“සියල්ලට වඩා, එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතිව සිටින්න”
“සියලු දේවල අවසානය ළං වී ඇත. . . . සියල්ලට වඩා, එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතිව සිටින්න.”—1 පේතෘස් 4:7, 8.
යේසුස් ඔහුගේ ප්‍රේරිතයන් සමඟ ගත කරන අවසන් පැය කිහිපය ඉතා වටිනා බව දැන සිටියා. ඉදිරියේදී ඔවුන්ට මුහුණ දීමට තිබූ දෙය ගැන ඔහු සිටියේ හොඳ අවධානයකින්. ඔවුන්ට අතිවිශාල වැඩක් කරන්න තිබුණා. කෙසේවෙතත් යේසුස් වගේ ඔවුන්ද මිනිසුන්ගේ වෛරයට ලක්වීමත් පීඩාවලට මුහුණ දීමත් කලින්ම බලාපොරොත්තු විය හැකි දෙයක් වුණා. (යොහන් 15:18-20) ඔවුන් එකට රැස්ව සිටි ඒ අවසාන රාත්රියේදී ඔහු ‘එකිනෙකාට ප්‍රේම කිරීමේ’ අවශ්‍යතාව කිහිප වතාවක්ම ඔවුන්ට මතක් කර දුන්නා.—යොහන් 13:34, 35; 15:12, 13, 17.
2 එදා ඒ රාත්‍රියේ ඔවුන් සමඟ සිටි ප්‍රේරිත පේතෘස් යේසුස්ගේ එම වදන්වල වැදගත්කම තේරුම්ගත්තා. මින් වසර ගණනාවකට පසු, පේතෘස් ප්‍රේමයේ වැදගත්කම අවධාරණය කළා. මෙසේ කළේ යෙරුසලමේ විනාශයට ටික කලකට කලිනුයි. මේ සම්බන්ධයෙන් ඔහු ක්‍රිස්තියානීන්ට මෙසේ උපදෙස් දුන්නා. “සියලු දේවල අවසානය ළං වී ඇත. . . . සියල්ලට වඩා, එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතිව සිටින්න.” (1 පේතෘස් 4:7, 8) මේ වත්මන් සමාජ ක්රමයේ “අන්තිම දවස්වල” ජීවත් වන අයට පේතෘස්ගේ එම වදන් විශේෂයෙන් වැදගත් වෙනවා. (2 තිමෝති 3:1) “බලවත් ප්‍රේමය” යනු කුමක්ද? එකිනෙකා කෙරෙහි එවැනි ප්‍රේමයක් ඇතිව සිටීම වැදගත් වන්නේ ඇයි? අපට එවන් ප්‍රේමයක් තිබෙන බව පෙන්විය හැක්කේ කෙසේද?
“බලවත් ප්‍රේමය” යනු කුමක්ද?
3 ප්‍රේමය ගැන බොහෝදෙනෙක් සිතන්නේ එය ස්වභාවයෙන්ම ඇති විය යුතු හැඟීමක් කියායි. ඒත් පේතෘස් කතා කළේ ඕනෑම ආකාරයක ප්‍රේමයක් ගැන නොවෙයි. පේතෘස් ඉතාමත් උතුම්ම ආකාරයේ ප්‍රේමයක් ගැනයි කතා කළේ. පළමුවන පේතෘස් 4:8හි සඳහන් “ප්‍රේමය” සඳහා තිබෙන ග්‍රීක් වචනය වන්නේ අගාපේ නමැති වචනයයි. මඟ පෙන්වීම සඳහා ප්‍රතිපත්ති දෙස බලන, ඒවා මගින් පාලනය වන පරාර්ථකාමී ප්‍රේමය එම වචනයෙන් අදහස් කරනවා. මේ ගැන එක් පොතක සඳහන් වන්නේ මෙසේයි. “මූලිකව ගත් කල අගාපේ ප්‍රේමය නිකම්ම හැඟීමකට සීමා නොවේ. ඊට, පියවරක් ගැනීමට මඟ පාදන අධිෂ්ඨානයක් මුසු වී තිබෙන නිසා යම් අණක් පිළිපැදීමේ හැකියාව එයට තිබේ.” ආත්මාර්ථකාමී නැඹුරුවාවන් අපට සහජයෙන්ම උරුම වී තිබෙන නිසා දේවප්රතිපත්තිවල මඟ පෙන්වීම සැලකිල්ලට ගනිමින් එකිනෙකාට ප්‍රේමය පෙන්වීම සඳහා අපට සිහිගැන්වීම් අවශ්‍යයි.—උත්පත්ති 8:21; රෝම 5:12.
