ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lvs 4 පරි. 45-59 පි.
  • අධිකාරියක් තියෙන අයට ගරු කරන්න ඕනෙ ඇයි?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අධිකාරියක් තියෙන අයට ගරු කරන්න ඕනෙ ඇයි?
  • දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
  • කියවන්න “දෙවිගේ ප්‍රේමය”
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අධිකාරියක් තියෙන අයට ගරු කරන්න අපිට අමාරු ඇයි?
  • යෙහෝවා දෙවියන්ගේ අධිකාරියට ගරු කරන්න ඕනෙ ඇයි?
  • පවුලේ අයට ගරු කරන්න
  • සභාවේ අයට ගරු කරන්න
  • ආණ්ඩුවේ නිලධාරීන්ට ගරු කරන්න
  • අනිත් අයට ගෞරව කරන්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔබ කෙරෙහි අධිකාරයක් ඇත්තන්ට ගෞරව කරන්න
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ අන් අයට ගෞරව කරන කෙනෙක්ද?
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ගෞරවයට වෙච්ච දෙයක්!
    2024 පිබිදෙව්!
තව තොරතුරු
දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
lvs 4 පරි. 45-59 පි.
තාත්තා කෙනෙක් ආදරෙන් දරුවන්ව නිවැරදි කරමින්

4වෙනි පරිච්ඡේදය

අධිකාරියක් තියෙන අයට ගරු කරන්න ඕනෙ ඇයි?

“සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට ගෞරව කරන්න. ඔබේ සහෝදරයන් වන සියලුදෙනාටම ප්‍රේම කරන්න. දෙවිට ගරුබිය දක්වන්න. රජුටද ගෞරව කරන්න.”—1 පේතෘස් 2:17.

1, 2. (අ) අපි පිළිපදින්න ඕනෙ කාගේ මඟ පෙන්වීම්ද? (ආ) අපි මේ පරිච්ඡේදයෙන් බලන්නේ මොනවා ගැනද?

පුංචි කාලේ දෙමාපියන් කියපු හැම දේටම ඔයා කීකරු වුණේ කැමැත්තෙන්මද? නැහැ නේද? එයාලා ගැන ඔයාගේ හිතේ ආදරයක් තිබුණත් එයාලට කීකරු වෙන්න ඕනෙ කියලා දැනන් හිටියත් සමහර අවස්ථාවලදී කීකරු වෙන්න බැහැ කියලා ඔයාට හිතිලා ඇති.

2 දැන් හිතන්න අපි හැමෝගෙම තාත්තා වන යෙහෝවා දෙවියන් ගැන. ඔහු අපිට කොච්චර ආදරේද! අපිට ඕන කරන හැම දේම ඔහු අපිට දීලයි තියෙන්නේ. සතුටින් ජීවත් වෙන්න ඕන කරන මඟ පෙන්වීමුත් ඔහු අපිට දෙනවා. සමහර අවස්ථාවලදී මිනිසුන් මාර්ගයෙනුත් ඔහු අපිට මඟ පෙන්වනවා. ඒ මඟ පෙන්වීම්වලට කීකරු වෙද්දී අපි පෙන්වන්නේ අපි යෙහෝවා දෙවියන්ට ගරු කරනවා කියලයි. (හිතෝපදේශ 24:21) ඒත් සමහර වෙලාවට මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න අමාරු ඇයි? මඟ පෙන්වීම්වලට අපි කීකරු වෙයි කියලා දෙවියන් බලාපොරොත්තු වෙන්නේ ඇයි? දෙවියන්ගේ අධිකාරියට ගරු කරන්න අපිට පුළුවන් කොහොමද?—9වෙනි අමතර සටහන බලන්න.

අධිකාරියක් තියෙන අයට ගරු කරන්න අපිට අමාරු ඇයි?

3, 4. මිනිසුන්ට පව්කාරකම උරුම වුණේ ඇයි? මඟ පෙන්වීම්වලට කීකරු වෙන එක අමාරු වෙන්නේ ඇයි?

3 මුල් මිනිස් යුවළව දෙවියන් නිර්මාණය කළේ පරිපූර්ණ අය විදිහට. ඒත් එයාලා දෙවියන්ට විරුද්ධව කැරලිගහපු නිසා පව්කාරකම උරුම කරගත්තා. එයාලගෙන් පැවතෙන අපි හැමෝටමත් පව්කාරකම උරුම වෙලයි තියෙන්නේ. යෙහෝවා දෙවියන්ගෙන් සහ මිනිසුන්ගෙන් මඟ පෙන්වීම් ලැබෙද්දී කීකරු වෙන එක අමාරු දෙයක් වෙන්න ඒක එක හේතුවක්. අපිට මඟ පෙන්වීම් දෙන්න දෙවියන් යොදාගන්න මිනිසුන් අතිනුත් වැරදි වෙන එක තවත් හේතුවක්. අපි හැමෝටම විටින් විට කැරලිකාර සිතුවිලි ඇති වෙන්නෙත් ඒ හේතු නිසයි.—උත්පත්ති 2:15-17; 3:1-7; ගීතාවලිය 51:5; රෝම 5:12.

