ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w23 නොවැම්බර් 8-13 පි.
  • දිගටම ගැඹුරු ආදරයක් ඇති කරගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දිගටම ගැඹුරු ආදරයක් ඇති කරගන්න
  • 2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අපි අනිත් අයට ආදරේ කරන්න ඕනෙ ඇයි?
  • ආදරේ පෙන්නන්න පුළුවන් කොහොමද?
  • දිගටම ගැඹුරු ආදරයක් ඇති කරගන්න පුළුවන් කොහොමද?
  • මේ කාලේ ආදරේ නැතුවම බැරි ඇයි?
  • “දිගටම ප්‍රේමයෙන් ගමන් කරන්න”
    යෙහෝවාට ළං වන්න
  • “සියල්ලට වඩා, එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතිව සිටින්න”
    සෝදිසියෙන් සිටින්න!
  • ආදරේ අඩු වෙන්න ඉඩ දෙන්න එපා
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ප්‍රේමයෙන් වැඩෙන්න
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w23 නොවැම්බර් 8-13 පි.

පාඩම් ලිපිය 47

දිගටම ගැඹුරු ආදරයක් ඇති කරගන්න

“අපි දිගටම එකිනෙකාට ප්‍රේම කරමු. මන්ද ප්‍රේමය පැමිණෙන්නේ දෙවිගෙන්ය.”—1 යොහ. 4:7.

ගීතිකාව 109 හද පත්ලෙන් නැඟෙනා ප්‍රේමය

මේ ලිපියෙන්a

1-2. (අ) “උතුම්ම” ගුණාංගය ආදරය කියලා පාවුල් කිව්වේ ඇයි? (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොන ප්‍රශ්න ගැනද?

විශ්වාසය, බලාපොරොත්තුව සහ ආදරය ගැන කතා කරද්දී පාවුල් කිව්වේ “ඒවායින් උතුම්ම එක වන්නේ ප්‍රේමයයි” කියලා. (1 කොරි. 13:13) පාවුල් එහෙම කිව්වේ ඇයි? හිතන්න, පාරාදීසය ගැන දෙවියන් දීලා තියෙන පොරොන්දුව ඉටු වෙන කල් අපි මේ කාලේ බලාපොරොත්තුවක් සහ විශ්වාසයක් ඇතුව බලන් ඉන්නවා. හැබැයි පාරාදීසයේදී ඒ පොරොන්දු ගැන විශ්වාසයක්, බලාපොරොත්තුවක් තියාගන්න ඕනෙ නැහැ. මොකද ඒ වෙද්දී ඒ පොරොන්දු ඉටු වෙලා ඉවරයි. හැබැයි යෙහෝවා ගැන, ඔහුගේ සෙනඟ ගැන අපේ හිතේ තියෙන ආදරේ කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒ ආදරේ පාරාදීසයේදීත් අපි හැමදාටම ශක්තිමත්ව තියාගන්න ඕනේ.

2 ආදරය කියන දේ හැමදාම අපි ළඟ තියෙන්න ඕනෙ දෙයක් නිසා අපි මේ ප්‍රශ්න තුනට උත්තර හොයමු. (1) අපි අනිත් අයට ආදරේ කරන්න ඕනෙ ඇයි? (2) අනිත් අය ගැන අපේ හිතේ තියෙන ආදරේ පෙන්නන්න පුළුවන් කොහොමද? (3) අනිත් අය ගැන තියෙන ආදරේ දිගටම ශක්තිමත්ව තියාගන්න අපිට පුළුවන් කොහොමද?

අපි අනිත් අයට ආදරේ කරන්න ඕනෙ ඇයි?

3. අනිත් අයට ආදරේ කරන්න අපිට තියෙන හේතු මොනවාද?

3 අනිත් අයට ආදරේ කරන්න අපිට ගොඩක් හේතු තියෙනවා. එක හේතුවක් ගැන යේසුස් මෙහෙම කිව්වා. “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි.” (යොහ. 13:35) ඊට අමතරව පාවුල් කිව්වා ආදරේ කියන්නේ “එක්සත්කමට දායක වන හොඳම බැඳීම” කියලා. (කොලො. 3:14) ඔව්, අපි එක්සත්ව ඉන්නේ ආදරය නිසයි. හැබැයි අපි අනිත් අයට ආදරේ පෙන්නන්න තවත් වැදගත් හේතුවක් තියෙනවා. ඒ ගැන යොහන් මෙහෙම කිව්වා. “දෙවිට ප්‍රේම කරන තැනැත්තා තමාගේ සහෝදරයාටද ප්‍රේම කළ යුතුයි.” (1 යොහ. 4:21) ඒකෙන් පැහැදිලියි අපි අනිත් අයට ආදරේ කරද්දී අපේ හිතේ යෙහෝවා ගැන තියෙන ආදරේ පේනවා කියලා.

