72වෙනි පාඩම
යේසුස්ගේ ළමා විය
යෝසෙප් සහ මරියා යේසුස්වයි අනිත් දුවලා පුතාලාවයි හදා වඩා ගත්තේ නාසරෙත් කියන නගරේ. යෝසෙප් කළේ වඩු වැඩ. එයා පවුලේ අයට යෙහෝවා ගැනත් ඔහුගේ නීති ගැනත් කියලා දුන්නා. එයාලා පවුලක් විදිහට සිනගෝගයට ගියා. හැම අවුරුද්දකම යෙරුසලමේ පවත්වපු පාස්කු උත්සවයටත් ගියා.
යේසුස්ට වයස 12දීත් එයාලා යෙරුසලමට ගියා. පාස්කුව සමරන්න ඇවිත් හිටිය අයගෙන් මුළු නගරයම පිරිලයි තිබුණේ. උත්සවය ඉවර වුණාම යේසුස්ගේ පවුලේ අය ආපහු ගෙදර එන්න පිටත් වුණා. යෝසෙපුයි මරියායි හිතුවේ යේසුත් එයාලත් එක්ක පිටත් වෙන්න ඇති කියලයි. හැබැයි අතරමඟදී එයාලට තේරුණා යේසුස් එයාලාගේ නෑදෑයන් අතරේවත් නැහැ කියලා.
ඒ නිසා එයාලා ආපහු යෙරුසලමට ගිහින් දවස් තුනක්ම යේසුස්ව හෙව්වා. අන්තිමේදී යේසුස් දේවමාලිගාවේ ඉන්නවා එයාලා දැක්කා. ඒ වෙද්දී යේසුස් ගුරුවරුන් මැද්දේ ඉඳන් එයාලා කියන දේවල් අහගෙන, එයාලාගෙන් ප්රශ්නත් අහඅහ හිටියේ. යේසුස්ට තිබුණු දැනුම ගැන පුදුම වුණු ගුරුවරුන් යේසුස්ගෙන් ප්රශ්න ඇහුවා. යෙහෝවාගේ නීතිය ගැන යේසුස්ට හොඳ දැනුමක් තියෙනවා කියලා එයාලා තේරුම්ගත්තා.
මරියා යේසුස්ගෙන් මෙහෙම ඇහුවා. ‘පුතේ, අපි ඔයාව හැම තැනම හෙව්වා. ඔයා කොහෙද හිටියේ?’ යේසුස් උත්තර දුන්නේ මෙහෙමයි. “මගේ තාත්තාගේ ගෘහයේ මං ඉන්න ඕනෙ කියලා ඔයාලා දැනගෙන හිටියේ නැද්ද?”
ඊටපස්සේ යේසුස් දෙමාපියන් එක්ක නාසරෙත්වලට ගියා. යෝසෙප් වඩු වැඩ කරන විදිහ යේසුස්ට කියලා දුන්නා. යෞවන කාලේදී යේසුස් මොන වගේ කෙනෙක් වෙන්න ඇද්ද? ප්රඥාවන්තව වැඩ කරපු යේසුස් දෙවියන්ගෙත් මිනිස්සුන්ගෙත් හිත් දිනාගෙන තිබුණා.
“මගේ දෙවියනි, මගේ එකම සතුට ඔබේ කැමැත්ත කරන එකයි. ඔබේ නීතිය මගේ හිතේ ලියලා තියෙනවා.”—ගීතාවලිය 40:8