19වන පරිච්ඡේදය
“පරිශුද්ධ රහසක් තුළ වූ දෙවිගේ ප්‍රඥාව”
1, 2. අපගේ උනන්දුවට ලක් විය යුත්තේ කිනම් ‘පරිශුද්ධ රහසද?’ මන්ද?
රහස්! ඒවා කුතුහලය හා උනන්දුව ඇදගන්නසුලුයි. සංකීර්ණයි. එම නිසාදෝ ඒවා රහසිගතව එලෙසම තබාගන්නට බොහෝ විට මිනිසුන්ට නොහැකිව තිබෙනවා. කොහොම වුණත්, බයිබලය පවසන්නේ, “කාරණයක් සඟවා තැබීම දෙවිගේ ගෞරවයක්ය” කියායි. (හිතෝපදේශ 25:2) ඔව්, පරමාධිපති පාලකයා හා මැවුම්කරු වශයෙන්, යෙහෝවා යම් රහස් මිනිස් සංහතියට හෙළි කිරීමට නියමිත කාලය එළඹෙන තෙක් ඒවා රහස් ලෙසම තබාගන්නවා. එසේ කිරීම නිවැරදියි.
2 කෙසේවෙතත්, කුතුහලය හා උනන්දුව දනවන රහසක් යෙහෝවා සිය වචනය තුළ හෙළි කර තිබෙනවා. එය හඳුන්වන්නේ “[දෙවිගේ] කැමැත්තේ පරිශුද්ධ රහස” යනුවෙනුයි. (එපීස 1:9, NW) ඒ ගැන ඉගෙනගැනීමෙන් ඔබගේ කුතුහලය සංසිඳෙනවාට වඩා වැඩි යමක් සිදු වෙයි. මෙම රහස ගැන ලබාගන්නාවූ දැනුම ගැළවීමට තුඩු දෙන අතරේම, යෙහෝවාගේ කියා නිම කළ නොහැකි ප්‍රඥාව දෙස කෙටි බැල්මක් හෙළන්නටත් ඔබට ප්‍රස්තා ලබා දෙනවා.
ක්‍රමක්‍රමයෙන් හෙළි වී
3, 4. උත්පත්ති 3:15හි වාර්තා කර ඇති අනාවැකිය, බලාපොරොත්තුවක් සැපයුවේ කොහොමද? එයට ඇතුළත් වුණු අභිරහස හෙවත් “පරිශුද්ධ රහස” කුමක්ද?
3 ආදම් සහ ඒව පව් කළ විට, පරිපූර්ණ මිනිසුන් වාසය කිරීමට යන භූමික පාරාදීසය පිළිබඳ යෙහෝවාගේ අරමුණ කඩාකප්පල් වූ බවක් තමයි දකින්ට තිබුණේ. නමුත් දෙවි වහාම ගැටලුව නිරාකරණය කරන්නට ඉදිරිපත් වුණා. ඔහු පැවසුවේ මෙසේයි. “මම තා [සර්පයා] සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය හා ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය තාගේ හිස පොඩි කරන්නේය. තෝ ඔහුගේ විලුඹ පොඩි කරන්නෙහිය.”—උත්පත්ති 3:15.
4 ඒවා ප්‍රහේලිකාවක් බඳු, අර්ථය අපැහැදිලි වචනයි. මේ ස්ත්‍රිය කවුද? සර්පයා කවුද? සර්පයාගේ හිස පොඩි කරන “වංශය” කවුද? ආදම් සහ ඒවට තිබුණේ අනුමාන කරන්නට විතරයි. එහෙත්, දෙවිගේ එම වචන එම අවිශ්වාසවන්ත යුවළගෙන් පැමිණි ඕනෑම විශ්වාසවන්ත දරුවෙකුට ගෙන දුන්නේ බලාපොරොත්තුවක්. ධර්මිෂ්ඨකමේ ජය නාදයේ හඬ නැංවෙනවා ඇති. යෙහෝවාගේ අරමුණ ඉෂ්ට වෙනවා ඇති. නමුත් ඒ කොහොමද? ආ! අන්න එයයි අභිරහස! බයිබලය එය හඳුන්වන්නේ “පරිශුද්ධ රහසක් තුළ වූ දෙවිගේ ප්‍රඥාව . . . සඟවා තිබූ ප්‍රඥාව” යනුවෙනුයි.—1 කොරින්ති 2:7, NW.
5. යෙහෝවා සිය රහස ක්‍රමක්‍රමයෙන්, ප්‍රගතිශීලීව හෙළි කළ හේතුව උපහැරණය කරන්න.
