16වෙනි පරිච්ඡේදය
එක්සත් සහෝදරත්වයක්
අවුරුදු 1,500ක විතර කාලයක් තිස්සේ ඊශ්‍රායෙල් සෙනඟ දෙවියන්ගේ නම දරන සෙනඟ විදිහට කටයුතු කළා. පස්සේ කාලෙක යෙහෝවා දෙවියන් තම නාමය දරන්න වෙනත් ජාතීන් අතරින් සෙනඟක්ව තෝරාගත්තා. (ක්‍රියා 15:14) දෙවියන්ගේ නම දරන සෙනඟ පොළොවේ කොතැනක ජීවත් වුණත් ඔවුන් සිතුවිලිවලින් වගේම ක්‍රියාවලින් එක්සත්ව කටයුතු කරනවා. දෙවියන්ගේ නම දරන්න ඒ විදිහට සෙනඟක් එකතු වෙලා ඉන්නේ යේසුස් තම අනුගාමිකයන්ට දීපු මේ පැවරුමේ ප්‍රතිඵලයක් විදිහටයි. “ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. පියාණන්වත් පුත්‍රයාවත් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයත් පිළිගන්නා අයව බව්තීස්ම කරන්න. මා ඔබට අණ කළ සෑම දෙයක්ම පිළිපදින්න ඔවුන්ට උගන්වන්න.”—මතෙ. 28:19, 20.
ඔයා එකතු වෙලා තියෙන්නේ ජාති, කුලමල, දුප්පත් පොහොසත් භේද නැති ලෝක ව්‍යාප්ත එක්සත් සහෝදර පවුලකට
2 යෙහෝවා දෙවියන්ට කැප වෙලා බව්තීස්ම වුණු ඔයා දැන් යේසුස්ගේ ගෝලයෙක්. ඔයා එකතු වෙලා තියෙන්නේ ජාති, කුලමල, දුප්පත් පොහොසත් භේද නැති ලෝක ව්‍යාප්ත එක්සත් සහෝදර පවුලකට. (ගීතා. 133:1) ඒ නිසා සභාවේ අයට ඔයා ප්‍රේමයෙන් සහ ගෞරවයෙන් සලකනවා. සමහරවිට ඔයා කලින් ආශ්‍රය කරන්න කැමැත්තක් පෙන්නුවේ නැති විවිධ ජාතීන් සහ විවිධ අධ්‍යාපන මට්ටම්වලට අයිති අයත් ඒ අතර ඇති. වෙන කිසිම පවුලක, ආගමක, සමාජයක දකින්න ලැබෙන්නේ නැති එකමුතුකමක් ප්‍රේමයක් ඔයා දැන් අද්දකින්නේ නැද්ද!—මාක් 10:29, 30; කොලො. 3:14; 1 පේතෘ. 1:22.
සිතුවිලි සකස් කරගැනීම
3 වාර්ගික, දේශපාලනික, සමාජීය සහ වෙනත් බෙදීම්වලින් ගොඩ එන්න අමාරුයි කියලා හැඟෙන අයට යුදෙව් ක්‍රිස්තියානීන්ගේ ආදර්ශය ගැන හිතන එක උදව්වක් වෙයි. වෙනත් ජාතීන්වලට අයිති අයව පහත් කරලා සලකන එක නතර කරන්න ඔවුන් ලොකු වෑයමක් දැරුවා. රෝම හමුදා නිලධාරියෙක් වුණු කොර්නේලියස්ගේ ගෙදරට යන්න පේතෘස්ට පැවරුමක් දීපු යෙහෝවා දෙවියන් කාරුණිකව ඔහුව ඒකට සූදානම් කළා.—ක්‍රියා 10 පරි.
