22වන පරිච්ඡේදය
“ඉහළින් පැමිණෙන ප්‍රඥාව” ඔබේ ජීවිතය තුළ ක්‍රියාත්මක වේද?
1-3. (අ) එක්තරා දරුවෙකුගේ සැබෑ මව කවුද යන ආරවුල විසඳූ ආකාරයෙන් සාලමොන් අතිසුවිශේෂී ප්‍රඥාවක් විදහා පෑවේ කොහොමද? (ආ) යෙහෝවා අපට දීමට පොරොන්දු වන්නේ මොනවාද? ඒ පිළිබඳව කිනම් ප්‍රශ්න පැනනඟීද?
එය නම් විසඳීමට ඉතා දුෂ්කර වූ නඩුවක්. ස්ත්‍රීන් දෙදෙනෙක් කුඩා දරුවෙකුට අයිතිවාසිකම් කියමින් වාද කරනවා. මේ ස්ත්‍රීන් දෙදෙනාම ජීවත් වූයේ එකම නිවසේ. දෙදෙනාම පුතෙකු බැගින් බිහි කර තිබුණා. හැබැයි දවස් කිහිපයක පරතරයක් ඇතුව. එක් දරුවෙකු මිය ගොස් සිටියා. දැන් මේ ස්ත්‍රීන් දෙදෙනාම කියා සිටින්නේ ජීවත් වන දරුවා තමන්ගේ බවයි.a ඇත්තටම සිදු වූ දේ ගැන සාක්ෂි දීමට ඇසින් දුටු කිසිවෙක් සිටියෙත් නැහැ. මේ නඩුව පහළ උසාවියක අසා තිබුණු බවක් පෙනෙන්ට තිබුණද කාරණයට විසඳුමක් ලැබී තිබුණේ නැහැ. අන්තිමේදී මේ කාරණය විසඳන්නට ඉශ්රායෙලයේ රජු වන සාලමොන් වෙතට ගෙන ගියා. සත්‍යය අනාවරණය කිරීමට ඔහුට හැකි වේවිද?
2 වාද කරමින් සිටි ස්ත්‍රීන් දෙදෙනාට මද වේලාවක් සවන් දී සිටි සාලමොන් කඩුවක් ගෙනෙන ලෙස අණ කළා. අනතුරුව, එම දරුවා කොටස් දෙකකට කපා එක කොටස බැගින් ස්ත්‍රීන් දෙදෙනාට දෙන ලෙස ඔහු අණ කළේ පෙනෙන ප්‍රකාරයට යම් විශ්වාසයකින් යුතුවයි. එක් වරම දරුවාගේ සැබෑ මව රජුට කන්නලව් කරමින් තමාගේ අනර්ඝ දරුවාව අනෙක් ස්ත්‍රියට දෙන ලෙස ඉල්ලා සිටියා. නමුත් අනෙක් ස්ත්‍රිය පුන පුනා කියා සිටියේ දරුවාව කැබලි දෙකට කපන ලෙසයි. දැන් සාලමොන් සත්‍යය දැනගත්තා. කිරි කැටි අත දරුවෙකු කෙරෙහි දරුවාගේ මව තුළ තිබූ මුදු මොළොක් දයාව පිළිබඳ දැනුමක් ඔහු සතු වූ අතර, එම දැනුම ඔහු යොදාගත්තා මෙම කාරණය විසඳන්නට. සාලමොන් එම දරුවාව ඔහුගේ සැබෑ මවට දෙමින් “ඈ ඔහුගේ මවුය” කියා පවසද්දී එම මවට ඇති වූ ඉමහත් සහනය ගැන සිතා බලන්න.—1 රාජාවලිය 3:16-27.
3 අතිසුවිශේෂී ප්‍රඥාවක්. එසේ නොවේද? සාලමොන් එම කාරණය විසඳූ බව මිනිසුන් දැනගත් විට, ඔවුන් තුළ ඇති වූයේ ගෞරවය මුසු මවිතයක්. මන්ද “දෙවිගේ ප්‍රඥාව ඔහු තුළ තිබෙන බව” ඔවුන් දුටුවා. ඔව්, සාලමොන්ගේ ප්‍රඥාව දිව්‍යමය දීමනාවක්. යෙහෝවා ඔහුට “ප්‍රඥාවන්ත නුවණැති සිතක්” දී තිබුණා. (1 රාජාවලිය 3:12, 28) නමුත් අප ගැන කුමක් කිව හැකිද? අපටත් දිව්‍ය ප්‍රඥාව ලබාගත හැකි වේවිද? ඔව්, දේවානුභාවයෙන් සාලමොන් ලීවේ “යෙහෝවාම ප්‍රඥාව දෙන්නේය” කියායි. (හිතෝපදේශ 2:6, NW) යෙහෝවා ප්‍රඥාව දීමට පොරොන්දු වෙයි. ප්‍රඥාව යනු දැනුම, අවබෝධය හා විචාර බුද්ධිය හොඳින් යොදාගැනීමට ඇති හැකියාවයි. ප්‍රඥාව ලැබෙන්නේ එය සොයන අයටයි. ඉහළින් පැමිණෙන ප්‍රඥාව අපට අත් කරගත හැක්කේ කොහොමද? එය අපගේ ජීවිතය තුළ ක්‍රියාත්මක කළ හැක්කේ කොහොමද?