4 අප යුතුකමක් හැටියට එකිනෙකාට ප්‍රේමය පෙන්වන බවක් ඉන් අදහස් කරන්නේ නැත. අගාපේ ප්‍රේමය කියන්නේ උණුසුම් හැඟීම්වලින් තොර දෙයක් නොවෙයි. අපි “එකිනෙකා කෙරෙහි බලවත් [කිංඩම් ඉන්ටර්ලීනියර්හි දක්වන පදගතාර්ථයට අනුව “මුළු වැර යොදා පෙන්වන”] ප්‍රේමයක් ඇතිව [සිටිය]” යුතුයි කියා පේතෘස් පැවසුවා.a කෙසේවෙතත් මෙවන් ප්‍රේමයක් පෙන්වීම සඳහා වෑයම අවශ්‍යයි. “බලවත්” කියා පරිවර්තනය කර තිබෙන ග්‍රීක් වචනය ගැන එක් විද්වතෙක් මෙසේ පවසනවා. “එම වචනයෙන් මනසට නැඟෙන්නේ මලල ක්‍රීඩකයෙක් දිවීමේ තරඟයකදී දිනුම් කණුව කරා ළඟා වෙද්දී ඔහුගේ මුළු වැර යොදන විට ඔහුගේ මාංස පේශී ඇදෙන ආකාරයයි.”
5 එසේනම් අපගේ ප්‍රේමය පහසු අවස්ථාවලදී පමණක් පෙන්වීමට සීමා නොවිය යුතුයි. ඒ වගේම තෝරාගත් කිහිපදෙනෙකුට පමණක් සීමා කර නොගත යුතුයි. ක්‍රිස්තියානි ප්‍රේමය පෙන්වීම අමාරු දෙයක් විය හැකි අවස්ථාවලදී පවා එය පෙන්වීමට මුළු වැර යොදන්න අවශ්‍යයි. (2 කොරින්ති 6:11-13) ක්‍රීඩකයෙක් ඔහුගේ දක්ෂතා දියුණු කරගැනීමට පුහුණු විය යුතු වන්නාක් මෙන් එවන් ප්‍රේමයක් වර්ධනය කරගැනීමට අපද වෑයම් කිරීම අවශ්‍ය බව පැහැදිලියි. අපි එකිනෙකා කෙරෙහි එවන් ප්‍රේමයක් ඇතුව සිටීම අත්‍යවශ්‍යයි. ඒ මන්ද? අඩුම තරමින් හේතු තුනක්වත් නිසාය.
අපි එකිනෙකාට ප්‍රේමය පෙන්විය යුත්තේ ඇයි?