4 යුදෙව්වන් අපවිත්‍ර විදිහට සලකපු සතුන්ව මරලා කන්න කියලා දර්ශනයක් මාර්ගයෙන් පේතෘස්ට දැනුම් දුන්නාම ඒ දේ කරන්න බැහැ කියලා ඔහු කිව්වා. එතකොට “දෙවි පවිත්‍ර කර ඇති දේ අපවිත්‍රයි කියා තවදුරටත් කියන්න එපා” කියන හඬක් ඔහුට ඇහුණා. (ක්‍රියා 10:15) දෙවියන් ඒ විදිහට ඔහුට කාරණා පැහැදිලි කරපු නිසා තමන්ගේ සිතුවිලි වෙනස් කරගෙන දෙවියන් දීපු පැවරුම ඉටු කරන්න පේතෘස් පෙලඹුණා. දෙවියන්ගේ මඟ පෙන්වීමට කීකරු වුණු ඔහු කොර්නේලියස්ගේ ගෙදර රැස් වෙලා හිටිය සෙනඟට මෙහෙම කිව්වා. “වෙනත් ජාතියකට අයත් කෙනෙකු ළඟට යන්නවත් ඔහු සමඟ කතාබහ කරන්නවත් යුදෙව්වෙකුට සම්පූර්ණයෙන්ම තහනම් දෙයක් කියා ඔබ හොඳින් දන්නවා. නමුත් කිසිම මිනිසෙක් දූෂිතයි කියා හෝ අපවිත්‍රයි කියා හෝ කියන්න එපා කියා දෙවි මට දැන් පෙන්වා තිබෙනවා. ඒ නිසා මට මෙහෙට එන්න කියා පැවසූ විට මම ආවේ කැමැත්තෙන්මයි.” (ක්‍රියා 10:28, 29) ඊටපස්සේ සිද්ධ වුණු දෙයින් කොර්නේලියස්ටත් ඔහුගේ පවුලේ අයටත් දෙවියන්ගේ අනුමැතිය තියෙනවා කියලා පේතෘස්ට හොඳින්ම පැහැදිලි වුණා.
5 ටාසස් නම් නුවරෙන් පැමිණි උගත් පරිසිවරයෙක් වුණු සාවුල්ට සිද්ධ වුණා ඔහු කලින් පහත් විදිහට සලකපු අයව ආශ්‍රය කරන්න. ඒ අයගෙන් යම් මඟ පෙන්වීම් ලබාගන්නත් ඔහුට සිද්ධ වුණා. (ක්‍රියා 4:13; ගලා. 1:13-20; ෆිලි. 3:4-11) සර්ජියස් පාවුලස්, දියොනිසියස්, දමරිස්, ෆිලෙමොන්, ඔනෙසිමස් ඇතුළු තවත් අය ශුභාරංචිය පිළි අරන් යේසුස්ගේ අනුගාමිකයන් වුණාම ඒ අයත් තමන් හිතපු විදිහ වෙනස් කරගත්ත බවට සැකයක් නැහැ.—ක්‍රියා 13:6-12; 17:22, 33, 34; ෆිලෙ. 8-20.
ජාත්‍යන්තර එක්සත්කම රැකගමු
6 සභාවේ සහෝදර සහෝදරියන් ඔයාට ප්‍රේමයෙන් සලකපු එක යෙහෝවා දෙවියන්ටත් දෙවියන්ගේ සංවිධානයටත් තවත් කිට්ටු වෙන්න ඔයාට උදව් වුණු බවට සැකයක් නැහැ. සැබෑ ගෝලයන්ව හඳුනාගන්න උදව් වෙන ප්‍රධානම ලකුණ හැටියට යේසුස් සඳහන් කරපු ප්‍රේමය ඔවුන් අතරේ තියෙනවා කියලා ඔයා දැක්කා. යේසුස් ඒ ගැන කිව්වේ මෙහෙමයි. “මම දැන් ඔබට අලුත් ආඥාවක් දෙන්න කැමතියි. එනම් ඔබ එකිනෙකාට ප්‍රේම කළ යුතුයි. මම ඔබට ප්‍රේම කළා වගේ ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි.” (යොහ. 13:34, 35) ලෝකෙ පුරාම විසිරිලා ඉන්න සහෝදර සහෝදරියන් අතරේ ඒ වගේ ප්‍රේමයක් තියෙනවා කියලා දැනගත්තාම යෙහෝවා දෙවියන් ගැනත් ඔහුගේ සංවිධානය ගැනත් ඔයාගේ හිතේ තිබුණු අගය තවත් වැඩි වුණා. අන්තිම දවස්වලදී විශාල සෙනඟක් සාමයෙන් එක්සත්ව දෙවියන්ට නමස්කාර කරන්න එකතු වෙනවා කියලා බයිබලයේ සඳහන් අනාවැකිය ඉටු වෙන විදිහත් ඔයා අද්දකිනවා.—මීකා 4:1-5.
