ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lf ප්‍රශ්නය 4 22-29 පි.
  • සියලුම ජීවීන් ආරම්භ වුණේ එක් ජීවියෙකුගෙන්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සියලුම ජීවීන් ආරම්භ වුණේ එක් ජීවියෙකුගෙන්ද?
  • ජීවයේ ආරම්භය වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පරිණාමීය ගස කපා දමයි
  • ෆොසිල වාර්තාවන් සාක්ෂි සපයයිද?
  • ඉදිරිපත් කළ සාක්ෂි නිවැරදිද?
  • ඇත්ත කතාව කුමක්ද?
  • පරිණාමය සත්‍යයක්ද?
    2006 පිබිදෙව්!
  • පරිණාමවාදය නඩු විභාගයකට ලක්වේ
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අලි ඇතුන් යුරෝපයෙත්
    2009 පිබිදෙව්!
ජීවයේ ආරම්භය වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු
lf ප්‍රශ්නය 4 22-29 පි.

4වන ප්‍රශ්නය

සියලුම ජීවීන් ආරම්භ වුණේ එක් ජීවියෙකුගෙන්ද?

ජීවයේ ආරම්භය සහ එහි පරිණාමය දැවැන්ත ගසකට සමාන කරමින් චාල්ස් ඩාවින් ඇන්ද පින්තූරයක්

ජීවයේ ආරම්භය හා එහි පරිණාමය ඩාවින් දැවැන්ත ගසකට සමාන කළා. පසු කාලයේදී තවත් අයද ඔහු හා එකඟ වුණා. ඔවුන්ගේ අදහසට අනුව ඒක සෛලීය ජීවීන් ගසේ කඳට සමානයි. පසුව ගසේ අතු හා රිකිලි බෙදී යන ආකාරයට ඒක සෛලීය ජීවීන් වෙනත් සත්ව හා ශාක විශේෂයන්ට බෙදී ගිය බව ඔවුන් පවසනවා. සියලුම සත්ව හා ශාක විශේෂයන් ආරම්භ වුණේ ඒ ආකාරයෙන් බව ඔවුන්ගේ මතයයි. ඇත්තටම සිදු වුණේ එයද?

බොහෝ විද්‍යාඥයන් පවසන දේ. සියලුම ජීවීන් ආරම්භ වුණේ එක් ජීවියෙකුගෙන් යන අදහස ෆොසිල වාර්තාවලින් ඔප්පු වන බව බොහෝදෙනා පවසනවා. එමෙන්ම සියලුම ජීවීන් තුළ දක්නට ලැබෙන DNA නමැති පොදු ලක්ෂණය නිසාද ඔවුන් ඉහත කී අදහස සත්‍යයක් බව සිතනවා.

බයිබලයේ සඳහන් වන දේ. බයිබලයේ සඳහන් වන්නේ ශාක, මුහුදු ජීවීන්, ගොඩබිමේ වෙසෙන ජීවීන් හා කුරුල්ලන්ව නිර්මාණය කර තිබෙන්නේ “ඒ ඒ වර්ගයට අනුව” කියායි. (උත්පත්ති 1:12, 20-25) ඉන් පැහැදිලි වන්නේ යම් වර්ගයක් තුළ විවිධත්වයක් තිබිය හැකි බවයි. නමුත් එක් එක් වර්ග අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබෙනවා. බයිබලයේ සඳහන් එම වාර්තාව සමඟ බලන විට ෆොසිල වාර්තාවලින් බලාපොරොත්තු විය හැක්කේ එක් කාලපරිච්ඡේදයක් තුළ එක වර බිහි වූ විවිධ ජීවීන් පිළිබඳ තොරතුරුයි.

සාක්ෂිවලින් ඔප්පු වන දේ. සාක්ෂිවලින් හෙළි වන්නේ ඩාවින්ගේ මතය නිවැරදි බවද? එසේත් නැත්නම් බයිබලයේ සඳහන් වාර්තාව නිවැරදි බවද? පසුගිය අවුරුදු 150 තුළ සොයාගත් දෙයින් හෙළි වන්නේ කුමක්ද? අපි දැන් ඒ ගැන සලකා බලමු.

පරිණාමීය ගස කපා දමයි

විද්‍යාඥයන් මෑත කාලවලදී ඒක සෛලීය ජීවින් සංඛ්‍යාවකගේම ජාන සැකැස්ම, සත්ව හා ශාකවල ජාන සැකැස්ම සමඟ සන්සන්දනය කර තිබෙනවා. ඔවුන් සිතුවේ සියලුම ජීවීන් හටගත්තේ එක් ජීවියෙකුගෙන් යන ඩාවින්ගේ මතය ඉන් ඔප්පු කළ හැකි වෙයි කියායි.

නමුත් පර්යේෂණවලින් හෙළි වී තිබෙන්නේ කුමක්ද? ඊට පිළිතුරු ජීව විද්‍යාඥ මැල්කම් එස්. ගෝඩන් 1999දී මෙසේ වාර්තා කළා. “ජීවය ආරම්භ වුණේ එක් ජීවියෙකුගෙන් කියා විශ්වාස කිරීමට සාක්ෂි නැහැ. ඒ වෙනුවට පෙනෙන්න තිබෙන්නේ ගසක අතු බෙදී යන ආකාරයකින් ජීවය ආරම්භ වූ බව නොව එක් එක් ජීවීන් වර්ග වෙන වෙනම ආරම්භ වූ බවයි. එමෙන්ම වර්තමානයේ ජීවීන්ව ශ්‍රේණිගත කර තිබෙන ආකාරය දෙස බලන විට එක් ජීවියෙකුගෙන් ජීවය ආරම්භ වුණා යන්න ගැළපෙන්නේ නැහැ.”29a

