දහනවවන පරිච්ඡේදය
දෙවිගේ වචනය නිර්භීත ලෙස නොනවත්වාම කතා කරන්න
1. (අ) යේසුස්ගේ ගෝලයන් ප්‍රකාශ කළ ශුභාරංචිය කුමක්ද? එහෙත්, සමහර යුදෙව්වන් ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? (ආ) අප අසාගත යුතු ප්‍රශ්න මොනවාද?
අවුරුදු 2,000කට ආසන්න කාලයකට පෙර, දෙවිගේ පුත් යේසුස් ක්‍රිස්තුස්ව මුළු පොළොවේම අනාගත රජු ලෙස ආලේප කරනු ලැබීය. ආගමික සතුරන්ගේ කුමන්ත්‍රණයක් හේතුවෙන් යේසුස්ව මරනු ලැබුවත්, යෙහෝවා ඔහුව මළවුන්ගෙන් නැඟිට්ටෙව්වේය. මෙසේ යේසුස් තුළින් සදාකාල ජීවනය ලැබීමට හැකියාව ලැබී තිබේ. කෙසේවෙතත්, යේසුස්ගේ ගෝලයන් එම ශුභාරංචිය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ විට දිගට හරහට පීඩා එන්ට පටන්ගත්තේය. සමහරුන්ව සිරගෙවලට යවනු ලැබූ අතර, සමහරුන්ට තළා යේසුස් ගැන කතා කිරීම නවත්වන ලෙස අණ කරන ලදි. (ක්‍රියා 4:1-3, 17; 5:17, 18, 40) එවිට ඔවුහු කුමක් කළෝද? ඔබ එදා සිටියා නම් ඔබ කුමක් කරනු ඇද්ද? ඔබ නිර්භීත ලෙස නොනවත්වාම සාක්ෂි දරමින් සිටිනු ඇද්ද?
2. (අ) අපේ දවසේදී ප්‍රකාශ කිරීමට තිබෙන මවිතකර පණිවිඩය කුමක්ද? (ආ) ශුභාරංචිය දේශනා කිරීමේ වගකීම තිබෙන්නේ කාටද?
2 වර්ෂ 1914දී, දෙවිගේ රාජ්‍යයේ රජ වන යේසුස් ක්‍රිස්තුස් ‘ඔහුගේ සතුරන් මැද’ පාලනය කිරීම සඳහා ස්වර්ගයෙහි සිංහාසනාරූඪ විය. (ගීතාවලිය 110:2) ඊළඟට, සාතන්වත් ඔහුගේ භූතයන්වත් මේ පොළොවට හෙළනු ලැබීය. (එළිදරව් 12:1-5, 7-12) ඒ සමඟම, වර්තමාන දුෂ්ට ක්‍රමයේ අවසාන දවස් ආරම්භ විය. එම කාලපරිච්ඡේදය අවසන් වෙනවාත් සමඟම, දෙවි සාතන්ගේ මුළු ක්‍රමයම සුන්නද්දූලි කරනු ඇත. (දානියෙල් 2:44, 45; මතෙව් 24:21) ඉන් ගැළවෙන අයට පාරාදීසයක් බවට පරිවර්තනය වන්නාවූ පොළොවක සදාකාල ජීවනයේ අපේක්ෂාව හිමි වනු ඇත. ඔබ මේ ශුභාරංචිය හදවතින්ම වැලඳගෙන සිටින්නෙකු නම්, එය අන් අය සමඟ බෙදාගැනීමට ඔබට වුවමනා වනු නිසැකය. (මතෙව් 24:14) එහෙත්, ඔබට කිනම් ආකාරයේ ප්‍රතිචාරයක් අපේක්ෂා කළ හැකිද?
3. (අ) මිනිසුන් රාජ්‍ය පණිවිඩයට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? (ආ) අප මුහුණ දිය යුතු ප්‍රශ්නය කුමක්ද?
