ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yp2 12 පරි. 105-110 පි.
  • ඕපදූප භයානකද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඕපදූප භයානකද?
  • යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • හැම කතාවක්ම ඕපදූපද?
  • කතාබහ ගැන සැලකිලිමත් වෙන්න
  • ඕපදූප ඔයා ගැන නම්
  • ඕපාදූප කීම නවත්වන්නේ කෙසේද?
    2007 පිබිදෙව්!
  • ඕපාදූප කීම එතරම්ම හානිදායක වන්නේ ඇයි?
    1999 පිබිදෙව්!
  • අනිත් අය මං ගැන ඕපදූප කියනවා නම් මොකද කරන්නේ?
    යොවුන් සිතේ ගැටලු
  • සඟරා හඳුන්වා දිය හැකි අයුරු
    2007 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
yp2 12 පරි. 105-110 පි.

12වෙනි පරිච්ඡේදය

ඕපදූප භයානකද?

“දවසක් මං පාටියකට ගියා. එතැන හිටිය කොල්ලෙක් එක්ක මං රූම් එකකට ගියා කියලා පහුවෙනිදා ලොකු කටකතාවක් පැතිරුණා. ඒක අමූලික බොරුවක්!”—ලින්ඩා.

“මං අහවල් ගැහැනු ළමයා එක්ක යාළුයි කියලා සමහරු කටකතා පතුරුවනවා. හැබැයි ඒ ගැහැනු ළමයාව මං දන්නෙවත් නැහැ. කටකතා පතුරුවන අය හුඟක් වෙලාවට ඒක කරන්නේ ඇත්ත නැත්ත හොයන්නේ බලන්නේ නැතුවයි.”—මයික්.

කෙනෙක් ගැන සම්පූර්ණයෙන්ම වැරදි අදහසක් අනිත් අයගේ හිත්වල ඇති කරන්න ඕපදූපවලට පුළුවන්. අවුරුදු 19ක් වයස ඇමා එයා ගැන පැතිරුණු කටකතා ගැන මෙහෙම කියනවා. “මට බබෙක් හම්බ වෙන්න හිටියා කියලත් ඒ ළමයාව මං නැති කරගත්තා කියලත් සමහරු කතා පතුරුවලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මං කුඩු විකුණනවා කියලත් කුඩු ගහනවා කියලත් කතා පැතිරුණා. කට්ටිය මේ වගේ බොරු කතා මොකට පතුරුවනවාද කියලා මට නම් තේරෙන්නේ නැහැ.”

අද ඊ-මේල්, SMS වගේ දේවල් තියෙන නිසා ඕපදූප පතුරුවන එක හරිම ලෙහෙසියි. කාට හරි ඔයාගේ චරිතේ ඝාතනය කරන්න ඕනේ නම් එක වචනයක්වත් කතා කරන්නේ නැතුව ඒක කරන්න පුළුවන්. කරන්න තියෙන්නේ ඔයා ගැන නරක දේවල් ලියලා ගොඩක්දෙනෙක්ට ඒක යවන එක විතරයි. සමහර අය අනිත් අයගේ චරිතේ ඝාතනය කරන්න ඉන්ටර්නෙට් එකේ වෙනම වෙබ් සයිට් හදනවා. ඕනම කෙනෙක්ට ඒ වෙබ් සයිට්වලට ගිහින් ඒ කෙනාට මූණට කියන්න බැරි දේවල් ඒකේ ලියන්න පුළුවන්.

හැම කතාවක්ම ඕපදූපද?

පහළ තියෙන අදහස හරිද වැරදිද කියලා කියන්න.

අනිත් අය ගැන කතා කරන හැම දෙයක්ම ඕපදූප. □ හරි □ වැරදියි

හැම කතාවක්ම ඕපදූප කියලා කියන්න බැහැ. උදාහරණයකට කවුරු හරි අසනීපයෙන් ඉන්නවා නම් ඒ ගැන කියන එක, කෙනෙක් ගැන සතුටුදායක ආරංචියක් කියන එක ඕපදූපයක් නෙමෙයි. බයිබලයෙත් අපිට දිරිගන්වලා තියෙන්නේ, ‘අනිත් අය ගැන සැලකිල්ලක් පෙන්වන්න’ කියලයි. (ෆිලිප්පි 2:4) එහෙම කරන්න නම් අනිත් අය ගැන තොරතුරු දැනගන්න ඕනේ. ඒකට ඒ අය ගැන කතා කරන්න වෙනවා. ඒත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ අනිත් අයගේ ජීවිතවලට ඇඟිලි ගහලා හරියටම දන්නේ නැති තොරතුරු ගැන කතා කරන්න පුළුවන් කියලා. (1 පේතෘස් 4:15) එහෙම කළොත් තමයි තව කෙනෙක් ගැන ඕපදූප පැතිරෙන්නේ.

