ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lr 38 පරි. 197-201 පි.
  • අපි යේසුස්ට ආදරය කරන්න ඕන ඇයි?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපි යේසුස්ට ආදරය කරන්න ඕන ඇයි?
  • උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • සමාන තොරතුරු
  • යේසුස්ව මරණයට පත් කිරීම
    මගේ බයිබල් කතන්දර පොත
  • දෙවිගේ රාජ්‍යය අපිට ඕනෙ කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • යේසුස්ව මරා දමන්න ගෙන යයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • යේසුස් ගොල්ගොතාවලදී මිය යයි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
lr 38 පරි. 197-201 පි.

38වෙනි පරිච්ඡේදය

අපි යේසුස්ට ආදරය කරන්න ඕන ඇයි?

හිතන්න ඔයා ඉන්නේ ගිලෙන බෝට්ටුවක කියලා. කවුරු හරි ඇවිත් ඔයාව බේරගන්නවාට ඔයා කැමතිද?— කෙනෙක් ජීවිතය පූජා කරලා ඔයාව බේරුවොත් ඔයාට කොහොම දැනෙයිද?— යේසුස් ඒ දේ කළා. මේ පොතේ 37වෙනි පරිච්ඡේදයෙන් ඉගෙනගත්ත විදිහට අපිව ගලවාගන්න යේසුස් ජීවිතය පූජා කළා.

හැබැයි යේසුස් අපිව ගලවාගත්තේ ගිලෙන්න යන බෝට්ටුවකින් නෙවෙයි. යේසුස් අපිව ගලවාගත්තේ මොකෙන්ද?— ආදම්ගෙන් උරුම වුණු පාපයෙනුයි මරණයෙනුයි. නරක දේවල් කරන අය වෙනුවෙනුත් යේසුස් ජීවිතය පූජා කළා. ඒ වගේ අය වෙනුවෙන් ඔයා එහෙම දෙයක් කරයිද?—

බයිබලයේ මෙහෙම කියනවා. ‘ධර්මිෂ්ඨයෙක් වෙනුවෙන් කෙනෙක් ජීවිතය පරිත්‍යාග කරන්නේ කලාතුරකින්. හැබැයි යහපත් කෙනෙක් වෙනුවෙන් ජීවිතය පූජා කරන්න කෙනෙක් තුළ නිර්භීතකමක් ඇති වෙන්න පුළුවන්.’ ඒත් යේසුස් ජීවිතය පූජා කළේ ‘දෙවිට කිසි භක්තියක් නැති මිනිසුන් වෙනුවෙන්.’ බයිබලයේ කියන්නේ ‘අපි පව්කාරයන්ව ඉද්දී ක්‍රිස්තුස් අපි වෙනුවෙන් මැරුණා’ කියලයි.—රෝම 5:6-8.

හුඟක් නරක දේවල් කරලා පස්සේ යේසුස්ගේ නියෝජිතයෙක් වුණු කෙනෙක්ව ඔයාට මතකද?— ඒ තමයි පාවුල්. එයා මෙහෙම කිව්වා. ‘ක්‍රිස්තුස් යේසුස් මේ ලෝකයට ආවේ පව්කාරයන්ව ගලවාගන්න. ඒ අයගෙන් ප්‍රධානම පව්කාරයා මමයි.’ කලින් තමන් ‘අඥාන විදිහට වැඩ කළා’ කියලත් ‘නපුරු දේවල් කළා’ කියලත් එයා කිව්වා.—1 තිමෝති 1:15; තීතස් 3:3.

ඒ වගේ අය වෙනුවෙන් තමන්ගේ පුතාගේ ජීවිතය පූජා කරන්න ඒ අය ගැන දෙවිට කොයි තරම් ආදරයක් තියෙන්න ඕනද! යොහන් 3:16 බලන්නකෝ. එතැන මෙහෙම කියනවා. ‘දෙවි මිනිසුන්ට කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුතාව ඔවුන් වෙනුවෙන් දුන්නා. එහෙම කළේ ඔහු කෙරෙහි විශ්වාසය තියන හැම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.’

යේසුස්ට කසයකින් පහර දෙනවා, සොල්දාදුවෝ සමච්චල් කරනවා, වදකණුව උස්සගෙන යනවා

අපි වෙනුවෙන් ජීවිතය පූජා කරද්දී යේසුස්ට අද්දකින්න වුණේ මොනවාද?

