38වෙනි පරිච්ඡේදය
මං මොනවාද ඉස්සරහට කරන්නේ?
“පොඩි කාලේ නම් මං අනාගතේ ගැන හිතලා කරදර වුණේ නැහැ. ඒත් ඉස්කෝලෙන් අයින් වෙන්න කිට්ටු වෙද්දී තමයි මට තේරුණේ මං මෙච්චර කල් සැහැල්ලුවෙන් ගෙවපු ජීවිතේ ඉවර වෙන්නයි යන්නේ කියලා. ඉස්සරහට මටත් ජොබ් එකක් කරන්න වෙනවා. මගේ වියදම් මටම පියවගන්න වෙනවා.”—ඇලෙක්ස්.
ඔයා දුර ගමනක් යන්නයි ඉන්නේ කියලා හිතන්න. මුලින්ම ඔයා සිතියමක් අරන් බලයි එහෙට යන්න පුළුවන් ලේසිම, හොඳම විදිහ මොකද්ද කියලා. ඊටපස්සේ තමයි ගමන පටන්ගන්නේ. අනාගතේ කරන්න යන දේවල් සැලසුම් කරන එකත් හරියට දුර ගමනක් යන්න සැලසුම් කරනවා වගේ තමයි. ඒ දේවල් ඔයාගේ හිතේ පැහැදිලිව තියෙනවා නම් ඒවා ඉටු කරගන්න ඔයාට පුළුවන්.
හැබැයි කිසිම අරමුණක් නැතුව ඔහේ දේවල් කළොත් ඉස්සරහට කරන්න හිතාගෙන හිටපු දේවල් ඔයාට කරන්න බැරි වෙයි. ඒ නිසා ඔයාගේ ඉලක්කවලට ළං වෙන්න ඔයාගේ පැත්තෙන් කරන්න ඕනේ මොනවාද කියලා හිතලා බලන්න. බයිබලයේ කියන්නෙත්, “ඔබ යන මාවත සකසාගන්න” කියලයි. (හිතෝපදේශ 4:26) සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයක දැන් සේවේ කරන මයිකල් මෙහෙම කියනවා. “අනාගතේ ගැන සැලසුම් කරද්දී යෞවනයන්ට තෝරගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. හැබැයි යන්න ඕන තැන හරියටම කොහෙද කියලා දන්නවා නම් එතැනට යන්න ලේසියි.”
ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන දේවල් ඔයාගේ හිතේ තියාගන්න එක, හොඳ තීරණ ගන්නත් ඔයාට උදව් වෙයි. ඒ තීරණවලට ඔයා දෙවිට කරන නමස්කාරය, තෝරගන්න රැකියාව, විවාහය වගේම වෙනත් වැදගත් දේවල් සම්බන්ධයෙන් ගන්න තීරණ අයිති වෙනවා. හැබැයි අනාගතේ සැලසුම් කරද්දී ඔයා මතක තියාගන්න ඕන තව වැදගත් දෙයක් තියෙනවා.
‘ශ්‍රේෂ්ඨ සැදුම්කරුව සිහි කරන්න’
ප්‍රඥාවන්ත රජෙක් මෙහෙම කිව්වා. “ඔබට ජීවිතය දුන් ශ්‍රේෂ්ඨ සැදුම්කරුව ඔබේ යොවුන් වියේදීම සිහි කරන්න.” (දේශනාකාරයා 12:1) ඒකෙන් අදහස් කරන්නේ අනාගත සැලසුම් කරද්දී ඒ දේවල් ගැන යෙහෝවා දෙවි සතුටු වෙයිද කියලා ඔයා නිතරම හිතලා බලන්න ඕනේ කියන එකයි. ඒත් එහෙම කරන්න ඕනේ ඇයි කියලා සමහරවිට ඔයා හිතනවා ඇති.
ඒකට උත්තරේ මේ බයිබල් පදෙන් දැනගන්න පුළුවන්. “අපගේ බලසම්පන්න දෙවි වන යෙහෝවා, ඔබ සියලු ප්‍රශංසාවත් ගෞරවයත් ලැබීමට වටිනා තැනැත්තාණන්ය. මන්ද සෑම දෙයක්ම සෑදුවේ ඔබය. ඒවා සෑදුවෙත් ඒවා දිගටම පවතින්නෙත් ඔබේ කැමැත්ත නිසාය.” (එළිදරව් 4:11) හැමෝටම ජීවිතේ ලැබිලා තියෙන්නේ යෙහෝවා දෙවිගෙන්. ඒ ගැන අපි දෙවිට කොච්චර ස්තුතිවන්ත වෙන්න ඕනෙද! ඒ නිසා ඔයාට ‘ජීවිතයත් හුස්මත් අනිත් හැම දෙයක්මත්’ දුන්න යෙහෝවා දෙවිට ඔයාගේ අගය පෙන්නන්න පුළුවන් කොහොමද කියලා හිතලා බලන්න. (ක්‍රියා 17:25) ඔයා අනාගතේ කරන්න බලාපොරොත්තු වෙන දේවල් දෙවිගේ කැමැත්තට එකඟද කියලා හිතලා බලන එක අගය පෙන්නන්න පුළුවන් එක විදිහක්.