5 ‘රහස් එළිදරව් කරන්නා’ වශයෙන්, යෙහෝවා මෙම රහසේ නියම යථාර්ථය ගැන අදාළ තොරතුරු සහ දත්තයන් අවසානයේ හෙළි කරනු ඇති. (දානියෙල් 2:28) නමුත් එය කරන්නේ ක්‍රමානුකූලවයි, ප්‍රගතිශීලී ලෙසයි. මෙය අපි මෙසේ උපහැරණය කරමු. කුඩා දරුවෙක් ඔහුගේ පියාගෙන් “තාත්තේ මම ඉපදුණේ කොහොමද” කියා අසනවායයි සිතන්න. ඥානවන්ත පියෙක් නම් ඒ ප්‍රශ්නයට දරුවාට පිළිතුරු දෙන්නේ ඔහුට දරාගත හැකි හා තේරුම්ගත හැකි ප්‍රමාණයට විතරයි. දරුවා ටිකෙන් ටික වැඩෙනවාත් සමඟම, ඔහු තම පුතාට තවත් විස්තර කියා දෙනවා. ඒ හා සමානව, තමාගේ කැමැත්ත හා අරමුණ හෙළි කරද්දී තම ජනයා එය තේරුම්ගැනීමට සූදානම්ව සිටින්නේ කිනම් අවස්ථාවේද යන්න නිශ්චය කරන්නේ යෙහෝවායි.—හිතෝපදේශ 4:18; දානියෙල් 12:4.
6. (අ) ගිවිසුමකින් සිදු වන්නේ කුමක්ද? (ආ) යෙහෝවා මිනිසුන් සමඟ ගිවිසුම් ඇති කරගැනීමෙහි ඇති සුවිශේෂත්වය කුමක්ද?
6 යෙහෝවා එවන් හෙළි කිරීම් කරන්නේ කෙසේද? බොහෝ දේ හෙළි කිරීමට ඔහු ගිවිසුම් කිහිපයක් යොදාගත්තා. ඔබත් යම් යම් අවස්ථාවලදී සමහරවිට නිවසක් මිලට ගැනීමට හෝ මුදලක් ණයට ගැනීමට යම් ආකාරයක ගිවිසුමක් කර තිබෙන්නට පුළුවන්. එවන් ගිවිසුමකින් ඇති වන නෛතික සහතිකය මගින් එකඟ වී ඇති කොන්දේසි සපුරාලනු ලබනවා. නමුත් යෙහෝවාට මිනිසුන් සමඟ විධිමත් ගිවිසුම් ඇති කරගැනීමට අවශ්‍ය වන්නේ ඇයි? ඔහුගේ වචනයම ඔහුගේ පොරොන්දු සඳහා ප්‍රමාණවත් සහතිකයක් ලබා දෙනවා නොවේද? එය සැබෑ කාරණයක්. එහෙත් දෙවි අවස්ථා ගණනාවකදීම සිය වචනය නෛතික ගිවිසුම් මගින් තහවුරු කර තිබෙනවා. අසම්පූර්ණ මිනිසුන් වන අපහට යෙහෝවාගේ පොරොන්දු කෙරෙහි නිසැකකම ඇති කරගැනීමට වඩාත් තදබල, ස්ථිර පදනමක් ලබා දෙන්නේ මෙම බිඳහෙළිය නොහැකි එකඟතාවනුයි.—හෙබ්‍රෙව් 6:16-18.
ආබ්‍රහම් සමඟ කළ ගිවිසුම
7, 8. (අ) යෙහෝවා ආබ්‍රහම් සමඟ ඇති කළ ගිවිසුම කුමක්ද? ඒ මගින් පරිශුද්ධ රහස මතට කුමන ආලෝකයක් හෙළනු ලැබුවාද? (ආ) යෙහෝවා ක්‍රමානුකූලව පොරොන්දු වංශය පැමිණෙන පෙළපත හෙළි කළේ කෙසේද?
7 මිනිසාව පාරාදීසයෙන් පිටමං කර වසර දෙදහසක් ගත වූ පසුව, යෙහෝවා සිය විශ්වාසවන්ත සේවක වූ ආබ්‍රහම්ට මෙසේ කිව්වා. “නුඹේ වංශය බොහෝ සෙයින් වැඩි කරන්නෙමි. . . . මාගේ ශබ්දයට නුඹ කීකරු වූ නිසා නුඹේ වංශය කරණකොටගෙන පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝය කියා මා ගැනම දිවුළෙමි.” (උත්පත්ති 22:17, 18) මෙය පොරොන්දුවකට වඩා වැඩි යමක් වුණා. යෙහෝවා එය නෛතික ගිවිසුමක් ආකාරයට සකස් කර නොබිඳිය හැකි දිවුරුමක් මගින් එය තවත් තහවුරු කළා. (උත්පත්ති 17:1, 2; හෙබ්‍රෙව් 6:13-15) විශ්වනීය පරමාධිපති මිනිස් සංහතියට ආශීර්වාද කිරීමට ඇත්තෙන්ම ගිවිසුමක් ඇති කිරීම මොනතරම් සුවිශේෂී දෙයක්ද!