එක් ජීවියෙකුගෙන් ජීවය ආරම්භ වූ බවට ඩාවින්ගේ මතය මෑතකදී කළ පර්යේෂණවලින් පවා ඔප්පු වී නැහැ. උදාහරණයකට පරිණාමවාදී විද්‍යාඥයෙක් වන එරික් බැප්ටිස් පැවසූ දෙයක් 2009දී නිව් සයන්ටිස්ට් සඟරාවේ මෙසේ වාර්තා වුණා. “ගසක අතු බෙදී යනවා හා සමානව එක් ජීවියෙකුගෙන් සියලුම ජීවීන් පරිණාමය වුණා යන්න පිළිගැනීමට අපිට කිසිම සාක්ෂියක් නැහැ.”30 එම සඟරාවේම තවත් පරිණාමවාදී විද්‍යාඥයෙක් වන මයිකල් රෝස් පැවසූ දෙයක්ද සඳහන් වුණා. “තනි ගසක අතු බෙදී යන්නාක් මෙන් එක් ජීවියෙකුගෙන් සියලුම ජීවීන් ඇති වුණා යන ඩාවින්ගේ මතය දැන් ටිකෙන් ටික වැළලී යමින් තිබෙන බව අපි කවුරුත් දන්නා දෙයක්. ඒ නිසා ජීවය පිළිබඳ අප මෙතෙක් දැරූ ආකල්ප අපි වෙනස් කරගන්න ඕනේ. නමුත් තාම හුඟක් දෙනෙක් මේක තේරුම්ගෙන නැහැ.”31b

ෆොසිල වාර්තාවන් සාක්ෂි සපයයිද?

එක් ජීවියෙකුගෙන් සියලුම ජීවීන් පැවත ආ බවට ෆොසිල වාර්තා සාක්ෂි සපයන බව බොහෝ විද්‍යාඥයන්ගේ මතයයි. ඔවුන් පවසන්නේ එම වාර්තාවන්ට අනුව මත්ස්‍යයාගෙන් උභයජීවීන්ද උරගයාගෙන් ක්ෂීරපායින්ද පරිණාමය වූ බවයි. නමුත් ඇත්තටම ෆොසිල වාර්තාවෙන් හෙළි වන්නේ එයද?

පරිණාමය ඔප්පු කිරීම සඳහා පර්යේෂණ කරන පාෂාණධාතු විද්‍යාඥයෙක් වන ඩේවිඩ් එම්. රවුප් ඊට දෙන පිළිතුර සලකා බලන්න. “ඩාවින්ගේ කාලයේ මෙන්ම වර්තමානයේ සිටින භූ විද්‍යාඥයන් ෆොසිල පරීක්ෂා කිරීමෙන් ඔවුන්ට පෙනී ගොස් තිබෙන්නේ ජීවය ක්‍රමානුකූලව පරිණාමය වූ බවට සාක්ෂි නැති බවයි. ඒ වෙනුවට විවිධ ජීවීන් හදිසියේම මතු වී යම් කාලයකට පසු හදිසියේම නැති වී ගොස් තිබෙන බව ෆොසිල වාර්තාවේ පෙන්නුම් කරනවා. නමුත් ඒ කාලය තුළ ඔවුන් පරිණාමය වී ඇති බවක් දකින්න ලැබෙන්නේ නැහැ.”32

තවත් ආකාරයකින් පවසනවා නම් ෆොසිල ගණනාවකින්ම ඔප්පු වී ඇත්තේ ජීවියෙක් කාලයක් පුරා පැවතුණත් සැලකිය යුතු වෙනසක් උන් තුළ දක්නට නැති බවයි. එමෙන්ම එක් ජීවියෙක් ඊට සම්පූර්ණයෙන්ම වෙනස් ජීවියෙක් දක්වා පරිණාමය වූ බවක් පෙන්නුම් කරන සාක්ෂිද නැහැ. ඒ වෙනුවට ෆොසිල වාර්තාවලින් පෙන්නුම් කරන්නේ සුවිශේෂී ශරීර සැකැස්මකින් හා උන්ටම ආවේණික වූ හැකියාවන් ඇති ජීවීන් හදිසියේම මතු වී ඇති බවයි. ශබ්ද තරංග යොදාගෙන තම ගමන් මාර්ගය සොයාගන්නා වවුලා ඊට කදිම උදාහරණයක්. ඌ ඊට පෙර සිටි වෙනත් ජීවියෙකුගෙන් පරිණාමය වූ බවට කිසිම සාක්ෂියක් නැහැ.

වර්තමානයේ පවතින ප්‍රධාන සත්ව වර්ග අතරින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ඉතාමත් කෙටි කාලයක් තුළ එකවර ඇති වී තිබෙන බව ෆොසිල වාර්තාවලින් පෙනී යනවා. එය සිදු වී තිබෙන්නේ විද්‍යාඥයන් “කේම්බ්‍රිය යුගය” ලෙස හඳුන්වන කාලපරිච්ඡේදය තුළයි. ඒ අනුව පාෂාණධාතු විද්‍යාඥයන් එය “කේම්බ්‍රියානු පිපුරුම” ලෙස නම් කර තිබෙනවා.

කාලය පිළිබඳව ඔවුන්ගේ නිගමනය නිවැරදියි කියා සිතමු. (1) ඒ අනුව අපි පෘථිවියේ ආරම්භයේ සිට අද දක්වා ඇති කාලපරිච්ඡේදය පාපන්දු ක්‍රීඩාංගණයකට සමාන කරමු. පාෂාණධාතු විද්‍යාඥයන් පවසන ලෙස කේම්බ්‍රියානු යුගයට පැමිණීම සඳහා එම ක්‍රීඩාංගණයෙන් අටෙන් හතක් පමණ ප්‍රමාණයක් ඉදිරියට පැමිණිය යුතුයි. ෆොසිල වාර්තාවලින් පැහැදිලි වන්නේ “කේම්බ්‍රියානු පිපුරුම” හෙවත් සත්ව වර්ග අතරින් වැඩි ප්‍රමාණයක් එකවර බිහි වී තිබෙන්නේ මෙම යුගයේ ඉතාමත් කෙටි කාලයක් තුළදීයි. (2) එය කොතරම් කෙටිද කියනවා නම් පහත සඳහන් චිත්‍රයේ දැක්වෙන ලෙස පියවරකටත් වඩා අඩු කාලපරිච්ඡේදයකදීයි.