සාක්ෂිකරුවන් අතරේ ඉන්න හුඟක් යෞවනයන් එහෙම කරලා තියෙනවා. එයාලා පූර්ණකාලීනව දෙවිට සේවේ කරන්න තීරණය කරලා තියෙන්නේ ඒ නිසයි. ඔයාටත් පුළුවන් ඔයාගේ අනාගත සැලසුම්වලට මේ දේවල් ඇතුළත් කරගන්න එක ගැන හිතලා බලන්න.
පුරෝගාමි සේවය. ස්ථාවර පුරෝගාමීන් හැටියට සේවේ කරන අය වැඩි කාලයක් දේවසේවේ හවුල් වෙනවා. එයාලට ලැබෙන පුහුණුව නිසාත් වැඩිපුර සේවේ යන නිසාත් බයිබලයේ තියෙන ඉගැන්වීම් අනිත් අයට හොඳට කියලා දෙන්න එයාලට පුළුවන්.
දේවසේවකයන් අඩු ප්‍රදේශයකට ගිහින් සේවය කරන එක. සමහර යෞවනයන් සාක්ෂිකරුවන් එච්චර නැති ප්‍රදේශවලට ගිහින් ශුභාරංචිය දේශනා කරනවා. තවත් සමහරක් අය වෙන භාෂාවක් ඉගෙනගෙන ඒ භාෂාව කතා කරන සභාවලට නැත්නම් වෙන රටකට ගිහින් සේවේ කරනවා.a
මිෂනාරි සේවය. පුරෝගාමීන් හැටියට කාලයක් පුරා සේවේ කරලා තියෙන සමහර අයට වෙන රටකට ගිහින් සේවේ කරන්න විශේෂ පුහුණුවක් දෙනවා. එයාලා ඒ රටවල්වලට ගිහින් හරිම සතුටින් සේවේ කරනවා.
බෙතෙල් සේවය. සමහර යෞවනයන් සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලවල සේවේ කරනවා. එයාලට කියන්නේ බෙතෙල් සේවකයන් කියලයි. එයාලා කරන සේවයට සඟරා පොත් පත් මුද්‍රණය කරලා ඒවා වෙනත් රටවල්වලට යවන එක ඇතුළත් වෙනවා.
ජාත්‍යන්තර සේවය. ජාත්‍යන්තර සේවකයන් එක එක රටවල්වලට ගිහින් නමස්කාර මධ්‍යස්ථාන, සමුළු ශාලා, ශාඛා කාර්යාල ඉදි කරනවා.
තනිකඩ සහෝදරයන් සඳහා බයිබල් පාසැල. මේ පාසැලෙන් කරන්නේ තනිකඩව ඉන්න වැඩිමහල්ලන්ව, සහයක සේවකයන්ව පුහුණු කරන එකයි. යෙහෝවා දෙවිගේ සංවිධානයේ වැඩකටයුතු කරන විදිහ ගැන හොඳ අවබෝධයක් එයාලට ලැබෙනවා. ඒ වගේම බයිබලයේ තියෙන දේවල් අනිත් අයට හොඳට උගන්නන්න එයාලව පුහුණු කරනවා. ඒ පාසැලෙන් පුහුණු වෙන සමහර අයට වෙනත් රටවල්වලට ගිහින් සේවේ කරන්නත් අවස්ථාව තියෙනවා.
පාර හදාගන්න
ඔයාගේ බලාපොරොත්තුව පුරෝගාමියෙක් හැටියට පූර්ණකාලීනව දෙවිට සේවේ කරන්න නම් ඒක ගොඩක් හොඳ ඉලක්කයක්. ඒකෙන් ඔයාට අනිවාර්යයෙන්ම හුඟක් ආශීර්වාද ලැබෙයි. හැබැයි ඒකට ඔයා දැන් ඉඳලම හොඳට සැලසුම් කරන්න ඕනේ. උදාහරණයකට පුරෝගාමි සේවේ කරද්දී ඔයාගේ වියහියදම් පියවගන්න ඔයාට මොන වගේ වැඩක් කරන්න පුළුවන් වෙයිද කියලා හිතලා බලන්න.
