37වෙනි පරිච්ඡේදය
යෙහෝවා දෙවිත් යේසුත් අපි වෙනුවෙන් කරලා තියෙන දේ
කෙනෙක් ඔයාට වටින තෑග්ගක් දුන්නා කියලා හිතන්න. ඒ ගැන ඔයාට මොනවා හිතෙයිද?— ස්තුතියි කියලා ඒක දීපු කෙනාව අමතක කරයිද? නැත්නම් එයාවත් එයා දීපු දේත් ඔයා මතක තියාගනියිද?—
යෙහෝවා දෙවි අපිට වටිනා තෑග්ගක් දීලා තියෙනවා. දෙවි අපි වෙනුවෙන් ජීවිතය පූජා කරන්න තමන්ගේ පුතාව එව්වා. ඔයා දන්නවාද යේසුස්ට අපි වෙනුවෙන් මැරෙන්න වුණේ ඇයි කියලා?— ඒක දැනගන්න එක හුඟක් වැදගත්.
අපි 23වෙනි පරිච්ඡේදයෙන් ඉගෙනගත්ත විදිහට ආදම් දෙවිට අකීකරු වුණු නිසා එයාට පව්කාරකම උරුම වුණා. අපේ මුල් තාත්තා වුණු ආදම්ගෙන් අපිටත් පව්කාරකම උරුම වෙලා තියෙනවා. ඒ නිසා අපිට ඕන කරන්නේ මොකක්ද?— ආදම් වෙනුවට වෙන තාත්තා කෙනෙක්, ඒ කියන්නේ පාපය උරුම වෙලා නැති, පරිපූර්ණ කෙනෙක් විදිහට මේ පොළොවේ ජීවත් වුණු කෙනෙක්ව අපිට ඕනේ. එහෙම වෙන්න පුළුවන් කාටද?— යේසුස්ට පුළුවන්.
යෙහෝවා දෙවි යේසුස්ව පොළොවට එව්වේ ආදම් වෙනුවට අපි හැමෝටම තාත්තා කෙනෙක් වෙන්නයි. බයිබලයේ මෙහෙම කියනවා. ‘පළවෙනි මිනිසා වූ ආදම් ජීවමාන කෙනෙක්. අන්තිම ආදම් ජීවනය ගෙන දෙන කෙනෙක්.’ පළවෙනි ආදම් කවුද?— ඒ තමයි දෙවියන් දූවිල්ලෙන් හදපු මුල්ම මිනිසා. දෙවෙනි ආදම් කවුද?— යේසුස්. බයිබලයේ ඒ ගැන මෙහෙම කියනවා. ‘මුල් මිනිසාව [ආදම්ව] හැදුවේ පොළොවේ දූවිල්ලෙන්. දෙවෙනි මිනිසා [යේසුස්] ආවේ ස්වර්ගයෙන්.’—1 කොරින්ති 15:45, 47; උත්පත්ති 2:7.
දෙවි ස්වර්ගයේ හිටිය යේසුස්ගේ ජීවිතය මරියාගේ බඩ ඇතුළට දාපු නිසා යේසුස්ට පව්කාරකම උරුම වුණේ නැහැ. ඒ නිසයි යේසුස් පරිපූර්ණ කෙනෙක් වුණේ. (ලූක් 1:30-35) යේසුස් ඉපදුණු වෙලේ ‘අද ගැලවුම්කරුවෙක් ඉපදිලා ඉන්නවා’ කියලා දේවදූතයෙක් එඬේරුන්ට කිව්වෙත් ඒ නිසයි. (ලූක් 2:11) හැබැයි අපේ ගැලවුම්කරු වෙන්න නම් පුංචි යේසුස්ට මුලින්ම කරන්න සිද්ධ වුණේ මොකක්ද?— එයාට සිද්ධ වුණා ආදම් වගේ වැඩිහිටි කෙනෙක් වෙන්න. එතකොට තමයි ‘දෙවෙනි ආදම්’ වෙන්න යේසුස්ට පුළුවන් වෙන්නේ.
යේසුස් තමයි අපේ “සදාකාල පියාණන්” වෙන්නේ. (යෙසායා 9:6, 7) ඔව්, පරිපූර්ණ කෙනෙක් වුණු යේසුස්ට පුළුවන් පව්කාරකම උරුම කරගත්ත ආදම් වෙනුවට අපේ තාත්තා වෙන්න. ඒ නිසා ‘දෙවෙනි ආදම්’ වන යේසුස්ව අපේ තාත්තා හැටියට පිළිගන්න අපිට පුළුවන්. හැබැයි යේසුස් යෙහෝවා දෙවිගේ පුතා කියලා අපි මතක තියාගන්න ඕනේ.
ආදම් සහ යේසුස් සමාන වුණේ කොහොමද? එහෙම වුණු එක වැදගත් දෙයක් වුණේ ඇයි?