3 ඔබ රාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශ කරන විට, සමහරු එය කැමැත්තෙන් පිළිගනිති. එහෙත්, බහුතරයක් ඊට ප්‍රතිචාරය දක්වන්නේ උදාසීනවය. (මතෙව් 24:37-39) සමහරුන් සමච්චල් කරනු හෝ විරුද්ධකම් පානු ඇත. තමන්ගේ නෑදෑයන්ගෙන් පවා විරුද්ධකම් පැමිණිය හැකි බවට යේසුස් අනතුරු ඇඟවීය. (ලූක් 21:16-19) විරෝධතා ඔබේ රැකියා ස්ථානයෙන් නැතහොත් පාසැලෙන්ද පැමිණිය හැකිය. සමහර රටවල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දේශනා සේවය ආණ්ඩුවෙන් තහනම් කර තිබේ. එවැනි තත්වයන්ට මුහුණ දීමට සිදු වන විට, ඔබ දෙවිගේ වචනය නිර්භීත ලෙස නොනවත්වාම කතා කරමින් ‘ඇදහිල්ලේ ස්ථිරව සිටිනු ඇද්ද?’—1 කොරින්ති 16:13.
අපේම ශක්තිය මත රඳා නොසිටීම
4. (අ) අප දෙවිගේ ඇදහිලිවන්ත සේවකයන් බව ඔප්පු කිරීමට නම් ඉටු කළ යුත්තේ කිනම් මූලික අවශ්‍යතාවක්ද? (ආ) ක්‍රිස්තියානි රැස්වීම් එතරම්ම වැදගත් වන්නේ මන්ද?
4 යෙහෝවාගේ ඇදහිලිවන්ත සේවකයෙකු වීමට නම් ඔහු අපේ ආත්මික අභිවෘද්ධිය තකා දෙන සැපයුම් මත රඳා සිටීම අත්‍යවශ්‍යය. මේවායින් එකක් නම් සභා රැස්වීම්ය. රැස්වීම් නොසලකා නොහරින ලෙස ශුද්ධ ලියවිල්ල අපෙන් උදක්ම ඉල්ලා සිටියි. (හෙබ්‍රෙව් 10:23-25) යෙහෝවාගේ ඇදහිලිවන්ත සාක්ෂිකරුවන් ලෙස දිගු කලක් පුරා සේවය කර ඇති අය සෙසු නමස්කාරකයන් සමඟ නිතිපතා රැස්වීම්වලට යෑම සඳහා දැඩි වෙහෙසක් දරා ඇත. මේ රැස්වීම්වලදී ශුද්ධ ලියවිල්ල පිළිබඳ අපේ දැනුම වැඩිවර්ධනය වේ. අප හොඳින් දන්නාවූ සත්‍යයන් පිළිබඳ දැනුම වැඩි වෙන්ට වැඩි වෙන්ට ඒවා යොදාගැනීමට තිබෙන මාර්ග ගැන ඇති අවබෝධයද තියුණු වනු ඇත. එමෙන්ම නමස්කාරයේ එක්සත්ව සිටින අපේ ක්‍රිස්තියානි සහෝදරයන් වෙතට අප වඩා සමීප වන අතර, දෙවිගේ කැමැත්ත කිරීම සඳහා ඔවුන් හා එක් වන්නෙමු. යෙහෝවාගේ ආත්මය සභාව තුළින් මඟ පෙන්වීම සපයන අතර, ඔහුගේ ආත්මය තුළින් යේසුස් අප අතරේ සිටින්නේය.—මතෙව් 18:20; එළිදරව් 3:6.
5. තහංචි මධ්‍යයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔවුන්ගේ රැස්වීම් සම්බන්ධයෙන් කරන්නේ කුමක්ද?
5 ඔබ සියලුම රැස්වීම්වලට නොකඩවාම පැමිණෙනවාද? සාකච්ඡා කරන කරුණු ඔබ පෞද්ගලිකව අදාළ කරගන්නවාද? යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට තහංචි දමා තිබෙන අවස්ථාවලදී, කුඩා කණ්ඩායම් වශයෙන් නිවෙස්වල රැස්වීම් පවත්වන්ට සිදු වේ. එවිට ස්ථානය හා වේලාව වෙනස් විය හැකිය. එය හැමෝටම පහසු වේලාවක් නොවන්ට පුළුවන. සමහර රැස්වීම් හොඳටම රෑ බෝවී පැවැත්වීමට සිදු වේ. එහෙත්, පෞද්ගලික අපහසුතා හා අනතුරු මැද පවා මේ සෑම රැස්වීමකටම පැමිණ සිටීම සඳහා ඇදහිලිවන්ත සහෝදර සහෝදරියෝ අවංක වෑයමක් දරති.