පෘථිවියේ ආරම්භයේ සිට කේම්බ්‍රියානු පිපුරුම දක්වා දිව ගිය කාලය විස්තර කරන්න පාපන්දු පිටියක දිග යොදාගෙන සකස් කරපු රූප සටහනක්

ඉතා කෙටි කාලපරිච්ඡේදයක් තුළ සත්ව වර්ග වැඩි ප්‍රමාණයක් එකවර බිහි වී ඇති බවට සාක්ෂි තිබෙනවා. ඒ නිසා ජීවීන් පරිණාමය වුණා යන අදහස ගැන අධ්‍යයනය කරන අය ඩාවින් හඳුන්වා දුන් මතය ගැන ප්‍රශ්න කිරීමට පටන්ගෙන තිබෙනවා. උදාහරණයකට 2008දී පරිණාමවාදී ජීව විද්‍යාඥ ස්ටුවට් නියුමන් ප්‍රකාශ කළේ එකිනෙකාට වෙනස් ජීවීන් රැසක් එකවර බිහි වූ ආකාරය පැහැදිලි කිරීමට නව ක්‍රමයක් ගැන කල්පනා කළ යුතු බවයි. ඔහු මෙවැනි දෙයක්ද ප්‍රකාශ කළා. “මගේ විශ්වාසයට අනුව ජීවියෙක් තවත් ජීවියෙක් දක්වා පරිණාමය වූ ආකාරය තේරුම්ගැනීමට ඩාවින් ඉදිරිපත් කළ මතය ගැළපෙන්නේ නැහැ. ඒ නිසා එය බැහැර කර ඊට ඔබ්බෙන් යම් දෙයක් සලකා බලන්න අවශ්‍යයි.”33

ඉදිරිපත් කළ සාක්ෂි නිවැරදිද?

සමහර පොත්වල පරිණාමය වුණා කියලා පෙන්වන්න යොදාගන්න ෆොසිල

විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් ෆොසිල පිළිවෙළින් දක්වා ඇති සමහර පොත්වල ඒවා සියල්ලම එකම ප්‍රමාණයෙන් දක්වා ඇත්තේ ඇයි?

ඉහළ වම් පැත්තේ: විවිධ ප්‍රමාණයෙන් යුත් ෆොසිල සමහර පොත්වල දක්වා ඇති ආකාරය

ඉහළ දකුණු පැත්තේ: එකිනෙකට සාපේක්ෂ සැබෑ ප්‍රමාණය

මත්ස්‍යයන් උභයජීවීන් බවටත් උරගයන් ක්ෂීරපායින් බවටත් පරිණාමය වුණා කියා පෙන්වීමට විද්‍යාඥයන් ෆොසිල ඉදිරිපත් කරනවා. නමුත් ඇත්තටම එවැනි පරිණාමයක් වූ බවට ෆොසිලවලින් ඔප්පු වෙනවාද? ඒ ගැන කිට්ටු අවධානයක් දුන් විට අපට යම් ප්‍රශ්න කිහිපයක් මතු වෙනවා.

මුලින්ම මතු වන ගැටලුව නම් ෆොසිලවල සැබෑ ප්‍රමාණයයි. උරගයන් ක්ෂීරපායින් බවට පරිණාමය වූ ආකාරය පෙන්වීමට විද්‍යාඥයන් ෆොසිල පෙළක් ඉදිරිපත් කරනවා. නමුත් විද්‍යා අත්පොත්වල ඒවා චිත්‍රයට නඟා ඇති ආකාරය නිසා බොහෝදෙනා සිතන්නේ ඒ සියලු ෆොසිල ප්‍රමාණයෙන් එක හා සමාන බවයි. නමුත් ඇත්තටම ඒවා එසේ නොවෙයි. එම ෆොසිල පෙළේ සමහර ඒවා ප්‍රමාණයෙන් ඉතා විශාල වන අතර තවත් ඒවා ඉතා කුඩායි.

ඊළඟ ප්‍රශ්නය වන්නේ එම ෆොසිල පෙළ එකින් එක සම්බන්ධ වන ආකාරය තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැති වීමයි. එම ෆොසිල අතර තිබෙන සමහර ෆොසිල වසර මිලියන ගණනක් පැරණි බව විද්‍යාඥයන් පවසනවා. ඒ අනුව ෆොසිල දෙකක් අතර ඇති කාල පරතරය ගැන සත්ව විද්‍යාඥ හෙන්රි ජී. මෙසේ පවසනවා. “ෆොසිල දෙකක් අතර තිබෙන කාල පරතරය එතරම් විශාල නිසා එකකින් අනික පරිණාමය වුණා කියා නිශ්චිතව පවසන්න බැහැ.”34c

