ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lr 3 පරි. 21-25 පි.
  • හැම දෙයක්ම හදපු කෙනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හැම දෙයක්ම හදපු කෙනා
  • උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • සමාන තොරතුරු
  • දෙවි මවන්න පටන්ගනී
    මගේ බයිබල් කතන්දර පොත
  • දෙවියන් අහසත් පොළොවත් හැදුවා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • යේසුස්ව උතුම් ගුරුවරයා විදිහට හඳුන්වන්න හේතු
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • ලස්සන උයනක්
    මගේ බයිබල් කතන්දර පොත
තව තොරතුරු
උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
lr 3 පරි. 21-25 පි.

3වෙනි පරිච්ඡේදය

හැම දෙයක්ම හදපු කෙනා

කුඩා පිරිමි ළමයෙක් කුරුල්ලන්ට කෑම දෙනවා

පණ තියෙන හැම දෙයක්ම හැදුවේ කවුද?

පුදුම හිතෙන දෙයක් මං දැනගත්තා. ඔයාත් කැමතිද ඒක දැනගන්න?— ටිකකට බලන්නකෝ ඔයාගේ අත දිහා. ඔයාගේ ඇඟිලි නවලා දිගහරින්න. දැන් ඔයාගේ ඇඟිලිවලින් මොනවා හරි දෙයක් ගන්න. ඔයාගේ අත්වලින් හුඟක් දේවල් කරන්න පුළුවන්. ඔයා දන්නවාද ඔයාගේ අත් හැදුවේ කවුද කියලා?—

ඔයාගේ අත් විතරක් නෙවෙයි කට, නහය, ඇස් ඒ හැම දෙයක්ම හැදුවේ දෙවි. ඒ කියන්නේ යේසුස්ගේ තාත්තා. දෙවි අපිට ඇස් දීලා තියෙන එක ගැන ඔයාට සතුටු නැද්ද?— පාට පාට මල්, ලස්සනට වැවිලා තියෙන තණකොළ, නිල් පාටට තියෙන අහස අපිට පේන්නේ අපේ ඇස් දෙක නිසයි. පින්තූරේ ඉන්නවා වගේ ලස්සන පුංචි කුරුල්ලන්වත් අපිට පේනවා. ඒ හැම දෙයක්ම අපිට පේන එක ඇත්තටම පුදුමයි නේද?—

ඒ හැම දෙයක්ම හැදුවේ කවුද? මිනිසෙක්ද? මිනිසුන්ට ගෙවල් හදන්න පුළුවන්. හැබැයි තණකොළ, මල්, කුරුල්ලෝ එහෙමත් නැත්නම් පණ තියෙන වෙන දේවල් හදන්න මිනිසුන්ට බැහැ. ඔයා ඒක දැනගෙන හිටියාද?—

ඒ හැම දෙයක්ම හැදුවේ දෙවියන්. ස්වර්ගය, පොළොව විතරක් නෙවෙයි දෙවි මිනිසුන්වත් හැදුවා. යේසුත් කිව්වා මුල්ම පිරිමි කෙනාවයි, ගැහැනු කෙනාවයි හැදුවේ දෙවියන් කියලා.—මතෙව් 19:4-6.

යේසුස් ඒක දන්නේ කොහොමද? දෙවියන් ඒක කරපු විදිහ යේසුස් දැක්කාද?— යේසුස් ඒක දැක්කා. මොකද දෙවි මුල්ම පිරිමි කෙනාවයි, ගැහැනු කෙනාවයි හදනකොට යේසුස් හිටියේ දෙවි එක්කමයි. දෙවියන් මුලින්ම හැදුවේ යේසුස්ව. දේවදූතයෙක් විදිහට යේසුස් ස්වර්ගයේ ජීවත් වුණේ තාත්තා එක්ක. ඒ කියන්නේ දෙවියන් එක්ක.

දෙවියන් කියලා තියෙනවා ‘අපි මනුෂ්‍යයාව හදමු’ කියලා. (උත්පත්ති 1:26) ඔයා දන්නවාද දෙවි ඒ දේ කිව්වේ කාටද කියලා?— ඒක කිව්වේ දෙවිගේ පුතාට. ඔව්, ඒ වෙලාවේ දෙවි කතා කළේ යේසුස් එක්ක.

අපි යේසුස්ට ඇහුම්කන් දෙනවා කියන්නේ දෙවියන් අහස, පොළොව වගේම හැම දෙයක්ම හදද්දී දෙවිත් එක්කම හිටිය කෙනාගෙන් අපි ඉගෙනගන්නවා කියන එකයි. පුදුමයි නේද! තාත්තා එක්ක ස්වර්ගයේදී වැඩ කරනකොට යේසුස් හුඟක් දේවල් ඉගෙනගත්තා. ඒ නිසා තමයි යේසුස්ට හොඳම ගුරුවරයා වෙන්න පුළුවන් වුණේ.