සමහරවිට ඔයා අනිත් අය ගැන කතා කරන්නේ සාමාන්‍ය තොරතුරු වෙන්න පුළුවන්. ඒත් පරෙස්සම් වෙන්න. මොකද සාමාන්‍ය තොරතුරක් වුණත් වෙනස් විදිහට පැතිරෙන්න පුළුවන්. ඒක තේරුම්ගන්න මේ උදාහරණය බලන්න. ගැහැනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි ‘හොඳ යාළුවෝ’ කියලා කෙනෙක් කියපු දෙයක් කටින් කට යද්දී ඒ දෙන්නා ‘යාළු වෙලා’ කියලා පැතිරෙන්න පුළුවන්. සමහරවිට ඒ වගේ අදහසක්වත් ඒ දෙන්නාගේ හිත්වල නැතුව ඇති. ඔයා ගැන ඒ වගේ කතාවක් පැතිරුණොත් ඔයාට කොහොම හැඟෙයිද?

ජූලියා ගැනත් ඒ වගේ බොරු කටකතාවක් පැතිරුණා. ඒ ගැන එයාට දුකක් වගේම කේන්තියකුත් දැනුණා. ඒ සිද්ධියෙන් පස්සේ ජූලියාට හිතුණේ කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න බැහැ කියලයි. ජේන්ටත් ඒ වගේ දෙයක් වුණා. එයා මෙහෙම කියනවා. “මං යාළුවෙක් විදිහට ආශ්‍රය කරපු පිරිමි ළමයෙක් එක්ක මං යාළුයි කියලා බොරු කතාවක් පැතිරුණා. ඒකෙන් පස්සේ මං එයාව ආශ්‍රය කරන එකත් නතර කළා. ඒ වගේ බොරු කතා පතුරුවන එක හරිම අසාධාරණයි.”

කතාබහ ගැන සැලකිලිමත් වෙන්න

ඔයා ප්‍රධාන පාරක වාහනයක් එළවගෙන යද්දී දුර තියලා මොකක් හරි අනතුරක් දැක්කොත් මොකද කරන්නේ? ඔයා දක්ෂ රියදුරෙක් නම් ඒ අනතුර මඟහරින්න වාහනය වෙන පාරකට හරවයි. නැත්නම් මංතීරුව වෙනස් කරයි. සමහරවිට ඒ අනතුර මඟහරින්න ඕන නිසා ඔයා වාහනේ පැත්තකට කරලා නතර කරන්නත් ඉඩ තියෙනවා.

ඒ වගේ තමයි ඔයා කාත් එක්ක හරි කතා කරකර ඉද්දී ඒ කතාබහ ඕපදූප පැත්තට හැරෙනවා කියලා ඔයාට තේරුණොත් ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඒ කතාව වෙන පැත්තකට හරවන්න. ඕපදූප නිසා කෙනෙක්ගේ චරිතෙට හානියක් වුණොත් ඒකෙන් එයාගේ හිතට ලොකු දුකක් දැනෙන්න පුළුවන් කියලා අමතක කරන්න එපා. මයික් කියන යෞවනයාත් ඒක තේරුම්ගත්තා. එයා මෙහෙම කියනවා. “‘එයාට හරිම කොල්ලෝ පිස්සුවක් තියෙන්නේ’ කියලා මං එක ගැහැනු ළමයෙක් ගැන කිව්වා. ඒක එයාට ආරංචි වුණාම මං ඒ වගේ දෙයක් කිව්වේ ඇයි කියලා එයා හරිම දුකෙන් මගෙන් ඇහුවා. එයා දුකෙන් හිටිය විදිහ මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. අපි ඒ ප්‍රශ්නේ කතා කරලා විසඳගත්තා තමයි. ඒත් මං තව කෙනෙක්ගේ හිත ගොඩක් රිද්දුවා කියලා හිතෙද්දී මට හරිම දුකයි.”

