ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lr 34 පරි. 177-181 පි.
  • මැරුණට පස්සේ අපිට වෙන්නේ මොනවද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මැරුණට පස්සේ අපිට වෙන්නේ මොනවද?
  • උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • සමාන තොරතුරු
  • යේසුස් ලාසරුස්ව නැවත නැඟිට්ටවයි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • යේසුස් ඉක්මන් වුණේ නැහැ
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මිය ගොස් සිටින අය ගැන අපට බලාපොරොත්තුවක්
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
lr 34 පරි. 177-181 පි.

34වෙනි පරිච්ඡේදය

මැරුණාට පස්සේ අපිට වෙන්නේ මොනවාද?

මිනිසුන් වයසට ගිහින් අසනීප වෙලා පස්සේ මැරෙනවා කියලා ඔයා දන්නවා ඇති. සමහර දරුවනුත් පුංචි වයසෙම මැරෙනවා. ඔයා මැරෙන්න හරි මැරුණු අයට හරි බය වෙන්න ඕනෙද?— ඔයා දන්නවාද මැරුණාට පස්සේ අපිට මොනවාද වෙන්නේ කියලා?—

මැරුණාට පස්සේ වෙන දේ ගැන කියන්න මරණයෙන් නැඟිටපු කිසිම කෙනෙක් අද මේ ලෝකේ නැහැ. හැබැයි යේසුස් හිටපු කාලයේ නම් එහෙම කෙනෙක් හිටියා. එයා තමයි ලාසරුස්. එයා ජීවත් වුණේ යෙරුසලමට කිට්ටුවෙන් තිබුණු බෙතානියේ. එයායි එයාගේ සහෝදරියන් දෙන්නා වුණු මාර්තායි මරියායි යේසුස්ගේ හොඳ යාළුවෝ. ලාසරුස්ට මොකද වුණේ කියලා අපි දැන් බලමු. ඒක අපිට උදව් වෙනවා මැරුණු අයට වෙන්නේ මොනවාද කියලා දැනගන්න.

දවසක් ලාසරුස් හොඳටම ලෙඩ වුණා. එතකොට යේසුස් හිටියේ ඈත ගමක. ඒ නිසා මාර්තායි මරියායි ඉක්මනින්ම ඒ ගැන කියලා කෙනෙක් අතේ යේසුස්ට පණිවිඩයක් යැව්වා. එයාලා එහෙම කළේ යේසුස් ආවොත් ලාසරුස්ව සනීප කරන්න පුළුවන් කියලා දන්න නිසයි. යේසුස් දොස්තර කෙනෙක් නෙවෙයි. හැබැයි දෙවිගේ බලය ලැබිලා තියෙන නිසා එයාට ඕනම ලෙඩක් සනීප කරන්න පුළුවන්.—මතෙව් 15:30, 31.

යේසුස් එන්න කලින් ලාසරුස් මැරුණා. ඒත් යේසුස් ගෝලයන්ට කිව්වේ ලාසරුස් නිදාගෙන ඉන්න නිසා මම එයාව ඇහැරවන්න යනවා කියලයි. යේසුස් කියපු දේ එයාලාට තේරුණේ නැහැ. ඒ නිසා යේසුස් කෙළින්ම කිව්වා “ලාසරුස් ඇත්තටම මැරිලා” කියලා. ඒකෙන් ඔයාට තේරුණාද මරණය කියන්නේ මොන වගේ දෙයක්ද කියලා?— ඒක හරියට තද නින්දක් වගෙයි. කොච්චර තද නින්දක්ද කියනවා නම් මැරුණු කෙනාට හීනයක්වත් පේන්නේ නැහැ.

මාර්තාවයි මරියාවයි හම්බ වෙන්න යේසුස් පිටත් වෙලා ආවා. ඒ දෙන්නාව සනසවන්න දන්න කියන හුඟක් අය එහෙට ඇවිල්ලයි හිටියේ. යේසුස් එනවා කියලා ආරංචි වුණාම මාර්තා යේසුස්ව මුණගැහෙන්න මඟට ගියා. ටිකකින් මරියාත් යේසුස් ළඟට ගියා. මරියා හිටියේ දරාගන්න බැරි දුකකින්. මරියා යේසුස් ළඟට ගිහින් එයාගේ කකුල් දෙක ළඟ වැටිලා ඇඬුවා. එතැන හිටපු අනිත් අයත් ඇඬුවා.

