6වන පරිච්ඡේදය
‘යුද්ධ දක්ෂයෙකු වූ’ යෙහෝවාගේ විනාශකාරි බලය
1-3. (අ) මිසරයන් ඉදිරියේ ඉශ්‍රායෙලිතයන් මුහුණ පෑවේ කිනම් තර්ජනයටද? (ආ) යෙහෝවා තම සෙනඟ උදෙසා සටන් කළේ කෙසේද?
ඉශ්‍රායෙලිතයන් උගුලකට හසු වෙලා. ඒ ප්රතාපවත් පර්වත සහ තරණය කළ නොහැකි සයුර අතර. මහා කුරිරු ඝාතනවලට දැඩි රුචියක් දැක්වූ මිසර හමුදාව ඔවුන්ව සමූලඝාතනය කරන්නට අදිටන් කරගෙන.a එහෙත්, කිසි විටෙකත් බලාපොරොත්තු නැති කරගන්ට එපා කියා මෝසෙස් දෙවිගේ ජනයාගෙන් උදක්ම ඉල්ලුවා. ‘යෙහෝවා නුඹලා උදෙසා සටන් කරයි’ යනුවෙන් පවසමින් ඔහු ඔවුන්ගේ බිය සැක දුරු කළා.—නික්මයාම 14:14.
2 එසේ වුවත්, පෙනෙන විදිහට මෝසෙස් මහා හඬින් යෙහෝවාට මොර ගැසුවා. ඊට දෙවිගේ ප්‍රතිචාරය වූයේ මෙයයි. “නුඹ කුමක් හෙයින් මට මොරගසන්නෙහිද? . . . නුඹේ සැරයටිය ඔසවා නුඹේ අත මුහුද කෙරෙහි දිගු කොට ඒක බෙදන්න.” (නික්මයාම 14:15, 16) දැන් සිදු වන දේවල් සිතේ මවාගන්න. සැණෙකින් යෙහෝවා සිය දේවදූතයාට අණ දෙනවා. වලාකුළ ඉශ්‍රායෙලිතයන්ගේ පිටුපසට ඇදී යනවා. සමහරවිට එම වලාකුළ ඔවුන් සහ පහර දීමට වේගයෙන් හඹා එන මිසරයන් අතර උස් බිත්තියක් මෙන් තිබෙන්න ඇති. (නික්මයාම 14:19, 20; ගීතාවලිය 105:39) මෝසෙස් ඔහුගේ හස්තය දිගු කරනවා. ප්‍රබල සුළඟකට හසු වන මුහුද දෙකට බෙදී යනවා. යම් අන්දමකින් කැටි වී යන මුහුදු ජලය බිත්ති මෙන් රැඳෙන්නේ මුළු ජාතියටම පයින් ඇවිද යෑමට හැකි කරවන පාරක් ඒ අතරින් සාදමින්!—නික්මයාම 14:21; 15:8.
3 එතරම් බලවත් ශක්තියක් ක්‍රියාත්මක වනවා දුටු ඵාරාවෝට කරන්නට තිබුණේ නැවත හැරී යන ලෙස තමන්ගේ හමුදාවන්ට අණ දීමයි. එහෙත්, එසේ කරනවා වෙනුවට, ප්‍රහාරයක් එල්ල කරන ලෙස උඩඟු ඵාරාවෝ නියෝග කරයි. (නික්මයාම 14:23) මිසරයන් මහත් වේගයෙන් මුහුදු පත්ල තුළට යන නමුත් සිදු වන්නේ ඔවුන්ගේ රථවල රෝද ගැළවී වෙන් වී යෑමත් සමඟම මහත් වියවුල් තත්වයකට පත්වීමයි. ඉශ්‍රායෙලිතයන් සුරක්ෂිතව අනෙක් පැත්තට ගිය පසු, යෙහෝවා මෝසෙස්ට මෙසේ අණ කරනවා. “ජලය මිසරවරුන් පිටද ඔවුන්ගේ රථ සහ අසරුවන් පිටද හැරී එන පිණිස නුඹේ අත මුහුද කෙරෙහි දිගු කරන්න.” ජලයෙන් සෑදුණු තාප්ප කඩා වැටී, ඵාරාවෝ සහ ඔහුගේ හමුදා ජලයේ ගිලී යනවා!—නික්මයාම 14:24-28; ගීතාවලිය 136:15.
4. (අ) යෙහෝවා රතු මුහුදේදී කිනම් පුද්ගලයෙකු බව ඔප්පු කළාද? (ආ) යෙහෝවා ගැන කර ඇති මෙම විචිත්‍ර විස්තරයට ඇතමුන් කෙසේ ප්‍රතික්‍රියා කරාවිද?
