බව්තීස්ම වෙන්න ආශාවෙන් ඉන්න අය සඳහා ප්‍රශ්න
බව්තීස්ම වෙන්න ඉන්න අයත් එක්ක පවත්වන අන්තිම සාකච්ඡාව
කැප වෙලා ඉන්න අයව බව්තීස්ම කරන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවත්වන චාරිකා සහ තුන්දින සමුළුවලදියි. බව්තීස්ම වෙන්න ඉදිරිපත් වෙලා ඉන්න අය වෙනුවෙන් දේශනය ඉදිරිපත් කරන සහෝදරයා ඒ දේශනය අවසානයේදී ඔවුන්ට නැඟිටින්න ආරාධනා කරලා ඔවුන්ගෙන් මෙහෙම අහනවා.
1. ඔයා යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ගැලවීම ලබා දෙන්න දෙවියන් ඇති කරලා තියෙන සැලැස්ම පිළි අරන්, ඔයාගේ පව් ගැන පසුතැවිලි වෙලා, යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න ඔයාගේ ජීවිතය කැප කරලා තියෙනවාද?
2. බව්තීස්ම වෙනවා කියන්නේ ඔයා යෙහෝවා දෙවියන්ගේ සංවිධානයත් එක්ක එකතු වෙලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට දෙවියන්ට සේවය කරනවා කියන එකයි. ඔයා ඒක තේරුම් අරගෙන ඉන්නවාද?
බව්තීස්ම වෙන්න ඉන්න අය ස්ථිර විශ්වාසයකින් ඒ ප්‍රශ්නවලට ඔව් කියලා උත්තර දෙන එකෙන් යේසුස්ගේ ජීවිත පූජාව විශ්වාස කරනවා කියලත් තමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම යෙහෝවා දෙවියන්ට කැප කරලා තියෙනවා කියලත් ‘ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරනවා.’ (රෝම 10:9, 10) බව්තීස්ම වෙන්න ඉන්න අය දෙවියන්ට යාච්ඤා කරලා ඒ ප්‍රශ්න දෙක ගැන හොඳින් හිතලා බැලුවොත් බව්තීස්ම වෙන දවසේදී තමන්ගේ හිතට එකඟව ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් වෙනවා.
යෙහෝවා දෙවියන්ට විතරක් නමස්කාර කරනවා කියලත් ඔහුගේ කැමැත්තට ජීවිතේ මුල් තැන දෙනවා කියලත් පොරොන්දු වෙමින් යාච්ඤාවක් මාර්ගයෙන් ඔහුට ඔයාගේ ජීවිතේ ඔයා කැප කරලා තියෙනවාද?
කල් දාන්නේ නැතුව ලැබෙන මුල්ම අවස්ථාවේදීම බව්තීස්ම වෙන්න ඕනෙ කියලා ඔයාට දැන් හොඳටම ස්ථිරයිද?
බව්තීස්ම වෙන අවස්ථාවේදී අඳින්න සුදුසු මොන වගේ ඇඳුම්ද? (1 තිමෝ. 2:9, 10; යොහ. 15:19; ෆිලි. 1:10)
අපි තෝරාගන්න ඇඳුම් පැළඳුම්වලින් අපේ ‘විනීතකම,’ සහ අපි ‘හොඳ සිහිකල්පනාවෙන් ක්‍රියා කරන’ අය කියලා පේන්න තියෙන්න ඕනේ. ඒ වගේම අපි “දෙවිට ගැඹුරු ගෞරවයක් හා භක්තියක්” තියෙන අය කියලත් පේන්න තියෙන්න ඕනේ. ඒ නිසා බව්තීස්ම අපේක්ෂකයන් ශරීරය නුසුදුසු විදිහට නිරාවරණය වන, ඇඟටම හිර වුණු, ඇඟ විනිවිද පෙනෙන ඇඳුම් අඳින එක සුදුසු නැහැ. ඒ වගේම අකුරු හෝ ලාංඡන තියෙන ඇඳුම් සුදුසු වෙන්නෙත් නැහැ. ඒ නිසා පිරිසිදුව පිළිවෙලකට සහ අවස්ථාවට ගැළපෙන විදිහට ඇඳුම් පැළඳුම් තෝරාගන්න ඕනේ.