යේසුස් ගැන අපි ඉගෙනගන්නවා නම් එයාව අපේ ගැලවුම්කරු විදිහට පිළිගන්න පුළුවන් වෙනවා. අපිව ගලවාගන්න ඕනෙ මොකෙන්ද කියලා ඔයාට මතකද?— ආදම්ගෙන් උරුම වුණු පව්කාරකමෙනුයි, මරණයෙනුයි. පරිපූර්ණ මිනිසෙක් විදිහට යේසුස් තමන්ගේ ජීවිතය පූජා කළා. යෙහෝවා දෙවි අපි වෙනුවෙන් යේසුස්ගේ ජීවිතය දීපු නිසා, අපිට උරුම වුණු පව්කාරකමට සමාව ලබාගන්න පුළුවන්.—මතෙව් 20:28; රෝම 5:8; 6:23.
යෙහෝවා දෙවිත් යේසුත් අපි වෙනුවෙන් කරලා තියෙන ඒ දේ අපි කවදාවත් අමතක කරන්නේ නැහැ නේද?— යේසුස් අපි වෙනුවෙන් කරපු දේ හැමදාමත් මතක තියාගන්න උදව් වෙන දෙයක් යේසුස් ගෝලයන්ට ඉගැන්නුවා. අපි දැන් ඒ ගැන බලමු.
හිතන්න ඔයාත් යේසුස් එක්ක යෙරුසලමේ උඩුමහල් කාමරයක ඉන්නවා කියලා. දැන් කළුවරත් වැටිලා. යේසුස් නියෝජිතයන් එක්ක මේසයක් වටේ ඉඳන් ඉන්නවා. පුච්චපු බැටළු මසුයි, රොටියි, රතු වයිනුයි තමයි මේසේ උඩ තියෙන්නේ. එයාලා විශේෂ උත්සවයක් සමරනවා. ඔයා දන්නවාද ඒ මොකක්ද කියලා?—
අවුරුදු සිය ගාණකට කලින් යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් සෙනඟව ඊජිප්තුවෙන් ගලවාගත්ත එක සිහි කරන්නයි ඒ උත්සවය පවත්වන්නේ. යෙහෝවා දෙවි තමන්ගේ සෙනඟට මෙහෙම කියලා තිබුණා. ‘හැමෝම පවුලේ සාමාජිකයන් වෙනුවෙන් බැටළුවෙක්ව මරලා උගේ ලේ ගෙයි උළුවහු කණු දෙකේ ගාන්න.’ ඊටපස්සේ දෙවි කිව්වා ‘උගේ මස් කන්න’ කියලා.
බැටළුවාගේ ලේ නිසා ඊශ්‍රායෙල්වරුන්ගේ ජීවිත බේරුණේ කොහොමද?
ඊශ්‍රායෙල්වරු ඒ දේ කළා. එදා රෑ දේවදූතයෙක් ඊජිප්තුවට ආවා. හුඟක් ගෙවල්වල හිටිය කුලුඳුල් දරුවන්ව එයා මැරුවා. හැබැයි උළුවහු කණුවල ලේ ගාලා තිබුණු ගෙවල් පහු කරගෙන ගියා. යෙහෝවා දෙවිගේ දේවදූතයා කරපු දේ ගැන පාරාවෝ හුඟක් බය වුණා. ඒ නිසා එයා ඊශ්‍රායෙල්වරුන්ට මෙහෙම කිව්වා ‘නුඹලා දැන් නිදහස්. දැන්ම මෙහෙන් පිට වෙලා යන්න.’ ඒ නිසා ඊශ්‍රායෙල්වරු ඒ වෙලාවෙම එයාලාගේ බඩු, ඔටුවන් සහ බූරුවන් පිටේ පටවාගෙන පිටත් වුණා.
යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් සෙනඟව ගලවාගත්ත විදිහ එයාලා අමතක කරනවාට දෙවි කැමති වුණේ නැහැ. ඒ නිසා දෙවි කිව්වා ‘හැම අවුරුද්දකටම සැරයක් අද රෑ කෑම කාපු විදිහට කෑමක් ගන්න’ කියලා. එයාලා ඒ උත්සවය හැඳින්නුවේ ‘පාස්කුව’ කියලයි. ඔයා දන්නවාද ඒ ඇයි කියලා?— එදා උළුවහු කණුවල ලේ ගාලා තිබුණු ගෙවල් දේවදූතයා පහු කරගෙන ගිය නිසයි එයාලා ඒ නම දැම්මේ.—නික්මයාම 12:1-13, 24-27, 31.