4 ඉශ්රායෙල් ජාතිය රතු මුහුදේදී ගළවාගැනීම, දෙවි මිනිස් සංහතිය සමඟ කටයුතු කිරීම පිළිබඳ ඉතිහාසයේ රන් අකුරින් ලියවුණු අතිමහා වැදගත් සිද්ධියක් වුණා. එහිදී යෙහෝවා ‘යුද්ධ දක්ෂයෙකු’ බව ඔප්පු කළා. (නික්මයාම 15:3) එහෙත්, යෙහෝවා පිළිබඳව මෙහි විචිත්රව කරන විස්තරයට ඔබ ප්‍රතික්‍රියා කරන්නේ කෙසේද? අවංකව කියනවා නම්, යුද්ධය මිනිස් සංහතියට මහත් වේදනාවක් සහ දුඃඛිත තත්වයක් ගෙනැවිත් තිබෙනවා. දෙවි විසින් විනාශකාරි බලය යොදාගැනීම, ඔබට දෙවි වෙතට තවත් ළංවීමට උපකාරවත් යමක් වනවා වෙනුවට බාධාවක් මෙන් ඔබට පෙනී යනවා විය හැකිද?
මිනිස් අරගලවලට වඩා බොහෝ වෙනස් වූ දිව්‍ය යුද්ධ
5, 6. (අ) දෙවිව “සේනාවල යෙහෝවා” යනුවෙන් හැඳින්වීම ඉතා යෝග්‍ය දෙයක් වන්නේ ඇයි? (ආ) දිව්‍ය යුද්ධ මිනිස් යුද්ධවලට වඩා බොහෝ සෙයින් වෙනස් වන්නේ කෙසේද?
5 ආසන්න වශයෙන් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ තුන්සිය වතාවක් සහ ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිල්ලේ දෙවතාවක් “සේනාවල යෙහෝවා” යන නාමය දෙවිට දී තිබෙනවා. (1 සාමුවෙල් 1:11) පරමාධිපති පාලකයාණන් හැටියට, යෙහෝවා අතිමහත් වූ දේවදූත හමුදා බල ඇණියකට අණ දෙනවා. (යෝෂුවා 5:13-15; 1 රාජාවලිය 22:19) මෙම හමුදාවේ විනාශකාරි බල ශක්‍යතාව (හැකියාව) මහත් විස්මිතයි. (යෙසායා 37:36) මිනිසුන්ව විනාශ කිරීම ගැන කල්පනා කිරීම ප්‍රසන්න දෙයක් නොවේ. කෙසේවෙතත්, දෙවිගේ යුද්ධ මිනිසුන් විසින් කරන කිසි තේරුමක් නැති අරගල මෙන් නොවන බව අප මතක තබාගත යුතුයි. හමුදා සහ දේශපාලන නායකයන් තමන්ගේ වියරුව සාධාරණීකරණය කරන්නට උදාර චේතනා ගෙනහැර පානවා විය හැකියි. එහෙත් මිනිසුන් කරන යුද්ධවල පිටුපස තිබෙන්නේ බොහෝ විට ගිජුකම සහ ආත්මාර්ථකාමිත්වයයි.
6 මීට වඩා වෙනස්ව, යෙහෝවා නිකම් අන්ධ ලෙස චිත්තවේගී හැඟීම්වලට යට වී ක්‍රියා කරන්නේ නැහැ. ද්විතීය කථාව 32:4හි කියන්නේ මෙසේයි. ‘ඔහු පර්වතයය. ඔහුගේ ක්‍රියාව සම්පූර්ණය. මක්නිසාද ඔහුගේ සියලු මාර්ග ධර්මිෂ්ඨය. ඔහු විශ්වාස වූ අයුතුකමින් තොර වූ දෙවිකෙනෙකි. ඔහු වනාහි ධර්මිෂ්ඨය, අවංකය.’ පාලනය නොකරන ලද ප්‍රකෝපය, කෲරත්වය සහ ප්රචණ්ඩත්වය දේවවචනය තුළ හෙළා දකිනවා. (උත්පත්ති 49:7; ගීතාවලිය 11:5) එබැවින්, යෙහෝවා කිසිවිටෙකත් කිසිදු හේතුවක් නොමැතිව ක්‍රියා කරන්නේ නැහැ. ඔහු තම විනාශකාරි බලය යොදාගන්නේ මනා සංයමයකින් යුතුව අන්තිම පියවර හැටියටයි. එය හරියට අනාගතවක්තෘ එසකියෙල් තුළින් මෙසේ පළ කළා හා සමානයි. “දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත් වෙනවාට මිස නසිනවාට කොයි ප්‍රකාරයකින්වත් මාගේ ප්‍රසන්නයක් ඇද්දැයි [යෙහෝවා නම් වූ දෙවි කියයි].”—එසකියෙල් 18:23.
7, 8. (අ) යෝබ් තමාගේ දුක් විඳීම ගැන වැරදි ලෙස නිගමනය කළේ කුමක්ද? (ආ) එලීහු මේ සම්බන්ධව යෝබ්ගේ සිතිවිලි නිවැරදි කළේ කෙසේද? (ඇ) යෝබ්ගේ අද්දැකීමෙන් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද?