4-5. දෙවියන් ගැන තියෙන ආදරයයි, සහෝදරයන් ගැන තියෙන ආදරයයි අතර තියෙන සම්බන්ධය මොකක්ද?

4 අපේ හිතේ දෙවියන් ගැන තියෙන ආදරයයි, සහෝදරයන් ගැන තියෙන ආදරයයි අතර සම්බන්ධයක් තියෙනවා. ඒක තේරුම්ගන්න මේ උදාහරණය බලන්න. අපේ හදවත අපේ ඇඟේ තියෙන හැම අවයවයකටම සම්බන්ධයි. ඒ නිසා දොස්තර කෙනෙක්ට පුළුවන් නාඩි අල්ලලා අපේ හදවතේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවාද කියලා දැනගන්න.

5 අපේ නාඩි බලලා හදවතේ තත්වය දැනගන්න පුළුවන් වගේ අපි සහෝදරයන්ට පෙන්නන ආදරේ දිහා බලලා යෙහෝවා ගැන අපේ හිතේ කොච්චර ආදරයක් තියෙනවාද කියලා අපිට දැනගන්න පුළුවන්. ඉතින් සහෝදරයන් ගැන අපේ හිතේ තියෙන ආදරේ ටික ටික අඩු වෙනවා කියලා දැනෙනවා නම් ඒකෙන් පේන්නේ යෙහෝවා ගැන තියෙන ආදරෙත් අඩු වෙලා කියලා. අනිත් අතට අපි දිගටම සහෝදර සහෝදරියන්ට ආදරේ පෙන්නනවා නම් යෙහෝවා ගැන අපේ හිතේ ගැඹුරු ආදරයක් තියෙනවා කියන එකට ඒක හොඳ සාක්ෂියක්.

6. සහෝදර සහෝදරියන් ගැන අපේ හිතේ තියෙන ආදරේ අඩු වෙලා නම් අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ ඇයි? (1 යොහන් 4:7-9, 11)

6 සහෝදර සහෝදරියන් ගැන අපේ හිතේ තියෙන ආදරේ එන්න එන්නම අඩු වෙනවා කියලා අපිට තේරුණොත් ඒ ගැන අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ ඇයි? මොකද ඒකෙන් පැහැදිලි වෙන්නේ යෙහෝවා එක්ක අපිට තියෙන බැඳීම ලොකු අනතුරකයි තියෙන්නේ කියලා. ඒක යොහන් කියපු මේ දෙයින් හොඳටම පැහැදිලි වෙනවා. “කෙනෙකුට තමා දකින සහෝදරයාට ප්‍රේම කළ නොහැකි නම් තමා නොදකින දෙවිට ප්‍රේම කරන්න ඔහුට කිසි ලෙසකින්වත් නුපුළුවන.” (1 යොහ. 4:20) මොකක්ද පාඩම? යෙහෝවාගේ හිත සතුටු කරන්න ඕනෙ නම් අපි “දිගටම එකිනෙකාට ප්‍රේම කරන්නම” ඕනේ.—1 යොහන් 4:7-9, 11 කියවන්න.

ආදරේ පෙන්නන්න පුළුවන් කොහොමද?

7-8. ආදරේ පෙන්නන්න පුළුවන් විදි මොනවාද?

7 බයිබලේ අපිට ආයේ ආයේ කියලා තියෙනවා “එකිනෙකාට ප්‍රේම කරන්න” කියලා. (යොහ. 15:12, 17; රෝම 13:8; 1 තෙස. 4:9; 1 පේතෘ. 1:22; 1 යොහ. 4:11) හැබැයි ආදරේ තියෙන්නේ අපේ හිතේ. අපේ හිත් කියවන්න කිසිම මනුස්සයෙක්ට බැහැ. එහෙමනම් හිතේ තියෙන ආදරේ කොහොමද අනිත් අය දකින්නේ? ඒ, අපේ වචනවලින් සහ ක්‍රියාවලින්.