4 අපේ හිත්වල තියෙන උඩඟුකම නිසාත් මඟ පෙන්වීම්වලට කීකරු වෙන එක අමාරු වෙනවා. අතීතයේදී වුණු සිද්ධියකින් ඒක හොඳින්ම තේරුම්ගන්න පුළුවන්. යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට මඟ පෙන්වන්න පාවිච්චි කළේ මෝසෙස්ව. එයා හරිම මෘදු, නිහතමානී කෙනෙක්. බයිබලයේ කියන්නේ ඒ කාලේ එයා තරම් නිහතමානී කෙනෙක් තවත් හිටියේ නැහැ කියලයි. ඒත් මෝසෙස් දීපු මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න කෝරා කැමති වුණේ නැහැ. මුලදී කෝරා දෙවියන්ට විශ්වාසවන්තව හිටියත් පස්සේ උඩඟු වුණා. එයා සෙනඟව එකතු කරගෙන මෝසෙස්ට විරුද්ධව කැරලිගැහුවා. අන්තිමේදී එයාලා හැමෝම මැරුණා. (ගණන් කතාව 12:3; 16:1-3, 31-35) උඩඟු විදිහට වැඩ කරලා නරක ප්‍රතිඵල අද්දැකපු තවත් හුඟක් අය ගැන බයිබලයේ සඳහන් වෙනවා.—2 ලේකම් 26:16-21; 10වෙනි අමතර සටහන බලන්න.

5. පාලකයන් තමන්ගේ බලය අයුතු විදිහට පාවිච්චි කරලා තියෙන්නේ කොහොමද?

5 කෙනෙක්ට බලය ලැබෙද්දී එයා අතින් වංචා, දූෂණ වෙන්න තියෙන ඉඩකඩත් වැඩි වෙනවා. මිනිස් ඉතිහාසයේ ඒකට ඕන තරම් උදාහරණ තියෙනවා. (දේශනාකාරයා 8:9 කියවන්න.) හිතන්න සාවුල් ගැන. යෙහෝවා දෙවියන් එයාව ඊශ්‍රායෙල් දේශයේ රජ විදිහට පත් කරද්දී එයා නිහතමානී, යහපත් කෙනෙක්. ඒත් පස්සේ එයා උඩඟු වුණා. ඊර්ෂ්‍යාව නිසා හරිම අසාධාරණ විදිහට එයා දාවිත්ට හිංසා පීඩා කළා. (1 සාමුවෙල් 9:20, 21; 10:20-22; 18:7-11) පස්සේ කාලෙකදී දාවිත්ට රජකම ලැබුණා. එයා හොඳ රජ කෙනෙක්. හැබැයි කාලයක් ගියාට පස්සේ එයාත් බලය අයුතු විදිහට පාවිච්චි කළා. එයා උරියාගේ බිරිඳ වුණු බැත්-ෂෙබා එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. අන්තිමේදී ඒ වරද වහන්න එයා උරියාව මරන්නත් සැලසුම් කළා.—2 සාමුවෙල් 11:1-17.

යෙහෝවා දෙවියන්ගේ අධිකාරියට ගරු කරන්න ඕනෙ ඇයි?

6, 7. (අ) යෙහෝවා දෙවියන්ට තියෙන ආදරේ නිසා අපි කරන්න පෙලඹෙන්නේ මොනවාද? (ආ) අමාරුයි කියලා හිතෙන අවස්ථාවලදීත් කීකරු වෙන්න යේසුස්ගේ ආදර්ශය අපිට උදව් වෙන්නේ කොහොමද?

6 යෙහෝවා දෙවියන්ගෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට අපි කීකරු වෙන්නේ අපි ඔහුට ආදරේ නිසයි. ඔහු තරම් වටින වෙන කිසිම කෙනෙක්වත් කිසිම දෙයක්වත් අපිට නැහැ. ඒ නිසා අපිට ඕනෙ හැම කාරණාවකදීම ඔහුව සතුටු කරන්න. (හිතෝපදේශ 27:11; මාක් 12:29, 30 කියවන්න.) මුල් මිනිස් යුවළ ජීවත් වුණු කාලේ ඉඳලාම සාතන් උත්සාහ කරන්නේ යෙහෝවා දෙවියන් හොඳ පාලකයෙක් නෙවෙයි කියලත් මිනිසුන්ට මඟ පෙන්වීම් දෙන්න ඔහුට අයිතියක් නැහැ කියලත් පෙන්වන්න. හැබැයි අපි දන්නවා ඒක බොරුවක් කියලා. එළිදරව් 4:11 කියන මේ දේ අපි හදවතින්ම පිළිගන්නවා. “අපගේ බලසම්පන්න දෙවි වන යෙහෝවා, ඔබ සියලු ප්‍රශංසාවත් ගෞරවයත් ලැබීමට වටිනා තැනැත්තාණන්ය. මන්ද සෑම දෙයක්ම සෑදුවේ ඔබය.”

