ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 123 පරි. 282 පි.-283 පි. 1 ¶
  • මහත් ශෝකයෙන් සිටි මොහොතක යාච්ඤා කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මහත් ශෝකයෙන් සිටි මොහොතක යාච්ඤා කරයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • උයනේදී ඉමහත් වේදනාවක් විඳිමින්
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • යේසුගේ මනුෂ්‍ය ජීවිතයේ අවසාන දවස
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමුගැනීමට පෙර ප්‍රේරිතයන්ව සූදානම් කිරීම
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • “පැය පැමිණ තිබේ”
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 123 පරි. 282 පි.-283 පි. 1 ¶
පේතෘස්, යොහන් සහ අන්දෘ ගෙත්සෙමන උයනේ නිදා සිටින අතරතුරේදී යේසුස් යාච්ඤා කරමින්

123වෙනි පරිච්ඡේදය

මහත් ශෝකයෙන් සිටි මොහොතක යාච්ඤා කරයි

මතෙව් 26:30, 36-46 මාක් 14:26, 32-42 ලූක් 22:39-46 යොහන් 18:1

  • යේසුස් ගෙත්සෙමන උයනට යයි

  • ඔහුගේ දහඩිය ලේ බිංදු මෙන් පොළොවට වැටෙයි

යේසුස් නියෝජිතයන් එක්ක කරපු යාච්ඤාව අවසන්. ඊටපස්සේ ප්‍රශංසා ගී ගයපු ඔවුන් ඔලීව කන්දට යනවා. (මාක් 14:26) ඔවුන් යන්නේ නැඟෙනහිර දෙසින් පිහිටලා තියෙන යේසුස්ට හුරු පුරුදු ගෙත්සෙමන උයනට.

ඔලීව ගස් තියෙන ඒ උයනට ආවාම යේසුස් නියෝජිතයන් අටදෙනෙක්ට කියනවා “මා අතනට ගොස් යාච්ඤා කරන තුරු මෙහි ඉඳගෙන සිටින්න” කියලා. ඔවුන් නතර වෙන්න ඇත්තේ උයනට ඇතුල් වෙන තැන වෙන්න ඇති. පේතෘස්, යාකොබ් සහ යොහන් එක්ක උයන ඇතුළට යන යේසුස් ඔවුන්ට මෙහෙම කියනවා. “මා තුළ ඇති වී තිබෙන ශෝකය කොතරම්ද කියනවා නම් මට දැනෙන්නේ මා මිය යනවා වගෙයි. ඔබ මෙහි නැවතී මා සමඟ අවදියෙන් සිටින්න.”—මතෙව් 26:36-38.

ටික දුරක් ඉදිරියට යන යේසුස් ‘බිම වැටී යාච්ඤා’ කරන්න පටන්ගන්නවා. මේ වගේ මොහොතක ඔහු යාච්ඤා කරනවා ඇත්තේ මොනවා ගැනද? ඔහු කියන්නේ මෙහෙමයි. “පියාණෙනි, ඔබට සෑම දෙයක්ම කරන්න පුළුවන්. මේ කුසලානය මගෙන් ඉවත් කරන්න. නමුත් සිදු විය යුත්තේ මා කැමති දේ නොව ඔබ කැමති දෙයයි.” (මාක් 14:35, 36) ඔහු එහෙම කියන්නේ ජීවිතය පූජා කරන්න ඔහු කැමති නැති නිසාද? නැහැ.

ස්වර්ගයේ ඉද්දී යේසුස් දැකලා තිබුණා රෝමවරුන් කුරිරු විදිහට මිනිසුන්ව මරලා දාන විදිහ. දැන් මිනිසෙක් විදිහට ඇවිත් ඉන්න යේසුස් ඒ වගේ මරණයක් අද්දකින්න ආසාවෙන් බලන් ඉන්නවා කියලා නම් හිතන්න බැහැ. කොහොමවුණත් ඔහු වැඩියෙන්ම දුක් වෙන්නේ අපරාධකාරයෙක් කියන චෝදනාව පිට තමන් මරණය අද්දකිද්දී ඒකෙන් දෙවිගේ නාමයට අගෞරවයක් වෙන්න පුළුවන් නිසයි. දෙවිට අපහාස කරපු කෙනෙක් විදිහට සලකලා ඔහුව වධකණුවක ඇණ ගහන්න තව වැඩි වෙලාවක් ඉතුරු වෙලා නැහැ.

ටික වෙලාවක් යාච්ඤා කළාට පස්සේ යේසුස් නියෝජිතයන් තුන්දෙනා ළඟට එනවා. ඒ වෙද්දී ඔවුන්ට නින්ද ගිහින් තිබුණු නිසා යේසුස් පේතෘස්ට මෙහෙම කියනවා. “එක පැයක්වත් මා සමඟ අවදියෙන් සිටින්න ඔබට බැරි වුණාද? යම් වරදක් කිරීමට පෙලඹීමක් ඇති නොවීම සඳහා ඔබ අවදිව සිට නොකඩවා යාච්ඤා කළ යුතුයි.” කොහොමවුණත් මේ වෙලාවේ නියෝජිතයන් ඉන්නේ ලොකු පීඩනයකින් නිසාත් දැන් හොඳටම රෑ බෝ වෙලා තියෙන නිසාත් යේසුස් මෙහෙම කියනවා. “සිත කොතරම් කැමති වුණත් මිනිසුන්ගේ දුර්වලකම එයට ඉඩ දෙන්නේ නැහැ.”—මතෙව් 26:40, 41.

