70වෙනි පාඩම
දේවදූතයෝ යේසුස්ගේ උපත දැනුම් දෙයි
රෝම අධිරාජ්‍යයේ පාලකයා වුණු ඔගස්ටස් සීසර් යුදෙව්වන්ට කිව්වා එයාලාගේ ගම්වලට ගිහින් ලියාපදිංචි වෙන්න කියලා. ඒ නිසා යෝසෙප් මරියාවත් එක්කගෙන එයාගේ ගම වුණු බෙත්ලෙහෙමට ගියා. ඒ වෙද්දී දරුවා ඉපදෙන්න කාලය ළං වෙලයි තිබුණේ.
බෙත්ලෙහෙමේ කිසිම තැනක නවතින්න ඉඩ තිබුණේ නැති නිසා එයාලා ගවමඩුවක නැවතුණා. එතනදී තමයි යේසුස් ඉපදුණේ. මරියා පුංචි පුතාව රෙදි පටිවලින් ඔතලා ගවඔරුවක තිබ්බා.
එදා රෑ බෙත්ලෙහෙමට කිට්ටු තැනක එඬේරු ටිකදෙනෙක් බැටළුවෝ බලාගෙන හිටියා. එකපාරටම දේවදූතයෙක් එයාලා ඉස්සරහට ආවාම එතනට ලොකු එළියක් වැටුණා. එඬේරු බය වෙලා හිටිය නිසා දේවදූතයා මෙහෙම කිව්වා. ‘බය වෙන්න එපා. මං ආවේ ඔයාලට සුබ ආරංචියක් කියන්න. බෙත්ලෙහෙමේ අද ගැලවුම්කරු ඉපදුණා.’ එතකොටම තවත් දේවදූතයන් හුඟක් එතනට ඇවිත් මෙහෙම කිව්වා. ‘ස්වර්ගයේ ඉන්න දෙවියන්ට ප්‍රශංසාව ලැබේවා! පොළොවේ ඉන්න මිනිස්සුන්ට සාමය ලැබේවා!’ දේවදූතයන් ගියාට පස්සේ එඬේරු මොකද කළේ?
‘අපි දැන්මම බෙත්ලෙහෙමට යමු’ කියලා එයාලා කතා වුණා. එයාලා ඉක්මනටම ගිහින් ගවමඩුවේ හිටිය යෝසෙප්වයි මරියාවයි පුංචි පුතාවයි හොයාගත්තා.
දේවදූතයන් එඬේරුන්ට කිව්ව දේවල් අහලා හැමෝම හුඟක් පුදුම වුණා. මරියාත් ඒ දේවල් ගැන හොඳට හිතලා ඒ දේවල් එයාගේ හිතේ තියාගත්තා. ඊටපස්සේ එඬේරු එදා එයාලට අහන්න දකින්න ලැබුණු දේවල් ගැන යෙහෝවාට ස්තුති කරකර ආපහු බැටළුවන් බලාගන්න ගියා.
“දෙවියන් තමයි මාව එව්වේ. මං මෙහේ ඉන්නේ ඒ නිසයි. මං ආවේ මගේ තනි කැමැත්තෙන් නෙමෙයි. ඒ තැනැත්තා තමයි මාව එව්වේ.”—යොහන් 8:42