7 මිනිසුන් අතරේ බෙදීම් තියෙන සමාජයක ‘සියලු ජාතීන්, ගෝත්‍ර, ජනයා සහ සියලු භාෂා කතා කරන අය’ අතරේ මේ වගේ එක්සත්කමක් ඇති වෙලා තියෙන එක මොන තරම් පුදුමයක්ද! (එළි. 7:9) නවීන තාක්ෂණයට හුරු වෙලා ඉන්න අය සහ සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රවලට ඇලිලා ඉන්න අය අතරේ කොයි තරම් වෙනසක් තියෙනවාද කියලා මොහොතකට හිතන්න. එකම ජාතියකට අයිති අය අතරේ පවා ආගමික වශයෙන් බෙදීම් දකින්න තියෙනවා. ජාති භේද වැඩියෙන් තියෙන නිසා මිනිසුන් වෙන කවරදාටත් වඩා වැඩියෙන් දේශපාලනිකව බෙදිලා. ඒ විතරක් නෙවෙයි දුප්පත්, පොහොසත් භේදයට අමතරව තවත් හුඟක් කාරණා සම්බන්ධයෙන් මිනිසුන් අතරේ බෙදීම් ඇති වෙලා. මේ වගේ වාතාවරණයක් මැද විවිධ ජාතීන්වලට අයත් විවිධ භාෂා කතා කරන සෙනඟක් අතරේ ප්‍රේමයත් එක්සත්කමත් පවත්වාගන්න පුළුවන් වෙලා තියෙන්නේ යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය නිසයි.—සෙක. 4:6.
8 ඔයා දෙවියන්ට කැප වෙලා බව්තීස්ම වුණාම ඔයාත් ඒ අය අතරට අයිති වුණා. දැන් ඔයාටත් වගකීමක් තියෙනවා ඒ එක්සත්කම රැකගන්න දායක වෙන්න. ඒ වගකීම ඉටු කරන්න ගලාති 6:10 සඳහන් මේ දේ අදාළ කරගන්න එක ඔයාට උදව්වක් වෙයි. “අපට ප්‍රස්තාව ලැබෙන සෑම අවස්ථාවකදීම සියලුදෙනාටම, විශේෂයෙන්ම අප හා සමාන විශ්වාසයක් ඇති අපගේ සහෝදර සහෝදරියන්ට යහපත් දේවල් කරමු.” ඒ වගේම ෆිලිප්පි 2:3, 4 සඳහන් මේ දේත් අපි පිළිපදිනවා. “කිසි දෙයක් දබරකාරී ස්වභාවයකින්වත් අහංකාරකමින්වත් නොකරන්න. ඒ වෙනුවට නිහතමානීව අන් අය ඔබට වඩා උතුම් කියා සිතන්න. ඔබේම කාරණා ගැන පමණක් සිතමින් සිටිනවා වෙනුවට එකිනෙකා කෙරෙහිත් පෞද්ගලික සැලකිල්ල දක්වන්න.” සෙසු සහෝදර සහෝදරියන් දිහා යෙහෝවා දෙවියන් බලන විදිහට බලන්න අපි පුරුදු වෙනවා නම් දිගටම ඔවුන් එක්ක සාමකාමීව සතුටින් ඉන්න අපිට පුළුවන් වෙනවා.—එෆී. 4:23, 24.
එකිනෙකා ගැන සැලකිලිමත් වෙන්න
9 සභාවේ අය අතරේ කිසිම බෙදීමක් නැහැ. ඔවුන් එකිනෙකා අතරේ කිට්ටු බැඳීමක් තියෙනවා. (1 කොරි. 12:14-26) ලෝකෙ පුරාම විසිරිලා ඉන්න අපේ සහෝදර සහෝදරියන් අතරින් සමහර අය ඉන්නේ අපිට වඩා හුඟක් දුරින් වුණත් ඒ අය ගැනත් අපි සැලකිලිමත් වෙනවා. අපේ සහෝදරයන් පීඩා අද්දකිද්දී අපිටත් ඒ ගැන ලොකු දුකක් දැනෙනවා. ස්වාභාවික විපත්, යුද්ධ වගේ හේතු නිසා සමහර සහෝදරයන්ට යම් අවශ්‍යතා මතු වෙද්දී ඒ වෙනුවෙන් කරන්න පුළුවන් හැම දේම කරන්නත් අපි ඉදිරිපත් වෙනවා.—2 කොරි. 1:8-11.