7 එසේ නම්, යෙහෝවා විනාශකාරි බලය යොදාගන්නේ ඇයි? එයට පිළිතුරු දීමට පෙරාතුව, ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙකු වූ යෝබ්ව අපේ සිහියට නඟමු. පරීක්ෂා යටතේ යෝබ්, ඇත්ත වශයෙන්ම කියතොත් ඕනෑම මිනිසෙක්, තමාගේ අඛණ්ඩතාවය රැකගන්නේ නැතැයි කියා සාතන් අභියෝග කළා. යෙහෝවා එම අභියෝගයට පිළිතුරු දුන්නේ, යෝබ්ගේ අඛණ්ඩතාවය පරීක්ෂා කිරීමට සාතන්ට ඉඩහරිමින්. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔත්පළ වූ යෝබ්ට තම වස්තුවත් තම දරුවනුත් අහිමි වුණා. (යෝබ් 1:1–2:8) තමන් සම්බන්ධ වී සිටින වාදයට තුඩු දුන් ප්‍රශ්න ගැන කිසිවක් දැන නොසිටි යෝබ් තමන් දුක් විඳින්නේ දෙවිගෙන් ලද අයුක්තිසහගත දඬුවමක් නිසායයි වැරදි ලෙස නිගමනය කළා. ඔහු දෙවිගෙන් ප්‍රශ්න කළේ, තමාව “ඉලක්කයක්” හා “සතුරෙකු” ලෙස සැලකුවේ මන්ද කියායි.—යෝබ් 7:20; 13:24.
8 එලීහු නමැති යෞවනයා යෝබ්ගේ තර්කවල ඇති වැරදිසහගත බව හෙළි කළේ මෙසේයි. ‘මාගේ ධර්මිෂ්ඨකම දෙවිගේ ධර්මිෂ්ඨකමට වඩා වැඩියයි ඔබ පවසා ඇත.’ (යෝබ් 35:2) ඔව්, දෙවිට වඩා හොඳින් අප දන්නවා කියාවත්, ඔහු අසාධාරණ ලෙස ක්‍රියා කර ඇතැයි කියාවත් අප නිගමනය කිරීම අඥාන දෙයක්. “[දෙවිගෙන්] දුෂ්ටකම් කිරීමද සර්වපරාක්‍රමයාණන්ගෙන් අයුතුකම් කිරීමද දුරු වේවා” යයි එලීහු ප්‍රකාශ කළා. පසුව, ඔහු මෙසේ පැවසුවා. ‘සර්වපරාක්‍රමයාණන් නම් අපට සොයා දැනගන්ට බැරි කෙනෙක්ය. ඔහු පරාක්‍රමයෙන්ද යුක්තිය හා සම්පූර්ණ ධර්මිෂ්ඨකමෙන්ද උතුම්ව සිටී. ඔහු පීඩා නොකරයි.’ (යෝබ් 34:10; 36:22, 23; 37:23) දෙවි සටන් කරන විට, එසේ කරන්නේ යුක්තිසහගත හේතුවක් ඇතුව බවට අපට සහතික වෙන්ට පුළුවන්. එය මනසේ තබාගනිමින්, සාමයේ දෙවි ඇතැම් අවස්ථාවල, රණකාමියෙකුගේ චරිතයට බසින්නේ මන්දැයි අපි ගැඹුරින් විග්රහ කර බලමු.—1 කොරින්ති 14:33.
සාමයේ දෙවිට සටන් කිරීමට සිදු වෙන්නේ ඇයි?
9. සාමයේ දෙවි සටන් කරන්නේ මන්ද?
9 ‘යුද්ධ දක්ෂයෙකැයි’ දෙවිට ප්‍රශංසා කිරීමෙන් අනතුරුව, මෝසෙස් මෙසේ ප්‍රකාශ කළා. ‘යෙහෝවා, දෙවිවරුන් අතරේ ඔබට සමාන කවුද? ශුද්ධකමින් මහිමවත් වූ ඔබට සමාන කවුද?’ (නික්මයාම 15:11) අනාගතවක්තෘ හබක්කුක් ඒ හා සමානව යෙහෝවාව “නපුර බලන්ට බැරි තරම් පවිත්‍ර ඇස් ඇත්තාවූ, හිංසාව බලා සිටින්ට නොහැකි වූ” තැනැත්තා ලෙස විස්තර කළා. (හබක්කුක් 1:13) යෙහෝවා ප්‍රේමයේ දෙවි කෙනෙකු වුවත්, ඔහු ශුද්ධකමේ, ධර්මිෂ්ඨකමේ සහ යුක්තියේද දෙවි කෙනෙක්. ඇතැම් අවස්ථාවලදී එවන් ගුණාංග සිය විනාශකාරි බලය යොදාගැනීමට ඔහුව පොලඹවනවා. (යෙසායා 59:15-19; ලූක් 18:7) එබැවින්, දෙවි සටන් කරන විට සිය ශුද්ධකම පලුදු කරගන්නේ නැහැ. ඒ වෙනුවට, ඔහු සටන් කරන්නේ ඔහු ශුද්ධ නිසයි.—නික්මයාම 39:30.