8 ආබ්‍රහම් සමඟ කරන ලද ගිවිසුමෙන් හෙළි කළේ, පොරොන්දු වංශය මිනිසෙකු ලෙස පැමිණෙනු ඇති බවයි. මන්ද ඔහු ආබ්‍රහම්ගෙන් පැවතෙන්නෙකු වනු ඇති නිසයි. නමුත් ඔහු කවරෙකු වනු ඇද්ද? ආබ්‍රහම්ගේ පුත්‍ර ඊසාක් එම වංශයේ මුතුන්මිත්තෙකු වනු ඇති බව යෙහෝවා නියමිත කාලයේදී හෙළි කළා. ඊසාක්ගේ පුතුන් දෙදෙනාගෙන් තෝරාගනු ලැබුවේ යාකොබ්වයි. (උත්පත්ති 21:12; 28:13, 14) පසුව, යාකොබ් තමාගේ පුතුන් 12දෙනාගෙන් කෙනෙක් සම්බන්ධව මෙම අනාවැකිය ප්‍රකාශ කළා. “ෂිලෝ [“අයිතිය හිමි තැනැත්තා”] එන තෙක් යූදා කෙරෙන් ජයකොන්තයවත් ඔහුගේ පාද අතරෙන් ආණ්ඩුකාරයාගේ සැරයටියවත් පහ නොවන්නේය; මනුෂ්‍යවර්ගයන්ගේ කීකරුකම ඔහුට වන්නේය.” (උත්පත්ති 49:10) එම වංශය රජ කෙනෙකු වනු ඇති බවත්, ඔහු යූදාගේ පෙළපතින් පැමිණෙනු ඇති බවත් දැනගනු ලැබුවේ එවිටයි!
ඉශ්‍රායෙල් ජාතිය සමඟ කළ ගිවිසුම
9, 10. (අ) යෙහෝවා ඉශ්‍රායෙල් ජාතිය සමඟ කළ ගිවිසුම කුමක්ද? එම ගිවිසුම සැපයුවේ කිනම් ආරක්ෂාවක්ද? (ආ) ව්‍යවස්ථාව මගින් මිනිස් සංහතිය උදෙසා මිදීමේ මිලයක ඇති අවශ්‍යතාව පෙන්වූයේ කෙසේද?
9 පොදු යුගයට පෙර 1513දී, පරිශුද්ධ රහස පිළිබඳව තවදුරටත් තොරතුරු හෙළි කිරීමට මඟ සැලසූ යම් සැපයුමක් යෙහෝවා ඇති කළා. ඒ තමයි, ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන් වන ඉශ්‍රායෙල් ජාතිය සමඟ ඇති කළ ගිවිසුම. දැන් එය තවදුරටත් බලපවත්වන්නේ නැතත්, මෝසෙස්ට දෙන ලද මෙම ව්‍යවස්ථා ගිවිසුම පොරොන්දු වූ වංශය පිළිබඳ යෙහෝවාගේ අරමුණේ අත්‍යවශ්‍ය කොටසක් වුණා. ඒ කෙසේද? ක්‍රම තුනක් ගැන සලකා බලන්න. පළමුව, ව්‍යවස්ථාව හරියට ආරක්ෂිත බිත්තියක් වගේ වුණා. (එපීස 2:14, 15) එහි ධර්මිෂ්ඨ නීති යුදෙව්වන් සහ අන්‍යජාතීන් අතර බිත්තියක් මෙන් ක්‍රියා කළා. මෙසේ, පොරොන්දු වංශයේ පෙළපත ආරක්ෂා කරගැනීමට ව්‍යවස්ථාව ඉවහල් වුණා. එවන් ආරක්ෂාවකට බොහෝ සෙයින් ස්තුතිවන්ත වන්නට, දෙවිගේ නියමිත කාලයේදී යූදා ගෝත්‍රය තුළින් මෙසියස්ගේ පැමිණීම සිදු වන තෙක් එම ජාතිය අඛණ්ඩව පැවතුණා.
10 දෙවනුව, ව්‍යවස්ථාවෙන් මැනවින් නිරූපණය කළ දෙයක් තමයි, මිනිස් සංහතිය උදෙසා මිදීමේ මිලයක ඇති අවශ්‍යතාව. පරිපූර්ණ ව්‍යවස්ථාවක් වූ ඉන් පැහැදිලිව පෙන්වූ සත්‍යයක් තිබුණා. එනම්, එයට පරිපූර්ණ ලෙස ඇලී සිටීමට පව්කාර මිනිසුන්ට නොහැකි බවයි. ඉන් සිදු වුණේ ‘පොරොන්දු වූ ඒ බීජය එන තුරු පාප පැහැදිලිව පෙනෙන්න සැලැස්වීමයි.’ (ගලාති 3:19, NW) සත්ව පූජා මගින්, පාප උදෙසා තාවකාලික සමගි කිරීමක් කරනු ලැබීමට ව්‍යවස්ථාවෙන් ප්‍රස්තාව උදා වූ බව ඇත්තයි. නමුත් පාවුල් ලිව්වාක් මෙන්, “ගොනුන්ගෙත් එළුවන්ගෙත් ලෙයින් පව් පහ කරන්ට නුපුළුවන.” (හෙබ්‍රෙව් 10:1-4) එමනිසා මෙම පූජාවන්ගෙන් පූර්වාදර්ශනය කළේ ක්‍රිස්තුස්ගේ මිදීමේ පූජාවයි. මෙලෙස, ඇදහිලිවන්ත යුදෙව්වන් සඳහා, එම ගිවිසුම “ක්‍රිස්තුස් ළඟට පමුණුවන . . . ගුරුවරයෙක්” බවට පත් වුණා.—ගලාති 3:24.
