12වෙනි පාඩම
උරුමය ලැබුණේ යාකොබ්ට
ඊසාක් රෙබෙකාව විවාහ කරගද්දී එයාට වයස 40යි. එයා රෙබෙකාට හුඟක් ආදරේ කළා. එයාලට පුත්තු දෙන්නෙක් හම්බ වුණා. ඒ දෙන්නා නිවුන්නු.
වැඩිමලා ඒසව්. බාල පුතා යාකොබ්. ඒසව් ආස වුණේ එළියට ගිහිල්ලා දඩයම් කරන්න. ඒත් යාකොබ් ආස වුණේ ගෙදර ඉඳන් වැඩ කරන්න.
ඒ කාලේ පවුලක තාත්තා මැරුණාම එයාට අයිති ඉඩම්වලින්, සල්ලිවලින් වැඩි කොටසක් දෙන්නේ වැඩිමල් පුතාට. ඒකට කියන්නේ උරුමය කියලා. ඊසාක්ගේ පවුලේ උරුමයට යෙහෝවා ආබ්‍රහම්ට දුන්න පොරොන්දුත් අයිති වුණා. ඒසව්ට ඒ පොරොන්දු ගැන අගයක් තිබුණේ නැහැ. ඒත් යාකොබ් දැනන් හිටියා ඒ පොරොන්දු කොච්චර වටිනවාද කියලා.
දවසක් ඒසව් දඩයමේ ගිහින් හුඟක් මහන්සි වෙලා ගෙදර ආවා. ඒ වෙලාවේ යාකොබ් රස කෑමක් උයඋය හිටියේ. ඒකේ සුවඳ දැනිලා ඒසව් යාකොබ්ට මෙහෙම කිව්වා. ‘මට බඩගිනියි. ඔය රතු පාට කෑමෙන් ටිකක් මට දෙන්න.’ එතකොට යාකොබ් මෙහෙම කිව්වා. ‘ඔයාට අයිති උරුමය මට දෙනවා කියලා පොරොන්දු වුණොත් මං ඔයාට කෑම දෙන්නම්.’ ඒසව් කිව්වේ මෙහෙමයි. ‘මට ඔය උරුමයෙන් වැඩක් නැහැ. ඒක ඔයා ගන්න. මට දැන් කන්නයි ඕනේ.’ ඒසව් කළේ හරි දෙයක් කියලා ඔයා හිතනවාද? කෑම ටිකක් ගන්න එයා ගොඩක් වටින දෙයක් නැති කරගත්තා.
වයසට ගියාම ඊසාක්ට ඕන වුණා එයාගේ වැඩිමල් පුතාට ආශීර්වාද කරන්න. ඒත් රෙබෙකා ඒ ආශීර්වාදය යාකොබ්ට ගන්න උදව් කළා. ඒක ආරංචි වුණාම ඒසව්ට හුඟක් කේන්ති ගියා. එයාට ඕන වුණේ යාකොබ්ව මරන්න. යාකොබ්ව ආරක්ෂා කරගන්න ඕන නිසා ඊසාකුයි රෙබෙකායි යාකොබ්ට මෙහෙම කිව්වා. ‘අයියාගේ කේන්තිය අඩු වෙන කල් ඔයාගේ මාමා ලාබන්ගේ ගෙදරට වෙලා ඉන්න.’ යාකොබ් ඒකට කීකරු වෙලා ජීවිතේ බේරගන්න ගෙදරින් ගියා.
“ඇත්තටම මනුස්සයෙක් මුළු ලෝකයම ලබාගත්තත් එයාට ජීවිතේ නැති වුණොත් ඒකෙන් ඇති වැඩක් තියෙනවාද? ඇත්තටම මොනවා දීලාද මනුස්සයෙක්ට තමන්ගේ ජීවිතේ ලබාගන්න පුළුවන්?”—මාක් 8:36, 37