6. යෙහෝවා මත රඳා සිටින බව අප විදහාපාන්නේ කෙසේද? නොනවත්වාම නිර්භීත ලෙස කතා කරමින් සිටීම සඳහා මෙය අපට උපකාරවත් වන්නේ කෙසේද?
6 නොකඩවාම හෘදයාංගම යාච්ඤාවෙන් යෙහෝවා වෙත යොමුවීමෙන් ඔහු මත රඳා සිටීම වැඩිදියුණු කරගත හැකිය. එසේ කරද්දී දෙවිගේ උපකාරය අපට කොතරම් අවශ්‍යදැයි දැනේ. ඔබ එසේ කරනවාද? යේසුස් තම භූමික දේවසේවය තුළදී නිබඳවම එසේ කළේය. (ලූක් 3:21; 6:12, 13; 22:39-44) ඔහුව ඇණ ගැසීමට පෙර දා රාත්‍රියේදී, ඔහු තම ගෝලයන්ගෙන් උදක්ම මෙසේ ඉල්ලා සිටියේය. “වරදට නොපෙලඹෙන පිණිස සෝදිසියෙන් සිට යාච්ඤා කරන්න.” (මාර්ක් 14:38, NW) රාජ්‍ය පණිවිඩයට නිසි ප්‍රතිචාරයක් නොලැබේ නම්, අපේ දේවසේවයේ වේගය බාල කිරීමට අප තුළ පෙලඹීමක් ඇති විය හැකිය. ජනයා අපට සමච්චල් කරයි නම් හෝ පීඩා ගෙනෙයි නම්, ගැටලු වළක්වාගැනීම සඳහා නිහඬව සිටීමටද අප පෙලඹෙන්ට පුළුවන. එහෙත්, නොනවත්වාම නිර්භීත ලෙස කතා කිරීම සඳහා උපකාර කරන්ට දෙවිගේ ආත්මය ඉල්ලා අප උනන්දුවෙන් යාච්ඤා කරනවා නම්, එම පරීක්ෂාවලට ගොදුරු නොවී අප ආරක්ෂා වනු ඇත.—ලූක් 11:13; එපීස 6:18-20.
නිර්භීත ලෙස සාක්ෂි දැරීම පිළිබඳ වාර්තාවක්
7. (අ) ක්‍රියා පොතේ අඩංගු වාර්තාව අපට විශේෂ වැදගත්කමකින් යුක්ත වන්නේ මන්ද? (ආ) එම තොරතුරු අපට ප්‍රයෝජනවත් වන්නේ කෙසේදැයි උලුප්පා දක්වමින් මේ ඡේදය අවසානයේ දී ඇති ප්‍රශ්නවලට උත්තර දෙන්න.
7 ක්‍රියා පොතේ අඩංගු වාර්තාව අප සියලුදෙනාටම විශේෂ වැදගත්කමකින් යුක්තය. අප හා සමාන හැඟීම් තිබූ ප්‍රේරිතයන් හා අනිකුත් මුල් ගෝලයන් බාධා අභිභවා යමින් තමන් යෙහෝවාගේ ඇදහිලිවන්ත හා නිර්භීත සාක්ෂිකරුවන් බව ඔප්පු කළ ආකාරය ගැන එහි පවසයි. මීළඟට සඳහන් ප්‍රශ්න හා බයිබල් පද ආධාරයෙන් එම වාර්තාවෙන් කොටසක් විමසා බලමු. එසේ කරන විට, ඔබ කියවන දෙයින් පෞද්ගලිකව ප්‍රයෝජන ලබන්නේ කෙසේද කියා සලකා බලන්න.