මෙතෙක් හමු වී ඇති මත්ස්‍යයන්ගේ හා උභයජීවීන්ගේ ෆොසිල සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජීව විද්‍යාඥ මැල්කම් එස්. ගෝඩන් මෙසේ පවසනවා. “ඒ ඒ ජීවී වර්ගයන්ට අයත් ෆොසිල රැසක් සොයාගෙන තිබෙනවා. ඉන් ඔප්පු වන්නේ ඒ කාලයේදී එම වර්ගයන්ට අයත් විවිධ ජීවීන් රැසක් සිට ඇති බවයි.” ඒ වගේම ඔහු මෙවැනි දෙයක්ද පවසනවා. “එම ජීවීන් පසු කාලවල වෙනත් ජීවීන් දක්වා පරිණාමය වූ ආකාරය ගැන විස්තර කරන්න අපි දන්නේ නැහැ. ඊට අමතරව මෙම ජීවීන් එකිනෙකාට සම්බන්ධ වුණේ කොහොමද කියාවත් ඍජු අදහසක් ඉදිරිපත් කිරීමට අපට හැකියාවක් නැහැ.”35d

විවිධ වර්ගයේ සතුන් අතර සම්බන්ධතාවක් පෙන්වන ප්රස්තාරයක්

ඇත්ත කතාව කුමක්ද?

වර්ෂ 2004දී නැෂනල් ජියොග්‍රැෆික් සඟරාවේ ෆොසිල වාර්තාව ගැන මෙසේ සඳහන් කර තිබුණා. “පරිණාමය හරියට සෑම රූප රාමු 1,000කින් 999ක්ම නැති වූ චිත්‍රපටියක් වගෙයි.”36 ඉන් කියා පෑමට උත්සාහ කරන දේ බලන්න.

චිත්රපටියක් සහ චිත්රපටියක රෑප රාමු කීපයක්

මෙතෙක් සොයාගෙන ඇති ෆොසිල සියල්ල රූප රාමු 100කට සමානයි. එක් ජීවියෙක් තවත් ජීවියෙක් බවට පරිණාමය වූ බවක් ඉන් ඔප්පු වන්නේ නැහැ. එසේනම් ඉන් රූප රාමු පහක් පමණක් ඉදිරිපත් කරමින් එසේ වූ බව පාෂාණධාතු විද්‍යාඥයන් පවසන්නේ ඇයි?

එය අපි මෙසේ තේරුම්ගනිමු. රූප රාමු 1,00,000කින් සමන්විත චිත්‍රපටියක් තිබෙනවා කියා සිතන්න. නමුත් ඉන් ඔබට සොයාගැනීමට ලැබෙන්නේ රූප රාමු 100ක් පමණයි. එය කුමක් වටා ගෙතුණු කතාවක්ද කියා ඔබට එම රූප රාමුවලින් තීරණය කළ හැකිද? ඒ ගැන ඔබට යම් අනුමාන අදහසක් තිබෙන අතර එය ඔප්පු කිරීම සඳහා එම රූප රාමු 100න් ඔබේ අදහසට ගැළපෙන්නේ රූප රාමු පහක් පමණයි. ඒවා පමණක් පිළිවෙළින් තබා ඔබේ අනුමාන අදහස ඔප්පු කිරීමට උත්සාහ කිරීම සාධාරණයි කියා ඔබ සිතනවාද? අනික් රූප රාමු 95න් හෙළි වන්නේ වෙනත් කතන්දරයක් නම් සියලුම රූප රාමු පිළිවෙළින් තබා කතන්දරය කුමක්ද කියා දැනගැනීමට උත්සාහ කිරීම ඊට වඩා සාධාරණයි කියා ඔබ සිතන්නේ නැද්ද!

පරිණාමවාදීන් ෆොසිල වාර්තා ඉදිරිපත් කරන ආකාරයට මෙම නිදසුන ගැළපෙන්නේ කෙසේද? දිගු කාලයක් පුරා පැවත තිබූ ජීවී විශේෂයන් තුළ සැලකිය යුතු ප්‍රමාණයේ වෙනස්කම් දක්නට ලැබෙන්නේ නැති බව බොහෝ ෆොසිල වාර්තාවලින් පැහැදිලිව පෙනෙන්න තිබුණත් වසර ගණනාවක් පුරා පර්යේෂකයන් එය පිළිගත්තේ නැහැ. මෙතරම් වැදගත් සාක්ෂි තිබියදීත් ඔවුන් ඒ ගැන කිසිවක් නොපවසන්නේ ඇයි? ඒ ගැන රිචඩ් මොරිස් නමැති කතුවරයා පවසන දේ සැලකිල්ලට ගන්න. “පාෂාණධාතු විද්‍යාඥයන්ගේ පිළිගත් මතය වුණේ ජීවීන් ක්‍රමක්‍රමයෙන් පරිණාමය වූ බවයි. ඔවුන් ඒ මතයේම එල්බගෙන සිටි නිසා ඊට පටහැනි සාක්ෂි ෆොසිල මගින් අනාවරණය වුණත් ඒවා පිළිගන්න ඔවුන් කැමති වුණේ නැහැ. ඔවුන් උත්සාහ කළේ එම සාක්ෂි පවා ඔවුන්ගේ මතයට සරිලන විදිහට ඉදිරිපත් කිරීමටයි.”37

“ෆොසිල කිහිපයක් පිළිවෙළින් තබා ජීවය පරිණාමය වූයේ මෙසේයැයි පැවසීම උපකල්පනයක් පමණයි. එය ප්‍රිය උපදවන, යම් පාඩමක් ඉගෙනගත හැකි සුරංගනා කතාවක් වගෙයි. නමුත් එය විද්‍යාවෙන් ඔප්පු කළ හැකි දෙයක් නොවෙයි.”—හෙන්රි ජී විසින් රචිත In Search of Deep Time—Beyond the Fossil Record to a New History of Life නම් පොතේ 116-117 දක්වා පිටු.