බව්තීස්ම වෙන අවස්ථාවේදී කෙනෙක් හැසිරෙන්න ඕනෙ කොහොමද? (ලූක් 3:21, 22)
ඒ සම්බන්ධයෙන් යේසුස් අපිට හොඳ ආදර්ශයක්. ඔහු බව්තීස්ම වෙන එක සැලකුවේ ජීවිතයේ වැදගත් පියවරක් හැටියටයි. ඔහුට ඒ ගැන හැඟුණු විදිහෙන් සහ ඔහු කටයුතු කරපු විදිහෙන් ඒක පැහැදිලි වෙනවා. බව්තීස්ම වෙන ස්ථානයේ ඉඳන් නුසුදුසු විහිළු කරන එක, සෙල්ලම් කරන එක, බව්තීස්ම තටාකයේ පිහිනන එක වගේ මේ වැදගත් අවස්ථාවට අගෞරවයක් වෙන විදිහේ දේවල් කරන එක සුදුසු නැහැ. එහෙමත් නැත්නම් ලොකු ජයග්‍රහණයක් ලැබුවා වගේ සතුට පළ කරන එකත් සුදුසු නැහැ. මේක හරිම ප්‍රීතිමත් අවස්ථාවක් වුණත් ඒ ප්‍රීතිය අපි පෙන්වන්න ඕනෙ ගෞරවනීය විදිහටයි.
නිතිපතා රැස්වීම්වලට යන එකත් සභාවේ අයත් එක්ක කිට්ටුවෙන් ආශ්‍රය කරන එකත් ඔයා යෙහෝවා දෙවියන්ට කැප වෙද්දී දීපු පොරොන්දුව ඉටු කරන්න උදව් වෙන්නේ කොහොමද?
බව්තීස්ම වුණාට පස්සෙත් දිගටම පෞද්ගලික අධ්‍යයනය කරන එකත් නොකඩවා සේවයේ හවුල් වෙන එකත් වැදගත් වෙන්නේ ඇයි?
වැඩිමහල්ලන්ට මඟ පෙන්වීම්
බව්තීස්ම නොවූ ප්‍රචාරකයෙක් බව්තීස්ම වෙන්න කැමතියි කියලා කිව්වාම මේ පොතේ 185-207 දක්වා පිටුවල “බව්තීස්ම වෙන්න ආශාවෙන් ඉන්න අය සඳහා ප්‍රශ්න” යටතේ තියෙන තොරතුරු හොඳින් බලන්න කියලා ඔහුව දිරිගන්වන්න ඕනේ. වැඩිමහල්ලන් එක්ක කරන සාකච්ඡාවලට හොඳින් සූදානම් වෙන්න උදව්වක් විදිහට 182වෙනි පිටුවේ “බව්තීස්ම නොවූ ප්‍රචාරකයෙනි” කියන උපමාතෘකාව යටතේ තියෙන තොරතුරු හොඳින් කියවන්න කියලත් ඔහුව උනන්දු කරන්න. ඒ තොරතුරුවල සඳහන් වෙන විදිහට වැඩිමහල්ලන් එක්ක පවත්වන සාකච්ඡාවලදී තමන්ගේ පෞද්ගලික සටහන් වගේම මේ පොතත් පාවිච්චි කරන්න පුළුවන්. වැඩිමහල්ලන් එක්ක කරන සාකච්ඡාවට පෙරහුරුවක් විදිහට මේ ප්‍රශ්න වෙන කෙනෙක් එක්ක සලකා බලන්න අවශ්‍ය නැහැ.
බව්තීස්ම වෙන්න ආශාවෙන් ඉන්න කෙනෙක් ඒ ගැන වැඩිමහල් මණ්ඩලයේ සම්බන්ධීකාරකට දැනුම් දෙන්න ඕනේ. ඔහු බව්තීස්ම නොවූ ප්‍රචාරකයාට “බව්තීස්ම වෙන්න ආශාවෙන් ඉන්න අය සඳහා ප්‍රශ්න” කියන කොටස බලාගන්න ප්‍රමාණවත් කාලයක් ලබා දෙනවා. ඊටපස්සේ යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න පොරොන්දු වෙමින් යාච්ඤාවක් මාර්ගයෙන් තමන්ගේ ජීවිතය දෙවියන්ට කැප කරලා තියෙනවාද කියලා වැඩිමහල් මණ්ඩලයේ සම්බන්ධීකාරක ඒ කෙනාගෙන් අහන්න ඕනේ. ඒ කෙනා දෙවියන්ට කැප වෙලා නම් ඉන්නේ “බව්තීස්ම වෙන්න ආශාවෙන් ඉන්න අය සඳහා ප්‍රශ්න” කියන කොටස ඒ කෙනාත් එක්ක සාකච්ඡා කරන්න වැඩිමහල් මණ්ඩලයේ සම්බන්ධීකාරක වැඩිමහල්ලන් දෙන්නෙක්ට පවරනවා. ඒ වැඩිමහල්ලන් දෙන්නා ඒකේ තියෙන කොටස් දෙක ප්‍රචාරකයා එක්ක සාකච්ඡා කරන්න යන්නේ වෙන වෙනමයි. ඒ සාකච්ඡාවන් කරන්න සමුළුවක් පවත්වන දවස් ගැන නිවේදනය කරන කල් ඉන්න ඕනෙ නැහැ.