බයිබලයේ මෙහෙම කියනවා. ‘නොසැලකිලිමත් විදිහට කතා කරන කෙනා කඩුවෙන් අනිනවා වගේ වචන පිට කරයි.’ (හිතෝපදේශ 12:18) ඒකෙනුත් පැහැදිලි වෙන්නේ ඔයා කතා කරන දේවල් ගැන සැලකිලිමත් වුණේ නැත්නම් අනිත් අයගේ හිත රිදෙන්න පුළුවන් කියලයි. කවුරු හරි කෙනෙක් හොඳට ලුණු ඇඹුල් දාලා තව කෙනෙක් ගැන ඕපදූපයක් කියද්දී ඒක අහන්නේ නැතුව ඉන්න එක ලෙහෙසි නැහැ. ඒ වගේ කතාවක් නතර කරන්න ඔයාගේ පැත්තෙන් සමහරවිට ලොකු උත්සාහක් දරන්න වෙයි. “කතා කරන දේවල් ගැන අපි පරෙස්සම් වෙන්න ඕනේ. මොකද ඇත්ත නැත්ත දන්නේ නැතුව කවුරු හරි ගැන කතා කළොත් අපිත් බොරු පතුරුවන්න හවුල් වෙනවා” කියලා කැරොලින් කිව්වා. ඒ නිසා වෙන කෙනෙක්ගේ චරිතෙට හානියක් වෙන්න පුළුවන් දෙයක් ගැන කවුරු හරි ඔයාට කිව්වොත්, ‘සන්සුන් ජීවිතයක් ගත කරන්නත් අනුන්ගේ වැඩවලට ඇඟිලි ගහන්නේ නැතුව ඉන්නත් දැඩි උත්සාහයක් දරන්න’ කියලා බයිබලයේ තියෙන උපදෙස අදාළ කරගන්න.—1 තෙසලෝනික 4:11.

වෙන කෙනෙක් ගැන මොනවා හරි කියන්න කලින් මේ ප්‍රශ්න ගැන හිතලා බලන්න. ‘මං කියන දේ සියයට සීයක් හරිද? මං එයා ගැන අනිත් අයට කියන්න හේතුව මොකද්ද?’ මේ වැදගත් ප්‍රශ්නය ගැනත් හිතන්න. ‘මං මේ විදිහට අනිත් අය ගැන එක් එක් කෙනා එක්ක කතා කළොත් ඒකෙන් මගේ නමට මොකක් වෙයිද?’ ඒ ප්‍රශ්නේ ගැන හිතලා බලන එක හරි වැදගත්. මොකද ඔයා ඕපදූප කියන කෙනෙක් විදිහට ප්‍රසිද්ධ වුණොත් ඒක ඔයාගේ නමට ලොකු කැළැලක්.

ඕපදූප ඔයා ගැන නම්

ඔයා ගැන ඕපදූප පැතිරිලා තියෙනවා නම් ඔයාට කරන්න පුළුවන් මොනවාද? බයිබලයේ කියන්නේ, ‘අමනාප වෙන්න ඉක්මන් වෙන්න එපා’ කියලයි. (දේශනාකාරයා 7:9) ‘මිනිස්සු කියන හැම දෙයක්ම සිතට ගන්න එපා’ කියලත් බයිබලයේ කියනවා. ඒ නිසා ඔයා ගැන පැතිරිලා තියෙන කතා ගැන ඕනෑවට වඩා හිතලා කේන්ති ගන්න එපා. ‘ඔයාත් අනිත් අය ගැන නපුරු දේවල් කියලා තියෙනවා’ කියලා මතක තියාගන්න.—දේශනාකාරයා 7:21, 22.

ඕපදූප කියන එක කීයටවත් අනුමත කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි ඕපදූප නිසා ඔයා කලබල වෙලා කේන්ති අරන් වැඩ කළොත් ඕපදූපවලින් වුණාට වඩා වැඩි හානියක් ඔයාගේ චරිතෙට වෙන්න පුළුවන්. එහෙමනම් රයිනි කියන යෞවනිය කරපු දේ හිතට ගන්න. එයා මෙහෙම කියනවා. “කවුරු හරි මං ගැන නරක දෙයක් කිව්වාම මගේ හිත රිදෙනවා තමයි, හැබැයි මං කලබල වෙන්නේ නැහැ. මොකද මං දන්නවා සතියක් විතර යද්දී ඒ අය මං ගැන කතා කරන එක නතර කරලා වෙන කෙනෙක් ගැන නැත්නම් වෙන දෙයක් ගැන කතා කරන්න පටන්ගන්නවා කියලා.”a