ප්‍රේරිතයන් ඉතා උසස් අධ්‍යාපනයක් ලැබූ මිනිසුන් වීද? කුමක් සිදු වුවත්, නිර්භීතව කටයුතු කිරීමට ඔවුන් උපතෙන්ම සමත් අය වීද? (යොහන් 18:17, 25-27; 20:19; ක්‍රියා 4:13)
දෙවිගේ පුත්‍රයාව මරණයට පත් කළ යුදෙව් මන්ත්‍රණ සභාව ඉදිරියේ නිර්භීත ලෙස කතා කිරීමට පේතෘස්ට හැකි කරවූයේ කුමක්ද? (මතෙව් 10:19, 20; ක්‍රියා 4:8)
යුදෙව් මන්ත්‍රණ සභාව ඉදිරියට ගෙන ඒමට පෙර සතිවලදී ප්‍රේරිතවරුන් කරමින් සිටියේ කුමක්ද? (ක්‍රියා 1:14; 2:1, 42)
නායකයන් විසින් යේසුස්ගේ නාමයෙන් දේශනා කිරීම නවත්වන ලෙස නියෝග කළ විට, පේතෘස් හා යොහන් ඊට පිළිතුරු දුන්නේ කෙසේද? (ක්‍රියා 4:19, 20)
තමන්ව නිදහස් කළ පසුවත්, උපකාරය පතා ප්‍රේරිතයන් යොමු වූයේ කා වෙතටද? ඔවුන් යාච්ඤා කළේ පීඩා නතර කරන්ට කියාද? (ක්‍රියා 4:24-31)
විරුද්ධවාදීන් දේශනා වැඩය නතර කිරීමට උත්සාහ කරද්දී, යෙහෝවා උපකාරය සපයන්නේ කිනම් ආකාරයටද? (ක්‍රියා 5:17-20)
තමන්ව නිදහස් කළ හේතුව තමන් දැනගෙන සිටි බව ප්‍රේරිතයන් පෙන්වූයේ කෙසේද? (ක්‍රියා 5:21, 41, 42)
පීඩා නිසා ගෝලයන් බොහෝදෙනෙකුව විසුරුවා හැරිය විට, ඔවුහු දිගටම කුමක් කළෝද? (ක්‍රියා 8:3, 4; 11:19-21)
8. මුල් ගෝලයන්ගේ දේවසේවය තුළින් පැමිණි සිත්ගන්නාසුලු ප්‍රතිඵල මොනවාද? අප එහි කොටස්කරුවන් බවට පත්ව ඇත්තේ කෙසේද?
8 ශුභාරංචිය දේශනා කිරීමේ වැඩය නිරර්ථක දෙයක් වූයේ නැත. පොදු යුගයේ 33 පෙන්තකොස්ත දිනයේදී, ගෝලයන් 3,000ක් පමණ බව්තීස්ම කරනු ලැබීය. “ස්වාමීන් කෙරෙහි අදහන්නන් වූ පුරුෂයන්ගෙන්ද ස්ත්‍රීන්ගෙන්ද යුත් සමූහයෝ දිගටම ඔවුන්ට එකතු වූහ.” (ක්‍රියා 2:41; 4:4; 5:14, NW) කාලයාගේ ඇවෑමෙන්, දෙවිගේ සෙනඟට මාරාන්තික ලෙස පීඩා කරන්නෙක් වූ තාර්සස්හි සාවුල්ද ක්‍රිස්තියානිවරයෙකු බවට පත් වී නිර්භීත ලෙස සත්‍යය පිළිබඳව සාක්ෂි දැරීමට පටන්ගත්තේය. ඔහුව පසුව ප්‍රේරිත පාවුල් ලෙස හඳුන්වනු ලැබීය. (ගලාති 1:22-24) මුල් සියවසේදී ආරම්භ කළ වැඩය තවම නැවතී නැත. මේ අවසාන කාලයේදී පොළොවේ අස්සක් මුල්ලක් නෑර එම වැඩය ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇත. එහි හවුල් වීමේ වරප්‍රසාදය අපටද තිබේ. අප එය කරන විට, අපට පෙර කාලවලදී සේවය කළාවූ පක්ෂපාත සාක්ෂිකරුවන්ගේ ආදර්ශයෙන් ඉගෙනගන්ට අපට පුළුවන.