දෙවි තමන්ගේ පුතාව හැදුවේ තනිකමක්, පාළුවක් දැනුණු නිසාද?— දෙවිට කවදාවත් තනිකමක්, පාළුවක් දැනිලා නැහැ. එහෙමනම් දෙවි තවත් අයව හැදුවේ ඇයි?— දෙවියන් ප්‍රේමණීය කෙනෙක් නිසයි එහෙම කළේ. දෙවි කැමති වුණා අනිත් අයත් ජීවත් වෙනවා දකින්න. අපිට ජීවිතය දීපු එක ගැන අපි දෙවිට ස්තුති කරන්න ඕනේ.

දෙවි මොන තරම් ප්‍රේමණීය කෙනෙක්ද කියලා දෙවි හදලා තියෙන හැම දේකින්ම පැහැදිලි වෙනවා. දෙවියන් ඉර හදපු නිසයි අපිට එළියත් උණුසුමත් ලැබෙන්නේ. ඉර තිබුණේ නැත්නම් සීතල වැඩි වෙලා කාටවත් මේ පොළොවේ ජීවත් වෙන්න බැරි වෙනවා. ඉතින් දෙවි ඉර හදපු එක ගැන ඔයා සතුටු වෙන්නේ නැද්ද?—

වැස්ස ඇති කළෙත් දෙවියන්. වහිද්දී එළියට ගිහින් සෙල්ලම් කරන්න බැරි නිසා ඔයා වැස්සට ආස නැතුව ඇති. හැබැයි වැස්ස නිසා තමයි මල් පිපෙන්නේ. ඒ නිසා ලස්සන මල් දැක්කාම අපි ස්තුති කරන්න ඕනෙ කාටද?— දෙවිට ස්තුති කරන්න ඕනේ. ඒ වගේම රසම රස පලතුරු, එළවළු කද්දී ඒ ගැන ස්තුති කරන්න ඕනෙ කාටද?— දෙවිට ස්තුති කරන්න ඕනේ. මොකද ඒ හැම දෙයක්ම හොඳට හැදෙන්නේ ඉරත් වැස්සත් නිසයි.

‘මිනිසුන්වයි සතුන්වයි හැදුවේ දෙවිද’ කියලා කවුරු හරි ඔයාගෙන් ඇහුවොත් ඔයා මොනවාද කියන්නේ?— ඔයාට කියන්න පුළුවන් “දෙවියන් තමයි මිනිසුන්වයි සතුන්වයි හැදුවේ” කියලා. හැබැයි මිනිසුන්ව හැදුවේ දෙවියන් නෙවෙයි කියලත් මිනිසුන් හැදුණේ සතුන්ගෙන් කියලත් කවුරු හරි කිව්වොත් මොකද කරන්නේ? මිනිසුන් හැදුණේ සතුන්ගෙන් කියලා බයිබලයේ කියලා නැහැ. ඒකේ තියෙන්නේ හැම දෙයක්ම හැදුවේ දෙවියන් කියලයි.—උත්පත්ති 1:26-31.

ගෙයක් ළඟ වත්තේ ගස් වැල් සහ සතුන් එක්ක කුඩා ගෑනු ළමයි දෙන්නෙක් සෙල්ලම් කරනවා

ගෙයක් හදන්න කවුරු හරි ඉන්න ඕනෙ නම් මල්, ගස් වගේම සතුන්ව හැදුවේ කවුද?

කවුරු හරි කිව්වොත් එයා දෙවිව විශ්වාස කරන්නේ නැහැ කියලා ඔයා මොනවාද කියන්නේ?— එයාට ගෙයක් පෙන්නලා අහන්න “ඒ ගේ හැදුවේ කවුද” කියලා. ඕනම කෙනෙක් දන්නවා ඒක හදන්න කවුරු හරි කෙනෙක් ඉන්න ඕනෙ කියලා. කවදාවත් ගෙයක් ඉබේම හැදෙන්නේ නැහැනේ.—හෙබ්‍රෙව් 3:4.

ඊටපස්සේ එයාට මලක් පෙන්නලා අහන්න “මේක හැදුවේ කවුද” කියලා. කිසිම මිනිසෙක්ට බැහැ ඒක කරන්න. ගෙයක් ඉබේ හැදෙන්නේ නැහැ වගේ කවදාවත් මලක් ඉබේ හැදෙන්නෙත් නැහැ. කවුරු හරි කෙනෙක් ඒක හැදුවා. දෙවියන් තමයි ඒක හැදුවේ.