7 කීකරු වෙන්න බැහැ කියලා හිතෙන අවස්ථාවලදීත් ඔයා දෙමාපියන්ට කීකරු වෙන්න ඕනෙ කියලා පොඩි කාලෙදී දෙමාපියන් ඔයාට කියලා දීලා ඇති. සමහර අවස්ථාවලදී යෙහෝවා දෙවියන්ටත් කීකරු වෙන්න අමාරුයි කියලා අපිට හිතෙන්න පුළුවන්. හැබැයි අපි දෙවියන්ට ආදරේ නිසාත් ගරු කරන නිසාත් කොයි වෙලෙත් උත්සාහ කරන්නේ ඔහුට කීකරු වෙන්න. යේසුස් ඒ සම්බන්ධයෙන් කදිම ආදර්ශයක්. අමාරුම අවස්ථාවලදීත් ඔහු දෙවියන්ට කීකරු වුණා. “සිදු විය යුත්තේ මා කැමති දේ නොව ඔබේ කැමැත්තයි” කියලා ඔහු කිව්වේ ඒ නිසයි.—ලූක් 22:42; 11වෙනි අමතර සටහන බලන්න.

8. යෙහෝවා දෙවියන් අපිට මඟ පෙන්වන්නේ මොන වගේ ක්‍රමවලින්ද? (“උපදෙස් පිළිගන්න” කියන කොටුව බලන්න.)

8 යෙහෝවා දෙවියන් විවිධ ක්‍රමවලින් අපිට මඟ පෙන්වනවා. ඔහු යොදාගන්න එක දෙයක් තමයි බයිබලය. වැඩිමහල්ලන් මාර්ගයෙනුත් ඔහු මඟ පෙන්වනවා. එයාලා දෙන මඟ පෙන්වීම් පිළිගද්දී අපි කීකරු වෙන්නේ යෙහෝවා දෙවියන්ට. ඒ මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කරද්දී අපි ප්‍රතික්ෂේප කරන්නේ යෙහෝවා දෙවියන්ව. ඊශ්‍රායෙල්වරු මෝසෙස්ගෙන් ලැබුණු මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කරද්දී යෙහෝවා දෙවියන්ට හැඟුණේ තමන්ව ප්‍රතික්ෂේප කරනවා කියලයි.—ගණන් කතාව 14:26, 27; 12වෙනි අමතර සටහන බලන්න.

උපදෙස් පිළිගන්න

කෙනෙක් බයිබලයෙන් උපදෙසක් දෙද්දී ඒක පිළිගන්න අමාරුයි කියලා ඔයාට හිතෙනවාද? උපදෙස් පිළිගන්න අපිට අමාරු වෙන හේතු තුනක් දැන් බලමු.—හිතෝපදේශ 19:20.

  • උපදෙස අදාළ නැහැ කියලා අපිට හිතෙයි. උපදෙස දීපු කෙනා ‘මං ඉන්න තත්වය හරියට තේරුම් අරන් නැහැ’ කියලා අපිට හිතෙන්න පුළුවන්. (හෙබ්‍රෙව් 12:5) හැබැයි ඒ උපදෙස දෙන්න එයාට හොඳ හේතුවක් තිබුණාද කියලා හිතලා බලන්න. (හිතෝපදේශ 19:3) දීපු උපදෙස පිළිගන්න ඒක උදව් වෙයි.—හිතෝපදේශ 4:13 කියවන්න.

  • උපදෙස දීපු විදිහ හරි නැහැ කියලා අපිට හිතෙයි. හැමෝම අතින් වැරදි වෙනවා. ඒ නිසා කෙනෙක් අපිට උපදෙසක් දෙද්දී ‘ඒකේ කිසිම අඩුවක් තියෙන්න බැහැ’ කියලා හිතන එක සුදුසු නැහැ. (රෝම 3:23; යාකොබ් 3:2) ඒ නිසා කෙනෙක් උපදෙසක් දෙද්දී ඒක දීපු විදිහ ගැන හිතනවා වෙනුවට එයා කියපු දේ ගැනත් ඒක අදාළ කරගන්න පුළුවන් විදිහ ගැනත් හිතන්න.

