ප්‍රශ්න පෙට්ටිය
◼ බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් බව්තීස්ම වීමට සුදුසුකම් ලබන්න නම් රැස්වීම් හා දේවසේවයේ කොතරම් දුරට සහභාගි විය යුතුද?
පුද්ගලයෙක්ගේ ජීවිතයේ වැදගත්ම තීරණය බව්තීස්ම වීමට ගන්නා තීරණයයි. ඒ නිසා බව්තීස්ම වීමට සුදුසුකම් ලබන්න නම් දෙවි ඔහුගෙන් බලාපොරොත්තු වන දේ ගැන සාධාරණ අවබෝධයක් ඔහුට තිබිය යුතුයි. ඊට අමතරව දෙවිගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වීමට අධිෂ්ඨාන කරගෙන සිටින බව ඒ වන විටත් ඔහු පෙන්වා තිබිය යුතුයි.
රැස්වීම් අතපසු නොකරන්න කියා ක්‍රිස්තියානීන්ට අණ කර තිබෙන නිසා බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් උනන්දුවෙන් රැස්වීම් පැමිණෙන කෙනෙක් විය යුතුයි. (හෙබ්‍රෙ. 10:24, 25) ඔහු මේ වන විට රැස්වීමේදී පිළිතුරු දෙනවත් ඇති. බොහෝදුරට සේවා පාසැලට ඇතුළත් වෙලත් ඇති. නමුත් එය අනිවාර්යය නෑ.
දේශනා කිරීමත් යේසුස්ගේ ගෝලයන් වෙන්න අනිත් අයට උදව් කිරීමත් ක්‍රිස්තියානීන්ට පවරා තිබෙන වගකීමක්. (මතෙ. 24:14; 28:19, 20) ඒ නිසා බව්තීස්ම නොලත් ප්රචාරකයාද නිතිපතා ඊට හවුල් විය යුතුයි. ඒත් බව්තීස්ම වීමට පෙර කොතරම් මාස ගණනක් එසේ කර තිබිය යුතුද? ඔහු මේ සේවයේ හවුල් වෙන්නේ අවංක හදවතින්මද කියාත් නොකඩවාම එහි හවුල් වීමට අධිෂ්ඨානයක් තියෙනවද කියාත් දැනගැනීමට ප්‍රමාණවත් කාලයක් දීම සුදුසුයි. (ගීතා. 78:37) නමුත් දීර්ඝ කාලයක් බලා සිටින්න අවශ්‍ය නැහැ. සමහරවිට මාස කිහිපයක් ප්‍රමාණවත් වෙයි. මාසයකට කොතරම් පැය ප්‍රමාණයක් වාර්තා කළ යුතුද? ඒකට නීතියක් නැහැ. වැඩිමහල්ලන්ට හැකියි එක් එක් ප්රචාරකයාගේ තත්වයන් සාධාරණව සලකා බලන්න.—ලූක් 21:1-4.
එක් එක් බව්තීස්ම අපේක්ෂකයාගේ තත්වය වෙනස් බව වැඩිමහල්ලන් (වැඩිමහල්ලන් අඩු සභාවල සිටින සහායක සේවකයන්) තේරුම්ගත යුතුයි. ඒ නිසා බව්තීස්ම වීමට සුදුසුද නැද්ද කියා තීරණය කිරීමේදී එක් එක් අපේක්ෂකයාගේ තත්වයන් හොඳින් කිරා මැන බැලිය යුතුයි. ඒ අපේක්ෂකයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වීම හා සංවිධානයේ සාමාජිකයෙක් වීම ඇත්තටම වරප්‍රසාදයක් ලෙස සලකනවාද කියා වැඩිමහල්ලන් බලනවා. බව්තීස්ම ලත් ප්‍රචාරකයෙක් තරම් සත්‍යය තුළ දියුණුවක්වත් අද්දැකීම් ලත් කෙනෙක්ගේ තරම් හැකියාවන්වත් ඔහුගෙන් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. අපේක්ෂකයාට බව්තීස්ම වීමට සුදුසුකම් නැහැ කියලා වැඩිමහල්ලන්ට හැඟෙනවා නම් ඊට හේතු වන බයිබල් පදනම හා අවශ්‍ය මඟ පෙන්වීම් කාරුණිකව ලබා දිය යුතුයි.