කෙලී කියන යෞවනියට ඕන වුණෙත් පුරෝගාමි සේවය කරන්නයි. ඒ නිසා ජොබ් එකක් තෝරගද්දී ඒ ඉලක්කෙට ළං වෙන්න උදව් වෙන විදිහේ ජොබ් එකක් හොයාගන්න එක ගැන එයා ගොඩක් සැලකිලිමත් වුණා. කෙලී මෙහෙම කියනවා. “මට ඕන වුණේ පුරෝගාමි සේවෙට බාධා වෙන්නේ නැති විදිහේ ජොබ් එකක් හොයාගන්නයි.”
ඉස්කෝලේ යන කාලෙම කෙලී පාඨමාලාවක් කරපු නිසා එයාට පොඩි ජොබ් එකක් හොයාගෙන පුරෝගාමි සේවය පටන්ගන්න පුළුවන් වුණා. “මගේ එකම ඉලක්කය වුණේ පුරෝගාමි සේවයයි. ඒ නිසා අනිත් හැම දෙයක්ම මං කළේ ඒ ඉලක්කේ හිතේ තියාගෙනයි. පුරෝගාමි සේවය කරන්න තීරණය කරපු එක තමයි මගේ ජීවිතේ මං ගත්ත හොඳම තීරණය.” එහෙම කියන්නේ කෙලී.
පාර අහන්න
ඔයා එච්චර දන්නේ නැති පැත්තක ගමනක් යනවා නම් කාගෙන් හරි පාර අහන එක නුවණට හුරු දෙයක් නෙමෙයිද? ඒ වගේ තමයි ඔයා අනාගතේ ගැන සැලසුම් කරද්දිත් අනිත් අයගෙන් අහලා බලන එක නුවණට හුරු දෙයක්. බයිබලයෙත් මෙහෙම කියලා තියෙනවා. “උපදෙස් ලබාගෙන කරන සැලසුම් සාර්ථක වෙයි.”—හිතෝපදේශ 20:18.
ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්න දේවල් ගැන දෙමාපියන් එක්ක ඔයාට කතා කරන්න පුළුවන්. දෙවිගේ කැමැත්තට මුල් තැන දීලා වැඩ කරන සභාවේ ඉන්න අය එක්කත් ඒ ගැන කතා කරන්න. එයාලා ඔයාට හොඳ මඟ පෙන්වීම් දෙයි. ශාඛා කාර්යාලයක සේවය කරන එක යෞවනයෙක් මේ වගේ දෙයක් කියනවා. “කාලයක් තිස්සේ දෙවිට විශ්වාසවන්තව සේවය කරන අය දිහා බලලා අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්.”
ඔයාගේ අනාගතේ සැලසුම් කරද්දී දෙවිගෙන් උදව් ඉල්ලන්න අමතක කරන්න එපා. මොකද ඔයා හොඳ තීරණ අරගෙන හැමදාටම සතුටින් ඉන්නවා දකින්න දෙවි කැමතියි. ඒ නිසා ඔයා අනාගතේ කොයි විදිහට සැලසුම් කළොත්ද යෙහෝවා දෙවි කැමති වෙන්නේ කියලා නිතරම හිතන්න. (එෆීස 5:17) ඒක තේරුම්ගන්න ඔයාට උදව් කරන්න කියලා දෙවිගෙන් ඉල්ලන්න. බයිබලයේ කියලා තියෙන මේ උපදෙස කවදාවත් අමතක කරන්න එපා. “ඔබේම නුවණෙහි රඳා නොසිට මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න. ඔබේ ජීවන ගමනේදී ඔබ තබන සෑම පියවරකදීම දෙවිව සිහි කරන්න. එවිට ඔහු ඔබ යා යුතු හරි මඟ පෙන්වා දී ඔබේ දිවිය සාර්ථක කර දෙනු ඇත.”—හිතෝපදේශ 3:5, 6.
“Young People Ask—What Will I Do With My Life?” කියන DVD තැටිය නැරඹුවොත් ඔයාට තවත් වටිනා තොරතුරු හුඟක් දැනගන්න පුළුවන් වෙයි. ඒ DVD එක භාෂා 30කට වැඩියෙන් තියෙනවා
[පාදසටහන]
a 164වෙනි පිටුවේ තියෙන කොටුව බලන්න.