  • අපේ වයස නැත්නම් අපිට තියෙන අද්දැකීම් නිසා උපදෙස් ඕනෙ නැහැ කියලා අපිට හිතෙයි. අතීතයේ හිටපු රජවරුන්ටත් අනාගතවක්තෘවරුන්ගෙන්, පූජකයන්ගෙන් වගේම තවත් අයගෙන් උපදෙස් ලැබුණා. (2 සාමුවෙල් 12:1-13; 2 ලේකම් 26:16-20) කෙනෙක් අපිට බයිබලයෙන් උපදෙසක් දෙද්දී අපි නිහතමානීව ඒක පිළිගන්නවා නම් දෙවියන් එක්ක අපිට තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්න පුළුවන්.—තීතස් 3:2.

බයිබලයෙන් උපදෙසක් ලැබෙද්දී ඒක ලැබෙන්නේ යෙහෝවා දෙවියන්ගෙන් කියලා අමතක කරන්න එපා. දෙවියන් ඒ උපදෙස් දෙන්නේ අපිට ආදරේ නිසයි. ඒ නිසා ලැබෙන උපදෙස් අදාළ කරගන්න උපරිමයෙන් වෑයම් කරන්න.—හෙබ්‍රෙව් 12:6-11.

9. සහෝදරයන් ගැන තියෙන ආදරේ මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න උදව් වෙන්නේ කොහොමද?

9 මඟ පෙන්වීම්වලට කීකරු වෙද්දී අපි ඇත්තටම අපේ සහෝදරයන්ට ආදරෙයි කියලත් පෙන්වනවා. ආපදාවකට ලක් වෙලා ඉන්න අයව බේරාගන්න කණ්ඩායමක් ගැන හිතන්න. එයාලට සාර්ථකව වැඩ කරන්න නම් ඒ වැඩකටයුතු හොඳින් සැලසුම් කරන්න කෙනෙක් ඉන්න ඕනේ. එයාගෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට හැමෝම කීකරු වෙන්නත් ඕනේ. එක් කෙනෙක් හරි තමන්ට ඕන විදිහට වැඩ කළොත් මොනවා වෙයිද? එයාගේ චේතනාව හොඳ එකක් වුණත් එයා ඒ විදිහට වැඩ කරද්දී කණ්ඩායමේ අනිත් අයගේ ජීවිතත් අනතුරේ වැටෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ අපි යෙහෝවා දෙවියන්ගෙන් සහ ඔහු වගකීම් දීලා තියෙන අයගෙන් ලැබෙන මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කළොත් ඒකෙන් අනිත් අයටත් හානියක් වෙන්න පුළුවන්. හැබැයි යෙහෝවා දෙවියන්ට කීකරු වෙනවා නම් අපි ඇත්තටම අපේ සහෝදරයන්ට ආදරෙයි කියලත් දෙවියන් ඇති කරලා තියෙන සැලැස්මට ගරු කරනවා කියලත් පැහැදිලි වෙනවා.—1 කොරින්ති 12:14, 25, 26.

10, 11. අපි බලන්න යන්නේ මොනවා ගැනද?

10 යෙහෝවා දෙවියන් අපිට මඟ පෙන්වීම් දීලා තියෙන්නේ අපේම යහපතට. ඒ නිසා ඔහු කියන විදිහට අපි අපේ පවුලේ අයට, සභාවේ අයට වගේම ආණ්ඩුවේ නිලධාරීන්ට ගරු කරද්දී හැමෝටම ඒකෙන් ප්‍රයෝජන ලැබෙනවා.—ද්විතීය කතාව 5:16; රෝම 13:4; එෆීස 6:2, 3; හෙබ්‍රෙව් 13:17.

11 අනිත් අයට ගරු කරන්න කියලා දෙවියන් කියන්නේ ඇයි කියන දේ තේරුම්ගත්තොත් අනිත් අයට ගරු කරන්න අපිට ලේසියි. පවුලේ අයට, සභාවේ අයට සහ ආණ්ඩුවේ නිලධාරීන්ට ගරු කරන්න පුළුවන් කොහොමද කියලා දැන් බලමු.

පවුලේ අයට ගරු කරන්න

12. යෙහෝවා දෙවියන්ට ගරු කරන්න ස්වාමිපුරුෂයන්ට පුළුවන් කොහොමද?

