28වෙනි පරිච්ඡේදය
සමලිංගික හැඟීම් පාලනය කරගන්නේ කොහොමද?
“යෞවන කාලේ මගේ හිත ඇදිලා ගියේම පිරිමි ළමයිටයි. ඒ හැඟීම් අසාමාන්‍යයි කියලා මං දැනගෙන හිටියා.”—ඕලෙෆ්.
“මායි මගේ යාළුවයි සැරයක් දෙසැරයක්ම කිස් කරලා තියෙනවා. ඒත් මං පිරිමි ළමයිටත් ආසයි. ඒ කියන්නේ මං ගෑනු පිරිමි දෙගොල්ලන්ටම ආස කෙනෙක්ද කියලා මට හිතෙනවා.”—සේරා.
අද සමාජයේ හුඟදෙනෙක් සමලිංගික ඇසුර සාමාන්‍ය දෙයක් හැටියටයි පිළිගන්නේ. ඒක වැරදියි කියලා හිතන අයව වැඩිදෙනෙක් විවේචනය කරනවා. ඒමිගේ අද්දැකීම ඒකට හොඳ උදාහරණයක්. එයා මෙහෙම කියනවා. “මං සමලිංගික ඇසුර වැරදියි කියලා කියපු නිසා මගේ පන්තියේ එක ළමයෙක් මට කිව්වා මං අනිත් අයගේ හැඟීම්වලට ගරු කරන්නේ නැති, හැමෝටම එක වගේ සලකන්නේ නැති කෙනෙක් කියලා.”
ලිංගික කාරණා ගැන තියෙන ඒ වගේ විකෘති අදහස් නිසා ගොඩක් යෞවනයන් පෙලඹිලා තියෙනවා සමලිංගික ඇසුර මොන වගේද කියලා බලන්න. අවුරුදු 15ක් වයස බෙකී මෙහෙම කියනවා. “ඉස්කෝලේ ගෑනු ළමයිගෙන් වැඩිදෙනෙක් කියන්නේ එක්කෝ එයාලා සමලිංගික අය, නැත්නම් ගෑනු පිරිමි දෙගොල්ලොම එක්ක ඉන්න අය, එහෙමත් නැත්නම් ඒ දෙකම කරලා බලන්න කැමති අය කියලයි.” ක්‍රිස්ටාගේ අද්දැකීමත් ඒ වගේ තමයි. “පන්තියේ ගෑනු ළමයි දෙන්නෙක්ම එයාලත් එක්ක එකට ඉන්න කැමතිද කියලා මගෙන් ඇහුවා. එක් කෙනෙක් ලියුමක් ලියලා මගෙන් අහලා තිබුණා ගෑනු කෙනෙක් එක්ක එකට ඉන්න එක මොන වගේද කියලා බලන්න ඔයා ආස නැද්ද කියලා.”
අද සමලිංගික ඇසුර ජනප්‍රිය දෙයක් වෙලා තියෙන නිසා සමහරවිට ඔයාටත් හිතෙන්න පුළුවන් ඒකේ තියෙන වැරැද්ද මොකද්ද කියලා.
ඒ ගැන දෙවිට හැඟෙන්නේ කොහොමද?
සමාජයේ ඉන්න වැඩිදෙනෙක් විතරක් නෙමෙයි අද ඉන්න ආගමික නායකයනුත් සමලිංගික ඇසුර අනුමත කරලා තියෙනවා. හැබැයි බයිබලයේ ඒ ගැන කියලා තියෙන දේ හරිම පැහැදිලියි. ඒකේ තියෙන විදිහට යෙහෝවා දෙවි ලිංගික සම්බන්ධකම් පවත්වන්න අවසර දීලා තියෙන්නේ විවාහ වෙලා ඉන්න පුරුෂයාටයි ස්ත්රියටයි විතරයි. (උත්පත්ති 1:27, 28; 2:24) එහෙමනම් සමලිංගික ඇසුර බයිබලයේ හෙළාදැකලා තියෙන එක පුදුමයක්ද!—රෝම 1:26, 27.