අනිත් අය ගැන කතා කරද්දී දෙපාරක් හිතන්න. ඒ වගේම තව කෙනෙක් ගැන නරක විදිහට කවුරු හරි ඔයාට දෙයක් කියනවා නම් ඒ කතාව වෙනස් කරන්න. ඔයා ගැන කවුරු හරි ඕපදූප පතුරුවලා තියෙනවා නම් කලබල වෙලා වැඩ කරන්න එපා. මොකද ඔයා හොඳ විදිහට ජීවත් වෙද්දී ඔයා ගැන පැතිරිලා තියෙන කතා බොරු කියලා අනිත් අය තේරුම්ගනියි. (1 පේතෘස් 2:12) එහෙම කරද්දී ඔයාට අනිත් අය අතරේ හොඳ නමක් දිනාගන්නත් දෙවිව සතුටු කරන්නත් පුළුවන් වෙනවා.

[පාදසටහන]

a ඔයා ගැන ඕපදූප පතුරුවන්න පටන්ගත්ත කෙනාව හම්බ වෙලා කතා කරන එක හොඳ දෙයක් වෙන්න පුළුවන්. හැබැයි හුඟක් වෙලාවට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද, ‘ප්‍රේමයෙන් පව් රාශියක් මකා දමන්න පුළුවන්’ කියලා බයිබලයේ කියනවා.—1 පේතෘස් 4:8.

බයිබල් උපදෙස

“තම දිව පාලනය කරගන්නා තම ජීවිතය ආරක්ෂා කරගනියි. නමුත් පාලනයකින් තොරව කතා කරන තැනැත්තාට අත් වන්නේ විනාශයයි.”—හිතෝපදේශ 13:3.

යෝජනාවක්

කවුරු හරි ඔයාට ඕපදූපයක් කිව්වොත් මෙහෙම කියන්න. “අපි මේ ගැන කතා නොකර ඉමු. අනික මේකේ ඇත්ත නැත්ත දැනගන්න එයා මෙතන නැහැනේ.”

මේක දැනගෙන හිටියාද?

ඕපදූපයකට ඇහුම්කන් දෙන එකත් වරදක්. මොකද ඒකෙන් ඕපදූපය පතුරුවන කෙනාට ඒක කරන්න ඔයා තව තවත් උදව් කරනවා.

ඔයාට වැඩක්!

කටකතා පතුරුවන්නේ නැතුව ඉන්න මං මෙහෙම කරනවා ․․․․․

කවුරු හරි කෙනෙක් මං ගැන බොරු කතාවක් පතුරුවලා තියෙනවා නම් මං මෙහෙම කරනවා ․․․․․

මේ කාරණා ගැන මං දෙමාපියන්ගෙන් අහලා දැනගන්න කැමති දේ ․․․․․

ඔයා හිතන්නේ මොකද්ද?

● අනිත් අය ගැන කතා කරන්න පුළුවන් හොඳ දේවල් මොනවාද?

● ඔයා ගැන ඕපදූප පැතිරිලා තියෙනවාද? එහෙමනම් ඒ අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

● ඔයා අනිත් අය ගැන ඕපදූප පැතිරුවොත් ඒකෙන් ඔයාගේ නමට මොකක් වෙන්න පුළුවන්ද?

[107වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘මං කෙනෙක් ගැන කියපු දෙයක් ඒ කෙනාටම ආරංචි වෙලා එයා කෙළින්ම ඇවිත් ඒ ගැන මගෙන් ඇහුවා. මට ඒ වෙලාවේ කරකියාගන්න දෙයක් නැතුව ගියා. කියන්න තියෙන දෙයක් ඒක අදාළ කෙනාට කියන්නේ නැතුව ඒ ගැන අනිත් අයත් එක්ක කතා කරන එක කොච්චර වැරදිද කියලා ඒකෙන් මට තේරුණා.’’—පෙපි

[108වන පිටුවේ පින්තූරය]

කඩුවකින් කෙනෙක්ව ඝාතනය කරන්න පුළුවන් වගේ ඕපදූපවලින් කෙනෙක්ගේ චරිතේ ඝාතනය කරන්න පුළුවන්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න