8 අපේ සහෝදර සහෝදරියන්ට ආදරේ පෙන්නන්න පුළුවන් ගොඩක් විදි ගැන බයිබලේ කතා කරලා තියෙනවා. මේ උදාහරණ බලන්න. “ඔබ එකිනෙකා සමඟ ඇත්ත කතා කළ යුතුයි.” (සෙක. 8:16) “එකිනෙකා අතර සමාදානය පවත්වාගන්න.” (මාක් 9:50) “එකිනෙකාට ගෞරවය පෙන්වීමේදී පෙරමුණ ගන්න.” (රෝම 12:10) “එකිනෙකාව පිළිගන්න.” (රෝම 15:7) “නිතරම ඔවුන්ට මුළු හදවතින්ම සමාව දෙන්න.” (කොලො. 3:13) “එකිනෙකාට තනිව දරාගත නොහැකි දේවල් ඉසිලීමට දිගටම එකිනෙකාට උදව් කරන්න.” (ගලා. 6:2) “එකිනෙකාව සනසවන්න.” (1 තෙස. 4:18) ‘දිගටම එකිනෙකාව ශක්තිමත් කරන්න.’ (1 තෙස. 5:11) “එකිනෙකා වෙනුවෙන් යාච්ඤා කරන්න.”—යාකො. 5:16.

පින්තූරවල අදහස: 1. සහෝදරියක් යාච්ඤා කරනවා. 2. තව සහෝදරියක් කතා කරද්දී එයා හොඳට අහන් ඉන්නවා. 3. එයා අසනීපයෙන් ඉන්න වයසක සහෝදරියක් එක්ක වීඩියෝ කෝල් එකකින් කතා කරනවා. 3. තෑග්ගක් එක්ක දෙන්න එයා පුංචි කාඩ් එකක් ලියනවා. 4. අත කැඩුණ සහෝදරියකට එයා කෑමක් දෙනවා.

ප්‍රශ්න නිසා වේදනාවෙන් ඉන්න කෙනෙක්ට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද? (7-9 ඡේද බලන්න)

9. අනිත් අයව සනසන එක අපේ ආදරේ පෙන්නන්න පුළුවන් හොඳම විදිහක් කියලා කියන්නේ ඇයි? (පින්තූරයත් බලන්න.)

9 කලින් ඡේදයේ බලපු විදිහට පාවුල් අපිට කිව්වා “එකිනෙකාව සනසන්න” කියලා. එහෙම කරන එක ආදරේ පෙන්නන්න පුළුවන් හොඳම විදිහක් වෙන්නේ ඇයි? එක පොතක කියන විදිහට පාවුල් “සනසන්න” කියන වචනයෙන් අදහස් කළේ “ගොඩක් අමාරු දේවල්වලට මුහුණ දෙන කෙනෙක්ගේ ළඟින්ම ඉඳන් එයාව දිරිගන්වන්න කියන එකයි.” එහෙමනම් කෙනෙක්ව සනසන හැම වතාවකම අපි කරන්නේ නැඟිටින්න අත දීලා ජීවන මාර්ගයේ දිගටම දුවන්න එයාට උදව් කරන එකයි. ඉතින් ඒ විදිහට සහෝදරයන්ගේ කඳුළු පිහදාන්න අපි උපරිමය කරද්දී අපි පෙන්නන්නේ අපේ හිතේ එයාලා ගැන තියෙන ආදරයයි.—2 කොරි. 7:6, 7, 13.

10. අනුකම්පාව දැනෙන එකයි, සනසන එකයි අතර තියෙන සම්බන්ධය මොකක්ද?

