ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • od 179 පි.-184 පි.
  • උපග්‍රන්ථය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • උපග්‍රන්ථය
  • යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්
  • සමාන තොරතුරු
  • බව්තීස්මය - ඔබ ගත යුතු අත්‍යවශ්‍ය පියවරක්
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • බව්තීස්ම වෙන්න ඉන්න අයත් එක්ක පවත්වන අන්තිම සාකච්ඡාව
    යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්
  • බව්තීස්මය ගැන හිතන එක හරිම වැදගත්
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • දරුවන්ට බව්තීස්ම විය හැකිද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්
od 179 පි.-184 පි.

උපග්‍රන්ථය

දෙවියන්ට ළැදි දෙමාපියෙනි,

දෙමාපියන් විදිහට ඔයාලා කැමති දරුවන් දෙවියන්ට මුළු හදින්ම ප්‍රේම කරමින් ඔහුට මුළු ජීවිතයම කැප කරනවා දකින්නයි. දෙවියන්ට කැප වෙලා බව්තීස්ම වෙන්න දරුවාට උදව් කරන්න ඔයාලාට පුළුවන් කොහොමද? දරුවා බව්තීස්ම වෙන්න සුදුසුයි කියලා තේරුම්ගන්න පුළුවන් කොහොමද?

‘සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. ඒ අයව බව්තීස්ම කරන්න’ කියලා යේසුස් කිව්වා. (මතෙ. 28:19) ඒකෙන් පැහැදිලි වෙනවා කෙනෙක් බව්තීස්ම වෙන්න නම් ඒ කෙනා අනිවාර්යයෙන්ම යේසුස්ගේ ගෝලයෙක් වෙන්න ඕනෙ කියලා. ඒ කියන්නේ ක්‍රිස්තුස් උගන්වපු දේවල් හොඳින් අවබෝධ කරගෙන ඒ දේවල් ගැන විශ්වාසයක් ඇති කරගන්න එක විතරක් නෙවෙයි ඒ දේවල් ජීවිතයට අදාළ කරගන්නත් ඕනේ. දරුවන්ට වුණත් ඒ දේ කරන්න පුළුවන්.

දෙමාපියන් විදිහට ඔයාලා දරුවන්ට හොඳ ආදර්ශයක් තියන්න. යෙහෝවා දෙවියන් උගන්වලා තියෙන දේවල් දරුවන්ගේ හිත්වලට කාවද්දන්න. (ද්වි. 6:6-9) බයිබලයේ සඳහන් මූලික සත්‍යයන් තේරුම්ගන්නත් බයිබල් ප්‍රතිපත්ති හොඳින් අවබෝධ කරගෙන අදාළ කරගන්නත් දරුවන්ට උදව් කරන එක ඊට ඇතුළත්. ඒ දේ කරන්න ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන පොත යොදාගන්න. දරුවන් විශ්වාස කරන දේ ඔවුන්ගේම වචනයෙන් කියන්න පුහුණු කරන්න. (1 පේතෘ. 3:15) ඔයාලාගෙන්, පෞද්ගලික අධ්‍යයනයෙන්, පවුලේ නමස්කාරයෙන්, රැස්වීම්වලින්, සහෝදර ඇසුරෙන් ඉගෙනගන්න දේවල් සහ ලබන දිරිගැන්වීම් බව්තීස්ම වෙන්නත් කැපවීමට එකඟව ජීවත් වෙන්නත් දරුවන්ට උදව්වක් වෙයි. දෙවියන්ට තවත් ළං වෙන්න උදව් වෙන ඉලක්ක තියාගන්නත් දරුවන්ට උදව් කරන්න.

“දරුවෙකුගේ ක්‍රියාවලින් ඔහු නිර්මල, ප්‍රතිපත්තිගරුක කෙනෙකුදැයි පෙනී යන්නේය” කියලා හිතෝපදේශ 20:11 සඳහන් වෙනවා. දරුවෙක් යේසුස්ගේ ගෝලයෙක් වෙලා ඉන්නවා කියලත් දරුවා බව්තීස්ම වෙන්න සුදුසුයි කියලත් තේරුම්ගන්න උදව් වෙන්නේ දරුවෙක් කරන මොන වගේ ක්‍රියාවන්ද?

