යේසුගේ මනුෂ්‍ය ජීවිතයේ අවසාන දවස
ඒ වන විට පො.යු. 33, නීසාන් 14වන සිකුරාදා පස්වරුව බෙහෙවින් ඉක්මගොස් තිබෙනවා. මිනිසුන් සහ ස්ත්‍රීන් කණ්ඩායමක් ප්‍රේමනීය මිත්රයෙකුව භූමදාන කිරීමට සූදානමින් සිටිනවා. ඔවුන්ගෙන් කෙනෙක් වන නිකොදේමුස් දේහය භූමදානයට සූදානම් කිරීම සඳහා සුගන්ධ ද්‍රව්‍ය ගෙනැවිත් තිබෙනවා. තළා, පහර දී තිබෙන මළ සිරුර එතීම සඳහා යෝසෙප් නමැති මනුෂ්‍යයෙක් පිරිසිදු හණ වස්ත්‍රයක් ගෙනැවිත් තිබුණා.
මේ මිනිසුන් කවුරුන්ද? ඒ වගේම, ඔවුන් භූමදාන කරමින් සිටින්නේ කාවද? මේ සියල්ලක්ම ඔබට බලපානවාද? මෙම ප්‍රශ්නවලට උත්තර සැපයීම සඳහා එම අතිවැදගත් දිනයේ ආරම්භයට අපි ආපසු යමු.
නීසාන් 14වන බ්‍රහස්පතින්දා සැන්දෑව
දීප්තිමත් පුර සඳ යෙරුසලමට ඉහළින් හීන්සීරුවේ නඟිමින් සිටී. කාර්යබහුල දවසකින් පසු ජනාකීර්ණ නගරය දැන් නිහඬය. මේ සැන්දෑවේ මුළු පරිසරයම පිලිස්සෙමින් තිබෙන බැටළු මස්වල සුවඳින් පිරී තිබේ. ඔව්, මිනිසුන් දහස් ගණනක් විශේෂ උත්සවයකට සූදානම් වෙමින් සිටිනවා.—ඒ වාර්ෂිකව පවත්වන පාස්කු උත්සවය සඳහායි.
විශාල ආගන්තුක ශාලාවක් තුළ, සූදානම් කළ මේසයක යේසුස් ක්‍රිස්තුස් සහ ඔහුගේ ප්‍රේරිතයන් 12දෙනා සිටිනවා අපට දැකගත හැකියි. දැන් ඇහුම්කන් දෙන්න! යේසු යමක් පවසමින් සිටිනවා. යේසු මෙසේ පවසනවා: “වධවිඳීමට පළමුවෙන් මම මේ පාස්කුව නුඹලා සමඟ කන්ට අතිශයෙන් ආශාවුණෙමි.” (ලූක් 22:15) තම ආගමික සතුරන්, තමාව මරණයට පත් කිරීමට අදහස් කරමින් සිටින බව යේසු දන්නවා. නමුත් එය සිදුවීමට ප්‍රථමයෙන්, මෙම සැන්දෑවේ ඉතාමත් වැදගත් සිද්ධියක් සිදු වෙන්නයි යන්නේ.
පාස්කුව සැමරීමෙන් පසු යේසු මෙසේ පවසනවා: “නුඹලාගෙන් එක්කෙනෙක් මා පාවාදෙන්නේය.” (මතෙව් 26:21) මෙය ප්‍රේරිතයන්ව ව්‍යාකූලත්වයට පත් කරනවා. මෙය කරන්න යන්නේ කවුද? යම් දේවල් කතා කිරීමෙන් පසු යේසු යූදස් ඉස්කාරියොත්ට මෙසේ පවසනවා: “නුඹ කරන දේ ඉක්මනට කරන්න.” (යොහන් 13:27) අනිත් අයට මෙය අවබෝධ නොවන නමුත්, යූදස් කියන්නේ ද්‍රෝහියෙක්. යේසුට විරුද්ධව අටවපු කුමන්ත්රණයේ තමාගේ කොටස කිරීම සඳහා ඔහු පිටව යයි.
