25-37, NW) අනුකරණය කිරීම සඳහා මොනතරම් කදිම ආදර්ශයක්ද! ඔබ සාකච්ඡාව සම්පූර්ණයෙන්ම මෙහෙයවන්නේ නැතුව ඔබේ නිවැසියාටත් තම අදහස් පළ කිරීමට අවස්ථාවක් දෙන්න. එසේ නොකරන්නේ නම් එය හරියට ඔබ ඔහු වෙනුවෙන් සිතීමට තැත් කරන්නාක් මෙනි. අනික් අතට, ඔබේ සවන්දෙන්නාට කල්පනා කිරීමට දිරියක් ලබා දෙන උපායශීලී ප්‍රශ්න සහ නිදර්ශන භාවිත කිරීමට ඉගෙනගන්න.

හේතු දක්වන්න. ප්‍රේරිත පාවුල් තෙසලෝනිකයෙහි සිනගෝගයකදී කතා කළ විට, තම සබය පිළිගත් මූලාශ්‍රයකින් යමක් කියවීමට පමණක් සීමා වූයේ නැත. පාවුල් තමා කියෙවූ දේ පැහැදිලි කළ බවත්, ඔප්පු කළ බවත්, අදාළ කළ බවත් ලූක් වාර්තා කරයි. ප්‍රතිඵලයක් ලෙස, ‘ඔවුන්ගෙන් සමහරෙක් අදහන්නන් බවට පත් වී පාවුල් සහ සීලස් සමඟ ඇසුරු කරන්නට’ පටන්ගත්තෝය.—ක්‍රියා 17:1-4, NW.

ඔබේ සබයේ සිටින අය විවිධාකාර වුවත්, මෙවැනි තර්කානුකූල එළඹීමක් ප්‍රයෝජනවත් විය හැක. නෑදෑයන්ට සාක්ෂි දරන විට, රැකියාවේ හෝ පාසැලේ මිතුරන්ට කතා කරන විට, ප්‍රසිද්ධියේ සාක්ෂි දරද්දී නාඳුනන අය සමඟ කතා කරන විට, බයිබල් පාඩමක් පවත්වන විට හෝ සභාවෙහි කතාවක් දෙන විට මෙය සැබෑවක් වේ. ශුද්ධ ලියවිලි පදයක් කියවද්දී, එහි අරුත ඔබට පැහැදිලි වුවද, වෙනත් කෙනෙකුට එය එතරම් පැහැදිලි නොවන්නට පුළුවන. එමනිසා ඔබේ පැහැදිලි කිරීම හෝ අදාළ කිරීම යම්කිසි දෙයක් පිළිගැනීමට බල කිරීමක් මෙන් පෙනී යා හැක. එසේ නම් ශුද්ධ ලියවිලි පදයෙහි ප්‍රධාන වචන කිහිපයක් උලුප්පා දක්වා ඒවා පැහැදිලි කිරීම ප්‍රයෝජනවත් විය හැකිද? අවට පාඨ සම්බන්ධයෙන් හෝ අදාළ විෂය හා සම්බන්ධ වන වෙනත් ශුද්ධ ලියවිලි පදයකින් ආධාරක සාක්ෂි ඉදිරිපත් කළ හැකිද? ඔබ පවසන දේ සාධාරණ බව නිදර්ශනයකින් කාවැද්දිය හැකිද? ප්‍රශ්න ඇසීමෙන් කාරණය ගැන තර්කානුකූලව සිතා බැලීමට පෙලඹවිය හැකිද? මෙවැනි තර්කානුකූල එළඹීමක් භාවිත කරන විට, අසන්නන්ට ඔබ ගැන හොඳ හැඟීමක් ඇති වන අතර, ඔවුන්ට දිගටම ගැඹුරින් කල්පනා කිරීමට මං සලසයි.

එය කරන අන්දම

  • සාකච්ඡාව පටන්ගන්නේ කෙසේදැයි තීරණය කරන විට ඔබේ සවන්දෙන්නන්ගේ පසුබිම සහ ආකල්පය සැලකිල්ලට ගන්න.

  • පවසන සෑම වැරදි අදහසක්ම නිවැරදි කිරීමට උත්සාහ නොකරන්න.

  • ස්ථිර විශ්වාසයකින් යුතුව කතා කරන්න. එනමුත්, විශ්වාස කරන දේ තේරීමට අයිතියක් ඔබට තිබෙන්නාක් මෙන්ම අන් අයටත් තිබෙන බවද මතක තබාගන්න.

  • ප්‍රශ්නවලට විගස පිළිතුරු දෙනවා වෙනුවට, සවන්දෙන්නාට කාරණය ගැන තර්කානුකූලව සිතා බැලීමට අත්වැලක් වන වෙනත් ප්‍රශ්න හෝ නිදර්ශන භාවිත කරන්න.

  • ශුද්ධ ලියවිලි පදයක් කියවීමෙන් පසු, සාකච්ඡාවට වැදගත් වන වචනවල අර්ථය පැහැදිලි කරන්න. අවට පාඨ සම්බන්ධයෙන් හෝ වෙනත් ශුද්ධ ලියවිලි පදවලින් අර්ථය තවදුරටත් පැහැදිලිව වන ආකාරය පෙන්නුම් කරන්න. එසේ නැතහොත් ශුද්ධ ලියවිලි පදය අදාළ වන ආකාරය පෙන්නුම් කිරීමට උදාහරණයක් භාවිත කරන්න. පුරුද්දක් ලෙස මෙසේ කරනවා නම්, ශුද්ධ ලියවිලි පදයක අදහස තර්කානුකූලව ගෙනහැර දැක්විය හැකි වේ.

අභ්‍යාස: (1) දැඩි මත දරන පුද්ගලයෙකුට සාක්ෂි දැරීමෙන් පසුව, ඔබ එම සාකච්ඡාව හැසිරෙවූ ආකාරය ගැන සිතා බලන්න. ඔබ ඉදිරිපත් කළේ කවර අන්දමේ සාක්ෂිද? ඇතුළත් කළේ කෙබඳු ආකාරයේ නිදර්ශනයක්ද? ඔබ භාවිත කළ ප්‍රශ්න කවර ආකාරයේ ඒවාද? ඔහුගේ පසුබිම සහ හැඟීම් ඔබ සැලකිල්ලට ගත්තේ කෙසේද? ක්ෂේත්‍ර සේවයේදී මෙවැන්නක් කිරීම අපහසු නම්, වෙනත් ප්‍රචාරකයෙකු සමඟ පෙරහුරුවකදී එසේ කිරීමට උත්සාහ කරන්න. (2) වැරදි දෙයක් කිරීමට සිතාගෙන සිටින කෙනෙකුට (ඔබේම වයසේ කෙනෙකු හෝ දරුවෙකු) කාරණා තර්කානුකූලව පෙන්වා දෙන ආකාරය පෙරහුරු කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න