11. ව්‍යවස්ථා ගිවිසුම ඉශ්‍රායෙල් ජාතියට දුන් මහිමාන්විත අපේක්ෂාව කුමක්ද? නමුත් සමස්තයක් වශයෙන් එම ජාතියට ඒ අපේක්ෂාව අහිමි වූයේ ඇයි?
11 තුන්වෙනුව, එම ගිවිසුම ඉශ්‍රායෙල් ජාතියට ලබා දුන්නේ තේජාන්විත අපේක්ෂාවක්. ඔවුන් එම ගිවිසුමට විශ්වාසවන්තව සිටියා නම්, ඔවුන් “පූජක රාජ්‍යයක් සහ ශුද්ධ ජාතියක්” බවට පත් වනු ඇතැයි යෙහෝවා ඔවුන්ට පැවසුවා. (නික්මයාම 19:5, 6) එම ස්වර්ගික පූජක රාජ්‍යයේ පළමු සාමාජිකයන්ව සපයන ලද්දේ මාංසික ඉශ්‍රායෙල් ජාතිය විසිනුයි. කෙසේවුවද, සමස්තයක් වශයෙන් ඉශ්‍රායෙල් ජාතිය එම ව්‍යවස්ථා ගිවිසුමට එරෙහිව කැරලි ගසා, මෙසියානු වංශය ප්‍රතික්ෂේප කළ නිසා එම අපේක්ෂාව අහිමි කරගත්තා. එසේ නම්, පූජක රාජ්‍යය සම්පූර්ණ වනු ඇත්තේ කාගෙන්ද? එම ආශීර්වාද ලත් ජාතිය පොරොන්දු වංශයට සම්බන්ධ වන්නේ කොහොමද? පරිශුද්ධ රහසට අයත් එම අංගයන් හෙළිවීමට තිබුණේ දෙවිගේ නියමිත කාලයේදීයි.
දාවිත් සමඟ කරන ලද රාජ්‍ය ගිවිසුම
12. යෙහෝවා දාවිත් සමඟ කළ ගිවිසුම කුමක්ද? තවද දෙවිගේ පරිශුද්ධ රහස මතට එයින් හෙළනු ලැබුවේ කිනම් ආලෝකයක්ද?
12 පොදු යුගයට පෙර 11වන සියවසේදී, යෙහෝවා පරිශුද්ධ රහස මතට තවදුරටත් ආලෝකය හෙළමින් තවත් ගිවිසුමක් ඇති කළා. විශ්වාසවන්ත දාවිත් රජුට ඔහු පොරොන්දු වූයේ මෙසේයි. “මම නුඹෙන් පැවත එන නුඹේ බීජය නුඹට පසුව පිහිටුවා ඔහුගේ රජකම ස්ථිර කරන්නෙමි. . . . ඔහුගේ රජකමේ සිංහාසනයද සදාකාලේටම ස්ථිර කරන්නෙමි.” (2 සාමුවෙල් 7:12, 13; ගීතාවලිය 89:3) දැන් පොරොන්දු වංශයේ පෙළපත දාවිත්ගේ පවුල දක්වා පටු කර තිබෙනවා. නමුත් සාමාන්‍ය මිනිසෙකුගේ පාලනයක් “සදාකාලේටම” පවතීවිද? (ගීතාවලිය 89:20, 29, 34-36) තවද එවන් මිනිස් රජෙකුට මිනිස් සංහතිය පාපයෙන් සහ මරණයෙන් මුදවාගත හැකි වේවිද?
13, 14. (අ) ගීතාවලිය 110 අනුව, යෙහෝවා සිය ආලේප ලත් රජුට දෙන පොරොන්දුව කුමක්ද? (ආ) යෙහෝවාගේ අනාගතවක්තෲන් තුළින් පැමිණෙන වංශය ගැන තවත් කිනම් හෙළි කිරීම් කරන ලද්දේද?