යෙහෝවා දෙවි වගේ යේසුත් අපිට ආදරෙයි. යේසුස් ඒක ඔප්පු කළා. යේසුස්ව අත්අඩංගුවට ගත්ත දවසේ රෑ එයාට කොච්චර වේදනාවක් විඳින්න වුණාද කියලා අපි 30වෙනි පරිච්ඡේදයෙන් බැලුවා ඔයාට මතක ඇති. එදා යේසුස්ව උත්තම පූජකයා වුණු කායෆස්ගේ ගෙදරට අරන් ගියා. එහේ තමයි නඩු විභාගය තිබුණේ. සමහරු යේසුස් ගැන බොරු සාක්ෂි දුන්නා. අත මිටමොළවලා යේසුස්ට ගැහුවා. ඒ අතරතුරේ තමයි යේසුස්ව අඳුනන්නේ නැහැ කියලා පේතෘස් කිව්වේ. හිතන්න අපිත් එතැන හිටියා කියලා.

දැන් උදේ වෙලා. මුළු රෑම යේසුස්ට නිදාගන්න ලැබුණේ නැහැ. නඩු විභාගය නීත්‍යනුකූල විදිහට පැවැත්තුවේ නැති නිසා පූජකයන් යුදෙව් මහාධිකරණය කැඳවලා තවත් නඩුවක් පවත්වනවා. ඒ අය ආයෙත් චෝදනා කරන්නේ යේසුස්, දෙවිට අපහාස කළා කියලයි.

පූජකයන් දැන් යේසුස්ගේ අත් ගැටගහලා රෝම ආණ්ඩුකාරයා වුණු පිලාත් ළඟට යේසුස්ව ගෙනියනවා. එයාලා පිලාත්ට මෙහෙම කියනවා. ‘යේසුස් ආණ්ඩුවට විරුද්ධව කැරලිගහනවා. එයාව මරන්න ඕනේ.’ හැබැයි පිලාත්ට තේරෙනවා පූජකයන් කියන්නේ බොරු කියලා. ඒ නිසා එයා මෙහෙම කියනවා. ‘මෙයාගේ කිසි වරදක් මට පේන්නේ නැහැ. මම මෙයාව නිදහස් කරනවා.’ ඒත් පූජකයනුත් අනිත් අයත් කෑගහලා කියනවා ‘එයාව මරන්න’ කියලා.

පිලාත් යේසුස්ව නිදහස් කරන්න ආයෙත් උත්සාහ කරනවා. හැබැයි පූජකයන්ගේ උසිගැන්වීම නිසා මිනිසුන් කෑගහලා මෙහෙම කියනවා. ‘ඔයා එයාව නිදහස් කළොත් ඔයාත් ආණ්ඩුවට විරුද්ධ වෙනවා. එයාව මරන්න!’ සෙනඟ තවත් හයියෙන් කෑගහන්න පටන්ගන්නවා. පිලාත් මොනවා කරයිද?—

එයා උත්සාහය අත්හරිනවා. යේසුස්ට කස පහර දෙන්නත් යේසුස්ව මරන්නත් එයා අවසර දෙනවා. සෙබළු යේසුස්ට කටු ඔටුන්නක් දාලා අපහාස කරමින් වඳිනවා. ඊටපස්සේ යේසුස්ට වධකණුවක් දීලා ඒක හිස්කබල කියන තැනට අරන් යන්න කියලා කියනවා. එතැනට ගියාට පස්සේ යේසුස්ගේ අත් දෙකයි, කකුල් දෙකයි වධකණුවේ ඇණ ගහලා ඒක කෙළින් කරනවා. යේසුස්ට දැනෙන්නේ පුදුම වේදනාවක්. එයාගේ තුවාලවලින් ලේ ගලනවා.

යේසුස් ඒ වෙලාවෙම මැරෙන්නේ නැහැ. වධකණුවේ ඉන්න යේසුස්ට නායක පූජකයන් විහිළු කරනවා. ඒ ළඟින් යන අයත් යේසුස්ට නින්දා කරමින් කියන්නේ ‘ඔයා දෙවිගේ පුතෙක් නම් වධකණුවෙන් බහින්න’ කියලයි. ඒත් මිනිසුන්ට සදාකාල ජීවිතය ලැබෙන්න නම් තමන්ගේ පරිපූර්ණ ජීවිතය පූජා කරන්න ඕනෙ කියලා යේසුස් හොඳින්ම දන්නවා. අන්තිමේදී හවස තුනට විතර මහා හඬකින් තාත්තාට කතා කරන යේසුස් ජීවිතයෙන් සමු ගන්නවා.—මතෙව් 26:36–27:50; මාක් 15:1; ලූක් 22:39–23:46; යොහන් 18:1–19:30.

ආදම්ට වඩා යේසුස් කොච්චර වෙනස්ද! ආදම් දෙවිට ආදරේ කළේ නැහැ. දෙවිට අකීකරු වුණා. ආදම්ට අපි ගැන ආදරයක් තිබුණෙත් නැහැ. එයා පව් කරපු නිසයි අපි හැමෝටම පව්කාරකම උරුම වුණේ. ඒත් යේසුස්, දෙවිටත් අපිටත් ආදරේ කළා. හැම තිස්සෙම දෙවිට කීකරු වුණා. අපිට උරුම වුණු පාපයෙන් අපිව ගලවාගන්න යේසුස් එයාගේ ජීවිතයත් පූජා කළා.

