6වෙනි පාඩම
අලුත්ම පොළොවකට ආපු අටදෙනා
නෝවායි එයාගේ පවුලේ අයයි සත්තුයි නැව ඇතුළට ගියා. යෙහෝවා දෙවියන් නැවේ දොර වැහුවාම වහින්න පටන්ගත්තා. මුළු පොළොවම වතුරෙන් පිරුණා. නරක මිනිස්සු හැමෝම මැරුණා. ඒත් නෝවායි පවුලේ අයයි බේරුණා. යෙහෝවාට කීකරු වුණු එක ගැන එයාලා කොච්චර සතුටු වෙන්න ඇද්ද!
දවස් 40ක් රෑ දවල් එක දිගටම වැස්සා. වැස්ස නතර වුණාම වතුර ටික ටික බහින්න පටන්ගත්තා. නැව නතර වුණේ කන්දක් උඩ. ඒත් පොළොව වතුරෙන් යට වෙලා තිබුණු නිසා නැවේ හිටපු අයට එළියට එන්න බැරි වුණා.
නෝවායි එයාගේ පවුලේ අයයි නැව ඇතුළේ අවුරුද්දකට වඩා කාලයක් හිටියාට පස්සේ යෙහෝවා එයාලට කිව්වා නැවෙන් එළියට එන්න කියලා. නරක මිනිස්සු කවුරුත් නැහැ. ඒක හරියට අලුත්ම පොළොවක් වගෙයි. ජලගැල්මෙන් බේරගත්ත එක ගැන ස්තුති කරන්න එයාලා යෙහෝවාට පූජාවක් ඔප්පු කළා.
යෙහෝවා ඒ ගැන හුඟක් සතුටු වුණා. දෙවියන් පොරොන්දු වුණා ආයෙ කවදාවත් ජලගැල්මක් ගෙනල්ලා පොළොවේ තියෙන හැම දෙයක්ම විනාශ කරන්නේ නැහැ කියලා. ඒක මතක් වෙන්න දෙවියන් ලස්සන දේදුන්නක් හැදුවා. ඒක තමයි පළවෙනි දේදුන්න. ඔයා දේදුන්නක් දැකලා තියෙනවාද?
යෙහෝවා නෝවාටත් එයාගේ පවුලේ අයටත් කිව්වා දරුවන්ව හදලා මුළු පොළොවම පුරවන්න කියලා.
‘නෝවා නැවට ඇතුල් වුණා. ජලගැල්ම ඇවිත් හැමෝවම ගහගෙන යන කල් එයාලා [මිනිස්සු] සිද්ධ වෙන දේවල් ගාණකටවත් ගත්තේ නැහැ.’—මතෙව් 24:38, 39