13 දේවානුභාවයෙන් දාවිත් ලීවේ මෙසේයි. “යෙහෝවා මාගේ ස්වාමීන්ට කතා කොට: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරන තෙක් මාගේ දකුණු පැත්තෙහි සිටින්නැයි කීවේය. නුඹ මෙල්කිසදෙක්ගේ පිළිවෙළින් සදාකාලයටම පූජකයෙකැයි යෙහෝවා දිවුළේය; එය වෙනස් නොකරන්නේය.” (ගීතාවලිය 110:1, 4) දාවිත්ගේ වචන කෙළින්ම අදාළ වන්නේ පොරොන්දු වංශය හෙවත් මෙසියස්ටයි. (ක්‍රියා 2:35, 36) මෙම රජ පාලනය කරනු ඇත්තේ යෙරුසලමේ සිට නොව නමුත් ස්වර්ගයේ යෙහෝවාගේ “දකුණු පැත්තෙහි” සිටයි. මෙමගින් ඔහුට ඉශ්‍රායෙල් දේශය කෙරෙහි පමණක් නොව නමුත් මුළු පොළොව පුරාම ආධිපත්‍යය දෙනු ලබනවා. (ගීතාවලිය 2:6-8) මෙහිදී ඊටත් වඩා යමක් හෙළි කරනු ලැබුවා. මෙසියස් ‘මෙල්කිසදෙක්ගේ පිළිවෙළින් . . . පූජකයෙක්’ වනු ඇති බවට යෙහෝවා දිවුරූ බව මතක තබාගන්න. ආබ්‍රහම්ගේ කාලයේ සේවය කළ පූජක රජෙකු වූ මෙල්කිසදෙක් මෙන්, පැමිණෙන වංශයට රජෙකු සහ පූජකයෙකු ලෙස සේවය කිරීම සඳහා ඍජු පත්වීමක් දෙවිගෙන්ම ලැබෙනවා ඇති!—උත්පත්ති 14:17-20.
14 වසර ගණනාවක් පුරා, යෙහෝවා සිය පරිශුද්ධ රහස තවදුරටත් හෙළි කිරීමට සිය අනාගතවක්තෲන්ව යොදාගත්තා. නිදසුනක් වශයෙන්, යෙසායා හෙළි කළේ එම වංශය යාගික මරණයක් විඳිනු ඇති බවයි. (යෙසායා 53:3-12) මීකා මෙසියස්ගේ උපත සිදු වන ස්ථානය පුරෝකථනය කළා. (මීකා 5:2) ඒ වගේම වංශයේ උපත හා මරණය සිදු වන කාලය ගැන දානියෙල් නිවැරදිව අනාවැකි කීවා.—දානියෙල් 9:24-27.
පරිශුද්ධ රහස හෙළි වේ!
15, 16. (අ) යෙහෝවාගේ පුත්‍රයා ‘ස්ත්‍රියකගෙන් උපන්නේ’ කෙසේද? (ආ) යේසුස් සිය මිනිස් දෙමාපියන්ගෙන් උරුම කරගත්තේ මොනවාද? තවද ඔහු පොරොන්දු වූ වංශය ලෙස පැමිණියේ කවදාද?
15 මෙම අනාවැකි ඉටු වන ආකාරය, වංශය ඇත්තටම පැමිණෙන තෙක්ම අභිරහසක්ව පැවතුණා. ගලාති 4:4හි පවසන්නේ, “නුමුත් කාලය සම්පූර්ණ වූ කල, දෙවි ස්ත්‍රියකගෙන් උපන්නාවූද ව්‍යවස්ථාව යටතේ උපන්නාවූද තමන් පුත්‍රයා එව්වේය” කියායි. පොදු යුගයට පෙර 2වන වසරේදී, මරියා නම් වූ යුදෙව් කන්‍යාවට දේවදූතයෙක් පැවසුවේ මෙසේයි. “බලව, නුඹ ගර්භිණීව පුත්‍රයෙකු බිහි කරන්නීය. ඔහුට යේසුස් යන නාමය තබන්න. ඔහු උතුම්ව මහෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝයයි කියනු ලබන්නේය. ඔහුගේ පිය වූ දාවිත්ගේ සිංහාසනය දෙවි වූ යෙහෝවා ඔහුට දෙන්නේය. . . . ශුද්ධාත්මය නුඹ කෙරෙහි පැමිණෙන්නේය. මහෝත්තමයාණන්ගේ ආනුභාවද නුඹ වසාගන්නේය. ඒ නිසා උපදින්ට සිටින තැනැත්තේ ශුද්ධය, දෙවිගේ පුත්‍රයාණෝයයි කියනු ලබන්නේය.”—ලූක් 1:31, 32, 35.
16 පසුව, යෙහෝවා සිය පුත්‍රයාගේ ජීවිතය ස්වර්ගයේ සිට මරියාගේ ගර්භාශයට මාරු කළා. මේ අනුව, ඔහු උපත ලැබුවේ ස්ත්‍රියකගෙනුයි. මරියා අසම්පූර්ණ ස්ත්‍රියක්. එහෙත්, යේසුස් ඇගෙන් අසම්පූර්ණකම උරුම කරගත්තේ නැහැ. මන්ද ඔහු “දෙවිගේ පුත්‍රයා” වූ නිසයි. ඒ අතරම, දාවිත්ගෙන් පැවතෙන්නන් ලෙස, යේසුස්ගේ මිනිස් දෙමාපියන්, දාවිත්ගේ උරුමක්කාරයෙකු සතු ජන්ම හිමිකම හා නෛතික අයිතිවාසිකම් ඔහුට ලබා දුන්නා. (ක්‍රියා 13:22, 23) පොදු යුගයේ 29 යේසුස්ගේ බව්තීස්මයේදී, යෙහෝවා ඔහුව ශුද්ධාත්මයෙන් ආලේප කොට පැවසුවේ, ‘මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය’ කියායි. (මතෙව් 3:16, 17) වංශය පැමිණියා! (ගලාති 3:16) පරිශුද්ධ රහස ගැන තවත් තොරතුරු හෙළි කිරීමට කාලය වූයේ එයයි.—2 තිමෝති 1:10.