හැබැයි සමහරු කියයි බයිබලයේ තියෙන අදහස් යල් පැනපු අදහස් කියලා. ඒගොල්ලෝ එහෙම කියන්නේ එයාලට කැමති දේ කරගන්න බයිබලයේ ඉඩ දීලා නැති නිසා වෙන්න බැරිද? ඇත්තටම අද හුඟදෙනෙක් බයිබලයේ තියෙන දේවල් පිළිගන්න කැමති නැත්තේ එයාලා කරන්න ආස දේවල් බයිබලයේ තහනම් කරලා තියෙන නිසයි. ඒත් ඒ වගේ වැරදි අදහස්වලට ඔයා අහු වෙන්න එපා.
හැබැයි ඔයාගේ හිත තවත් පිරිමි කෙනෙක්ට නැත්නම් තවත් ගැහැනු කෙනෙක්ට ඇදිලා ගියොත් ඒ කියන්නේ ඔයා සමලිංගික කෙනෙක්ද? නැහැ. මොකද ඔයා ඉන්නේ ‘යොවුන් වියේ’ නිසා මේ කාලේ ඔයාගේ ලිංගික හැඟීම් හරි ඉක්මනට ඇවිස්සෙනවා. (1 කොරින්ති 7:36) ඒ නිසා තමයි ඔයාගේ හිත තවත් පිරිමි කෙනෙක්ට නැත්නම් තවත් ගැහැනු කෙනෙක්ට ඇදිලා යන්නේ. කාලයත් එක්කම ඒ වගේ හැඟීම් නැති වෙලා යනවා. හැබැයි ඒ වෙනකම් සමලිංගික ඇසුරට ඔයා කිසිම ඉඩක් දෙන්න එපා. මේ දේවල් කරන එක ඔයාට උදව් වෙයි.
දෙවිට යාච්ඤා කරන්න. දෙවිගේ සේවකයෙක් වුණු දාවිත් මේ විදිහට දෙවිට යාච්ඤා කළා. “අනේ දෙවියනි, මාව විමසා බලා මාගේ හදවතේ තිබෙන දේ දැනගන්න. මාව සෝදිසි කර බලා මාගේ සිතට වධ දෙන දේ දැනගන්න. මාව නොමඟට යවන දෙයක් මා තුළ තිබේද කියා සොයා බලා මට සදහටම මඟ පෙන්වන්න.” (ගීතාවලිය 139:23, 24) ඔයාත් ඒ විදිහට උදව් ඉල්ලලා දෙවිට යාච්ඤා කරන්න. එතකොට “කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි” සමාදානය දෙවි ඔයාට දෙයි. ඒ සමාදානයට පුළුවන් ‘ඔයාගේ හදවතත් මනසත් ආරක්ෂා කරන්න.’ ඒ වගේම දෙවි ඔයාට “සාමාන්‍යය ඉක්මවූ බලය” දෙන නිසා වැරදි හැඟීම්වලට වහල් වෙලා සමලිංගික ඇසුරට වැටෙන්නේ නැතුව ඉන්න ඔයාට පුළුවන් වෙයි.—ෆිලිප්පි 4:6, 7; 2 කොරින්ති 4:7.
හොඳ අදහස්වලින් මනස පුරවගන්න. (ෆිලිප්පි 4:8) ඒකට හැමදාම බයිබලය කියවන්න. ඔයාගේ සිතුවිලි, හැඟීම් හරිගස්සන්න බයිබලයට ලොකු බලයක් තියෙනවා කියලා අමතක කරන්න එපා. (හෙබ්‍රෙව් 4:12) “වැරදි ආසාවන් ඇති වෙද්දී මං බයිබලය විශේෂයෙන්ම 1 කොරින්ති 6:9, 10, එෆීස 5:3 වගේ පද කියවනවා. මගේ හිතෙන් ඒ වැරදි ආසාවන් අහක් කරගන්න ඒක මට උදව් වෙලා තියෙනවා.” එහෙම කියන්නේ ජේසන්.