අදාළ කොටස් දෙකේ තියෙන තොරතුරු අවස්ථා දෙකකදී සාකච්ඡා කරනවා. සාමාන්‍යයෙන් එක කොටසක් සාකච්ඡා කරන්න පැයක කාලයක් ගත වුණත් අවශ්‍ය නම් ඊට වඩා වැඩි කාලයක් ගන්නත් පුළුවන්. හැම සාකච්ඡාවක්ම පටන්ගද්දීත් ඉවර කරද්දීත් යාච්ඤාවක් කරන්න ඕනේ. ඒ කොටස් සාකච්ඡා කරද්දී වැඩිමහල්ලන්වත් බව්තීස්ම නොවූ ප්රචාරකයාවත් තොරතුරු වේගයෙන් පියවන එක සුදුසු නැහැ. මේ කොටස් සාකච්ඡා කරන්න වැඩිමහල්ලෙක්ට පැවරුමක් ලැබුණොත් ඔහු ඒකට මුල් තැන දෙන්න ඕනේ.
බව්තීස්ම වෙන්න ආශාවෙන් ඉන්න කිහිපදෙනෙක් එක්ක එක අවස්ථාවකදී සාකච්ඡා කරනවාට වඩා එක් එක් පුද්ගලයා එක්ක වෙන වෙනම සාකච්ඡා කරන එක වඩාත් සුදුසුයි. හැම ප්‍රශ්නයකටම අදහස් දෙන්න බව්තීස්ම නොවූ ප්‍රචාරකයාට අවස්ථාව දෙන එකෙන් ඔහුට බයිබලයේ තියෙන දේවල් කොයි තරම් දුරට අවබෝධ වෙලා තියෙනවාද කියලා තේරුම්ගන්න වැඩිමහල්ලන්ට පුළුවන් වෙනවා. ඔහු බව්තීස්ම වෙන්න සුදුසුද කියලා තීරණය කරන්න ඒක උදව් වෙනවා. ඒ වගේම තමන්ට හැඟෙන විදිහ ගැන නිදහසේ කතා කරන්නත් ඔහු පෙලඹෙයි. විවාහක යුවළක් බව්තීස්ම වෙන්න ආශාවෙන් ඉන්නවා නම් ඔවුන් දෙදෙනා එක්ක එකට ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන්.
බව්තීස්ම වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න සහෝදරියක් එක්ක අදාළ කොටස් සාකච්ඡා කරන්න ඕනෙ අනිත් අයට පෙනෙන නමුත් සාකච්ඡා කරන තොරතුරු අනිත් අයට ඇහෙන්නේ නැති තැනක ඉඳලයි. ඒ සාකච්ඡාවට තව කෙනෙක්ව හවුල් කරගන්න තීරණය කරනවා නම් සාකච්ඡා කරන කොටස අනුව වැඩිමහල්ලෙක්ව හරි සහායක සේවකයෙක්ව හවුල් කරගන්න ඕනේ.
වැඩිමහල්ලන් අඩු සභාවල “බයිබල් සත්‍යයන්” කියන 1වෙනි කොටස සාකච්ඡා කරන්න අවබෝධයෙන් වැඩ කරන, හොඳ විනිශ්චයක් කරන්න පුළුවන් සහායක සේවකයෙක්ට පවරන්න පුළුවන්. ඒත් “ක්‍රිස්තියානි ජීවිතය” කියන 2වෙනි කොටස සාකච්ඡා කරන්න පවරන්න ඕනෙ වැඩිමහල්ලෙක්ටයි. ඒ කොටස් මෙහෙයවන්න සුදුසුකම් ඇති සහෝදරයන් සභාවේ නැත්නම් ළඟපාත සභාවන්වල ඒ සඳහා සුදුසු වැඩිමහල්ලන් ඉන්නවාද කියලා චාරිකා සේවකගෙන් දැනගන්න පුළුවන්.