“ප්‍රඥාව අත් කරගන්න”—කෙසේද?
4-7. ප්‍රඥාව අත් කරගැනීම පිණිස වූ අවශ්‍යතාවන් හතරක් නම් කරන්න.
4 දිව්‍ය ප්‍රඥාව ලබාගැනීමට අප ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන් හෝ අතිපණ්ඩිත උගතුන් විය යුතුද? නැහැ. අපගේ පසුබිම හෝ අධ්‍යාපන මට්ටම කුමක් වුවත්, යෙහෝවා සිය ප්‍රඥාව අප සමඟ බෙදාගැනීමට කැමැත්තෙන් සිටිනවා. (1 කොරින්ති 1:26-29) නමුත් මූලික පියවර ගත යුත්තේ අපයි. මන්ද බයිබලය අපෙන් උදක්ම ඉල්ලා සිටින්නේ “ප්‍රඥාව අත් කරගන්න” කියායි. (හිතෝපදේශ 4:7, NW) අපට එය කළ හැක්කේ කොහොමද?
5 පළමුව, අප දෙවිට භය විය යුතුයි. “ප්‍රඥාවේ පටන්ගැන්ම නම් යෙහෝවා කෙරෙහි භයවීමය [“දේව ගරුබිය ප්‍රඥාවේ මුල් පියවර වේ,” ද නියු ඉංග්ලිෂ් බයිබල්]” කියා හිතෝපදේශ 9:10 කියනවා. සැබෑ ප්‍රඥාවට පදනම දෙවිට භයවීමයි. මෙසේ පවසන්නේ මන්ද? ප්‍රඥාවට අයත් දෙය සිහියට නඟන්න. එය නම් දැනුම සාර්ථකව අදාළ කිරීමට ඇති හැකියාවයි. දෙවිට භයවීම කීමෙන් අදහස් කරන්නේ, ඔහු ඉදිරියේ භය මුසු ත්‍රාසයෙන් යුතුව තැතිගැනීම නොව, නමුත් ගරුබියෙන්, ගෞරවයෙන් හා විශ්වාසයෙන් යුතුව ඔහු ඉදිරිපිට වැඳ වැටීමයි. එවන් භයක් සුවදායකයි. ප්‍රබල ලෙස පොලඹවනසුලුයි. දෙවිගේ කැමැත්ත හා මාර්ගයන් ගැන අපට තිබෙන දැනුම සමඟ අපගේ ජීවිත එකඟතාවකට ගෙන ඒමට එය අපව පොලඹනවා. ඊට වඩා ගත හැකි ප්‍රඥාවන්ත මාර්ගයක් අපට නැහැ. මන්ද යෙහෝවාගේ ප්‍රමිති සෑමවිටම ඒවා අනුගමනය කරන අය සඳහා උපරිම යහපත සිදු කරයි.
6 දෙවනුව, අප යටහත් පහත් විය යුතුයි. නිහතමානි විය යුතුයි. යටහත් පහත්කම සහ නිහතමානිකම නැතුව දිව්‍ය ප්‍රඥාවට පැවතිය නොහැකියි. (හිතෝපදේශ 11:2) ඒ ඇයි? අප යටහත් පහත් මෙන්ම නිහතමානි නම්, සියලුම පිළිතුරු අප සතුව නැති බවත්, අපගේ මතයන් සෑමවිටම හරි නොවන බවත්, අප යම් යම් කාරණා සම්බන්ධයෙන් යෙහෝවාගේ මනස දැනගැනීම අවශ්‍යව ඇති බවත් පිළිගැනීමට අපි කැමති වෙමු. යෙහෝවා ‘උඩඟුවූවන්ට විරුද්ධව සිටින’ නමුත් හදවතින් යටහත් පහත්ව සිටින අයට ප්‍රඥාව දානය කිරීමට සතුටු වෙයි.—යාකොබ් 4:6.
7 තුන්වෙනුව අත්‍යවශ්‍ය වූ කාරණයක් වන්නේ, දෙවිගේ ලිඛිත වචනය අධ්‍යයනය කිරීමයි. යෙහෝවාගේ ප්‍රඥාව ඔහු සිය වචනය තුළ හෙළි කර තිබෙනවා. එම ප්‍රඥාව අත් කරගැනීමට, අප එය හෑරීම සඳහා මහත් ප්රයත්නයක් දැරිය යුතුයි. (හිතෝපදේශ 2:1-5) හතරවෙනි අවශ්‍යතාව නම් යාච්ඤාවයි. අප ප්‍රඥාව ඉල්ලා අවංකව යාච්ඤා කරනවා නම්, ඔහු අපට එය බහුල ලෙස දේවි. (යාකොබ් 1:5) ඒ වගේම ඔහුගේ ආත්මය ඉල්ලා අප කරන යාච්ඤාවලට පිළිතුරු ලැබේවි. දේවවචනය තුළ තිබෙන නිධානයන් සොයා බැලීමට ඔහුගේ ආත්මය අපට උදව් කරන අතර, ඒ මගින් ගැටලු විසඳාගැනීමටත්, අන්තරායන්ගෙන් ගැළවීමටත්, ප්‍රඥාවන්ත තීරණ ගැනීමටත් හැකි කරවනවා ඇති.—ලූක් 11:13.