17. උත්පත්ති 3:15හි අර්ථය කෙරෙහි ආලෝකය හෙළනු ලැබුවේ කෙසේද?
17 යේසුස් සිය දේවසේවය අතරතුර, උත්පත්ති 3:15හි සඳහන් සර්පයාව සාතන් ලෙස හැඳින්වූ අතර, සර්පයාගේ වංශය සාතන්ගේ අනුගාමිකයන් ලෙස හැඳින්වූවා. (මතෙව් 23:33; යොහන් 8:44) පසුව, මොවුන් සියල්ලන්වම සදාකාලයටම පොඩි කරනු ලබන ආකාරය ගැන එළිදරව් කරනු ලැබුවා. (එළිදරව් 20:1-3, 10, 15) තවද ස්ත්‍රියව හඳුන්වා දෙනු ලැබුවේ “ඉහළ තිබෙන යෙරුසලම” හෙවත් ආත්ම මැවිලිවලින් සමන්විත බිරිඳක් බඳු යෙහෝවාගේ සංවිධානය ලෙසටයි.a—ගලාති 4:26; එළිදරව් 12:1-6.
අලුත් ගිවිසුම
18. ‘අලුත් ගිවිසුමේ’ අරමුණ කුමක්ද?
18 හෙළි කරන ලද සියලු රහස්වලින් චමත්කාරජනකම හෙළි කිරීම සිදු වුණේ යේසුස්ගේ මරණයට පෙරදා රාත්‍රියේ ඔහු සිය විශ්වාසවන්ත ගෝලයන්ට “අලුත් ගිවිසුම” ගැන කී අවස්ථාවෙයි. (ලූක් 22:20) ඊට කලින් තිබූ මෝසෙස්ට දෙන ලද ව්‍යවස්ථා ගිවිසුම මෙන්, මෙම නව ගිවිසුම තුළින්ද “පූජක රාජ්‍යයක්” බිහිවීමට තිබුණා. (නික්මයාම 19:6; 1 පේතෘස් 2:9) කෙසේවෙතත්, මෙම නව ගිවිසුම තුළින් පිහිටුවනු ලබනු ඇත්තේ මාංසික ජාතියක් නොව නමුත් ආත්මික ජාතියක්. එනම් තනිකරම ක්‍රිස්තුස්ගේ විශ්වාසවන්ත ආලේප ලත් අනුගාමිකයන්ගෙන් සෑදුණු “දෙවිගේ ඉශ්‍රායෙල්” ඒ ජාතියයි. (ගලාති 6:16) නව ගිවිසුමට සම්බන්ධ මෙම කණ්ඩායම මිනිස් ජාතියට ආශීර්වාද කිරීමෙහිලා යේසුස් සමඟ හවුල් වෙනවා ඇති!
19. (අ) අලුත් ගිවිසුම “පූජක රාජ්‍යයක්” බිහි කිරීමෙහිලා සාර්ථක වන්නේ මන්ද? (ආ) ආලේප ලත් ක්‍රිස්තියානීන්ව “අලුත් මැවිල්ලක්” ලෙසට හැඳින්වෙන්නේ ඇයි? ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයෙහි කීදෙනෙක් සේවය කරනු ඇද්ද?
19 නමුත් මිනිස් සංහතියට ආශීර්වාද කිරීම සඳහා “පූජක රාජ්‍යයක්” බිහි කිරීමෙහිලා අලුත් ගිවිසුම සාර්ථක වන්නේ ඇයි? මන්දයත් ක්‍රිස්තුස්ගේ ගෝලයන් පව්කාරයන් ලෙසට හෙළා දකිනවා වෙනුවට, ඔහුගේ පූජාව තුළින් ඔවුන්ගේ පව්වලට සමාව ලබාගැනීම සඳහා පදනමක් සපයන නිසයි. (යෙරෙමියා 31:31-34) යෙහෝවා ඉදිරියේ ඔවුන් පවිත්‍ර ස්ථාවරයක් ලබාගත් විගස, ඔහු ඔවුන්ව තම ස්වර්ගික පවුලට පමුණුවාගෙන ඔවුන්ව ශුද්ධාත්මයෙන් ආලේප කරනවා. (රෝම 8:15-17; 2 කොරින්ති 1:21) මෙසේ ඔවුන් අද්දකින්නේ ‘ස්වර්ගයෙහි තබා තිබෙන ජීවනයේ බලාපොරොත්තුවක් අත් කරගන්නා පිණිස ලබන නැවත උත්පාදනයක්.’ (1 පේතෘස් 1:3-5) එවන් උසස් තත්වයක්, මිනිසුන්හට මුළුමනින්ම අලුත් යමක් වන හෙයින්, ආත්මයෙන් ජනිත වූ ආලේප ලත් ක්‍රිස්තියානීන්ව “අලුත් මැවිල්ලක්” සේ හඳුන්වනු ලබනවා. (2 කොරින්ති 5:17) බයිබලය හෙළි කරන්නේ, මුදවාගන්නා ලද මිනිස් සංහතිය කෙරෙහි ස්වර්ගයෙහි සිට කෙරෙන පාලනය සඳහා 1,44,000දෙනා අවසානයේදී හවුල් වනු ඇති බවයි.—එළිදරව් 5:9, 10, NW; 14:1-4.