10 අනුකම්පාව දැනෙන එකයි, අනිත් අයව සනසන එකයි අතර කිට්ටු සම්බන්ධයක් තියෙනවා. ඒ මොකක්ද? කෙනෙක් වේදනාවෙන් ඉන්නවා දකිද්දී මුලින්ම අපේ හිතේ ඇති වෙන්නේ අනුකම්පාවක්. ඒ අනුකම්පාව තමයි එයා වෙනුවෙන් දෙයක් කරලා එයාව සනසන්න අපිව පොලඹවන්නේ. අපිව සනසවන්න යෙහෝවා පෙලඹෙන්නෙත් අනුකම්පාව නිසයි. ඒකයි “මහත් දයාවක් පෙන්වන පියාණන් ඔහුය. සියලු සැනසිල්ලේ දෙවි ඔහුය” කියලා පාවුල් යෙහෝවා දෙවියන් ගැන කිව්වේ. (2 කොරි. 1:3) පාවුල් මෙතන “මහත් දයාවක්” කියන යෙදුම පාවිච්චි කළේ කෙනෙක්ගේ වේදනාව දැකලා අපේ හිතේ ඇති වෙන හැඟීම විස්තර කරන්න. එහෙම බලද්දී යෙහෝවා දෙවියන් දයාවේ උල්පත කියලා හඳුන්වන්න පුළුවන්. ඔහුගේ හිතේ අපි ගැන තියෙන මහත් දයාව ඒ කියන්නේ අනුකම්පාව ඔහුව පොලඹවනවා “අපගේ සියලු පීඩාවලදී අපව සනසන්න.” (2 කොරි. 1:4) නැවුම් වතුර උනන දිය උල්පතකට පුළුවන් කෙනෙක්ගේ පිපාසය නිවලා එයාට අලුත් පණක් දෙන්න. ඒ වගේ යෙහෝවාටත් පුළුවන් දුකින් ඉන්න කෙනෙක්ව සනසලා එයාට ප්‍රබෝධයක් දෙන්න. යෙහෝවා දෙවියන්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? ඒක කරන්න පුළුවන් එක විදිහක් තමයි අනිත් අයව සනසන්න අපිව පොලඹවන ලස්සන ගුණාංග වර්ධනය කරගන්න එක. අපි දැන් ඒවායින් කීපයක් බලමු.

11. අනිත් අයව සනසන්න නම් අපි වර්ධනය කරන්න ඕනෙ මොන ගුණාංගද? (කොලොස්සි 3:12; 1 පේතෘස් 3:8)

11 හැම දවසකම ‘දිගටම එකිනෙකාව සනසවන්න’ නම් අපිට අනිත් අය ගැන ලොකු ආදරයක් තියෙන්න ඕනේ. ඒ වගේ ආදරයක් ඇති කරගන්න අපිට උදව් වෙන්නේ මොනවාද? ඒකට එකිනෙකාට අනුකම්පාව, සහෝදර ස්නේහය සහ කරුණාව පෙන්නන්න ඕනේ. (කොලොස්සි 3:12; 1 පේතෘස් 3:8 කියවන්න.) ඒ ගුණාංග අපි වර්ධනය කරගන්නවා නම් වේදනාවෙන් ඉන්න කෙනෙක්ව දැකදැක අහක බලන්න අපේ හිත දෙන්නේ නැහැ. යේසුස් මෙහෙම කිව්වා. “කෙනෙකුගේ මුවින් පිට වන්නේ ඔහුගේ සිත තුළ පිරී ඇති දෙයයි. යහපත් මිනිසා තමාගේ සිතේ ගබඩා කරගත් යහපත් දේ පිටතට ගෙන එයි.” (මතෙ. 12:34, 35) ඒ කියන්නේ අනුකම්පාව අපේ වචනයෙන් සහ ක්‍රියාවෙන් එළියට එන්නේ ඒක අපේ හිතේ තිබුණොත් විතරයි. ඒ හැම දේකින්ම පැහැදිලියි අපේ සහෝදර සහෝදරියන්ව සනසන එක එයාලට ආදරේ පෙන්නන්න පුළුවන් හොඳම විදිහක් කියලා.

දිගටම ගැඹුරු ආදරයක් ඇති කරගන්න පුළුවන් කොහොමද?

12. (අ) යේසුස් කියපු දේ ගැන අපි අවධානයෙන් ඉන්න ඕනෙ ඇයි? (ආ) අපි ඊළඟට බලන්නේ මොන ප්‍රශ්නද?

