ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 50 පරි. 124 පි.-125 පි. 5 ¶
  • පීඩා මැද දේශනා කරන්න සූදානම් කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පීඩා මැද දේශනා කරන්න සූදානම් කරයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • පීඩාවලට මුහුණ දීමට සූදානම් වීම
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • සමුගැනීමට පෙර ප්‍රේරිතයන්ව සූදානම් කිරීම
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • ගලීලයේ දේශනා කරමින් නියෝජිතයන්ව පුහුණු කරයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 50 පරි. 124 පි.-125 පි. 5 ¶
වෘකයන් මැද බැටළුවන්

50වෙනි පරිච්ඡේදය

පීඩා මැද දේශනා කරන්න සූදානම් කරයි

මතෙව් 10:16–11:1 මාක් 6:12, 13 ලූක් 9:6

  • නියෝජිතයන්ව පුහුණු කර සේවයට පිටත් කරයි

දේශනා කරන්න ඕන විදිහ ගැන වටිනා මඟ පෙන්වීම් දුන්නාට පස්සේ සේවයට විරුද්ධ වෙන අය ගැන යේසුස් නියෝජිතයන්ට මෙහෙම අනතුරු අඟවනවා. ‘මම ඔබව යවන්නේ වෘකයන් මැදට යවන බැටළුවන් වගෙයි. මිනිසුන්ගෙන් පරෙස්සම් වන්න. මන්ද ඔවුන් ඔබව උසාවිවලට භාර දී ඔවුන්ගේ සිනගෝගවලදී ඔබට කසයෙන් තළයි. මා නිසා ඔබව ආණ්ඩුකාරයන් හා රජුන් ඉදිරියට ඇදගෙන යනු ලබයි.’—මතෙව් 10:16-18.

තම අනුගාමිකයන්ට දරුණු හිංසා පීඩාවලට මුහුණ දෙන්න වෙනවා කියලා කිව්වාට පස්සේ යේසුස් දැන් මේ පොරොන්දුව දෙනවා. “ඔවුන් ඔබව එවැනි අය ඉදිරියට ගෙන ගිය විට ඔබ කෙසේ කතා කළ යුතුද කියාවත් කුමක් කිව යුතුද කියාවත් සිතමින් කනස්සලු වෙන්න එපා. ඔබ කිව යුත්තේ කුමක්ද කියා ඔබට ඒ අවස්ථාවේදීම දැනගන්න ලැබෙයි. ඔබේ පියාණන්ගේ බලය ඔබ තුළ ක්‍රියාත්මක වන නිසා ඔබට හොඳින් කතා කරන්න හැකි වෙයි. එමනිසා ඒ අවස්ථාවේදී ඔබ කිසිවිටකත් අසරණ වන්නේ නැහැ. කෙනෙක් තමන්ගේම සහෝදරයාවද පියෙක් තමන්ගේම දරුවාවද මරණයට පත් කිරීම සඳහා සතුරන් අතට භාර දෙයි. දරුවන්ද දෙමාපියන්ට විරුද්ධව නැඟී සිට ඔවුන්ව මරණයට පත් කිරීම සඳහා සතුරන්ට භාර දෙයි. ඔබ මගේ නාමය දරන නිසා සියල්ලන් ඔබට වෛර කරයි. නමුත් ගැලවීම ලබන්නේ අවසානය දක්වාම විඳදරාගන්නා තැනැත්තායි.”—මතෙව් 10:19-22.

වඩාත් වැදගත්ම කාර්යය වන දේශනා සේවය දිගටම කරගෙන යන්න නම් ඥානවන්තව කටයුතු කරන එක කොයි තරම් වැදගත්ද කියලා යේසුස් පැහැදිලි කරනවා. ඔහු දැන් කියන්නේ මෙහෙමයි. “එක් නුවරකදී ඔවුන් ඔබට පීඩා කරද්දී ඔබ වෙනත් නුවරකට පලා යන්න. ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, මනුෂ්‍ය පුත්‍රයා එන තෙක් ඔබ ඊශ්‍රායෙලය පුරා සංචාරය කළත් එහි සෑම නුවරකටම යන්න ඔබට නොහැකි වන බවයි.”—මතෙව් 10:23.

යේසුස් නියෝජිතයන් 12දෙනාට දීපු මඟ පෙන්වීම්, අනතුරු ඇඟවීම් සහ දිරිගැන්වීම් මොන තරම් වටිනවාද! යේසුස් කියපු ඒ දේවල් ඔහු මිය ගිහින් නැවත නැඟිට්ටාට පස්සේ දේශනා කරන අයටත් අදාළයි. මොකද යේසුස් නියෝජිතයන්ට කිව්වේ “සියල්ලන් ඔබට වෛර කරයි” කියලා මිසක් දේශනා කරන්න පවරපු ප්‍රදේශයේ ඉන්න අය විතරක් වෛර කරයි කියලා නෙවෙයි. ඒ වගේම නියෝජිතයන් ගලීලයේ සේවය කරද්දී ඔවුන්ව ආණ්ඩුකාරයන් සහ රජවරුන් ඉදිරියට අරන් ගියා කියලවත් නියෝජිතයන්ගේ පවුල්වල සාමාජිකයන් ඔවුන්ව මරණයට පත් කරන්න සතුරන්ට භාර දුන්නා කියලවත් බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ.