8. අප දිව්‍ය ප්‍රඥාව සැබවින්ම අත් කරගෙන තිබේ නම්, එය පෙනී යනු ඇත්තේ කොහොමද?
8 අප 17වන පරිච්ඡේදය තුළ දුටුවාක් මෙන්, යෙහෝවාගේ ප්‍රඥාව ප්‍රායෝගිකයි. මෙබැවින්, අප දිව්‍ය ප්‍රඥාව සැබෑවටම අත් කරගෙන තිබෙනවා නම්, අප හැසිරෙන ආකාරය තුළින් එය දැකගත හැකි වෙයි. ශ්‍රාවක යාකොබ් දිව්‍ය ප්‍රඥාවේ ඵල ගැන විස්තර කරමින් ලීවේ මෙසේයි. “ඉහළින් පැමිණෙන ප්‍රඥාව යනු පළමුව පිරිසිදුව, ඊළඟට සාමකාමීව, සාධාරණව, කීකරු වීමට සූදානම්ව, දයාවෙන් හා යහපත් ඵලවලින් පූර්ණව, පක්ෂග්රාහී නොවන කුහකකමින් තොරව තිබෙන දෙයකි.” (යාකොබ් 3:17, NW) දිව්‍ය ප්‍රඥාවේ මේ එක් එක් පැති ගැන අප සාකච්ඡා කරත්ම, අපට අපෙන්ම මෙලෙස ඇසිය හැකියි. ‘ඉහළින් පැමිණෙන ප්‍රඥාව මගේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනවාද?’
“පිරිසිදුව, ඊළඟට සාමකාමීව”
9. පිරිසිදුව කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? පිරිසිදුකම ප්‍රඥාවට අයත් ගුණාංගවල ලැයිස්තුවේ පළමුවෙන්ම සඳහන් කර තිබීම ඉතා යෝග්‍ය දෙයක් වන්නේ ඇයි?
9 “පළමුව පිරිසිදුව.” පිරිසිදුව කීමෙන් අදහස් කරන්නේ බාහිරෙන් පමණක් නොව අභ්‍යන්තරයෙන්ද නිර්මලව හා නොකිලිටිව සිටීමයි. බයිබලයේ, ප්‍රඥාව හදවත සමඟ සම්බන්ධ කර තිබෙන නමුදු දුෂ්ට සිතිවිලි, ආශාවන් සහ චේතනාවන් මගින් කෙලෙසී ඇති හදවතක් තුළට ස්වර්ගික ප්‍රඥාවට ඇතුල් විය නොහැකියි. (හිතෝපදේශ 2:10; මතෙව් 15:19, 20) කෙසේවෙතත්, අපගේ හදවත් පිරිසිදු නම්, එනම් අසම්පූර්ණ මිනිසුන් හැටියට හැකි තරම් දුරට එය පිරිසිදුව තබාගන්නවා නම්, අප ‘නපුරෙන් ඉවත්ව යහපත කරනු ඇති.’ (ගීතාවලිය 37:27; හිතෝපදේශ 3:7) පවිත්‍රකම ප්‍රඥාවට අයත් ගුණාංගවල ලැයිස්තුවේ පළමුවෙන්ම සඳහන් කර තිබීම ඉතා යෝග්‍ය දෙයක් නොවේද? අප සදාචාරමයව හා ආත්මිකව පවිත්‍ර අය නොවේ නම්, ඉහළින් පැමිණෙන ප්‍රඥාවේ අනෙකුත් ගුණාංග සැබවින්ම පිළිබිඹු කිරීමට අපට හැක්කේ කොහොමද?
10, 11. (අ) අප සාමකාමීව සිටීම වැදගත් දෙයක් වනුයේ ඇයි? (ආ) ඔබ විසින් සෙසු නමස්කාරකයෙකුගේ සිත රිදවා ඇත්නම්, ඔබ සාමය ඇති කරන්නෙකු බව පෙන්වීමට ඔබට හැක්කේ කොහොමද? (පාද සටහනද බලන්න.)
10 “ඊළඟට සාමකාමීව.” ස්වර්ගික ප්‍රඥාව අපව දෙවිගේ ආත්මයේ ඵලයක් වන සමාදානය හෙවත් සාමය ලුහුබැඳීමට පොලඹවනවා. (ගලාති 5:22) යෙහෝවාගේ සෙනඟව එක්සත් කරවන ‘සමාදානයේ බැම්ම’ කැඩීමට හේතු වන දේවල් මඟහැරීමට අපි ඉතා මහන්සි ගන්නවා. (එපීස 4:3) ඒ වගේම, සාමය කැඩී බිඳී ගිය විට එය යළි පිහිටුවාගැනීමට අපි ඉතා මහන්සියෙන් වීර්යය කරනවා. එය වැදගත් වන්නේ ඇයි? බයිබලය කියන්නේ මෙසේයි. “සාමකාමීව ජීවත් වීමට නොකඩවා ක්‍රියා කරන්න. එවිට ප්‍රේමයේද සමාදානයේද දෙවි ඔබ සමඟ සිටිනු ඇත.” (2 කොරින්ති 13:11, NW) අප සාමකාමීව දිගටම සිටින තාක් කල්, සමාදානයේ දෙවි අප සමඟ සිටිනවා ඇති. අප සෙසු නමස්කාරකයන්ට සලකන විදිහ, යෙහෝවා සමඟ ඇති අපගේ සම්බන්ධතාවට ඍජු ලෙස බලපානවා. අප සාමය ඇති කරන්නන් බව ඔප්පු කළ හැක්කේ කොහොමද? නිදසුනක් සලකා බලන්න.