10. (අ) යුද්ධ කිරීමේ අවශ්‍යතාව දෙවිහට හැඟුණු පළමු අවස්ථාව උද්ගත වූයේ කවදාද? ඒ කෙසේද? (ආ) උත්පත්ති 3:15හි පුරෝකථනය කර ඇති සතුරුකම විසඳනු ඇති එකම ක්‍රමය කුමක්ද? ධර්මිෂ්ඨ මිනිස් සංහතියට ඉන් ඇති වන විපුල ප්‍රයෝජන මොනවාද?
10 පළමු මිනිස් යුවළ වූ ආදම් සහ ඒව දෙවිට එරෙහිව කැරලි ගැසූ පසු උද්ගත වූ තත්වය ගැන සලකා බලන්න. (උත්පත්ති 3:1-6) ඔවුන්ගේ අධර්මිෂ්ඨකම ඉවසා සිටියා නම්, විශ්වනීය පරමාධිපති හැටියට යෙහෝවා තමන්ගේ තත්වයට අගෞරවයක් ගෙන එනවා ඇති. ධර්මිෂ්ඨ දෙවි කෙනෙකු හැටියට, ඔවුන්ව මරණ දඬුවමට යටත් කර දැමීමට දෙවි අනිවාර්යයෙන්ම බැඳී සිටියා. (රෝම 6:23) පළමු බයිබල් අනාවැකිය තුළම දෙවි පුරෝකථනය කළ දෙයක් තමයි, තමාගේ සේවකයන් සහ ‘සර්පයාගේ’ හෙවත් සාතන්ගේ අනුගාමිකයන් අතර සතුරුකමක් පවතිනු ඇති බව. (එළිදරව් 12:9; උත්පත්ති 3:15) අන්තිමේදී, මෙම සතුරුකම නැති කරනු ඇත්තේ සාතන්ව පොඩි කර දැමීමෙන් පමණයි. (රෝම 16:20) එහෙත්, එම විනිශ්චමය ක්‍රියාව ධර්මිෂ්ඨ මිනිස් සංහතියට මහත් ආශීර්වාද ගෙන එමින් පොළොව කෙරෙහි සාතන්ගේ බලපෑම මුළුමනින් ඉවත් කරන අතර, සමස්ත ලෝක පාරාදීසයකට මං උදා කරනවා ඇති. (මතෙව් 19:28) ඒ වන තෙක්, සාතන් හා ඔහුට එකතු වී සිටින අය දෙවිගේ ජනයාගේ කායික හා ආත්මික ශුභසාධනයට නිරතුරු තර්ජනයක් වේවි. ඇතැම් අවස්ථාවලදී, යෙහෝවාට මැදිහත් වීමට සිදු වනු ඇති.
දුෂ්ටකම මුලිනුපුටා දැමීමට දෙවි ක්‍රියා කරයි
11. සමස්ත ලෝක ජලගැල්මක් ගෙන ඒම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් බව දෙවිට හැඟී ගියේ ඇයි?
11 නෝවාගේ දවස්වල පැවති ජලගැල්ම එවන් මැදිහත් වීමක් පිළිබිඹු වූ අවස්ථාවක් බව සඳහන් කළ හැකියි. උත්පත්ති 6:11, 12හි මෙසේ කියනවා. “පොළොව [දෙවි] ඉදිරියෙහි දූෂ්‍ය වූවාය. පොළොව බලාත්කාරයෙන් පිරී තිබුණාය. [දෙවි] පොළොව දෙස [බැලුවේය]. බලව, එය දූෂ්‍යව තිබුණාය. මක්නිසාද මාංසමය වූ සියල්ලෝ පොළොවෙහි තමන්ගේ මාර්ග දූෂ්‍ය කරගෙන සිටියෝය.” පොළොව මත ඉතිරි වී තිබෙන සදාචාරයේ අන්තිම සටහනත් මකා දමන්නට දෙවි දුෂ්ටයන්ට ඉඩහරීවිද? නැහැ. සාපරාධී ක්‍රියාවලට සහ දුරාචාරයට නතු වී වැජඹෙන්නන්ව පොළොවෙන් සහමුලින්ම ඉවත් කර දමන්නට සමස්ත ලෝක ජලගැල්මක් ගෙන ඒම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් බව යෙහෝවාට හැඟී ගියා.
12. (අ) යෙහෝවා ආබ්‍රහම්ගේ “වංශය” ගැන පුරෝකථනය කළේ කුමක්ද? (ආ) අමෝරිවරුන් සමූල ඝාතනය කළ යුතු වූයේ මන්ද?