20. (අ) පොදු යුගයේ 36දී පරිශුද්ධ රහස පිළිබඳව හෙළි කරන ලද්දේ කුමක්ද? (ආ) ආබ්‍රහම්ට පොරොන්දු වූ ආශීර්වාද භුක්ති විඳිනු ඇත්තේ කවුරුන්ද?
20 යේසුස් සමඟ මෙම ආලේප ලත් අය “ආබ්‍රහම්ගේ වංශය” බවට පත් වෙනවා.b (ගලාති 3:29) තෝරාගත් පළමු අය වූයේ මාංසික යුදෙව්වනුයි. නමුත් පො.යු. 36දී, පරිශුද්ධ රහසේ තවත් පැත්තක් හෙළි කරනු ලැබුවා. ඒ තමයි, අන්‍ය ජාතිකයන් හෙවත් යුදෙව් නොවන අයටත් ස්වර්ගික බලාපොරොත්තුව තිබෙන බව. (රෝම 9:6-8; 11:25, 26; එපීස 3:5, 6) ආබ්‍රහම්ට පොරොන්දු වූ ආශීර්වාද භුක්ති විඳිනු ඇත්තේ ආලේප ලත් ක්‍රිස්තියානීන් පමණක්ද? නැහැ. මක්නිසාද යේසුස්ගේ පූජාවෙන් මුළු ලෝකයටම ප්‍රයෝජන ලැබෙනවා. (1 යොහන් 2:2) නියමිත කාලයේදී, යෙහෝවා අනාවරණය කළ තව දෙයක් තිබුණා. ඒ තමයි, ගණන් කළ නොහැකි “මහත් සමූහයක්” දැන් පවතින ක්‍රමයේ අවසානයෙන් බේරී ජීවත් වන බව. (එළිදරව් 7:9, 14) පාරාදීසයේ සදාකල් ජීවත් වීමේ අපේක්ෂාව ඇතුව මහත් ජනකායක් නැවත නැඟිටුවනු ලබනවා ඇති!—ලූක් 23:43; යොහන් 5:28, 29; එළිදරව් 20:11-15; 21:3, 4.
දෙවිගේ ප්‍රඥාව සහ පරිශුද්ධ රහස
21, 22. පරිශුද්ධ රහස තුළින් යෙහෝවාගේ ප්‍රඥාව විදහා දැක්වෙන්නේ කිනම් ආකාරවලින්ද?
21 පරිශුද්ධ රහස යනු ‘දෙවිගේ අනේකවිධ ප්‍රඥාවේ’ මහා විස්මිත ප්‍රදර්ශනයක්. (එපීස 3:8-11) මෙම රහස විධිමත්ව සකස් කරමින්ද අනතුරුව එය ක්‍රමක්‍රමයෙන් එළිදරව් කරමින්ද යෙහෝවා මෙහිදී පෙන්වා ඇති ප්‍රඥාව මොනතරම්ද! මිනිසුන්ගේ සීමාවන් ගැන ඉතා ප්‍රඥාවන්ත ලෙස සැලකිල්ල දැක්වූ ඔහු, ඔවුන්ගේ හදවත්වල සැබෑ තත්වය හෙළි කිරීමට ඉඩහැරියා.—ගීතාවලිය 103:14.
22 ඒ වගේම යේසුස්ව රජු ලෙස තෝරාගැනීම තුළින්ද යෙහෝවා පෙන්වූයේ අසමසම ප්‍රඥාවක්. යෙහෝවාගේ පුත්‍රයා විශ්වයේ වෙනත් කිසිදු මැවිල්ලකට වඩා විශ්වාසවන්ත වූ කෙනෙක්. ඇට ලේ මස් නහරවලින් සෑදි මිනිසෙකු ලෙස ජීවත් වූ යේසුස් බොහෝ ආකාර විපත් අද්දැක්කා. මිනිස් ගැටලු ඔහුට හොඳ හැටි තේරෙනවා. (හෙබ්‍රෙව් 5:7-9) යේසුස්ගේ හවුල් පාලකයන් ගැන කුමක් කියන්න පුළුවන්ද? පසුගිය සියවස් ගණනාව පුරා, සියලු ජාතීන්ගෙන්, භාෂාවන්ගෙන් මෙන්ම විවිධ පසුබිම්වලින් තෝරාගනු ලැබූ පුරුෂයන් හා ස්ත්‍රීන් යන දෙකොට්ඨාසයම ආලේප කර තිබෙනවා. මේ අය අතර සිටින පුද්ගලයන් මුහුණ දී ජයගෙන නැති කිසිදු ගැටලුවක් නැති තරම්. (එපීස 4:22-24) මෙම දයානුකම්පිත පූජක රජවරුන්ගේ පාලනය යටතේ ජීවත් වීම මොනතරම් අමානන්දනීය අද්දැකීමක් වේවිද!