විශේෂ සැමරීමක්
යේසු දැන් සම්පූර්ණයෙන්ම අලුත් සැමරීමක් පිහිටුවනවා. එමගින් ඔහුගේ මරණය සමරන්න යනවා. යේසු රොටි ගෙන, ස්තුති දීමේ යාච්ඤාවක් කොට, එය කඩා ඔවුන්ට බෙදනවා. ඔහු මෙසේ පවසනවා: “රැගෙන කන්න.” “මේක නුඹලා උදෙසා දෙනලද මාගේ ශරීරයය.” ඔවුන් එකිනෙකා රොටි කීපයක් කෑවායින් පසු, ඔහු රතු මුද්‍රිකපානයෙන් යුත් කුසලානයක් ගෙන එයට ආශීර්වාද කර, “නුඹලා සියල්ලෝම මෙයින් බොන්න” කියා පවසයි. යේසු මෙය පැහැදිලි කරමින් ඔවුන්ට මෙසේ කියයි: “මේ කුසලාන [කුසලානෙන් අදහස් කරන්නේ, NW] නුඹලා උදෙසා වගුරුවන මාගේ ලෙයෙහි අලුත් ගිවිසුමය.” ඔහු ඉතිරි විශ්වාසවන්ත ප්‍රේරිතයන් 11දෙනාට මෙලෙස උපදෙස් දෙනවා: “මා සිහිකිරීම පිණිස මේක කරන්න.”—මතෙව් 26:26-28; ලූක් 22:19, 20; 1 කොරින්ති 11:24, 25.
එම සැන්දෑවේදී යේසු තම පක්ෂපාත ප්‍රේරිතයන්ව, ඉදිරියේදී සිදු වෙන්න යන දේ සඳහා කාරුණිකව සූදානම් කරන අතර, ඔවුන් සඳහා තිබෙන තම ගැඹුරු ප්‍රේමය තහවුරු කරයි. ඔහු මෙසේ පැහැදිලි කරනවා: “යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත. මා නුඹලාට ආඥාකරන දේ නුඹලා කරනවානම්, නුඹලා මාගේ මිත්‍රයෝය.” (යොහන් 15:13-15) ඔව්, ප්‍රේරිතයන් 11දෙනා යේසුත් සමඟ ඔහුගේ පරීක්ෂණවලදී රැඳී සිටීමෙන්, තමන් සැබෑ මිත්‍රයන් බව පෙන්වා තිබෙනවා.
සැන්දෑවේ පසු භාගයේදී, සමහරවිට මධ්‍යම රාත්රියේදී, ඔවුන් යෙහෝවාට ප්‍රශංසා ගීතයන් ගායනා කිරීමෙන් පසු, යේසු සදා මතකයේ රැඳෙන යාච්ඤාවක් කියනවා. ඉක්බිති, පුර සඳේ රැස් දහර ආධාරයෙන් ඔවුන් නුවරින් පිට වී කිද්‍රොන් මිටියාවත හරහා පියමං කරනවා.—යොහන් 17:1–18:1.
ගෙත්සෙමන උයනේදී
කෙටි වේලාවකට පසුව, යේසු සහ ප්‍රේරිතයන් ගෙත්සෙමන උයනට ළඟා වෙයි. යේසු, උයනට ඇතුල් වන ස්ථානයේ ප්‍රේරිතයන් අටදෙනෙක්ව තබා, පේතෘස්, යාකොබ් සහ යොහන්ව, ඔලීව ගස් අතරෙන් උයන ඇතුළට රැගෙන යනවා. ඔහු මේ තිදෙනාට මෙසේ පවසනවා: “මැරෙන තරම් මාගේ සිත ඉතා ශෝකවෙයි. නුඹලා මෙහි නැවතී අවදිව සිටින්න.”—මාර්ක් 14:33, 34.
යාච්ඤා කිරීම සඳහා යේසු උයන ඇතුළට යන අතරතුර ප්‍රේරිතයන් තිදෙනා නැවතී සිටී. බලවත් හැඬීමෙන් හා කඳුළින් යුක්තව ඔහු මෙසේ අයැදිනවා: ‘පියාණෙනි, ඔබ කැමති නම් මේ කුසලාන මාගෙන් පහ කරන්න.’ අතිවිශාල වගකීමක් යේසුගේ කර මත පැටවී තිබෙනවා. යෙහෝවාගේ ඒකජාතක පුත්‍රයා අපරාධකරුවෙක් ලෙස වධකණුවක ඇණ ගසද්දී ඔහුගේ සතුරන් කුමක් කියයිද කියා සිතෙද්දී, එය ඔහුට මොනතරම් පීඩාකාරි තත්වයක්ද! යේසුට ඊටත් වඩා බලවත් වේදනාවක් වන්නේ, ඔහු මෙම වේදනාකාරි පරීක්ෂණයෙන් අසමත් වුණොත්, තම ප්‍රේමනීය පියාට ඇති විය හැකි නින්දාව ගැන සිතීමයි. යේසු කොතරම් ඕනෑකමින් යාච්ඤා කරනවාද කියනවා නම්, දැඩි වේදනාව නිසා ඔහුගේ දාඩිය මහත් ලේ බින්දු මෙන් බිමට වැටෙනවා.—ලූක් 22:42, 44.