6 පළමුවන හේතුව වන්නේ “ප්‍රේමය දෙවිගෙන්” වීමයි. (1 යොහන් 4:7) අපිට මුලින්ම ප්‍රේමය පෙන්නුවේ එම සිත්ගන්නා ගුණාංගයේ උල්පත වන යෙහෝවායි. මේ ගැන ප්‍රේරිත යොහන් මෙසේ පවසනවා. “දෙවිගේ ප්‍රේමය අප කෙරෙහි ප්‍රකාශ වූයේ, අප ඔහුගේ ඒකජාතක පුත්‍රයා මාර්ගයෙන් ජීවනය ලබන පිණිස දෙවි ඔහුව ලෝකයට එවූ කාරණයෙන්ය.” (1 යොහන් 4:9) මිනිසෙකු වශයෙන් දෙවිගේ පුත්‍රයාව මෙලොවට ‘එව්වෙත්’ ඔහු දේවසේවය කරගෙන ගියෙත් අවසානයේදී වධකණුවක මිය ගියෙත් අපිට ‘ජීවනය ලැබෙන පිණිසයි.’ දෙවි ප්‍රේමය පෙන්වා තිබෙන මේ විශිෂ්ටතම ආකාරයට අපි ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද? යොහන් මෙසේ පවසයි. “දෙවි අපට මෙසේ ප්‍රේම කළේ නම්, අපිත් එකිනෙකාට ප්‍රේම කිරීමට බැඳී සිටින්නෙමු.” (1 යොහන් 4:11) “දෙවි අපට මෙසේ ප්‍රේම කළේ නම්” යනුවෙන් යොහන් පවසන බව සැලකිල්ලට ගන්න. ඔබට නොව අපට කියා පවසද්දී සියලුදෙනාම ඇතුළත් වෙනවා. ඔහු අවධාරණය කරන කාරණය මෙය බව පැහැදිලිය. එනම්, දෙවි අපේ සෙසු නමස්කාරකයන්ට ප්‍රේමය පෙන්වනවා නම් අපිත් ඔවුන්ට ප්‍රේමය පෙන්විය යුතු බවයි.
7 දෙවන හේතුව වන්නේ විශේෂයෙන්ම මේ කාලයේදී එකිනෙකාට ප්‍රේමය පෙන්වීම අත්‍යවශ්‍ය නිසයි. මන්ද “සියලු දේවල අවසානය ළං වී [ඇති]” නිසා උපකාරය අවශ්‍ය කරන අපේ සහෝදරයන්ට උපකාර කළ හැක්කේ එවන් ප්‍රේමයක් තිබෙනවා නම් පමණයි. (1 පේතෘස් 4:7) අපි ජීවත් වන්නේ “කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක [කාලවලයි].” (2 තිමෝති 3:1) ලෝකයේ උද්ගත වන තත්වයන්, ස්වාභාවික විපත් හා විරුද්ධවාදිකම් නිසා අපි දුෂ්කරතා අද්දකිනවා. කටයුතු කිරීමට අසීරු තත්වයන් ඇති වන විට අපි එකිනෙකාට වඩ වඩා ළංවීම අවශ්‍යයි. බලවත් ප්‍රේමය අප එකිනෙකා අතර එක්සත්කම ඇති කරවන අතර ‘එකිනෙකාට සැලකිල්ල දැක්වීමට’ අපව පොලඹවයි.—1 කොරින්ති 12:25, 26.
8 තුන්වෙනුව, අපි එකිනෙකාට ප්‍රේමය පෙන්වීම අවශ්‍ය වන්නේ අපෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට ‘යක්ෂයාට ඉඩ දෙන්න’ අපට වුවමනා නැති නිසයි. (එෆීස 4:27) අපව බාධාවට පත් කිරීම සඳහා සෙසු ඇදහිලිවන්තයන්ගේ දුර්වලකම්, වැරදි හා ඔවුන් අතින් සිදු වන අතපසු වීම් සාතන් විගස ප්‍රයෝජනයට ගන්නවා. සෙසු ඇදහිලිවන්තයෙක් එතරම් හිතන්නේ නැතුව පවසන දෙයක් හෝ ඔහු හෝ ඇය කරන අකාරුණික ක්‍රියාවක් නිසා අපි ක්‍රිස්තියානි සභාවෙන් ඉවත් වෙනවාද? (හිතෝපදේශ 12:18) එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් තිබෙනවා නම් අපි එසේ කරන්නේ නැත. සාමය පවත්වාගැනීමටත් ‘එක සිතින්’ දෙවිට එක්සත්ව සේවය කිරීමටත් එවැනි ප්‍රේමයක් අපට උපකාර කරයි.—ශෙපනියා 3:9.
