58වෙනි පාඩම
යෙරුසලම විනාශ වෙයි
යූදා රාජ්‍යයේ අය දිගින් දිගටම යෙහෝවාට අකීකරු වෙලා බොරු දෙවිවරුන්ට නමස්කාර කළා. යෙහෝවා අවුරුදු ගාණක්ම හුඟක් අනාගතවක්තෘවරුන්ව එවලා එයාලට උදව් කරන්න හැදුවත් එයාලා ඇහුම්කන් දුන්නේ නැහැ. එයාලා අනාගතවක්තෘවරුන්ව සවුත්තු කරලා කතා කළා.
බැබිලෝනියේ නෙබුකද්නෙෂර් රජ රටවල් එකින් එක අල්ලගන්න පටන්ගත්තා. එයා යෙරුසලමත් අල්ලගෙන යෙහෝයාකිම් රජවයි අධිපතීන්වයි යුද්ධයට දක්ෂ අයවයි කර්මාන්තකරුවන්වයි බැබිලෝනියට අරන් ගියා. දේවමාලිගාවේ තිබුණු වටිනා හැම දේමත් අරන් ගියා. ඊටපස්සේ එයා යූදා දේශයේ රජ විදිහට ශෙදකියාව පත් කළා.
මුලදී ශෙදකියා නෙබුකද්නෙෂර්ට කීකරු වෙලා හිටියා. ඒත් ළඟ හිටිය ජාතීන්වල අයයි බොරු අනාගතවක්තෘවරුයි ශෙදකියාට කිව්වා ‘බැබිලෝනියේ රජට විරුද්ධව කැරලිගහන්න’ කියලා. යෙරෙමියා මෙහෙම කිව්වා. ‘කැරලිගැහුවොත් යූදා දේශයේ හුඟක් අය මැරෙයි. සාගත, වසංගත එයි.’
ශෙදකියා අවුරුදු අටක් රජකම් කළාට පස්සේ එයා බැබිලෝනිවරුන්ට විරුද්ධව කැරලිගහන්න පටන්ගත්තා. ඒකට ඊජිප්තු හමුදාවේ උදව්වත් ගත්තා. බැබිලෝනිවරු ඇවිත් යෙරුසලම වටේ කඳවුරු ගහගත්තා. ඒ වෙලාවේ යෙරෙමියා ශෙදකියාට මෙහෙම කිව්වා. ‘යෙහෝවා කියනවා ඔයා බැබිලෝනියට යටත් වුණොත් ඔයායි නගරයයි බේරෙයි කියලා. එහෙම කළේ නැත්නම් බැබිලෝනිවරු නගරය විනාශ කරලා ඔයාව හිරකාරයෙක් විදිහට අරන් යයි’ කියලත් කිව්වා. එතකොට ශෙදකියා කිව්වා ‘මං යටත් වෙන්නේ නෑ’ කියලා.
අවුරුදු එකහාමාරකට පස්සේ බැබිලෝනිවරු යෙරුසලමේ ලොකු තාප්ප කඩලා මුළු නගරේම ගිනි තිබ්බා. හුඟක් අයව මැරුවා. දහස් ගාණක්ව හිරකාරයෝ විදිහට අරන් ගියා.
ශෙදකියා යෙරුසලමෙන් පැනලා ගියත් බැබිලෝනිවරු එයා පස්සෙන් ගිහින් යෙරිකෝව ළඟදී එයාව අල්ලගෙන නෙබුකද්නෙෂර් ළඟට අරන් ගියා. බැබිලෝනියේ රජ ශෙදකියා බලන් ඉද්දීම එයාගේ පුතාලව මරලා එයාගේ ඇස් අන්ධ කරලා හිරේට දැම්මා. පස්සේ එයා හිරේදීම මැරුණා. ඒත් යෙහෝවා යූදා දේශයේ අයට කිව්වා ‘අවුරුදු 70කට පස්සේ මං ඔයාලව ආයෙත් යෙරුසලමට එක්කන් යනවා’ කියලා.
බැබිලෝනියට අරන් ගිය යෞවනයන්ට මොනවා වෙයිද? එයාලා දිගටම යෙහෝවාට කීකරුව ඉඳියිද?
“සියලු බලැති තැනැත්තා වන යෙහෝවා දෙවියනි, . . . ඔබ දෙන තීන්දු විශ්වාසවන්තයි, ධර්මිෂ්ඨයි.”—එළිදරව් 16:7