යේසු තුන්වන වරටත් යාච්ඤා කර අවසන් වුණා විතරයි. පන්දම් සහ පහන් රැගත් මිනිසුන් දැන් ළඟා වෙනවා. ඔවුන්ගෙන් ඉදිරියෙන්ම ගමන් කරන්නේ, යූදස් ඉස්කාරියොත් මිස වෙන කවුරුත් නොවෙයි. ඔහු කෙළින්ම යේසු වෙතට එනවා. ඔහු යේසුව ඉතා මෘදු ලෙස සිඹගනිමින් ‘රබ්බි, ශුභසිද්ධ වේවා!’ කියා පවසනවා. යේසු මෙසේ උත්තර දෙනවා: “යූදස් නුඹ සිඹීමකින් මනුෂ්‍ය පුත්‍රයා පාවා [දෙනවාද?]”—මතෙව් 26:49; ලූක් 22:47, 48; යොහන් 18:3.
සිදු වෙමින් පවතින දේ විගස ප්‍රේරිතයන් තේරුම්ගනී. ඔවුන්ගේ ස්වාමියා, ඒ වගේම ප්‍රේමනීය මිතුරාව දැන් අත්අඩංගුවට ගන්නයි යන්නේ! ඒ නිසා පේතෘස්, කඩුව ඇද, උත්තම පූජකයාගේ දාසයෙකුගේ කන කපයි. “මෙපමණකට ඉඩදෙන්න” කියා ඉක්මනින්ම යේසු පවසනවා. ඔහු ඉදිරියට පැමිණ, දාසයාව සුව කරන අතර, පේතෘස්ට මෙසේ අණ කරනවා: “නුඹේ කඩුව කොපුවේ දමන්න. මක්නිසාද කඩු ගන්න සියල්ලෝ කඩුවෙන්ම විනාශවන්නෝය.” (ලූක් 22:50, 51; මතෙව් 26:52) නිලධාරීන් සහ හේවායන් යේසුව ඇදලා අරගෙන බඳිනවා. ඔවුන්ට ඇති වූ බිය සහ ව්‍යාකූලත්වය නිසා ප්‍රේරිතයන් යේසුව අතහැර දමා, රාත්රියේදී පලා යනවා.—මතෙව් 26:56; යොහන් 18:12.
නීසාන් 14වන සිකුරාදා උදෑසන
මෙය මධ්‍යම රාත්‍රිය පසු වී සිකුරාදා හිමිදිරියයි. ඒ වන විටත් විශාල බලපෑමක් කළ හැකි සහ මහත් බලයක් හොබවන, කලින් සිටි උත්තම පූජක අන්නස් වෙතට යේසුව පළමුවෙන්ම ඇදගෙන යනවා. අන්නස් ඔහුගෙන් ප්‍රශ්න කරන අතර, ඉන්පසු මන්ත්‍රණ සභාව රැස් වී සිටින උත්තම පූජක කායාඵස්ගේ නිවසට ඔහුව යවනවා.
යේසුට විරුද්ධව බොරු පැමිණිල්ලක් කිරීම සඳහා සාක්ෂිකරුවන්ව සෙවීමට දැන් ආගමික නායකයන් උත්සාහ කරයි. කෙසේවුවද බොරු සාක්ෂිකරුවන්ට පවා තම සාක්ෂිවල එකඟතාව රැකගැනීමට නොහැකි වේ. මේ සියල්ල සිදු වන අතරතුර යේසු නිශ්ශබ්දව සිටී. උපාය වෙනස් කරමින් කායාඵස් මෙසේ ඉල්ලා සිටිනවා: ‘නුඹ දෙවිගේ පුත්‍ර වූ ක්‍රිස්තුස්ද කියා අපට කියන ලෙස ජීවමාන දෙවිගේ නාමයෙන් මම නුඹ දිවුරවමි!’ මෙය ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයක් නිසා, යේසු නිර්භීතව මෙසේ පිළිතුරු දෙනවා: “එසේය, තවද මනුෂ්‍ය පුත්‍රයා පරාක්‍රමයේ දකුණු පැත්තේ වැඩඉන්නවාත් අහසේ වලාකුල් පිරිවරාගන එනවාත් නුඹලා දකින්නහුය.”—මතෙව් 26:63; මාර්ක් 14:60-62.