12 අපි හැමෝටම ඕනෙ “දිගටම එකිනෙකාට ප්‍රේම කරන්න.” (1 යොහ. 4:7) හැබැයි අපි හොඳ අවධානයකින් හිටියේ නැත්නම් අපේ හිතේ තියෙන ආදරේ අපිටත් නොදැනීම අඩු වෙලා යන්න පුළුවන්. මොකද යේසුස් කලින්ම අනතුරු ඇඟෙව්වා “වැඩිදෙනාගේ ප්‍රේමය හීන වී යයි” කියලා. (මතෙ. 24:12) යේසුස් ඒකෙන් අදහස් කළේ ඔහුගේ අනුගාමිකයන්ගෙන් වැඩිදෙනෙක් අනිත් අයට ආදරේ කරන එක නතර කරයි කියන එක නෙවෙයි. ඒ වුණත් ලෝකේ බලපෑමට අහු වෙලා අපේ හිතේ තියෙන ආදරේ අඩු කරගන්නේ නැතුව ඉන්න ඒක අපිට හොඳ අනතුරු ඇඟවීමක්. ඒකත් මනසේ තියාගෙන අපි දැන් මේ ප්‍රශ්නෙට උත්තරේ බලමු. අපේ හිතේ සහෝදරයන් ගැන ගැඹුරු ආදරයක් තියෙනවාද කියලා සෝදිසි කරන්න ක්‍රමයක් තියෙනවාද?

13. අනිත් අය ගැන අපේ හිතේ ගැඹුරු ආදරයක් තියෙනවාද කියලා අපි දැනගන්නේ කොහොමද?

13 ජීවිතේ එක එක දේවල්වලට මුහුණ දෙද්දී අපි වැඩ කරන විදිහෙන් අපේ හිතේ අනිත් අය ගැන තියෙන ආදරේ කොච්චර ගැඹුරුද කියලා මනින්න පුළුවන්. (2 කොරි. 8:8) ඒ වගේ එක අවස්ථාවක් ගැන පේතෘස් කියපු මේ දෙයින් පැහැදිලි වෙනවා. “අන් සෑම දෙයකටම වඩා එකිනෙකා සඳහා බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න. මන්ද ප්‍රේමයෙන් පව් රාශියක් මකා දැමිය හැක.” (1 පේතෘ. 4:8) ඉතින් සහෝදරයන් අතින් අඩුපාඩුකම් වෙද්දී, එයාලා අපේ හිත රිද්දද්දී අපි වැඩ කරන විදිහෙන් පේනවා එයාලා ගැන අපේ හිතේ ඇත්තටම ආදරයක් තියෙනවාද කියලා.

14. 1 පේතෘස් 4:8 කියන විදිහට අපිට තියෙන්න ඕනෙ මොන වගේ ආදරයක්ද? පැහැදිලි කරන්න.

14 දැන් අපි පේතෘස් කියපු දේ ගැන ටිකක් ගැඹුරින් බලමු. එතන 8වෙනි පදයේ මුල හරියේ කියන්නේ අපිට තියෙන්න ඕනෙ “බලවත් ආදරයක්” කියලා. ඒ වගේ බලවත් ආදරයක් අපි ගාව තියෙනවා නම් ලැබෙන ප්‍රතිඵල ගැන ඒ පදයේ දෙවෙනි කොටසේ කතා කරනවා. මුල් භාෂාවට අනුව “බලවත්” කියලා කියන්න පේතෘස් පාවිච්චි කරපු වචනයෙන් “වෙහෙසක් දරලා යම් දෙයක් දෙපැත්තට අදිනවා” කියන එක අදහස් වෙනවා. ඒක තේරුම්ගන්න මේ උදාහරණය බලන්න. හිතන්න, හොඳට ඇදෙන රෙද්දක් අපි අත් දෙකෙන් අල්ලගෙන දෙපැත්තට හොඳට අදිනවා. ඒ රෙදි කෑල්ල අදින්න අදින්න ලොකු වෙන නිසා ඒකෙන් හුඟක් ලොකු දෙයක් වුණත් වහන්න පුළුවන්. අන්න ඒ වගේ අපේ හිතේ තියෙන ආදරයත් අපි පුළුවන් තරම් ඇදලා ලොකු කරගන්නවා නම් ඒකෙන් සහෝදරයන් කරපු වැරදි එකක් දෙකක් නෙවෙයි “රාශියක්ම” වහලා දාන්න පුළුවන්. මොකක්ද පාඩම? අපිත් අපේ ආදරේ පුළුවන් තරම් ලොකු කරගෙන අපේ සහෝදරයන්ට හදවතින්ම සමාව දෙද්දී එයාලාගේ වැරදි අඩුපාඩුකම් “මකලා දාන්න” අපිට පුළුවන්.