සමලිංගික ඇසුරට ආසාවක් ඇති කරන දේවල්, අසභ්‍ය දර්ශන බලන්න එපා. (කොලොස්සි 3:5) වැරදි ආසාවන් අවුස්සන හැම දේකින්ම සම්පූර්ණයෙන්ම අයින් වෙන්න. උදාහරණයකට අසභ්‍ය දර්ශන, TV එකේ යන සමහර වැඩසටහන්, ෆිල්ම්ස්, නොහොබිනා විදිහට ඇඳුම් ඇඳගෙන ඉන්න නිරූපිකාවන්ගේ පින්තූර තියෙන එක එක සඟරා, බොඩිබිල්ඩස්ලගේ පින්තූර තියෙන සඟරා බලන්න එපා. වැරදි ආසාවන් ඇති වෙද්දී ඉක්මනට මනසින් ඒවා අහක් කරලා හොඳ දේවල් ගැන හිතන්න. එක යෞවනයෙක් මෙහෙම කියනවා. “සමලිංගික ඇසුරක් පවත්වන්න ආසාවක් ඇති වෙද්දී මං මගේ ආසම බයිබල් පදේ ගැන කල්පනා කරනවා.”
හැබැයි සමහරු කියයි සමලිංගික ඇසුරක් පවත්වන්න ආසාවක් තියෙනවා නම් ඒක පාලනය කරගන්න හදන්නේ නැතුව, ඔයා සමලිංගික කෙනෙක් කියලා පිළි අරගෙන ඒ ආසාව ඉටු කරගන්න කියලා. ඒත් බයිබලයේ කියන්නේ ඒ වගේ වැරදි ආසාවන් පාලනය කරගෙන ඒකෙන් ගොඩ එන්න ඕනම කෙනෙක්ට පුළුවන් කියලයි. උදාහරණයකට අතීතයේ හිටපු ක්‍රිස්තියානීන්ගෙන් සමහරදෙනෙක් කලින් සමලිංගිකයන් විදිහට හැසිරුණත් දෙවි ගැන ඉගෙනගත්තට පස්සේ එයාලා වෙනස් වුණා. (1 කොරින්ති 6:9-11) එහෙමනම් වැරදි හැඟීම් පරද්දවලා හරි දේ කරන්න ඔයාටත් පුළුවන්.
සමලිංගික ඇසුරක් පවත්වන්න ඔයාට තියෙන ආසාව අහක් කරගන්නම බැහැ කියලා ඔයාට හිතෙනවා නම් මොනවාද කරන්න පුළුවන්? සමලිංගික ඇසුර යෙහෝවා දෙවි පිළිකුල් කරන දෙයක් කියලා මතක තියාගන්න. එතකොට ඒ ආසාව අහක් කරගන්න අමාරු වුණත් ඒ ආසාවට වහල් වෙලා ක්‍රියා කරන්නේ නැතුව ඉන්න ඔයාට පුළුවන්.
ඒක තේරුම්ගන්න උදාහරණයක් බලමු. හිතන්න, හරි ඉක්මනින් කේන්ති අරගෙන ගහ බැණගන්න කෙනෙක් ගැන. (හිතෝපදේශ 29:22) හැබැයි එයා බයිබලයේ තියෙන දේවල් ඉගෙනගද්දී තමාව පාලනය කරගන්න එක කොච්චර වැදගත්ද කියලා තේරුම්ගන්නවා. ඒ කාරණය තේරුම් අරන් ඉන්න එකෙන් අදහස් කරනවාද ආයේ කවදාවත් එයාට කේන්ති යන්නේ නැහැ කියලා? නැහැ. එයාට කේන්තියක් ඇති වෙන්න පුළුවන්. ඒත් එයා ඉස්සර වගේ කේන්තියෙන් වැඩ කරන්නේ නැහැ. එයා ඒක පාලනය කරගන්න උත්සාහ කරනවා.