අන් අය කෙරෙහි ඔබට තිබෙන ප්‍රේමය පෙන්විය හැකි අයුරු
9 ප්‍රේමය පෙන්වීම පටන්ගත යුත්තේ නිවසින්. තමන්ගේ සැබෑ අනුගාමිකයන්ව හඳුනාගත හැක්කේ ඔවුන් එකිනෙකාට පෙන්වන ප්‍රේමයෙන් බව යේසුස් පැවසුවා. (යොහන් 13:34, 35) සභාව තුළ පමණක් නොව පවුල තුළද, එනම් විවාහක කලත්‍රයන් අතරද, දෙමාපියන් හා දරුවන් අතරද ප්‍රේමය දකින්න තිබිය යුතුයි. පවුලේ අය කෙරෙහි ප්‍රේමයේ හැඟීමක් පමණක් තිබීම මදි. අපි එය ඔවුන්ට දිරිගන්වනසුලු ආකාරවලින් ප්‍රකාශ කිරීමත් අවශ්‍යයි.
10 එකිනෙකාට ප්‍රේමය පෙන්වීමට විවාහක කලත්‍රයන්ට හැක්කේ කෙසේද? තම භාර්යාවට අවංකවම ප්‍රේම කරන ස්වාමිපුරුෂයෙක් ඇයට බොහෝ සේ ආදරය කරන බව වචනවලින් මෙන්ම ක්‍රියාවලින්ද දැනෙන්ට සලස්වයි. ඔහු මෙය ප්‍රසිද්ධියේ මෙන්ම පෞද්ගලිකවද කරයි. ඔහු ඇගේ ආත්ම ගරුත්වය අගය කොට සලකයි. ඇගේ සිතුවිලි, අදහස් හා හැඟීම් සැලකිල්ලට ගනියි. (1 පේතෘස් 3:7) තමාගේ යහපතට වඩා ඇයගේ යහපතට ඔහු මුල් තැනක් දෙයි. ඇගේ ද්‍රව්‍යමය, ආත්මික හා චිත්තවේගීය අවශ්‍යතා සපුරාලීම සඳහා ඔහුට කළ හැකි සෑම දෙයක්ම ඔහු කරයි. (එෆීස 5:25, 28) තමාගේ ස්වාමිපුරුෂයාට අවංකවම ප්‍රේම කරන භාර්යාවක් ඔහුට “ගැඹුරු ගෞරවයක්” දක්වයි. සමහර අවස්ථාවලදී තමන් බලාපොරොත්තු වන දේවල් ඔහු අතින් ඉටු නොවුණත් ඇය එසේ කරයි. (එෆීස 5:22, 33) ඇයගේ කලත්‍රයාට ඇය සහයෝගය ලබා දෙයි. ඔහුට යටත් වෙයි. අසාධාරණ ඉල්ලීම් නොකරයි. ආත්මික කාරණාවලට මුල් තැන දීමේදී ඔහු සමඟ සහයෝගයෙන් කටයුතු කරයි.—උත්පත්ති 2:18; මතෙව් 6:33.
11 දෙමාපියෙනි, ඔබේ දරුවන්ට ඔබ ප්‍රේම කරන බව පෙන්විය හැක්කේ කෙසේද? ඔබේ දරුවන්ට අවශ්‍ය ද්‍රව්‍යමය දේවල් ලබා දීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කරන්න ඔබ දක්වන කැමැත්තෙන් පැහැදිලි වන්නේ ඔබ ඔවුන්ට ප්‍රේම කරන බවයි. (1 තිමෝති 5:8) ඒ වුණත් කෑම බීම, ඇඳුම් පැළඳුම් හා ඉඳුම් හිටුම් යනාදියට වඩා වැඩි යමක් දරුවන්ට අවශ්‍යයි. සැබෑ දෙවිට ප්‍රේම කරමින් ඔහුට සේවය කරන වැඩිහිටියන් බවට පත් වෙන්න නම් ඔවුන්ට ආත්මික පුහුණුවක් අවශ්‍යයි. (හිතෝපදේශ 22:6) මේ සඳහා පවුලක් හැටියට බයිබලය අධ්‍යයනය කිරීමටත්, දේවසේවයේ හවුල් වීමටත්, ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑමටත් කාලය වෙන් කරගත යුතුයි. (ද්විතීය කතාව 6:4-7) විශේෂයෙන්ම මේ අන්තරා සහිත කාලවලදී මේ දේවල් දිගටම කරන්න නම් විශාල කැප කිරීම් කරන්න අවශ්‍යයි. ඔබේ දරුවන්ගේ ආත්මික අවශ්‍යතා ගැන උනන්දු වීමෙන් හා ඒවා සපුරාලීම සඳහා ඔබ දරන වෑයම්වලින් පෙනී යන්නේ ඔබ ඔවුන්ට ප්‍රේම කරන බවයි. මෙසේ ඔබ ඇත්තටම ඔවුන්ගේ සදාකාලික ශුභසිද්ධිය ගැන සැලකිලිමත් වන බවත් එයින් පෙනේ.—යොහන් 17:3.