11 ඔබ සෙසු නමස්කාරකයෙකුගේ සිත රිදවා ඇති බව ඔබට හැඟෙනවා නම්, ඔබ කළ යුත්තේ කුමක්ද? යේසුස් පැවසුවේ මෙයයි. “එබැවින්, ඔබේ පඬුර පූජාසනය වෙත ගෙන එන කල, ඔබට විරුද්ධව ඔබේ සහෝදරයාට යම් කාරණාවක් ඇති බව එහිදී ඔබට සිහි වේ නම්, පඬුර පූජාසනය ඉදිරිපිට තබා ගොස් පළමුවෙන් ඔබ ඔබේ සහෝදරයා සමඟ සමාදානය ඇති කරගන්න. ඉන්පසු ඔබ ඇවිත් පඬුර ඔප්පු කරන්න.” (මතෙව් 5:23, 24, NW) ඔබට එම උපදෙස අදාළ කරගත හැකියි. කොහොමද? ඔබගේ සහෝදරයා වෙතට යෑමට මූලික පියවර ගැනීමෙන්. කුමන පරමාර්ථය ඇතුවද? ඔහු සමඟ ‘සමාදානය ඇති කරගැනීමටයි.’b එම පරමාර්ථය ඉටු කරගැනීමට නම්, ඔහුට ඇති වී තිබෙන හිත් වේදනාව, ඔබ විසින් ප්‍රතික්ෂේප කිරීමකින් තොරව පිළිගත යුතුයි. ඔබ ඔහු වෙත එළඹෙන්නේ යළිත් සාමය ඇති කරගැනීමේ ඉලක්කය ඇතුව නම්, තවද ඔබ එම ආකල්පය දිගටම පවත්වාගන්නවා නම්, යම් වැරදි වටහාගැනීම් බොහෝ දුරට පැහැදිලි කරගන්නටත්, අදාළ පාර්ශ්වයන්ට සමාව අයදින්නටත්, සමාව දෙන්නටත් හැකි වේවි. සාමය ඇති කරගැනීමට ඔබ මුල් පියවර ගන්නා විට, ඔබ එයින් පෙන්වන්නේ ඔබ දිව්‍ය ප්‍රඥාවෙන් මඟ පෙන්වීම ලබන බවයි.
“සාධාරණව, කීකරු වීමට සූදානම්ව”
12, 13. (අ) යාකොබ් 3:17හි “සාධාරණ” යනුවෙන් පරිවර්තනය කර ඇති වචනයේ අර්ථය කුමක්ද? (ආ) අප සාධාරණ බව අපට නිරූපණය කළ හැක්කේ කොහොමද?
12 “සාධාරණව.” සාධාරණ කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? බයිබල් විශාරදයන් කියන හැටියට, යාකොබ් 3:17හි “සාධාරණ” යනුවෙන් පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනය පරිවර්තනය කිරීමට අපහසුයි. පරිවර්තකයන් “මෘදු,” “ඉවසිලිවන්ත” සහ “සැලකිලිමත්” යනුවෙනුයි එම වචනය පරිවර්තනය කර තිබෙන්නේ. නව ලෝක පරිවර්තනයෙහි පාද සටහනක අඟවා ඇත්තේ මෙහි පදගතාර්ථය “නම්‍යශීලී වීම” බවයි. ඉහළින් පැමිණෙන දිව්‍ය ප්‍රඥාවේ මෙම අංගය අප තුළ ක්‍රියාත්මක වන බව පෙන්වීමට අපට හැක්කේ කොහොමද?
13 “ඔබේ සාධාරණකම සියලු මිනිසුන්ට දැනගැනීමට සලස්වන්න” යයි පිලිප්පි 4:5හි [NW] බයිබලය කියනවා. තවත් පරිවර්තනයක කියවීමට ඇත්තේ මෙහෙමයි. “සාධාරණ පුද්ගලයෙක්ය යන කීර්ති නාමය ඇති කරගන්න.” (ද නිව් ටෙස්ටමන්ට් ඉන් මොඩර්න් ඉංග්ලිෂ්, ජේ. බී. ෆිලිප්ස් විසිනි.) මෙහිදී වැදගත්ම කාරණය වන්නේ, අප අපවම දකින විදිහ නොව නමුත් අනික් අය අපව දකින විදිහයි. එනම් අප අනුන් අතර ඇති කරගෙන තිබෙන කීර්ති නාමය කුමක්ද යන්නයි. සාධාරණ පුද්ගලයෙක් නීතිය තදින් අකුරටම ක්‍රියාත්මක කළ යුතුයි කියා හෝ තමන්ගේම ක්‍රමයට දේවල් සිදු විය යුතුයි කියා හෝ සෑම විටම තදින් කියා සිටින්නේ නැහැ. ඒ වෙනුවට, අනුන්ට සවන් දීමට හේ කැමති වෙනවා. සුදුසු අවස්ථාවලදී, ඔවුන්ගේ අදහස් උදහස්වලට නම්‍යශීලී වෙනවා. මෘදු පුද්ගලයෙකු වන ඔහු, අනුන් සමඟ කටයුතු කරන විටදී රළු හෝ සැරපරුෂ වන්නේ නැහැ. මේ ගුණාංග සියලු ක්‍රිස්තියානීන්හට අත්‍යවශ්‍ය වන අතරේදී, වැඩිමහල්ලන් ලෙස සේවය කරන අයට මෙය අතිශයින් විශේෂයි. මෘදුකම, කෙනෙකු වෙතට තවත් අයව ආකර්ෂණය කරන අතර, මෘදු වැඩිමහල්ලන් වෙතට ලෙහෙසියෙන්ම එළඹිය හැකියි. (1 තෙසලෝනික 2:7, 8) අප මේ විදිහට අපෙන්ම අහනවා නම් හොඳයි. ‘මා සැලකිලිමත්, නම්‍යශීලී හා මෘදු කෙනෙකු හැටියට කීර්ති නාමයක් ඇති කරගෙන තියෙනවාද?’