කායාඵස් මෙසේ මොරගසනවා: “මොහු [දෙවිට] අපහාසකෙළේය. සාක්ෂිකාරයන්ගෙන් අපට තවත් කම මොකද?” දැන් සමහරුන් යේසුගේ මුහුණට අතුල් පහර ගසන අතර, ඔහුට කෙළ ගසයි. අනිත් අය ඔහුට මිට මොළවා ගුටි බැට දී, නින්දිත වචනවලින් බැණ වදී. (මතෙව් 26:65-68; මාර්ක් 14:63-65) සිකුරාදා පාන්දර වූ විගස, ඇතැම්විට රාත්‍රි කාලයේ ඇසූ නීති විරෝධී නඩු විභාගයට නීත්‍යනුකූල ස්වරූපයක් දීමේ අටියෙන් මන්ත්‍රණ සභාව රැස් වෙයි. යේසු නැවතත් නිර්භීත ලෙස, තමා දෙවිගේ පුත්‍රයා වන ක්‍රිස්තුස් බව හඳුන්වා දෙනවා.—ලූක් 22:66-71.
ඊළඟට නායක පූජකයන් සහ වැඩිමහල්ලන් විසින් යුදයේ රෝමානු පාලක පොන්තියුස් පිලාත් අතින් ප්‍රශ්න කිරීමකට ලක් කිරීම සඳහා යේසුව ගෙන යයි. ජාතිය මුළා කිරීම, කායිසර්ට අයබදු ගෙවීම තහනම් කිරීම සහ ‘තමාම ක්‍රිස්තුස් රජයයි කීම’ සම්බන්ධයෙන් ඔවුන් යේසුට චෝදනා කරනවා. (ලූක් 23:2; සසඳන්න මාර්ක් 12:17.) යේසුගෙන් ප්‍රශ්න ඇසීමෙන් පසු පිලාත් මෙසේ ප්‍රකාශ කරනවා: “මේ මනුෂ්‍යයා අත කිසි වරදක් මට පෙනෙන්නේ නැත.” (ලූක් 23:4) යේසු ගලීලයෙකු බව පිලාත් ඇසූ විට, පාස්කුව සැමරීම සඳහා මේ වන විට යෙරුසලමේ සිටින, ගලීලයේ ආණ්ඩුකාර හෙරොද් අන්තිපාස් වෙතට ඔහුව යවනවා. හෙරොද්ට යුක්තිය ඉටු වෙනවා දකින්න අවශ්‍ය නැහැ. ඔහුට අවශ්‍ය යේසු ප්රාතිහාර්යයක් කරනවා දකින්න විතරයි. යේසු ඔහුගේ කුතුහලය සංසිඳවන්නේ නැතුව නිශ්ශබ්දව සිටින නිසා, හෙරොද් සහ ඔහුගේ හේවායන් ඔහුට කවටකම් කර නැවතත් පිලාත් වෙතට යවයි.
පිලාත් නැවතත් මෙසේ අසනවා: “මොහු කවර නපුරක් කෙළේද? මරණයට සුදුසු කිසිදෙයක් මොහු අත මට සම්බ නූණේය. එබැවින් මොහුට තළා මුදාහරිමි.” (ලූක් 23:22) එබැවින්, ඔහු හම් පටි විශාල ප්‍රමාණයක් සහිත කසයකින් යේසුට තළන අතර, එයින් යේසුගේ පිට ඉතාමත් වේදනාකාරි ලෙස පැළී යයි. ඉන්පසු හේවායන් කටු ඔටුන්නක් ඔහුගේ හිස මතට තද කරයි. ඔවුන්, ඔහුගේ හිසේ සම තුළට කටු ඔටුන්න තව තවත් තද කරමින් සවිමත් බටදණ්ඩකින් ඔහුට ගසනවා. ඒ වගේම ඔහුට සමච්චල් කරනවා. වචනයෙන් විස්තර කළ නොහැකි දැඩි වේදනාව සහ අප්‍රමාණ හිරිහැර මධ්‍යයේ යේසු කැපීපෙනෙන ලෙස විඳදරාගත් අතර ඔහු තම ගෞරවය රැකගත්තා.