12 කානාන් වැසියන්ට එරෙහිව දෙවි විසින් කළ විනිශ්චයන්ද ඒ හා සමානයි. ආබ්‍රහම් තුළින් ‘වංශයක්’ පැමිණෙනු ඇති බවත්, එනයින් පොළොවේ සියලු පවුල් තමන්ටම ආශීර්වාද අත් කරගනු ඇති බවත් යෙහෝවා එළිදරව් කළා. එම අරමුණට එකඟව, දෙවි ආබ්‍රහම්ට ප්‍රකාශ කර සිටියේ ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන්හට කානාන් දේශය දෙනු ඇති බවයි. එම දේශයේ එවකට පදිංචි වී සිටියේ අමෝරිවරුන් ලෙස හඳුන්වනු ලැබූ ජනතාවක්. මෙම ජනතාව බලෙන්ම ඉන් ඉවත් කර දැමීම දෙවිගේ පැත්තෙන් යුක්තිසහගත ක්‍රියාවක් වනු ඇත්තේ කොහොමද? මෙම ඉවත් කර දැමීම වසර 400ක් යන තුරු, එනම් ‘අමෝරිවරුන්ගේ අධර්මිෂ්ඨකම සම්පූර්ණ වන තුරු’ සිදු නොවන බවට යෙහෝවා පුරෝකථනය කළා.b (උත්පත්ති 12:1-3; 13:14, 15; 15:13, 16; 22:18) එම කාලය අතරතුර අමෝරිවරුන් සදාචාරමය දූෂිතබවේ පහත් අඩියටම කෙමෙන් කෙමෙන් වැටී ගියා. කානාන් දේශය රූප වන්දනාවේ, ලේ වැගිරවීමේ සහ අතිපහත් පිළිකුල් ලිංගික ක්‍රියාවල තෝතැන්නක් බවට පත් වුණා. (නික්මයාම 23:24; 34:12, 13; ගණන් කථාව 33:52) දේශයේ වැසියන් දරුවන්ව පවා ගින්නට දමා පූජා කළා. ශුද්ධ දෙවිකෙනෙකුට එවන් දුෂ්ටකමකට තම ජනයාව නිරාවරණය කරන්නට පුළුවන්ද? බැහැ! ඔහු ප්‍රකාශ කළේ මෙසේයි. “දේශයද කිලුටු වී තිබේ. ඒ නිසා එහි අයුතුකම ඒ පිටට පමුණුවන්නෙමි. දේශයද එහි වැසියන් වමාරා දමන්නීය.” (ලෙවී කථාව 18:21-25) කෙසේවෙතත්, යෙහෝවා මිනිසුන්ව කිසිම වග විභාගයක් නැතුව මරා දැම්මේ නැහැ. රාහබ් සහ ගිබියොන්වරු වැනි යහපතට නැඹුරුවාවක් තිබූ කානාන් වැසියන්ගේ ජීවිත ආරක්ෂා වුණා.—යෝෂුවා 6:25; 9:3-27.
සිය නාමය වෙනුවෙන් සටන් කිරීම
13, 14. (අ) යෙහෝවා සිය නාමය විශුද්ධ කිරීමට බැඳී සිටියේ ඇයි? (ආ) යෙහෝවා සිය නාමයට පැමිණි නින්දාව පහ කළේ කෙසේද?
13 යෙහෝවා ශුද්ධ බැවින්, ඔහුගේ නාමයද ශුද්ධයි. (ලෙවී කථාව 22:32) යේසුස් සිය අනුගාමිකයන්හට ඉගැන්වූයේ මෙසේ යාච්ඤා කරන්නයි. “ඔබගේ නාමය විශුද්ධ කරනු ලැබේවා.” (මතෙව් 6:9, NW) ඒදන් උයනේ සිදු වූ කැරැල්ල දෙවිගේ නාමය කෙලෙසූ අතර, දෙවිගේ කීර්ති නාමය සහ දෙවිගේ පාලන ක්‍රමය පිළිබඳව සැකයන් මතු කළා. එවන් අපහාසයක් හා කැරැල්ලක් නොසලකා හරින්නට යෙහෝවාට කිසිවිටෙකත් බැහැ. ඔහුගේ නාමයට ගෙනැවිත් තිබෙන නින්දාව පහ කිරීමට අනිවාර්යයෙන්ම ඔහු බැඳී සිටිනවා.—යෙසායා 48:11.
14 නැවතත් ඉශ්රායෙල්වරුන් ගැන සලකා බලන්න. ඔවුන් මිසරයේ වහලුන් ලෙස ජීවත්ව සිටි තාක් කල්, ආබ්‍රහම්ගේ වංශය තුළින් පොළොවේ සියලු පවුල් තමන්ටම ආශීර්වාද කරගනු ඇතිය යන පොරොන්දුව නිකම්ම හිස් යමක් බව පෙනෙන්න ඇති. එහෙත් ඔවුන්ව ගළවාගැනීමෙන් හා ජාතියක් හැටියට ඔවුන්ව ස්ථාපිත කිරීමෙන්, යෙහෝවා සිය නාමයට පැමිණි නින්දාව පහ කළා. මේ නිසා අනාගතවක්තෘ දානියෙල්, “ඉතින් ඔබගේ සෙනඟ බලවත් හස්තයකින් මිසර දේශයෙන් පිටතට ගෙනැවිත්, අද දවසේ තිබෙන ලෙස ඔබට නාමයක් උපදවාගත්තාවූ අපේ දෙවි වූ [යෙහෝවා]” යයි කියමින් සිදු වූ දේ යාච්ඤාවේදී සිහි කළා.—දානියෙල් 9:15.
15. යෙහෝවා බබිලෝනියේ සිටි යුදෙව්වන්ව වහල්භාවයෙන් මුදවාගත්තේ ඇයි?