14. අප “කීකරු වීමට සූදානම්” බවට පැහැදිලිව පෙන්විය හැක්කේ කොහොමද?
14 “කීකරු වීමට සූදානම්.” “කීකරු වීමට සූදානම්” ලෙස පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනය ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිල්ලේ වෙන කොහේවත් සොයාගත නොහැකියි. එක් විශාරදයෙක් කියන හැටියට, මෙම වචනය “බොහෝ විට යොදාගැනෙන්නේ හමුදා විනයටයි.” “ඒත්තුගැන්වීමට පහසුයි” සහ “යටත් වෙනවා” යන අදහස එයින් ගෙනහැර පානවා. මේ අනුව, ඉහළින් පැමිණෙන ප්‍රඥාව මගින් පාලනය වන කෙනෙක් ශුද්ධ ලියවිල්ලේ පවසන දෙයට විගස කීකරු වෙනවා. ඔහු යම් නිගමනයක එල්බගෙන, සත්‍යයවූ කාරණා තමන් විසින් එසේ එල්බගත් මතයට පටහැනිව දිව යන නිසා ඒවා ප්‍රතික්ෂේප කරන කෙනෙක් නොවෙයි. ඒ වෙනුවට, තමන් වැරදි ක්‍රියා මාර්ගයක් ගෙන ඇති බවට හෝ වැරදිසහගත නිගමනවලට එළඹ ඇති බවට සාක්ෂි පැහැදිලිව ශුද්ධ ලියවිල්ලෙන් පෙන්වා දෙන විට, ඔහු විගස වෙනස්කම් කිරීමට උත්සුක වෙයි. අනික් අය අතර ඔබ ප්‍රසිද්ධ වී ඇත්තේ එබඳු කෙනෙකු හැටියටද?
“දයාවෙන් හා යහපත් ඵලවලින් පූර්ණව”
15. දයාව යනු කුමක්ද? යාකොබ් 3:17හි ‘දයාව’ සහ “යහපත් ඵල” එකට සඳහන් කර තිබීම ඉතා සුදුසු වන්නේ ඇයි?
15 “දයාවෙන් හා යහපත් ඵලවලින් පූර්ණව.”c දයාව යනු ඉහළින් පැමිණෙන ප්‍රඥාවේ වැදගත් කොටසක්. මන්ද එවන් ප්‍රඥාවක් “දයාවෙන් . . . පූර්ණව” තිබෙනවා. ‘දයාව’ සහ “යහපත් ඵල” යන කාරණා දෙකම එක්ව සඳහන් කර තිබෙන බව සැලකිල්ලට ගන්න. මෙය ඉතා යෝග්‍යයි. මන්ද බයිබලය තුළ දයාව කියන ගුණාංගය බොහෝ විට යොමු දක්වා තිබෙන්නේ අනුන් උදෙසා ක්‍රියාකාරි සැලකිල්ලක්, කාරුණික ක්‍රියා රැසක් උපදවන දයානුකම්පාවක් ලෙසටයි. එක් ආශ්‍රේය ග්‍රන්ථයක දයාව යන වචනය නිර්වචනය කර ඇත්තේ, “කෙනෙකුගේ කනගාටුදායක තත්වය ගැන ඇති වන ශෝකාකූල හැඟීම හා ඒ ගැන යමක් කිරීමට සෑදී පැහැදී සිටීම” යනුවෙනුයි. මෙබැවින්, දිව්‍ය ප්‍රඥාව යනු කිසි උණුසුම් ගතියක් නැතිව, උද්යෝගිමත් හැඟීමකින් තොරව, හිත් පිත් නැති විදිහට කටයුතු කිරීම නැත්නම් නිකම්ම බුද්ධියට තැන දීම හෝ ‘පොතේ හැටියට වැඩ කිරීම’ නොවේ. ඒ වෙනුවට, එය උණුසුම්, හදවතින්ම සංවේදීව සිටීමේ ගතියක් අදහස් කරයි. අප දයාවෙන් පූර්ණව සිටින බව අපට පෙන්විය හැක්කේ කොහොමද?