නවීන දින පරිණාමවාදීන් ගැන කුමක් කිව හැකිද? ඔවුන් ෆොසිල යම් පිළිවෙළකට අනුව ඉදිරිපත් කරන්නේ එම පිළිවෙළ ඔප්පු කිරීම සඳහා ඇති තරම් ෆොසිල සහ ප්‍රවේණි සාක්ෂි බහුලව තිබෙන නිසාද නැත්නම් එම පිළිවෙළ ඔවුන්ගේ මතයට ගැළපෙන නිසාද?e

ඔබ සිතන්නේ කුමක්ද? සාක්ෂිවලට අනුව හොඳම නිගමනය කුමක්ද? මෙතෙක් සලකා බැලූ තොරතුරු නැවතත් සැලකිල්ලට ගනිමු.

  • පෘථිවියේ සිටි මුල් ජීවීන් “සරලයි” කියා පැවසිය නොහැකියි.

  • සෛලයකට අවශ්‍ය සංඝටක පවා අහම්බෙන් ඇති වුණා යන්න සිතාගන්නවත් බැරි දෙයක්.

  • මිනිසා මෙතෙක් බිහි කර ඇති ඕනෑම සුපිරි “පරිගණක වැඩසටහනකට” හෝ තොරතුරු ගබඩා කිරීමේ පද්ධතියකට වඩා DNA අණුව ඉතා සංකීර්ණ මෙන්ම අති දියුණු තාක්ෂණයකින් යුත් බවට සාක්ෂි තිබෙනවා.

  • සියලුම ජීවීන් පැවත ඇවිත් තිබෙන්නේ තනි ජීවියෙකුගෙන් නොවන බව ප්‍රවේණි විද්‍යාවෙන් කළ පර්යේෂණ තුළින් හෙළි වී තිබෙනවා. ෆොසිල වාර්තාවෙන් හෙළි වන්නේ එක් එක් ජීවීන් වර්ග එකවර වෙන වෙනම ආරම්භ වූ බවයි.

මෙම සත්‍ය තොරතුරුවලට අනුව ඔබ සිතන්නේ කුමක්ද? ජීවයේ ආරම්භය පිළිබඳව බයිබලයේ සඳහන් පැහැදිලි කිරීම මෙතෙක් සොයාගෙන තිබෙන සාක්ෂිවලට එකඟද? බොහෝදෙනා පවසන්නේ බයිබලයේ ඇති වාර්තාව විද්‍යාවට පටහැනි බවයි. ඇත්තටම එය සත්‍යයක්ද? බයිබලයේ ඒ ගැන සඳහන් වෙන්නේ කුමක්ද?

a ජීව විද්‍යාවට අනුව සෑම ජීවියෙකුවම ශ්‍රේණිගත කර තිබෙනවා. ඒවා නම් කර තිබෙන්නේ රාජධානිය, වංශය, වර්ගය, ගෝත්‍රය, කුලය, ගණය සහ විශේෂය ලෙසයි. උදාහරණයකට අශ්වයාව ශ්‍රේණිගත කර තිබෙන්නේ මෙසේයි. රාජධානිය, සත්ව; වංශය, කෝඩේටා; වර්ගය, ක්ෂීරපායි; ගෝත්‍රය, පෙරිසෝඩැක්ටයිලා; කුලය, ඉක්විඩේ; ගණය, ඉක්වස්; විශේෂය, කැබලස්.

b මෙහිදී අවධාරණය කළ යුතු කරුණක් වන්නේ මිනිසා පරිණාමය වුණා යන මතය වැරදියි කියා නිව් සයන්ටිස් සඟරාවවත් බැප්ටිස් හෝ රෝස් යන විද්‍යාඥයන්වත් පවසන්නේ නැති බවයි. නමුත් ඔවුන් පවසන්නේ ඩාවින් තම මතය සඳහා මූලික පදනම කරගත් ‘ගස’ පිළිබඳ අදහස සත්‍යය බව ඔප්පු කිරීමට සාක්ෂි නැති බවයි. ඔවුන් තවමත් පරිණාමය විස්තර කිරීමට වෙනත් ක්‍රම සොයමින් සිටිනවා.

c විද්‍යාඥ හෙන්රි ජී. පරිණාමවාදය පිළිගන්නා කෙනෙක් වන අතර එම මතය වැරදියි කියා ඔහු පවසන්නේ නැහැ. ඔහු කී දෙයින් පැහැදිලි වන්නේ ෆොසිල වාර්තාවෙන් තේරුම්ගත හැකි දේවල් සීමිත බවයි.

d විද්‍යාඥ මැල්කම් එස්. ගෝඩන් පරිණාමවාදය විශ්වාස කරන කෙනෙක්.

e “මිනිසාගේ පරිණාමය සත්‍යයක්ද?” යන කොටුව බලන්න.

සත්‍යය සහ ඊට අදාළ ප්‍රශ්න

  • සත්‍යය: පරිණාමවාදය මූලිකවම පදනම් වී තිබෙන්නේ, ජීවය ආරම්භ වුණේ අහඹු සිදුවීම් පෙළක ප්‍රතිඵලයකින් යන මතය හා ජෛව විවිධත්වය ඇති වුණේ ඉන්පසුව සිදු වූ තවත් අහඹු සිදුවීම් පෙළක ප්‍රතිඵලයකින් යන මතය හේතු කරගෙනයි. ජීවයේ ආරම්භය පිළිබඳ බයිබලයේ සඳහන් වාර්තාව පිළි නොගන්නා විද්වතුන් පවා එම මත දෙකෙහි ඇති සත්‍යයතාව ගැන සැක පහළ කරනවා.

    ප්‍රශ්නය: ඩාවින් ඉදිරිපත් කළ පරිණාමවාදය ගැන මෙතරම් විවාද ඇති වී තිබෙනවා නම් එය විද්‍යාත්මක සත්‍යයක් කියා පැවසිය හැකිද?