10 අපි හැමෝම අපේ සහෝදරයන් වෙනුවෙන් හැමදාමත් යාච්ඤා කරන්න ඕනේ. සමහර අය වැරදි කරන්න එන පෙලඹීම් එක්ක පොරබදනවා. තවත් අය පීඩාවලට මුහුණ දෙනවා. හුඟක් වෙලාවට ඒ ගැන අනිත් අයටත් දැනගන්න ලැබෙනවා. තවත් අය රැකියා ස්ථානයේ අයගෙන් පවුලේ අයගෙන් සහ නෑදෑයන්ගෙන් පීඩා අද්දැක්කත් ඒ ගැන අනිත් අයට දැනගන්න ලැබෙන්නේ නැහැ. (මතෙ. 10:35, 36; 1 තෙස. 2:14) අපි ඒ දේවල් ගැන සැලකිලිමත් වෙන්නේ අපි ලෝක ව්‍යාප්ත සහෝදර සංගමයක් නිසයි. (1 පේතෘ. 5:9) අපි අතරේ ඉන්න සමහර අය හුඟක් වෙහෙස මහන්සි වෙලා දෙවියන්ට සේවය කරනවා. තවත් අය දේශනා සේවයෙත් සභාවේ වැඩකටයුතුවලත් පෙරමුණ අරන් වැඩ කරනවා. තවත් අය නමස්කාරයට අදාළව ලෝකෙ පුරාම සිද්ධ වෙන වැඩකටයුතු අධීක්ෂණය කරනවා. සමහර අවස්ථාවලදී අපිට ඒ අය වෙනුවෙන් පෞද්ගලිකව කිසිම දෙයක් කරන්න බැරි වුණත් ඒ හැමෝම වෙනුවෙන් යාච්ඤා කරන්න අපිට පුළුවන්.—එෆී. 1:16; 1 තෙස. 1:2, 3; 5:25.
11 ජීවත් වෙන්න අසීරු මේ අවසාන කාලයේ ඉන්න අපි ඕනෙම වෙලාවක එකිනෙකාට උදව් කරන්න සූදානමින් ඉන්න ඕනේ. සමහර අවස්ථාවලදී භූමිකම්පා, ගංවතුර වගේ ස්වාභාවික විපත් ඇති වුණාම විපතට පත් වෙලා ඉන්න අයට සහනාධාර දෙන්නත් වෙනත් විදිවලින් උදව් කරන්නත් අවශ්‍ය වෙනවා. මුල් සියවසේ ජීවත් වුණු ක්‍රිස්තියානීන් ඒ සම්බන්ධයෙන් කදිම ආදර්ශයක් තියලා තියෙනවා. තමන්ට පුළුවන් උපරිමයෙන් යුදයේ හිටපු සහෝදරයන්ට සහනාධාර දෙන්න අන්තියෝකියේ හිටපු ක්‍රිස්තියානීන් ඉදිරිපත් වුණා. (ක්‍රියා 11:27-30; 20:35) පිළිවෙළකට කරගෙන ගිය සහනාධාර කටයුතුවලට සහයෝගය දෙන්න කියලා පාවුල් පස්සේ කාලෙකදී කොරින්ති සභාවේ අයව දිරිගැන්නුවා. (2 කොරි. 9:1-15) අදටත් සහෝදර සහෝදරියන් යම් විපත්වලට මුහුණ දුන්නාම පුළුවන් ඉක්මනින් සංවිධානයක් විදිහටත් පෞද්ගලිකවත් ඒ අයට අවශ්‍ය කරන උපකාර ලබා දෙන්න අපි පුළුවන් හැම දේම කරනවා.
යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න වෙන් වුණු සෙනඟක්
12 ලෝකෙ පුරාම විසිරිලා ඉන්න අපේ සහෝදර සහෝදරියන් දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වෙලා ඉන්නවා. මේ කාලයේදී දෙවියන්ගේ කැමැත්ත වෙන්නේ සියලුම ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ශුභාරංචිය ලෝකෙ පුරාම දේශනා කරන එකයි. (මතෙ. 24:14) ඒ දේ කරන අතරේදී දෙවියන් දීලා තියෙන ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව අපි ජීවත් වෙයි කියලත් දෙවියන් බලාපොරොත්තු වෙනවා. (1 පේතෘ. 1:14-16) අපි එකිනෙකාට යටත්ව ඉන්නත් ශුභාරංචිය දේශනා කරන වැඩකටයුතුවල උපරිමයෙන් හවුල් වෙන්නත් වගබලා ගන්න ඕනේ. (එෆී. 5:21) ඒ වගේම අපි ආස කරන දේවලට මුල් තැන දෙනවා වෙනුවට දෙවියන්ගේ රාජ්‍යයට මුල් තැන දෙන්න වෙන කවරදාටත් වඩා වැඩියෙන් අපි උත්සාහ කරන්න ඕනේ. (මතෙ. 6:33) ඒ දේ මනසේ තියාගෙන අපි ශුභාරංචිය දේශනා කරන වැඩකටයුතුවල නියැලෙනවා නම් ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්නත් අනාගතයේදී සදාකාලයටම දෙවියන්ගේ ආශීර්වාද අද්දකින්නත් අවස්ථාව ලැබෙනවා.
13 පවිත්‍ර සෙනඟක් විදිහට ලෝකයේ මිනිසුන්ගෙන් වෙන් වෙලා ඉන්න අපි, උද්‍යෝගයෙන් යෙහෝවා දෙවියන්ට සේවය කරනවා. (තීත. 2:14) දෙවියන්ට කරන නමස්කාරය නිසා අපි මේ ලෝකයේ මිනිසුන්ට වඩා හුඟක් වෙනස්. බයිබලයේ සඳහන් සත්‍ය ඉගැන්වීම් නමැති පවිත්‍ර භාෂාව අපි අනිත් අයට දේශනා කරනවා. ඒ වගේම ඊට එකඟව ජීවත් වෙනවා. අනාගතවක්තෘ ශෙපනියා මාර්ගයෙන් යෙහෝවා දෙවියන් ඒ ගැන මෙහෙම කියලා තියෙනවා. “මම ජනයාට පවිත්‍ර භාෂාව උගන්වා ඒ ගැන නිවැරදි අවබෝධයක් ඔවුන්ට ලබා දෙන්නෙමි. එවිට ඒ සියලුදෙනාටම යෙහෝවා දෙවි වන මාගේ නාමයට අයැදින්නත් එක්සත්කමින් මට සේවය කරන්නත් හැකි වනු ඇත.”—ශෙප. 3:9.
14 අද දෙවියන්ගේ සෙනඟ අද්දකින එක්සත්කම ගැනත් දෙවියන් ශෙපනියා මාර්ගයෙන් මෙහෙම කියලා තියෙනවා. “ඊශ්‍රායෙල්වරුන් අතරින් ඉතුරු වන අය අධර්මිෂ්ඨකම් කරන්නේවත් බොරු කියන්නේවත් නැත. අන් අයව රවටන කිසිවෙක්ද ඔවුන් අතරේ සිටින්නේ නැත. ඔවුහු හොඳින් පෝෂණය වී කිසිවෙකුට බිය නොවී විවේක සුවයෙන් කල් ගෙවනු ඇත.” (ශෙප. 3:13) දෙවියන්ගේ වචනයේ සඳහන් සත්‍යය අපි හොඳින් අවබෝධ කරගෙන ඉන්න නිසාත් ඒවා ජීවිතයට අදාළ කරගෙන ඉන්න නිසාත් එක්සත් සෙනඟක් හැටියට කටයුතු කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. දෙවියන්ගේ බලයේ උපකාරය අපිට ලැබෙන නිසා මිනිස් හැකියාවෙන් කරන්න බැහැයි කියලා හිතෙන දේවල් අපි ඉටු කරලා තියෙනවා. ඔව්, දෙවියන්ගේ සෙනඟ විදිහට ලෝකයේ මිනිසුන්ට සමාන නොවන අපි පොළොව පුරාම දෙවියන්ව ගෞරවයට පත් කරලා තියෙනවා.—මීකා 2:12.