බව්තීස්ම වෙන්න සුදුසුකම් අත් කරගනිමින් ඉන්න දරුවෙක් දෙමාපියන්ට කීකරු වෙන්න ඕනේ. (ක්‍රියා 5:29; කොලො. 3:20) වයස අවුරුදු 12දී යේසුස් “දිගටම [දෙමාපියන්ට] කීකරු වී සිටියේය” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (ලූක් 2:51) හැබැයි ඔයාලාගේ දරුවන් පරිපූර්ණ අය විදිහට කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. ඒත් දරුවන් බව්තීස්ම වෙන්න ඇත්තටම ආසාවෙන් ඉන්නවා නම් ඒ අය පුළුවන් උපරිමයෙන් යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරමින් ඔයාලාට කීකරුව ඉන්න උත්සාහ කරයි.

ඒ වගේම බයිබලයේ තියෙන දේවල් ලොකු උනන්දුවකින් ඉගෙනගනියි. (ලූක් 2:46) ඔයාලාගේ දරුවාට රැස්වීම් යන්නත් ඒ කොටස්වලට හවුල් වෙන්නත් ලොකු ආසාවක් තියෙනවාද? (ගීතා. 122:1) පෞද්ගලික අධ්‍යයනය කරන්නත් හැමදාම බයිබලය කියවන්නත් දරුවාට ලොකු ආසාවක් තියෙනවාද?—මතෙ. 4:4.

බව්තීස්ම වෙන්න සුදුසුකම් අත් කරගනිමින් ඉන්න දරුවෙක් දෙවියන්ගේ රාජ්‍යයට මුල් තැන දෙන්න පෙලඹෙනවා. (මතෙ. 6:33) තමන්ගේ විශ්වාසයන් ගැන අනිත් අය එක්ක කතා කරන්න තමන්ට වගකීමක් තියෙනවා කියලා ඔහු හොඳින් අවබෝධ කරගෙන ඉන්නවා. ඔහු සේවයේ විවිධ අංගවල හවුල් වෙනවා. ඒ වගේම පාසැලේ ගුරුවරුන්ටත් මිතුරන්ටත් තමන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් කියලා කියන්න ලැජ්ජා වෙන්නේ නැහැ. ජීවිතය සහ දේවසේවය සඳහා රැස්වීමේ තමන්ට ලැබෙන පැවරුම් සැහැල්ලුවට ගන්නේ නැහැ.

ඒ වගේම නරක දේවල් කරන්න පොලඹවන අයව ආශ්‍රය කරන්නෙත් නැහැ. (හිතෝ. 13:20; 1 කොරි. 15:33) ඒ නිසා අහන සංගීතය, බලන චිත්‍රපටි, රූපවාහිනී වැඩසටහන්, වීඩියෝ ක්‍රීඩා සහ අන්තර්ජාලයෙන් බලන දේවල් ගැන දරුවා සැලකිලිමත් වෙනවා.

දෙමාපියන්ගේ පුහුණුවෙන් ප්‍රයෝජන ගත්ත හුඟක් දරුවන් සත්‍ය මාර්ගයේ ගමන් කරමින් යෞවන වයසේදීම බව්තීස්ම වෙලා තියෙනවා. දරුවන්ට දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න දායක වෙන වැදගත්ම තීරණය තමයි බව්තීස්ම වෙන්න ගන්න තීරණය. ඒක කරන්න දරුවන්ට උදව් කරන්න ඔයාලා දරන වෙහෙසට යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

බව්තීස්ම නොවූ ප්‍රචාරකයෙනි,

බව්තීස්ම නොවූ ප්‍රචාරකයෙක් විදිහට සභාවේ අයත් එක්ක එකතු වෙලා සේවයේ හවුල් වෙන්න ලැබෙන අවස්ථාව ඇත්තෙන්ම වරප්‍රසාදයක්. සත්‍ය මාර්ගයේ ඔයා මේ දක්වා ලබලා තියෙන දියුණුව ගැන අපිට හුඟක් සතුටුයි. බයිබලයේ තියෙන දේවල් ගැන ඉගෙනගෙන දෙවියන්ව දැන හඳුනා ගෙන ඉන්න ඔයාට දැන් දෙවියන්ගේ පොරොන්දු ගැන විශ්වාසයක් තියෙනවා.—යොහ. 17:3; හෙබ්‍රෙ. 11:6.

