68වෙනි පාඩම
එලිසබෙත්ට දරුවෙක් ලැබෙයි
යෙරුසලමේ තාප්ප ආයෙත් ගොඩනඟලා අවුරුදු 400ක් විතර ගියාට පස්සේ ඒ නුවර ළඟ සෙකරියා කියන පූජකයාත් එලිසබෙත් කියන එයාගේ බිරිඳත් ජීවත් වුණා. විවාහ වෙලා ගොඩක් කාලයක් ගිහින් තිබුණත් එයාලට දරුවන් හිටියේ නැහැ. දවසක් සෙකරියා, දෙවියන්ගේ ශුද්ධස්ථානයට ගිහින් සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරකර ඉද්දී ගාබ්‍රියෙල් දේවදූතයා එයා ඉස්සරහට ආවා. සෙකරියා හුඟක් බය වුණා. ඒත් ගාබ්‍රියෙල් මෙහෙම කිව්වා. ‘බය වෙන්න එපා. මම යෙහෝවාගෙන් සුබ ආරංචියක් අරගෙනයි ආවේ. එලිසබෙත්ට පුතෙක් ලැබෙනවා. එයාට යොහන් කියන නම තියන්න. දෙවියන් එයාව විශේෂ වැඩකට තෝරගෙන තියෙනවා.’ එතකොට සෙකරියා කිව්වා ‘මං කොහොමද ඒක විශ්වාස කරන්නේ, මමයි මගේ බිරිඳයි ගොඩක් වයසයිනේ’ කියලා. ඒ වෙලාවේ ගාබ්‍රියෙල් මෙහෙම කිව්වා. ‘දෙවියන්ගෙන් ලැබුණු පණිවිඩේ විශ්වාස කළේ නැති නිසා දරුවා ඉපදෙන කල් ඔයාට කතා කරන්න බැරි වෙනවා.’
සෙකරියා ශුද්ධස්ථානයෙන් එළියට ආවේ ගොඩක් පරක්කු වෙලා. ඒ නිසා එළියේ හිටිය අයට ඕන වුණා මොනවාද වුණේ කියලා දැනගන්න. ඒත් සෙකරියාට කතා කරන්න බැරි නිසා මොකද වුණේ කියලා එයා අතින් සංඥා කරලා පෙන්නුවා. එතකොට සෙනඟ තේරුම්ගත්තා සෙකරියාට යෙහෝවාගෙන් පණිවිඩයක් ලැබිලා කියලා.
කාලයක් ගියාම එලිසබෙත්ට පුතෙක් ලැබුණා. යාළුවෝයි නෑදෑයෝයි පුතාව බලන්න ආවාම එලිසබෙත් කිව්වා ‘පුතාට යොහන් කියලා නම තියනවා’ කියලා. එතකොට එයාලා මෙහෙම කිව්වා. ‘යොහන් කියලා කවුරුත් ඔයාලාගේ පවුලේ නෑනේ. ඒ නිසා එයාට එයාගේ තාත්තාගේ නම තියන්න.’ එතකොට සෙකරියා ‘දරුවාගේ නම යොහන්’ කියලා ලියලා පෙන්නුවා. ඒ වෙලාවේ ඉඳන් සෙකරියාට කතා කරන්න පුළුවන් වුණා. ඒ පුතා ගැන ආරංචිය මුළු යුදය පුරාම පැතිරුණා. ‘දරුවා ලොකු වුණාම මොන වගේ කෙනෙක් වෙයිද’ කියලා හැමෝම කතා වුණා.
සෙකරියාට දෙවියන්ගේ බලය ලැබිලා එයා මේ අනාවැකිය කිව්වා. ‘යෙහෝවාට ප්‍රශංසාව ලැබෙන්න ඕනේ! අපිව බේරගන්න ගැලවුම්කරුවෙක්ව එවනවා කියලා ඔහු ආබ්‍රහම්ට පොරොන්දු වුණා. යොහන් අනාගතවක්තෘවරයෙක් වෙයි. ගැලවුම්කරුට මාර්ගය සූදානම් කරන්නෙත් එයායි.’
එලිසබෙත්ගේ නෑදෑයෙක් වුණු මරියාටත් විශේෂ සිද්ධියකට මුහුණ දෙන්න වුණා. ඒ ගැන අපි ඊළඟ පාඩමෙන් බලමු.
“මිනිස්සුන්ගේ පැත්තෙන් බලද්දී නම් ඒ දේ කරන්න බැහැ තමයි. හැබැයි දෙවියන්ට නම් ඕනෙම දෙයක් කරන්න පුළුවන්.”—මතෙව් 19:26