12 පවුල කියන සැලැස්ම ඇති කරපු යෙහෝවා දෙවියන් පවුලේ හැමෝටම වගකීම් දීලා තියෙනවා. හැමෝම දෙවියන් තමන්ගෙන් බලාපොරොත්තු වෙන දේ තේරුම් අරන් වැඩ කරද්දී ඒකෙන් මුළු පවුලටම ප්‍රයෝජන ලැබෙනවා. (1 කොරින්ති 14:33) පවුලේ මූලිකයා විදිහට දෙවියන් පත් කරලා තියෙන්නේ ස්වාමිපුරුෂයාව. ඒ වගකීම ඉටු කරන විදිහ ගැන එයා දෙවියන්ට වග කියන්න ඕනේ. එයා බිරිඳව, දරුවන්ව ආදරෙන් රැකබලා ගනියි කියලත් එයාලට ඕන කරන මඟ පෙන්වීම් දෙයි කියලත් දෙවියන් බලාපොරොත්තු වෙනවා. දෙවියන්ට ආදරේ කරන ස්වාමිපුරුෂයෙක් උත්සාහ කරන්නේ යේසුස් සභාවට සලකන විදිහට පවුලේ අයට සලකන්න. ඒකෙන් එයා පෙන්වනවා යෙහෝවා දෙවියන්ට ගරු කරනවා කියලා.—එෆීස 5:23; 13වෙනි අමතර සටහන බලන්න.

තාත්තා කෙනෙක් උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු කියන පොතෙන් දරුවන්ට පාඩමක් කියා දෙමින්

යේසුස්ව ආදර්ශයට ගන්න පියෙක් පවුලේ අයව ආදරෙන් රැකබලා ගන්නවා

13. යෙහෝවා දෙවියන්ට ගරු කරන්න භාර්යාවන්ට පුළුවන් කොහොමද?

13 භාර්යාවන්ටත් දෙවියන් වැදගත් වැඩ කොටසක් භාර දීලා තියෙනවා. දෙවියන්ගේ මඟ පෙන්වීම් පිළිපදින භාර්යාවක් ස්වාමිපුරුෂයා මූලිකත්වය අරන් වැඩ කරද්දී ඒකට උපරිමයෙන් සහාය වෙනවා. පුරුෂයා එක්ක එකතු වෙලා දරුවන්ව හොඳින් පුහුණු කරනවා. අනිත් අයට ගරු කරන්න දරුවන්ට උගන්වන්නේ තමන්ගේ ආදර්ශයෙන්මයි. (හිතෝපදේශ 1:8) පුරුෂයා ගන්න තීරණවලට එයා කැමැත්තෙන්ම සහාය වෙනවා. ගත්ත තීරණයකට එයා එකඟ නැත්නම් ඒ ගැන ආදරයෙන්, ගෞරවයෙන් පුරුෂයා එක්ක කතා කරනවා. පුරුෂයා යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන කෙනෙක් නෙවෙයි නම් භාර්යාවට හුඟක් අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. ඒත් එයා දිගටම පුරුෂයාට ආදරයෙන්, ගෞරවයෙන් සලකද්දී පුරුෂයාත් දවසක දෙවියන්ට නමස්කාර කරන්න ඉඩ තියෙනවා.—1 පේතෘස් 3:1 කියවන්න.

14. යෙහෝවා දෙවියන්ට ගරු කරන්න දරුවන්ට පුළුවන් කොහොමද?

14 යෙහෝවා දෙවියන්ට දරුවන්ව හුඟක් වටිනවා. දෙවියන් දන්නවා වෙන කාටත් වඩා එයාලට ආරක්ෂාව, මඟ පෙන්වීම් ඕනෙ කියලා. ඒ නිසයි එයාලව බලාගන්න වගකීම දෙමාපියන්ට දීලා තියෙන්නේ. දරුවන් කීකරු වෙද්දී දෙමාපියන් ඒ ගැන සතුටු වෙනවා. හැබැයි වැඩියෙන්ම ඒ ගැන සතුටු වෙන්නේ යෙහෝවා දෙවියන්. (හිතෝපදේශ 10:1) හුඟක් පවුල්වල ඉන්නේ අම්මා හරි තාත්තා හරි විතරයි. පවුලේ හැමෝටම ඒක අභියෝගයක්. ඒ වගේ පවුලක වුණත් දරුවන් කීකරුව සහයෝගෙන් වැඩ කරද්දී ප්‍රශ්න ගැටලු අඩු කරගන්න පුළුවන්. ඕනම පවුලක ප්‍රශ්න තිබුණත් හැමෝම දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙනවා නම් හැමෝටම සතුටින් ඉන්න පුළුවන්. පවුල් සැලැස්ම ඇති කරපු යෙහෝවා දෙවියන්වත් ඒකෙන් ගෞරවයට පත් වෙනවා.—එෆීස 3:14, 15.

සභාවේ අයට ගරු කරන්න

15. වගකීම් දරන සහෝදරයන්ට ගරු කරන්න අපිට පුළුවන් කොහොමද?