15. අපේ හිතේ සහෝදරයන් ගැන ගැඹුරු ආදරයක් තියෙනවා නම් අපි කරන්න පෙලඹෙන්නේ මොනවාද? (කොලොස්සි 3:13)

15 අපේ හිතේ සහෝදරයන් ගැන ගැඹුරු ආදරයක් තියෙනවා නම් අපි පෙලඹෙනවා කොච්චර අමාරු වුණත් එයාලට හදවතින්ම සමාව දෙන්න. (කොලොස්සි 3:13 කියවන්න.) ඇත්ත, ඒක කරන එක සමහර වෙලාවට ලේසි නැහැ. හැබැයි අමාරුවෙන් හරි අපි ඒ දේ කරද්දී අපේ හිතේ එයාලා ගැන මොන තරම් ආදරයක් තියෙනවාද කියලා පේනවා. ඒ වගේම යෙහෝවාව සතුටු කරන්න අපිට ලොකු ආසාවක් තියෙනවාද කියලා පේනවා. අනිත් අය කරන දේවල් නිසා කේන්තියක්, දුකක් දැනෙද්දී වුණත් එයාලට සමාව දෙන්න අපිට උදව් වෙන තව දේවල් මොනවාද?

රවුම් පින්තූරයෙන් පෙන්නන්නේ සහෝදරයෙක් එයාගේ ෆෝන් එකේ තියෙන ෆොටෝ අතරින් ෆොටෝ කීපයක් ඩිලීට් කරන විදිහයි. අනිත් පින්තූරයෙන් පෙන්නන්නේ එයා ඒ අතරින් හොඳම ෆොටෝ එක තෝරලා ඒක රාමු කරලා කාමරේ තියලා තියෙන විදිහයි.

අපි හොඳ ෆොටෝ විතරක් තියාගෙන අනිත් ඒවා ඩිලීට් කරනවා. ඒ වගේ අපිට පුළුවන් අපේ සහෝදරයන් ගැන තියෙන මිහිරි මතකයන් විතරක් තියාගෙන අමිහිරි ඒවා හිතෙන් ඩිලීට් කරලා දාන්න (16-17 ඡේද බලන්න)

16-17. අනිත් අය කරන පොඩි පොඩි වැරදි ලොකු කරගන්නේ නැතුව ඉන්න උදව් වෙන තව දෙයක් මොකක්ද? උදාහරණයකින් පැහැදිලි කරන්න. (පින්තූරයත් බලන්න.)

16 සහෝදර සහෝදරියන් අතින් පොඩි පොඩි වැරදි වෙද්දී ඒවා ලොකු කරගන්නේ නැතුව එයාලාගේ හොඳ පැත්ත දකින්න උත්සාහ කරන්න. ටිකක් මෙහෙම හිතන්න. ඔයා සහෝදර සහෝදරියන් කීපදෙනෙක් එක්ක එකතු වෙලා පොඩි පාටියක් දානවා. ඔයාලා හොඳට විනෝද වෙනවා. ඊටපස්සේ ගෙවල්වලට යන්න කලින් ඔයා කට්ටියගෙම ෆොටෝ එකක් ගන්නවා. බැරි වෙලාවත් පළවෙනි ෆොටෝ එක හරියට ආවේ නැත්නම් කියලා හිතලා ඔයා තව ෆොටෝ දෙකක්ම ගන්නවා. ඒ කියන්නේ ඔයා ගාව දැන් ෆොටෝ තුනක් තියෙනවා. හැබැයි ඔයා දකිනවා එක ෆොටෝ එකක සහෝදරයෙක් ටිකක් බුම්මගෙන වගේ ඉන්නේ කියලා. ඉතින් ඔයා ඒ ෆොටෝ එකට මොකද කරන්නේ? ඔයා ඒක ඩිලීට් කරනවා. මොකද ඒ සහෝදරයායි, අනිත් හැමෝමයි හොඳට හිනා වෙලා ඉන්න ෆොටෝ දෙකක්ම ඔයා ගාව තියෙනවා.

