5වෙනි පාඩම
දිගටම හරි දේ කරපු සාමුවෙල්
සාමුවෙල් පොඩි කාලේ ඉඳන්ම වැඩ කළේ ශුද්ධ කූඩාරමේ. ඒ කාලේ මිනිසුන් දෙවිට නමස්කාර කරන්න ගියේ එතනටයි. සාමුවෙල් පොඩි කාලෙදීම එතනට ගියේ කොහොමද කියලා ඔයා දන්නවද? අපි ඒ ගැන දැන් බලමු.
සාමුවෙල්ගේ අම්මාගේ නම හන්නා. එයාට හුඟක් කාලයක් යනකම් දරුවෙක් හිටියේ නැහැ. ඒ ගැන එයා දෙවිට යාච්ඤා කළා. දරුවෙක් ලැබුණොත් ශුද්ධ කූඩාරම ළඟ නතර වෙලා වැඩ කරන්න ඒ දරුවාව දෙනවා කියලා හන්නා පොරොන්දු වුණා. යෙහෝවා දෙවි එයාගේ යාච්ඤාව අහපු නිසා හන්නාට පුතෙක් ලැබුණා. එයා තමයි සාමුවෙල්. සාමුවෙල්ට අවුරුදු තුන හතරක් වෙද්දී හන්නා පොරොන්දු වුණා වගේම ශුද්ධ කූඩාරමේ වැඩ කරන්න එයාව භාර දුන්නා.
ඒ කාලේ උත්තම පූජකයා විදිහට හිටියේ ඒලී කියන කෙනායි. දෙවි කියන දේවල් සෙනඟට කියන්න භාර දීලා තිබුණේ එයාටයි. එයාට ලොකු පුත්තු දෙන්නෙක් හිටියා. ඒ අය වැඩ කළෙත් ශුද්ධ කූඩාරමේ. ඒත් ඒ දෙන්නා එතන ඉඳන් හුඟක් නරක දේවල් කළා. පුංචි සාමුවෙල් ඒවා දැක්කා. එයාත් ඒලීගේ පුත්තු වගේ නරක දේවල් කළාද?— එයාගේ අම්මායි තාත්තායි උගන්වලා තිබුණු විදිහට එයා හැම වෙලාවෙම කළේ හරි දේ.
නරක වැඩ කරපු පුත්තු දෙන්නට ඒලී මොනවා කරන්න තිබුණා කියලද ඔයා හිතන්නේ?— හරි නම් එයා කරන්න තිබුණේ ඒ වගේ නරක දේවල් කරන්න එපා කියලා ඒ දෙන්නට දඬුවමක් දෙන එකයි. ශුද්ධ කූඩාරමේ වැඩ කරන්න එපා කියලා කියන එකයි. ඒත් එයා එහෙම කළේ නැහැ. ඒ නිසා යෙහෝවා දෙවි ඒලී ගැනත් එයාගේ පුත්තු දෙන්නා ගැනත් සතුටු වුණේ නැහැ. ඒ අයට දඬුවම් කරන්න දෙවි තීරණය කළා.
යෙහෝවා දෙවි කියපු දේ සාමුවෙල් ඒලීට කිව්වා
දවසක් සාමුවෙල් රෑ නිදාගෙන ඉද්දී එයාට කවුරු හරි කෙනෙක් කතා කරනවා ඇහුණා. කතා කරන්නේ ඒලී කියලා හිතලා සාමුවෙල් ඒලී ළඟට ගියාම ‘මං ඔයාට කතා කළේ නැහැ’ කියලා ඒලී කිව්වා. ඔය විදිහට තුන් පාරක්ම වුණා. තුන්වෙනි පාර ඒලී සාමුවෙල්ට කිව්වා ‘ආයෙත් සැරයක් ඔයාට කතා කරනවා ඇහුණොත් ඔයා කියන්න යෙහෝවා දෙවියනි, මං අහගෙනයි ඉන්නේ කියලා.’ සාමුවෙල් ඒ විදිහටම කළා. යෙහෝවා දෙවි සාමුවෙල්ට මෙහෙම කිව්වා. ‘නරක වැඩ කරන නිසා මම එයාගේ පවුලේ අයට දඬුවම් කරනවා කියලා ගිහින් ඒලීට කියන්න.’ ඒක ඒලීට කියන්න සාමුවෙල්ට ලේසි වෙන්න ඇති කියලා ඔයා හිතනවද?— එයාට බය හිතුණා. ඒත් යෙහෝවා කියපු දේ සාමුවෙල් ඒලීට කිව්වා. අන්තිමේදී දෙවි කියපු විදිහට ඒ තුන්දෙනාම මැරුණා.
සාමුවෙල් අපිට හොඳ ආදර්ශයක්. අනිත් අය නරක දේවල් කොච්චර කළත් එයා දිගටම හරි දේ කළා. ඔයාත් ඒ වගේද? ඔයාත් සාමුවෙල් වගේ දිගටම හරි දේ කරනවද? එහෙම කරනවා නම් ඔයාගේ අම්මායි තාත්තායි විතරක් නෙමෙයි යෙහෝවාත් හුඟක් සතුටු වෙයි.