පහර ලැබූ යේසුගේ තත්වය දැකීමෙන්, යම් අනුකම්පාවක් ඇති වෙයි කියා ඇතැම්විට පිලාත් සිතනවා විය හැකියි. ඒ නිසා නැවතත් ඔහුව සමූහයාට පෙන්වනවා. පිලාත් ශබ්ද නඟා මෙසේ පවසනවා: “මොහු අත කිසිවරදක් මට නොපෙනෙන බව නුඹලා දැනගන්නා පිණිස, මෙන්න, මොහු නුඹලා ළඟට ගෙනෙමි.” නමුත් නායක පූජකයන් මෙසේ මොර දෙයි: “ඔහුව වධකණුවක ඇණගසන්න! ඔහුව වධකණුවක ඇණ ගසන්න!” (යොහන් 19:4-6, NW) සමූහයාගේ ඉල්ලීම තව තවත් තීව්ර වූ නිසා, පිලාත් එයට යටත් වන අතර, යේසුව වධකණුවක ඇණ ගසන්න භාර දෙනවා.
අතිශයින්ම වේදනාත්මක මරණයක්
මේ වන විට එය උදෑසනත් දහවලත් අතර කාලය වන අතර, බොහෝදුරට මධ්‍යාහ්නයට ළඟා වෙමින් තිබෙනවා. යෙරුසලමෙන් පිටත පිහිටි ගොල්ගොතා ලෙස හඳුන්වන ස්ථානයකට දැන් යේසුව අරගෙන යනවා. යේසුගේ අත් පා වධකණුවට තබා, විශාල ඇණ ඒවා පසාරු කරගෙන යන අයුරින් මිටියකින් ගසයි. වධකණුව කෙළින් කරනු ලබන විට, සිරුරේ බර නිසා ඇණ ගසන ලද තුවාල ඉරෙන බැවින්, ඇති වන අධික වේදනාව විස්තර කිරීමට වචන නැත. යේසුව සහ අපරාධකරුවන් දෙදෙනාව ඇණ ගසනවා බලන්න සමූහයා රොක් වෙයි. බොහෝදෙනෙක් යේසු ගැන සමච්චලයට කතා කරයි. ‘ඔහු අනුන් ගැළවුවේය; තමාම ගළවාගන්ට නුපුළුවන!’ යයි පවසමින් නායක පූජකයන් සහ සෙස්සන් කවටකම් කරයි. හේවායන් සහ ඇණ ගසා සිටි අපරාධකරුවන් පවා යේසුට අපහාස කරනවා.—මතෙව් 27:41-44.
යේසුව වධකණුවේ ඇණගසා මද වේලාවකට පසු මධ්‍යාහ්නයේදී ක්ෂණිකව, දිව්‍ය උල්පතකින් පැමිණි භයංකර ඝනාන්ධකාරයකින් මුළු ප්‍රදේශයම, පැය 3ක් පුරා වසාගනී.a සමහරවිට, අනිත් වරදකරුවාට තරවටු කිරීම සඳහා එක් වරදකරුවෙකුව පෙලඹවූයේ මෙය විය හැකියි. ඉන්පසු ඔහු යේසු වෙතට හැරී මෙසේ අයැදිනවා: “ඔබගේ රාජ්‍යයෙන් යුක්තව ඔබ එන කළ මා සිහිකළ මැනව.” ඉතා ඉක්මනින් සිදු වෙන්න යන මරණය අභියස මොනතරම් මවිතකර ඇදහිල්ලක්ද! යේසු මෙසේ පිළිතුරු දෙනවා: “සැබවක් අද ඔබට කියමි, ඔබ මා සමඟ පාරාදීසයෙහි සිටිනු ඇත [NW].”—ලූක් 23:39-43.
පස්වරු තුනට පමණ, තම දිවියෙන් සමුගැනීමට කාලය එළඹ ඇති බව යේසුට හැඟෙයි. ‘මට පිපාසයි’ කියා ඔහු පවසනවා. ඉන් පසු මහත් ශබ්දයකින් ඔහු මෙසේ මොරගසනවා: “මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද?” අඛණ්ඩතාව අන්තයටම පරීක්ෂාවට ලක්වීමට ඉඩහැරීම සඳහා තම පියා විසින් තමාගෙන් ආරක්ෂාව ඉවත් කර තිබෙනවා වැනි හැඟීමක් යේසුට දැනෙන නිසා, ඔහු දාවිත්ගේ එම වදන් උපුටා දක්වනවා. කෙනෙක් කාඩියෙන් හෙවත් ඇඹුල් මුද්‍රික පානයෙන් පෙඟවූ මූදුහත්තක් යේසුගේ දෙතොලට ළං කරනවා. මුද්‍රික පානය ටිකක් ගත් පසු යේසු ඉතා අමාරුවෙන්, “තීන්දුවුණේය” කියා පවසනවා. ඉන්පසු ඔහු මහත් ශබ්දයකින් මොරගසා, “පියාණෙනි, ඔබගේ අතට මාගේ ආත්මය භාරදෙමි” කියා හිස නමා, මරණයට පත් වෙනවා.—යොහන් 19:28-30; මතෙව් 27:46; ලූක් 23:46; ගීතාවලිය 22:1.