දැරියක් ‘මගේ බයිබල් කතන්දර පොත’ තවත් පිරිමි ළමයෙකුට පෙන්වමින්

අපි යේසුස්ට ආදරෙයි කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?

යේසුස් කරපු දේ ඔයා අගය කරනවාද?— යාච්ඤා කරද්දී දෙවි තමන්ගේ පුතාව අපි වෙනුවෙන් දීපු එකට ඔයා ස්තුති කරනවාද?— ක්‍රිස්තුස් කරපු දේ ගැන අගය කරපු පාවුල් කිව්වේ දෙවිගේ පුතා ‘මට ආදරේ කරලා මං වෙනුවෙන් ජීවිතය පූජා කළා’ කියලයි. (ගලාති 2:20) ඔයාටත් මටත් සදාකාල ජීවිතය ලබා දෙන්න ඕන නිසයි යේසුස් එයාගේ පරිපූර්ණ ජීවිතය පූජා කළේ. යේසුස්ට ආදරේ කරන්න ඒක අපිට මොන තරම් හොඳ හේතුවක්ද!

පාවුල් කොරින්ති සභාවේ අයට කිව්වා ‘ක්‍රිස්තුස්ට තියෙන ආදරය අපි තුළ ලොකු පෙලඹීමක් ඇති කරනවා’ කියලා. ක්‍රිස්තුස් අපිට පෙන්නලා තියෙන ආදරය නිසා අපි පෙලඹෙන්න ඕනෙ මොනවා කරන්නද?— පාවුල් ඒ ගැන මෙහෙම කිව්වා. ‘ක්‍රිස්තුස් මිය ගියේ ජීවත් වෙන හැමෝම තම තමන් වෙනුවෙන් ජීවත් වෙනවා වෙනුවට ක්‍රිස්තුස් වෙනුවෙන් ජීවත් වෙන්නයි.’—2 කොරින්ති 5:14, 15.

ක්‍රිස්තුස් වෙනුවෙන් ජීවත් වෙන්න ඒ කියන්නේ එයාව සතුටු කරන්න ඔයාට පුළුවන් කොහොමද?— එක විදිහක් තමයි යේසුස් ගැන අනිත් අයට කියන එක. තව විදිහක් ගැන හිතන්න. අම්මාත් තාත්තාත් ළඟ නැති වෙලාවක ඔයා තනියම ටීවී එක හරි ඉන්ටර්නෙට් එක හරි බලනවා. කවුරුත් ළඟ නැති නිසා ඔයා ක්‍රිස්තුස් සතුටු වෙන්නේ නැති දෙයක් බලනවාද?— දැන් ස්වර්ගයේ ඉන්න යේසුස්ට ඔයා කරන හැම දෙයක්ම පේනවා කියලා අමතක කරන්න එපා.

පිරිමි ළමයෙක් සැහැසියාව තියෙන රූපවාහිනී වැඩසටහනක් හොරෙන් බලනවා

අපි කරන හැම දෙයක්ම පේන්නේ කාටද?

යේසුස්ට අපි ආදරේ කරන්න තවත් හේතුවක් තියෙනවා. ඒ තමයි යෙහෝවා දෙවිව අනුකරණය කරන්න අපි කැමැත්තෙන් ඉන්න එක. ‘තාත්තා මට ආදරෙයි’ කියලා යේසුස් කිව්වා. දෙවි යේසුස්ට ආදරේ ඇයි කියලත් අපි යේසුස්ට ආදරේ කරන්න ඕනෙ ඇයි කියලත් ඔයා දන්නවාද?— දෙවිගේ කැමැත්ත ඉටු කරන්න යේසුස් කැමැත්තෙන්ම එයාගේ ජීවිතය පූජා කරපු නිසයි. (යොහන් 10:17) ඒ නිසා බයිබලයේ තියෙන මේ දේ කරන්න අපි උත්සාහ කරමු. ‘දෙවිගේ ප්‍රේමණීය දරුවන් විදිහට දෙවිව අනුකරණය කරන්න. ක්‍රිස්තුස් අපිට ප්‍රේම කළා වගේ ඔයාලත් එකිනෙකාට ප්‍රේම කරන්න. යේසුස් අපි වෙනුවෙන් තම ජීවිතය පූජාවක් විදිහට ඔප්පු කළා.’—එෆීස 5:1, 2.

යේසුස් ගැනත් යේසුස් අපි වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැනත් අපිට තියෙන අගය තවත් වැඩි කරගන්න උදව් වෙන මේ බයිබල් පද අපි කියවලා බලමු. යොහන් 3:35; 15:9, 10; 1 යොහන් 5:11, 12.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න