සමහරවිට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලයේ තියෙන දේවල් ගැන ඉගෙනගන්න කලින් ඔයා වෙනත් ආගමකට සම්බන්ධ වෙලා ඉන්න ඇති. එහෙමත් නැත්නම් ඔයා කිසිම ආගමකට සම්බන්ධ වෙලා හිටියේ නැතුව ඇති. සමහරවිට ඔයා බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනි දේවල් කරන්නත් ඇති. හැබැයි දැන් ඔයා ඒ දේවල් ගැන පසුතැවිලා තියෙනවා. ඒ කියන්නේ ඔයා අතින් වුණු වැරදි අවංකවම පිළි අරන් ඒවා ගැන කනගාටු වෙලා තියෙනවා. ඒ වගේම ඔයා ජීවිතය වෙනස් කරගෙන තියෙනවා. ඒ කියන්නේ වැරදි ක්‍රියාවන් අත්හැරලා දෙවියන් කැමති විදිහට ජීවත් වෙන්න ඔයා අදිටන් කරගෙන ඉන්නවා.—ක්‍රියා 3:19.

සමහරවිට ඔයා ‘ළදරු කාලයේ පටන් ශුද්ධ ලියවිල්ල ගැන අවබෝධයක් ලබාගත්’ කෙනෙක් වෙන්න ඇති. (2 තිමෝ. 3:15) ඒ නිසා ඔයා බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනි දේවලට හවුල් වෙලා නැතුව ඇති. යාළුවන්ගෙන් එන වැරදි පෙලඹවීම් සහ යෙහෝවා දෙවියන් අකමැති දේවල් ප්‍රතික්ෂේප කරන්න ඔයා ඉගෙනගෙන තියෙනවා. සැබෑ නමස්කාරයට පක්ෂව කටයුතු කරන එකෙනුත් ඔයා විශ්වාස කරන දේවල් අනිත් අයට කියන එකෙනුත් සැබෑ විශ්වාසයක් ඔයාට තියෙනවා කියලා ඔප්පු කරලා තියෙනවා. දේශනා සේවයේ හවුල් වෙන විදිහ ගැනත් ඔයාට පුහුණුවක් ලැබිලා තියෙනවා. බව්තීස්ම නොවූ ප්‍රචාරකයෙක් විදිහට දෙවියන්ට සේවය කරන්න ඔයා දැන් තීරණය කරලයි තියෙන්නේ.

ඔයාට යෙහෝවා දෙවියන් ගැන දැනගන්න ලැබුණේ මොන වයසේදී වුණත් දැන් ඔයා දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න තවත් පියවර දෙකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඔව්, ඔයා දැන් ආසාවෙන් ඉන්නේ දෙවියන්ට කැප වෙලා ඊළඟට බව්තීස්ම වෙන්න. ඔයා යෙහෝවා දෙවියන්ට කැප වෙන්නේ මුළු හදවතින්ම දෙවියන්ට කරන යාච්ඤාවකින්. ඒ යාච්ඤාවෙන් ඔයා පොරොන්දු වෙන්නේ සදහටම දෙවියන්ට විතරක් නමස්කාර කරන්නයි. (මතෙ. 16:24) ඒ විදිහට ඔයා දෙවියන්ට කැප වුණු එක සංකේතවත් කරන්න තමයි ඔයාව වතුරේ ගිල්වලා බව්තීස්ම කරන්නේ. (මතෙ. 28:19, 20) කැප වෙලා බව්තීස්ම වුණාම ඔයා යෙහෝවා දෙවියන්ගේ සේවකයෙක් වෙනවා. ඒක මොන තරම් වරප්‍රසාදයක්ද!