  • සත්‍යය: සියලුම ජීවීන්ගේ DNA බොහෝදුරට එක සමානයි. සෛලවල සැකැස්ම මෙන්ම ක්‍රියාකාරිත්වය පාලනය වන්නේ මෙම DNA අණුව සපයන දත්ත මගිනුයි.

    ප්‍රශ්නය: එම සමානකමට හේතුව සියලුම ජීවීන් එක් ජීවියෙකුගෙන් පරිණාමය වීමද නැත්නම් සියලුම ජීවීන්ට සිටින්නේ එක් නිර්මාණකරුවෙක් වීමද?

මිනිසාගේ පරිණාමය සත්‍යයක්ද?

හිස්කබලක්

මිනිසාගේ පරිණාමය පෙන්වන ඉහත හා සමාන රූප පෙළක් බොහෝ විද්‍යා පොත් පත් හා විශ්වකෝෂවල ඔබ දැක ඇති. අතුරුදහන් වූ පුරුක් සොයාගත් බවට විටින් විට මාධ්‍ය තුළින් කෙරෙන දැවැන්ත ප්‍රචාරයන් නිසා පරිණාමවාදීන් පවසන්නේ මිනිසා වානරයාගෙන් පරිණාමය වූ බවට ඕනෑ තරම් සාක්ෂි තිබෙනවා කියායි. ඇත්තෙන්ම එහි සත්‍යයතාවක් තිබෙනවාද? ඊට පිළිතුරු දැනගැනීමට පරිණාමය සත්‍යයක් බව ඔප්පු කිරීමට කටයුතු කරන පර්යේෂකයන්ගේ අදහස් කිහිපයක් සලකා බලමු.f

ෆොසිල මගින් ඇත්තටම හෙළි වන්නේ කුමක්ද?

සත්‍යය: මිනිසා වානරයාගෙන් පරිණාමය වුණා යන මතය ඔප්පු කිරීමට විසිවන සියවස ආරම්භයේදී යොදාගත් ෆොසිල ප්‍රමාණය ඉතා ස්වල්පයයි. එය තරමක් විශාල කෑම මේසයක් මත ඇතිරිය හැකි ප්‍රමාණයකට සමානයි. නමුත් එදා සිට මේ දක්වා එම මතය ඔප්පු කිරීමට යොදාගෙන තිබෙන ෆොසිල ප්‍රමාණය වැඩි වී තිබෙනවා. ඒ ගැන දැන් ඔවුන් පවසන්නේ කෝච්චි පෙට්ටියක් පුරවන්න තරම් ෆොසිල හමු වී ඇති බවයි.38 කෙසේනමුත් සාක්ෂි ලෙස ඔවුන් ඉදිරිපත් කරන්නේ දත් කිහිපයක හෝ අස්ථි කිහිපයක ෆොසිල පමණයි. සම්පූර්ණ ඇටසැකිල්ලක් කෙසේවෙතත් සම්පූර්ණ හිස්කබල්වත් ඒ අතර නැති තරම්.39

ප්‍රශ්නය: මිනිසා වානරයාගෙන් පරිණාමය වුණා නම් ඒ කෙසේද, කුමන කාලයේදීද කියා ඔප්පු කිරීමට පරිණාමවාදී විද්‍යාඥයන්ට එම ෆොසිල මගින් හැකි වී තිබෙනවාද?

පිළිතුර: නැහැ. ඔප්පු වී තිබෙන්නේ ඊට විරුද්ධ දෙයයි. හමු වී තිබෙන ෆොසිල ශ්‍රේණිගත කළ යුතු ආකාරය ගැන අදහස් දක්වමින් ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ රොබින් ඩෙරිකෝට් 2009දී මෙසේ පැවසුවා. “මේ සම්බන්ධයෙන් අපිට පැහැදිලිවම කියන්න තියෙන්නේ මේ කාරණය ගැන අපිට එකඟ වෙන්න බැහැ කියන එකයි.”40 අතුරුදහන් වූ පුරුකක් සොයාගත් බව පවසමින් එක් පිරිසක් 2007දී නේචර් සඟරාවේ ලිපියක සඳහන් කළේ වානරයා මිනිසා බවට පරිණාමය වුණේ කුමන අවදියේද කියා කිසිම දෙයක් අපි තවමත් දන්නේ නැහැ කියායි.41 ඒ වගේම හංගේරියාවේ එයොට්වොස් ලොරාන්ඩ් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අංශයේ පර්යේෂකයෙකු වන ගියුලා යෙනෙෂ් 2002දී මෙවැනි දෙයක් පැවසුවා. “හොමිනිඩ් කුලයට අයත් ෆොසිල ශ්‍රේණිගත කරන්නේ කෙසේද, පරිණාමය වූ කාලවකවානුවේ ඒවා අයිති වන්නේ කුමන කාලයටද යන්න ගැන පවතින්නේ නිරන්තර විවාදයක්.”g එමෙන්ම වානරයාගෙන් මිනිසා පරිණාමය වුණේ කෙසේද, කවදාද, කොහේදීද යන්න ගැන පැහැදිලිව නිශ්චය කරගැනීමට මෙතෙක් සොයාගෙන ඇති ෆොසිලවලින් ලැබෙන සාක්ෂි ප්‍රමාණවත් නැහැ කියාද ඔහු පැවසුවා.42