17 අපේ හිතේ රඳවාගන්න මතකයනුත් හරියට අපේ ෆෝන් එකේ තියාගන්න ෆොටෝ වගේ. සාමාන්‍යයෙන් අපේ සහෝදර සහෝදරියන් එක්ක කාලේ ගත කරද්දී අපිට තියෙන්නේ මිහිරි මතකයන්. හැබැයි හිතන්න, සහෝදරයෙක් නැත්නම් සහෝදරියක් අපේ හිත රිද්දුවොත් ඒ අමිහිරි මතකයට අපි මොකද කරන්නේ? හොඳ නැති ෆොටෝ එකක් ඩිලීට් කරනවා වගේ ඒ මතකයත් අපේ හිතෙන් ඩිලීට් කරන්න පුළුවන්ද? (හිතෝ. 19:11; එෆී. 4:32) ඔව්, පුළුවන්. මොකද අමිහිරි මතකයන්වලට වඩා අපිට එයාත් එක්ක තියෙන මිහිරි මතකයන් වැඩියි. ඒවා අපිට හුඟක් වටිනවා. ඒ නිසා ඒ මිහිරි මතකයන් තමයි අපේ හිතේ දිගටම රඳවාගන්න ඕනේ.

මේ කාලේ ආදරේ නැතුවම බැරි ඇයි?

18. ආදරේ පෙන්නන එක ගැන මොන වැදගත් දේවල්ද අපි මේ ලිපියෙන් බැලුවේ?

18 අනිත් අය ගැන ගැඹුරු ආදරයක් අපි ඇති කරගන්න ඕනෙ ඇයි? අපි බලපු විදිහට අපි සහෝදර සහෝදරියන්ට ආදරේ පෙන්නද්දී ඒකෙන් ඇත්තටම පේන්නේ අපේ හිතේ යෙහෝවා ගැන තියෙන ආදරයයි. එතකොට අපි සහෝදරයන්ට ආදරේ පෙන්නන්නේ කොහොමද? එක විදිහක් තමයි එයාලව සනසන එක. ඉතින් ‘දිගටම එකිනෙකාව සනසවන්න’ නම් අපිට එයාලා ගැන ලොකු අනුකම්පාවක් තියෙන්න ඕනේ. ඒත් අනිත් අය ගැන තියෙන ආදරේ අඩු වෙන්නේ නැතුව තියාගන්න අපි කරන්න ඕනෙ මොනවාද? ඒකට කොච්චර අමාරු වුණත් අනිත් අයගෙන් වෙන අඩුපාඩුකම්වලට සමාව දෙන්න අපි අපේ උපරිමය කරන්න ඕනේ.

19. ආදරේ පෙන්නන එක විශේෂයෙන්ම මේ කාලේ වැදගත් ඇයි?

19 විශේෂයෙන්ම මේ කාලේ අපේ සහෝදරයන්ට ආදරේ කරන එක වැදගත් ඇයි? බලන්න පේතෘස් කියන දේ. ‘සියලු දේවල අවසානය ළඟා වී ඇත. එහෙයින් එකිනෙකා සඳහා බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න.’ (1 පේතෘ. 4:7, 8) අපි දන්නවා මේ දුෂ්ට සමාජයේ විනාශය එන්න එන්නම ළං වෙනවා. මේ කාලේ ගැන යේසුස් මෙහෙම අනතුරු ඇඟෙව්වා. “ඔබ මගේ නාමය දරන නිසා සියලු ජාතීන් ඔබට වෛර කරයි.” (මතෙ. 24:9) අනිත් අයගේ වෛරයට මැදි වෙද්දී දිගටම විශ්වාසවන්තව ඉන්න නම් අපි හැමෝම එකමුතුව ඉන්න ඕනේ. එකමුතුව ඉන්න නම් අපි අතරේ බලවත් ආදරයක් තියෙන්න ඕනේ. එතකොට සාතන් මොන සෙල්ලම දැම්මත් එයාට බැහැ අපි අතරේ බෙදීම් ඇති කරන්න. මොකද “එක්සත්කමට දායක වන හොඳම බැඳීම” ආදරයයි.—කොලො. 3:14; ෆිලි. 2:1, 2.

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • සහෝදරයන්ට ආදරේ කරන්න අපිට තියෙන හේතු මොනවාද?

  • අනිත් අයට අපේ ආදරේ පෙන්නන්න පුළුවන් කොහොමද?

  • කැමැත්තෙන්ම සමාව දෙද්දී ඒකෙන් අපේ ආදරේ පේන්නේ කොහොමද?

ගීතිකාව 130 සමාව දෙන්න

a වෙන කවදාටත් වඩා මේ කාලේදී අපේ සහෝදර සහෝදරියන්ට ආදරේ පෙන්නන එක වැදගත්. එහෙම කියන්නේ ඇයි? තව වැඩියෙන් සහෝදරයන්ට ආදරේ පෙන්නන්න අපිට පුළුවන් කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න