මේ වෙද්දී පස්වරුව ඉකුත් වෙමින් තිබෙන නිසා, හිරු බැස යන විට ආරම්භ වන සබතට ප්‍රථමයෙන් (නීසාන් 15) යේසුව භූමදාන කිරීම සඳහා ඉක්මනින්ම කටයුතු සූදානම් කරනවා. රහසින් යේසුගේ ගෝලයෙකු වී සිටි, මන්ත්‍රණ සභාවේ ප්‍රකට සාමාජිකයෙකු වන අරිමාතියේ යෝසෙප්, ඔහුව භූමදාන කිරීම සඳහා අවසර ලබාගනී. යේසු කෙරෙහි රහසින් ඇදහිල්ල තැබූ, ඒ වගේම මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙකුද වන නිකොදේමුස්, ගන්ධ රස මිශ්‍ර වූ අගිලි කිලෝග්‍රෑම් 33ක් සැපයීමෙන් උපකාර කරනවා. ඔවුන් යේසුගේ දේහය, අසල තිබෙන අලුත් සොහොන් ගෙයක පරෙස්සමින් තැන්පත් කරනවා.
නැවතත් ජීවමානව!
මග්දලායේ මරියා සහ තවත් සමහර ස්ත්‍රීන් යේසුගේ සොහොන් ගෙය අසලට ළඟා වන විටත් ඉරුදින හිමිදිරිය ගෙවී ගොස් තිබුණේ නැහැ. නමුත් බලන්න! සොහොන් ගෙය ඉදිරිපස තිබෙන ගල අහකට පෙරළා දමා තිබෙනවා. සොහොන් ගෙය හිස්! මග්දලායේ මරියා පේතෘස්ට සහ යොහන්ට කියන්න ලහි ලහියේ දුවයි. (යොහන් 20:1, 2) ඇය පිට වී ගිය විගස දේවදූතයෙක් අනිත් ස්ත්රීන්ට දර්ශනය වෙනවා. ඔහු මෙසේ පවසනවා: “භය නොවෙන්න.” ඒ වගේම ඔහු මෙසේද උනන්දු කරනවා: ‘ඉක්මනින්ම ගොස්, ඔහු මළවුන්ගෙන් නැගුටුණේය කියා ඔහුගේ ගෝලයන්ට කියන්න.’—මතෙව් 28:2-7.
ඔවුන් ඉක්මනින්ම යන විට ඔවුන්ට හමු වන්නේ යේසු මිස වෙන කවුරුත් නොවෙයි! ‘මගේ සහෝදරයන් ළඟට ගොස් කියන්න’ කියා ඔහු ඔවුන්ට පවසනවා. (මතෙව් 28:8-10) පසුව, යේසු මග්දලායේ මරියාට පෙනෙන විට ඇය සොහොන් ගෙය අසල අඬමිනුයි සිටින්නේ. ඇති වූ ප්‍රීතිය ඇයට දරාගන්න බැරි වන අතර, අනිත් ගෝලයන්ට මෙම මවිතකර පුවත කියන්න ඇය දිව යනවා. (යොහන් 20:11-18) ඔහු සැබවින්ම නැවතත් ජීවතුන් අතර සිටින බවට කිසිදු සැකයක් නොතබා, නැවත නැඟිටුණු යේසු, සදා මතකයේ රැඳෙන එම ඉරුදිනේදී පස් වතාවක් විවිධ ගෝලයන්ට පෙනෙනවා!
ඔබට බලපාන ආකාරය
අවුරුදු 1,966කට පෙර සිදු වූ සිදුවීම්, දැන් 21වන ශතවර්ෂයේ අද්දර සිටින ඔබට බලපාන්නේ කොහොමද? මෙම සිදුවීම් ඇසින් දුටු සාක්ෂිකරුවෙක් මෙසේ පැහැදිලි කරනවා: ‘අප කෙරෙහි තිබෙන දෙවිගේ ප්‍රේමය ප්‍රකාශ කරනු ලැබුවේ දෙවි ස්වකීය ඒකජාතක පුත්‍රයා කරණකොටගෙන අප ජීවත් වන පිණිස ඔහු ලෝකයට එවූ කාරණයෙන්ය. ප්‍රේමය මේය, එනම් අප දෙවිට ප්‍රේම කළා නොව ඔහු අපට ප්‍රේම කොට, අපේ පව් උදෙසා ශාන්තිකර පූජාව වන පිණිස තමන්ගේ පුත්‍රයා එවූ බවය.’—1 යොහන් 4:9, 10.