12 දරුවන්ගේ චිත්තවේගීය අවශ්‍යතා ඉටු කිරීමෙන්ද දෙමාපියන් දරුවන්ට ප්‍රේමය පෙන්වීම ඉතා වැදගත්. දරුවන් පහසුවෙන්ම අනතුරුවලට ගොදුරු විය හැකියි. ඔබ ඔවුන්ට ප්‍රේම කරන බවට විශ්වාසයක් ඔවුන්ගේ මොළොක් සිත් තුළ ඇති කිරීමට අවශ්‍යයි. ඔබ ඔවුන්ට ආදරෙයි කියා පවසන්න. ඔබේ සෙනෙහස බහුලව පෙන්වන්න. මෙසේ කරන විට අනිත් අය ඔවුන්ට ආදරේ කරන බවටත් ඔවුන්ව වටිනා අය හැටියට සලකන බවටත් විශ්වාසයක් ඔවුන් තුළ ඇති වෙයි. උණුසුම් හැඟීමෙන් යුතුව අවංකවම ඔවුන්ට ප්‍රශංසා කරන්න. මන්ද මෙසේ කිරීමෙන් ඔවුන්ගේ වෑයම් ඔබ දකින බවත් ඒවා ඔබ අගය කරන බවත් ඔවුන්ට වැටහෙයි. ප්‍රේමයෙන් ඔවුන්ව හික්මවන්න. මන්ද එලෙස කරන නිවැරදි කිරීම්වලින් පැහැදිලි වන්නේ ඔවුන් මොන වගේ පුද්ගලයන් වෙනවාට ඔබ කැමතිද යන්න ගැන ඔබ හුඟාක් සැලකිලිමත් වන බවයි. (එෆීස 6:4) මේ සෑම ආකාරයකින්ම පෙන්වන ප්‍රේමය සන්තෝෂවත් වගේම එකිනෙකා සමඟ කිට්ටු බැඳීමක් තිබෙන පවුලක් ගොඩනැඟීමට උපකාරවත් වෙයි. මෙවන් පවුලක් මේ අන්තිම දවස්වලදී මුහුණ දීමට සිදු වන පීඩනවලට ඔරොත්තු දීමට වඩාත් හොඳින් සූදානම්ව සිටියි.
13 අනිත් අයගේ අඩු පාඩුකම් ගණන් නොගෙන සිටීමට ප්‍රේමය අපව පොලඹවයි. “එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතිව සිටින්න” කියා පේතෘස් ඔහුගේ පාඨකයන්ට උපදෙස් දෙන විට එවන් ප්‍රේමයක් පෙන්වීම එතරම් වැදගත් වීමට හේතුවද පෙන්වා දෙමින් පැවසූ මෙම වදන්ද මතක තබාගන්න. “මන්ද, ප්‍රේමය පව් රාශියක් වසා දමන්නේය.” (1 පේතෘස් 4:8) මෙයින් අදහස් කරන්නේ බරපතළ පව් ‘සැඟවීම’ නොවෙයි. බරපතළ පාප නිසි පරිදි වාර්තා කළ යුතු අතර සභාවේ වගකීම් උසුලන අය ඒ ගැන සොයා බැලිය යුතුයි. (ලෙවී කතාව 5:1; හිතෝපදේශ 29:24) අහිංසක අයට දිගටම හානි කිරීමට දිගින් දිගටම බරපතළ පාප කරන අයට ඉඩහැරීම ඉතාමත් අකාරුණික ක්‍රියාවක් වන අතර, එය ශුද්ධ ලියවිල්ලටද පටහැනියි.—1 කොරින්ති 5:9-13.