15 මෙහිදී සැලකිල්ලට ගැනීමට වටින උනන්දුමත් කාරණය නම්, දානියෙල් මෙලෙස යාච්ඤා කළේ යෙහෝවා සිය නාමය වෙනුවෙන් යළිත් වරක් ක්‍රියා කරනවා දැකීමට යුදෙව්වන්ට වුවමනා වූ අවධියකයි. අකීකරු යුදෙව්වන් දැන් වහලුන් වී සිටියේ බබිලෝනියෙයි. ඔවුන්ගේම අගනුවර වූ යෙරුසලම විනාශ වෙලා. එබැවින්, යුදෙව්වන්ව නැවතත් තම මව් බිමේ වාසය කරවීම යෙහෝවාගේ නාමය ගෞරවයට පත් කරනු ඇති බව දානියෙල් දැන සිටියා. මෙබැවින් දානියෙල් මෙසේ යාච්ඤා කළා. ‘යෙහෝවා, කමාවුව මැනව, යෙහෝවා, ඇහුම්කන් දුන මැනව; මාගේ දෙවි, ප්‍රමාද නොවී, ඔබ නිසාම [ඔබගේ නාමය වෙනුවෙන්, NW] එය ඉෂ්ට කළ මැනව; මක්නිසාද ඔබගේ නුවරත් ඔබගේ සෙනඟත් ඔබගේ නාමය දරන්නෝය.’—දානියෙල් 9:18, 19.
සිය ජනයා වෙනුවෙන් සටන් කිරීම
16. යෙහෝවාගේ නාමය නිදොස් කිරීමට ඔහු තුළ වූ උනන්දුව නිසාම, ඔහු උදාසීන හා තමන් ගැන පමණක් සිතන කෙනෙකු කියා ඉන් අදහස් නොවීමට හේතු පැහැදිලි කරන්න.
16 සිය නාමය නිදොස් කිරීමෙහිලා යෙහෝවා දක්වන උනන්දුවෙන් අදහස් කරන්නේ ඔහු අන් අය ගැන නොතකන, තමා ගැන පමණක් සිතන දෙවිකෙනෙකු බවද? නැහැ. සිය ශුද්ධකම සහ යුක්තියට දක්වන ලැදිකමට අනුව කටයුතු කිරීමෙන් ඔහු සිය සෙනඟව ආරක්ෂා කරගනී. උත්පත්ති 14වෙනි පරිච්ඡේදය සලකා බලන්න. ආබ්‍රහම්ගේ ඥාති පුත්‍රයා වූ ලොත් සහ ඔහුගේ පවුලේ අයව රජවරුන් සතරදෙනෙකු විසින් පැහැරගැනීම ගැන එහි අපට කියවීමට තිබෙනවා. ආබ්‍රහම් දෙවිගේ උපකාරය ඇතුව එම මහා බලවත් හමුදාවන් අන්ත පරාජයකට ලක් කළා! මෙම ජයග්‍රහණය පිළිබඳ වාර්තාව පෙනෙන විදිහට ‘යෙහෝවාගේ යුද්ධ පොතට’ ඇතුල් කර තිබූ පළමු වාර්තාවයි. මෙම ‘යෙහෝවාගේ යුද්ධ පොත’ බයිබලයෙහි වාර්තා කර නොමැති යම් හමුදාමය ගැටුම් ගැන ලියවුණු වාර්තාවක් බව පෙනෙන්ට තිබෙනවා. (ගණන් කථාව 21:14) එවන් තව තවත් ජයග්‍රහණ බොහොමයක් සිදු වුණා.
17. ඉශ්‍රායෙලිතයන් කානාන් දේශයට ඇතුල් වුණායින් පසුව යෙහෝවා ඔවුන් උදෙසා සටන් කළ බව පෙන්වන්නේ කුමකින්ද? උදාහරණ දෙන්න.
17 ඉශ්‍රායෙලිතයන් කානාන් දේශයට ඇතුල් වීමට ටික කලකට පෙර, මෝසෙස් ඔවුන්ගේ බිය සැක දුරු කළේ මෙසේයි. “නුඹලාට පෙරටුව යන්නාවූ නුඹලාගේ දෙවි වූ [යෙහෝවා] මිසරයෙහි . . . නුඹලාගේ ඇස් හමුයෙහි නුඹලා උදෙසා කළ සියල්ල හැටියට [ඔහු] නුඹලා උදෙසා යුද්ධ කරනවා ඇත.” (ද්විතීය කථාව 1:30; 20:1) මෝසෙස්ගෙන් පසුව ඉශ්රායෙල්හි නායකත්වයට පත් කරනු ලැබූ යෝෂුවාගේ පටන් විනිශ්චයකරුවන්ගේ සමය දක්වාද, යූදාහි විශ්වාසවන්ත රජවරුන්ගේ පාලන සමය තුළද යෙහෝවා ඇත්තෙන්ම සටන් කළේ ඔවුන්ගේ සතුරන්ට එරෙහිව ඉතා පුදුමාකාර ජයග්‍රහණ ලබා දෙමින්.—යෝෂුවා 10:1-14; විනිශ්චයකාරයන් 4:12-17; 2 සාමුවෙල් 5:17-21.