සමලිංගික ඇසුරක් පවත්වන්න තියෙන ආසාවත් ඒ වගේ තමයි. ඒක වැරදියි කියලා ඔයා දැනගෙන හිටියට සමහර වෙලාවට ඒ ආසාව ආයෙත් ඇති වෙන්න පුළුවන්. හැබැයි යෙහෝවා දෙවි ඒ වගේ ක්‍රියා කොච්චර පිළිකුල් කරනවාද කියලා තේරුම් අරන් ඉන්නවා නම් ඒ ආසාවට වහල් වෙන්නේ නැතුව ඒක පාලනය කරගන්න ඔයාට පුළුවන්.
උත්සාහය අත්හරින්න එපා!
එක යෞවනයෙක් මේ වගේ දෙයක් කිව්වා. “සමලිංගික ඇසුරක් පවත්වන්න තිබුණු ආසාව අහක් කරගන්න මං ගොඩක් උත්සාහ කරලා තියෙනවා. මං ඒ ගැන දෙවිට යාච්ඤා කළා. බයිබලය කියෙව්වා. ඒක වැරදියි කියලා පෙන්නලා දීපු බයිබල් දේශන ඇහුවා. ඒත් ඒ ආසාව සම්පූර්ණයෙන්ම අහක් කරගන්න මට තාම අමාරුයි.” ඔයාට හැඟෙන්නෙත් ඒ යෞවනයට හැඟුණු විදිහටද?
එහෙමනම් ඔයාගේ හැඟීම් එක්ක ඔයාට ලොකු සටනක් කරන්න වෙනවා. මොකද දෙවි දීලා තියෙන උසස් ප්‍රමිති රකින එකත් දෙවි හෙළාදකින පහත් ක්‍රියාවලින් වැළකිලා ඉන්න එකත් ලේසි දෙයක් නෙමෙයි. ඒක කරන එක කොච්චර අමාරු වුණත් ඔයා යෙහෝවා දෙවිව සතුටු කරන්න කැමති නම් එහෙම කරන්නම ඕනේ. ඒ වගේම මේ දේත් මතක තියාගන්න. නරක හැඟීම් පාලනය කරගන්න ඔයා කරන සටන දෙවිට තේරෙනවා. දෙවිට සේවය කරන්න උත්සාහ කරන අයට දෙවි අනුකම්පාව පෙන්නනවා.a (1 යොහන් 3:19, 20) දෙවි දීලා තියෙන නීතිවලට ඔයා කීකරු වෙලා හරි දේ කරද්දී ඔයාගේ ජීවිතේට අනවශ්‍ය ප්‍රශ්න එකතු කරගන්නේ නැතුව සතුටින් යෞවන කාලය ගෙවන්න ඔයාට පුළුවන්. දෙවිගේ ආශීර්වාද ගොඩක් ඔයාට අද්දකින්න ලැබෙයි.—ගීතාවලිය 19:11.
ඒ නිසා වැරදි ආසාවන් පාලනය කරගන්න දිගටම දෙවිගෙන් උදව් ඉල්ලන්න. (ගලාති 6:9) ‘දුෂ්ට දේවල් පිළිකුල් කරලා යහපත් දේවලට ඇලුම් කරන්න.’ (රෝම 12:9) ඔයා දිගටම වැරදි ආසාවන් පාලනය කරගන්න උත්සාහ කරද්දී ඔයාට තේරෙයි කාලයත් එක්කම ඒ ආසාවන් ඔයාගේ හිතින් අහක් වෙනවා කියලා. ඒ හැම දේකටම වඩා ඔයාට ලැබෙන ලොකුම ආශීර්වාදය තමයි අනාගතයේදී මේ පොළොවේ සදහටම ජීවත් වෙන්න ලැබෙන එක.
ඔයා නිතරම ගැහැනු ළමයි/පිරිමි ළමයි ගැන හිතනවාද? ඒ වගේ සිතුවිලි පාලනය කරගන්න පුළුවන් කොහොමද?