14 බොහෝ අවස්ථාවලදී සෙසු ඇදහිලිවන්තයන් අතින් සිදු වන අඩු පාඩුකම් හා වැරදි එතරම් විශාල ඒවා නොවෙයි. සමහර අවස්ථාවලදී අපි සෑම කෙනෙක්ම කරන කියන දේවල් නිසා අන් අයගේ බලාපොරොත්තු කඩ වෙන්න පුළුවන්. අන් අයගේ සිත් පවා රිදෙන්න පුළුවන්. (යාකොබ් 3:2) අනිත් අයගේ දුර්වලකම් වෙනත් අයත් සමඟ කතා කරන්න අපි ඉක්මන් විය යුතුද? එසේ කළොත් සිදු වන්නේ සභාව තුළ බෙදීම් ඇතිවීමයි. (එෆීස 4:1-3) අපි ප්‍රේමය මගින් පාලනය වන්නේ නම් සෙසු ඇදහිලිවන්තයෙකුට ‘විරුද්ධව කේලම් කියන්නේ’ නැත. (ගීතාවලිය 50:20) බදාම හා තීන්ත ගා බිත්තියක කඩතොලු වසා දමනවා වගේ අනිත් අයගේ අසම්පූර්ණකම් ප්‍රේමය මගින් වසා දමනවා.—හිතෝපදේශ 17:9.
15 ඇත්තටම අවශ්‍යතාවලින් පෙළෙන අයට උපකාර කිරීම සඳහා අපව පොලඹවන්නේ ප්‍රේමයයි. මේ අන්තිම දවස්වල ලෝක තත්වය දිනෙන් දින පිරිහෙමින් පවතින නිසා ඇතැම් කාලවලදී අපේ සෙසු ඇදහිලිවන්තයන්ට ද්‍රව්‍යමය දේවලින් හෝ ශ්‍රමයෙන් උපකාර අවශ්‍ය විය හැකියි. (1 යොහන් 3:17, 18) උදාහරණයක් හැටියට අපේ සභාවේ සාමාජිකයෙක් ආර්ථික ගැටලුවලින් පීඩා විඳිනවා නම් හෝ රැකියාව අහිමි වී සිටිනවා නම් අපිට කුමක් කළ හැකිද? අපට හැකි ආකාරයෙන් ද්‍රව්‍යමය වශයෙන් යම් උපකාරයක් කරන්න හැකියි. (හිතෝපදේශ 3:27, 28; යාකොබ් 2:14-17) කලත්‍රයා මිය ගොස් සිටින වයසක සහෝදරයෙකුගේ හෝ සහෝදරියකගේ නිවසේ යම් අලුත්වැඩියා කිරීමක් කරන්න අවශ්‍යද? අපිට පුළුවන් සුදුසු පරිදි ඒ අලුත්වැඩියා කිරීම් සඳහා මූලික පියවර ගන්න.—යාකොබ් 1:27.