18. (අ) යෙහෝවා වෙනස් වී නැතැයි යන කාරණය සම්බන්ධයෙන් අපට ස්තුතිවන්ත විය හැක්කේ මන්ද? (ආ) උත්පත්ති 3:15හි විස්තර කර ඇති සතුරුකම එහි උච්චාවස්ථාවට පත් වන විට කුමක් සිදු වේවිද?
18 යෙහෝවා වෙනස් වී නැහැ. මේ පෘථිවිය සාමයෙන් පිරි පාරාදීසයක් බවට පත් කිරීමේ ඔහුගේ අරමුණද වෙනස් වී නැහැ. (උත්පත්ති 1:27, 28) දෙවි තවමත් දුෂ්ටකමට ද්වේෂ කරනවා. මේ අතරතුර සිය සෙනඟට මහත් සේ ප්‍රේම කරන ඔහු, ඔවුන් වෙනුවෙන් ඉතා ළඟදීම ක්‍රියා කරනු ඇති. (ගීතාවලිය 11:7) ඇත්ත වශයෙන්ම, උත්පත්ති 3:15හි විස්තර කර ඇති සතුරුකම නුදුරු අනාගතයේදී කිලිපොළායන සටන්කාමී සන්ධිස්ථානයකට පැමිණීමට නියමිතයි. සිය නාමය විශුද්ධ කිරීමටත් සිය සෙනඟව ආරක්ෂා කිරීමටත් යෙහෝවා යළිත් වරක් ‘යුද්ධ දක්ෂයෙකු’ බවට පත් වෙනවා ඇති.—සෙකරියා 14:3; එළිදරව් 16:14, 16.
19. (අ) දෙවි විසින් විනාශකාරි බලය යොදාගැනීම ඔහු වෙතට අපව ළං කළ හැකි බව පෙන්වීමට නිදර්ශනයක් දෙන්න. (ආ) දෙවි සටන් කිරීමට කැමැත්තෙන් සිටීම අප කෙරෙහි කිනම් බලපෑමක් ඇති කළ යුතුද?
19 නිදර්ශනයක් සලකා බලන්න. යම් මිනිසෙකුගේ පවුලේ අය දරුණු සතෙකුගේ ප්‍රහාරයකට ලක් වන මොහොතේ එම මිනිසා ඉදිරියට පැන එම දරුණු සත්වයා මරා දැමුවායයි සිතන්න. ඔහුගේ බිරිඳ සහ දරුවන් මේ ක්‍රියාව නිසා පිළිකුලෙන් යුතුව ඔහුගෙන් ඈත් වේය කියා ඔබ සිතනවාද? නැහැ, එසේ නොවෙයි. ඒ වෙනුවට තමන් වෙනුවෙන් පරාර්ථකාමී ප්‍රේමයෙන් පෙලඹී කළ මේ ක්‍රියාව නිසා ඔහුට කෘතඥ වීමක් ඔවුන්ගේ පැත්තෙන් ඔබ අපේක්ෂා කරනවා නියතයි. මේ හා සමාන ලෙසකින්, දෙවි සිය විනාශකාරි බලය යොදාගැනීම නිසා අපි පිළිකුලෙන් යුතුව දෙවිගෙන් ඈත් නොවිය යුතුයි. අපව ආරක්ෂා කරගැනීම පිණිස ඔහු කැමැත්තෙන් ඉදිරිපත් වී සටන් කිරීම අප තුළ ඔහු කෙරෙහි ඇති ප්‍රේමය වැඩි කළ යුතුයි. ඔහුගේ අසීමිත බලය කෙරෙහි ඇති අපගේ ගෞරවයද වඩාත් ගැඹුරු විය යුතුයි. මෙසේ, ‘අපි ගෞරවයෙන්ද දේවභයින්ද දෙවිට ප්‍රසන්න ලෙස සේවය කරමු.’—හෙබ්‍රෙව් 12:28.
‘යුද්ධයේ දක්ෂ තැනැත්තාට’ ළං වෙමු
20. අපට සම්පූර්ණයෙන්ම තේරුම්ගත නොහැකි දිව්‍යමය යුද්ධ පිළිබඳ බයිබල් වාර්තා කියවන විට අප ප්‍රතික්‍රියා කළ යුත්තේ කෙසේද? තවද ඒ මන්ද?