“අතුරුදහන් වූ පුරුක්” ගැන ප්‍රචාර

සත්‍යය: “අතුරුදහන් වූ පුරුකක්” සොයාගත් බව දැනගත් විගස මාධ්‍යයන් තුළින් ඒ සඳහා දැවැන්ත ප්‍රචාරයක් ලබා දෙනවා. වර්ෂ 2009දී සොයාගත් අයිඩා ෆොසිලයට මාධ්‍යය මගින්, ප්‍රසිද්ධ නළු නිළියන්ට හා සමාන ප්‍රචාරයක් ලබා දුන් බව එක් සඟරාවක පළ වුණා.43 එක්සත් රාජධානියේ ද ගාඩියන් පුවත්පතෙහි ලොකු අකුරින් ඒ ගැන මෙසේ පළ වුණා. “මානව පරිණාමයේ ‘අතුරුදහන් වූ පුරුක’ අයිඩා ෆොසිලය, අතිවිශිෂ්ට සොයාගැනීමක්.”44 කෙසේනමුත් ඊට දින කිහිපයකට පසු එරටෙහිම නිව් සයන්ටිස්ට් සඟරාවේ මෙවැනි අදහසක් පළ වුණා. “අයිඩා ෆොසිලය, මානව පරිණාමයේ ‘අතුරුදහන් වූ පුරුක්වලින්’ එකක් නොවේ.”45

ප්‍රශ්නය: “අතුරුදහන් වූ පුරුකක්” සොයාගත්තායැයි පැවසූ විගස ලබා දෙනවා හා සමාන ප්‍රචාරයක් එය වැරදියි කියා හෙළි වූ විට ලබා නොදෙන්නේ ඇයි?

ෆොසිලයක්

පිළිතුර: එවැනි නව සොයාගැනීම් කරන අය පිළිබඳව රොබින් ඩෙරිකෝට් මෙසේ පවසනවා. “පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා ඔවුන්ගේ සොයාගැනීම් පිළිබඳව අතිශයෝක්තියෙන් කතා කරන්නේ තම පර්යේෂණ කටයුතුවලට මූල්‍යාධාර ලබා දෙන ආයතන ආකර්ෂණය කරගැනීමටයි. අනික් අතට උණුසුම් පුවත් ඉතා රස කර ඉදිරිපත් කිරීමට බලා සිටින මාධ්‍ය ආයතනත් ඒවා ප්‍රචාරය කිරීමට පසුබට වෙන්නේ නැහැ.”46

වානර මිනිසාගේ රූපසටහන් හා ආකෘති

සත්‍යය: බොහෝ පොත් පත්වල හා කෞතුකාගාරවල මිනිසා පරිණාමය වුණායැයි පවසන ආකාරයේ රූප හෝ ආකෘති දකින්න ලැබෙනවා. ඒවා විශේෂිත වූ මුහුණු හැඩයන් සමේ වර්ණයන් හා හිසකෙස් මෙන්ම රෝමවලින් යුක්තයි. ඒවායෙහි මුල් රූප හා ආකෘතිවලට වානරයා හා සමාන පෙනුමක්ද මිනිසාට ළං වෙනවාත් සමඟම මිනිසා හා සමාන පෙනුමක් ලබා දී තිබෙනවා.

ප්‍රශ්නය: ෆොසිලයක් පමණක් පදනම් කරගෙන ඊට අදාළ ජීවියාව, සියලුම දේහ ලක්ෂණ සහිතව නිවැරදිව නිර්මාණය කිරීමට විද්‍යාඥයන්ට හැකිද?

පිළිතුර: බැහැ. ඒ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ ව්‍යූහ විද්‍යා අංශයේ සේවය කරන අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වන කාල් එන්. ස්ටීවන් 2003දී මෙවැනි දෙයක් වාර්තා කළා. “මිනිසාගේ ආදිමුතුන්මිත්තන්ගේ මුහුණුවල හැඩයට සමාන මුහුණු නිවැරදිව නිර්මාණය කරන්න බැහැ.” ඔහු තවදුරටත් පවසන්නේ සමහර මුහුණු නිර්මාණය කර තිබෙන්නේ වර්තමානයේ සිටින වානරයන්ගේ මුහුණු අනුකරණය කරමින් නිසා “ඒවා තම වාසියට අනුව නිර්මාණය කර තිබෙනවා පමණක් නොව ඒවා නිවැරදියි කියා කොහෙත්ම කියන්න බැහැ” කියායි. ඒ අනුව ඔහුගේ නිගමනය වූයේ “ආදිමිනිසාගේ මුහුණට සමානයි කියා සාදන ඕනෑම මුහුණක් ඇත්තෙන්ම නොමඟ යැවීමක්” බවයි.47

මොළයේ ප්‍රමාණයෙන් බුද්ධිය තීරණය කිරීම

සත්‍යය: ආදිමුතුන්මිත්තා මිනිසාට කොතරම් ඈතින් හෝ කිට්ටුවෙන් සිටියාද කියා පරිණාමවාදීන් තීරණය කරන ප්‍රධාන සාධකය වන්නේ ජීවියාගේ මොළයේ ප්‍රමාණයයි.

ප්‍රශ්නය: ජීවියෙකුගේ මොළයේ ප්‍රමාණය, එම ජීවියාගේ බුද්ධිය මැනීමට නිවැරදි සාධකයක්ද?

මිනිසෙකුගේ සහ වානරයෙකුගේ හිස්කබලක්

පිළිතුර: නැහැ. වඳ වී ගොස් ඇති සතුන්ගෙන් මිනිසාට කිට්ටු සම්බන්ධයක් තිබෙන්නේ කුමන ජීවීන්ටද කියා සොයා බැලීමට එක් කණ්ඩායමක් පරීක්ෂණ පැවැත්වූවා. ඒ සඳහා ප්‍රධාන සාධකය ලෙස ඔවුන් ජීවීන්ගේ මොළය යොදාගත්තත් ඒ ගැන ඔවුන් පවසන්නේ ඔවුන්ට “ඒ ගැන එතරම් විශ්වාසයක් නැති” බවයි.48 ඒ ඇයි? සයන්ටිෆික් ඇමරිකන් මයින්ඩ් යන සඟරාවේ 2008දී පළ වූ මේ ප්‍රකාශය සලකා බලන්න. “මොළයේ ප්‍රමාණය අනුව මිනිසුන්ගේ හෝ සතුන්ගේ බුද්ධිය තීරණය කරන්න විද්‍යාඥයන්ට හැකි වී නැහැ. ඒ වගේම බ්‍රොකාගේ පෙදෙස හැර මොළයේ විවිධ කොටස් කුඩා හෝ විශාල වූ පමණින් එම ජීවියාගේ බුද්ධියට හෝ දැනුමට එය ඍජුවම බලපාන බව පැවසිය නොහැකියි.”49

