13වෙනි පාඩම
යාකොබ් සහ ඒසව් සමාදාන වෙලා
යෙහෝවා යාකොබ්ට පොරොන්දු වුණා ආබ්රහම්වයි ඊසාක්වයි ආරක්ෂා කළා වගේ එයාවත් ආරක්ෂා කරනවා කියලා. යාකොබ් හාරාන්වල පදිංචි වෙලා විවාහ වුණා. එයාගේ පවුලට හුඟක් දරුවන් එකතු වුණා. එයා ලොකු පෝසතෙකුත් වුණා.
යෙහෝවා යාකොබ්ට කිව්වා ‘ඔයාගේ ගමට ආයෙත් යන්න’ කියලා. ඒ නිසා යාකොබ් එයාගේ පවුලේ අයත් එක්ක ඒ ගමන යන්න පටන්ගත්තා. යන ගමන් යාකොබ්ගේ සේවකයන් ඇවිත් මෙහෙම කිව්වා, ‘මිනිස්සු 400ක් එක්ක ඔයාගේ අයියා එනවා.’ ඒසව් එයාලට කරදර කරයි කියලා බය වුණු නිසා යාකොබ් යෙහෝවාට කිව්වා ‘මගේ අයියාගෙන් මාව බේරගන්න’ කියලා. ඊළඟ දවසේ යාකොබ් ඒසව්ට තෑගි විදිහට බැටළුවෝ, එළුවෝ, එළදෙනුන්, ඔටුවෝ, බූරුවෝ වගේ සත්තුන්ව යැව්වා.
එදා රෑ යාකොබ් තනියම ඉද්දී දේවදූතයෙක්ව දැක්කා. ඒ දේවදූතයා යාකොබ් එක්ක උදේ වෙන කල්ම පොරබැද්දා. කොච්චර අමාරු වුණත් යාකොබ් ඒක අත්හැරියේ නෑ. ඒ නිසා දේවදූතයා යාකොබ්ට කිව්වා “මට යන්න දෙන්න” කියලා. ඒත් යාකොබ් කිව්වා “ඔයා මට ආශීර්වාද කරන කල් මං ඔයාට යන්න දෙන්නේ නැහැ” කියලා.
අන්තිමේදී දේවදූතයා යාකොබ්ට ආශීර්වාද කළා. එතකොට යාකොබ් දැනගත්තා ඒසව්ගෙන් එයාට කරදරයක් වෙන්න යෙහෝවා ඉඩ දෙන්නේ නෑ කියලා.
යාකොබ් දැක්කා ඒසව් 400දෙනෙක් එක්ක එනවා. එයා පවුලේ අයට ඉස්සරහින් ගිහින් හත් පාරක්ම ඔළුව නමලා ඒසව්ට ආචාර කළා. ඒසව් දුවලා ඇවිත් යාකොබ්ව බදාගත්තා. දෙන්නාගෙම ඇස්වල කඳුළු. ඒ විදිහට ඒ දෙන්නා සමාදාන වුණා. ඒ වෙලාවේ යාකොබ් වැඩ කරපු විදිහ ගැන යෙහෝවාට කොහොම හැඟෙන්න ඇති කියලද ඔයා හිතන්නේ?
ඊටපස්සේ ඒසව් ආයෙත් එයාගේ ගෙදරට ගියා. යාකොබ් දිගටම එයාගේ ගමන ගියා. යාකොබ්ට පුත්තු 12දෙනෙක් හිටියා. එයාලාගේ නම් රූබෙන්, සිමියොන්, ලෙවී, යූදා, දාන්, නෆ්තලී, ගාද්, ආෂෙර්, ඉසකාර්, සෙබ්යූලන්, යෝසෙප් සහ බෙන්ජමින්. යෙහෝවා තමන්ගේ සෙනඟව බේරගත්තේ යෝසෙප් මාර්ගයෙන්. ඒ කොහොමද කියලා අපි බලමු.
“ඔයාලාගේ සතුරන්ට දිගටම ආදරේ කරන්න. ඔයාලට පීඩා කරන අය වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න. එහෙම කරන එකෙන් ඔයාලා ස්වර්ගයේ ඉන්න ඔයාලාගේ පියාණන්ගේ දරුවන් කියලා ඔප්පු වෙනවා.”—මතෙව් 5:44, 45