15 යෙහෝවා දෙවියන් සභාව මාර්ගයෙන් අපිට මඟ පෙන්වනවා. සභාවේ හිස විදිහට දෙවියන් පත් කරලා තියෙන්නේ යේසුස්ව. (කොලොස්සි 1:18) සභාවල ඉන්න අයව රැකබලා ගන්න වගකීම යේසුස් දීලා තියෙන්නේ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට.” (මතෙව් 24:45-47) අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න ඕන කරන තොරතුරු හරිම වෙලාවට දෙන පාලක මණ්ඩලය තමයි අද “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” විදිහට වැඩ කරන්නේ. පාලක මණ්ඩලය දෙන මඟ පෙන්වීම්වලට එකඟව වැඩ කරන වැඩිමහල්ලන්, සහායක සේවකයන් වගේම චාරිකා සේවකයන් ලෝකේ පුරාම තියෙන සභාවල වැඩකටයුතු බලාගන්නවා. අපිව බලාගන්න විදිහ ගැන එයාලා දෙවියන්ට ගණන් දෙන්න ඕනේ. අපි ඒ අයට ගරු කරනවා නම් අපි ඇත්තටම දෙවියන්ට ගරු කරනවා කියලා කියන්න පුළුවන්.—1 තෙසලෝනික 5:12; හෙබ්‍රෙව් 13:17 කියවන්න; 14වෙනි අමතර සටහන බලන්න.

16. වැඩිමහල්ලන්ව සහ සහායක සේවකයන්ව පත් කරන්නේ දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙන් කියලා කියන්නේ ඇයි?

16 දිගටම විශ්වාසවන්තව ඉන්නත් එකමුතුව ඉන්නත් වැඩිමහල්ලන් සහ සහායක සේවකයන් සභාවේ අයට උදව් කරනවා. එයාලටත් පව්කාරකම උරුම වෙලයි තියෙන්නේ. එහෙනම් සුදුසු අයව තෝරාගන්නේ කොහොමද? එයාලට තියෙන්න ඕන සුදුසුකම් ගැන බයිබලයේ වාර්තා කරන්න දෙවියන් තම බලය මාර්ගයෙන් මඟ පෙන්වලා තියෙනවා. (1 තිමෝති 3:1-7, 12; තීතස් 1:5-9) ඒ වගේම කෙනෙක් වැඩිමහල්ලෙක් හරි සහායක සේවකයෙක් හරි වෙන්න සුදුසු තත්වයක ඉන්නවාද කියලා තේරුම්ගන්න වැඩිමහල්ලන් දෙවියන්ගේ බලය ඉල්ලලා යාච්ඤා කරනවා. සභාවල වැඩකටයුතු වෙන්නේ යෙහෝවා දෙවියන්ගේ සහ යේසුස්ගේ අධීක්ෂණය යටතේ කියලා ඒකෙන් පැහැදිලියි. (ක්‍රියා 20:28) සභාව රැකබලා ගන්න පත් කරලා තියෙන ඒ සහෝදරයන් දෙවියන්ගෙන් ලැබුණු වටිනා තෑගි නේද!—එෆීස 4:8.

17. දෙවියන් ඇති කරලා තියෙන සැලැස්මට ගරු කරන්න සහෝදරියන්ට පුළුවන් කොහොමද?

17 සභාවේ යම් වගකීමක් ඉටු කරන්න වැඩිමහල්ලෙක්වත් සහායක සේවකයෙක්වත් නැති අවස්ථාවලදී මොකද කරන්නේ? බව්තීස්ම වුණු සහෝදරයෙක් තමයි ඒ වගකීම ඉටු කරන්නේ. සභාවේ සහෝදරයන් නැත්නම් ඒ වගකීම ඉටු කරන්නේ සහෝදරියක්. ඒ වගේ අවස්ථාවකදී ඒ සහෝදරිය තොප්පියක්, ස්කාෆ් එකක් වගේ දෙයකින් ඔළුව වහගන්නවා. (1 කොරින්ති 11:3-10) සභාවේදීත් ගෙදරදීත් දෙවියන් ඇති කරලා තියෙන ඒ සැලැස්මට කීකරු වෙද්දී යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් වෙනවා.—15වෙනි අමතර සටහන බලන්න.

ආණ්ඩුවේ නිලධාරීන්ට ගරු කරන්න

18, 19. (අ) රෝම 13:1-7 පදවලින් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (ආ) ආණ්ඩුවේ නිලධාරීන්ට ගරු කරන්න අපිට පුළුවන් කොහොමද?