බයිබල් උපදෙස
‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. “මා ඔබට ආශීර්වාද කරන්නේ නැද්ද කියා බලන්න. මම අහසේ කවුළු විවර කර ඔබේ ගබඩා පිරී ඉතිරී යන තරමට ඔබට ආශීර්වාද කරන්නෙමි.”’—මලාකි 3:10.
යෝජනාවක්
අවුරුදු ගාණක් තිස්සේ දෙවිට පූර්ණකාලීනව සේවය කරලා තියෙන අයත් එක්ක කතා කරලා බලන්න. එයාලා පූර්ණකාලීන සේවේ තෝරගත්තේ ඇයි කියලත් ඒකෙන් ලැබිලා තියෙන ආශීර්වාද ගැනත් අහන්න.
මේක දැනගෙන හිටියාද?
දෙවිගේ බලය ඔයාට ලැබෙද්දී දෙවිට වැඩි වැඩියෙන් සේවය කරන්න ඔයා පෙලඹෙනවා.—ක්‍රියා 1:8.
ඔයාට වැඩක්!
දේවසේවේ තව හොඳට කරලා සතුටක් ලබන්න පුළුවන් කොහොමද කියලා මං ගිහින් කතා කරන්නේ ․․․․․
මේ කාරණා ගැන මං දෙමාපියන්ගෙන් අහලා දැනගන්න කැමති දේ ․․․․․
ඔයා හිතන්නේ මොකද්ද?
● ඔයාට තියෙන හැකියාවන් දක්ෂතා මොනවාද?
● යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න ඒ හැකියා, දක්ෂතා ඔයාට පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?
● ඔයා යෙහෝවා දෙවිට පූර්ණකාලීනව සේවේ කරන්න කැමති කොහොමද?
[313වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
‘‘මගේ දෙමාපියන්ව මං ගොඩක් අගය කරනවා. එයාලට සේවය ගැන තිබුණේ පුදුම උද්‍යෝගයක්. ආර්ථික ප්‍රශ්න ආවත් එයාලා සැලුණේ නැහැ. මට නිතරම එයාලා කිව්වේ පූර්ණකාලීන සේවය තෝරගන්න කියලයි. මගේ අනාගත සැලසුම්වලට ඒ දේවල් ගොඩක් බලපෑවා.’’—ජැරොඩ්
[314වන පිටුවේ කොටුව]
බයිබල් උපදෙස
මගේ ඉලක්ක
ඔයා කරන්න බලාපොරොත්තු වෙන ඒවා ලකුණු කරන්න. ඊටපස්සේ හිස් තැන් පුරවන්න. ඔයාට වෙන ඉලක්ක තියෙනවා නම් ඒවාත් ලියන්න.
දේවසේවය
□ මං මාසෙකට පැය ․․․․․ සේවේ යනවා
□ මං හැම මාසෙම සඟරා, පොත් පත් ․․․․․ දෙනවා
□ දේශනා සේවේ යද්දී මං බයිබල් පද පෙන්නනවා
□ මං හැම මාසෙම නැවත බැලීම් ․․․․․ කරනවා
□ බයිබල් පාඩමක් පටන්ගන්නවා
වෙන ඉලක්ක: ․․․․․
අධ්‍යයනය
□ මං හැමදාම බයිබලයේ පිටු ․․․․․ කියවනවා
□ හැම සතියෙම රැස්වීම්වලට සූදානම් වෙනවා
□ බයිබලයේ තියෙන මේ දේවල් ගැන තව තොරතුරු හොයන්න මං කැමතියි: ․․․․․
සභාව
□ හැම රැස්වීමකම අඩුම තරමින් එක අදහසක් හරි දෙනවා
□ තව හොඳට අඳුනගන්න කැමති වැඩිහිටි කෙනෙක් එක්ක මං කතා කරනවා
□ සභාවේ වයසක කෙනෙක්ව හරි අසනීපෙන් ඉන්න කෙනෙක්ව හරි බලන්න යනවා
වෙන ඉලක්ක: ․․․․․
අද දිනේ ․․․․․
ඔයා කරන්න බලාපොරොත්තු වුණු දේවල් කරලා තියෙනවාද කියලා මාස හයකට පස්සේ බලන්න. ඕනේ නම් සමහර ඒවා පොඩ්ඩක් වෙනස් කරන්න. කැමති නම් අලුත් ඉලක්ක ලියන්න.
[312වන පිටුවේ පින්තූරය]
ඉලක්කයක් නැතුව ඔහේ දේවල් කරන එක හරියට එක තැන දුවනවා වගේ තේරුමක් නැති වැඩක්