16, 17. (අ) දෙවි සඳහා වූ ප්‍රේමයට අමතරව, දේශනා වැඩය තුළ හවුල් වීමට අපව පොලඹවන්නේ කුමක්ද? තවද ඒ ඇයි? (ආ) අප දයාවෙන් පූර්ණව සිටින බව අපට පෙන්විය හැක්කේ කිනම් ආකාරවලින්ද?
16 සහතිකවම, මෙය කළ හැකි වැදගත්ම ක්‍රමයක් වන්නේ අනුන් සමඟ රාජ්‍යයේ ශුභාරංචිය බෙදාගැනීමයි. මෙම වැඩය කිරීමට අපව පොලඹවන්නේ කුමක්ද? මූලික වශයෙන් දෙවි සඳහා ඇති ප්‍රේමයයි. නමුත් අප දයාවෙන් හෙවත් අනුන් කෙරෙහි ඇති දයානුකම්පාවෙන්ද පෙලඹෙනවා. (මතෙව් 22:37-39) අදදින බොහෝදෙනෙක් “එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස්” සිටිනවා. (මතෙව් 9:36) බොරු ආගමික එඬේරුන් විසින් බොහෝදෙනෙකුව නොසලකා හැර, ආත්මිකව අන්ධ කර තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, දෙවිගේ වචනයෙන් සොයාගත හැකි ප්‍රඥාවන්ත මඟ පෙන්වීම ගැනවත්, රාජ්‍යය මගින් මේ පොළොවට ගෙනෙනු ලබන ආශීර්වාද ගැනවත් ඔවුන් දන්නේ නැහැ. මේ අයුරින් අප අවට සිටින අයගේ ආත්මික අවශ්‍යතා ගැන කල්පනා කරන විට, යෙහෝවාගේ ප්‍රේමනීය අරමුණ ගැන ඔවුන්හට පැවසීම සඳහා අපට කළ හැකි සියල්ල කිරීමට අපගේ හෘදයාංගම දයානුකම්පාව අපව පොලඹවනවා.
17 අප දයාවෙන් පූර්ණ බව අපට පෙන්විය හැක්කේ වෙනත් කුමන ක්‍රමවලින්ද? සමරිතානුවරයා පිළිබඳ යේසුස් දුන් නිදර්ශනය මතක් කරන්න. මෙම සමරිතානුවරයා දුටුවේ සොරුන් විසින් මංකොල්ල කනු ලැබ පහර කා පාරේ පැත්තක වැටී සිටි මඟියෙක්. දයානුකම්පාවෙන් පෙලඹුණු සමරිතානුවරයා, “දයාන්විතව ක්‍රියා කළේ” [NW] ඊට ගොදුරු වූ තැනැත්තාගේ තුවාල බැඳීමෙන් හා අනතුරුව ඔහු කෙරෙහි සැලකිල්ල දැක්වීමෙනුයි. (ලූක් 10:29-37) අවශ්යතාවන්ගෙන් පෙළෙන අයහට ප්‍රායෝගික උපකාරය ලබා දීම දයාවට අයත් බව මින් අපට කියා දෙන්නේ නැද්ද? “සියල්ලන්ගේ යහපත උදෙසා වැඩ කරමු. නමුත් විශේෂයෙන්ම අප හා ඇදහිල්ලෙන් බැඳී සිටින අයට යහපත්කම් කරමු” යයි බයිබලය අපට කියනවා. (ගලාති 6:10, NW) මෙය කළ හැකි අවස්ථා කිහිපයක් ගැන සලකා බලන්න. වයස්ගත සහෝදරයෙකුට හෝ සහෝදරියකට ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑමට සහ ඒමට ප්‍රවාහණ අවශ්‍යතාවක් තිබෙනවා වෙන්නට පුළුවනි. සභාවේ සිටින වැන්දඹු සහෝදරියකගේ නිවසේ යම් අලුත්වැඩියාවන් කිරීමේ අවශ්‍යතාවක් තිබිය හැකියි. (යාකොබ් 1:27) අධෛර්යය වී සිටින කෙනෙකුට සැනසිල්ල සඳහා “කරුණා සහිත වචනයක්” අවශ්‍ය වී සිටින්නට පුළුවනි. (හිතෝපදේශ 12:25) අප එවන් ආකාරවලින් දයාව පෙන්වද්දී අප පැහැදිලිව පෙන්වන්නේ අප තුළ ඉහළින් පැමිණෙන ප්‍රඥාව තිබෙන බවයි.
“පක්ෂග්රාහී නොවන, කුහකකමින් තොර”
18. අප ඉහළින් පැමිණෙන ප්‍රඥාව මගින් මඟ පෙන්වනු ලබනවා නම්, අපගේ හදවත්වලින් කුමක් මුලිනුපුටා දැමීම පිණිස අප මහත් වෑයමක් දැරිය යුතුද? තවද ඒ ඇයි?