ඔබ සිතන්නේ කුමක්ද? ජීවියෙකුගේ මොළයේ ප්‍රමාණය අනුව බුද්ධිය තීරණය කිරීමට නොහැකි බව දැන දැනත් වානරයාගෙන් මිනිසා පරිණාමය වුණා කියා පෙන්වීමට විද්‍යාඥයන් ෆොසිල එම අනුපිළිවෙළට තබන්නේ ඇයි? ඔවුන් උත්සාහ කරන්නේ, තිබෙන සාක්ෂි ඔවුන්ගේ මතයට ගැළපෙන ආකාරයට ඉදිරිපත් කිරීමටද? හමු වී ඇති ෆොසිලවලින් මිනිසාගේ පරිණාමයට ගැළපෙන්නේ කුමන ඒවාද යන්න ගැන පර්යේෂකයන් අතර නිරන්තර වාදයක් පවතින්නේ ඇයි? ඊට හේතුව ඔවුන් සතු ෆොසිල දැනටමත් වඳ වී ගොස් ඇති වානර විශේෂයකගේ නිසා විය නොහැකිද?

නමුත් මිනිසාගේ මුතුන්මිත්තෙකුයැයි පවසන නියැන්ඩර්තාල් මානවයා ලෙස හඳුන්වන ෆොසිලය ගැන කුමක් කිව හැකිද? පර්යේෂකයන්ට ඒ ගැන මුලින් තිබූ අදහස දැන් ඔවුන් වෙනස් කිරීමට පටන්ගෙන තිබෙනවා. ඒ ගැන එක් පොතක 2009දී මිල්ෆර්ඩ් එච්. වොල්පොෆ් මෙසේ පැවසුවා. “නියැන්ඩර්තාල් ෆොසිලය අතීතයේ ජීවත් වූ එක්තරා මිනිස් කොට්ඨාසයකට අයත් වුණා විය හැකියි.”50—American Journal of Physical Anthropology.

මිනිසාගේ පරිණාමය සම්බන්ධයෙන් බොහෝදෙනා “සාක්ෂි” වශයෙන් ඉදිරිපත් කරන්නේ ඒවා සත්‍ය තොරතුරු නිසා නොව ධනය, ප්‍රසිද්ධිය වැනි දේවල් බලාපොරොත්තුවෙන් බව අවංක නිරීක්ෂකයන් හොඳින් වටහාගන්නවා. එවැනි සාක්ෂි පිළිගැනීමට ඔබ සූදානම්ද?

f සැලකිල්ලට ගන්න: මෙහි සඳහන් පර්යේෂකයන් සියලුදෙනාම පරිණාමවාදීන් වන අතර ජීවයේ ආරම්භ ගැන බයිබලයේ සඳහන් වාර්තාව ඔවුන් විශ්වාස කරන්නේ නැහැ.

g පරිණාමය සඳහා පර්යේෂණ කරන අය හොමිනිඩ් කුලයට ඇතුළත් කරන්නේ මානවයා සහ මානවයාට සමානකමක් තිබුණායැයි ඔවුන් විශ්වාස කරන ජීවීන්වයි.

මෙම රූප පෙළෙහි ඇති අඩුපාඩු මොනවාද?

පරිණාමවාදයේ කියන විදිහට වානරයාගේ සිට මිනිසා දක්වා පරිණාමය වුණු විදිහ
  • මෙවැනි රූප සත්‍යය මත පදනම් ඒවා නොව, පර්යේෂකයන්ගේ වාසියට හා උපකල්පනයන්ට අනුව චිත්‍රශිල්පීන් චිත්‍රයට නඟා ඇති ඒවායි.51

  • දත්වල ෆොසිල

    මෙවැනි චිත්‍ර බොහොමයක් පදනම් වී ඇත්තේ හිස්කබලක කොටසක් හෝ දත් කිහිපයක් පමණක් පදනම් කරගෙනයි. සම්පූර්ණ ඇටසැකිල්ලක් කෙසේවෙතත් සම්පූර්ණ හිස්කබලක්වත් සොයාගෙන නැති තරම්.

  • මිනිසාගේ පරිණාමයට අනුව ෆොසිල ශ්‍රේණිගත කරන්නේ කෙසේද යන්න ගැන පර්යේෂකයන් අතර පවතින්නේ නිරන්තර වාදයක්.

  • වානරයෙකුගේ මුහුණක්, සමේ පැහැය සහ හිසකෙස්

    අතීතයේදී සිටි බව පවසන මෙවැනි ජීවීන්ගේ මුහුණුවල හැඩය, සමේ වර්ණය ඇතුළු සියලුම දේහ ලක්ෂණ සහිත ආකෘතියක් නිවැරදිව නිර්මාණය කරන්න කිසිවෙකුට බැහැ.

  • මෙවැනි රූප පෙළගස්වා තිබෙන්නේ මූලිකවම ජීවීන්ගේ මොළයේ ප්‍රමාණයේ අණු පිළිවෙළටයි. එසේ කර තිබෙන්නේ බුද්ධිය තීරණය වන්නේ ජීවියාගේ මොළයේ ප්‍රමාණයට අනුව නොවන බවට ඉදිරිපත් වී ඇති සාක්ෂිද නොසලකාහරිමිනුයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න