9. (අ) සාක්ෂි දැරීමට පාවුල් යොදාගත්තේ කිනම් ප්‍රස්තාවන්ද? (ආ) රාජ්‍ය පණිවිඩය අන් අය අතර පැතිරවීමට ඔබ යොදාගන්නේ කිනම් ප්‍රස්තාවන්ද?
9 පාවුල් යේසුස් ක්‍රිස්තුස් ගැන සත්‍යය ඉගෙනගත් විට, ඔහු කළේ කුමක්ද? “ඔහු නොපමාව, යේසුස් ගැන, එනම් ඔහු දෙවිගේ පුත්‍රයා බව . . . දේශනා කරන්න පටන්ගත්තේය.” (ක්‍රියා 9:20, NW) දෙවි තමන් කෙරෙහි වැගිරවූ මහත් කරුණාව ඔහු අගය කළ අතර, තමා ලද ශුභාරංචිය සෑමදෙනාම ලැබිය යුතු බව වටහාගත්තේය. පාවුල් යුදෙව්වෙක් විය. එබැවින් එදා පැවති චාරිත්‍රයට අනුව, සාක්ෂි දැරීමට ඔහු සිනගෝගයට ගියේය. ඔහු ගෙයින් ගෙට ගොස්ද සාක්ෂි දැරූ අතර, වෙළඳාම්පොළේ සිටි මිනිසුන්ටද කාරණා තර්කානුකූලව පෙන්වීය. ශුභාරංචිය දේශනා කිරීම සඳහා අලුත් ප්‍රදේශවලට යෑමටද ඔහු කැමැත්තෙන් සිටියේය.—ක්‍රියා 17:17; 20:20; රෝම 15:23, 24.
10. (අ) නිර්භීත වුවත්, සාක්ෂි දැරූ ආකාරයෙන් පාවුල් විචාර බුද්ධිය පාවිච්චි කළ බව පෙන්වූයේ කෙසේද? (ආ) නෑදෑයන්ට, රැකියාවේ සෙස්සන්ට හෝ පාසැලේ ළමයින්ට සාක්ෂි දැරීමේදී පාවුල්ගේ ගුණාංග විදහාපෙන්වීමට අපට හැක්කේ කෙසේද?
10 පාවුල් නිර්භීත වුවත්, විචාර බුද්ධියෙන් යුතුව කටයුතු කළේය. අපත් එසේම ක්‍රියා කළ යුතුය. දෙවි යුදෙව්වන්ගේ ආදි පියවරුන්ට දුන් පොරොන්දු මතක් කරමින් ඔහු යුදෙව්වන්ට ආයාචනා කළේය. ග්‍රීක්වරුන්ට ඔවුන්ට හුරුපුරුදු දේවල් පදනමක් සේ යොදාගෙන කතා කළේය. ඇතැම් අවස්ථාවලදී, සත්‍යය ඉගෙනගැනීම සම්බන්ධයෙන් තමාගේම අද්දැකීම සාක්ෂියක් දැරීමට මාධ්‍යයක් ලෙස ඔහු පාවිච්චි කළේය. ඔහු මෙසේ කීවේය. “මා සියල්ල කරන්නේ ශුභාරංචිය වෙනුවෙන්ය. එසේ කරන්නේ අන් අය සමඟ මා එහි පංගුකාරයෙක් වන පිණිසය.”—1 කොරින්ති 9:20-23, NW; ක්‍රියා 22:3-21.
11. (අ) විරුද්ධවාදීන් සමඟ යළි යළිත් ගැටීමෙන් වැළකීම සඳහා පාවුල් කළේ කුමක්ද? (ආ) ඥානවන්ත ලෙස පාවුල්ගේ ආදර්ශය අනුගමනය කිරීමට අපට හැක්කේ කිනම් අවස්ථාවලදීද? කෙසේද? (ඇ) නිර්භීත ලෙස නොනවත්වා කතා කිරීමට ශක්තිය පැමිණෙන්නේ කොහෙන්ද?