18 “පක්ෂග්රාහී නොවන.” දිව්‍ය ප්‍රඥාව වාර්ගික අගතිය සහ ජාතික මමත්වයට වඩා ඉහළින් වැජඹෙනවා. අප එම ප්‍රඥාවේ මඟ පෙන්වීම ලබනවා නම්, ඕනෑම විදිහකින් යමෙකුගේ පැත්ත ගෙන ඔහුට විශේෂ අනුග්‍රහයක් දැක්වීමට අපගේ සිත් තුළ ඇති විය හැකි මොනයම් ප්‍රවණතාවක් හෝ මුලිනුපුටා දැමීමට මහත් වෑයමක් දරනු ඇති. (යාකොබ් 2:9) කෙනෙකුගේ අධ්‍යාපන පසුබිම මත, ආර්ථික වත්පොහොසත්කම් මත, හෝ සභාවේ ඔහු දරන වගකීම් නිසා අප ඔහුට විශේෂ මනාපයක්, විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඒ වගේම අපගේ සෙසු සහෝදරයෙක් හෝ සහෝදරියක් බොහෝ දිළිඳු හෝ සමාජ මට්ටමින් පහත්යයි ලෝකයා විසින් සලකනු ලැබුවද අප එවැනි කෙනෙකුව කිසිම විටක පහත් කොට සලකන්නේ නැහැ. යෙහෝවා එවැනි අයට ඔහුගේ ප්‍රේමය ලැබීමට ප්‍රස්තාව සලසා තිබෙනවා නම්, ඔවුන් අපගේ ප්‍රේමයත් ලැබීමට වටිනා අය ලෙස අප අනිවාර්යයෙන්ම සිතිය යුතුමයි.
19, 20. (අ) “කුහකකම” සඳහා වූ ග්‍රීක් වචනයේ පසුබිම කුමක්ද? (ආ) අප “කුහකකමින් තොර වූ සහෝදර ස්නේහය” පැහැදිලිව පෙන්වන්නේ කෙසේද? තවද මෙය වැදගත් ඇයි?
19 “කුහකකමින් තොර.” “කුහකකම” යන්න සඳහා වූ ග්‍රීක් වචනය “යම් නාට්‍යයක යම් චරිතයක් රඟ දක්වන නළුවෙකුට” යොමු දැක්විය හැකියි. ඉපැරණි කාලවල, ග්‍රීක් සහ රෝම නළුවන් රඟද්දී විශාල වෙස් මුහුණු පැළඳුවා. මෙබැවින්, “කුහකකම” යන්න සඳහා වූ ග්‍රීක් වචනය අදාළ වූයේ බොරු මවාපෑමක් හෝ රඟපෑමක් කරන කෙනෙකුටයි. දිව්‍ය ප්‍රඥාවේ මෙම අංගය, අප සෙසු නමස්කාරකයන්ට සලකන ආකාරය කෙරෙහි පමණක් නොව, නමුත් අපට ඔවුන් ගැන හැඟෙන ආකාරයටද බලපෑම් කළ යුතුයි.
20 ප්‍රේරිත පේතෘස් සටහන් කළ වැදගත් දෙයක් මෙන්න. “සත්‍යතාවට කීකරු වීම” නිසා “කුහකකමින් තොර වූ සහෝදර ස්නේහය” අප තුළ ඇති විය යුතුයි. (1 පේතෘස් 1:22, NW) ඔව්, අප සහෝදරයන්ට දක්වන ස්නේහය බාහිර පෙනුමට හෝ ප්‍රදර්ශනය සඳහා නොකළ යුතුයි. වෙනත් අයව රැවටීම සඳහා අප වෙස් මුහුණු දමාගන්නේවත්, රඟපාන්නේවත් නැහැ. අපගේ ස්නේහය අව්‍යාජ විය යුතුයි. අවංක විය යුතුයි. හද පත්ලෙන්ම පැන නැඟිය යුතුයි. එය එසේ නම්, සෙසු ඇදහිලිවන්තයන්ගේ විශ්වාසය අපි දිනාගන්නෙමු. මන්ද මතු පිටින් දකින මේ පුද්ගලයාම තමයි ඇතුළෙනුත් ඉන්නේ කියා ඔවුන් අප ගැන සිතනු ඇති. එවන් අවංකකමක් පවතින විට විවෘත, අවංක සම්බන්ධතාවන් ක්‍රිස්තියානීන් අතර ඇතිවීමට මඟ පෑදෙයි. ඉන් සිදු වන්නේ අන්‍යොන්‍ය විශ්වාසයේ වාතාවරණයක් සභාව තුළ බිහිවීමයි.
“ප්‍රායෝගික ප්‍රඥාව . . . රැකගන්න”
21, 22. (අ) සාලමොන් ප්‍රායෝගික ප්‍රඥාව රැකගැනීමට අසමත් වූයේ කොහොමද? (ආ) අපට ප්‍රඥාව රැකගත හැක්කේ කොහොමද? එසේ කිරීමෙන් අපට ප්‍රයෝජන ලැබිය හැක්කේ කොහොමද?
21 දිව්‍ය ප්‍රඥාව යනු යෙහෝවාගෙන් ලැබෙන ත්‍යාගයක්. එය අප විසින් රැකගත යුතු දෙයක්. සාලමොන් පැවසුවේ මෙසේයි. “මාගේ පුත්‍රය, . . . ප්‍රායෝගික ප්‍රඥාවද සිතීමේ හැකියාවද රැකගන්න.” (හිතෝපදේශ 3:21, NW) කනගාටුවට කාරණයක් නම්, සාලමොන්ම එය කිරීමට අසමත් වීමයි. කීකරු හදවතක් පවත්වාගන්නා තාක් කල්, ඔහු ප්‍රඥාවන්ත රජෙකු ලෙස කටයුතු කළා. නමුත්, අන්තිමේදී ඔහුට සිටි බොහෝ අන්‍ය ජාතික භාර්යාවන් ඔහුගේ හදවත යෙහෝවාට පුද කළ නිර්මල නමස්කාරයෙන් ඉවතට හැරෙව්වා. (1 රාජාවලිය 11:1-8) සාලමොන්ගේ අවසානය දෙස බලද්දී අපට පැහැදිලිව යමක් දකින්නට තිබෙනවා. ඒ තමයි, අපට තිබෙන දැනුම හොඳින්, නිසි පරිදි භාවිත කරන්නේ නැත්නම් ඒ දැනුමෙන් කිසිම වැඩක් නැති බව.