යේසුස් ඇහුවා ලාසරුස්ව තැන්පත් කළේ කොහෙද කියලා. එතැන හිටපු අය යේසුස්ව සොහොන් ගේ ළඟට එක්කගෙන ගියා. හැමෝම අඬනවා දැක්කාම යේසුස්ටත් දුක හිතිලා ඇඬුණා. අපි ආදරේ කරන කෙනෙක් මැරුණාම ඒක ලොකු දුකක් කියලා යේසුස් දන්නවා.

ලාසරුස්ව තැන්පත් කරපු ගුහාවේ කටට ගලක් හේත්තු කරලා තිබුණා. ඒ “ගල අහකට ගන්න” කියලා යේසුස් කිව්වා. එතකොට මාර්තා කිව්වා ‘ස්වාමීනි, එයා දැන් මැරිලා දවස් හතරක් නිසා හොඳටම ගඳ ගහනවා ඇති’ කියලා. ඔයා හිතන්නේ ගල අහක් කරන එකහොඳ දෙයක්ද?—

යේසුස් මාර්තාට මෙහෙම කිව්වා. ‘ඔයා විශ්වාස කළොත් දෙවි කොච්චර ශ්‍රේෂ්ඨද කියන එක ඔයා දකිනවා කියලා මම ඔයාට කිව්වා නේද?’ යේසුස් එහෙම කිව්වේ දෙවිට ලොකු ගෞරවයක් ලැබෙන්න යන දෙයක් මාර්තා දකිනවා කියලා අඟවන්නයි. ගුහාවේ ගල අයින් කළාම යේසුස් හැමෝටම ඇහෙන්න යෙහෝවා දෙවිට යාච්ඤා කළා. ඊටපස්සේ එයා කෑගහලා කිව්වා ‘ලාසරුස්, එළියට එන්න’ කියලා. ලාසරුස් එළියට ආවාද?—

ඔයාට පුළුවන්ද නිදාගෙන ඉන්න කෙනෙක්ව ඇහැරවන්න?— ඔව්, ඔයා කෑගහලා කතා කළොත් එයා ඇහැරෙයි. හැබැයි මැරුණු කෙනෙක්ව ඇහැරවන්න ඔයාට පුළුවන්ද?— බැහැ. ඔයා කොච්චර හයියෙන් කෑගැහුවත් එයාට ඇහෙන්නේ නැහැ. මැරුණු කෙනෙක්ට ආපහු ජීවිතය දෙන්න මේ ලෝකේ කාටවත් බැහැ.

යේසුස් කතා කළාම මිය ගිය ලැසරුස් සොහොන් ගෙයින් පිටතට එනවා

යේසුස් ලාසරුස්ට කළේ මොකක්ද?

හැබැයි යේසුස්ට දෙවිගේ බලය තියෙන නිසා පුදුම දෙයක් වුණා. යේසුස් ලාසරුස්ට කතා කළාම දවස් හතරක් තිස්සේ මැරිලා හිටපු එයා එළියට ආවා. ලාසරුස්ට ආපහු ජීවිතය ලැබුණා. කලින් වගේම එයාට හුස්ම ගන්න, කතා කරන්න, ඇවිදින්න පුළුවන් වුණා.—යොහන් 11:1-44.

දැන් ටිකකට මේ ගැන හිතන්න. මැරිලා හිටපු දවස් හතරේ ලාසරුස්ට මොකද වුණේ? එයාගේ ඇඟෙන් ආත්මයක් කියලා දෙයක් පිට වෙලා ගිහින් වෙන තැනක ජීවත් වුණාද? එයා ස්වර්ගයට ගියාද? දවස් හතරක්ම ලාසරුස් ස්වර්ගයේ දෙවියන් එක්කයි දේවදූතයන් එක්කයි හිටියාද?—

නැහැ. මතකද යේසුස් කිව්වේ ලාසරුස් නිදාගෙන ඉන්නවා කියලයි. ඔයා තද නින්දේ ඉද්දී මුකුත්ම දැනෙන්නේ නැහැ නේද?— ඇහැරුණාට පස්සේ කොච්චර වෙලාවක් නිදාගෙන හිටියාද කියලාවත් ඔයා දන්නේ නැහැ. වෙලාව බැලුවාම තමයි ඒක දන්නේ.

මැරුණු අයට වෙන්නෙත් ඒ වගේ දෙයක්. මොකද මැරුණාට පස්සේ මුකුත් දැනෙන්නෙත් නැහැ. දන්නෙත් නැහැ. කරන්නත් බැහැ. ලාසරුස්ට වුණෙත් ඒ දේමයි. තද නින්දේ ඉන්න කෙනෙක්ට වගේ මැරුණු කෙනෙක්ටත් කිසිම දෙයක් මතක් වෙන්නේ නැහැ. ‘මැරුණු අය මොනවාත් දන්නේ නැහැ’ කියලා බයිබලයේ කියන්නේ ඒ නිසයි.—දේශනාකාරයා 9:5, 10.