ක්‍රිස්තුස්ගේ මරණය ‘ශාන්තිකර පූජාවක්’ වන්නේ කිනම් ආකාරයෙන්ද? එය ශාන්තිකර වන්නේ එමගින් දෙවි සමඟ හොඳ සබඳතාවක් ඇති කරන නිසයි. පළමු මිනිසා වන ආදම් දෙවිට විරුද්ධව කැරලි ගැසූ අතර, එමගින් ඔහුගෙන් පැවතෙන්නන්ට පාපයේ සහ මරණයේ උරුමයක් හිමි කර දුන්නා. අනිත් අතට යේසු, මනුෂ්‍යවර්ගයාගේ පාපයේ සහ මරණයේ වන්දිය ගෙවීම සඳහා තම ජීවිතය මිදීමේ මිලයක් හැටියට පිදුවා. දෙවිට දයාව සහ අනුග්‍රහය විදහාපෙන්වන්න පදනමක් එමගින් සැපයුවා. (1 තිමෝති 2:5, 6) යේසුගේ පව් කමා කරන පූජාව මත ඇදහිල්ල තැබීම තුළින්, ඔබට, පව්කාර ආදම්ගෙන් උරුම වී තිබෙන වරදකාරිබවෙන් නිදහස් විය හැකියි. (රෝම 5:12; 6:23) අනිත් අතට මෙය, ඔබේ ප්‍රේමනීය ස්වර්ගික පියා වන යෙහෝවා දෙවිත් සමඟ පෞද්ගලික සබඳතාවක් ඇති කරගැනීමේ මවිතකර ප්‍රස්තාව විවර කරනවා. කෙටියෙන්ම කියනවා නම්, කිසිදා අවසන් නොවන ජීවිතයක් ලබා දීමට යේසුගේ අද්විතීය පූජාවට හැකියි.—යොහන් 3:16; 17:3.
අප්‍රියෙල් 1වන බ්‍රහස්පතින්දා සැන්දෑවේදී, ලොව වටා දසදහස් ගණන් ස්ථානවල, මිනිසුන් මිලියන ගණනක් යේසුස් ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමට එක්රොක් වූ විට, මෙම දේවල් සහ මීට සම්බන්ධ කාරණා සාකච්ඡා කරන්න යනවා. එයට පැමිණීමට අපි ඔබටත් ඇරයුම් කරනවා. ඔබට සහභාගි වෙන්න පුළුවන් කොතැනදීද සහ කොයි වෙලාවේදීද කියා, ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඉතා කැමැත්තෙන් ඔබට කියාවි. අපේ ප්‍රේමනීය දෙවි සහ මනුෂ්‍ය ජීවිතයේ අවසාන දවසේදී ඔහුගේ ආදරණීය පුත් යේසු කළ දේ සඳහා ඔබේ අගය කිරීම වැඩි වන බවට කිසිම සැකයක් නැහැ.
[පාදසටහන]
a අන්ධකාරය සූර්ය-ග්‍රහණයක් නිසා සිදු වූවක් විය නොහැකියි. මන්ද යේසු මියගියේ පුරසඳ තිබෙන කාලයේදීයි. සූර්ය-ග්‍රහණය පවතින්නේ විනාඩි කීපයක් පමණක් වන අතර, එය සිදු වන්නේ, නව සඳ තිබෙන කාලයේදී, සඳ, පෘථිවිය සහ සූර්යයා අතර තිබෙන විටයි.