16 අන් අයට ප්‍රේමය පෙන්වීම කියන්නේ ළඟ පාත සිටින අයට පමණක් ප්‍රේමය පෙන්වීම නොවෙයි. සමහර අවස්ථාවලදී වෙනත් රටවල සිටින දෙවිගේ සේවකයන් සුළි සුළං, භූමිකම්පා හෝ රටේ පවතින කලබල නිසා පීඩා විඳින බව අපට දැනගන්න ලැබෙන්න පුළුවන්. ඔවුන්ට ආහාර පාන, ඇඳුම් පැළඳුම් හා වෙනත් දේවල් සඳහා දැඩි අවශ්‍යතාවක් තිබිය හැකියි. ඔවුන් වෙනත් ජන වර්ගයකට අයත් වීම අපට ප්‍රශ්නයක් නොවෙයි. අපි ‘මුළු සහෝදර සංගමයටම ප්‍රේමය පෙන්වනවා.’ (1 පේතෘස් 2:17) මේ නිසා මුල් සියවසේ සභාවල සිටි ක්‍රිස්තියානීන් කළාක් මෙන් අපත් එවැනි අයට උපකාර කිරීම සඳහා සැලසුම් කරන විධිවිධානයන්ට මහත් ඕනෑකමින් සහයෝගය දෙනවා. (ක්‍රියා 11:27-30; රෝම 15:26) මේ සෑම ආකාරයකින්ම අපි ප්‍රේමය පෙන්වන විට මේ අන්තිම දවස්වල අපව එක්සත්ව තබන බැඳීම තවත් ශක්තිමත් කරන්නෙමු.—කොලොස්සි 3:14.
17 දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය අන් අය සමඟ බෙදාගැනීමට අපව පොලඹවන්නේ ප්‍රේමයයි. යේසුස්ගේ ආදර්ශය සලකා බලන්න. ඔහු මිනිසුන්ට දේශනා කළෙත්, ඉගැන්නුවෙත් ඇයි? සෙනඟ ආත්මිකව අසරණව සිටි නිසා ඔහු ‘අනුකම්පාවෙන් පෙලඹුණා.’ (මාක් 6:34) බොරු ආගමික එඬේරුන් ඔවුන් ගැන කිසිම සැලකිල්ලක් දක්වා තිබුණේ නැහැ. මොවුන් ඒ සෙනඟට ආත්මික සත්‍යයන් උගන්වමින් ඔවුන් තුළ බලාපොරොත්තුවක් ඇති කළ යුතුව තිබුණා. එහෙත් යේසුස් මුළු හදින්ම නික්මුණු ප්‍රේමයෙන් හා දයානුකම්පාවෙන් පෙලඹිලා, “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය” පවසමින් ඔවුන්ව සැනසුවා.—ලූක් 4:16-21, 43.
18 මේ කාලයෙත් බොහෝදෙනෙකුගේ ආත්මික අවශ්‍යතා සපුරා නැහැ. ඔවුන්ව නොමඟ යවා තිබෙනවා. ඔවුන්ට බලාපොරොත්තුවක් නැහැ. යේසුස් වගේ අපිත් තවමත් සැබෑ දෙවිව දැනගෙන නැති අයගේ ආත්මික අවශ්‍යතා ගැන සැලකිලිමත් වෙනවා නම් අපිත් ප්‍රේමයෙන් හා දයානුකම්පාවෙන් පෙලඹිලා දෙවිගේ රාජ්‍යයේ ශුභාරංචිය ඔවුන්ට පවසනවා. (මතෙව් 6:9, 10; 24:14) ඉතිරි වී තිබෙන කෙටි කාලය දිහා බලද්දී ජීවිත ගලවන මේ පණිවිඩය වෙන කාලවලට වඩා මේ කාලයේදී ඉතා ඉක්මනින් මිනිසුන්ට දැනුම් දිය යුතුයි.—1 තිමෝති 4:16.
