52වෙනි පාඩම
යෙහෝවා දෙවියන්ගේ හමුදාව
සිරියාවේ බෙන්හාදද් රජ කීප සැරයක්ම ඊශ්‍රායෙල්වරු එක්ක සටනට ආවා. හැබැයි ඒ හැම වෙලාවෙම අනාගතවක්තෘ එලිෂා ඊශ්‍රායෙල් රජට ඒ ගැන දැනුම් දීපු නිසා රජගේ ජීවිතේ බේරුණා. ඒ නිසා බෙන්හාදද්ට ඕන වුණා එලිෂාව අල්ලගන්න. එලිෂා ඉන්නේ දොතාන් නගරයේ කියලා දැනගත්තාම එයාව අල්ලගන්න රජ සෙබළුන්ව යැව්වා.
එදා රෑ සිරියානු හමුදාව දොතාන් නගරයට ගියා. පහුවෙනිදා උදේ එයාලා මුළු නගරයම වට කරගෙන කියලා එලිෂාගේ සේවකයා දැක්කාම එයා හොඳටම බය වුණා. එයා එලිෂාගෙන් ඇහුවා “අපි දැන් මොකද කරන්නේ” කියලා. එතකොට එලිෂා කිව්වා “එයාලා එක්ක ඉන්න අයට වඩා ලොකු කට්ටියක් අපිත් එක්ක ඉන්නවා” කියලා. ඒ වෙලාවේ ගින්දර වගේ පෙනුණ අශ්වයනුත් අශ්ව රථත් කඳුකරය පුරාම ඉන්න විදිහ යෙහෝවා ඒ සේවකයාට පෙන්නුවා.
සිරියානු හමුදාව එලිෂාව අල්ලගන්න හැදුවාම එලිෂා යාච්ඤා කරලා කිව්වා ‘යෙහෝවා දෙවියනි, මේ අයගේ ඇස් අන්ධ කරන්න’ කියලා. ඒ වෙලාවේ එයාලාගේ ඇස් අන්ධ වුණේ නැතත් එයාලා ඉන්නේ කොහේද කියන එක ගැන එයාලට තේරුණේ නැහැ. එලිෂා එයාලට මෙහෙම කිව්වා. ‘ඔයාලා යන්නේ වැරදි පාරේ. ඔයාලා හොයන කෙනා ළඟට මං ඔයාලව එක්කන් යන්නම්.’ අන්තිමේදී එලිෂා එයාලව ඊශ්‍රායෙල් රජ හිටිය සමාරියටම එක්කන් ගියා.
වෙච්ච දේ සිරියානුවන් තේරුම්ගද්දී එයාලා පරක්කු වැඩියි. ඊශ්‍රායෙල් රජ එලිෂාගෙන් ඇහුවා ‘මං මෙයාලව මරලා දාන්නද’ කියලා. අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් එලිෂා එයාලව මරන්න කියයිද? නැහැ. එයා මෙහෙම කිව්වා. ‘එයාලව මරන්න එපා. කන්න, බොන්න දීලා එයාලව ආපහු යවන්න.’ රජ කෑම ගොඩක් එයාලට දීලා එයාලව යැව්වා.
“දෙවියන්ගේ කැමැත්තට එකඟව අපි දෙයක් ඉල්ලලා යාච්ඤා කළොත් ඔහු අනිවාර්යයෙන්ම අපිට ඇහුම්කන් දෙනවා. අපිට ඒ ගැන කිසිම සැකයක් නැහැ.”—1 යොහන් 5:14