[පාදසටහන]
a සාක්ෂිකරුවෙක් වැරදි ලිංගික ක්‍රියාවක යෙදුණොත් සභාවේ වැඩිමහල්ලන්ට ඒ ගැන කියලා වැරදි මාර්ගයෙන් අහක් වෙන්න උදව් ඉල්ලන්න ඕනේ.—යාකොබ් 5:14, 15.
බයිබල් උපදෙස
‘මාව සෝදිසි කර බලා මාගේ සිතට වධ දෙන දේ දැනගන්න. මාව නොමඟට යවන දෙයක් මා තුළ තිබේද කියා සොයා බලන්න.’—ගීතාවලිය 139:23, 24.
යෝජනාවක්
පිරිමි කෙනෙක්ට ඔයාගේ හිත යන්නේ එයාගේ පෞරුෂය නිසාද? ගැහැනු කෙනෙක්ට ඔයාගේ හිත යන්නේ පිරිමින්ට තියෙන භය, අකමැත්ත නිසාද? එහෙමනම් නියම පුරුෂයෙක් මොන වගේද කියලා තේරුම්ගන්න යේසුස්ගේ ආදර්ශය බලන්න. (1 පේතෘස් 2:21) යේසුස්, හොඳ පෞරුෂයක් තිබුණු මෘදු කෙනෙක්.
මේක දැනගෙන හිටියාද?
ඔයාගේ හිතට වැරදි ආසාවන් එන එක සම්පූර්ණයෙන්ම නතර කරන්න ඔයාට බැරි වුණාට ඒ ආසාවන් ඉටු කරගන්නේ නැතුව ඉන්න ඔයාට පුළුවන්.
ඔයාට වැඩක්!
බයිබලයේ සමලිංගික ඇසුර හෙළාදැකලා තියෙන්නේ ඇයි කියලා කවුරු හරි මගෙන් ඇහුවොත් මං මෙහෙම පැහැදිලි කරනවා ․․․․․
සමලිංගික ඇසුර ගැන බයිබලයේ තියෙන්නේ පටු අදහස් කියලා කවුරු හරි කිව්වොත් මං එයාට මෙහෙම තේරුම් කරලා දෙනවා ․․․․․
මේ කාරණා ගැන මං දෙමාපියන්ගෙන් අහලා දැනගන්න කැමති දේ ․․․․․
ඔයා හිතන්නේ මොකද්ද?
● සමලිංගික ඇසුර දෙවිට පිළිකුල් ඇයි?
● සමලිංගික ක්‍රියාවලින් වැළකිලා ඉන්න ඔයාට කරන්න පුළුවන් මොන වගේ දේවල්ද?
● සමලිංගික ඇසුර ගැන බයිබලයේ තියෙන අදහස් ඔයා පිළිගන්නවා කියන්නේ සමලිංගික අයව ඔයා පිළිකුල් කරනවා කියන එකද?
[236වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
‘‘ලිංගික කාරණා ගැන සමාජයේ තියෙන විකෘති අදහස් මගේ හිතට බලපෑවා. ඒකෙන් මං කොච්චර නොමඟ ගියාද කිව්වොත් මාත් සමලිංගික කෙනෙක්ද කියලා මට හිතුණා. ඒත් දැන් මං ඒ වගේ විකෘති අදහස් දෙන අයගෙනුයි, දේවලිනුයි සම්පූර්ණයෙන්ම ඈත් වෙලයි ඉන්නේ.’’—ඇනා
[233වන පිටුවේ පින්තූරය]
ලිංගික දේවල් ගැන සමාජයේ තියෙන විකෘති අදහස් හිතට අරගෙන ඒ විදිහට ජීවත් වෙනවාද නැත්නම් දෙවිගේ උසස් ප්‍රමිති අදාළ කරගෙන ජීවත් වෙනවාද? තීරණය ඔයා අතේ