18 ආණ්ඩුවේ නිලධාරීන්ට යම් බලතල ඇතුව වැඩ කරන්න ඉඩහැරලා තියෙන්නේ යෙහෝවා දෙවියන්. එයාලා රටේ වැඩකටයුතු සංවිධානය කරනවා. රට වැසියන්ට අවශ්‍ය කරන සමහර සේවාවනුත් සපයනවා. එයාලා සම්බන්ධයෙන් දෙවියන් දීලා තියෙන මඟ පෙන්වීම් අපි පිළිපදින්න ඕනේ. (රෝම 13:1-7 කියවන්න.) අපි “උසස් බලධාරීන්ට” ගරු කරනවා. එයාලා පනවන නීතිවලට අපි කීකරු වෙනවා. පවුලට, ව්‍යාපාරයට නැත්නම් දේපළවලට අදාළව පනවන නීතිවලටත් අපි කීකරු වෙන්නේ ඒ නිසයි. උදාහරණෙකට එයාලා ඉල්ලන තොරතුරු අපි හංගන්නේ නැතුව දෙනවා, බදු ගෙවනවා. හැබැයි දෙවියන් අකමැති දෙයක් කරන්න කියලා එයාලා කිව්වොත් මොකද කරන්නේ? ඒ වගේ අවස්ථාවලදී අපි කීකරු වෙන්න ඕනෙ දෙවියන්ට මිසක් මිනිසුන්ට නෙවෙයි.—ක්‍රියා 5:28, 29.

19 ආණ්ඩුවේ නිලධාරියෙක්, නීතිඥයෙක් නැත්නම් පොලිස් නිලධාරියෙක් එක්ක කතා කරද්දී අපි ගෞරවයෙන් කතා කරන්න ඕනේ. දරුවන් ගුරුවරුන්ටත් පාසැලේ සේවය කරන අනිත් අයටත් ගරු කරන්න ඕනේ. වැඩපළේ ඉන්න සමහර අය ස්වාමියාට ගරු කළේ නැතත් අපි ගරු කරන්න ඕනේ. අමාරු අවස්ථාවලදී වුණත් බලධාරීන්ට ගරු කරන එක සම්බන්ධයෙන් පාවුල් අපිට කදිම ආදර්ශයක්. (ක්‍රියා 26:2, 25) අනිත් අය අපිට හොඳින් සැලකුවත් නැතත් අපි එයාලට ගරු කරනවා.—රෝම 12:17, 18 කියවන්න; 1 පේතෘස් 3:15.

20, 21. අනිත් අයට ගරු කරද්දී ලැබෙන ප්‍රයෝජන මොනවාද?

20 මිනිස්සු අනිත් අයට ගරු කරන එක දැන් එන්න එන්නම අඩු වෙලා. හැබැයි යෙහෝවා දෙවියන්ගේ සෙනඟ වන අපි ඊට වඩා වෙනස්. බයිබලයේ කියන්නේ “සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට ගෞරව කරන්න” කියලයි. (1 පේතෘස් 2:17) හැමෝටම අපි ගෞරවයෙන් සලකද්දී ඒක අනිත් අය දකිනවා. යේසුස් ඒ ගැන මෙහෙම කිව්වා. “ඔබත් ඔබේ ආලෝකය මිනිසුන් ඉදිරියෙහි විහිදුවන්න. එවිට ඔවුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ සිටින ඔබේ පියාණන්ට ප්‍රශංසා කරයි.”—මතෙව් 5:16.

21 පවුලේ අයට, සභාවේ අයට වගේම අනිත් අයටත් අපි ගරු කරද්දී ඒකෙන් ගෞරවයට පත් වෙන්නේ යෙහෝවා දෙවියන්ව. අපි එහෙම කරන්නේ දෙවියන්ට තියෙන ආදරේ නිසයි. අපි ඒ හැමෝටම ගෞරවයෙන් සලකනවා දකිද්දී දෙවියන් ගැන දන්නේ නැති අයත් ඔහු ගැන ඉගෙනගන්න පෙලඹෙයි. යෙහෝවා දෙවියන් ඒ ගැන කොයි තරම් සතුටු වෙයිද!

බයිබල් ප්‍රතිපත්ති

1 යෙහෝවා දෙවියන් මිනිසුන් මාර්ගයෙන් අපිට මඟ පෙන්වනවා

‘සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට ගෞරව කරන්න. දෙවිට ගරුබිය දක්වන්න.’—1 පේතෘස් 2:17

සමහර අවස්ථාවලදී මඟ පෙන්වීම්වලට කීකරු වෙන එක අමාරු ඇයි?

  • ගණන් කතාව 16:1-3; දේශනාකාරයා 8:9; රෝම 5:12

    අපිට වගේම අපිට මඟ පෙන්වීම් දෙන්න යෙහෝවා දෙවියන් යොදාගන්න අයටත් පව්කාරකම උරුම වෙලයි තියෙන්නේ.

  • ලූක් 22:42

    අමාරුම අවස්ථාවලදීත් යෙහෝවා දෙවියන්ට කීකරු වුණු යේසුස් අපිට කදිම ආදර්ශයක්.