22 ප්‍රායෝගික ප්‍රඥාව රැකගැනීමට අපට පුළුවන් වන්නේ කොහොමද? අප බයිබලය සහ “විශ්වාස වූ නුවණ ඇති දාසයා” විසින් සපයනු ලබන බයිබලය මත පදනම් ප්‍රකාශන නිතිපතා කියවිය යුතුවා පමණක් නොව, නමුත් අප ඉගෙනගන්නා දෙය අදාළ කරගැනීමටද මහත් වෙහෙසක් දැරිය යුතුයි. (මතෙව් 24:45) දිව්‍ය ප්‍රඥාව අදාළ කරගැනීමට අපට හේතු රැසක්ම තිබෙනවා. ඉන් අදහස් කරන්නේ දැන් පවා වඩා හොඳ ජීවිතයක් අපට ලැබීමයි. එය අපට ‘සැබෑ ජීවනය අල්ලාගැනීමට,’ එනම් දෙවිගේ නව ලෝකය තුළ ජීවනය අත් කරගැනීමටත් හැකියාව ලබා දෙනවා. (1 තිමෝති 6:19) තවද අතිවැදගත්ම දේ නම්, ඉහළින් පැමිණෙන ප්‍රඥාව වගා කිරීමෙන්, සියලු ප්‍රඥාවේ උල්පත වන යෙහෝවා දෙවිට අප තව තවත් ළංවීමයි.
[පාදසටහන්වල]
a පළමුවෙනි රාජාවලිය 3:16 අනුව, මේ ස්ත්‍රීන් දෙදෙනා ගණිකාවන්. ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (සිංහලෙන් නැත) යන ප්රකාශනය මෙසේ සඳහන් කරනවා. “මෙම ස්ත්‍රීන් දෙදෙනා ගණිකාවන් විය හැකියි. නමුත් ඔවුන් වෘත්තිමය ගණිකාවන් නොව නමුත් වේශ්‍යාකම් කළ ස්ත්‍රීන් විය හැකියි. මොවුන් එක්කෝ යුදෙව් ස්ත්‍රීන් නැතහොත් යම් විදේශීය ජාතියකින් පැවතෙන්නියන් විය හැකියි.”—යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් පළ කරන ලදි.
b “සමාදානය ඇති කරගන්න” යනුවෙන් පරිවර්තනය කර ඇති ග්‍රීක් ප්‍රකාශය පැමිණෙන්නේ “‘වෙනසක්, හුවමාරුවක් සිදු කිරීම,’ එනයින් ‘සමගි කරගැනීම’” යන අරුත් ඇති ක්‍රියා පදයකින්. එබැවින් ඔබගේ ඉලක්කය වනුයේ වෙනසක් කිරීමයි. සිත රිදවනු ලැබූ තැනැත්තාගේ ‘හිතේ තිබෙන කහට’ හැකි නම් ඉවත් කිරීමයි.—රෝම 12:18.
c තවත් පරිවර්තනයක මෙම වචන පරිවර්තනය කර ඇත්තේ “දයානුකම්පාවෙන් හා හොඳ වැඩවලින් පිරී” යනුවෙනුයි.—චාල්ස් බී. විලියම්ස් විසින් රචිත A Translation in the language of the People.
මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න
ද්විතීය කථාව 4:4-6 අප ප්‍රඥාවන්ත බව අපටම ඔප්පු කළ හැක්කේ කොහොමද?
ගීතාවලිය 119:97-105 අප දෙවිගේ වචනය මහන්සි වී අධ්‍යයනය කොට අදාළ කරගන්නවා නම්, අප ප්‍රයෝජන ලබනු ඇත්තේ කොහොමද?
හිතෝපදේශ 4:10-13, 20-27 අපට යෙහෝවාගේ ප්‍රඥාව අවශ්‍ය වනුයේ ඇයි?
යාකොබ් 3:1-16 සභාවේ අධීක්ෂණ කටයුතු පවරා ඇති අයට තමන් ප්‍රඥාවන්ත බවත්, අවබෝධයෙන් කටයුතු කරන බවත් පෙන්විය හැක්කේ කොහොමද?
[223වන පිටුවේ පින්තූරය]
දිව්‍ය ප්‍රඥාව අත් කරගැනීම පිණිස, එය හාරා බැලීමට අප යත්න දැරිය යුතුයි
[227වන පිටුවේ පින්තූරය]
අනුන්හට දයාව හෙවත් දයානුකම්පාව පෙන්වන විට, අප පිළිබිඹු කරන්නේ ‘ඉහළින් පැමිණෙන ප්රඥාවයි’