බාල වයසේ ඉන්න දරුවෙක් එක්ක බව්තීස්ම වෙන්න ආශාවෙන් ඉන්න අය සඳහා තියෙන ප්‍රශ්න සාකච්ඡා කරද්දී දරුවාගේ දෙමාපියන් සත්‍යයේ ඉන්නවා නම් ඒ අයත් සහභාගි වෙන්න ඕනේ. දෙමාපියන්ට ඒ සාකච්ඡාවට සහභාගි වෙන්න බැරි වෙනවා නම් වැඩිමහල්ලන් දෙන්නෙක් (එහෙමත් නැත්නම් සාකච්ඡා කරන කොටසට අනුව තවත් වැඩිමහල්ලෙක් සහ සහායක සේවකයෙක්) ඒකට සහභාගි වෙන්න ඕනේ.
බව්තීස්ම වෙන්න ආශාවෙන් ඉන්න අයට බයිබලයේ මූලික ඉගැන්වීම් ගැන සාධාරණ මට්ටමකින් හොඳ අවබෝධයක් තියෙනවාද කියලා වැඩිමහල්ලන් බලනවා. ඒ වගේම ඒ කෙනාට බයිබලයේ සඳහන් සත්‍යයන් ගැනත් යෙහෝවා දෙවියන්ගේ සංවිධානය ගැනත් හිතේ ලොකු අගයක් තියෙනවාද කියලත් වැඩිමහල්ලන් බලනවා. බව්තීස්ම වෙන්න ආශාවෙන් ඉන්න කෙනාට බයිබලයේ මූලික ඉගැන්වීම් ගැන ප්‍රමාණවත් අවබෝධයක් නැත්නම් ඒ දේවල් හොඳින් තේරුම් අරන් ඉදිරියේදී බව්තීස්ම වෙන්න අවශ්‍ය කරන සුදුසුකම් අත් කරගන්න ඔහුට උදව් කරන්න වැඩිමහල්ලන් සැලසුම් කරනවා. තවත් අයට දේශනා සේවයට සම්බන්ධ වැඩකටයුතු ගැන එහෙමත් නැත්නම් සංවිධානයේ සැලසුම්වලට කීකරු වෙන එක ගැන ඉගෙනගන්න තව කාලයක් ඕනෙ වෙයි. බව්තීස්ම වෙන්න ආශාවෙන් ඉන්න කෙනා ඇත්තටම බව්තීස්ම වෙන්න සුදුසුද කියලා වැඩිමහල්ලන් හොඳින් තේරුම්ගන්න ඕනේ. සාකච්ඡාව පවත්වන පැයක විතර කාලය ඒ වෙනුවෙන් යොදවන විදිහ අදාළ වැඩිමහල්ලන් සැලසුම් කරන්න ඕනේ. ප්‍රචාරකයා සමහර ප්‍රශ්නවලට ඉක්මනින්ම උත්තර දෙයි. තවත් ප්‍රශ්නවලට උත්තර දෙන්න ටික වෙලාවක් යයි. කොහොමවුණත් කොටස්වලට අදාළ හැම ප්‍රශ්නයක්ම අනිවාර්යයෙන්ම අහන්න ඕනේ.
2වෙනි කොටසත් සාකච්ඡා කරලා ඉවර වුණාට පස්සේ අදාළ කොටස් මෙහෙයවපු වැඩිමහල්ලන් එකතු වෙලා ප්‍රචාරකයා බව්තීස්ම වෙන්න සුදුසුද නැද්ද කියලා තීරණය කරනවා. එක් එක් පුද්ගලයා හැදිලා වැඩිලා තියෙන පසුබිම, ඔවුන්ගේ හැකියාවන් සහ වෙනත් තත්වයන් සැලකිල්ලට අරන් තමයි වැඩිමහල්ලන් ඒ දේ තීරණය කරන්නේ. වැඩිමහල්ලන් මූලිකවම බලන්නේ බව්තීස්ම නොවූ ප්‍රචාරකයා මූලික බයිබල් ඉගැන්වීම් හොඳින් අවබෝධ කරගෙන තියෙනවාද, යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගෙන තියෙනවාද කියන කාරණා ගැනයි. වැඩිමහල්ලන් ප්‍රේමණීයව උපකාර කරද්දී ශුභාරංචිය ප්‍රකාශ කරන්නන් විදිහට තමන්ට පැවරිලා තියෙන කාර්යය හොඳින් ඉටු කරන්න බව්තීස්ම වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට පුළුවන් වෙනවා.