  • හිතෝපදේශ 27:11; මාක් 12:29, 30

    යෙහෝවා දෙවියන්ට අපි ආදරෙයි. ඔහු ඇති කරලා තියෙන සැලැස්මට අපි ගරු කරනවා. පවුලේ මූලිකයාට, ගුරුවරුන්ට වගේම වැඩිමහල්ලන්ට අපි ගරු කරන්නේ ඒ නිසයි.

2 පවුල කියන සැලැස්ම ඇති කළේ යෙහෝවා දෙවියන්

‘මම පියාණන්ට මගේ දණ නමමි. සෑම පවුලකටම නම ලැබී ඇත්තේ දෙවිගෙන්ය.’—එෆීස 3:14, 15

යෙහෝවා දෙවියන් ඇති කරලා තියෙන පවුල කියන සැලැස්මට අපි ගරු කරයි කියලා ඔහු බලාපොරොත්තු වෙන්නේ ඇයි?

  • හිතෝපදේශ 10:1

    යෙහෝවා දෙවියන් පවුල කියන සැලැස්ම ඇති කළේ පවුලේ හැමෝටම අවශ්‍ය ආදරය, රැකවරණය ලබා දෙන්න.

  • හිතෝපදේශ 1:8; 1 කොරින්ති 11:3; එෆීස 6:1-3; 1 පේතෘස් 3:1

    පවුලේ හැමෝම, දෙවියන් තමන්ගෙන් බලාපොරොත්තු වෙන දේ තේරුම් අරන් ඒ විදිහට වැඩ කරද්දී මුළු පවුලටම ප්‍රයෝජන ලැබෙනවා.

3 යෙහෝවා දෙවියන් සභාවේ හිස විදිහට පත් කරලා තියෙන්නේ යේසුස්ව

‘ක්‍රිස්තුස් සභාව නමැති ශරීරයේ හිසයි.’—එෆීස 5:23

යෙහෝවා දෙවියන් සභාවේ ඇති කරලා තියෙන සැලැස්මට අපි ගරු කරන්න ඕන ඇයි?

  • මතෙව් 24:45-47

    සභාවල ඉන්න අයව රැකබලා ගන්න වගකීම යේසුස් දීලා තියෙන්නේ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට.”

  • 1 තෙසලෝනික 5:12; හෙබ්‍රෙව් 13:17

    වැඩිමහල්ලන් සහ සහායක සේවකයන් සභාවේ අයට දිගටම විශ්වාසවන්තව ඉන්න උදව් කරනවා. එයාලා එක්ක සහයෝගයෙන් වැඩ කරද්දී අපි ඇත්තටම ගරු කරන්නේ යෙහෝවා දෙවියන්ට.

  • ක්‍රියා 20:28

    යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න තමයි සභාව කියන සැලැස්ම ඇති කරලා තියෙන්නේ. අපි සභාවේ වැඩවලට සහයෝගය දෙද්දී හැමෝම ඒකෙන් ප්‍රයෝජන ලබනවා.

4 ආණ්ඩුවේ නිලධාරීන්ට යම් බලතල ඇතුව වැඩ කරන්න ඉඩහැරලා තියෙන්නේ යෙහෝවා දෙවියන්

‘සියලුම බලතල දෙවි සතු වන නිසා බලධාරීන්ට යම් බලතල ලබා දී තිබෙන්නේ දෙවිය.’—රෝම 13:1

ආණ්ඩුවේ නිලධාරීන්ට ගරු කරන්න අපිට පුළුවන් කොහොමද?

  • මතෙව් 5:16; 1 පේතෘස් 3:15

    කතාවෙනුත් ක්‍රියාවෙනුත් අපි අනිත් අයට ගරු කරද්දී ඒකෙන් ගෞරවයට පත් වෙන්නේ යෙහෝවා දෙවියන්ව.

  • ක්‍රියා 26:2, 25; රෝම 12:17, 18

    අපි ජීවත් වෙන රටේ නීතිවලට කීකරු වෙනවා. නිලධාරීන් අපිට හොඳින් සැලකුවත් නැතත් අපි එයාලට ගෞරවයෙන් සලකනවා.

  • රෝම 13:1-4

    අධිකාරියක් තියෙන අයට කීකරු වෙන්න බයිබල් ප්‍රතිපත්ති ඔයාට උදව් වෙයි.

  • මතෙව් 22:37-39; 26:52; යොහන් 18:36; ක්‍රියා 5:27-29; හෙබ්‍රෙව් 10:24, 25

    යෙහෝවා දෙවියන්ගේ නීතිවලට විරුද්ධ දෙයක් කරන්න කියලා ආණ්ඩුවේ නිලධාරීන් ඔයාට කිව්වොත් කීකරු වෙන්නේ කාටද කියලා තීරණයක් ගන්න ඔයාට සිද්ධ වෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න