36වෙනි පාඩම
යෙප්තා දීපු පොරොන්දුව
ඊශ්‍රායෙල්වරු ආයෙත් බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන්ගත්තා. අම්මොන්වරු ඊශ්‍රායෙල්වරු එක්ක සටන් කරද්දී ඒ බොරු දෙවිවරු එයාලට උදව් කළේ නැහැ. අවුරුදු ගාණක්ම එයාලා දුක් වින්දා. අන්තිමේදී එයාලා යෙහෝවාට මෙහෙම කිව්වා. ‘අපි හුඟක් වැරදි කළා. අනේ අපිව සතුරන්ගෙන් බේරගන්න.’ ඊටපස්සේ ඊශ්‍රායෙල්වරු නමස්කාර කරන්න හදපු රූප විනාශ කරලා යෙහෝවාට නමස්කාර කරන්න පටන්ගත්තා. එයාලා දුක් විඳිනවාට යෙහෝවා කැමති වුණේ නැහැ.
අම්මොන්වරු එක්ක කරපු සටනේ නායකයා විදිහට වැඩ කළේ දක්ෂ සටන්කරුවෙක් වුණු යෙප්තා. එයා යෙහෝවාට මෙහෙම කිව්වා. ‘ඔයා අපිට මේ සටන දිනන්න උදව් කළොත් මං ගෙදර යද්දී මාව හම්බ වෙන්න මුලින්ම ගෙදරින් එළියට එන කෙනාව ඔයාට දෙන්නම්.’ එයා ඉල්ලපු විදිහටම යෙහෝවා සටන දිනන්න එයාට උදව් කළා.
යෙප්තා ගෙදර යද්දී එයාව හම්බ වෙන්න මුලින්ම එළියට ආවේ එයාගේ එකම දරුවා. හරිම සතුටින් රබානකුත් අතේ තියන් නටනට එන එයාගේ දුවව දැක්කාම යෙප්තා මොනවා කරන්න ඇද්ද? දෙවියන්ට දීපු පොරොන්දුව ගැන මතක් වෙලා එයා මෙහෙම කිව්වා. ‘අනේ මගේ දුවේ, මට දැනෙන දුක විස්තර කරන්න වචන නෑ! මං යෙහෝවාට පොරොන්දුවක් වුණා. ඒක ඉටු කරන්න නම් ෂීලෝවල තියෙන ශුද්ධ කූඩාරමේ සේවය කරන්න ඔයාව යවන්න වෙනවා.’ එතකොට දුව මෙහෙම කිව්වා. ‘තාත්තේ, ඔයා යෙහෝවාට පොරොන්දුවක් වුණා නම් ඒ විදිහටම කරන්න. ඒත් ඊට කලින් කඳුකරයට ගිහින් මගේ යාළුවන් එක්ක ඉන්න මට මාස දෙකක් දෙන්න.’ යෙප්තාගේ දුව හැම දවසකම ශුද්ධ කූඩාරමේ ඉඳන් දෙවියන්ට විශ්වාසවන්තව සේවය කළා. එයාගේ යාළුවන් එයාව බලන්න හැම අවුරුද්දේම එහෙට ගියා.
“මට වඩා පුතාට හරි දුවට හරි ආදරේ කරන කෙනාත් මගේ ගෝලයෙක් වෙන්න සුදුසු නැහැ.”—මතෙව් 10:37