“සියලු දේවල අවසානය ළං වී ඇත”
19 එකිනෙකා කෙරෙහි ප්‍රේමයක් ඇතිව සිටින්න කියා පේතෘස් දුන් උපදේශයට කලින් ඔහු මෙසේද පැවසූ බව මතක තබාගන්න. “සියලු දේවල අවසානය ළං වී ඇත.” (1 පේතෘස් 4:7) වැඩි කල් යන්න කලින් මේ දුෂ්ට ලෝකය පහවීමෙන් පසු දෙවිගේ ධර්මිෂ්ඨ නව ලෝකය පැමිණීමට නියමිතයි. (2 පේතෘස් 3:13) එසේනම් අපි ජීවත් වෙන කාලයේ හදිසිතාව ගණන් නොගෙන සිටීමට මෙය කාලය නොවෙයි. යේසුස් අපිට මෙසේ අනතුරු ඇඟෙව්වා. “අධික කෑමෙනුත් බීමෙනුත් ජීවිතයේ කරදරවලිනුත් ඔබේ සිත් කිසි කලෙක බර නොවන පිණිස ඔබ ගැන හොඳ අවධානයකින් සිටින්න. නැතහොත් ඔබ නොදැනුවත්වම ඒ දවස ඔබ පිටට ක්ෂණිකව, උගුලක් මෙන් පැමිණෙන්නේය.”—ලූක් 21:34, 35.
20 එසේනම් අපි ජීවත් වෙන කාලය ගැන හොඳ අවධානයකින් සිටිමින් “සෝදිසියෙන් සිටින්න” හැකි සෑම වෑයමක්ම දරමු. (මතෙව් 24:42) අපිව වෙනතකට යොමු කරවිය හැකි සාතන්ගේ ඕනෑම පරීක්ෂාවකට එරෙහිව සිටිමු. එකිනෙකාට ප්‍රේමය පෙන්වීමෙන් අපව වළක්වාලන්න මේ සිත් පිත් නැති නපුරු ලෝකයට කිසිවිටකත් ඉඩ නොතබමු. සැබෑ දෙවි වන යෙහෝවාට තව තවත් ළංවීම වඩාත්ම වැදගත් දෙය ලෙස සලකමු. ළඟදීම ඔහුගේ මෙසියානු ආණ්ඩුව මගින් මේ පොළොව මත ඔහුගේ තේජාන්විත අරමුණ ඉටු කිරීමට නියමිතයි.—එළිදරව් 21:4, 5.
[පාදසටහන]
a වෙනත් බයිබල් පරිවර්තනවල 1 පේතෘස් 4:8හි සඳහන් වන්නේ අපි එකිනෙකාට “අවංකවම” හෝ “ගැඹුරින්” හෝ “මහත් ඕනෑකමින්” ප්‍රේමය පෙන්විය යුතු බවයි.
අධ්‍යයනය සඳහා ප්‍රශ්න
• යේසුස් ඔහුගේ ගෝලයන්ගෙන් සමුගැනීමේදී දුන් උපදේශය කුමක්ද? පේතෘස් එහි වැදගත්කම තේරුම්ගත් බව පැහැදිලි වන්නේ කුමකින්ද? (ඡේද 1-2)
• “බලවත් ප්‍රේමය” යනු කුමක්ද? (ඡේද 3-5)
• අපි එකිනෙකාට ප්‍රේමය පෙන්විය යුත්තේ මන්ද? (ඡේද 6-8)
• අන් අය කෙරෙහි ප්‍රේමයක් ඔබට තිබෙන බව පෙන්විය හැක්කේ කෙසේද? (ඡේද 9-18)
• අපි ජීවත් වෙන කාලයේ හදිසිතාව ගණන් නොගෙන සිටීමට මෙය කාලය නොවන්නේ මන්ද? එමෙන්ම අප කුමක් කිරීමට අදිටන් කරගෙන සිටිය යුතුද? (ඡේද 19-20)
[29වන පිටුවේ පින්තූරය]
මේ අන්තිම දවස්වල පීඩනවලට නොසැලී මුහුණ දීමට ප්‍රේමයෙන් එකට බැඳුණු පවුලක් හොඳින් සූදානම්ව සිටියි
[30වන පිටුවේ පින්තූරය]
ඇත්තටම අවශ්‍යතාවලින් පෙළෙන අයට උපකාර කිරීමට අපව පොලඹවන්නේ ප්‍රේමයයි
[31වන පිටුවේ පින්තූරය]
අන් අය සමඟ දේවරාජ්‍යයේ ශුභාරංචිය බෙදාගැනීම ප්‍රේමය පෙන්වන එක් ක්‍රමයක්