ලැසරුස්ගේ මළ සිරුර සොහොන් ගේ ඇතුළේ තැන්පත් කරලා තියෙනවා

මැරුණාට පස්සේ ලාසරුස් හිටියේ මොන වගේ තත්වයකද?

මේ ගැනත් ටිකක් හිතන්න. ලාසරුස් දවස් හතරක්ම හිටියේ ස්වර්ගයේ නම් එයා ඒ ගැන මුකුත්ම නොකියා ඉඳියිද?— එයා හිටියේ ස්වර්ගයේ නම් එච්චර හොඳ තැනක හිටපු ලාසරුස්ව යේසුස් ආපහු මේ පොළොවට ගෙනෙයිද?— කොහොමටවත් නැහැ.

ඒත් සමහරු කියනවා අපිට ආත්මයක් තියෙනවා කියලා. කෙනෙක් මැරුණාම ඒ ආත්මේ ඇඟෙන් පිට වෙලා වෙන තැනක ජීවත් වෙනවා කියලත් කියනවා. ලාසරුස්ගේ ආත්මයත් කොහේ හරි ජීවත් වුණා කියලයි එයාලා හිතන්නේ. ඒත් බයිබලයේ කියන්නේ නැහැ අපිට ආත්මයක් තියෙනවා කියලා. දෙවි ආදම්ව නිර්මාණය කළාම එයා “ජීවමාන පුද්ගලයෙක්” වුණා. ඒ කියන්නේ පණ තියෙන කෙනෙක් වුණා. හැබැයි එයා පව් කළාට පස්සේ මැරුණා. දූවිල්ලෙන් හදපු ආදම් ආපහු දූවිල්ලටම හැරිලා ගියා. ආදම් පව් කරපු නිසා ආදම්ගෙන් පැවත එන හැමෝටම පාපයයි මරණයයි උරුම වුණා.—උත්පත්ති 2:7; 3:17-19; රෝම 5:12.

ඒකෙන් තේරෙනවා මැරුණාට පස්සේ අපේ ඇඟෙන් පිට වෙලා යන ආත්මයක් නැහැ කියලා. අපි හැමෝම ජීවමාන පුද්ගලයෝ. ඒ කියන්නේ පණ තියෙන අය. ඒත් ආදම්ගෙන් අපිට පාපය උරුම වෙලා තියෙන නිසා අපි මැරෙනවා. බයිබලයේ කියන්නේ ‘පව් කරන කෙනා අනිවාර්යයෙන්ම මැරෙනවා’ කියලයි.—එසකියෙල් 18:4.

සොහොන් පිට්ටනියක ඉන්න දරුවන්

මැරුණු අයට බය වෙන්න ඕනෙ නැත්තේ ඇයි?

සමහර අය මැරුණු අයට හරි බයයි. ඒ අයගේ ආත්ම කරදර කරයි කියලා බය නිසා එයාලා කවදාවත් කනත්තක් ළඟටවත් යන්නේ නැහැ. හැබැයි ඇත්තටම මැරුණු අයට පුළුවන්ද අපිට කරදර කරන්න?— බැහැ.

මැරුණු අයගේ ආත්ම අපි ළඟට එනවා කියලා සමහරු විශ්වාස කරනවා. ඒ නිසා එයාලා මැරුණු අයට කෑම බෙදලා තියෙනවා. එයාලා එහෙම කරන්නේ මැරුණාට පස්සේ වෙන දේ ගැන දෙවි කියලා තියෙන දේ එයාලා විශ්වාස කරන්නේ නැති නිසයි. ඒත් අපි දෙවි කියලා තියෙන දේ විශ්වාස කරනවා නම් මැරුණු අයට බය නැහැ. ඒ වගේම අපිට ජීවිතය දීපු එක ගැන දෙවිට ස්තුතිවන්ත වෙනවා නම් අපි නිතරම දෙවි සතුටු වෙන දේවල් කරනවා.

සමහරවිට ඔයා මෙහෙම හිතනවා ඇති. ‘මැරුණු දරුවන්ට දෙවි ආපහු ජීවිතය දෙයිද? ඒක කරන්න දෙවි ආසාවෙන් ඉන්නවාද?’ ඒ ගැන අපි ඊළඟ පරිච්ඡේදයෙන් බලමු.

මැරුණු අයගේ තත්වය මොන වගේද කියලා දැනගන්න අපි දැන් මේ බයිබල් පද කියවලා බලමු. ගීතාවලිය 115:17; 146:3, 4.

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න