[7වන පිටුවේ වගුව⁄පින්තූර]
යේසුගේ මරණය සහ නැවත නැඟිටීම
පො.යු. 33 නීසාන් සිදුවීම් ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයාb
14 බ්‍රහස්පතින්දා පාස්කු උත්සවය; යේසු 113, ඡේද 2 සිට
සැන්දෑව ප්‍රේරිතයන්ගේ පාද සෝදයි; යූදස් දක්වා 117, ඡේද 1
යේසුව පාවා දීමට නික්ම යයි; ක්‍රිස්තුස් තම
මරණය සිහි කිරීමපිහිටුවයි (මේ අවුරුද්දේ
අප්‍රියෙල් 1වන
බ්‍රහස්පතින්දා හිරු බැසයෑමෙන් පසුව
පැවැත්වේ); තම ඉකුත්වීම
සම්බන්ධයෙන් ප්‍රේරිතයන්ව
සූදානම් කිරීමට දෙන අනුශාසනාව
මධ්‍යම රාත්‍රියේ යාච්ඤාවෙන් සහ ප්‍රශංසා දීමේ 117 සිට 120
දක්වා සිට අලුයම දක්වා ගීතිකාවලින් පසු යේසු සහ ප්‍රේරිතයන්
ගෙත්සෙමන උයනට යයි; යේසු බලවත් මොරගැසීම්
සහ කඳුළින් යුක්තව යාච්ඤා කරයි; යූදස් ඉස්කාරියොත්
විශාල සමූහයක් සමඟින් පැමිණෙන අතර යේසුව
පාවා දෙයි; යේසුව බැඳ අන්නස් වෙතට ගෙන යන විට,
ප්‍රේරිතයන් පලා යයි; මන්ත්‍රණ සභාව ඉදිරියේ පෙනී සිටීම සඳහා
උත්තම පූජක කායාඵස් වෙතට යේසුව ගෙන යයි;
මරණයට තීන්දු කරයි;
වාචිකව සහ ශාරීරිකව හිංසා කරයි;
පේතෘස් යේසුව තුන් වතාවක් ප්‍රතික්ෂේප කරයි
සිකුරාදා උදෑසන යේසු නැවත වරක් මන්ත්‍රණ 121 සිට 124
දක්වා අලුයමේදී සභාව ඉදිරියේ පෙනී සිටී; පිලාත් වෙතට
ගෙන යයි. හෙරොද් වෙත යවයි; නැවතත් පිලාත්
වෙත එවයි; යේසුට කස පහරවල් දී අපහාස,
හිංසා කරයි; ඇති වූ පීඩනය නිසා පිලාත් ඔහුව
වධ කණුවේ එල්ලීමට භාර දෙයි; උදෑසන පසු භාගයේදී,
මරණයට පත් කිරීම සඳහා ගොල්ගොතාවලට අරගෙන යයි
මධ්‍යාහ්නයේ සිට මධ්‍යාහ්නයට මදකට කලින් 125, 126
පස්වරු තුන අතර වධකණුවක ඇණ ගසයි;
යේසු මියයන විට, කාලය දක්වා මධ්‍යාහ්නයේ සිට
සවස තුන පමණ වන තුරු ඝනාන්ධකාරයෙන් වැසීයයි;
දරුණු භූමිකම්පාව; දේවමාළිගයේ තිරය දෙකට ඉරෙයි
පස්වරු හතරට යේසුගේ දේහය සබතට කලින් 127, ඡේද
පමණ සොහොන් ගෙයක තැන්පත් කරයි 1-7 දක්වා
15 සිකුරාදා සබත පටන්ගනී
සැන්දෑව
සෙනසුරාදා පිලාත් යේසුගේ සොහොන ආරක්ෂා 127, ඡේද
කිරීම සඳහා අවසර දෙයි 8, 9
16 ඉරිදා යේසුගේ සොහොන හිස් වී තිබෙන බව 127, ඡේද
හිමිදිරි උදෑසනම දැනගනී; නැවත නැඟිටුණු 10 සිට 129, ඡේද
යේසු මෙම අයට පෙනී සිටිනවා: (1) සලෝමි, 10
දක්වා යොවන්නා සහ යාකොබ්ගේ මව වන මරියා
ඇතුළු ගෝල ස්ත්‍රීන් කණ්ඩායමකට;
(2) මග්දලායේ මරියාට; (3) ක්ලෙයෝපස් සහ
ඔහුගේ මිත්‍රයන්ට; (4) සීමොන් පේතෘස්ට;
(5) රැස්ව සිට ප්‍රේරිතයන් කණ්ඩායමකට
සහ වෙනත් ගෝලයන්ට
[පාදසටහන]
b මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පොතේ පරිච්ඡේදයන් හඳුනාගැනීම සඳහා මෙහි අංක සඳහන් කර ඇත. යේසුගේ සේවයේ අවසාන කාලය සම්බන්ධ විස්තරාත්මක ශුද්ධ ලියවිලි යොමු දැක්වීම් ඇතුළත් වගුවක් සඳහා “මුළු ශුද්ධ ලියවිල්ල දේවානුභාවයෙන්ය, තවද . . . ප්රයෝජනවත්ය” (ඉංග්‍රීසියෙන්) යන පොතේ 290 පිටුව බලන්න. මෙම පොත් ප්‍රකාශයට පත් කර තිබෙන්නේ Watchtower Bible and Tract Society of New York, Inc. මගිනුයි.