යේසුයි නියෝජිතයනුයි පාස්කු උත්සවය සමරද්දී ඒ සිද්ධීන් ගැන මතක් කරගන්නවා. ඊටපස්සේ යේසුස් හුඟක් වැදගත් දෙයක් කරන්නයි යන්නේ. හැබැයි මේ වෙද්දී යූදස් එතැනින් පිට වෙලා ගිහින්. යේසුස් රොටියක් අරන් යාච්ඤා කරනවා. ඊටපස්සේ ඒක කඩලා ගෝලයන්ට දීලා මෙහෙම කියනවා. ‘අරන් කන්න. මේකෙන් නියෝජනය වෙන්නේ මං ඔයාලා වෙනුවෙන් පූජා කරන මගේ ශරීරයයි.’
ඊළඟට යේසුස් වයින් කුසලානයක් අරන් ආපහු යාච්ඤා කරලා ඒකත් ගෝලයන්ට දෙනවා. යේසුස් එයාලාට කියන්නේ මෙහෙමයි. ‘අරන් බොන්න. ඒකෙන් නියෝජනය වෙන්නේ ඔයාලාව පාපයෙන් නිදහස් කරන්න මං වගුරුවන මගේ රුධිරයයි. මාව සිහි කරන්න දිගටම මේ දේ කරන්න.’—මතෙව් 26:26-28; 1 කොරින්ති 11:23-26.
යේසුස් වයින්වලට සමාන කරපු එයාගේ රුධිරය අපිට ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි?
යේසුස් ගෝලයන්ට කිව්වේ එයාව සිහි කරන්න දිගටම ඒ දේ කරන්න කියලා නේද?— ඒ නිසා ආයෙත් එයාලා පාස්කු උත්සවය සමරන්න ඕනෙ නැහැ. ඒ වෙනුවට හැම අවුරුද්දකම යේසුස්වත් එයාගේ මරණයත් සිහි කරන්න ඒ විශේෂ සැමරීම පවත්වනවා. ඒකට කියන්නේ ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය කියලයි. සිහි කිරීම විදිහටත් ඒක හඳුන්වනවා. ඒ ඇයි?— යෙහෝවා දෙවිත් යේසුත් අපි වෙනුවෙන් කරපු දේ ඒකෙන් සිහි වෙන නිසයි එහෙම කියන්නේ.
රොටිවලින් අපිට යේසුස්ගේ ශරීරය මතක් වෙන්න ඕනේ. අපිට සදාකාල ජීවිතය ලබා දෙන්න යේසුස් එයාගේ ශරීරය පූජා කළේ කැමැත්තෙන්මයි. වයින්වලින් අපිට මතක් වෙන්නේ මොකක්ද?— යේසුස් අපි වෙනුවෙන් වගුරුවපු ලේවල වටිනාකම මතක් වෙන්න ඕනේ. පාස්කු බැටළුවාගේ ලේවලට වඩා ඒක හුඟක් වටිනවා. ඒ ඇයි?— බයිබලයේ කියන්නේ යේසුස් වගුරුවපු ලේ නිසා අපේ පව්වලට සමාව ලබාගන්න පුළුවන් කියලයි. අපේ හැම පාපයකටම සමාව ලැබුණාට පස්සේ අපි කවදාවත් ලෙඩ වෙන්නේවත් වයසට යන්නේවත් මැරෙන්නේවත් නැහැ. අපි සිහි කිරීමට සහභාගි වෙද්දී ඒ ගැන හිතන්න ඕනේ.
සිහි කිරීමට සහභාගි වෙන හැමෝම රොටි කාලා වයින් බොනවාද?— යේසුස් කිව්වේ රොටි කන වයින් බොන අය ‘මගේ රාජ්‍යයට හවුල් වෙලා සිංහාසනවල ඉඳගන්නවා’ කියලයි. (ලූක් 22:19, 20, 30) ඒ කියන්නේ ඒ අය ස්වර්ගයට ගිහින් යේසුස් එක්ක රජවරු විදිහට වැඩ කරනවා කියන එකයි. ඒ නිසා ස්වර්ගයට යන්න බලාපොරොත්තුව තියෙන අය විතරයි සිහි කිරීමේදී රොටි කාලා වයින් බොන්න ඕනේ.
හැබැයි අනිත් අයත් සිහි කිරීමට සහභාගි වෙන්න ඕනේ. ඒ ඇයි කියලා ඔයා දන්නවාද?— යේසුස් ජීවිතය පූජා කළේ අපි හැමෝම වෙනුවෙන්. සිහි කිරීමට සහභාගි වෙද්දී දෙවි අපිට දීපු වටිනා තෑග්ග අපි අමතක කරලා නැහැ කියලා ඔප්පු වෙනවා.
යේසුස්ගේ ජීවිත පූජාවේ වටිනාකම පෙන්වන මේ බයිබල් පද අපි දැන් කියවලා බලමු. 1 කොරින්ති 5:7; එෆීස 1:7; 1 තිමෝති 2:5, 6; 1 පේතෘස් 1:18, 19.