සාකච්ඡාව කරපු එක වැඩිමහල්ලෙක් හරි වැඩිමහල්ලන් දෙන්නාම හරි ප්‍රචාරකයා බව්තීස්ම වෙන්න සුදුසුද නැද්ද කියලා ඔහුට දැනුම් දෙන්න ඕනේ. ඔහු බව්තීස්ම වෙන්න සුදුසුයි නම් මේ පොතේ 206-207 දක්වා පිටුවල සඳහන් වෙන “බව්තීස්ම වෙන්න ඉන්න අයත් එක්ක පවත්වන අන්තිම සාකච්ඡාව” යන කොටස ඔහුත් එක්ක සලකා බලන්න ඕනේ. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොත සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා ඉවර නැත්නම් බව්තීස්මයෙන් පසුවත් ඒ පොත සාකච්ඡා කරන්න ඔහුව උනන්දු කරන්න. ඔහු බව්තීස්ම වුණ දිනය ඔහුගේ නමින් තියෙන ‘සභාවේ ප්රචාරක වාර්තාවට’ ඇතුළත් කරනවා කියලා බව්තීස්ම වෙන්න ආශාවෙන් ඉන්න කෙනාට කියන්න. වැඩිමහල්ලන් ඒ වාර්තාවට ඔහුගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් කරන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත නමස්කාර කටයුතු පිළිවෙළකට කරන්න වගේම ඔහුට නමස්කාරයට සම්බන්ධ කටයුතුවලට සහභාගි වෙන්නත් දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න අවශ්‍ය උපකාර ලබා දෙන්නත් කියලා ඔහුට මතක් කරන්න. ඔහුගේ පෞද්ගලික තොරතුරු jw.org වෙබ් අඩවියේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත දත්ත රැකීම පිළිබඳ ප්‍රතිපත්තියට එකඟව හසුරුවනවා කියලත් ඔහුට මතක් කරන්න. විනාඩි දහයකින් හරි ඊට අඩු කාලයකින් හරි මේ සාකච්ඡාව අවසන් කරන්න.
ප්‍රචාරකයා බව්තීස්ම වෙලා අවුරුද්දක් ගියාට පස්සේ වැඩිමහල්ලන් දෙන්නෙක් ඔහුව හමු වෙලා ඔහුට අවශ්‍ය කරන දිරිගැන්වීම් සහ දියුණු වෙන්න උපකාරවත් වන යෝජනා ලබා දෙන්න ඕනේ. ඒ දෙන්නා අතරින් එක වැඩිමහල්ලෙක් ප්රචාරකයාගේ කණ්ඩායම භාර වැඩිමහල්ලා වෙන්න ඕනේ. අලුතින් බව්තීස්ම වුණේ බාල වයසේ දරුවෙක් නම් සත්‍යයේ ඉන්න ඔහුගේ දෙමාපියනුත් එතැන ඉන්න ඕනේ. වැඩිමහල්ලන් ඒ අවස්ථාවේදී කතා කරන්න ඕනෙ මිත්රශීලීව වගේම දිරිගැන්වෙන විදිහටයි. ඒ වෙද්දී ඔහු නමස්කාර කටයුතු සම්බන්ධයෙන් ලබලා තියෙන දියුණුව ගැන වැඩිමහල්ලන් කතා කරයි. ඒ වගේම පෞද්ගලික අධ්‍යයනය, බයිබල් කියවීම, පවුලේ නමස්කාරය, රැස්වීම්වලට සහභාගි වීම සහ උද්යෝගයෙන් සේවයේ හවුල් වීම දිගටම කරන්න පුළුවන් විදිහ ගැනත් ඔවුන් යෝජනාවන් දෙයි. (එෆී. 5:15, 16) ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොත සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවර නැත්නම් සභාවේ කෙනෙක්ට ඔහු එක්ක ඒ පොත සාකච්ඡා කරන්න වැඩිමහල්ලන් සැලසුම් කරන්න ඕනේ. ඔහුව අගය කරන්න. එක කරුණක් හරි දෙකක් හරි පදනම් කරගෙන ඔහුට උපදෙස් සහ දියුණු වෙන්න පුළුවන් විදිහ ගැන යෝජනා දෙන එක ප්‍රමාණවත්.