11 විරුද්ධවාදීන් සමඟ යළි යළිත් ගැටෙනවා වෙනුවට, විරුද්ධවාදිකම් නිසා කාලයකට වෙනත් ප්‍රදේශයකට ගොස් දේශනා කිරීම යෝග්‍ය බව පෙනුණු විට ඔහු එසේ කළේය. (ක්‍රියා 14:5-7; 18:5-7; රෝම 12:18) එහෙත්, ඔහු ශුභාරංචිය ගැන කිසිවිටෙකත් ලැජ්ජා වූයේ නැත. (රෝම 1:16) ගරු සරු නැති, ඇතැම්විට සාහසික විරුද්ධවාදීන් ඔහුට සැලකූ ආකාරය ඉතා අමිහිරි වුවත්, නොනවත්වාම දේශනා කරමින් සිටීම සඳහා පාවුල් ‘අපගේ දෙවි තුළ නිර්භීතව’ සිටියේය. ඔහු මෙසේ කීවේය. ‘මා කරණකොටගෙන පණිවිඩය සම්පූර්ණ ලෙස ප්‍රකාශ වන පිණිස ස්වාමීන් මා ළඟ සිට මා ශක්තිමත් කළේය.’ (1 තෙසලෝනික 2:2; 2 තිමෝති 4:17) අපේ දවස සම්බන්ධයෙන් පුරෝකථනය කළ වැඩය සඳහා අවශ්‍ය ශක්තිය ක්‍රිස්තියානි සභාවේ හිස වන යේසුස් දිගටම සපයමින් සිටින්නේය.—මාර්ක් 13:10.
12. ක්‍රිස්තියානි නිර්භීතකම ගැන සාක්ෂි දෙන්නේ කුමක්ද? ඊට පදනම කුමක්ද?
12 යේසුස් හා මුල් සියවසේ සිටි දෙවිගේ ඇදහිලිවන්ත සේවකයන් කළා සේ දෙවිගේ වචනය නිර්භීත ලෙස නොනවත්වාම කතා කිරීම සඳහා අපට අපමණ හේතු ඇත. මේ පණිවිඩය අසන්ට කැමති නැති අය ගැන නොතකා ඔවුන්ට එය බලහත්කාරයෙන් පොවන්ට යනවායැයි මින් අදහස් කරන්නේ නැත. මිනිසුන් යහපත් ප්‍රතිචාරයක් නොදක්වන නිසාම හෝ විරුද්ධවාදිකම් පැනනඟින නිසාම අප අපේ වැඩය අතහැර දමන්නේද නැත. මුළු පොළොවටම ගැළපෙන සුදුසුම ආණ්ඩුව දෙවිගේ රාජ්‍යය බව වටහාගෙන යේසුස් මෙන් අපිද ඒ වෙත යොමු වී සිටින්නෙමු. අප මේ පණිවිඩය ගැන කතා කරන්නේ දැඩි ආත්ම විශ්වාසයකින් යුතුවය. මන්ද, අප නියෝජනය කරන්නේ විශ්වයේ පරමාධිපති යෙහෝවාව නිසාත් මේ පණිවිඩය අපේ එකක් නොව ඔහුගේ එකක් වන නිසාත්ය. එමෙන්ම, ඔහුව ප්‍රශංසාවට පත් කිරීමට අපව පොලඹවන ප්‍රබලතම චේතනාව යෙහෝවා කෙරෙහි ඇති අපේ ප්‍රේමය විය යුතුය.—පිලිප්පි 1:27, 28; 1 තෙසලෝනික 2:13.
පුනරීක්ෂණ සාකච්ඡාව
• හැකි සෑමදෙනා සමඟම රාජ්‍ය පණිවිඩය බෙදාගැනීම වැදගත් වන්නේ මන්ද? එහෙත් කිනම් ප්‍රතිචාර අපේක්ෂා කළ හැකිද?
• යෙහෝවාට සේවය කිරීම සඳහා අප අපේම ශක්තිය මත රඳා නොසිටින බව අපට පෙන්විය හැක්කේ කෙසේද?
• ක්‍රියා පොතෙන් අප ඉගෙනගන්නේ කිනම් වටිනා පාඩම්ද?
[173වන පිටුවේ පින්තූර]
අතීතයේදී මෙන් අදත්, යෙහෝවාගේ සේවකයෝ ඔහුගේ වචනය නිර්භීත ලෙස කතා කරති