ඒ කෙනාට කියන්න ටිකකට නතර වෙලා කුරුල්ලන්ගේ කිචි බිචි සද්දේ අහගෙන ඉන්න කියලා. ඊටපස්සේ එයාගෙන් අහන්න “කුරුල්ලන්ට ඒ විදිහට සින්දු කියන්න ඉගැන්නුවේ කවුද” කියලා. දෙවියන් තමයි ඒක ඉගැන්නුවේ. ස්වර්ගයත්, පොළොවත් පණ තියෙන හැම දෙයක්මත් හැදුවේ දෙවිමයි. ඔව්, ජීවිතය දෙන්න පුළුවන් දෙවිට විතරමයි.

සමහර අය කියනවා ඒ අය විශ්වාස කරන්නේ පේන්න තියෙන දේවල් විතරයි කියලා. දෙවිව පේන්නේ නැති නිසා දෙවිව විශ්වාස කරන්නේ නැහැ කියලා ඒ වගේ අය කියනවා.

පොළොවේ ජීවත් වෙන කිසිම කෙනෙක්ට දෙවිව පේන්නේ නැහැ. බයිබලයෙත් කියන්නේ ‘කිසිම මිනිසෙකුට දෙවිව දකින්න බැහැ’ කියලයි. ඒ නිසා කිසිම කෙනෙක්ට දෙවිගේ රූපයක්වත් පිළිමයක්වත් හදන්න බැහැ. දෙවිම කියලා තියෙනවා එහෙම කරන්න එපා කියලා. ඒ නිසා අපේ ගෙදර ඒ වගේ දේවල් තියෙනවා නම් දෙවියන් ඒකට කැමති නැහැ.—නික්මයාම 20:4, 5; 33:20; යොහන් 1:18.

ඒත් දෙවිව පේන්නේ නැත්නම් ඇත්තටම දෙවි කෙනෙක් ඉන්නවා කියලා ඔයා දන්නේ කොහොමද? ටිකකට මේ ගැන හිතන්නකෝ. ඔයාට හුළඟ පේනවාද?— කිසිම කෙනෙක්ට හුළඟ පේන්නේ නැහැ. හැබැයි හුළඟ නිසා ගස්වල කොළ හෙල්ලෙන විදිහ ඔයාට පේනවා. ඒ නිසා ඔයා විශ්වාස කරනවා හුළඟ තියෙනවා කියලා.

හුළඟ නිසා අමාරුවෙන් ඇවිදගෙන යන කුඩා ළමයි දෙන්නෙක්

හුළඟ තියෙනවා කියලා ඔයා දන්නේ කොහොමද?

දෙවියන් හදලා තියෙන දේවල් ඔයාට පේන්නත් තියෙනවා. ඔයා ලස්සන මලක් දකිද්දී ලස්සන කුරුල්ලෙක්ව දකිද්දී ඔයා ඇත්තටම දකින්නේ දෙවි හදපු දේවල්. ඒ නිසා ඇත්තටම දෙවි කෙනෙක් ඉන්නවා කියලා ඔයා දන්නවා.

‘ඉරයි පොළොවයි හැදුවේ කවුද’ කියලා කෙනෙක් ඔයාගෙන් අහන්න ඉඩ තියෙනවා. බයිබලයේ කියන්නේ ‘දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළා’ කියලයි. (උත්පත්ති 1:1) ඔව්, ඒ හැම දෙයක්ම හැදුවේ දෙවියන්. ඒ ගැන ඔයාට මොකක්ද හිතෙන්නේ?—

අපිට ජීවිතය ලැබිලා තියෙන එක ගැන අපි මොන තරම් සතුටු වෙන්න ඕනෙද! කුරුල්ලන්ගේ කිචි බිචි සද්දේ අපිට ඇහෙනවා. ලස්සන මල් වගේම දෙවි හදලා තියෙන අනිත් දේවලුත් අපි දකිනවා. දෙවියන් දීලා තියෙන රසම රස කෑම කන්නත් අපිට පුළුවන්.

ඒ හැම දෙයක් ගැනම අපි දෙවිට ස්තුති කරන්න ඕනේ. අපි වැඩියෙන්ම ස්තුති කරන්න ඕනෙ අපිට ලැබිලා තියෙන ජීවිතය ගැන. දෙවිට ස්තුති කරන්න පුළුවන් කොහොමද කියලා ඔයා දන්නවාද?— දෙවිට ඇහුම්කන් දීලා බයිබලයේ තියෙන දේවලට කීකරු වෙන්න ඕනේ. එහෙම කරනවා නම් හැම දෙයක්ම හදපු දෙවිට අපි ඇත්තටම ආදරෙයි කියලා පෙන්වන්න පුළුවන්.

දෙවියන් කරලා තියෙන හැම දෙයක්ම අපි ඇත්තටම අගය කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන් කොහොමද? ඒ ගැන මේ බයිබල් පදවල තියෙන්නේ මොනවාද කියලා අපි දැන් බලමු. ගීතාවලිය 139:14; යොහන් 4:23, 24; 1 යොහන් 5:21; එළිදරව් 4:11.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න