20 ඇත්ත වශයෙන්ම, එක් එක් අවස්ථාවල කළ දිව්‍ය යුද්ධවලදී යෙහෝවා ගත් තීරණ පිළිබඳව සෑම තොරතුරක්ම බයිබලයේ පැහැදිලි කරන්නේ නැහැ. එහෙත්, මේ ගැන අපට සැමවිටම සහතික වන්න පුළුවන්. යෙහෝවා සිය විනාශකාරි බලය කිසිවිටකත් අයුක්තිසහගත ලෙසවත්, සංයමයකින් තොරව හෝ කුරිරු අන්දමකින්වත් යොදාගන්නේ නැහැ. බොහෝ අවස්ථාවන්හිදී, යම් බයිබල් වාර්තාවක පාඨ සම්බන්ධය හෝ ඊට අදාළ පසුබිම පිළිබඳව ලබන අවබෝධය, යම් දේවල් නිසි අයුරින් වටහාගැනීමට අපට මහත් සේ උපකාරවත් වෙනවා. (හිතෝපදේශ 18:13) යම් සිද්ධියක් පිළිබඳ හැම තොරතුරක්ම අප නොදන්නවා වුවත්, යෙහෝවා ගැන තව තවත් ඉගෙනගැනීම සහ ඔහුගේ අතිවටිනා ගුණාංග ගැන මෙනෙහි කිරීම, පැනනැඟිය හැකි ඕනෑම සැකයක් දුරු කරගැනීමට අපට උපකාරවත් වේවි. අප එසේ කරන විට, අපගේ දෙවි වන යෙහෝවා කෙරෙහි දැඩි විශ්වාසයක් තබන්නට අපමණ හේතු තිබෙන බව අපට පෙනී යනවා.—යෝබ් 34:12.
21. ඇතැම් අවස්ථාවලදී ‘යුද්ධ දක්ෂයෙකු’ වුවද, මූලිකව ගත් කල යෙහෝවා කෙබඳු පුද්ගලයෙක්ද?
21 අවස්ථාවට අනුව යෙහෝවා ‘යුද්ධ දක්ෂයෙකු’ වුවද, ඔහු යුද්ධ කිරීමට නිතරම ලොල්ව සිටින යුධකාමියෙකු බව ඉන් අදහස් කරන්නේ නැහැ. ස්වර්ගික රථය සම්බන්ධ එසකියෙල්ගේ දර්ශනය තුළ යෙහෝවාව විචිත්‍රණය කර තිබෙන්නේ සිය සතුරන් සමඟ යුද්ධ කිරීමට සූදානමින් සිටින කෙනෙකු හැටියටයි. එහෙත්, එසකියෙල් දෙවිව දුටුවේ සාමයේ සංකේතයක් වන දේදුන්නකින්ද වටව සිටින කෙනෙකු ලෙසයි. (උත්පත්ති 9:13; එසකියෙල් 1:28; එළිදරව් 4:3) පැහැදිලිවම යෙහෝවා කියන්නේ සන්සුන් සාමදායී දෙවිකෙනෙක්. ‘දෙවි ප්‍රේමය’ කියා ප්‍රේරිත යොහන් ලීවා. (1 යොහන් 4:8) යෙහෝවා තමන්ගේ සියලු ගුණාංග පරිපූර්ණ සමබරතාවයකිනුයි විදහාපෙන්වන්නේ. එසේ නම්, එවන් බලවත් නමුත් ප්‍රේමනීය දෙවි කෙනෙකුට ළංවීමට හැකිවීම මොනතරම් උතුම් වරප්‍රසාදයක්ද!
[පාදසටහන්වල]
a යුදෙව් ඉතිහාසඥ ජොසීෆස්ට අනුව, “යුද්ධ රථ 600ක්, අසරුවන් 50,000ක් හා භටයන් 2,00,000ක පාබළ හමුදාවක්” මෙම හෙබ්රෙව්වන්ව ලුහුබඳිනු ලැබුවා.—ජුවිෂ් ඇන්ටික්විටීස්, II, 324 [xv, 3]
b පෙනෙන විදිහට, මෙහි “අමෝරිවරුන්” යනුවෙන් හැඳින්වෙන්නේ කානාන් දේශයේ සියලුම වැසියන්වයි.—ද්විතීය කථාව 1:6-8, 19-21, 27; යෝෂුවා 24:15, 18.
මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න
2 රාජාවලිය 6:8-17 ‘සේනාවල යෙහෝවා’ වශයෙන් දෙවි කරන කාර්යය දුක් පීඩාවලින් පෙළෙන අවස්ථාවලදී අපට දිරිගැන්වීමක් විය හැක්කේ කොහොමද?
එසකියෙල් 33:10-20 යෙහෝවා සිය විනාශකාරි බලය විදහාපාන්නට පෙර, සිය නීති උල්ලංගනය කරන අයට ඔහු දයාන්විතව ලබා දෙන්නේ කිනම් ප්‍රස්තාවද?
2 තෙසලෝනික 1:6-10 දුෂ්ට මිනිසුන් මත පැමිණෙන විනාශය දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්හට සහනයක් ගෙන එන්නේ කෙසේද?
2 පේතෘස් 2:4-13 සිය විනාශකාරි බලය විදහාපෑමට යෙහෝවාව පොලඹවන්නේ කුමක්ද? එනයින් සියලු මිනිස් සංහතියට උගන්වන පාඩම් මොනවාද?
[58වන පිටුවේ පින්තූරය]
රතු මුහුදේදී, යෙහෝවා ‘යුද්ධ දක්ෂයෙකු’ බව ඔප්පු කළා