යේසුස් නියෝජිතයන්ට කතා කරද්දී අනාගතයේදී වෙන්න යන දේවල් ගැන ඔහුගේ මනසේ තිබුණු බව ඒ තොරතුරුවලින් පැහැදිලි වෙනවා. “මනුෂ්‍ය පුත්‍රයා එන තෙක්” ගෝලයන්ට ශුභාරංචිය දේශනා කරන්න හැම නුවරකටම යන්න ලැබෙන්නේ නැහැ කියලා යේසුස් කියපු දෙයිනුත් ඒක පැහැදිලියි. යේසුස් ඒකෙන් අදහස් කළේ දෙවිගේ රාජ්‍යයේ රජු විදිහට තමන් විනිශ්චය කරන්න එන කල් ගෝලයන්ට දේශනා සේවය සම්පූර්ණයෙන්ම අවසන් කරන්න ලැබෙන්නේ නැහැ කියන එකයි.

යේසුස් දැන් මෙහෙම කියනවා. “ගෝලයෙකු තම ගුරුවරයාට වඩා උසස් වන්නේවත් දාසයෙකු තමන්ගේ ස්වාමියාට වඩා උසස් වන්නේවත් නැහැ.” දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කරද්දී යේසුස්ටත් මිනිසුන් හිංසා පීඩා කළා. එහෙමනම් අනිවාර්යයෙන් නියෝජිතයන්ටත් ඒ දේවලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න වෙන එක ගැන ඔවුන් පුදුම වෙන්න ඕනෙ නැහැ. හැබැයි යේසුස් ඔවුන්ට මෙහෙමත් කියනවා. “ඔබව මරා දැමිය හැකි වුණත් අනාගතයේදී ඔබට ලැබෙන්න යන ජීවිතය උදුරාගත නොහැකි අයට බිය නොවන්න. නමුත් ඔබව ගෙහෙන්නාවට නියම කර සහමුලින්ම විනාශ කළ හැකි තැනැත්තාට පමණක් බිය වන්න.”—මතෙව් 10:24, 28.

යේසුස් ඒ කාරණය සම්බන්ධයෙන් කදිම ආදර්ශයක් තිබ්බා. නිර්භීතව ක්‍රියා කළ ඔහු මරණය දක්වාම සියලු බලැති යෙහෝවා දෙවිට විශ්වාසවන්තව හිටියා. කෙනෙක්ව සහමුලින්ම විනාශ කරන්න නැත්නම් සදහටම ජීවත් වෙන්න අවස්ථාව දෙන්න හැකියාව තියෙන්නේ සියලු බලැති දෙවිට විතරයි. යේසුස් කියපු ඒ දෙයින් නියෝජිතයන් මොන තරම් දිරිගැන්වෙන්න ඇද්ද!

දෙවියන් තමන්ගේ සේවකයන් ගැන කොයි තරම් නම් සැලකිලිමත්ද කියලා පැහැදිලි කරමින් යේසුස් දැන් මෙහෙම කියනවා. ‘ගේකුරුල්ලන් දෙදෙනෙකුව විකුණන්නේ ඉතා සුළු මුදලකටයි. උන්ගෙන් එකෙක් බිමට ආවත් ඒ බව පියාණන් දන්නවා. ඔබ ගේකුරුල්ලන් බොහෝදෙනෙකුට වඩා වටින්නේ නැද්ද? එමනිසා කිසිම දෙයකට බිය නොවන්න.’—මතෙව් 10:29, 31.

පළමු සියවසේ සිටි ගෝලයෙක් ශුභාරංචිය දේශනා කරන නිසා පවුලක බෙදීම් ඇති වෙයි

ගෝලයන් දේශනා කරන පණිවිඩය නිසා සමහර පවුල් අතරේ බෙදීම් ඇති වෙනවා. මොකද පවුලක සමහර අය පණිවිඩය පිළිගත්තත් අනිත් අය පිළිගන්නේ නැහැ. ඒ නිසා තමයි “මා මෙලොවට සාමය දෙන්න පැමිණියා කියා නොසිතන්න” කියා යේසුස් කියන්නේ. ඒ වගේ තත්වයක් මැද බයිබලයේ සඳහන් සත්‍යයන් ගැන හොයලා බලන්න නම් කෙනෙක්ට නිර්භීතකම ඕනේ. යේසුස් දැන් මෙහෙම කියනවා. “මට වඩා පියාටවත් මවටවත් ආදරය කරන තැනැත්තා මට සුදුසු කෙනෙක් නොවෙයි. මට වඩා පුතාටවත් දුවටවත් ආදරය කරන තැනැත්තා මට සුදුසු කෙනෙක් නොවෙයි.”—මතෙව් 10:34, 37.

සමහර අය නම් ගෝලයන්ව කැමැත්තෙන්ම පිළිගන්නවා. ඒ අය ගැන යේසුස් කියන්නේ මෙහෙමයි. “මගේ ගෝලයන් වන මේ කුඩා අයගෙන් එක් කෙනෙකුට හෝ යමෙක් බොන්න ඇල් වතුර කෝප්පයක්වත් දෙනවා නම් ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, ඔහුගේ ත්‍යාගය කිසිසේත් ඔහුට අහිමි නොවන බවයි.”—මතෙව් 10:42.

යේසුස් දීපු මඟ පෙන්වීම්, අනතුරු ඇඟවීම් සහ දිරිගැන්වීම් හිතට ගත්ත නියෝජිතයන් ගමින් ගමට ගිහින් ශුභාරංචිය ප්‍රකාශ කළා. ඒ වගේම රෝගීන්වත් සුව කළා.—ලූක් 9:6.

  • යේසුස් ගෝලයන්ට දුන්නේ මොන අනතුරු ඇඟවීම්ද?

  • යේසුස් ඔවුන්ට ලබා දුන්නේ මොන වගේ දිරිගැන්වීමක්ද?

  • යේසුස් දීපු මඟ පෙන්වීම් අපිටත් අදාළ වෙන්නේ ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න