23. යෙහෝවාගේ පරිශුද්ධ රහස සම්බන්ධව ක්‍රිස්තියානීන්ට ඇති වරප්‍රසාදය කුමක්ද?
23 “පූර්ව කාලවලද පරම්පරාවලද පටන් සැඟවී තිබී, දැන් දෙවිගේ ශුද්ධවන්තයන්ට ප්‍රකාශ වුණාවූ [පරිශුද්ධ, NW] රහස” ගැන ප්‍රේරිත පාවුල් ලීවා. (කොලොස්සි 1:25) ඔව්, යෙහෝවාගේ ආලේප ලත් ශුද්ධවන්තයන් මෙම පරිශුද්ධ රහස ගැන තේරුම්ගෙන ඇති දේ බොහෝයි. ඒ වගේම එම දැනුම මිලියන ගණනක ජනතාවක් සමඟ ඔවුන් බෙදාගෙන තිබෙනවා. අප සියලුදෙනාටම ඇත්තේ මොනතරම් උතුම් වරප්‍රසාදයක්ද! යෙහෝවා “තමන්ගේ කැමැත්තේ පරිශුද්ධ රහස අපට දන්වා” තිබෙනවා. (එපීස 1:9, NW) මෙම මවිතාකාර රහස අපි අන්‍යයන් සමඟ බෙදාගනිමු. ඒ වගේම යෙහෝවා දෙවිගේ අසමසම වූ, තේරුම්ගැනීමට අසීරු වූ මේ ප්‍රඥාවේ ගැඹුරට එබී බැලීමට ඔවුන්ට උදව් කරමු!
[පාදසටහන්වල]
a ‘දේවභක්තියේ [පරිශුද්ධ, NW] රහසද’ යේසුස් තුළින් හෙළි කරනු ලැබුවා. (1 තිමෝති 3:16) යම් කෙනෙකුට පරිපූර්ණ වශයෙන් යෙහෝවා කෙරෙහි අඛණ්ඩතාව රැකගැනීමට හැකි වේදැයි යන කාරණය දිගු කලක් පුරා අභිරහසක්ව තිබුණා. ඒ පැනයට පිළිතුර හෙළි කළේ යේසුස්. සාතන් ඔහු කෙරෙහි ගෙන ආ සෑම පරීක්ෂාවක්ම හමුවේ ඔහු තම අඛණ්ඩතාව රැකගත්තා.—මතෙව් 4:1-11; 27:26-50.
b යේසුස්ද එම කණ්ඩායම සමඟ ‘රාජ්‍යයක් සඳහා ගිවිසුමක්’ කළා. (ලූක් 22:29, 30, NW) මෙසේ, යේසුස් මෙම “කුඩා රැළ” සමඟ තමන් හා එක්ව ස්වර්ගයෙහි පාලනය කිරීමට ඇති කළ ගිවිසුමෙන් ඔවුන් ආබ්‍රහම්ගේ වංශයේ ද්විතීයික කොටස බවට පත් වෙනවා ඇති.—ලූක් 12:32.
මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න
යොහන් 16:7-12 සත්‍යතාවන් ක්‍රමානුකූලව එළිදරව් කිරීමේ සිය පියාණන්ගේ ක්‍රමය යේසුස් අනුකරණය කළේ කොහොමද?
1 කොරින්ති 2:6-16 යෙහෝවාගේ පරිශුද්ධ රහස් තේරුම්ගැනීමට බොහෝදෙනෙකුට නොහැක්කේ ඇයි? තවද මෙම රහස් අපට තේරුම්ගත හැක්කේ කොහොමද?
එපීස 3:10, 11 දෙවිගේ පරිශුද්ධ රහස සම්බන්ධව වත්මන් ක්‍රිස්තියානීන්ට ඇති වරප්‍රසාදය කුමක්ද?
හෙබ්‍රෙව් 11:8-10 පරිශුද්ධ රහසේ සියලු තොරතුරු තේරුම්ගැනීමට බැරි වුණත් ඉපැරණි කාලවල විසූ ඇදහිලිවන්ත පුරුෂයන්ගේ ඇදහිල්ල පෝෂණය වූයේ කෙසේද?
[190වන පිටුවේ පින්තූරය]
“මම . . . අහසේ තාරකා මෙන් . . . නුඹේ වංශය බොහෝ සෙයින් වැඩි කරන්නෙමි”