ඊළඟට යේසුස් දෙවෙනි වතාවටත් ගිහින් යාච්ඤා කරනවා. ඔහු දෙවිට කියන්නේ “මේ කුසලානය” ඉවත් කරන්න කියලයි. හරි නම් මේ වෙලාවේදී නියෝජිතයනුත් වරදකට හසු වෙන්නේ නැතුව ඉන්න උදව් ඉල්ලලා යාච්ඤා කරන්න ඕනේ. ඒත් යේසුස් ආපහු සැරයක් ඔවුන් ළඟට එද්දී ඔවුන් ආයෙත් නින්දට වැටිලා. යේසුස් ඔවුන්ට කතා කරද්දී “නිදහසට කුමක් කියන්නද කියාවත්” ඔවුන්ට හිතාගන්න බැහැ. (මාක් 14:40) ඊටපස්සේ යේසුස් තුන්වෙනි වතාවටත් ගිහින් දණින් වැටිලා යාච්ඤා කරනවා.

පියාණන්ගේ නාමයට කිසිම විදිහකින්වත් අගෞරවයක් වෙනවාට කැමති නැති නිසා යේසුස් දිගින් දිගටම යාච්ඤා කරනවා. යෙහෝවා දෙවියන් පුත්‍රයාගේ යාච්ඤාවලට හොඳින් සවන් දීගෙනයි ඉන්නේ. ඒ නිසා යේසුස්ව ශක්තිමත් කරන්න ඔහු දේවදූතයෙක්වත් එවනවා. ඒ වුණත් ඔහු පියාණන්ට කන්නලව් කරන එක නතර කරන්නේ නැහැ. ඒ වෙනුවට “ඔහු වඩාත් ඕනෑකමින් යාච්ඤා” කරනවා. මේ වෙලාවේ යේසුස්ට දැනෙන පීඩනය මොන තරම්ද කියනවා නම් “ඔහුගේ දහඩිය ලේ බිංදු මෙන් වී පොළොවට වැටෙනවා.” (ලූක් 22:44) ඔහුට පැවරිලා තියෙන්නේ මොන තරම් ලොකු වගකීමක්ද! ඔහු විශ්වාසවන්තව ඉන්න එක මත තමයි ඔහුටත් මිනිසුන්ටත් සදාකාල ජීවිතය ලැබෙනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ.

යේසුස් තුන්වෙනි වතාවටත් නියෝජිතයන් ළඟට එද්දී ඔවුන් නිදි. ඒ නිසා ඔහු මෙහෙම කියනවා. “මෙවැනි වේලාවක ඔබ නිදාගෙන විවේක ගන්නවාද? බලන්න! මනුෂ්‍ය පුත්‍රයා පව්කාරයන්ගේ අතට පාවා දෙනු ලබන පැය ළඟා වෙලා! නැඟිටින්න, අපි යමු. මෙන්න! මාව පාවා දෙන තැනැත්තා ළඟටම ඇවිත්.”—මතෙව් 26:45, 46.

දහඩිය ලේ බිංදු මෙන් බිම වැටෙයි

යේසුස්ගේ “දහඩිය ලේ බිංදු මෙන්” වුණේ කොහොමද කියලා වෛද්‍යවරයෙක් වුණු ලූක් විස්තර කරලා නැහැ. (ලූක් 22:44) ඔහු කියන්න උත්සාහ කරන්න ඇත්තේ තුවාලෙකින් ලේ බිංදු වැටෙනවා වගේ යේසුස්ගේ ශරීරයෙන් දහඩිය පිට වුණා කියලා වෙන්න ඇති. හැබැයි වෛද්‍යවරයෙක් වන විලියම් ඩී. එඩ්වර්ඩ්ස් එක සඟරාවක මෙහෙම දෙයක් කියලා තියෙනවා. ‘කෙනෙක් දැඩි මානසික පීඩනයකින් ඉද්දී හරිම කලාතුරකින් ලේ දහඩිය වගේ පිට වෙන්න පුළුවන්. ඒක වෙන්නේ ස්වේද (දහඩිය) ග්‍රන්ථිවලට ලේ ඇතුල් වෙන නිසයි. එහෙම වුණාම හම ගොඩක් සිනිඳු වෙලා ඉරෙනසුලු තත්වයට පත් වෙනවා.’—The Journal of the American Medical Association.

  • උඩුමහල් කාමරයෙන් පිට වුණු යේසුස් සහ නියෝජිතයන් ගියේ කොහෙටද?

  • යේසුස් යාච්ඤා කරද්දී නියෝජිතයන් තුන්දෙනා කළේ මොනවාද?

  • යේසුස්ගේ දහඩිය ලේ බිංදු මෙන් වැටුණු එකෙන් තේරුම්ගන්න පුළුවන් මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න