බයිබල් පාඩම කරද්දී ඔයා ඉගෙනගත්ත විදිහට ඔයාට අභියෝගවලටත් මුහුණ දෙන්න සිද්ධ වෙයි. යේසුස් බව්තීස්ම වුණාට පස්සේ සිද්ධ වුණු දේ මතකයි නේද? ‘දෙවි තම බලයෙන් පාළුකරයට යන්න යේසුස්ට මඟ පෙන්නුවා. එහිදී යක්ෂයා ඔහුව වරදකට හසු කරගන්න උත්සාහ කළා.’ (මතෙ. 4:1) ක්‍රිස්තුස්ගේ ගෝලයෙක් විදිහට ඔයා බව්තීස්ම වුණාට පස්සේ පීඩා අද්දකින්න වුණොත් ඒ ගැන පුදුම වෙන්න එපා. (යොහ. 15:20) සමහරවිට ඔයාගේ පවුලේ අය ඔයාට විරුද්ධ වෙයි. (මතෙ. 10:36) ඉස්කෝලේ යාළුවන්, වැඩපොළේ අය වගේම ඔයා කලින් ආශ්‍රය කරපු අය ඔයාට සමච්චල් කරයි. එහෙම වෙද්දී යේසුස් කියපු මේ දේ මතක් කරගන්න. “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, මා නිසාත් ශුභාරංචිය නිසාත් කෙනෙක් ගෙවල් දොරවල් හෝ සහෝදර සහෝදරියන් හෝ මව හෝ පියා හෝ දරුවන් හෝ වතුපිටි හෝ අත්හැර ඇත්නම්, ඔහුට මේ කාලයේදීම සිය ගුණයකින් ගෙවල්ද සහෝදර සහෝදරියන්ද මව්වරුන්ද දරුවන්ද වතුපිටිද ඒ සමඟ හිංසා පීඩාද ලැබෙන බවයි. ඒ වගේම මතු පැමිණෙන කාලයේදී සදාකාල ජීවනයත් ඔහුට ලැබෙයි.” (මාක් 10:29, 30) දිගටම යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්නත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්නත් උත්සාහ කරන්න.

ඔයා බව්තීස්ම වෙන්න තීරණය කළොත් ඒ ගැන වැඩිමහල් මණ්ඩලයේ සම්බන්ධීකාරකට කියන්න. එතකොට ඔයා බව්තීස්ම වෙන්න සුදුසුද කියලා සලකලා බලන්න වැඩිමහල්ලන් මේ පොතේ ඊළඟට සඳහන් වෙන ප්‍රශ්න ඔයාත් එක්ක සාකච්ඡා කරයි. ඔයාට පුළුවන් දැන් ඉඳන් පෞද්ගලික අධ්‍යයනයේදී ඒ ප්‍රශ්නත් බලන්න.

වැඩිමහල්ලන් එක්ක කරන සාකච්ඡාවට සූදානම් වෙද්දී හැම බයිබල් පදයක්ම කියවලා ඒවා ගැන හොඳින් හිතන්න. ඔයා කැමති නම් මේ පොතේම හරි වෙන පොතක හරි අවශ්‍ය දේවල් සටහන් කරගන්න ඔයාට පුළුවන්. වැඩිමහල්ලන් මේ පොතේ ප්‍රශ්න ඔයාත් එක්ක සාකච්ඡා කරද්දී ඔයාට මේ පොතත් ඔයා ගත්ත සටහනුත් පාවිච්චි කරන්න පුළුවන්. සමහර ප්‍රශ්න තේරුම්ගන්න අමාරුයි කියලා හිතෙනවා නම් ඔයාට බයිබල් පාඩම කරන කෙනාගෙන් හරි වැඩිමහල්ලන්ගෙන් හරි උදව් ගන්න අදිමදි කරන්න එපා.

වැඩිමහල්ලන් මේ පොතෙන් ප්‍රශ්න අහද්දී ඔයා හුඟක් දිග, බැරෑරුම් උත්තර දෙන්න ඕනෙ නැහැ. ඔයාගෙම වචනවලින් සරලව කෙටියෙන් උත්තර දෙන එක වඩාත් සුදුසුයි. ප්‍රශ්නවලින් වැඩි හරියකට උත්තර දෙද්දී අදාළ බයිබල් ප්‍රතිපත්තිය කාවද්දන පද ගැනත් සඳහන් කරන්න.

බයිබලයේ සඳහන් මූලික සත්‍යයන් ගැන ඔයා තව දැනුවත් වෙන්න ඕනෙ කියලා වැඩිමහල්ලන් තීරණය කළොත් ඒ වෙනුවෙන් ඔයාට උදව් කරන්න වැඩිමහල්ලන් අවශ්‍ය දේවල් සැලසුම් කරයි. බයිබලයේ සඳහන් ඉගැන්වීම් හොඳින් අවබෝධ කරගෙන ඒවා ඔයාගෙම වචනවලින් පැහැදිලි කරලා අනාගතයේදී යම් දවසක බව්තීස්ම වෙන්න ඒක ඔයාට උදව්වක් වෙයි.

[වැඩිමහල්ලන්ට: බව්තීස්ම වෙන්න ආශාවෙන් ඉන්න අයත් එක්ක සාකච්ඡාව පවත්වන්න ඕන විදිහ ගැන මඟ පෙන්වීම් 208-212 දක්වා පිටුවල සඳහන් වෙනවා.]

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න